සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සඳහාත් බෙ‍ෟද්ධ ප්‍රබෝධය සඳහාත් ධර්මසංගායනාවක් පවත්වමු ... - IFBC Organization | Dhamma

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි භාරතයෙහි මධ්‍ය දේශයෙහි වසරකට මාස අටක් නවයක් දවසකට සැතැපුම් පහළොවකට මඳක් අඩුවෙන් මඳක් වැඩියෙන් චාරිකාවෙහි යෙදෙමින් සූවිසි අසංඛ්‍යෙයයක් සත්ත්වයන් නිවන් දක්වමින් පන්දහසක් කල් ප්‍රතිවේධ ශාසනය පවත්නා සේ ද, අනාදිමත් කාලයක් පර්යාප්ති ශාසනය පවත්නා සේ ද, ප්‍රකාශ කොට තබා පිරිනිවන් පාන්නට ආසන්න ව මාගේ ශාසනය සුරක්‍ෂිත ව පවත්නේ කොහි දැයි නුවණැසින් බලන විට පෙනුණේ ශ්‍රී ලංකාව බව ඉතිහාසය කියයි. බුදුරජාණන් වහන්සේ බොහෝ කල් පවත්නා ශ්‍රී ලංකාව ආරක්‍ෂා කරන්නැයි සක් දෙවිඳුනට කී බවක් ඉතිහාසය කියයි.

මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමෙන් පසු ලක්වැසියෝ බෞද්ධයෝ වූහ. නොබෝ කලෙකින් ලක්දිව රහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී ගියේ ය. සාමාන්‍ය ජනතාව ද ධනසම්පත්තියෙන් හා ගුණ සම්පත්තියෙන් ද පරිපූර්ණ විය. ධර්මද්වීපය යන ගෞරව නාමය ද හිමි කර ගත්තේ ය. කටපාඩමින් ගෙනා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ සිංහල රහතන් වහන්සේ ම ය. හෙළ බසින් කටපාඩමින් ගෙනා අටුවා පෙළ බසට නැගුවේ ද හෙළ දිවයි‍නයෙහි ම යි. ථෙරවාදී අන්‍ය බෞද්ධ රටවලට ත්‍රිපිටකය ගෙන ගියේ ද හෙළ දිවයිනෙන් ම යි.

ධර්මසංගායනා

ශාසනාරක්‍ෂාව සඳහාත් බෞද්ධ ප්‍රබෝධය සඳහාත් ධර්මසංගායනා පැවැත්වීම විශේෂ ප්‍රතිපත්තියක් වශයෙන් සිදුවිණ. ආදර්ශයක් වශයෙන් පළමු දෙවැනි ධර්මසංගායනා දෙකෙහි හේතු මැදහත් වැ නුවණින් සිතා බලන්නේ මැනැවි.

ප්‍රථම සංගායනාවට හේතුව: බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ කාලයෙහි මහාකස්සප මහරහතන් වහන්සේ වැඩ සිටියේ පාවා ප්‍රදේශයෙහි ය. උන් වහන්සේ සහ භික්‍ෂූහු පිරිනිවන් පෑම නොදැන නමුත් බුදුරජාණන් වහන්සේ වැඳපුදා ගන්නා අදහසින් පැමිණෙන්නේ කුසිනාරා ප්‍රදේශයෙහි සිට එන පරිබ්‍රාජකයෙක් හමුවී ය. ඔහුගෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව දැනගන්නට ලැබිණ. මාර්ගඵල ලාභීහු ධර්මසංවේගයට පත්වූහ. පෘථග්ජනයෝ හඬන්නට දුවන්නට වූහ. එ‍් අතර සිටි මහලු පැවිද්දකු “ඇවැත්නි, බුදුන් වහන්සේ අපට කෙළවරක් නැති විනය නීති පැනෙව්වා. දැන් ඉතින් අපට වුවමනා පරිදි ජීවත් වන්නට ලැබුණා නොවැ” යි ප්‍රකාශ කළා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මේ අප්‍රසාදජනක කතාව අසා බලවත් ධර්මසංවේගයට පත්වූහ.

බුද්ධ ශරීරය පිළිබඳ ආදාහනය සිදුකොට රැස් ව සිටි ආර්යය අනාර්යය සංඝයා වහන්සේ ඇමැතූ මහාසංඝස්ථවිර මහාකාශ්‍යප බුද්ධපුත්‍රයන් වහන්සේ ධර්මසංගායනාවක් කිරිමේ අවශ්‍යතාව පෙන්වා දුන්හ. ශාසනභාරධාරී මහරහතන් වහන්සේ දූරදර්ශී වැ ධර්මසංගායනා යෝජනාව පිළිගත් හ. මුල දී නො මඟ ගොස් සිට පසු ව සුමඟට පත් අජාසත්ත රජතුමාට දැන්වූයෙන් එතුමා එයට වුවමනා සියලු කටයුතු සපුරා දී ප්‍රථම ධර්මසංගායනාවේ ප්‍රධාන දායක මහත්මා වී ය. මේ ප්‍රථම ධර්මසංගායන‍ාව යි.

බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සියයක් ගිය කල වජ්ජිපුත්‍රක භික්‍ෂූන් විසින් ධර්ම විරෝධී විනය විරෝධී කාරණා දහයක් කැප යැයි සම්මත කරගන්නා ලදී. එය දැන ගත් කාකණ්ඩ පුත්‍ර යස රහතන් වහන්සේ දසවස්තු සම්මතය සත්‍යදැයි සොයා බලා සත්‍ය බව දැන ගෙන පළමු පෙළේ අනෙක් රහතන් වහන්සේ රැස්කරවා සාකච්ඡා කොට දසවස්තුව ම අකැප යැයි තීරණය කොට ශාසනාභිවෘද්ධිය සඳහා ධර්ම සංගායනාවක් පවත්වන්නට තීරණය කළහ. එවකට රජය කළ කාලාශෝක රජතුමා ධර්මසංගායනාවේ ප්‍රධාන දායක මහත්මා වීය. මේ ද්විතීය ධර්මසංගායනාව යි.

අශෝක රජතුමා මුලින් චණ්ඩාශෝක වැ සිට පසුව ධර්මාශෝක වීය. එකලැ බුද්ධ ශාසනයට හා භික්‍ෂූන් වහන්සේටත් මහත් ගෙ‍ෟරවාදර සත්කාර ලැබිණ. එයින් භික්‍ෂු ප්‍රතිරූපකයෝ වැඩිවන්නට වූහ. නියම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට විනය කර්ම කරන්නට ද නොහැකි තත්ත්වයක් උදාවී ය. එහි දී ධර්මාශෝක රජතුමා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ශාසනශෝධනයක් කොට ධර්මසංගායනාවක් ද පැවැත්වී ය. එහි ප්‍රධාන දායකයා වූයේ ධර්මාශෝක රජතුමා ය. මේ තෘතීය ධර්මසංගායනාවයි.

මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කොට ධර්ම දේශනා කිරීමෙන් තිස්ස රජතුමා ප්‍රධාන ජනතාව බෞද්ධයෝ වූහ. ඉන් පසු ව අරිටඨ කුමරුන් ඇතුළු නොයෙක් දෙනා පැවිදි වූහ. රහත් වූහ. අරිටඨ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විනය සංගායනාවක් කළත් එය ධර්මසංගායන‍ා ගණයට ඇතුළත් වී නැත.

මිහිඳු රහතන් වහන්සේ ත්‍රිපිටකය කටපාඩමින් රැකගෙන ආ භික්‍ෂු පරපුරේ කෙනෙකි. උන් වහන්සේගේ ශිෂ්‍ය අරිට්ඨ රහතන් වහන්සේ ප්‍රධාන වැ කටපාඩමින් ම රැකගෙන ආ පිළිවෙළ ඉතිහාසය කියයි. අති‍ෙශ්‍ර‍්ෂ්ඨ රජකු වන වළගම්බාවන්ගේ කාලයෙහි මිථ්‍යාදෘෂ්ටිධාරි භික්‍ෂුවේශධාරීහු එන්නට වූහ.

සම්බුද්ධශාසනයට අයත් ප්‍රධාන කොටස වන ත්‍රිපිටකය කටපාඩමින් රැකගෙන ආ රහතන් වහන්සේ පිරිසිදු බුද්ධවචනය ග්‍රන්ථාරූඪ කිරීමට හෙවත් ලියා තැබීමට තීරණය කොට පන්සිය නමක් රහතන් වහන්සේ මාතලේ අලුවිහාරයෙහි වාසය කෙරෙමින් අවුරුදු දහහතරක් ගත කරමින් ත්‍රිපිටකය තඹ පත්හි ලියා තැබූහ. එසේ නො කළා නම් පිරිසිදු බුද්ධ ධර්මය අපට නැති වන්නට ඉඩ තිබුණා. එහෙයින් සිංහල මහරහතන් වහන්සේගේ මේ උදාර ක්‍රියාව මුළු බෞද්ධ ලෝකය ම ඉතා අගය කොට සලකයි. මේ සතර වැනි ධර්ම සංගායනාව යි.

පසු කාලයෙහි ශ්‍රී ලංකාව විදේශීය ආක්‍රමණවලින් බලවත් පීඩාවලට ගොදුරු විය. බුරුමයට ද විදේශීය ආක්‍රමණ ගියත් උඩ බුරුමයට හානියක් කරන්නට පිළිවන් වූයේ නැත. එහෙයින් බුද්ධ වර්ෂ දෙදහසක් සිවුසිය වැන්නෙහි මිංඩොං මින් රජතුමාගේ දායකත්වයෙන් භික්‍ෂූන් වහන්සේ දෙදහස් සිවුසිය නමකගේ ප්‍රධානත්වයෙන් ධර්මසංගායනාවක් පැවැත්විණි. මේ පස් වැනි ධර්මසංගායනාව යි.

මෙයින් පසු ව ශ්‍රී ලංකාවේහි පැල්මඩුල්ලෙහි පුරාණ රජමහාවිහාරයෙහි හා කැළණියේ විද්‍යාලංකාර මහාපිරිවෙන්හි ද මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙහි ද ධර්මසංගායන‍ා තුනක් පැවැත්විණ.

බුරුම රජය දෙදහස් පන්සියයේ බුද්ධජයන්තිය නිමිති කරගෙන ධර්මසංගායන‍ාවක් පවත්වන්නට තීරණය කොට බුරුම මහාසංඝයා වහන්සේත් බුද්ධශාසන ඇමතිතුමා ප්‍රධාන ගිහි නියෝජිතයෝ ද මෙහි පැමිණිය හ. එකල රජය විසින් නියෝජිත පිරිස මහත් ගෙ‍ෟරවයෙන් පිළිගන්නා ලද්දේ ය‍. එකලැ මෙහි වාසය කළ මාහිමියන් වහන්සේලා සාකච්ඡා කොට සංගායනාවක් පැවැත්වීම මැනැවැයි තීරණය කළහ.

බුරුම රජය මුල්වී ශ්‍රී ලංකා, බුරුම, සියම, කාම්බෝජ, ලාව යන ථෙරවාදී රටවල් සම්බන්ධ කර ගෙන කෝටිප්‍රකෝටි ධනය වියදම් කරමින් සංගායනා ස්ථානය සම්පාදනය කළා. එවකට ශ්‍රී ලංකාවෙහි තුබුණු ත්‍රිපිටක ග්‍රන්‍ථ බහුශ්‍රැත ධර්මධර මාහිමියන් වහන්සේලාගෙන් යුක්ත සංඝමණ්ඩලයක් විසින් සම්පාදනය කොට යවන ලදි. මෙහි ත්‍රිපිටක ග්‍රන්‍ථත් එහි බුරුම අකුරින් තුබුණු ත්‍රිපිටක ග්‍රන්‍ථත් සංසන්දනය කොට බලා පිරිසිදු ථෙරවාදී ත්‍රිපිටකය අවුරුදු දෙකක් මුළුල්ලේ සංගායනා කරන ලදී. මේ සංගායන‍ාව නම් කළේ ඡට්ඨ සංගායනා නමින් ය. ශ්‍රී ලංකාවෙහි ත්‍රිපිටකය පරිවර්තනය පිළිබඳ කාරක සභාව ද එය පිළිගෙන ඇත. පඤ්චම සංගායනාව හා ඡට්ඨ සංගායන‍ාව අතර කාලයෙහි ශ්‍රී ලංකාවෙහි පැවැති ධර්මසංගායන‍ා දෙක නොපිළිගත්තේ කවර හේතු නිසා දැයි නො දනිමි. මේ ධර්මසංගායනා පිළිබඳ පිළිවෙල කථාව යි.

ඉදිරියෙහි සඳහන් වන්නේ පැවැත්වුණු ධර්මසංගායන‍ා පිළිබඳ කෙටි සටහන් හා සප්තම ධර්ම සංගායනාවට අවශ්‍ය කරුණු සැකෙවිනුත්, ශාසනස්ථිතිය සඳහාත්, ශාසනාරක්‍ෂාව සඳහාත්, බෞද්ධ ප්‍රබෝධය සඳහාත් ගත යුතු ක්‍රියා මාර්ග සැකෙවිනුත් ය.

 

යෝජිත සප්තම ධර්මසංගායනාව

(1) පූර්ව සංගායනා හයට අනුරූප වීම

1.1       පූර්ව ධර්ම සංගායනාව

බුද්ධ පරිනිර්වාණයෙන් තුන්මසක් ගිය කල රජගහ නුවර දී ය. මහා කස්සප මහරහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙනි.

අජාතසත්තු රජතුමා ගේ දායකත්වයෙනි.

රහතන් වහන්සේ පන්සිය නමක ගේ සහභාගිත්වයෙනි.

ගත වූ කාලය මාස 7 යි.

1.2       ද්විතීය ධර්ම සංගායනාව

බුද්ධ වර්ෂ 100 දී ය.

විශාලා මහා නුවර දී ය.

සබ්බකාමී මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙනි.

කාලාශෝක මහ රජතුමා ගේ දායකත්වයෙනි.

රහතන් වහන්සේ 700 නමක ගේ සහභාගිත්වයෙන්.

ගත වූ කාලය මාස 9 යි.

1.3       තෘතීය ධර්ම සංගායනාව

බුද්ධ වර්ෂ 235 දී ය.

පැළලුප් නුවර දී ය.

මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙනි.

ධර්මාශෝක රජතුමාගේ දායකත්වයෙනි.

රහතන් වහන්සේ 1000 නමක ගේ සහභාගිත්වයෙනි.

ගත වූ කාලය මාස 9 යි.

1.4       චතුර්ථ ධර්ම සංගායනාව – ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම

බුද්ධ වර්ෂ 440 හා 454 අතර කාලයෙහි.

මාතලේ අලු විහාරයේ දී ය.

කුන්තගත්‍ථ තිස්ස මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙනි.

වළගම්බා රජ කළ දිසාපතියකු ගේ දායකත්වයෙනි.

රහතන් වහන්සේ 500 නමක ගේ සහභාගිත්වයෙනි.

1.5       පඤ්චම ධර්ම සංගායනාව

බුද්ධ වර්ෂ 2414 දී ය.

බුරුම රට මණ්ඩලේ නුවර දී ය.

ජාගරාභිවංස මා හිමියන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙනි.

මිං ඩොං මිං රජතුමාගේ දායකත්වයෙනි.

මා හිමියන් වහන්සේ 2400 නමක ගේ සහභාගිත්වයෙනි.

1.6       ජට්ඨ ධර්ම සංගායනාව

බුද්ධ වර්ෂ 2498 දී ය.

බුරුම රට රැන්ගුන් නුවර දී ය.

රට්ඨගුරු රේවත මා හිමියන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙනි.

බුරුම රජයේ ද‍ායකත්වයෙනි.

මා හිමියන් වහන්සේ 2500 නමක ගේ සහභාගිත්වයෙනි.

 

(2) සංගායනාවට පෙර ශාසන ශෝධනයක් කිරීම

එ‍් සාමකාමී ශාසන ශෝධනය සඳහා කළ යුතු දෑ

2.1       නිකාය කතිකාවත් ක්‍රියාත්මක කිරීම

නිකායත්‍රයයට කතිකාවත් තුනක් පිළියෙළ කර ඇත. ඒ කතිකාවත් සංශෝධනය කරවා ගෙන රජය පිළිගෙන ක්‍රියාත්මක කිරීමට නීතිමය බලයක් ලබා දිය යුතු ය. කතිකාවත් කඩ කරන භික්ෂූන්ට නිකාය අධිකරණ විසින් දෙනු ලබන තීරණය රජය ද පිළිගත යුතු ය. අවශ්‍ය නම් පමණක් සංඝාධිකරණයට අභියාචනා කිරීමට ඉඩ දිය යුතු ය.

2.2       සංඝාධිකරණය පිහිටුවීම

දැනට පිළිගෙන තිබෙන අයුරු කොටස් තුනකින් යුක්ත අධිකරණයක් පිහිටුවා පොදු අභියාචනා අධිකරණයක් ද පිහිටුවිය යුතු ය.

2.3       භික්‍ෂු අධ්‍යාපනය සම්පූර්ණයෙන් ශාසනානුලෝම කිරීම

භික්‍ෂු අධ්‍යාපනයෙහි කෙළවර ප්‍රාචීන විභාග හා බෞද්ධ විශ්ව විද්‍යාලයයෙහි අධ්‍යාපනය විය යුතු ය. අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨය ද පවත්වා ගෙන යාමට බාධාවක් නැත.

2.4       බෞද්ධ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම

භික්‍ෂූන්ගේ උසස් අධ්‍යාපනයටත් සමඟ අංග සම්පූර්ණ නේවාසික පහසුකම් ඇති බෞද්ධ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම. භික්‍ෂූන් වහන්සේ පමණක් නේවාසික වන අතර අන් කාටත් බාහිර උපාධි ගැනීමට ඉඩ දිය යුතු ය.

2.5       ධර්ම විනය ප්‍රශ්න නිරාකරණය කිරීම

පූර්ව සංගායනාවට පෙරත් පසුවත් ධර්ම විනය ප්‍රශ්න විසඳූ සැටි අටුවා කියයි. එහෙයින් මෙකල තිබෙන ධර්ම විනය ප්‍රශ්න විසදා තැබීම ද ශාසන ශෝධනයකි. ඒ සඳහා උබ්බාහිකාවක් හෙවත් කොමිසමක් පත් කළ යුතු ය.

2.6       ගිහි බෞද්ධයන් සඳහා ද දැහැමි දිවි පැවැත්මකට අදාළ ප්‍රතිපත්ති මාලාවක් පිළියෙල කිරීම

ගිහි බෞද්ධයන්ගේ දිවි පැවැත්මට චාරිත්‍ර විධිවලටත් උපකාර වන පරිදි ප්‍රතිපත්ති මාලාව සම්පාදනය විය යුතු ය. සුන්දර සමාජයක් ගොඩනැගීම සඳහා එය බෙහෙවින් උපකාර වනු ඇත.

2.7       සියලු කටයුතු ධර්මිෂ්ඨ සමාජ පිළිවෙතට අනුරූප කිරීම

රටේ සංස්කෘතියටත් ධර්මිෂ්ඨ සමාජ පිළිවෙතටත් පටහැනි කරුණු රාශියක් රට පුරා පැතිරී ඇත. ඒවා ඉවත් කොට සියලු කටයුතු ධර්මිෂ්ඨ සමාජ පිළිවෙතට අනුරූප කළ යුතු ය.

 

(3) ධර්ම සංගායන‍‍ා පැවැත්වීම

3.1       අනුරාධපුරය යොදා ගැනීම

ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගය අනුරාධපුර යුගය යි. ඓතිහාසික පූජනීය භූමිය ද අනුරාධපුරය යි. එහෙයින් ධර්ම සංගායනාව සඳහා එම භූමිය යොදා ගැනීමේ දි එය ඇසුරු කරන ජනතාවගේ සිත් සතන් තුළ ද ප්‍රබෝධය ඇති කළ හැකි ය. එහෙයින් අනුරාධපුරය යොදා ගත යුතු වේ.

3.2       අංග සම්පූර්ණ සංගායනා ස්ථානයක් ඇති කිරීම

මහමෙවුනා උයන හෝ ඒ ආශ්‍රිත භූමි භාගයක් මේ සඳහා යොදා ගත යුතු ය. ගොඩනැගිලි ඉදි කිරීමේ දී පරිසරය දූෂණය නොවන පරිදි කල යුතු අතර එ‍් ගොඩනැගිලි එළිමහන රුක්ගොමු අතර පැතිරී ගිය අරමක ස්වරූපය ගත යුතු ය. සංගායනාව අවසානයේ දී බෞද්ධ විශ්ව විද්‍යාලය පැවැත්වීමට සුදුසු වන පරිදි ගොඩනැගිලි සකස් විය යුතු අතර එය ආසියානු බෞද්ධ කේන්‍ද්‍රස්ථානය බවට පත්කරලීමට කටයුතු කළ යුතු ය. ඉදි කිරීම් සඳහා අනෙක් බෞද්ධ රටවල ද සහාය ලබා ගැනීමට කටයුතු කළ හැකි ය.

3.3       සංගායනා සැලැස්ම පිළියෙළ කිරීම

2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මුද්‍රණය කරනු ලැබ ඇති ත්‍රිපිටක ග්‍රන්‍ථ එකින් එක සජ්ඣායනා කරවා භික්‍ෂු මහා සංඝයා විසින් පිළිගැනීම. මුද්‍රිත ත්‍රිපිටකය අවුරුදු එකක කාලයක් තුළ දී සජ්ඣායනා කොට නිම කළ හැකි වන පරිදි සංගායනාව සැලැසුම් කළ යුතු ය.

3.4       සෑම සජ්ඣායනා වාරයකදී ම භික්‍ෂූන් පන්සිය නමක් සජ්ඣායනාව සඳහා නිරත වීම

සෑම සජ්ඣායනා වාරයක් සඳහා ම සුදුසු භික්‍ෂූන් වහන්සේ පන්සිය නමක් තෝරා ගැනීමට සැලසුම් කළ යුතු වේ. නිරීක්‍ෂණ වශයෙන් වුවමනා තරමක් භික්‍ෂූන් වහන්සේ පෙනී සිටීමට පුළුවන. සංගායනාව සඳහා සහභාගී වන භික්‍ෂූන් වහන්සේ වත් මානත් පුරා පාරිසුද්ධිය ලැබ සුදුස්සන් විය යුතු ය.

3.5       ධර්මසංගායනාවට විදේශවලින් පමුණුවා ගැනීම

සෑම සංගායනා වාරයකට ම ථෙරවාදී රටවලින් භික්‍ෂූන් පමුණුවා ගැනීමත්, එක් රටකට එක් වාරය බැගින් මුලසුන පැවැරීමත් කළ යුතු වේ. දායක දායිකාවන්ට ද පහසුකම් සලසා දිය යුතු ය.

3.6       ධර්මසංගායන‍ාව පටන් ගැනීම හා අවසන් කිරීම

නියම කරගන්නා වර්ෂයේ පොසොන් පොහොයෙන් පටන් ගෙන ඊ ළඟ වර්ෂයේ පොසොන් පොහොයෙන් නිම කිරීමට සැලසුම් කළ යුතු වේ.

3.7       ත්‍රිපිටක ග්‍රන්ථ මුද්‍රණය

ධර්ම සංගායනාවට අවශ්‍ය ත්‍රිපිටක පොත් මුද්‍රණය වී ඇත. කලින් මුද්‍රණය කොට දැන් අවසන් වී ඇති පොත් යළි මුද්‍රණය කළ යුතු ය. බුද්ධජයන්ති සිංහල අකුරු ත්‍රිපිටක මුද්‍රණය ලෝකයේ ව්‍යාප්තිය සඳහා ඉංග්‍රීසි අකුරින් ද මුද්‍රණය කරවිය යුතු ය.

3.8       ධර්ම සංගායනාව නිරීක්‍ෂණය කිරීම

ධර්මසංගායනාව නැරඹීමට වුවමනා කරන ලක්වැසි සකල බෞද්ධ ජනතාවට ඊට ඉඩකඩ සලසා දිය යුතු ය. ධර්මසංගායනාව නිරීක්‍ෂණය කිරීම සඳහා සකල ලෝක බෞද්ධ ජනතාවට ආරාධනා කළ යුතු වේ. වුවමනා කරන අබෞද්ධ අයට ද ඉඩ සලසා දිය යුතු ය.

3.9       ප්‍රත්‍යය පහසුකම් සැලසීම

සංගායනාවට සහභාගී වන භික්‍ෂූන් වහන්සේලාට සංගායනා කාලය මුළුල්ලේ ප්‍රත්‍යය පහසුකම් සැලැසීමට එක් දිනක් එක් ශාසනාරක්‍ෂක මණ්ඩලයක මෙහෙයවීම යටතේ සිදු කෙරෙන අයුරින් සැලැසුම් කළ යුතු ය. දානමාන සකස් කිරීමට පහසුකම් හා එ‍් සඳහා පැමිණෙන අයගේ නවාතැන් පහසුකම් ආදිය ද සකස් විය යුතු වේ. මේ සඳහා පිළියෙළ වන භූමිය සංගායනා ප්‍රත්‍යය ගම්මානයක ස්වරූපය ගත යුතු අතර ප්‍රත්‍යය ගම්මානය සංගායන‍ා භූමියට ඉතා ම නුදුරින් හෝ ඈතින් ම හෝ නො විය යුතු ය. සංගායනාවට සහභාගී වන භික්‍ෂූන් වහන්සේලා එම ප්‍රත්‍යය ගම්මානයට පිඬු සිඟා යා යුතු අතර පිඬු ලබාගෙන ඉදිව ඇති දන්හලෙහි දී වැළදීමට කටයුතු සකසා තිබිය යුතු ය.

3.10  ධර්මසංගායනාව ආරම්භ කරන මංගල උත්සවය

ශාසනාරක්‍ෂක සමිති හා ශාසනාරක්‍ෂක මණ්ඩල ද මාර්ගයෙන් සිරිලක පුරා සංගායනා උත්සව පැවැත්විය යුතු වේ.

3.11  උභය ලෝකාර්ථ සාධනය

ලක්වැසි ජනතාවගේ උභය ලෝකාර්ථ සාධනය සඳහා සංගායනා කාලය තුළ මනා සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කොට සංස්කෘතික විප්ලවයක් හෙවත් සුන්දර සමාජ පරිවර්තනයක් ඇති කර ගත යුතු වේ.

 

(4) ශ්‍රී ලංකා බෞද්ධ විශ්ව විද්‍යාලය

ධර්මසංගායනාව අවසානයේ දී සංගායනා භූමියෙහි බෙ‍ෟද්ධ විශ්ව විද්‍යාලය ආරම්භ කළ යුතු වේ. භික්‍ෂූන් වහන්සේ ගේ උසස් අධ්‍යාපනය සඳහා මෙම විශ්ව විද්‍යාලය වෙන් කළ යුතු වේ.

 

(5) පුරාණ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම

ලංකාවේ දැනට නටඹුන් වී ඇති වෙහෙර විහාර පිළිසකර කොට රැක ගැනී‍ෙම් වැඩ පිළිවෙළක් යෙදිය යුතු ය.

 

දිවයින 1996.07.30

බුද්ධශාසන අමාත්‍යංශයේ උත්තරීතර අනුශාසක මණ්ඩලය වෙත ඉදිරිපත් කැරුණෙකි.

ප්‍රඥාප්‍රභා 6

 

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

ගස් වැවීම හැමදා පින් වැ‍ෙඩන පින්කමෙකි ...
ත්‍රිපිටකය ග්‍රන්‍ථාරූඪ කිරී‍‍ෙම් සිට කිතුවසින් පස්වන සියවස දක්වා කාලය තුළ ශාසනික සංසිද්ධි කිහිපයක් ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.