සමන්දෙවියන්ගේ සුදු ඇතා සිරිපා වදින, බලවේගවලින් නොඅඩු අවාරේ ශ්‍රීපාදය …

ලෝකයේ දීර්ඝතම කාල පරාසයක පවතින වන්දනා වාරයක් සේ සැලකෙන ශ්‍රී පාද වන්දනා සමය  වෙසක් පුන් ‍පොහෝ දිනයත් සමග නිමාවට පත්වෙයි.  සැම්බර් මාසයේ උඳුවප් පුන් ‍පොහෝ දිනෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ පුරා හය මාසයකට පසුවය. වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය නිමාවට පත්වීමත් සමගම සමනළ අඩවිය දිගු කලකට හුදකලා වේ. එම මාස හයක කාලය හැඳින්වෙන්නේ අවාරය යනුවෙනි.
ශ්‍රී පාද වන්දනා වාරය නිමාවට පත්වීම සනිටුහන් වන්නේ ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ සඳුන්මුවා ප්‍රතිමාව ඇතුළු පූජා වස්තූන් චාරිත්‍රානුකූලව සමන් ගිරෙන් පහළට වැඩම කරවීමත් සමගය.
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමේදී සුවිශේෂී වත් පිළිවෙත් රැසක් වේ. වන්දනා වාරය නිමාවට පත්වන්නේද එවැනිම සුවිශේෂී චාරිත්‍ර වාරිත්‍ර රැසක් ඉටු කිරීමෙන් පසුවය.
ශ්‍රී පාදස්ථානය හා ඊට සම්බන්ධ කටයුතු සියල්ලම වන්නේ ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි උඩමළුවේ භාරකාර හිමියන් හා තේවා භාර හිමිවරුන්ගේ මූලිකත්වයෙනි. මේ හැරුණු කොට උඩමළුවේ රාජකාරි ඉටු කරන රාජකාරිකරුවන් පහළොස් දෙනකු පමණද මේ කටයුතු සඳහා සහභාගි වේ.


සෑම වසරකම වෙසක් පුන් ‍පොහොය නිමාවට පත්වෙද්දී ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ වන්දනා වාරය අවසන් කිරීම සඳහා උඩමළුවට වැඩම කරති. වෙසක් ‍පොහෝ දිනයට පසු දින අලුයම් කාලයේ ශ්‍රී පාද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය ශ්‍රී පාද පද්මය අසලට වැඩම කරති. එහිදී විශේෂ ගිලන්පස, බුද්ධ පූජාවක්, පැවැත්වේ. ඉන්පසු උඩමළුවේ සමන් දේවාලයේද විශේෂ දේව පූජාවක් පැවැත්වේ. මේ අවස්ථාව වන්දනා වාරය තුළ උඩමළුවේ සිදුවන අවසන් ආගමික කටයුත්තය. යැයි අනතුරුව උඩමළුවේ වෙසෙන හේවිසි වාදකයින් මඟුල් බෙර වාදනයක් හා තේවා බෙර වාදනයක් කිරීමද පැරණි චාරිත්‍රයකි.
මෙම තේවා බෙර වැයීමෙන් පසු බැතිමතුන්ට උඩමළුවට ඇතුල් වීම තහනම් වෙයි. අනතුරුව ශ්‍රී පාද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනාවක් පවත්වද්දී උඩමළුවේ කපු මහත්වරුන් හා රාජකාරිකරුවෝ වන්දනා වාරය නිමාවට පත් කිරීමේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට පෙළ ගැසෙති.
සෙත් පිරිත් දේශනාවෙන් පසුව එළැඹෙන සුබ නැකතින් මුලින්ම උඩමළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව පිටතට වැඩම කරවනු ලබයි. ඉන්පසුව සමන් දේව ප්‍රතිමා සහ දේවාභරණද පිටතට වැඩම කෙරේ. ශ්‍රී පාද පද්මයට ඉහළින් ඉදිකර තිබෙන රන් පියැස්සේ කොත් වහන්සේ දෙනමද ඉන් පසු එම ස්ථානවලින් ඉවත් කෙරේ. ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් දෝවනය කරනු ලබන්නේ ඉන්පසුවය. මේ සඳහා සුවඳ ද්‍රව්‍ය රැසක් මුසුකළ පැන් කළ 07ක් යොදාගනී. ශ්‍රී පාද පද්මය දෝවනය කර පිටතට ගලායන ජලය රැස්ව සිටින බැතිමතුන් බෝතල් ආදියට එක්රැස් කරනු ලබයි. මෙම ජලය අමා පැන් නමින් හැඳින්වේ. ඒවා පානය කිරීමෙන් හා හිස ගැල්වීමෙන් නිරෝගී භාවය ලැබෙන බවට විශ්වාසයක් පවතී.
පිටතට වැඩම කරවූ පූජා වස්තූන් උඩමළුවෙන් පහත මළුවට වැඩමවා හේවිසි හා සාදු නාද මධ්‍යයේම අලංකාර රන්සිවිලි සහිත දෝලා දෙකක තැන්පත් කෙරේ.
මේ කටයුතුත් සමගම ශ්‍රී පාද උඩමළුවේ හඳුන් කුටියේ දොරගුලු වැසේ. සමන් දේවාලයද වසා දමා දොරගුලු දමනු ලබයි. ඉන්පසුව දේවාභරණ සහිත දෝලාවන් පෙරටු කොටගත් පෙරහර උඩමළුවෙන් පහළට ගමන් අරඹන්නේ වෙසක් සඳ කිරණින් සමනළ අඩවිය ආලෝකමත් වෙද්දීය.
සධාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහිත පූජා වස්තූන් සමන් ගිරෙන් පහළට වැඩම කිරීමත් සමගම ශ්‍රී පාද උඩමළුව සම්පූර්ණයෙන්ම ජන ශුන්‍ය කලාපයක් බවට පත්වේ.
අවාර සමයේදී ශ්‍රී පාදස්ථානයේ පහළ මළුවේ රැඳී සිටින්නේ ශ්‍රී පාද මුරකරුවන් කිහිප දෙනා පමණි.
වන්දනා වාරය නිමා වීමෙන් පසුව ශ්‍රී පාද අඩවියේ සියලු මාර්ගවල විදුලිය විසන්ධි කෙරේ. උඩමළුවේ ශ්‍රී පාද පද්මය අසල විදුලි බුබුළු කිහිපයක් හැරෙන්නට අනෙක් ස්ථානවල විදුලි බුබුලු හා විදුලි රැහැන් පවා ගලවා ඉවත් කෙරේ. මස්කෙලිය විදුලි ඉංජිනේරු කාර්යාලය මගින් හැටන් මාර්ගයේ විදුලිය විසන්ධි කරනු ලැබේ. රජ මාවතේ විදුලිය විසන්ධි කරනු ලබන්නේ ඇහැලියගොඩ හා රත්නපුර විදුලි ඉංජිනේරු කාර්යාල මගිනි. පුරා හය මසක කාලයක් තිස්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක වූ සමනළ අඩවිය ඉන්පසු අඳුරේ ගි‍ලේ. ජල සැපයුමද තාවකාලිකව නතර කෙරේ.
පුරා මාස හයක කාලයක් තිස්සේ අතොරක් නොමැතිව බැතිමතුන්ගේ අත්වල පිරිත් නූල් ගැටගසන භාරහාර ඔප්පු කරවන පන්සල් හා දේවාල ගණනාවක් ශ්‍රී පාද අඩවියේ තිබුණද වන්දනා වාරය අවසන් වෙද්දීම එම ස්ථානද වැසී යයි. මේවායේ වෙසෙන භික්ෂූන් වහන්සේද නැවත සිරිපා අඩවියට පැමිණෙන්නේ යළි වන්දනා වාරය ආරම්භ වීමෙන් පසුවය.
සිරිපා වන්දනා සමය නිමාවට පත් වීමත් සමගම සිරිපා අඩවිය කෙළිබිමක් කර ගන්නා පිරිසක්ද වෙති. ඒ වන සතුන්ය. මාස හයක පමණ කාලයක් බැතිමතුන්ගෙන් හා වෙළෙන්දන්ගෙන් පිරී පවතින සමනළ අඩවියේ වෙසෙන සතුන්ට උපරිම නිදහස ලැබෙන්නේ අවාර සමය එළඹීමත් සමගය. ශ්‍රී පාද අඩවිය පිළිබඳ අචල භක්තියකින් පසු වූ ගැමි බෞද්ධයා අවාර සමය හඳුන්වන්නේ ‘සතා සිව්පාවා සිරිපතුල වඳින කාලය” ලෙසය. සමන් ගිරට අධිපති සුමන සමන් දෙවියන්ගේ වාහනය වන සුදු ඇතා ශ්‍රී පාද පද්මය වන්දනා කරන්නේ අවාර සමය එළඹීමත් සමග බව පැරැන්නෝ විශ්වාස කරති.
එදා ගැමියන් අවාර සමයේදී සමනළ අඩවියට නොපැමිණියේ මේ කාලය තුළදී වග වලසුන්, සතා සිව්පාවුන් මෙන්ම විසකුරු සර්පයින්ද බහුලව සැරිසරන හෙයිනි.
වන්දනා සමයේදී පමණක් නොව අවාර සමයේදීද දහ පහළොස් වතාවක් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කර එහි ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම වර්තමාන ශ්‍රී පාද ස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ සිරිතය. ශ්‍රී පාද වන්දනා වාරයේ නිමාව පිළිබඳ ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් අදහස් දැක්වූයේ මෙසේය.
“වෙසක් පෙහොයෙන් පස්සේ වන්දනා සමය නිමා වුවත් අපි පුද පූජාවන්වල අඩුවක් කරන්නේ නැහැ. අවාර මාස හයේදීම ගල්‍පොත්තාවල පන්ස‍ලේදී තේවාව සිදු කරනවා. ඊට අමතරව පසළොස්වක ‍පෝයට ශ්‍රී පාද උඩමළුවේ වතාවත් කරනවා. අවාර කාලයේදී තමයි උඩමළුවේ හා ගමන් මාර්ගවල සංවර්ධන කටයුතු පටන් ගන්නේ. බැතිමතුන් නැති නිසා ඉදිකිරීම් කරන්න පහසුයි. අවාර සමයේදී සමනළ අඩවිය තුළ පාරිසරික වෙනස්කම් බොහොමයි. වන සතුන් බහුලයි. ඒ වගේම වචනයෙන් කියන්න බැරි අදෘශ්‍යමාන බලවේග රැසක් මේ කාලයේ ක්‍රියාත්මක වෙනවා. අධික වර්ෂාව, අකුණු ගැසීම්, සුළං කෝඩ, මීදුම වගේ පාරිසරික විපර්යාසත් මේ කාලය තුළ වෙනවා. මේ බව දැනගෙන තමයි අපේ පැරණි අය අවාරය වන්දනාවට නුසුදුසු බව පැවැසුවේ. අපිට ස්වභාවධර්මයට එරෙහිව යන්න බැහැ. ඊට යටත් විය යුතුයි. අවාර කාලයේ සමනළ අඩවියට එන අය විවිධ ගැහැටවලට ලක්වෙනවා. දියේ ගිලෙනවා සීතලෙන් මියයනවා. සතුන්ගේ ප්‍රහාරවලට ලක්වෙනවා. මේ බව තේරුම්ගත යුතුයි. පුද බිමේ ගෞරවය වගේම පරිසර සුන්දරත්වය ගැනත් අපි හිතන්න ඕනෑ.

ලක්බිම පුවත්පතේ ලිපියක් ඇසුරිනි …

අහස් ග‍ගේ සදා පිපී නැළ‍වෙන රන් සිරිපා පියුම නමදිමු ... ( ගායනය ‍- මොහිදින් ‍බෙග්)
රන් සිරිපා පියුම පිපී නැළවෙන සමන් දෙවි අඩවියේ හාස්කම් ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.