සිංහලෙන් පිරිත් කීම මවුකිරි පිටි කර බීම වගෙයි - IFBC Organization | Dhamma

පිරිත හෙවත් පරිත්ත යන්නෙහි අර්ථය මෙහිලා අප විසින් සාකච්ඡාවට භාජනය කරනු ලබන ප්‍රස්තුතයට අනුව ගත හොත් ‘හාත්පසින් ම ආරක්ෂාව සපයන දේශනාව‘ යනුවෙන් ගැනීම සුදුසු ය. සම්මා සම්බුද්ධ දේශිත ධර්මයෙහි අන්තර්ගත ආරක්ෂක දේශනා යැ යි චිරසම්මත සූත්‍ර සමුදායයක් එක් කොට ශාන්තිකර්මයක් ස්වරූපයෙන් දේශනා කිරීම පරිත්‍රාණ දේශනාව යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙහි ධර්ම ගම්භීරත්වයටත් වඩා දේශනා ගම්භීරත්වයට වැඩි අවධානයක් යොමු කිරීමෙන් පැහැදිලි වන්නේ හුදෙක් ධර්ම සන්නිවේදන මාධ්‍යයකට වඩා වැඩි යමක් පිරිතෙන් අපේක්‍ෂිත බව ය.
මෙසේ ආශීර්වාදය පතා දේශනා කරනු ලබන පිරිත් සූත්‍ර සංග්‍රහය චතුභාණවාරපාළි යනුවෙන් බණවර සතරකට බෙදා දක්වා ඇති අතර, මෙම සංග්‍රහ කිරීම කෙබඳු කාලයක සිදු වී දැ යි නිශ්චිත ව නිගමනය කිරීම උගහට ය. එසේ වුව ද ආරක්ෂාව සඳහා පිරිත් දේශනා කිරීම දිවමන් බුදුන් දවස දක්වා ම දිවෙන ඉතිහාසයක් ඇත්තකි. ඒ බවට දීඝායු කුමරු යක්ෂයාගෙන් බේරාගැනීම පිණිස පිරිත යොදාගැනීමත් බුදු රජාණන් වහන්සේ ගිලන් වූ විටෙක බොජ්ඣංග පිරිත දේශනා කරගැනීමත් නිදසුන් ය.මීට අමතර ව ශ්‍රාවක සංඝයා රෝගි වූ අවස්ථාවන්හිදී පිරිත් දේශනා කළ බවටත් බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ මොහොතෙහි ලක්දිව පැමිණි විජය ඇතුළු පිරිසට පිරිත් පැන් හා පිරිත් නූල් ලබා දුන් බවටත් ත්‍රිපිටකය හා පාලි සාහිත්‍යාගත වංසකථා තොරතුරු සපයයි. එසේ හෙයින් පිරිත් දේශනා කරගැනීම හා එයින් පිහිට සලසාගැනීම පිළිබඳ ව විමතියක් ධර්මයෙහි හෝ ශාසන සම්ප්‍රදායයෙහි දක්නට නැත.
එහෙත් මෙම ශාන්තිකර්ම සම්ප්‍රදාය නික්ලේශි බුදු රජාණන් විසින් මහාකරුණාව හා මහාප්‍රඥාව උපයෝගී කොටගෙන දේශිත සූත්‍ර අනුසාරයෙන් සිදු කරන්නකි. එබැවින් ලෞකික අරමුණ මුදුන්පමුණුවාගනු වස් කෙලෙස් භරිත පුද්ගලයන් විසින් සංයෝග කරන ලද යන්ත්‍ර මන්ත්‍ර ආදියකට වඩා සුවිශේෂ වෙනසක් මෙම ශාන්තිකර්ම ක්‍රමයෙහි දක්නට ලැබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
පිරිත් දේශනාව ආරක්ෂක දේශනාවක් ලෙස සලකා ගැනෙනුයේ එහි ඇති අර්ථ ගම්භීරත්වය පමණක් පදනම් කොටගෙන නො වේ. අක්‍ෂර ගැළපීම, ධ්වනිය, ඒ වටා බැදුණු චාරිත්‍ර-වාරිත්‍ර, පූජා විධි, කාලාන්තරයක් තිස්සේ දේශනා කිරීමෙන් ඒ තුළ වාංමය ශක්තියක් ගොඩනැඟී තිබීම ආදි කරුණු ඔස්සේ එය වඩාත් සෙත් දෙන ශාන්තිකර්මයක ස්වරූපයට පත් ව ඇත.
පිරිතක් දේශනා කිරීමේ අරමුණ ධර්ම දේශනාවක් කිරීමේ අරමුණට වඩා වෙනස් වූවත් පිරිතෙහි තේරුම සපයාගෙන එහි ධර්මාර්ථයට අවධානය යොමු කරනු කැමැත්තන්ට පිරිත සිය බසට පරිවර්තනය කොටගත හැකි ය. එය සිංහල, දෙමළ හෝ ඉංගී‍්‍රසි ආදි ඕනෑ ම බසක් විය හැකි ය. එසේ පරිවර්තනය කොට කිසියම් තාලයකට ගායනා කිරීම, කියැවීම ‘පිරිත් කීම’ නො ව, පිරිතෙහි ‘අරුත කීම’ යි.
පිරිත් දේශනාවේදී අක්‍ෂර නිවැරදි ව ඉසිරවීමේ වැදගත්කම අවධාරණය කැරෙන අතර, එසේ දේශනා කරවාගත හොත් පමණක් එහි ආශීර්වාදය සලසාගත හැකි බව චිරසම්මත පිළිගැනීමකි. පිරිත් හෝ වෙනත් සම්බුද්ධ දේශිත සූත්‍රයක් වෙනත් භාෂාවකට නගා දේශනා කිරීමට බුද්ධ නියමයෙහි තහනමක් නැත. ජනපද නිරුත්තීන් නො ඉක්මවන ලෙසත් අර්ථය ග්‍රහණයෙහි උත්සුක වන ලෙසත් බුදුරදුන් විසින් අනුදැන වදාරනු ලැබ ඇත.
එසේ වෙතත් විනය පිටකයේ ඛුද්දකවත්ථුක්ඛන්ධකයට අනුව බුදුවදන ඡන්දසට නැගීමට උන් වහන්සේ අනුමැතිය නොදුන් බව හා එසේ යමෙක් කරත් නම් එය දුකුලා ඇවතක් ලෙස පැනවූ බව සැලකිල්ලට ගත යුතුය. මෙම ඡන්දස යනු වේද වැනි සංස්කෘත භාෂාව යැ යි එන අටුවා සඳහන් පිළිගන්නේ නම් මෙහි තත්ත්වය මීට වඩා සංකීර්ණත්වයට පත් වෙයි. කෙසේ වෙතත් සූත්‍රයන්හි අර්ථාවබෝධය හා සූත්‍ර දේශනා යනු එකක් ලෙසින් පටලවාගැනීම නුසුදුසු බව පැහැදිලි ව තේරුම් ගත යුතු ය.
මීට අමතරව සූත්‍රයක් කිසියම් බසකට පෙරළාගැනීමේදී එහි අර්ථය නිවැරදි ව ම එම බසට පරිවර්තනය වී දැ යි යන්න පිළිබඳ ව සැක ඇත්තේ ම ය. මක් නිසා ද යත්: පාලි භාවිතයේදී වචනාර්ථ පමණක් නොව සම්ප්‍රදාය ද මැනවින් හඳුනාගෙන තිබීම අතිශය වැදගත් වන බැවිනි. ‘දිට්ඨ’ යන වචනයෙහි දැක්ම යන තේරුම ඇතත්, පාලියෙහි ‘දිට්ඨිඤ්ච අනුපගම්ම’ යන තැන ‘මිසදිටු නොවී’ යන තේරුමක් අධ්‍යාහාරයෙන් ගැනේ.
මෙවන් ස්ථාන එකක් නො ව, බොහෝ ගණනක් පාලියෙහි පෙනෙන බැවින් පදානුපදික පරිවර්තනයකින් යථෝක්ත කාර්ය භාරය සැකෙවින් ඉටු වේ යැ යි කිසිවකුටත් සහතික විය නොහැකි ය. බුදු රජාණන් වහන්සේ විසින් දේශිත අසිරිමත් ත්‍රිපිටක දේශනාව මෑත යුගයෙහි සරල බසින් සිංහලයට නැගීමට උත්සාහ දරන ඇතැමුන්ගේ පරිවර්තනයන්හි අර්ථ විලෝපනයන් ශාසනමාමක වියතුන් විසින් ප්‍රතික්ෂේප කොට තිබීමෙන් පැහැදිලි වෙයි. එමතු ද නොව, පාලි පොත් සමාගම මගින් පළ කරන ලද ඇතැම් ඉංගී‍්‍රසි පරිවර්තනයන්හි පවා ඉතා නිර්දය ලෙස ධර්මය විකෘති වී පැවතීමෙන් පැහැදිලි වනුයේ පරිවර්තනයකදී සම්ප්‍රදාය හඳුනාගත් අයකුට පමණක් සෑහෙන පමණකින් වත් නිවැරදි ව පරිවර්තනය කළ හැකි බව ය.
අර්ථය ආරක්ෂා කරන අර්ථයෙන් ත්‍රිපිටක දේශනාවට පාළි යන ව්‍යවහාරය යෙදුණු අතර, අනතුරු ව එම දේශනාව රචිත භාෂාව හෙවත් මාගධිය පාලි යන ව්‍යවහාරය ලැබී ය. වැවක හෝ පොකුණක වෑ කණ්ඩිය, නියර එහි ජලය දරන්නා සේ ධර්මය දරාගන්නා අර්ථයෙන් පාළි යන ව්‍යවහරය යෙදුණු බව අටුවාව පෙන්වා දෙයි. කරුණු මෙසේ හෙයින් ධර්මය ආරක්ෂා කරගැනීමේදී අර්ථය මිශ්‍රණයට ඇති ඉඩකඩ මෙමගින් අවුරා ඇති බව සුපැහැදිලි ය. දිනෙන් දින අර්ථ විපර්යාසයට බඳුන් වන, ගලා යන පොදුජන ව්‍යාවහාරික භාෂාවකට වඩා පාලියෙන් ත්‍රිපිටක ධර්මය තැබීම ධර්මයේ ආරක්ෂාව පිණිස වන වැදගත් පියවරකි.
මෙමගින් පාලිය ව්‍යවහාරික භාෂාවක් ලෙසින් නොපැවතියේ යැ යි අදහස් නොවිය යුතුය. දාඨාවංසය පාලියට පරිවර්තනය කිරීමේදී කතුවරයා පවසනුයේ එය ශාස්තෘන් වහන්සේ්ගේ භාෂාවට පරිවර්නය කරනු ලබන බවත්, එමගින් දීපාන්තර වාසීන්ගේ ප්‍රයෝජනයට පවා එය බඳුන් වන බවත් ය. කරුණු එසේ නම් පාලිය යනු කිසියම් දේශයකට උරුම නොවූ ථේරවාදිත්‍රිපිටකය හදාරන ඕනෑ ම ශාස්ත්‍ර සේවියකුට පොදුවේ භාවිත කළ හැකි භාෂාවකි.
තායිලන්තය, බුරුමය ආදි ථේරවාදි ඕනෑම රටක මෙම පිරිත් දේශනා එක ම භාෂාවකින් පැවැත්වීමෙන් එහි පොදු භාෂා අනන්‍යතාවක් ගොඩනැගී පැවතීම ද ඉතා වැදගත් වූවකි. ත්‍රිපිටකය පාලියෙන් තිබීම නිසා ඇතැම් අවස්ථාවල ධර්මය හුවමාරු කරගැනීමේ මහඟු අවස්ථාව ද ඉතිහාසය තුළ උදා වී ඇති බව පැහැදිලි ය. එබැවින් බුද්ධ දේශනාවේ අනන්‍යතාව පාලිය තුළ ඇති බව මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
කෙමෙන් බුද්ධි ශක්තියෙන් පිරිහී යන සුඛවාදී කාමභෝගී සමාජයක අවශ්‍යතාව මත ධර්මය ලිහිල් කිරීම හා සංස්කරණය කිරීම යනු ඉතා භයානක ප්‍රතිඵල උදා කරන්නකි. එය වැල යන අතට මැස්ස ගැසීමකි. කුඩා දරුවෙක් තමා ක්‍රීඩා කරන පන්දුව වළකට වැටුණු විටක පන්දුව ගැනීමට නොහැකි නම් වළ ගැඹුරු බව පවසයි: හෙතෙම සිය අත දිග මදි බව නොපිළිගනී. එමෙන් ම පාලි පිළිබඳ අවබෝධය මඳ වීම එහි ඇති වරදක් නො ව, තම දැනුම හා සම්බන්ධ ගැටලුවකි.
පාලි හා සිංහල යන භාෂා දෙකෙහි ම හසළ දැනුමක් පැවැති යතිවරුන් විසූ යුගයක පවා පිරිත් සූත්‍රයන්ට සන්න ගැටපද සැපයීම විනා, අරුත පෙරළා හෙළබසින් දෙසන්නට උන් වහන්සේ උත්සුක නො වූ හ. සිංහල සන්දේශ කාව්‍යයක ගීතවත් බව, අලංකාර, කාව්‍යමය සුන්දරත්වය එය වෙනත් බසකට පෙරළාගෙන රසවිඳිය නොහැකි ය. සෙසු ඉංගී‍්‍රසි, ගී‍්‍රක, අරාබි ආදි සම්භාව්‍ය සාහිත්‍යයන් පිළිබඳ ව අදහස ද මෙපරිදි ම ය. කිසිවෙක් නිරුක්තිය නොදැන මුළුමහත් ත්‍රිපිටකය ම දැනගත්ත ද හෙතෙම වනයෙහි අන්ධ ඇතකු මෙන් පදයක් පාසා පැකිළෙයි. මෙසේ හිතුමනාපයට පාලිය පරිවර්තනය කොට කවියට හෝ ගීතයට නැගීම ජනපි‍්‍රයත්වය හා පිරිස් වට කොටගෙන එයින් තුටු වීම පතන බාලයන්ගේ මෝහය සඳහා වැදගත් විය හැකි ය.
මවුකිරි පයෝධරයන්ට මුව තබා පානය කරනු විනා දොවා පිටි කර බීමට ගැනීමක් නැත. එසේ වූ කල්හි එය තනකිරි නොව, පිටිකිරි යන ව්‍යවහාරය ලබයි. එසේ ම පිරිත ආශීර්වාදය සඳහා දේශනා කරන්නේ නම් එය බුදු රජාණන් වහන්සේගේ භාෂාවෙන් නොඑසේ නම් පාලියෙන් දේශනා කරගත යුතු ය. අර්ථ සපයාගැනීම සඳහා සන්නයක් භාවිත කළ යුතු ය. පිරිත සිංහලයට හෝ වෙනත් බසකට පරිවර්තනය කොට කිව හැකි වූවත් එතැන් පටන් එය පිරිතෙහි ‘අර්ථය’ මිස, ආරක්ෂාව සපයන ‘පරිත්‍රාණ දේශනාව‘ නම් නො වේ.

ආචාර්ය පූජ්‍ය
මැදගොඩ අභයතිස්ස හිමි

පිරිත ගැන දැනගනිමු ... ( Piritha gana danaganimu )
ඝන, මාත්‍රා නැතිව කියන සිංහල පිරිත සම්පූර්ණ වැරදී

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.