සර්පයාගේ මුතු පරිත්‍යාගය …

“ඒ මොකක්ද?’’ එක් මුර භටයෙක් විමසුවේ ය.

‘’ඒ නිකම් සර්පයෙක්. අපි ඌ මරමු’’ ඔහුගේ අඹයාළුවා යෝජනා කෙළේය. ඒ වර්ණවත් කුඩා සර්පයා මැරීම පිණිස ඔවුහු තම තමන්ගේ තියුණු විස පෙවූ හෙල්ල අමෝරා ගත්හ.

‘’නවතින්න’’ වේගවත් නියෝග හඬක් නිකුත් විය. එම නියෝග හඬ ඇසෙත්ම මුර භටයින් දෙදෙනා ගල් ගැසුනාක් මෙන් නතර වූයේ එම නියෝගය කළ සුයි හි ආදිපාදවරයා නෙත ගැටීමෙන් ය.

‘’තමුන්ට පේන්නෙ නැද්ද දැනටමත් ඒ අසරණ සතාට තුවාල වෙලා තියෙන බව. අසරණයා’’ එය සත්‍යයකි. දැනටමත් ඒ සර්පයා ගේ හිසට තුවාලයක් සිදුවී තිබේ. එය ඔවුන්ට දැකගත හැකිවූයේ පසුවය.

කාරුණික ආදිපාදවරයා ස්වකීය ආරක්ෂක සෙබලුන්ගේ ද සහාය ඇතිව සර්පයා ඔසවාගෙන ගං ඉවුර කරා රැගෙන ගියේ ය. සර්පයාට නිරුපද්‍රිතව එහි නිදැල්ලේ සිටීමට ඉඩ හරින්ට යැයි ඔහු ආරක්ෂක භටයින්ට නියෝග කෙළේය. සුළු වේලාවකට පසුව එක් මුර භටයෙක් අනික් මුර භටයා අමතා ‘ආහ්! අර බලන්න, සර්පයා ආයිත් එනවා’ යයි හඬ නැගීය.

‘ඔව්…ඔව් සර්පයාගේ කටේ මොනවාදෝ තියෙනවා’’ යි අනිකා සනාථ කෙළේය.

‘’කියන්නෙ ඔබ දැක්කද ඒක. ඒකා අරගෙන යන්නෙ මුතු ඇටයක්’’ මෙම හඬ ඇසී අනික් මුරභට පිරිස ද එතැනට දිව ආහ. කුඩා සර්පයා නොනැවතීම ඉදිරියට ගියේය.

‘බලමු එයා යන්නෙ කොහේට ද කියලා’ එක් අයෙක් කථා කෙළේය. ඔවුහු සර්පයාට මාර්ගය ඉඩ දී පසෙකට වූහ. සර්පයා කෙළින්ම ගමන් කෙළේ ආදිපාදවරයාගේ් කුටිය වෙතය. එහි ගොස් ආදිපාදවරයාගේ දෙපාමුල මුතු ඇටය තැබීය.

‘’සත්තකින්ම ඔබ කරපු කටයුත්ත විශිෂ්ටයි’’ කී ආදිපාදවරයා ‘නමුත් මම අධිරාජයාණන්ගේ රාජකීය නිලධාරියෙක්. මා විශ්වාස කරනවා, අදහනවා මට තෑගිබෝග භාරගැනීමට අයිතියක් නැත කියා. ඒක ඔබත් දන්නව නේද?’

එසේවුවද ආදිපාදවරයා මුතු ඇටය අහුලා සාක්කුවේ දමාගන්නා තුරු සර්පයා අඟලක්වත් එතැනින් ඉවත්වූයේ නැත. නොසැලී සිටියේ ය.

එම රාත්‍රියේ ආදිපාදවරයා සීනයෙන් දුටුවේ තමාට අත්වැරැද්දෙන් සර්පයෙකු පෑගුන ආකාරය ය. එම ස්වප්නයෙන් විස්මිතව, බියපත්ව නින්දෙන් පිබිදී සර්පයා විසින් තමා දෂ්ට කරනු ලැබ ඇතිදැයි තම පාදය දෙස විමසිල්ලෙන් බැලුවේ ය. නමුත් එය උදක්ම සිහිනයක්ම පමණකි. එසේ බැලූ අවස්ථාවේ ඒ අසල තවත් කුමක් නමුත් දීප්තිය විහිදුවමින් එහි තිබෙනු ඔහු දුටුවේය. ඔහු මවිත වූයේ ය. එය තවත් මුතු ඇටයකි. එය සත්‍යයකි. සිහිනයක් නොවීය.

ඉතා අගනා ඉතා අලංකාර මුතුඇට දෙකක් තමාට අහම්බෙන් අයත් විය. ආදිපාදවරයා අතිශය කාරුණික අවංක පුද්ගලයෙක්ය. සර්පයකුගේ ජීවිතය මරණයෙන් ගලවා ගැනීමෙන් ඔහු කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නො කෙළේය. නමුත් ඔහුට වටිනාකම මෙතෙකැයි කිය නොහැකි අති දුර්ලභ ගණයේ අලංකාරවත් මුතු ඇට දෙකක් හිමි වී තිබේ. ඒවා ආපසු භාර දීමට ද කිසිවෙක් නැත. ඔහු ඒවා ප්‍රතික්ෂේප කොට රාජ්‍ය භාණ්ඩාගාරයට භාරදුන්නේ සියලු ජීවීන් කෙරෙහි කාරුණික වීමේ සිහිවටනයක් හැටියට ය.

එම සිද්ධිය එම රටේ පමණක් නොව දේශ දේශාන්තරවලද පැතිරී ගියේ ය. බොහෝ දෙන එයින් අවබෝධ කොට ගත්තේ බිම දිගේ බඩ ගා යන සත්ත්වයකු පවා ස්වකීය ජීවිතයේ අගය තේරුම් ගැනීමේ ආශ්චර්යය අගය කරමින් ය. සමහර ආකෘතඥ නිර්දය දුෂ්ට මතධාරීන් පවා මෙම ආශ්චය¸වත් සත්‍ය සිද්ධිය අසා සිත් සතන් පැහැදී සෞම්‍ය සිතුම් පැතුම් සහිත සත්පුරුෂයින් බවට පත්වූ අන්දමද ප්‍රචලිත විය. ක්‍රමයෙන් රටේ බහුතරය වඩ වඩා ජීවීන් කෙරෙහි අනුකම්පා සහගතව සත්ව ඝාතනය හා සත්ව හිංසාව දුරින් දුරුකිරීමට උත්සුක වූහ. සුයි හි ආදිපාදවරයා ස්වකීය ජීවිත කාලය තුළ මුතුවලට වඩා බොහෝ වටිනා අනේක විධ සැප සම්පත්වලට හා උසස්ම පදවි තානාන්තරවලටද හිමිව ශ්‍රේෂ්ඨත්වයට පත්විය.

ක්‍ෂය රෝගය ...
ගෘහ සේවිකාව සුවපත් කල කැස්බෑවා ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.