සාම්ප්‍රදායික ඥානය සැගවුන පුස්කොළ පොත ... - IFBC Organization | Dhamma

අප සතුව ඇති අමිල දායාදයක් වන පුස්කොළ පොත් සම්පත පිළිබඳව ලියැවෙන මේ ලිපිය අපට අමතකව ඇති ජාතික වගකීමක් සිහිපත් කර දෙයි.

මුද්‍රණ තාක්ෂණය බෙහෙවින් දියුණු වී ඇති අද ඕනෑම කෘතියක් මුද්‍රණය කොට සිය දහස් ගණන් ජනතාවට කියැවීමට බෙදා-හැරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. මෙම තාක්ෂණය පැමිණෙන්නට පෙර අතීතයේ පැවැති ලේඛන ක්‍රමය පිළිබඳව සොයා බැලිය යුත්තේ වර්තමානයේ අප කියවන දකින දෑවලින් අතිවිශාල ප්‍රමාණයක් පුරාණයෙන් අපට දායාද වූ ඒවා බැවිනි. ඉතා ඈත අතීතයේ සිටම යම් යම් දෑ ලියා තැබීමේ පුරුද්ද මානව වර්ගයා සතු විය. අපට හමු වී ඇති සාධක අනුව ශිලාලේඛන හෙවත් ගලෙහි කෙටීම, ලෝහවලින් නිපදවූ යමක සටහන් කොට තැබීම හා පුස්කොළ පොත් භාවිතය වැනි ක්‍රම මේ සඳහා යොදාගෙන තිබේ. මේ සියල්ල අතරින් වඩාත් ප්‍රචලිත ව, මෑත කාලයක් දක්වා පැවතියේ පුස්කොළ පොත් මාධ්‍යයයි.

තල්කොළවල ලියැවුණු මෙම පොත් ‘ලියනවා’ කීමට වඩා ‘සටහන් කරනවා’ කීම නිවැරදිය. මන්ද යත්: එය අප අද පෑනෙන් කරන ලියමනක් බඳු නො වේ. අකුරු තදට කෙටීමක් වැනි ක්‍රියාවක් එහි දැකගත හැකිය. එසේ සටහන් කළ අකුරු මැකී යන විට කළුමැදීම නම් ක්‍රමය මගින් මැකෙන අකුරු නැවත මතු කරගත හැකිය. ධර්ම පූජා කරනු කැමැත්තෝ සමර්ථ පුස්කොළ පොත් ලියන්නන් ගෙන්වා, ආහාරපානාදියෙන් සංග්‍රහ කොට නවත්වාගෙන එසේ පොත් ලියවා ඔවුන්ට අදාළ ගෙවීමක් හෝ පූජාවක් කොට ඇත. අනතුරුව විසිතුරු කම්බා දෙකක් සකසා (කම්බා යනු: පුස්කොළ පොත් ආරක්ෂා වීමට දෙපැත්තෙන් යොදන ලී පතුරුවලින් හෝ ලෝහයකින් කළ පටි තීරු දෙකය), පට ලේන්සුවක් වැන්නකින් ඔතා ඉතා ගරු–බුහුමන් සහිතව විහාරස්ථානයක් වැනි තැනකට පෙරහරකින් එම පොත් වහන්සේ වඩමවා පූජා කරති.

පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආදීන්ගෙන් සේම ඊටත් පෙර පවා ලංකාවට පැමිණි නොයෙක් පරසතුරු උපද්‍රව නිසා එසේ මහත් ගරු-බුහුමනින් ආරක්ෂිතව පැවැති පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට අහිමි විය. පරසතුරන් විසින් පැහැරගත් බොහෝ පුස්කොළ පොත් ගිනි තබා විනාශ කරන ලදි. පෘතුගීසි හා ඉංග්‍රීසි වැනි ජාතිකයෝ ලංකාව යටත් කොටගෙන සිටි කාලයේදී මේ පොත් ලියා තිබුණු පාලි, සංස්කෘත හා සිංහල භාෂා මහත් ආයාසයකින් වුව උගෙන කියැවූහ. මේ පොත් කියැවූ බටහිර පණ්ඩිතයන්ට මේ පොත්වල අන්තර්ගත අනුපමේය වූ පෙරදිග ඥානය හමු විය. ඔවුහු එම ඥානයට වෙසෙසින් ගෞරව කළහ. වැඩි දුර අධ්‍යයනය සඳහා එම පොත් විශාල ප්‍රමාණයක් නොයෙක් ක්‍රමයෙන් ඔවුන්ගේ රටවලට ගෙන ගියහ. එසේ ගෙන ගිය අතිවිශාල පුස්කොළ පොත් ප්‍රමාණය ඔවුන්ගේ අධ්‍යයන ආයතනවල, විශ්වවිද්‍යාලයවල පුස්තකාලයවල තැන්පත් කොට මහත් වුවමනාවෙන් ආරක්ෂා කොටගෙන අද දක්වා පරිහරණය කරමින් සිටිති.

මෙසේ ගෙන ගිය අතිමහත් පොත් රාශිය අතරින් බුදු දහම හා පාලි ව්‍යාකරණාදිය සටහන් වන පොත් විශාල ප්‍රමාණයක් සංස්කරණය කොට මුද්‍රිත මාධ්‍යයෙන් ජනතාව අතරට පත් කරවනුද ලැබිණ. එංගලන්තයේ පාලි පොත් සමාගම එම කටයුත්ත මහ ඉහළින් අද දක්වා කරගෙන එයි. එම පාලි පොත් සමාගම කළ අතිමහත් ග්‍රන්ථ සංස්කරණයට සමාන වැඩපිළිවෙළක් මේ වන තුරුත් ලංකාවේ දැකිය නොහැකිය.

දීඝනිකාය වැනි ත්‍රිපිටක පොත් ඇත්තේ ලංකාවේ පමණක් නොවේ. මේ වන විට ත්‍රිපිටකය හා අටුවා ආදි ධර්ම ග්‍රන්ථ නොයෙක් අක්ෂරයන්ගෙන් ඇති අතර, බෙංගාලී, දේවනාගරී, ගුජරාටි, කන්නඩ, මලයාලම්, බුරුම, සියම්, තෙලුඟු, ටිබෙට් හා ගුර්මුඛී යනාදිය ඉන් කිහිපයකි. මෙයට අමතරව ඉකුත් සියවසේ පටන් ඉංග්‍රීසිය ප්‍රමුඛ විවිධ යුරෝපා භාෂාවන්ටද තෙවළා දහම පරිවර්තනය වී තිබේ. ලංකාවේ අතිපැරණිතම පුස්කොළ පොත වශයෙන් ගැනෙන්නේ විනය පිටකයට අයත් චුල්ලවග්ගපාළි නම් ග්‍රන්ථයෙහි පිටපතකි. එය කොළඹ කෞතුකාගාර පුස්තකාලයෙහි වේ.

ශ්‍රී ලාංකේය අප සතු ධර්ම පොත් විශාල ප්‍රමාණයක් අද පවා විදේශිකයෝ ලංකාවෙන් ගෙන ගොස් ඔවුන්ගේ අභිවෘද්ධිය සලසාගනිති. කම් නැත. ලංකාවේ මුල් පිටපත තබා ඡායා පිටපතක් ගෙන යන්නට දීම බෞද්ධයන්ගේ යුතුකමකි. එහෙත් කිව යුත්ත නම් මුදල්ම සලකමින් මේ වටිනා සම්පතට වන හානිය නොසැලකීමයි. අද ලාංකිකයන්ට වටින්නේ හම් බැම්මෙන් බැඳ අල්මාරියේ ඉතා ශෝභමානව තැබිය හැකි පොතපතය; සියල්ල ඒකරාශී කොට තබන ලැප්ටොප් පරිගණකය; ඒවායින් සිදු වන ඊමේල් ගනුදෙනු හා සමාජ වෙබ් අඩවිය. අප සතු විය යුතු දැනුම මුද්‍රිත ව ඇති පොත්-පත්වලම සර්වාකාරයෙන් ගැබ් වී ඇත යන වැරදි වැටහීමක ඔවුහු සිර වී සිටිති.

තවමත් මුද්‍රිත මාධ්‍යයකට නොපැමිණි අගනා ධර්ම ග්‍රන්ථ ලංකාවේ අහුමුලුවල දිරා යමින් හෝ කුඩා සතුන්ගේ කුසගිනි නිවමින් හෝ කළුමැදීම් ආදි සංරක්ෂණයක් නොමැතිකමින් එහෙත් සුවඳ දුම් ආදියේ පුද පූජා පමණක් ලබමින් විනාශයට යමින් තිබේ. ඇතැම් විට සමහර පොතක පිටපතක් ලංකාවේම ඇත්තේ එක් ස්ථානයක පමණි. එහි තවත් පිටපත් සෙවීමට නම් එංගලන්තයට යා යුතු ව ඇත. සමහර විට ලොවටම ඇත්තේ එම පුස්කොළ පිටපත පමණි. මෙවැනි දුර්ලභ පුස්කොළ පොත් අප අතර කොතරම් නම් ඇත්ද? ඇතැම් කෘතිවල නම් අසා මහත් ආශාවෙන් එම පොත බැලීමට අදාළ ස්ථානයට යන විට එහි තිබූ විශාල පුස්කොළ පොත් ප්‍රමාණයක් මීට අවුරුදු කිහිපයකට ඉහතදී ගිනිබත් කළ බව අසන්නට ලැබෙන විට කොතරම් සංවේගයක් ඇති වේද? “වටිනා පොතක තිබූ අවසන් පිටපතත් ගිනිබත් විය; විනාශ විය. ජාතියේත් සම්බුද්ධ ශ්‍රාවකයන්ගේත් අභාග්‍යයක තරම!” මම මටම කියාගත් වාර බොහෝය.

ලෙඩ-රෝගවලට වටිනා, කවුරුත් නොදන්නා ඖෂධ, ජාතියක් පණ ගැන්වූ, ජාතියකට මහා වීර පුරුෂයන් බිහි කළ අපගේ අතීත ඥානය, මහ රහතුන් බිහි කළ ධර්ම සංග්‍රහ අප අතරින් මෙලෙස විනාශ වීමට ඉඩහැර බලා සිටීම කොන්ද පණ නැතිකමක් නොවේද? එබැවින් අපගේ මෙම ආයාචනය මහා උතුමන්, වීර පුරුෂයන් බිහි වූ ජාතියක උරුමකරුවන් වන අප අප සතු මේ වටිනා සම්පත රැකගැනීමට උත්සුක වීමටයි. වෙහෙර-විහාරස්ථාන පොත්ගුල් හා පුස්තකාලය ආදියෙහි ඇති පුස්කොළ පොත් රැකගැනීමට අදිටන් කරගත යුතු කාලය එළැඹ ඇත.

දැනට ලංකාවේ ඉතිරි ව ඇති පුස්කොළ පොත් රැකගැනීමට මහත් උත්සාහයක් දරන ආයතන හා පුද්ගලයන් කිහිප දෙනකු හෝ සිටීම ජාතියේ වාසනාවකි. ඒ අතරින් කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය ප්‍රමුඛ වේයැයි සිතමි. මීට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයෙහි පුස්කොළ පොත් අධ්‍යයනයට වෙන් වූ අංශයක් ඇති බව දනිමු. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහිද අවසර ලත් පාඨකයනට පුස්කොළ පොත් පරිශීලනයට අවකාශ සැලසේ. කොළඹ විද්‍යෝදය හා පෑලියගොඩ විද්‍යාලංකාර යන පිරිවෙන් දෙකෙහිද හොඳ පුස්කොළ පොත් සංරක්ෂණයක් දැකිය හැකිය.

තවද, මේ සම්බන්ධයෙන් වෙහෙසෙන අතළොස්ස අතර මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙහි පූජ්‍ය පාණදුරේ පසන්න ස්වාමීන් වහන්සේ සුවිශේෂය. මාතර හිත්තැටියේ රාජමහා විහාරාධිපති ගොඩගම චූලාලංකාර නාහිමිපාණන් වහන්සේද, ගාල්ල ගිංතොට දඩල්ල වාලුකාරාමාධිපති හිමිපාණන් වහන්සේද යන මාහිමිවරු මා හට හමු වූ මහත් වුවමනාවෙන් පුස්කොළ පොත් සංරක්ෂණයෙහි නියුතු හිමිවරු වෙති. තවද, ඈත පිටිසරට වී මේ උතුම් ධර්ම සම්පත රැකගැනීමට මහත් කැප වීමෙන් කටයුතු කරන අපේ හාමුදුරුවන්ට අපගේ නමස්කාරය වේවා! මෙම කුඩා ලිපිය ඔබට ලියනුයේ හදෙහි කැකෑරෙන සමාජ අවශ්‍යතාවක් මතු කර පෙන්වීමටය. මෙයින්වත් මේ පිළිබඳව සාමාන්‍ය ජන ඇස ඇරේවියැයි උදක්ම අපේක්ෂා කරනුයේ ගත ව යන සෑම මොහොතක්ම කොතැනක හෝ සැඟව ඇති දුර්ලභ අනැගි පුස්කොළ පොතක අවසන් තත්පරය විය හැකි වග අත්දැකීමෙන්ම දන්නා බැවිනි.

දැන් අපි පුස්කොල පොත පිලිබද මොහොතක් විමසා බලමු. ඉන්දියාව, ලංකාව, බුරුමය, තායිලන්තය වැනි ඝර්ම කලාපීය රටවල මේ ස`දහා භාවිත කළ ප්‍රමුඛ මාධ්‍යය වූයේ තල සහ තල් වෘක්‍ෂ පත්‍රයි. ලේඛන කාර්යයේ දී තල කොළය හඳුන්වන්නේ පුස්‌ කොළය නමිනි. ‘පුස්‌ කොළය’ පිළිබඳව වියතුන් විවිධ අදහස්‌ පළ කරනු ලැබෙයි. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේ ‘පුස්‌’ යන ධාතුවට අර්ථකතන සපයනුයේ ‘කිසිවක්‌ නොලියන ලද හිස්‌ තල් කොළය’ යනුවෙනි.

”පුස්‌කොළ පොත් ලිවීමේ කාර්යය සඳහා ලබා ගනු ලබන ද්‍රව්‍යය තල ගොබයයි. පත්‍ර අසූවක්‌ සියයක්‌ පමණ ඇති තල ගොබයේ එක්‌ එක්‌ පත්‍රයේ ඉරටුව ඉවත් කොට කොළය දැවටුමක්‌ ලෙස ඔතනු ලබේ. එම ‘දැවටුම’ ලොකු දිය හැලියක තබා පැය කිහිපයක්‌ මද ගින්නේ තම්බනු ලැබේ. ඒ අරුතින් තැම්බූ කොළය පිසූ කොළය, පුස්‌ කොළය වන්නට ඇතැයි සිතන්නට කිසිවකු පෙළඹෙන්නට බැරි නැත.”

පිස දැමීමෙහි හෙවත් පිරිසිදු කිරීමාර්ථයේද ‘පුස්‌’ යන්න යෙදෙන බවට මතයකි. එමෙන්ම කිසිවක්‌ නොලියූ හෙයින් හෝ අපිරිසිදු දෑ ඉවත් කොට පිරිසිදු කරන ලද හෙයින් ‘පුස්‌’ යන්නට හිස්‌ යන අර්ථයද හිමි වන බව සදහන් වේ.

පුස්‌කොළ ලේඛනය පිළිබ`ද ආදිතම සාධක හමුවනුයේ දෙවනපෑතිස්‌ සමයේ සිදු වූ මහින්දාගමනයෙන් පසුවය. ශ්‍රී මහා බෝධි ශාඛාගමනයේදී සිදු වූ අටළොස්‌ කුලයන්ගේ සම්ප්‍රාප්තියේදී ග්‍රන්ථකරණයේ විශේෂඥයින්ද මෙරටට පැමිණෙන්ට ඇති අතර පුස්‌කොළ ලේඛන සම්ප්‍රදායයද ඒ හරහා ආරම්භ වන්නට ඇත. ආදියේ පටන් මුඛ්‍ය වශයෙන් බෞද්ධාගමික ධර්ම පරිවහනයෙහි ලා උපයුක්‌ත වූ පුස්‌කොළ පොත් ලේඛනය පිළිබ`ද මූලිකත්වය දැරුවේ භික්‍ෂූන් වහන්සේලාය.

”ආදියේ සිංහල රජුන් සන්නස්‌ දීම සඳහා බෙහෙවින් ගත්තේ තල් පතයි. එහෙත් නිශ්ශංක මල්ල රජතුමා එබඳු දීමනාවක්‌ සඳහා තල්පත නොමනා යෑයි කියා රන්, රිදී, තඹ ඈ පත් භාවිතය ඇරඹීය. තල්පත වේයන් මීයන් කන හෙයිනුත් සන්නස ලබන්නාට වැඩි සැලකිළි දැක්‌විය යුතු හෙයිනුත් එසේ කිරීම මනා බවයි රජුගේ හැගීම වූයේ.”

මහනුවර යුගයේ දී එනම් කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ දී පන්හිඳ, විජිනිපත් වැනි භාණ්‌ඩ භික්‍ෂූන්ට පූජා කළ බවත් නරේන්ද්‍රසිංහ රජතුමා නියමකන්ද විද්‍යාස්‌ථානය පිහිටුවා ගුරු ශිෂ්‍ය දෙපක්‍ෂයටම තුන් මසකට වරක්‌ පොත් ලිවීම සඳහා පුස්‌කොළ පන්සියය බැගින් සැපයූ බවත් කාන්තාවන්ගේ සහායද මේ සඳහා ලැබුණු බවත් ඉතිහාසයේ ස`දහන් වේ. මෙලෙස ලාංකේය ලේඛන කලාවේ ප්‍රමුඛ මාධ්‍යය වූ පුස්‌කොළ පොත් ලේඛනය ලන්දේසි යටත් විජිත සමයේදී මුද්‍රණ කර්මාන්තය ඇති වීමත් සම`ග යල් පැන ගිය සම්ප්‍රදායයක්‌ ලෙස අක්‍රීය විය. පුස්‌කොළ පොත් නිර්මාණකරණය සහ ලේඛනය

ලේඛනය උදෙසා පුස්‌ කොළය සකස්‌ කර ගැනීම සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ශාස්‌ත්‍රානුකූල ක්‍රියාවලියක්‌ වන තල පත්‍ර සකස්‌ කිරීම හා දේශීය වූ සංස්‌කෘතික ලක්‍ෂණ නොමදව බද්ධ වී ඇත. තත් ක්‍රියාවලිය මෙසේ පටිපාටිගත කළ හැකිය.

01 තල ගහ ලකුණු කිරීම

  1. ගොබය කැපීම
  2. කූරු ඉවත් කිරීම
  3. පළමු වට්‌ටු සැකසීම
  4. කොළ තැම්බීම
  5. කොළ වියළීම
  6. කොළ මැදීම
  7. දෙවන වට්‌ටු සැකසීම
  8. කොළ කැපීම
  9. සිදුරු විදීම
  10. රත ගෑම
  11. ලිවීම
  12. කළු මැදීම
  13. සුද මැදීම
  14. මද අව්වේ වියළීම
  15. පොත් කම්බා, හුය සහසකියා නිර්මාණය
  16. පොත් බැඳීම
  17. ගබඩා කිරීම
  18. සංරක්‍ෂණය
  19. පුස්‌කොළ ලේඛන කියවීම”

තල ගස ලකුණු කිරීම

පූර්වයෙන් ලකුණු කරන ලද තල ගසින් තල ගොබය කපනු ලැබේ. වෙනත් කාර්යයන් ස`දහා ගනු ලැබීමෙන් වළක්‌වා ගැනීම ස`දහා කුඩා කලදීම තල ගස වෙන් කරනු ලබන අතර එය ලේඛන කාර්යය ස`දහා පමණක්‌ වෙන් වේ. වසර 15-20 ක්‌ පමණ වර්ධනය වූ තල ගසින් වසරකට තල ගොබ දෙකක්‌ කපා ගන්නා අතර තල ගසේ නැගීම පහසු වීම ස`දහා පුවක්‌ වැනි ගසක්‌ ඊට සමාන්තරව සිටුවනු ලැබේ.

තල ගොබය කැපීම

තල ගොබය පීදීගෙන එනවිට එහි ඉහිරීම වළක්‌වාලීම පිණිස උණ පතුරු වලින් සැදු වළලු සිර කරනු ලැබේ. මෙය ගොබය කැපීමට සති තුනකට කලින් කරන ක්‍රියාවකි. මෙමගින් ගොබය හොඳින් වැඩෙන අතර ආරක්‍ෂාවක්‌ ද සිදුවේ. පසුව පළපුරුදු අයෙකු විසින් ගොබය කපා ගැනේ. විසිරී නොයන පරිදි ගැට ගැසූ මෙම ගොබය ආරක්‍ෂිතව අවශ්‍ය ස්‌ථානය වෙත රැගෙන යාම සිදු වේ.

තල කූරු ඉවත් කිරීම

පිරිසිදු ආවරණයක්‌ මත තැබූ තල ගොබය පිරිසිදු රෙදි කඩකින් පිස මුවහත් පිහි උපයෝගී කරගෙන තල කොළයට හානි නොවන පරිදි කූරු ඉවත් කෙරෙයි. මෙහිදී සිදුවන තවත් කටයුත්තක්‌ නම් තල කොළයේ අග කුඩා සිදුරක්‌ සැකසීමය. එය තල කොළය වියළීමේදී උපකාරී වේ.

වට්‌ටු සැකසීම

කූරු ඉවත් කිරීමෙන් පසුව තල කොළ මනාලෙස හකුළා තල කොළ ගණනාවක්‌ එකමත එක තබා රෝලක්‌ ආකාරයට ක්‍රමවත් ක්‍රියාවලියක්‌ ඔස්‌සේ වට්‌ටු සැදීම සිදු කරයි.

තලකොළ තැම්බීම

වට්‌ටු සැදීමෙන් අනතුරුව තැම්බීම සිදු කරයි. මෙම තැම්බීමේ ක්‍රියාවලියේදී එම භාජනයට විවිධ බෙහෙත් වර්ග මිශ්‍ර කරනු ලබයි. එසේ යොදාගන්නා බෙහෙත් වර්ග ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌ වෙයි. එම බෙහෙත් ද්‍රව්‍යයන් කුඩා කැබලිවලට කපා වට්‌ටු එකිනෙක ඇසිරූ භාජනය තුළ හෙඳින් මිශ්‍ර වන පරිදි යොදනු ලබයි. අවශ්‍ය ප්‍රමාණයට ඇසිරූ වට්‌ටු මත ඒවා ජලයෙන් ඉහලට මතු නොවන ලෙස ලී කැබලි සිර කිරීම සාමාන්‍ය ක්‍රමයයි. මෙය අවශ්‍ය ප්‍රමාණයට තැම්බීමේදී පැය 2-3 ක්‌ මෙන්ම දිනයක්‌ වුවද ගතවිය හැකිය. තල කොළය පදම් වන ලෙස සුදුසු ප්‍රමාණයකට තැම්බීම ඉතා වැදගත්ය.

තල කොළ වියළීම

තල පත්‍ර නිසි පරිදි වියළීම සිදු නොවූ විට දුර්වර්ණ වී ඉවතට දැමීමටද සිදු විය හැකිය. එබැවින් හොඳින් හිරු එළිය ඇති දිනෙක සිදුරු කළ තල කොළ එකිනෙකට නොගැටෙන ලෙස මද පවනේ එල්ලා තබනු ලබයි. ඉන් පසුදින මද අව්වේද පසුව අලුයම මද පින්නේද නැවත මද අව්වේද වශයෙන් එය සිදු කෙරෙයි. මෙසේ පදම් වූ කොළ නැවත වතාවක්‌ වට්‌ටු වශයෙන් ඔතනු ලැබෙයි.

කොළ මැදීම

වියළා ගත් තල කොළ, සිරස්‌ අතට සිට වූ කණු දෙකක හරස්‌ අතට බැඳි පුවක්‌ කඳක්‌ හෝ එවැනි ලීයක තල කොළය තබා එක්‌ පැත්තකට ගඩොලක්‌ වැනි බරක්‌ බැඳ ප්‍රතිවිරුද්ධ කෙලවරින් හරස්‌ ලීයේ ඉහලට පහලට වාර කිහිපයක්‌ ප්‍රවේශම් සහිතව ඇදීමෙන් තල කොළය මැද ගැනීම සිදු කරයි.

නැවත වට්‌ටු සැදීම

මෙහිදී තල කොළ නැවත වරක්‌ වට්‌ටු සැදීම සිදු කරයි. අවශ්‍ය අවස්‌ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා මේවා සුරැකිව තබා ගැනෙයි. මේවා මදින ලද වට්‌ටු ලෙස හඳුන්වයි.

සිදුරු විදීම

සිදුරු විදීම සාම්ප්‍රදායික රීතියකට අනුව සිදු කරනු ලැබේ. තනි සිදුර හෝ සිදුරු දෙකක්‌ විදීම සාමාන්‍යයෙන් සිදුවේ. සුළි කැපීම ලෙස ද මෙය හඳුන්වයි. සිදුරු විදීමේදී ඒ සඳහාම සකස්‌ කරගන්නා යකඩ කූරකින් එය සිදු කරයි. එය සිදු කරන අයුරු ශ්ලෝකයකින් මෙසේ පැහැදිළි කෙරේ.

”අයමෙව චතුර්භාගං – ත්‍රිභාගං පුනරෙවච

උභයො සූත්‍ර මෙධ්‍යන – තථා කුර්යාත් – ජිලක්‍ෂණම්”

පුස්‌ කොළය කැපීමේදී ප්‍රථමයෙන් තුනටත් ඉන් පසුව හතරටත් නවා සටහන් වූ රේඛා අනුව දෙවනි තුන්වැනි රේඛා අතර සමාන දුරකින් මැදින් සිදුරු විදගත යුතුය.

කොළ කැපීම

පුස්‌කොළ පොතේ ස්‌වභාවය අනුව කපන කොළයේ ප්‍රමාණය තීරණය වේ. මේ සඳහා කොළ අච්චුව භාවිත කරයි. කොළ අච්චුව කිතුල් ලී හෝ වෙනත් ගණ ඇති දැවයකින් නිර්මාණය වූවකි. තලකොළ අච්චුවේ සිරකළ පසු තලපත්හි අනවශ්‍ය කොටස්‌ ඉවත් කිරීම සිදුවේ.

රත ගෑම

සිදුරු විද කපාගත් තල කොළයට මනා නිමාවක්‌ දීම සඳහා රත ගෑම සිදු කරයි. පත්තුළ නම් උපකරණයක්‌ මේ සඳහා භාවිත කරයි. ගිනියම් ලෙස රත් වූ එය කොළ සහිත අච්චුවේ දාරවල ඇතිල්ලීමෙන් අනවශ්‍ය කොටස්‌ පිළිස්‌සී යයි. තෙතමනයද වළක්‌වන අතර කෘමි හානි අවම කරමින් මනා නිමාවක්‌ද ලබා දෙයි.

පුස්‌කොළ ලිවීම

මෙම කාර්යයට පුස්‌කොළ ලේඛනය ලෙසද අකුරු කැපීම යනුවෙන්ද හැඳින්වෙයි. මෙය පුස්‌කොළ ලේඛන කලාව තුළ සිදුවන වැදගත්ම කාර්යයි. මෙහිදී පුස්‌කොළ පත් ඉරුවේ මතුපිට උල් කටුවකින් තදට අකුරු කපනු ඇත. එය එක්‌තරා විදියක අකුරු සීරීමේ විදියකි.

පුස්‌කොළ ලේඛනයෙහි රීතීන් හා ප්‍රයෝග

ලේඛන රීතීන් සහ ප්‍රයෝග පිළිබ`ද අවබෝධය පුස්‌කොළ ලේඛනයේදී ප්‍රධාන අවශ්‍යතාවක්‌ වේ. අක්‍ෂර මෙන්ම අක්‍ෂරවල හැඩය සහ ලේඛනයට අදාළ වචන ආදියේ ආවේණිකතා පිළිබ`ද විශේෂ අවධානය යොමු කළ යුතුය.

 

අකුරුවල හැඩය හා සම්මත ප්‍රමාණය

පුස්‌කොළ ලේඛනයේදී අක්‍ෂරවල විශාලFවය හා සමාන බවද අකුරු, වචන හා ඡේදවල පරතරයද සිත් ගන්නා වූ විවිධ අක්‍ෂර විලාශයන්ද වැනි කරුණු සුවිශේෂීය. ශ්ලෝකයකින් එබැව් මෙසේ පැහැදිළි කරනු ලබයි.

”සමානි සම පාදානි – සමාසොති සමං ශිරං
අක්‍ෂරාණි ප්‍රතිශ්ඨව්‍යං – මෘදුනි ලලිතානි ච”

අක්‍ෂරවල මෙන්ම ඉස්‌පිලි පාපිලිද සමාන බවින් යුක්‌ත විය යුතුය. මෙසේ ලියනු ලබන්නේ යම් තෙරපීමක්‌ සිදු කරමින්ය. එහිදී ලේඛකයා පුස්‌ කොළයේ ඇති ඉඩකඩ ප්‍රමාණය සැලකිල්ලට ගෙන ලිවිය හැකි පේළි ගණන හා අක්‍ෂරවල විශාලFවය තීරණය කළ යුතුය.

”වමේ සිට දකුණට එකම ශෛලියට ලිවීමත්, ඒ ඒ අක්‍ෂරයන්ට අයත් සියළුම අංග ඊට එකතු කිරීමටත් සෑම අකුරක්‌ම සමමිතිකව ලිවීමටත් ලේඛකයා ප්‍රවේශම් විය යුතුය. එසේම ඒ ඒ අකුරු පේළි අතර තිබිය යුතු ඉඩ ප්‍රමාණය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය.”

හැඩය අනුව අක්‍ෂර වර්ග සතරකි. ඒ සිංහ ශෛලිය, හස්‌ථි ශෛලිය, හංස ශෛලිය, කාක ශෛලිය වශයෙනි. මුලකුරු, ගජකුරු, සිහකුරු ලෙස තෙවදෑරුම් බෙදීමක්‌ ද දක්‌නට ලැබෙයි.

පත් ඉරු අංකනය හා ආශිර්වාද පාඨය

පුස්‌කොළ පොතක සෑම පත් ඉරුවක්‌ම පිළිගත් සම්මුතියකට අනුව අංකනය කරනු ලැබේ. මිශ්‍ර සිංහල හෝඩියේ ස්‌වර 16 ත් ව්‍යඤaජන 34 ද විසර්ගය හා අනුස්‌වාරය ද ඇතුළුව අක්‍ෂර 544 ක්‌ මේ සඳහා භාවිත කර ගනී. පත් ඉරු 544 ඉක්‌මවා යන විට නැවත ආරම්භ වන ‘ක’ අක්‍ෂරය මුලට ‘ද්වෙ’ යන්න යෙදෙයි. මෙය පත් ඉරුවේ වෙන් කළ කුඩා තීරුවක සටහන් කෙරෙයි.

ආශිර්වාද පාඨයකින් පුස්‌කොළ පොත් ආරම්භය බොහෝ විට සිදුවෙයි. එය අවසානයේද දක්‌නට ඇත. එසේ භාවිත වන ආශිර්වාද පාඨ අතර ‘ස්‌වස්‌ථි සිද්ධම්’, ‘ස්‌වස්‌ථි’, ‘ආරෝග්‍යමස්‌තු’,’සු‚මස්‌තු’ වශයෙන් විය හැකිය. එසේම මුල් පත් ඉරුවේ හෝ අවසන් පත් ඉරුවේ ශක වර්ෂ, බුද්ධ වර්ෂ හෝ ක්‍රිස්‌තු වර්ෂ දැක්‌වීමත් ලියන පුද්ගලයාගේ නම හා බරපැන දරන්නාගේ නම සඳහන් කිරීමද සාමාන්‍ය චාරිත්‍රයයි.

කුණ්‌ඩලය භාවිත කිරීම

සාමාන්‍ය ලේඛන ව්‍යවහාරයේ නැවතීමේ තිත යෙදුණ ද පුස්‌කොළ ලේඛනයේ දී භාවිත කරනුයේ කුණ්‌ඩලය යි. ‘පසර් ගැටය’ ලෙසද මෙය හැ`දින්වේ. කුණ්‌ඩලය, ලේඛන ශෛලිය හා උපයෝගිතාව අනූව යෝජනය වන වාර ගණන හා ස්‌වභාවය විසදෘශ වේ. එය ඒකකුණ්‌ඩල, ද්විකුණ්‌ඩල හා ත්‍රිකුණ්‌ඩල ලෙස සංලක්‍ෂණය වේ. ඡේදාග්‍රයේ ඒකකුණ්‌ඩලයක්‌ ද පෙළෙහි යමක්‌ සමාලෝචනයේ දී ද්විකුණ්‌ඩලයක්‌ ද කොටසක්‌ ප්‍රචුර ලෙස සවිස්‌තර කිරීමේ දී ත්‍රිකුණ්‌ඩලයක්‌ ද වශයෙන් යෝජිත වේ. එමෙන්ම පරිච්ඡේදයක්‌ අවසානයේදී ද්විකුණ්‌ඩල ද්විකයක්‌ ද ඡේදයක්‌ පුනරුක්‌ත කිරීමේ දී කුණ්‌ඩල පාර්ශද්වයෙන් කුණ්‌ඩලයන් හා මධ්‍යයෙන් පෙයියාලමක්‌ ද ජන වේ. කුණ්‌ඩල භාවිතය සිද්ධ වනුයේ පන්හිෙ`දන් පුස්‌කොළයෙහි තිතක්‌ තැබීමට අපහසු නිසා විය යුතු ය.

පෙයියාලම භාවිතය

පෙයියාලම වැඩි වශයෙන් බෞද්ධ සූත්‍ර පුස්‌කොළ පොත්වල යෙදෙයි. මෙය යෙදෙනුයේ සමාන වචන දිගින් දිගටම ලිවීම අත් හැරීමට ය. පාර්ශද්වයෙන් කුණ්‌ඩලයන් හා මධ්‍යයෙන් ‘පෙ’ අකුර සටහන් කිරීම මෙහි දී සිද්ධ වේ. ආදි පෙයියාලම, මධ්‍ය පෙයියාලම, අන්ත පෙයියාලම, සර්ව පෙයියාලම ලෙස එය යෙදෙන ස්‌ථාන අනුව වර්ගීකරණය වෙයි.

අඩු අකුරු හෝ වචන දැක්‌වීම

පුස්‌ කොළයේ අකුරු පේළිවල ප්‍රධාන අක්‍ෂර පේළියට මව් පෙළ ලෙස ව්‍යවහාර කරයි. අක්‍ෂරයක්‌ වචනයක්‌ හෝ වචන පෙළක්‌ පසුව එකතු කිරීමකදී මව් පෙළට ඉහලින් කුඩාවට ලියන අතර එය කාක පාදයක්‌ ඇසුරෙන් දක්‌වයි. එම පෙළ දරු පෙළ ලෙස හඳුන්වනු ලැබෙයි. අකුරක්‌ වැරදුනු අවස්‌ථාවක එය ඉරි කැබලි දෙකකින් කපා දමනු ලබයි. පසුව එම අක්‍ෂරය නැවත නිවැරදි ලෙස ලියනු ලැබෙයි. මීට අමතරව පුස්‌කොළ ලේඛනයේදී බොහෝ විට හල් අකුරු නොලියා බැඳි අක්‍ෂර භාවිතය සිදුවේ.

පුස්‌කොළ පොත හා සම්බන්ධ අනෙකුත් දෑ

පොත් කම්බාරි පුස්‌කොළ පොතක නිමාව විචිත්‍රවත් වන්නේ කම්බා යුගලයෙනි. පිට කවරයක්‌ ලෙසට භාවිත වන එය පුස්‌කොළ පොතට අලංකාරයක්‌ සේම ආරක්‍ෂාවක්‌ද සපයයි. මේ සඳහා බොහෝවිට දැව භාවිත කළද සතුන්ගේ හම්, ඇත් දත්, රන්, රිදී, පිත්තල, වැනි ද්‍රව්‍යයන්ගෙන්ද නිර්මාණය වනු දක්‌නට ලැබෙයි. පාරම්පරික මෝස්‌තර, කැටයම්, සැරසිලිs ක්‍රම සහ වර්ණ ගැන්වූ විචිත්‍රවත් චිත්‍රවලින් පොත් කම්බාව අලංකාර වනු දක්‌නට ලැබෙයි. එසේම සමහර පුස්‌තකයන්හි වටිනා මැණික්‌ වර්ග ඔබ්බවා කළ කම්බාවන්ගෙන් ඒ ඒ පොත්වල වටිනාකම තීව්‍ර කිරීමට ශිල්පීහු උත්සාහ කළ බවක්‌ද පෙනෙයි.

සකියා – පොත් හුය ගැලවී විසිවී යාමෙන් වළක්‌වා ගැනීමටද පොත බැඳීමේදී තර කොට බැඳීමටද සකියා උපකාරී වෙයි. තඹ, පිත්තල, රන්, රිදී, ලෝකඩ, ඇත්දත්, සත්ව අං ආදී විවිධ ද්‍රව්‍යයන්ගෙන් එය නිර්මාණය වෙයි.

පොත් හුය – කම්බා දෙක අතරට මැදි වූ පුස්‌කොළ ගොන්න විසිරී නොයන පරිදි තදකොට බැඳ තිබෙන ලණුව පොත් හුය ලෙස හැඳින්වේ. එය බොහෝවිට විවිධ වර්ණ ගන්වා ඇත.

පන්හිඳ – පුස්‌කොළ ලිවීමේදී ඒ සඳහා පන්හිඳක්‌ අවශ්‍යය. එය දිගින් ද හැඩයෙන් හා බරින් ද අඩු වැඩි නොවන සේ අතටත් ලිවීමටත් පහසු වන පරිදි සැකසී තිබිය යුතුය. සාමාන්‍ය පන්හිඳක ඡත්‍රය, පත්‍රය, නළය, ගණ්‌ඩය, ලේඛනීය ලෙස කොටස්‌ පහක්‌ දක්‌නට ලැබෙයි. ලේඛනීයේ අග වානයෙන් කළ තියුණු තුඩකි. එය වටිනාකම අනුව රන්, රිදී, තඹ හෝ පිත්තලවලින් නිමවා තිබිය හැකිය.

පුස්‌කොළ පොත්වලට සිදු වියහැකි හානි හා සංරක්‍ෂණ ක්‍රමවේද

ස්‌වාභාවික අමු ද්‍රව්‍යයක්‌ වීම නිසාවෙන් පුස්‌කොළ ඉක්‌මනින් විනාශ විය හැකිය. ඒ ස`දහා බලපානු ලබන ප්‍රධානම සාධක වනුයේ පාරිසරික බලපෑම් සහ මානව ක්‍රියාවන්ය. කාබන්, හයිඩ්‍රජන් හා ඔක්‍ෂිජන් යන සංයුතිවලින් සෑදුණු තල පත්‍රයන්ගේ විධිමත් සංරක්‍ෂණය උදෙසා විවිධ ක්‍රමවේද භාවිත කළ යුතු වේ.

වසරකට වරක්‌ කළු මැදීම, පුස්‌කොළ පත්‍ර අතර දුම්මල තෙල් ආලේප කර පිසදා මද අව්වේ වියළීම, පැ`ගිරි තෙල් ආලේපනය වැනි සාම්ප්‍රදායික ක්‍රම ඔස්‌සේ සංරක්‍ෂණ ක්‍රම අනුගමනය කළ හැකිය. වර්තමානයේ නූතන විද්‍යාත්මක ක්‍රමයන්ද භාවිතයට ගනු ලබනු පෙනේ.

කෙසේ උවද මෙම මහගු දායාදය රැක ගැනීම අපසතු වගකීමක් බව මැනවින් අවබෝධ කරගත යුතු වේ …

වසර 2000කට වඩා ඉපැරණි "හරබර" වැව ...
සොබා දහමට බැඳුණු එදා ගොවිතැන ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.