සර්පයාගේ නැට්ටෙන් අල්ලාගැනීම වැනි කාලාම සූත්‍රයේ වැරදි අවබෝධය ... - IFBC Organization | Dhamma

කාලාම සුත්‍රය වනාහි අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් දේශනාවකි. කාලාම සුත්‍රය ශ්‍රී සද්ධර්මයට අයත් වෙයි. එනිසා එය “ස්වාක්ඛාත” හෙවත් මුල- මැද- අග මැනවින් කියන ලද කේවල පරිපුර්ණ දහමක් බව සිංහල බෞද්ධ අපි දත යුතු වෙමු. ධර්මය කොතනින් ගත්තද එය විමුක්ති රසයෙන් යුතුය. භාග්‍යවතුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් උතුම් පාරමී දම් පුරන්නට යෙදුනේ ඒ දහමින් දෙව් මිනිසුන් සහිත අප්‍රමාණ සත්ත්ව සමුහයා දුකින් මුදවන්නට නොහොත් අති භයානක ඝෝර සසරින් එතෙර කරවීමටය. එකවර සසරින් එතෙර වීමට තරම් සිත දියුණු නොවන සත්ත්වයන් අඩුම තරමින් අපාය දුගතියෙන් මුදවා සුගතියෙහි පිහිටුවීමට ධර්මයෙන් මහත් පිටුබලයක් ලැබෙයි.

පසුගිය වර “විඤ්ඤූන් පිලිබඳ ප්‍රශ්නය” ලිපියෙහි අප විසින් සඳහන් කල පරිදි කාලාම සුත්‍රය බොහෝ සෙයින් ප්‍රචලිත සුත්‍රයකි. විශේෂයෙන් එය බටහිර සහ බටහිර ලැදි උගතුන්ගේ විශේෂ ඇගයුමටත් සාකච්ඡාවටත් බඳුන් වී ඇති බවට කරුණු තිබේ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් වන මේ උතුම් සූත්‍ර ධර්මය විග්‍රහ කිරීමේදී එය සාකච්ඡාවට ගෙන ඇති ආකාරයත් එයින් ඉදිරිපත් කරනු ලබන අදහස් හා නිගමනයනුත් බොහෝ විට යම් යම් විකෘති මතවාද සහ අර්ථ විග්‍රහයන්ට හේතු වන බව පෙනී යයි. එයට බොහෝ වි‍ට හේතු කාරණා වී ඇත්තේ මෙම සුත්‍ර ධර්මයෙහි එක් කොටසක් පමණක් අවධානයට යොමු කිරීමෙන් කරුණු විග්‍රහ කිරීමත්, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පරිදි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා සිතින් දුකින් මිදීම අරමුණු කරගෙන සුත්‍ර දහම් ඉගෙනුම වෙනුවට වෙනත් අරමුණු මත පදනම්ව ධර්මය විග්‍රහ කිරීමත් යයි සිතෙයි. එබැවින් අපගේ පුහුදුන් අදහස් පසෙකලා, කෙලෙසුන් සහිත, මාන සහිත, අවිද්‍යාවෙහි ගිලුණු විග්‍රහයන්ද පසෙකලා පළමුව භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ සම්බුද්ධත්වය කෙරෙහිත්, සන්දෘෂ්ඨික වූ ශ්‍රී සද්ධර්මය කෙරෙහිත් ශ්‍රද්ධාවෙන් යුතුව මෙම සුත්‍රය උගනිමු.

කාලාම සූත්‍රය (සූත්‍ර පිටකයෙහි දැක්වෙන පරිදි “කේසපුත්ත සූත්‍රය” හෙවත් “කාලාම සූත්‍රය”)
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේ මාගේ ශාස්තෘ වන සේක. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ශාස්තෘ වූ උන්වහන්සේ දනිති. මම නොදනිමි. නොදන්නා මම දන්නා වූ දක්නා වූ උන්වහන්සේ සරණ යමි. උන්වහන්සේ විසින් උතුම් වූ සර්වඥතා ඥානයෙන් දැක දැන බොහෝ දෙනාට හිත සුව පිණිස (දෙවියන් බඹුන් සහිතව) කොසොල් රට කේසපුත්ත නම් නියම්ගම “කාලාම” නමින් හැඳින්වුණු ජනයා හට කරන ලද දේශනාවක් වෙයි. එම උතුම් සම්බුද්ධ දේශනාව මහත් ගෞරවාදරයෙන් යුක්තව පෙළෙහි (සූත්‍රයෙහි) එන අරුත කිසිලෙසකින් වත් නොනසමින් මාගේ ශක්ති පමණින් මෙසේ මගේ මවු බසින් ලියමි. (විග්‍රහ කිරීමේ පහසුව තකා මම ඡේද අංක යොදමි.)

කාලාම සුත්‍රය සුත්‍ර පිටකයෙහි, අංගුත්තර නිකායේ, ප්‍රථම භාගයෙහි (පළමු ග්‍රන්ථයෙහි), තික නිපාතයෙහි, දෙවන පණ්නාසකයෙහි, දෙවන වර්ගය වන “මහා වර්ගයෙහි” පස් වැනි සුත්‍රයයි. එය පිටකයෙහි දැක්වෙන්නේ කාලාම සුත්‍රය ලෙසින් නොව “කේසපුත්ත සුත්‍රය” ලෙසිනි. පිටකය පරිශීලනය කරනු කැමති පින්වත් පිරිසට (ශ්‍රී සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවෙහි 18 වන පොත හෙවත් සුත්‍ර පිටකයෙහි 12 වන පොත) අංගුත්තර නිකාය ප්‍රථම භාගය පොතෙහි 336 වන පිටෙහි සිට එය කියවිය හැකිය. එහි සුත්‍රය මෙසේ දැක්වෙයි.

(1). එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමගින් කොසොල් රට සැරිසරා චාරිකාවෙහි වඩිනා සේක්, කාලාම නම් ක්ෂත්‍රීයයන් ගේ කේසපුත්ත නම් නියම් ගමට වැඩි සේක. කේසපුත්ත නියම්ගම් වැසි “කාලාම” ක්ෂත්‍රීයයෝ භාග්‍යවතුන් වහන්සේ සිය ගමට වැඩි බව අසා ඔවුනොවුන් අතරෙහි මෙසේ කථිකා කර ගත්හ.

“පින්වත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ, භවත් ශ්‍රමණ ගෞතමයෝ වනාහි කේසපුත්ත නියම් ගමට වැඩියහ. ඒ භවත් ගෞතමයන් පිළිබඳව මේ මේ කරුණින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් යහ, සම්මා සම්බුද්ධයහ, විජ්ජා චරණ සම්පන්නයහ, සුගත යහ, ලෝක විදූහ, අනුත්තර පුරිස දම්ම සාරථිහ. දෙව් මිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ යහ. භගවත්යහ, යි හටගත් මහත් කීර්ති ඝෝෂාවක් පැන නැගී තිබෙයි. එනිසා, එබඳු රහතුන් දකීමම යහපති.” යනුවෙනි.

(2). අනතුරුව ඔවුන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ, ඇතැමෙක් උන්වහන්සේ වැඳ එකත් පසෙක උන්හ. ඇතැමෙක් සතුටු සිතින් කතා කොට සිහිකළ යුතු ආගිය තොරතුරු සුව දුක් විචාරා එකත්පසෙක උන්හ.ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ වැඳගෙන උන්හ. ඇතැමෙක් නම් ගොත් කියා එකත් පසෙක උන්හ. ඇතැමෙක නිශ්ශබ්දව එකත්පසෙක උන්හ.

මෙසේ එකත්පසෙක උන කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ක්ෂත්‍රීයයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

“වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහන බමුණෝ ඇත. ඔවුහු ඔවුන්ගේ ලබ්ධියම (ආගම,ඇදහීම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ඇදහීම, විශ්වාසය සමග ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. වහන්ස අන්‍ය වූ වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද කෙසපුත්තයට එති. ඔවුහුද ඔවුන්ගේ ලබ්ධියම (ආගම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. භාග්‍යවතුන් වහන්ස එහෙයින් අපට මේ මහණ බමුණන් අතරින් කවරෙක් නම් සත්‍යය කියයිද, කවරෙක් නම් බොරු කියයිද යි, සැක ඇතිවේය.” යනුවෙනි.

(3). එවිට භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.

තොප,
අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .

පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,

තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), – යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,

අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,

තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,

න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,

ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,

අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,

භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,

මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,

මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක.

අනතුරුව,
(4). කාලාමයෙනි, මේ දහම් කුසල්ය, මේ දහම් අකුසල් ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් (විඤ්ඤූන්) විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාට සමාදන් කොට ගන්නා ලද්දාට අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහයි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව”යි දේශනා කල සේක.

තවදුරටත් කාලාමයන් විමසන භාග්‍යවතුන් වහන්සේ කාලාමයන් වෙතින් මෙසේ විචාරයි.

(5). කාලාමයෙනි තොප කෙසේ සිතයිද? ලෝභය පුරුෂයාගේ සිත තුල උපදීම ඔහුට වැඩ පිණිස යහපත පිණිස හේතු වෙයිද? නැතහොත් අවැඩ පිණිස අයහපත පිණිස හේතු වෙයිද?

එවිට කාලාමයෝ, වහන්ස අවැඩ පිණිස, අයහපත පිණිස යෙදෙයි, කීහ.

නැවත භාග්‍යවතුන් වහන්සේ, “කාලාමයෙනි, තොප කෙසේ සිතයිද? ලෝභී වූ කෙනෙකු ලෝභයෙන් මඩනා ලද්දේ (සිතෙහි ඇති වූ ලෝභයට යටත්ව), ලෝභයෙන් ගත් සිත ඇත්තේ, ඔහුට බොහෝ කලක් දුක පිණිස, අවැඩ පිණිස, හේතු වන, ප්‍රාණඝාත කරයි. සොරකම් කරයි. කාමමිත්‍යාචාරයෙහි හැසිරෙයි. බොරු කියයි. අන්‍යයන්ද මේ අකුසලයන්හි සමාදන් කරවයි.”

එවිට කාලාමයෝ, එසේය වහන්සයි. පිළිගත්හ.

(6) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “ද්වේශය” සහ “මෝහය” ඇසුරින්ද මෙසේම කාලාමයන් විචාරන ලද්දේ කාලාමයෝ භාග්‍යවතුන් වහන්සේ භාෂිතය පිළිගනිති.

භාග්‍යවතුන් වහන්සේ මෙසේද අසන සේක.

කාලාමයෙනි තොප කෙසේ සිතයිද?

ලොභය්, ද්වේශය, මෝහය යන දහම්, ප්‍රාණඝාත, සොරකම්, කාමමිත්‍යාචාර, මුසාවාද, යන මේ දහම්හු, කුසල් දහම් වෙත්ද? අකුසල් දහම් වෙත්ද?

කාලාමයෝ: ස්වාමීනි, අකුසල් දහම් වෙති.

භාග්‍යවතුන් වහන්සේ : සාවද්‍ය (වැරදි සහගත) වෙත්ද ? අනවද්‍ය (නිවැරදි) වෙත්ද?

කාලාමයෝ: ස්වාමීනී, සාවද්‍ය වෙති.

භාග්‍යවතුන් වහන්සේ : නුවණැතියන් විසින් ගරහන ලද්දේද? නැතහොත් නොගරහන ලද්දේද?

කාලාමයෝ: ස්වාමීනී, ගරහන ලද්දේම වෙයි.

භාග්‍යවතුන් වහන්සේ : මේ දහම් (අකුසල්) පිරිපුන් කොට ගන්නා ලද්දේ, සමාදන් කොට ගන්නා ලද්දේ අවැඩ පිණිස, දුක් පිණිස පවතීද? නැතහොත් එසේ නෙවෙයිද?

කාලාමයෝ: ස්වාමීනී , අවැඩ පිණිස දුක් පිණිස පවතී යැයි අපට වැටහේ.

[ඉතාම වැදගත් කොටස මෙයයි ]

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසින් කරනු ලබන ප්‍රකාශය අප විසින් කරනු ලබන මෙම විග්‍රහය විෂයෙහිලා ඉතාම වැදගත්ය.

(7). භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ වදාළ සේක.

කාලාමයෙනි, මවිසින් පෙර,

“කාලාමයෙනි, අනුශ්‍රව කතායෙනුදු නොගනුව, පරම්පරාකතායෙනුදු නොගනුව, තෙල මෙසේ වී යැයි නොගනුව, අපගේ පෙළ හා යෙදෙති ද නොගනුව, තර්කග්‍රාහයෙනුදු නොගනුව, නය ග්‍රාහයෙනුදු නොගනුව, ආකාර පරිවිතර්කයෙනුදු නොගනුව, අප සිතා ඉවසාගත් දෘෂ්ඨිය හා සැසැඳෙතැයි ද නොගනුව, භව්‍යරූපතායෙනුදු නොගනුව, මේ මහණ අපට ගුරුහයි ද නොගනුව, කාලාමයෙනි, මේ දහම් කුසල්ය, මේ දහම් අකුසල් ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්භිතය, මේ දහම්හු සපුරන ලද්දාට සමාදන් කොට ගන්නා ලද්දාට අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහයි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව”. යනුවෙන් යමක්‌ දේශනා කරන ලද්දේද, ඒ (මෙසේ ලෝභය, ද්වේශය, මෝහය, යන අකුසල් මුල් සහ එම අකුසල් සිතින් මැඩ ගත පුරුෂය කරන ප්‍රාණඝාත ආදී පව් කම් දුරු කිරීම පිණිසම) දේශනාව කරන ලද්දේ මේ උදෙසාමය.

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ නැවත ඉහත කී දේශනාවම කුශල පක්ෂය විෂයෙහිද, විග්‍රහ කර දක්වයි.

පළමුව,

(8). “කාලාමයෙනි, අනුශ්‍රව කතායෙනුදු නොගනුව, පරම්පරාකතායෙනුදු නොගනුව, තෙල මෙසේ වී යැයි නොගනුව, අපගේ පෙළ හා යෙදෙති ද නොගනුව, තර්කග්‍රාහයෙනුදු නොගනුව, නය ග්‍රාහයෙනුදු නොගනුව, ආකාර පරිවිතර්කයෙනුදු නොගනුව, අප සිතා ඉවසාගත් දෘෂ්ඨිය හා සැසැඳෙතැයි ද නොගනුව, භව්‍යරූපතායෙනුදු නොගනුව, මේ මහණ අපට ගුරුහයි ද නොගනුව, කාලාමයෙනි, මේ දහම් කුසල්ය, මේ දහම් වරද රහිතය , නිවැරදිය. මේ දහම් නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දේය, මේ දහම්හු සපුරන ලද්දාට සමාදන් කොට ගන්නා ලද්දාට වැඩ පිණිස සැප පිණිස පවත්නාහයි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය උපයාගෙන වසව ”. යි දේශනා කල සේක.

ඉන අනතුරුව,
(9). එසේ, සමාදන් විය යුතු, පරිපුර්ණ කොට ගැනීමෙන් දුක් නොඋපදවන, සැප උපදවන, වැඩ පිණිස යහපත පිණිස පවතින, අවැඩ පිණිස නොපවතින, නුවණැතියන් විසින් ප්‍රශංසා කරන ලද, නොගරහන ලද, ධර්මයන් ලෙස “අලෝභය” ,” අද්වේශය” , “අමෝහය” දක්වන සේක.

ඒ අනුව, මෙම කුසල් දහම් වැඩීමෙන්, සමාදන් වීමෙන්, අලෝභ, අද්වේශ, අමෝහ සිතින් තමන්ටත් අනුන්ටත් බොහෝ කලක් දුක් පිණිස පවතින, අවැඩ පිණිස පවතින, ප්‍රාණඝාතාදී, පව් කම් පිටුදකින බවද දේශනා කරයි. අනුන්ද මෙම පව් කම්හි දුරු කරවන බව දක්වයි.

කාලාමයෝද මේ දහම් කුසල් බවත්, දුක් පිණිස නොපවතින බවත්, යහපත පිණිස පවතින බවත්, නුවණැතියන් විසින් ප්‍රශංසා කරනලද බවත්, සමාදන් විය යුතු බවත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගනිති.

(10). භාග්‍යවතුන් වහන්සේ ඉන් ඉක්බිතිව, නැවතත් පෙර පරිදිම, අනුශ්‍රව කතාවෙන්, පරම්පරා කතාවෙන් පමණක් …… …….. ……. ආදී වශයෙන් පිළිනොගත යුතු යැයි උන්වහන්සේ දේශනා කරන ලද්දේ අන්කිසිවක් පිණිස නොව මෙසේ කුසලයත්, කුසල මූලයත්, අකුසලයත් අකුසල මූලයත් හඳුනාගෙන, තමා විසින්ම දැනගෙන, අකුසල් දුරු කිරීම පිණිසත්, කුසල් වැඩීම පිණිසත් බව විශේෂයෙන් දේශනා කල සේක.

තවද,
(11). කාලාමයෙනි, මෙසේ අභිද්‍යාව (දැඩි/ විෂමලෝභය), ව්‍යාපාදය, මෝහ, යටපත් කරන ලද ආර්ය ශ්‍රාවක තෙමේ නුවණින් විමසන අරමුණු ඇතිව, මනාව පිහිටි සිහිය ඇතිව, එක එක දිශාවන්හිද, ක්‍රමයෙන් සියලු දිශාවන් කෙරෙහි ද පැතිරෙන, මෛත්‍රී සිතින්, කරුණා සිතින්, මුදිතා සිතින්, උපේක්ෂා සිතින් වාසය කරයි. මෙසේ උඩ, යට, සරස (තිරස් දිශාවන් අටම), යන දස දිගම අප්‍රමාණ වූ, සීමා රහිත වූ, විපුල වූ, මහත්ගත වූ ද්වේශ රහිත පිරිසිඳු, නිදුක් වූ උපේක්ෂා සිතින් වාසය කරයි.

(12). මෙසේ අවෛර සිත් ඇති, නිදුක් සිත් ඇති, නොකිලිටි සිත් ඇති, පිරිසිඳු සිත් ඇති, ආර්යශ්‍රාවක තෙමේ, මෙලොවදීම සැනසුම ඇතිකරන, සුව උපදවන ආශ්වාසයන් (කල්පනාවන්) සතරක් ආනිසංස වශයෙන් ලබයි.

ඒ කවරේද යත්,
පළමුව- “යම් ලෙසකින්, පරලොවක් තිබේ නම් සහ, කුසල අකුසල විපාක තිබේ නම්, පවින් තොරවූ පිරිසිඳු සිත් ඇති මම , ඒකාන්තයෙන්ම මරණින් මතු සැප ඇති, ස්වර්ගයෙහි, සුගතියෙහි උපදී.” යන සැනසුම් සහගත කල්පනාව ඇත්තේ වෙයි.

දෙවනුව, – “යම් ලෙසකින්, පරලොවක් සහ කර්ම විපාක නැත්තේ වුවද, මම මෙලොවදී, වෛර නැති, ආබාධ නැති, සුවපහසු වූ, පිරිසිඳු ආත්මභාවයක්, පරිහරණය කරති.” යන සැනසුම ඇති කල්පනා ඇතිවෙයි.

තෙවනුව, – “ යම් හෙයකින්, කම් පල සහිතව පව් කරන්නෝ වෙත්ද, මම එනමුත් කිසිවෙක් හට පව් නොකරමින්ම වසමි. පව් කම් නොකරන මම කෙසේ නම් දුක් වන්නේද? දුක් නොවේමය.” යි සැනසුම ඇති කල්පනා සිතුවිලි ඇතිව වසයි.

සතර වනුව, – “යම් හෙයකින්, පව් නොකරන්නේ වෙත්ද, එසේත් මම දෙපක්ෂයෙන්ම, පිරිසිඳු වූ, දුක් රහිත වූ ආත්මභාවයක් ඇත්තේ වෙමි” යි සැනසුම ඇති, කල්පනා සිතුවිලි ඇතිව වසයි.

(13). භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක්, කාලාමයෝ මෙම අනුසස් සතරද පිළිගෙන, දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේත්, ශ්‍රී සද්ධර්මයේත්, ආර්ය මහා සංඝරත්නයේත් සරණ ගියවුන් ලෙස පිළිගන්නා සේක්යායි ප්‍රකාශ කොට තෙරුවන් සරණ ගියහ.

විමසුම

දැන් නුවණින් යුතුව මෙම උතුම් සූත්‍ර ධර්මය විමසා බලමු. භාග්‍යවතුන් වහන්සේ සත්‍ය අසත්‍ය, හොඳ නරක, කුසල් අකුසල් වෙන්කර හඳුනා ගැනීමෙහිලා විමසීමේදී, සමාජ සම්මත ආකල්ප, සම්ප්‍රදාය, ආචාර්ය මත, ආරංචි මාත්‍රආදිය ඇතුලත් කරුණු දහයක්‌ එපමණින් පිළිනොගන්නා ලෙස දේශනා කරන ලද බව පැහැදිලිය. එසේම ඉන් අදහස් කරන්නේ සම්ප්‍රදාය හෝ ආචාර්ය මතවාද හුදු සලකා බැලීමෙන් තොරව බැහැර කලයුතු බව නොවෙයි. උන්වහන්සේ අපට විමසිය යුතු මාර්ගයද පෙන්වා දී ඇත. ඒ කුසල් අකුසල් වෙනකොට හඳුනා ගැනීමෙනි. ඒ සඳහා උන්වහන්සේ පෙන්වා දෙන්නේ කුසල් මුල් තුනත්, අකුසල් මුල් තුනත් හඳුනා ගැනීමයි. එනම්, ලෝභ, ද්වේශ, මෝහ තුන අකුසල් මුල් ලෙසත් දුරු කල යුතු ලෙසත්, අලෝභ, අදෝෂ, අමෝහ, තුන කුසල් මුල් ලෙසත්, වැඩිය යුතු ලෙසත් හඳුනා ගැනීමයි.

ඒ අනුව, සාවද්‍ය වන්නේ ලෝභය ද්වේශය හා මෝහයයි. ඒ ප්‍රාණඝාතාදී පව් කිරීමට හේතු වෙයි. දුක් ගෙනදෙයි. විඤ්ඤූන් විසින් ගරහනු ලබන්නේ ලෝභ ද්වේශ මෝහ සිතින් කරනු ලබන මේ පව් කම්ය. පවින් වැළකී සිටීම විඤ්ඤූන් ගේ ප්‍රශංසාවට ලක් වෙයි. ඒ ප්‍රශස්තය. තවත් ලෙසකින් කියන්නේ නම්, පව් කම් නොකර ඒ ගැරහීමත්, පවින් වැලකීම ප්‍රශංසාවට ලක් කිරීමත් විඤ්ඤූන් ගේ ලක්ෂණයයි.

භාග්‍යවතුන් වහන්සේගේ පද සතරක ගථාවක් පවා විමුක්ති රසයෙන් යුක්තය. ඒ පරිපුර්ණය. මුල මැද අග මැනවින් දේශිතය. පෙර සඳහන් කල පරිදි කාලාම සුත්රයද එවන් උතුම් සම්බුද්ධ දේශනාවකි. උන්වහන්සේගේ උතුම් ප්‍රඥා මහිමය ගැන සිතන්නට, කියන්නට පුහුදුන් මා කවරෙක්ද? ඉහත ලියා දක්වා ඇති දේශනාවෙහි අංක 7 සහ 10 යන ඡේද වෙත ඔබේ අවධානය යොමු කරන්න. බොහෝ බටහිර සහ බටහිර ලැදි උගතුන් මෙම සුත්‍රය කියවීමේදී මෙම ඡේද මගහැර දක්වයි. ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි ඔවුන්ගේ මෝහයෙන් වැසුණු සිත් වලට ගැලපේ යැයි සිතන කොටස් පමණක් ගෙන විවිද දෘෂ්ඨින් ගනී.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.

මෙපින් බලෙන් ශ්‍රී සම්බුදු සාම සංදේශය ලොව පුරා පතුරවමින් සසර කතරේ අපමණ දුක් විදින අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා … … …

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … …

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයාණෝ ...
සසර බිය සිහිකරදෙන ලෝසක රහතන්වහන්සේගේ කථා වස්තුව

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.