ස්වර්ණමාලී දෙවගන වූ ගාඩි වංශයේ නායිකාව …

දේවානම්පියතිස්ස මහ රජතුමා බෞද්ධයකු වීම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හේතුවක් වූ බව පුරාණ කතා ඇසුරේදී පෙනීයයි. එතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් දහම් අසා ධර්මාවබෝධය ලැබුවා පමණක් නොව ලක්දිව සෑම දෙසම වෙහෙර විහාර කරවන්නටද මූලික විය. ථූපාරාමය ඉදිකිරීම මෙන්ම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රෝපණයද සිද්ධ වූයේ දේවානම්පියතිස්ස රජ දවස මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදිය.
අනුරාධපුරයේ අටමස්ථාන වලින් ඉතිරිය ඉදිවුයේ ඉන් සියවස් ගණනකට පසුවය. නමුත් අනුරාධපුරයේ අටමස්ථානය ඉදිවන තැන් මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට පෙන්වා වදාළහ. මේ පුවත පුරාණ ලේඛනවල සඳහන් වේ.
මිහිඳු මහරහතන් වහන්සේ සමන් මල් මිටක් දෝතට ගෙන අහසට විසි කළහ.

මහරජ මේ සමන් මල් මිට අහසේදීම අට කොටසකට බෙදී අනුරාධපුරයේ අට තැනෙක පතිත වන්නේය. ඒ වනාහි මතු රුවන්වැලි මහාසෑය, මිරිසවැටිය, ථූපාරාමය, අභයගිරිය ආදී වූ අටමස්ථානය ඉදිවන තැන්ය.


ඒ අනුව අනුරාධපුර අටමස්ථානය ඉදිවුයේ එදා මිහිඳු මහ රහතන් වහන්සේ පෙන්වා වදාළ ස්ථානවල බව කියැවේ.
මේ සිදුවීමෙන් වසර ගණනකට පසුව දුටුගැමුණු මහ රජතුමා අනුරාධපුරයේ රජවිය. එතුමාට රාජ්‍ය බලය ලබාගැනීමට එළාර නම් ද්‍රවිඩ රජකු සමග විශාල සටනක් කරන්නට සිදුවිය. සටනින් ‘දුටුගැමුණු’ ජය ලැබීය. එතුමා තුන් සිංහලය එක්සත් කිරීමෙන් පසු ඊළඟට කළ දැවැන්තම කාර්ය වූයේ රුවන්මැලි මහා සෑ චෛත්‍ය කර්මාන්තයයි.
චෛත්‍යය හැකි තාක් විශාලව සිදු කිරීම දුටුගැමුණු රජතුමාගේ අදහස විය. එතුමා රිදී නගුලක් ගෙන ස්තූපය බැඳීමේ සීමාව ලකුණු කළේය. ඒ, ප්‍රමාණය අති විශාල වූවකි.
‘රජතුමාගේ ජීවිත කාලය තුළ මේ ඉදිකිරීම් නිමාකළ නොහැකියි’…. එදෙස බලා සිටි ඍධිමත් සිද්ධාර්ථ නම් රහතන් වහන්සේ තීරණය කළහ.
‘රජතුමනි ඔබට චෛත්‍යය කළ හැකි සීමාව මා පෙන්වන්නම් ’ යනුවෙන් පවසා සිද්ධාර්ථ රහතන් වහන්සේ මහ සෑයේ ප්‍රමාණය ලකුණු කළහ.
එතැනින් පසු රජතුමාට ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් මතු විය.
මහ සෑය ඉදිකිරීමට වෙන්වූ භූමියේ විශාල තෙළඹු ගසක් තිබෙයි. මේ ගස චෛත්‍ය කර්මාන්තය සඳහා කැපිය යුතුම වේ. මේ වෙලේ තෙළඹු ගසට අධිගෘහිත දේවතාවියක් පෙනී සිට, ‘ මහ රජ … මේ ගස කැපීමට මා විරුද්ධය. මේ මගේ වාස භවනයි. ඔබේ කටයුත්තට වෙනත් ස්ථානයක් තෝරා ගන්න’…. යි ප්‍රකාශ කළාය.

දේවතාවිය, අපි මේ කරන්නේ සම්බුද්ධ ශාසනයට උතුම් සේවයක්. මහා සෑය කිරීමට අතීතයේ මහරහතන් වහන්සේ පවා පෙන්වා වදාළ ස්ථානය මෙතැනයි… ඔබ අපට ඉඩ දෙන්න….’ රජතුමා ඉල්ලා සිටියේය.
රජතුමා කී දෙය අසා සිටි දෙවඟන, හොඳයි… මා වෙනුවෙන් යමක් ඔබට කළ හැකිද? යි විමසා සිටියාය.
‘එසේය….. දේවතාවිය’
‘එහෙනම් මහරජ මගේ නම ස්වර්ණමාලී….. රත්නමාලී කියලත් කියනවා. ඔබ කරවන මහ සෑයට මගේ නම තබන්න. එය කළ හැකිද?
රජතුමා මහ සෑයට ස්වර්ණමාලී නම තැබීමට කැමැති විය. රුවන්වැලි මහා සෑයට රත්නමාලී හා ස්වර්ණමාලි නාමය වැටුණේ මේ සිදුවීම මුල් කරගෙනයි.
එදා වූ මේ සිදුවීම ස්වර්ණමාලී දෙවඟනට තවමත් දවසක් දෙකක් වැනි පුංචි කාලයක් විය හැකියි. ඇයගේ වෘක්‍ෂ දේව ආත්මයේ ආශිර්වාදය තවමත් ස්වර්ණමාලී මහා සෑයට නොමඳව ලැබෙනවා ඇති. ස්වර්ණමාලි සෑයට කරන පින්කම්වලට ස්වර්ණමාලී දෙවඟන අදටත් උදව් උපකාර කරනවා ඇති.
මේ ස්වර්ණමාලී දෙවඟන පිළිබඳව ජනශ්‍රැති පර්යේෂක මාමිණියාවේ ඉලංගසිංහ මහතා අපට තවත් අදහසක් එකතු කළේය.ckick
‘මහත්තයො ඔය රන් තෙළඹු ගහේ කතාවට අනුව ස්වර්ණමාලී කියලා දේවතාවියක් රුවන්වැලි සෑය හදපු ස්ථානයේ වැඩ හිටියා කියනවනේ. ඒ කතාවට තවත් බොහෝම දීර්ඝ ඉතිහාසයකට ගියොත් අනුරාධපුර නගරය මැනවින් ගොඩනැගුවේ පණ්ඩුකාභය රජතුමා. ඒ කාලේ අනුරාධපුර නගරයේ පිරිසිදු කිරීම් කටයුතුවලට කසළ ශෝධකයෝ 500 ක් නවත්වලා තියෙන්නේ ඔය ස්වර්ණමාලී දෙවඟන හිටපු ප්‍රදේශයේ. ඒ කසළ ශෝධකයන් සියලු දෙනාම ‘ගාඩි මිනිස්සු’ අපි දැනට විශ්වාස කරන හැටියට මේ ගාඩි මිනිසුන්ගේ ප්‍රධානියා හැටියට හිටපු කෙනා තමයි ස්වර්ණමාලී (රත්නමාලී) කියන කාන්තාව.

රත්නවල්ලී කියලත් ඇයට කියනවා. ඇය මරණින් මතු දේව ආත්මයක් ලබා මේ ගාඩි ජනතාව අතරම ඉපදුණා කියලා ජනප්‍රවාදයේ විශ්වාස කරනවා. ඇය දේව ආත්මය ලැබුවේ ගාඩි ජනපදයේ තිබුණු තෙලඹු ගසක භූමාටු දෙවඟනක් ලෙස. ඉතින් මේ ගාඩි ජනතාව තමන්ගේ නායිකාව ලෙස සලකා ඇයට වැඳුම් පිඳුම් කරලා තියෙනවා.

පණ්ඩුකාභය රජ සමය කියන්නෙ ලංකාවට බුදුදහම ලැබෙන්න පෙර ප්‍රාග් බෞද්ධ සමය. ඒ කාලේ පර්වත වන්දනාව, වෘක්ෂ වන්දනාව, දේව ඇදහිලි, යක්‍ෂ ඇදහිලි, තිබුණා කියනවානේ. කාලවේල චිත්තරාජ වැනි යක්‍ෂයන්ට පවා දේවාල කළ යුගයක්. නාගයන් ඇදහුවා. තාපස ආරාම තිබුණා. ඒ කාලේ රත්නවල්ලි කාන්තාව මරණින් මතු දේවත්වයට පත් කිරීම තුළ ගාඩි ජනයා වැරදි නෑ. ඔවුන්ගේ නායිකාව හැටියට මේ රත්නවල්ලි විවිධ අවස්ථාවල කතා කරන්න ඇති. කසළ ශෝධකයන්ගේ ප්‍රශ්න විසඳල දෙන්න ඇති. ගාඩි ජනතාවගේ දුකට සැපට පිහිට වෙන්න ඇති. ඒ අනුව ඇය මරණයෙන් පසු තෙළඹු ගහේ දේවතාවියක් වූ බව ගාඩි ජනයා ගැඹුරින් විශ්වාස කළා.
ඉහත මතය ප්‍රවාද ගත මතයක් වුණත් තර්කානුසාරයෙන් ස්වර්ණමාලී දේවතා ඉතිහාස අධ්‍යයනයට තවත් අපූරු අදහසකි. ඒ අනුව ස්වර්ණමාලී දේවතාවිය රුවන්වැලි සෑ බිමේ වැඩ සිටින්නේ මෙරට ප්‍රාග් බෞද්ධ යුගයේ සිටය. මේ අනුව ඇය දෙවඟනක වුවද, මුල් අවධියේ බුදුන් සරණ ගිය දෙවඟනක ලෙස නොපෙනේ. ඇය බුදුන් සරණ ගොස් සිටියා නම් මහ සෑ කර්මාන්තයට ස්ථානය ලබා දීමේදි පැකිළෙන්නේ නැත. නමුත් මහ සෑ කර්මාන්තයෙන් පසු මේ ස්වර්ණමාලිනිය බෞද්ධ දෙවඟනක් හැටියට මහ සෑයටත් සැදැහැවතුන්ටත් බොහෝ උපකාර කරන බවට නම් අවිශ්වාසයක් නැත.
ඒ අනුව ස්වර්ණමාලී චෛත්‍ය වන්දනාව යනු එක් අතෙකින් ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතුන්ට කරන බුද්ධ වන්දනාවකි. තවත් අතෙකින් මහානුභාව සම්පන්න ස්වර්ණමාලී දෙවඟනට කරන ගෞරවයකි. එබැවින් මහ සෑ වන්දනාවෙන් පසු ස්වර්ණමාලි දෙවඟනට පින්දීම වැදගත් කාරණයක් හැටියට තතු දන්නෝ අදහති.
ඉලංගසිංහ  මහතා අපට තවත් තොරතුරක් මතක් කළේය.
අපේ අත්තප්පල හිටපු කාලේ මළුවේ විශාල කෝන් ගහක් තිබිල තියෙනවා. ඒ කාලේ සති පිරිත් පින්කම අහන්න ආපු සෙනඟ මේ කෝන් ගහටත් වඳිනවාලු. එතැන දේව රූප තියලා කෝන් ගහේ භූමාටු දෙවිවරු වැඩ හිඳිනවා කියන විශ්වාසය තිබිල තියෙනවා. අද මේ කෝන් ගහ නෑ. නමුත් රුවන්වැලි සෑයේ ආරක්‍ෂාවට භූමාටු දෙවිවරු එදත් ඒ අවට විමාන තනාගෙන හිටියා කියලා අත්තප්පල කිවුවා. ඒ අය මේ කෝන් ගහට දෙවිවරු වඩිනවා දැකලත් තියෙනවා. එවැනි භූමාටු දේව විමාන තමත් රුවන්වැලි සෑය අවට ඇති කියන එක නම් අමතක නොකළ යුතුයි.                            61
සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට එදා බුදු රජාණන් වහන්සේගෙන් බණ ඇසූ දෙවිවරුන්ට මහ රහත් උතුමන්ගෙන් බණ ඇසු දෙවිවරුන්ට දිව්‍ය ආයුෂයට අනුව එදා මෙදා කාලය ඉතාම සුළු කාලයකි. පිනට දහමට ප්‍රිය දෙවිවරුන්  බණ ඇසීමට කැමැති දෙවිවරු බුද්ධ කාලයේත් ආරාම අසළ විමාන තනා ගෙන සිටි බව පැරණි කතා තුළදී බොහෝ හමුවේ.
ඒ අනුව ස්වර්ණමාලී මහා චෛත්‍ය අසල සිදුවන පින්කම් දැක බලා ගන්නට, ඒවාට සහභාගී වන්නට, ආශිර්වාදය පිහිට ලබා දෙන්නට, එහි සිදුවන පිරිත් දේශනා, ධර්ම දේශනා අසන්නට දෙවිවරු ප්‍රිය සිතින් මහා සෑ මළුව අවට ගස්වල වැඩ වසන බව සිතිය හැකිය.
අනුරාධපුර පූජා නගරයේ වෙසෙන ඇතැම්හු පූජා භූමියේ පැරණි ගස්වලට රාත්‍රී කාලයේ අහසින් ඇවිත් නොපෙනී යන විවිධ ආලෝක ධාරා දැක ඇත.
ඒවා දකින සමහරුන් වෘක්‍ෂ දෙවියන් යැයි සිතා වඳින පුදන ගස් අනුරාධපුර නගරයේ බොහෝ ඇත. විශේෂයෙන් දේව රූප තබාගෙන වන්දනීය පූජනීයත්වයක් ගහට ආරෝපණය කර, ඒ අසල පඬුරු ගැට ගසා, දේව කන්නලවු කර, දෙවියන්ට, ආහාර පුදා දෙවියන්ගෙන් යහපත, පිහිට ඉල්ලා සිටින වෘක්ෂ වන්දනා ස්ථාන අනුරාධපුරයේ සුලබය. ඉන් සමහරක් රුවන්වැලි සෑය, මහ බෝ අවටද වෙයි.
කෙසේවෙතත් අනුරාධපුර ජනයා වෘක්ෂ දේව වන්දනාව දැඩිව හුරු පිරිසක් වුයේ කෙසේද යන්න ගැඹුරු විමර්ශනයක් තුළින් සොයා බැලිය යුතුය.
රජරට ජනතාව මහසෑය මහ බෝ ආදී පූජනීය ස්ථානවලට කරන වන්දනාමානවලට අමතරව ජලය – වෘක්ෂ ආදී බොහෝ දේටද දේවත්වයෙන් වඳිති, පුදති.
ඒවා ඔවුන්ගේ ජීවන දර්ශනය තුළට ආවේ කෙසේද ?  දේවත්වයන් ආරෝපණය වූයේ කෙසේද ? මෙවැනි දේ පුළුල් විශ්ලේෂණයන් තුළ අප සොයා යා යුතු කරුණු වේ.

ලංකාදීප ඇසුරිනි …

ශ්‍රී දළදා වහන්සේ ගැන ඔබ නොදත් කථා ...
රුවන්වැලි සෑයෙන් හෙළි වන ලොව පැරණිම අකුණු තාක්ෂනය ..

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.