සසුන රැකීමට වහ වහා කළ යුතු දෑ ... - IFBC Organization | Dhamma

බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහිත් හාසනාර්බුද ඇති විය. එයින් මහාජන උද්ඝෝෂණ ද පැනැනැංගේ ය. එහෙත් එ දා මහාජනය උද්ඝෝෂණ කෙළේ පුද්ගලයාට වි‍රුද්ධ වැ නො වැ, කාරණයට විරුද්ධ වැ යි. එයට ඇහුම් කන් දුන් බුදුරජාණන් වහන්සේ සුදුසු පරිදි ශික්‍ෂාපද පනවා වදාළ සේක. රහතන් වහන්සේ ගේ කාලයෙහිත් ඊට පසු කාලවලත් ශාසනාර්බුද ඇති විය. ඒ හැම අවස්ථාවෙක ම ඒ ඒ කාලවල රජවරුන් ඉදිරිපත් වී මහා සංඝයා වහන්සේ ගේ අනුශාසනා ලබාගෙනැ ශාසන ශෝධනය කළ බව ඉතිහාසයෙන් පෙනේ.

බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා ගේ මරණය සිදු වූ ආකාරයෙන් ද ලංකා බුද්ධශාසනය පිළිබඳ අර්බුදයක් ඇති විය. පෙරැ මෙන් මෙ බඳු අවස්ථාවෙක ඉදිරිපත් වීමට අපට රජෙක් නැත. බෞද්ධ රාජ්‍යයක් ද නැත. එ හෙයින් ශාසනය ආරක්‍ෂා කැරැගත යුත්තේ බෞද්ධයන් වන අප ගිහි-පැවිදි දෙ පක්‍ෂය විසින් මැ ය. එහෙත් රජයේ උපකාරය නැති වැ එය කැරැගත නොහැකි ය. ශාසනාරක්‍ෂාව බෞද්ධයා විසින් කැරැගන්නවා විනා රජයේ ආධාර කුමට දැ යි ඇතැමුන් අසන්නට පිළිවන. ලංකා ඉතිහාසයත් ශාසන ඉතිහාසයත් හොඳින් කියව‍ා බලන කෙනෙකුට රජයේ ආධාර නැති වැ රහතන් වහන්සේලාට වත් ශාසනාර්බුද සංසිඳුවාගන්නට ‍නොහැකි වූ බව මැනැවින් වැටැහෙනුවා ඇත.

පූර්වයෙහි රජවරුන් ගේ ආධාර ඇති වැ මනා සවිධානයෙකින් යුතු වැ පාලනය වුණු ලංකා ශාසනය විදේශීන් ගේ පැමිණීමෙන් පසු නොයෙක් කරදරවලට භාජන විය. විදේශීය පාලකයන් ද මිෂනාරීන් ද ලංකා බුද්ධශාසනය විනාශ කරන්නට දන්නා තරම් දේ කළ ද බුද්ධ ශාසනයෙහි ඇති ධර්මශක්තිය නිසා විනාශ කැරැගත නොහැකි විය. නොයෙක් තාඩන පීඩනයන් ගෙන් ද අයුතු අසාධාරණකම්වලින් ද මිරිකී සිටි බෞද්ධයා නැවැතත් පණ ගසා එන්නට වී ය. බුද්ධාගමයේ හතුරන් දුර්මුඛ වැ බලා සිටිය දී බුද්ධශාසනය නැවැතත් බැබැළෙන්නට විය. එහෙත් ක්‍රමවත් සංවිධානයක් නැති වූ හෙයින් බෞද්ධ කටයුතු අස්ථිර විය. පිළිවෙළකට ‍නො වීය.

බෞද්ධ රජවරුන් සිටින සියම, කාම්බෝජ ලාව යන රටවල ඒ රජවරුන් ගේ සම්පූර්ණ සහයෝගය ඇති වැ ශාසනික කටයුතු මැනැවින් සිදු වෙයි. එ හෙයින් ඒ රටවලට ද බෞද්ධාගමයේ සතුරන් අධ්‍යාපන දීම් ආදි නොයෙක් කුටෝපක්‍රමයන් යෙදු නමුත් බෞද්ධ තත්ත්වය ළිහිල් කළ නොහැකි විය. ඒ හෙයින් සියම් ජාතිකයන් ගෙන් සියයට අනූපහක් මැ බෞද්ධයෝ වෙති. කාම්බෝජ ජාතිකයන්‍ ගෙන් සියයට අනූනවයක් පමණ මැ බෞද්ධයෝ වෙති. එයිනුදු සියමෙහි පවත්නා පාලන සංවිධානය කොතරම් ප්‍රබල දැයි කිව හොත් එය සංඝ පාර්ලිමේන්තුවක් යැ යි කිව යුතු ය. එහි නිකාය දෙකක් ඇතත් වෙන් වැ කටයුතු කරන්නේ විනය කර්මවල දී පමණ ය. දෙ ලක්‍ෂයටත් අධික වූ භික්ෂූන් වහන්සේ ගේ පාලනය ඉතා මනහර ය. සාංඝික දේපළ පාලනය ඉතා ක්‍රමවත් ය. සංඝාධිකරණය ඇතත් මාසයකට නඩුවක් වත් නැති තරම් ය යි කිව යුතු ය. ලාවා, කාම්බෝජ දෙ රට ද සියම අනුගමනය කෙරෙමින් ශාසන මණ්ඩල මනා කොට පිහිටුවාගෙනැ තිබේ. බුරුමයෙහි ද ශාසන මණ්ඩලය පිළියෙළ කැරැගෙන යන බව දැනගන්නට ලැබිණ.

ලංකාවෙහි ද ශාසන සංවිධානයක් ඇති කළ යුතු ය යි ගිහි පැවිදි උගතුන් විසින් කල්පනා කොට බොහෝ කාලයක් ගත විය. ලංකාවට නිදහස ලැබුණු පසු ද ශාසන සංවිධානයක් ගැන කරන ලද ඉල්ලීම් පාලක පක්‍ෂයේ සැලැකිල්ලට යොමු නො වී ය. එහෙත් ශාසනාරක්‍ෂාව ගැන හිතූ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා ශාසන සංවිධානයක් ඇති කිරී සදහා ‘බුද්ධශාසන කොමිෂන් සභාව’ පත් කරන ලදි.

බුද්ධශාසන කොමිෂන් සභාව දෑවුරුද්දක් මුළුල්ලෙහි කටයුතු කෙරෙමින් ඓතිහාසික තොරතුරු ද සොයා ගිහි – පැවිදි බෞද්ධ මතය ද විමසා බුරුම, සියම, කාම්බෝජ, ලාව ආදී බෞද්ධ රටවල ශාසනික කටයුතු ද පරීක්‍ෂා කොට බලා ශාසනාරක්‍ෂාව සඳහා සුදුසු යෝජනා සහිත වාර්තාව අග්‍රාණ්ඩුකාර තුමාට බාර දෙන ලදි.

අවුරුදු දෙ දහස් පන්සියයකටත් වැඩි කාලයක් ශාසනාරක්‍ෂවෙහි ද ශාසනය බැබැළවීමෙහි ද පුරෝගාමි වූ ගරුතර මහාසංඝයා වහන්සේ මතු ශාසනාරක්‍ෂව සඳහා මේ, ඉතා සැලැකිල්ලෙන් ක්‍රියා කළ යුතු අවස්ථාව යි. මෙ ම වාර්තාව කියවා බලන්නේ නම් මැනැවි. එ විට එහි ඇති සාධාරණ භාවයත් කාලෝචිත භාවයත් හොඳින් වැටැහෙනවා ඇත. නියම සංවිධානයක් නොතුබුණු හෙයින් භික්ෂූන් වන අප අතර නොයෙක් අඩුපාඩු ඇති බව නොරහසෙකි. එහෙත් යම් යම් දෙනා කියන ආකාරයට එක වරට ම ඒවා ගසා වසා මකාදැමීම අපහසු ය. එ හෙයින් ශාසනය යථා තත්ත්වයට ක්‍රමයෙන් පැමිණෙන ලෙසට යෝජනා සකස් කැරැ ඇති බව වැටැහෙනුවා ඇත.

නිකාය පාලනය ක්‍රමවත් වීම අත්‍යවශ ය. එහෙත් එය ඒ ඒ නිකායවල මහානායක මහ තෙරුන් වහන්සේලා විසින් මැ කැරගත යුතු බව ප්‍රකාශ වී ඇත. එ හෙයින් ආණ්ඩු පනතේ තිබෙනවා යයි කියන 29 වැනි වගන්තියෙන් ශාසන මණ්ඩලය පිහිටුවීමට කිසිම බාධාවක් නැත. එ කී වගන්තිය නිසා ලංකාවට ලැබුණු නිදහසෙන් අර්ධයක් නැති වූ බව උගත්තු කියති. එය බුද්ධාගමයේ ආරක්‍ෂාවට පනවන ලද්දක් නො වේ. බුද්ධාගමයේ හතුරන්ගේ ආරක්‍ෂාවට පනවාගන්නා ලද්දෙකි. ශාසන වාර්තාවෙහි යෝජනා කැරැ තිබෙන්නේ පොදු ශාසන මණ්ඩල යෙකි, ඉතා ප්‍රබල සංවිධානයෙකි. ලංකාවෙහි සියලු මැ බෞද්ධයන් එක් වැ සංවිධානයකට ඇතුළත් වීමෙකි. මෙයින් බුද්ධාගම විනාශ කරන්නට සුදානම් වන්නවුනට මේ ලංකාවෙහි තැනක් නැති වන්නේ ය. මෙයට ඇහුම්කන් නොදෙන රජයක් කවර දාක වත් මේ රටේ ඇති නොවන්නේ ය.

දැනට නිකාය සංඝාධිකරණ ඇතත් එයින් වැඩක් සිදු වන බවක් පෙනෙන්නට නැත. නොයෙක් කරදර හිරිහැර නින්දා ලබමින් ඉතා අකැමැත්තෙන් වුවද භික්‍ෂූනට උසාවි යන්නට සිදු වී තිබෙන්නේ එ හෙයිනි. ශාසන වාර්තාව යෝජනා කරන්නේ නිකාය සංඝාධිකරණ ක්‍රමවත් කැරැගන්නා අතර පොදු සංඝාධිකරණ පිහිටුවීම යි. එ හෙයින් භික්‍ෂූන් වහන්සේට නො කිය හැකි තරම් සැනැසිල්ලක් ලැබෙනුවා ඇත.

භික්‍ෂු අධ්‍යාපනය තව මත් නියම තත්ත්වයට පැමිණ නැත. ඉගෙන ගන්නා භික්‍ෂූනට පහසුකම් ඇත්තේ මැ නැතැයි කිව යුතු කරම් ය. නිකාය කොපමණ සංවිධාන කළත් ඉගෙන ගන්නා භික්ෂූන් හට අවශ්‍ය පහසුකම් ඒ ඒ නිකායවලින් සැලැසේ යැ යි සිතීම අපහසු ය. ශාසන වාර්තාව භික්ෂූන් වහන්සේ සඳහා ඉතා අගේ ඇති අධ්‍යාපන ක්‍රමයක් යෝජනා කැරැ තිබෙන අතර මැ ඉගෙන ගන්නා භික්‍ෂූන් ගේ පහසුකම් ද සලසා දිය යුතු බව යෝජනා කරයි. දහසක් කරදර මධ්‍යයෙහි ඉගෙන ගන්නා භික්‍ෂූන් වහන්සේට ශාසන මණ්ඩලය පිහිටුවීමෙන් මහත් සැනැසිල්ලක් ලැබෙනුවා ඇත.

ගරුතර මහා සංඝයා වහන්ස, ශාසනාරක්‍ෂාව සඳහා ඉදිරිපත් වන සේක් වා! කැරැගෙන ආ පිළිවෙත වෙනස් වී අලුත් මඟකට බසින විට නොයෙක් කරදර ඇති විය හැකි ය. නොයෙක් හිරිහැර පාඩු අලාභ ද සිදු විය හැකි ය. අනාගත ශාසනාරක්‍ෂාව සඳහා එ කී කරදර හරිහැර විඳීමට අපි සුදානම් වෙමු. ශාසන වාර්තාවෙහි අඩු පාඩු ඇතොත් එක් වී සාකච්ඡා කරමු. අප සංවිධානය නො වුව හොත් අනාගතය අඳුරු වෙනුනා ඇත. අනාගත පරම්පාව අපට ශාප කරනවා ඇත. අප ආත්මාර්ථ පරිත්‍යාගයෙන් හෝ ශාසන සංවිධානයක් ඇති කැරැගත්තොත් අනාගත ශාසන බැබැළෙනවා, බැබැළෙනවා මැ යි.

අවුරුදු දෙ දහස් පන්සියයකට වැඩි කාලයක් ශාසනාරක්‍ෂාව සඳහා දැඩි උත්සාහයෙකින් ක්‍රියා කළ ගිහි බෞද්ධ පින්වතුනි, ශාසනාරක්‍ෂාව සඳහා මේ ඉතා සැලැකිල්ලෙන් ක්‍රියා කළ යුතු අවස්ථාව යි. භික්‍ෂූන් ආරක්‍ෂා නො කොට ශාසනය ආරක්‍ෂා කළ නොහැකි ය. ගිහි පැවිදි සම්බන්ධය නැති වුවොත් ශාසනය ඉවර යි! භික්‍ෂූන් වහන්සේ ගිහි පින්වතුන් ගේ මැ දරුවන් බව මතක තබා ගන්න. එ හෙයින් පැවිදි පක්‍ෂයෙහි අඩු පාඩුවලට ගිහි පක්‍ෂය ද වග කිව යුතු ය. ගිහි පැවිදි සම්බන්ධය නැති වන ආකාරයට ඇතැමුන් භික්‍ෂූන් හට දොස් කියමින් කැරැගෙන යන අදූරදර්ශී ව්‍යාපාරය වහා මැ නතර කරන්න. ගිහි බෞද්ධයන් ද අඩු මැ ගණනේ පන්සිල් වත් රකිනා සිල්වත් ගුණවත් පිරිසක් වන තුරා නියම ශාසන ශෝධනයක් ඇති නොවන බව ද කරුණාවෙන් මතක් කරමි.

ශාසන වාර්තාවෙහි අඩු පාඩු ඇතොත් ඒවා සකස් කොට හෝ ශාසන මණ්ඩලයක් පිහිටුවා ශ‍ාසනය ආරක්‍ෂා කැරැදෙන ලෙස ගිහි පින්වතුන් සියලු දෙනා මැ එක හඬින් රජයෙන් ඉල්ලා සිටිය යුතු ය. හැට හතර ලක්‍ෂයක් පමණ වූ ඔබ ගේ කැමැත්ත නැති වැ කවර කෙනෙකුට වත් මේ රටේ රජකම් කරන්නට ලැබෙන්නේ නැත. ගිහි පින්වතුනි, ඔබට ඇති බලය හොඳින් හිතට ගන්න. මහාජන උද්ඝෝෂණයක් නැති වුවොත් කොමිෂන් වාර්තාවට සිදු වන දේ දන්නවා නො වේ ද? හැම ගමෙක මැ හැම පළාතෙක මැ බෞද්ධයන් රැස් වී ශාසන වාර්තාව ක්‍රියාත්මක කොට ශාසනය ආරක්‍ෂා කැරැදෙන මෙන් මහත් සේ උද්ඝෝෂණය කරන්න. පළාතේ මන්ත්‍රීතුමා, ඇමැතිතුමා, අගමැතිතුමා හමු වන්න. ශාසනාරක්‍ෂාව සදහා මේ කටයුත්ත වහා මැ කැරැදෙන ලෙස කියා සිටින්න. උදාසීන වැ බලා ඉන්න මේ හොඳ වේලාවක් නො වේ.

 

ලංකාදීප 1959.11.23

ප්‍රඥාප්‍රභා 1

යතුරුලිවීම: සැන්ටා ටයිප්සෙටින්

සියලු ම පාසල් රජයට ගතයුත්තේ ඇයි ?
සසුන රැකීමට හළ යුතු දෑ ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.