සතුට පරම ධනය වන්නේය. සතුටින් දිවි ගෙවන මග සොයමු ... - IFBC Organization | Dhamma

ආයුබොවන් පින්වත් යහලුවනේ. ඉතින් කොහොමද? අද අපි අලුත් මාතෘකාවක් ඔස්සේ කථා කරන්නේ. අපිට මේ මාතෘකාව අලුත් උනාට මේ ලෝකයේ ජීවය ආරම්භවුන අවස්ථාවේ තමයි මේ මාතෘකාව ප්‍රයෝජනය ගත්තේ. ඒ මොකක්ද ? වෙන මොකුත් නෙවෙයි. ඒ සතුටයි. මේ ලිපිය ලියන්න විහේෂ හේතුවක් තියෙනව. ඒ තමයි අක්ක කෙනෙක් කතා කරල කිව්ව එයාගෙ මහත්තය හරි පීඩනයක් යටතේ වැඩකරන්නෙ. ම‍ගේ ලිපි බලලයි සැනසෙන්නෙ කියල. ඉතින් ඔහු ඇතුලු මානසික පීඩාවන් යටතේ විදෙස් ගතව වැඩකරන ඔබට ඇතුලුව සතුට සොයන ඇත්තන්ටයි මේ ලිපිය ලියවුනේ.
දැන් මොකක්ද මේ ජීවයේ ආරම්භයයි සතුටයි අතර ඇති සම්බන්ධය. ඒ පිලිබද සදහන් වෙන්නෙ අග්ගඤ්ඤ සූත්‍රයේයි. ලෝකයට මුලින්ම මිනිසුන් බිහිවුනේ දෙවියන් වහන්සේ විසින් මැවීමෙන් කියල දේවවාදි ආගම් කියන්න පටන් ගත්තනෙ. ඒ වෙලාවෙ චාල්ස් ඩාවින්පරිණාමය තුලින් ඒ සියල්ල නිෂ්ප්‍රභා කරල ‍දේවවාදී ආගම්වලට දැඩි අතුල්පත් පහරක් එල්ල කලා. ඒත් ඩාවින්ලගෙ පරිණාමවාදය බොරුවෙන්න වැඩි කාලයක් ගතවුනේ නැහැ. ඒකට හේතුව තමයි ක්ෂුද්‍ර ජීවියෙක් පරිණාමය තුලින් මිනිසෙක් වෙන්න ගතවන කාලය තර්ම් කාලයක් පෘථිවියටවත් නැති තරම්ලු. තව විදිහකින් කිව්වොත් පෘථිවියෙහි වයස වගේ කිහිප ගුනයක් තරම් කාලයක් යනවලු ක්ෂුද්‍ර ජීවියෙක් මිනිසෙක් වෙන්න. ඇත්ත තමයි. බලන්නකො අවුරුදු දහස් ගණන් වයස මිනිස් සිරුරු මතුවෙනව‍. නමුත් අපේ ශරීරවල් එක්ක බැලුවම පුංචි වෙනස්කම් කිහිපයක් පමණයි තියෙන්නෙ. ඉතින් මේමගින් කියවෙන්නෙ පරිණාමවාදය පට්ටපල් බොරුවක් කියල. ඉතින් මේ දෙවියන්ගෙ නිර්මානයයි, පරිණාමවාදයයි කුණු කූඩෙට වැටුනනම් දැන් මොකක්ද ඉතිරිවෙන්නෙ. අන්න ඒකට කියන්නෙ ජීව විද්‍යාත්මක පරිණාමවාදය කියල. ඒකියන්නෙ මොකක්ද? වෙනත් ග්‍රහලොකයකින් ජීවීන් පැමිණෙන්න ඇතිය කියල. ඉතින් ඕකම තමයි බුදුහාමුදුරුවො අග්ගඤ්ඤ සූත්‍රයෙන් දේශනා කලෙත්. ඒ තමයි ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් ජීවීන් පැමිණිය කියන කතාව. මේ නවීන විද්‍යාව කියල නමක්වත් නැති කාලෙයි බුදුහාමුදුරුවො ඒව දේශනා කලේ.

හොදයි, මාතෘකාවෙන් පිට කතාව දුරදිග ගියත් යමක් ඉගෙනගත්තනෙ නේද? දැන් සතුටයි ජීවීන් බිහිවීමයි අතර ඇති සම්බන්දය මොකක්ද? ආභස්සර ලෝකෙන් ආපු මිනිස්සු ජීවත් උනේ සතුට ආහාරයට අරගෙනයි. ඒ බව අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලිවම දක්වල තියෙනව.
හොදයි, පින්වත් යාලුවනේ සතුට කිව්වම දෙයාකාරයි. ඒක ලෞකික මෙන්ම ලෝකොත්තර යන දෙකොටස බෙදෙනව. අපි මේ දෙයාකාරය ගැනම මෙතනදි කථා කරනව. විශේෂයෙන්ම බුදු දහම කියන්නෙ ප්‍රායෝගික දහමක්. ඒ නිසා ඔබේ සතුට මේ ගතකරන දිවිය තුලදීම මෙන්ම පරලොව දිවිය සදහාද උපකාරි වන ආකාරය අපි ඉදිරියේදී කතා කරනව.

හොදයි, සතුට පිලිබදව බුදුහාමුදුරුවො අපිට පැහැදිලිවම දේශනාවක් කරල තියෙනව. ඒ බව සදහන් වෙන්නේ ධම්මපදය සුඛ වග්ගයේ අටවන ගථාවෙයි. ( ධම්මපදය 204 ගාථාව.)

අරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං
විශ්වාසා පරමා ඥාතී – නිබ්බානං පරමං සුඛං

නිරෝගිකම පරම ලාභය යි. සන්තෝෂය නම් පරම ධනය යි. විශ්වාසය පරම ඥාතියා යි. නිර්වානය පරම සුවය යි.
සෑම මනුෂ්‍යයෙක්ම සතුටින් ජීවත්වීමට පි‍්‍රය කරති. කුඩා කාලයේ සිට මරණය දක්වාත්, මරණයෙන් පසු ලබන භවයේදීත් පී‍්‍රතිමත් ජීවිතයක් ලැබීමට කැමති වෙති. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘සියලු සත්ත්වයෝ සැප කැමැත්තෝ (සුඛ කාමානි භූතානි) යනුවෙනි. දුක යන වචනය ඇසීමට පවා පි‍්‍රය නොකරන මිනිස්සු දුක් විඳීමට ද අකැමැති වෙති. ‘සන්තුට්ඨි’ යන පාලි වචනයේ තේරුම සතුට හෙවත් පී‍්‍රතිය යන්න යි. සතුට පරම ධනය බව (සන්තුට්ඨි පරමං ධනං) බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා රත්නයෙන් දේශනා කලේ ඒ බවයි.
ලෞකික සතුට සහ ලෝකෝත්තර සතුට වශයෙන් සතුටේ අවස්ථා දෙකක් අපි කථා කලානෙ. ලෞකික සතුට, තාවකාලික ය. ක්ෂණිකව වෙනස් වෙයි. එය විඳින දෙයකි. එය ළඟාකර ගත් පසු නැති වී යන දෙයකි. එය බැඳීම් හේතුවෙන් ඇතිවෙයි. ලෝකෝත්තර වශයෙන් ලබන සතුට සදාකාලික වූවකි. එය සදාකාලික වන්නේ, එහි බැඳීමක් හෝ ගැටීමක් නොමැති බැවිනි. බැඳීම් ඇති වන විට ගැටීමක්ද ඇති වෙයි. බැඳීම්වලින් පිරි ලෞකික ජීවිතයෙහි සැබෑ සතුටක් තිබිය හැකි ද? නිවනෙහි බැඳීමක් හෝ ගැටීමක් නොමැති බැවින්, සැබෑ සතුට එහි පවතී. ‘නිවන පරම සැපයයි’ (නිබ්බාණං පරමං සුඛං) යනුවෙන් ඉහත ධම්මපදය සුඛ වග්ගයෙහි දැක්වෙන්නේ එබැවිනි.
එහෙත් වර්තමාන සමාජයෙහි මිනිස්සු සතුට සෙවීම පිණිස විවිධ දේ කරති. එමෙන්ම ජීවී අජීවී විවිධ වස්තු ළඟා කර ගැනීමට උත්සහ කරන්නේ ද සතුට බලාපොරොත්තුවෙනි. ලෞකික සෑම වස්තුවක්ම උත්සාහ කර ළඟා කර ගත් පසු එයින් තාවකාලික සතුටක් ලැබුවත් , බලාපොරොත්තු වූ සතුට එහි නොමැති බව හැඟෙයි. ලෝකයෙහි පෘථග්ජන මිනිස්සු කිසිම වස්තුවකින් සෑහීමකට පත් නොවෙති. කොතරම් ලැබුණත් තෘප්තිමත් නොවෙති. මේ සඳහා බලපාන ප්‍රධාන සාධකය, අධික තෘෂ්ණාවයි. අධික තෘෂ්ණාව නිසා ඇති වන්නේ, සතුට නොව දුකකි.

බෝසත් ස්වර්ණ හංසයා තම පෙර භවයේ බිරියටත්, දරුවන්ටත් රන් පිහාටුව බැගින් දිනපතා ලබා දුන්නත් එයින් සතුට නොවූ පෙර භවයේ බිරිය එකවර සියල්ල ලබා ගන්නට ගොස් කිසිවක් නොලබා දුකට පත් වූ හැටි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. (ජාතක පොත – ස්වර්ණ හංස ජාතිකය)
තෘෂ්ණාව, ශෝකයත් භයත් ගෙන දෙන බව, බුද්ධ දේශනාවයි. (තණ්හාය ජායතී සොකො – තණ්හාය ජායති භයං) ධම්ම පදය.

ඒ ඒ පුද්ගලයන් තුළ හෝ ඒ ඒ වස්තු තුළ සතුට ඇතැයි ඔබ සිතුවත්, සැබැවින්ම එය මිථ්‍යාවකි. එය මිරිඟුවක් පසුපස හඹා යෑමක් හා සමාන යි. ජලය ඇතැයි මිරිඟුව පසුපස දුවන සිව් පා ආදී සතුන් අවසානයේ ලබන්නේ, ජලය නොව – විඩාවත් මරණයත් පමණකි. සතුට සොයමින් භෞතික වස්තු පසුපස හඹා යන මිනිසාට ද අවසානයේ උරුම වන්නේ එයම නොවේ ද? සතුට අපේක්ෂාවෙන් බොහෝ භෞතික වස්තු රැස් කළත්, අවසානයේ ඉතිරිවන්නේ සතුට නොව, අසහනයත්, අවිවේකයත් පමණකි.
ඔබ ඔබගේ ජීවිතයට ළඟා කරගත්, ලබාගත් යම් වස්තු තුළ සතුට පවතී දැයි අවධානය යොමු කරමු. ගෘහ ජීවිතයෙහිදී මවුපියන් විසින් දූ දරුවන් හදන්නේ වඩන්නේ සතුටින් ජීවිත ගත කිරීම පිණිස වුවත් දූ දරුවන් සිටින සෑම මවක්ම පියෙක්ම සතුටින් සිටින්නෙහිද ? ඇතැම් මවුපියන් දරුවන් නිසා කොතරම් තැවීමට – වේදනාවට පත්වෙන්නේ ද? දරුවන් සිටින මවුපියන් , තම දරුවන් ආවාහ – විවාහ කර දෙන්නේ ඔවුන්ට සතුටින් සිටීම පිණිස නොවේ ද? එහෙත් විවාහ ජීවිතයේ සතුට නොමැති බැවින් දික්කසාද වෙන විවාහ ජීවිත අපායක් කර ගන්නා කොතරම් විවාහක පිරිස් සමාජයෙහි සිටිත් ද? එහි සතුට තිබේනම් පවුල් අවුල් වීමට දික්කසාද වීමට හේතු කවරේද? ඇතැම් මවුපියෝ තමන්ට දරුඵල නොමැති විට සමාජයෙන් නැන්දා, මාමා, ඇතුළු ඥාතීන්ගෙන් ද මොනතරම් අපහාස විඳිත් ද?
ඉතා රමණීය මන්දිර සාදාගෙන සුඛෝපභෝගි ලෙස ජීවිත ගත කරන බව සමාජයට පෙන්වන පවුල්වල හැමදෙනා සතුටින් සිටිත් ද? යාන වාහන, ඉඩකඩම් බහුලව ඇති හැම දෙනාම සතුටින් සිටිත්ද? ලොකු රැකී රක්ෂා කරන – ඉහළ තනතුරු, නම්බුනාම දරන හැම දෙනා සතුටින් සිටිත් ද? සැබැවින්ම මෙවැනි සම්පත් ඇති හැම දෙනා ඒ වස්තු තුළ සතුට නොමැති බැවින්, සතුට සොයමින් සිටිති.
ඇතැම් විට තමාට හැකියාව ද තිබියදී ගුණ ධර්මවල නොයෙදී, ගේ දොර ඉඩකඩම් හා දූ දරුවන් ගැන ආඩම්බර වෙමින් සමහරු කල් ගෙවති. මේ ආකාරයෙන් කල්පනා කරමින් ජීවත් වන පිරිස බාලයන් , මෝඩයන් ලෙස බුදුන්වහන්සේ හැඳින්වූහ. (ඉතිබාලො විහඤ්ඤති) තමාට තමාවත් නොමැති කළ අනෙක් දේවල් පිළිබඳව ආඩම්බර වීමේ ඵලය කිම? කොපමණ සම්පත් තිබුණත් ආඩම්බර නොවී – ගුණධර්මයන්හි නියැළෙන්නා දෙලොව ජය ගනියි.
සමාජයේ ඇතැම්හු තමා ළඟා කරගත් වස්තු තුළ සතුට නොමැති විට, වෙනත් විසමාචාර කෙරෙහි යොමු වෙති. ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීම, (ඉත්ති දුතෙතා) සුරාව කෙරෙහි ලොල් වීම, (සුරා දුතෙතා) සූදුව කෙරෙහි ලොල් වීම (අක්‍ඛ දුතෙතා) බහුලව දැකිය හැකි ය (පරාභව සුත්ත) සූදුව, සුරාව හා අනියම් ස්ත්‍රි පුරුෂයන්ගෙන් සතුට අපේක්ෂාවෙන් කටයුතු කර ජීවිත අවුල් කරගෙන මෙලොවත් පරලොවත් පිරිහෙන පිරිස් සමාජයෙහි කොතරම් සිටිත් ද?

යථා ලාභ සන්තුට්ඨි”
දැනට තේරිලා අවසන් වූ දේවල් එය මාගේ ලැබීම යැයි සිතා ලද දෙය සතුටින් බාරගන්න. ඔබගේ මව හෝ පියා දුසිල්වත් යැයි කියා ඔබට එය වෙනස් කළ නොහැකියි. එම කර්මානුරූපව සිදුවූ දෙයක් බව තේරුම් ගත යුතු වුවත් සමහර දේවල් අපට තෝරාගත හැකි බව ද තේරුම් ගත යුතුය.අනෙත් අය වෙනුවෙන්ද ඔබට යමක් තෝරා දිය හැකියි. එම අවස්ථාවලදී ඔබගේ මානසික පදනම විය යුත්තේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා විය යුතුයි. දරුවන් පිළිබඳව දුක සිතලා දරුවන් අඬන නිසා කිසිම දෙයක් දරුවාට තෝරා නොදිය යුතුය.
දුක් සිතීමෙන් අඬ අඬා තෝරන ලද දේවල බියකරු යථාර්ථය කාලයත්, සමග මතු පිටට පැමිණෙන නිසා. දරුවන්ට දේවල් තෝරා ගැනීමේදි දෙමාපියන්ගේ පදනම මෛත්‍රිය මිසක් ආදරය නොවිය යුතුය. දරුවාගේ සසර ගමනටම හානිකරන මෙලොව ජීවිතයට වාසනාව ළඟා කරවන දේවල් දරුවාට තිබෙන ආදරය නිසා ලබා දෙනවා.

තත්‍රා’යමා’දී භවති
ඉධ පඤ්ඤස්ස භික්ඛුනෝ
ඉන්ද්‍රියගුත්ති සන්තුට්ඨි
පාතිමොක්ඛේ ච සංවරෝ.

මේ සස්නෙහි නුවණැති මහණු හට උදය ව්‍යය සැලකීමෙහි දී සිවු පිරිසිදු සීලය මුල් වේ. ඉන්ද්‍රිය සංවර ශිලය ද, සිවුපසය ලද පමණින් සතුටු වීම ද, ප්‍රාතිමෝක්ෂ සංවර ශිලය ද යන සතර මුල් වේ. එහෙයින් මේ ශිලයෙහි පිහිටා පිරිසිදු ආජීවය ඇති, කුසීත නොවූ, කලණ මිතුරන් ඇසුරු කරවූ.

ලෝකයේ තියෙනවා සල්ලි ,ධනය, වස්තුව, ලාභය කියන වචන තුන හතරකි. මේ කියාපු හතර අපට දැනෙන්නේ තේරෙන්නේ සියල්ලම, මූල්‍ය ක්‍ෂේත්‍රයට අයත් වචන ලෙස, සල්ලි වලින් තොර ධනයක් ගැන අපට හිතන්න බැහැ. සල්ලිවලින් සහ ධනයෙන් තොර වස්තුවක් ගැන අපට හිතන්න බැහැ. සල්ලිවලින් මිනිය නොහැකි ලාභයක් ගැන අපට හිතන්න බැහැ.

එයට හේතුව මෙම වචන තුන හතරම එකම ක්‍ෂේත්‍රයට අයත් පාරිභාෂිත නම් වශයෙන්ම අපට දැනෙන නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට සහ ඒ නිසාම පමණක් නොවෙයි. ඇත්ත ඇති සැටියෙන් ග්‍රහණය කරගන්න උත්සාහ කළොත් මේවායේ තියෙන හැබෑව සහ බොරුව තේරුම් ගන්න පුළුවන්. ලෝකයේ තියෙනවා ධනවත් රටවල් දුප්පත් රටවල් ඌන සංවර්ධිත රටවල් සංවර්ධනය වෙමින් පවත්නා රටවල්, වශයෙන් රටවල් බෙදල තියෙනවා. එම රටවල ස්වභාවය අනුව බෙදල තියෙන්නේත්, සංවර්ධිත රටවල් යැයි කියාගන්නා රටවල් විසින්මයි. සංවර්ධිත රටවල් තමන් සංවර්ධනය වූ රටවල් බවට පත්කරගෙන ඉතිරි ටික බෙදා දක්වල තියෙනවා. සංවර්ධනය වූ රටවල් තමන් සංවර්ධනය වූ බවට හදාගන්න තියෙන නිර්ණායකය තමයි සල්ලි නොහොත් දළ ජාතික නිෂ්පාදිතය. දළ ජාතික ආදායම , ඒකපුද්ගල ආදායම වගේ දේවල් ඩොලර්වලින් මැනල මේ නිර්ණායක හදාගෙන තියෙනවා. මේ නිර්ණායක වල දැවැන්ත වැරැද්දක් තියෙනවා. ධනවාදී ආර්ථිකයක් තියාගෙන එකී ධනවාදී සිතිවිල්ලක ඉඳගෙන මැනපුවම මුදලට අර්ථය දෙන ධනය තමයි එකම පුරුෂාර්ථය බවට පත්වෙලා තියෙන්නෙ. නමුත් ලෝකයේ නිර්ණායකය බවට පත්වෙන්න ඕනෙ ධනය මිසක් සල්ලි නොවෙයි. සල්ලි නිර්ණායකය බවට පත් වූ විට වැඩිපුර සල්ලි තිබුණත් ධනය වැඩිපුර නැති වෙනවා. අවශ්‍ය වෙන්න ඕනෙ ධනය නිර්ණායකය කර ගැනීමයි. සල්ලියි ධනයයි අතර වෙනස පැහැදිලි කරගතහොත් එය සංවර්ධනය මනින්නත් උපකාර වෙනවා. පිටරටවල ලක්‍ෂ ගණන් වියදම් කරන තරු පහේ හෝටලයක හිටියත් ඒ හෝටලයේ ටැප් එකෙන් වතුර බොන්න බැහැ. ටැප් වලින් එන වතුර බොන්න බැහැ. අපේ රටේ කැසිකිළියක, වැසිකිළියක එන වතුරත් බොහෝ වෙලාවට බොන වතුර, එසේ බැලූවිට ඔය මහ සංවර්ධිත රටවල් වලට වඩා වතුර තියෙන රටක් හැටියට ලංකාව දියුණුයිද? ඕනෑම ළිදකින්, ටැප් එකකින් වතුර බොන්න පුලුවන් තත්වයක් තියෙන රටද දියුණු? තෝර තෝර වතුර බොන්න සහ සල්ලි දීල වතුර අරන් බොන්න සිද්ධ වෙන ඇමරිකාවද දියුණු? සල්ලි එහෙ තියෙනවා. වතුර මෙහෙ තියෙනවා. වතුර නම් ධනය, සල්ලි එහෙ. සල්ලි කියල තියෙන්නේ ධනය පරිවර්තනය කළ හැකි කිසියම් අගයක් සහිත මාධ්‍ය ඒකකයක් මිසක් සල්ලිවලින් කරන්න පුලුවන් දෙයක් නෑ. සල්ලිවලින් කළ හැක්කේ ධනය මිලදී ගැනීම පමණයි. පහසුකමක් මිලදී ගැනීමට පමණයි සල්ලි තියෙන්නේ පහසුකම නොවෙයි.

සල්ලි උඩ වාඩිවෙන්න බැහැ. සල්ලි දීල පුටුවක් අරන් වාඩිවෙන්න පුලුවන්. සල්ලි වලින් නිරෝගි වෙන්න බෑ. සල්ලිවලින් බෙහෙතක් අරන් සනීපවෙන්න පුළුවන්. සල්ලිවලින් මෙට්ටය, ඇඳ ගන්න පුළුවන් නමුත් නින්ද ගන්න බැහැ. සල්ලි වලින් බෙහෙත් ගත්තත් නිරෝගිකම ගන්න බැහැ. සල්ලි වලින් පොත් ගන්න පුළුවන් නමුත් උගත්වෙන්න බැහැ. එම නිසා සල්ලි යනු ධනය මිලදී ගන්නා ඒකකයක් පමණයි. සල්ලි ගොඩක් තියෙන තැනැත්තාට පහසුකම මිළදී ගතහැකි මිසක් හා ධනය මිලදී ගත හැකි මිසක්, ධනය තියෙනවා කියන දෙය නොවෙයි. ඔහු ධනවතෙක් නොවෙයි. සල්ලි කාරයෙක් පමණයි. සල්ලි කාරයෙක් වෙන්නාවූ තැනැත්තා ධනවතෙක් නොවෙයි

සල්ලිකාරයාද? ධනවතාද?
ගොවියෙකු ලෙස ගොවි ගෙදරක, ගොඩ ගොවිතැන් කරනවා, මඩ ගොවිතැන් කරනවා. තුන්වේලම කන්නත් විකුණන්නත් හාල් තියෙනවා. තව ගෙයක් තියෙනවා කොළඹ, ඒ අයට ඉඩම් නැහැ. ඒ කුඹුරු ගොඩ ගොවිතැන්, මඩ ගොවිතැන් නැහැ. නමුත් ගොඩක් සල්ලි තියෙනවා. මේ ගොල්ලන්ට සල්ලි තියෙනවා. අනෙක් අයට ආහාර තියෙනවා. මේ අයගෙන් කොළඹ සිටින තැනැත්තා සල්ලිකාරයෙක් මිසක් ධනවතෙක් නොවෙයි. අනෙක් තැනැත්තා ධනවතෙක්, ඔහුට ධනය තියෙනවා සල්ලි නැහැ. දැන් මේ දෙකෙන් වටින්නෙ මොකක්ද බලමු. හදිසියේ සොභාවික ආපදාවක් ආව. ගමින් බඩු කොළඹට යන එක නැවතුනා. පාරවල් සේරම කැඩුන. ප්‍රවාහනය අඩාල උනා කියල හිතන්න. ආහාර කිසිවක් රැගෙන එන්න අවස්ථාවක් නැති විදිහෙ තත්වයකට පත් උනා. ‍සල්ලිකාරයන්ට මොකද වෙන්නෙ. නිකම්ම මැරිල යන්න වෙනව. නමුත් ධනවතාට එහෙම දෙයක් වෙන්නෙ නැහැ. ඇයි එයාගාව සියලු දේවල් තියෙනව. එයාට කාලයක් ජීවත් වෙන්න පුලුවන්. තට්ටු ගනන් උඩ සදලුතලවල ඉන්න ඇත්තන්ට නොලැ‍බෙන පෝෂ්‍යදායී ආහාර කැලේ කොලේ ඉන්න අයට නැතිනම් නගරෙ අයගෙ භාෂාවෙන් කියනවනම් “ගොඩේ බයියල” ට ලැබෙනව. ඔය ෆන්එකේ ඉන්න නගරයේ පොෂ්කාරයන් ටික කාලයක් යද්දි “බ්ලඩ් ප්‍රෙෂර්, ශුගර්, හාර්ට් ඇටෑක්, ගැස්ට්‍රයිටිස්, ආතරයිටික්ස්, කැන්සර්” වගේ මහ භයානක රෝග වලට ගොදුරුවෙනව. දැන් බුදුහිමියන් දේශනා ගල “ ආරෝග්‍යා පරමා ලාභා ” කියන කාරනය නැතිවෙලා යනව. ඒ කියන්නෙ “ නිරෝගි කම පරම සැපත ” කියන එක. ඉතින් කොහෙ තියෙන “සන්තුට්ඨි පරමං ධනං ” ද ? “ සතුට පරම ධනය වේ” යන කාරණය එතනින් ඉවත් වෙනව.
හැබැයි අපේ ගමේ ගොඩේ ඇත්තන්ට නම් ඔය එක ලෙඩක් වත් නැහැ. වැනල් කරන්න ස්පෙෂලිස්ට්ලත් නැහැ. මොකද මහන්සිවෙලා වැඩකරන ඇත්තන්ට ප්‍රෙෂර් කොයින්ද? ඇගෙන් දහදිය දානකොට ශ්‍රගර් කොහින්ද? නම ඇහුවමත් බය හිතෙන හාර්ට් ඇටෑක් වෙනුවට තියෙන්න පපුවෙ කැක්කුමක් විතරයි. ඒකට ස්පෙෂලිස්ට්ල ඕනි නෑ. මී තෙල් ටිකක් ගාල ගම්මිරිස් කොළයකින් තැව්වම ඒක හොදයි. ගැස්ට්‍රයිටිස් ගමේ අයට නැහැ. තියෙන්නෙ අම්ලපිත්ත රෝගයනෙ. ඉතාම කලාතුරකින් කෙනෙකුට හැදෙන රෝගයක් ඒක. ඊලගට ආතරයිටික්ස් ගමේ අයට නැහැ. දනිස් මාරුවනෙ තියෙන්නෙ. ඔය ඇත්තෝර කොල ටිකක්, කොබ්බෑකොල ටිකක් එක්ක අත්බේතක් අඹරල ගෑවම සුව වෙනව. කැන්සර් කියන දේවලුත් ඉස්සර නැහැ. ගඩු, ගෙඩි, පිලිකා කියල තිබ්බ. ඕකට කියන්නෙ ගෙඩි වෙදකම. බඩේ තියෙන ගෙඩි බෙහෙත්වලින් කකුලට ලෙනැල්ල පලල අයින් කරන පුදුම තාක්ෂණයක් තිබ්බ කියල එයාල පිලිගනීද මන්ද ? සමට යටින් ඒ ගෙඩි බෙහෙත්වලින් එලියට එන්න තල්ලු කරනව. මේව මහ පුදුම සරල දේවල්. ඉතින් ගමේ මිනිස්සු හැමදාම සතුටින් හිටිය.

නගරයේ අය දවස පුරාම දුවල දුවල නින්දක් නැතිව විදින අනන්ත දුක අත්විදල අන්තිමට සොච්චමක් අරන් ණයත් වෙනව. ඒ මොකද සැප විදින්න තියෙන අධික තෘෂ්ණාව නිසා. ඒත් සැපක් ලබනවද? සතුටක් ලබනවද? ගන්න පුලුවන් තරම් ණයට බඩු අරන් ගොඩගහගන්නව. ඊටපස්සෙ ඒවට ණය ගෙවනව. ඒව විදුලි බඩුනම් තව බිල් ගෙවන්නත් පටන් ගන්න ඕනි. දරුවන්ගෙ වැඩයි, උත්සව, ඇතුලු අනෙක් අවශයතාත් එක්ක ජීවිතකාලෙම කරන්නෙ දුක් විදින එක නේද? දරුවන් ගැනවත් හොයන්න වෙලාවක් නැහැ. උන් නන්නත්තාරෙ යනව. අන්තිමට ලැබෙන්නෙ දුක විතරයි. මේකද අපි සොයන සතුට. ඔය මුදල් වලින් සොයන සතුට ඇත්තටම සතුටක්ද කියල ඔයාලම හොයල බලන්නකොත.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ ධනවන්තයෝ වෙන්න මිසක් සල්ලිකාරයෝ වෙන්න නොවෙයි. සල්ලි කාරයා යනු ධනවතෙක් නොවෙයි. රටක් සංවර්ධනය වෙන කොට නිර්ණායක විශාල ප්‍රමාණයක් තියෙනවා. බොන්න වතුර තියෙනවද?, ගිනිකදු තියෙනවාද නායයාම් වැනි ස්වාභාවික උපද්‍රව තියෙනවාද? සාක්ෂරතාව තියෙනවද? දෙමව්පියන්ට සලකන ජනතාවක්ද? ආගමිකද? සහනයෙන් ජීවත් වෙනවද? යුද්ධ තියෙනවද? මේ සියල්ලත් සමග තමයි අපට සතුට කියන දෙය ලබන්න පුළුවන් වෙන්නෙ.

ධනය සල්ලි ලෙස හිතපුවහම මිනිස්සු පවුල් ජීවිතය උකස් තියලා සල්ලි හොයනවා. සතුට විකුණලා සල්ලි එකතු කරනවා. සහනදායි ක්‍රම කෑලි කෑලිවලට කඩල සල්ලි හම්බ කරනවා. මිනිස්සු ලඟ අසතුට අසහනය වගේ දේවල් ඉතිරිවෙලා සල්ලි ගොඩගැහෙනවා.

සතුට පරම ධනයයි
තථාගතයන් වහන්සේගේ වාක්‍ය හරි වැදගත් “සන්තුට්ඨි පරමං ධනං” සතුට පරම ධනය වේ. සතුට යනු එකම ධනය ලෙස දේශනා නොකළත් සතුට යනු හොඳම ධනය ලෙස දේශනා කරල තියෙනවා. ඒක සල්ලි වලින්ම ගන්න බැහැ. නමුත් ටිකක් ගත හැකි තමාට ආදරය කරන සහ තමාට ලෙන්ගතු භාර්යාවක් සහ ස්වාමිපුරුෂයෙක් හා දුවා දරුවන් සල්ලි වලට ගන්න බැහැ. දානයක් දීල ලබන සතුට සල්ලි හම්බ කරල ලබන සතුට නොවෙයි. සල්ලි වියදම් කරල ලබන සතුටක්. සල්ලි දීලත් සතුට ගන්න පුළුවන් සල්ලි වියදම් කරලත් සතුට ලබාගන්න පුළුවන්. සල්ලි නැති කරගෙනත් සතුට ලබන්න පුළුවන්. කොහොම උනත් ලබන සතුට අහිංසක සතුටක් වෙන්නම ඕනි. මොකද එහෙම නොවෙන්න ඔබ ලබන සතුට අවසානෙදි දුකක් වෙන්න පුලුවන්.
රම්‍ය, සුරම්‍ය, සුබ කියන මාලිගා තුන සහ වස්තු සියල්ල අතහැරල ගහක් යටට ගොස් සතුට ලබපු කෙනෙක් තමයි බුදුහාමුදුරුවො රම්‍ය, සුරම්‍ය, සුබ මාලිගා, සිංහාසනය, කිරීටය, රාජ්‍ය, ඇත්,අස්,රථ,පාබල, සිවුරඟ මහ සෙනඟ සහ සමස්ත මහා රාජධානිය දැසි දසුන් පමණක් නෙවෙයි. සත් දිනකින් පහලවන චක්‍රවත්ති රජ පදවියත් සමග අතහැරලයි හුදකලා වන අරණක රුක් මුල සතුටු වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. සතුට පරම ධනය කියන දෙය විඳගත් ආකාරය අපට වඩාත් ඉන් පැහැදිලි වෙනවා. එවකට හිටිය සල්ලිකාරය අනේපිඬු සිටුතුමා, විශාඛා සිටු තුමිය ඇතුළු සකළ විධ සල්ලි කාරයන්ගේ ජීව දත්තවත් අප ළඟ නැහැ. සිද්ධාර්ථ කුමාරයාගේ පරම්පරාවේ ජීව දත්තවත් අප ගාව නැහැ. බිම් අඟලක්වත් නොතිබුණ ගෞතම ගෝත්‍රයේ උපන් සිද්ධාර්ථ නම් වූ විශිෂ්ටයාගේ චරිතයේ සියල්ල අප දන්නවා. ඔහුට සල්ලි තිබුණේ නැහැ. ඔහුට මගේ කියා රැකගන්න කිසිවක් නැහැ. නැතිවෙන්න දෙයක් නැතිනම් කුමට දුක් වන්නද? එනිසා විශිෂ්ටයෙක් වන්නේ සල්ලි තිබීමෙන් නොවේ. ධනය තිබීමෙන්, සන්තුට්ඨි පරම ධනයයි. සල්ලි යනු ධනය නොවේ. ධනය යනු සල්ලි නොවේ.

මිනිසුන්ගේ ලොකුම වස්තුව
මිළඟට වස්තුව පිළිබඳව කතාකරන විට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “පුත්ථා වත්තු මනුස්සානං” මිනිස්සුන්ගේ වස්තුව දරුවො. දරුවො වස්තුව වෙච්ච සමාජයක් කොයිතරම් නම් අගේ ඇද්ද? තමන්ට තිබුණ එකම වස්තුව දරුවො ලෙස හිතපු මිනිස්සු ඉතිහාසයේ හිටියනෙ. ඒ මිනිසුන් ජීවත්වුණ තැනක්වත් හොයන්න බෑ. පොල් අතු, ගොම ගාපු බිම, වරිච්චි බිත්ති බැදපු ගෙවල්, ඒවායේ නෂ්ටාවශේෂවත් ඉතිරිවෙලා නැහැ. පොළවට පස්වෙලාම ගිහිල්ලා. එක ගෙදරක දරුවො දහය දොළහ හැදුණ වැඩුණා. ඔවුන් නිර්මාණය කළ රට ඉතිරිවෙලා තියෙනවා. ඔවුන් නිර්මාණය කළ දාගැබ් මහ බෝ ඉතිරිවෙලා තියෙනවා. ඔවුන් නිර්මාණය කළ මිනිස් සමාජය ඉතිරිවෙලා තියෙනවා. ඔවුන්ගේ ශරීරයත් ඔවුන්ගේ ගේ දොරත් ඉතිරිවුනේ නැහැ. වස්තුව වුනේ දරුවො රටක නිරෝගි සහ ජවසම්පන්න මිනිස් ප්‍රජාව තමයි බරපතලම වස්තුව. නිරෝගි, බුද්ධිමත්, පුරෝගාමි, ජවසම්පන්න දේශහිතෛෂී ජනතාවක් ලෝක හිතෛෂි ජීවත් වන්නේ නම් ඒක තමයි රටක වස්තුව. ඒක රටක වස්තුව වන්නාසේම තමයි ගෙදරක රටටත් පවුලටත් අදරැති නිරෝගි හිතෛෂි දරුපරපුරක් ඉන්නවා නම් එම පවුලට ඊට වඩා සම්පතක් නැහැ. ළමයෙක් හැදුනහම ඒ ළමයට ඕනෙ විදිහට ආර්ථිකය හදාගන්නවා මිසක්. අර්ථිකයට ඕනෙ විදිහට හා ගිණුමට අනුව ළමයෙක් හදාගන්නා සම්ප්‍රදායක් ලංකාවේ තිබුණේ නැහැ. එනිසා වස්තුව වෙන්නෙ දරුවො මිසක් තට්ටුගෙවල් හෝ ඉඩම් හෝ ගිණුම් හෝ දෙමුහුම් වාහන හෝ නොවෙයි. බලන්න ලොව්තුරු දහමක අසිරිය. මේ දහමටද මිනිස්සු කියන්නෙ පරලොවට වැඩකරන ආගමක් මිස මොලොවට පලක් නැහැ කියල. බලන්න අවිද්‍යාවක මහත.

සල්ලි නිසා දරුවොත් අමතක වෙනවා. ඔවුන් යම් දවසක නරුමයන් වන්නේද නරයන් වන්නේද මනුෂ්‍යයන් වන්නේද, අමනුෂ්‍යයන් වන්නේද නොහිතා සල්ලිම හෙව්වොත් සල්ලි ඉතිරි කරල මැරෙන්න වෙනවා. දරුවොත් දරුවා ඇතුළු පවුලක් සදාකාලික දුක්විදින්න වෙනවා.

පරම ලාභය
ඊළඟට ලාභය ලෙස අප හිතන්නේ අඩුගණනකට අරන් වැඩි ගණනක ට දුන්නහම ඉතිරිවන මුදල තමා සතු වන්නේ නම් එය ලාභය ලෙස හදුන්වනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලාභය දේශනා කළේ “ ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙනි. සල්ලි ගොඩාක් තිබිල ගෙදර ළමයකුට අසනීප වුණාහම ඒ ළමයා වෙනුවෙන් අර සල්ලි සියල්ලම වියදම් කළහම තියෙන සල්ලිත් ඉවරයි.ලැබෙන්න තියෙන නියමිත සල්ලිත් ඉවරයි. ලාභය නම් එම දෙකම රැකෙන දෙය තමයි නිරෝගිකම. මෙම කතාව පුරාවට ගොඩනැඟෙන තර්කයක් තමයි ලාභය, වස්තුව,ධනය, හා මුදල් යනු ආර්ථික හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ පාරිභාෂිතයන් ලෙස පමණක් හදුනාගැනීම පමණක් වැරදී . එය ලෝකය නිවැරදිව දැක්මක් වන්නේ නැහැ කියන දෙය මෙහි අවසාන නිගමනය ලෙස සඳහන් කළ හැක.

මංගල සූත්‍රයෙහි සඳහන් විසිහතර වැනි මංගල කරුණ වන්නේ “ සන්තුට්ඨි” නම් වූ ලද දෙයින් සතුටුවීම මංගල කරුණක් බවයි. මෙය ධර්මයෙහි “ යථාලාභ සන්තුට්ඨි” නමින් ද විස්තර කෙරේ. එමෙන්ම “ සන්තුට්ඨිතා” ගුණය ලෙස ද දක්වයි. මෙහි ලද දෙයින් සතුටුවීම යනුවෙන් අදහස් කරන්නේ දියුණුවීම පිණිස හෝ අභිවෘද්ධිය පිණිස කටයුතු කරන්නට එපා නම් වූ අදහස නොවේ. ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් නුවණින් ද, උත්සාහයෙන් ද, නොපසුබස්නා වීර්යයෙන් ද යුතුව කටයුතු කළ යුතුය. එනමුත් එමගින් ලද ප්‍රතිඵලය හෝ ලැබූ දෙය පිළිබඳව දුකට හෝ චිත්ත පිඩාවකට පත් නොවී සිටිය යුතු බව මෙමගින් අදහස් කෙරේ.
අප මෙම සාකච්ඡාව ජීවිතයේ මුල පටන්ම ආරම්භ කරමු. එනම් උපතේ පටන්ය. අප සියලු දෙනා උපතේ දී ලබන දෙයක් ඇත. “උපධි සම්පත්තිය” නම් වූ මෙය රූප සම්පත්තිය යි. අපගේ පාට, පෙනුම, සෝභාව මෙමගින් අදහස් කෙරේ. එමෙන්ම අපට හමුවූ දෙමව්පියන්, ධනය ඇති නැති බව, සොහොයුරු සොහොයුරියන්, රට ආදී වශයෙනි. අප කළ යුත්තේ උපතින් ලද පෙනුම සහ පරිසරය සිතේ සතුටින් පිළිගෙන ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතය පිළිබඳව වඩාත් සතුටට පත්වීමය. මේ කියන දේ දේ හරිද ? වැරදිද ? යයි ඔබම නුවණින් සිතා බලන්න. යම් කෙනෙකුට අප විසින් ගුණ යහපත් වූ හෝ “සීදේවි”, “රත්තරන්” මනුෂ්‍යයෙක් යනුවෙන් පවසන්නේ කුමක් නිසාද ? මුහුණ බලා පාට අනුවද ? එසේත් නැතිනම් හැඳ පැළඳගෙන සිටින වටිනා ඇඳුම් සහ ආභරණ ගැන සිතාද ? එම අයගේ දෙමාපියන්ගේ ධනවත් හෝ තනතුරු ගැන සිතා ද ? සත්‍ය ලෙසින්ම මේ කිසිවක් නිසා නොවේ. යම් අයෙක් ගැන ඉහත සඳහන් කළ ගුණ නාමයන්ගෙන් හඳුන්වන්නේ යහපත් වූ හැදියාව නිසාය. ඉන්ද්‍රිය සංවරය සහ එමගින් ඇතිවූ ගුණ යහපත් පැවැත්ම නිසාය. ඉතාම කෙටියෙන් සඳහන් කරන්නේ නම් “ මනුස්සකම නිසාය” මේ නිසා අප සියලු දෙනාම උපතින් ලද බාහිර පෙනුම පිළිබඳ දුකක් ඇතිකර නොගත යුතුය. අප උත්සාහයෙන් දියුණු කරගත යුත්තේ මිනිස්කම මතුකරන ගුණ ධර්මයි. කොපමණ බාහිර සෝභමාන පෙනුමක් තිබුණත් නපුරු ලෙස සිතන, කතා කරන සහ හැසිරෙන අයෙක් නම්, ඔහු හෝ ඇයට ලැබෙන නාමය නම් “ මහා නපුරු මනුස්සයෙක්” යන්නය. සුදු, කළු සහ දුඹුරු පාට ඇති ලෝකයේ සියලු මිනිසුන් අතර යහපත් සහ අයහපත් මනුෂ්‍ය දෙවර්ගයම සිටිති. මේ නිසා ලෝකයේ කවර නම් අයෙකුට වුවද උතුම්ම මනුෂ්‍ය රත්නයක් බවට පත්විය හැකිය. යම්විටෙක, උපතින් රෝගී තත්ත්වයක්, ඉන්ද්‍රියන්හි අසාමාන්‍ය ස්වභාවයක් හෝ සාමාන්‍ය පුද්ගලයකුගේ ස්වභාවයට වඩා වෙනස් ස්වභාවයක් වේ නම් ප්‍රතිකාර කිරීම වරදක් හෝ නොකළ යුතු යයි මින් අදහස් නොකෙරේ. දුප්පත් හෝ ධනවත් වුවද අප ලද දෙමව්පියන් කෙරේ ප්‍රීතිමත් වීම අවශ්‍යය. ඉන් අදහස් කළේ අපගේ දෙමව්පියන් දුප්පත්ය, නූගත්ය ආදී ලෙසින් සමාජ භේදයන් අනුව ගළපමින් දුක් නොවිය යුතු බවය. සමහර දරුවන් විසින් දෙමව්පියන් නිසා දුකට පත්වන අවස්ථා තිබේ. එනම් දුෂ්චරිතවත් මවක් හෝ පියෙක් තමන්ට උපතින් ලැබී ඇති අවස්ථාවක ය. සුරාවට හෝ සූදුවට ද සල්ලාල ජීවිතයකට ඇබ්බැහි වූ පියෙක් ඇති ගුණවත් දරුවන් මේ තත්ත්වයට පත්වෙනු ලැබේ. එවැනි අවස්ථාවක අවවාදයෙන් ද කල්‍යාණ මිත්‍ර ස්වභාවයෙන් ද නිවැරැදි මාර්ගයට ගැනීමට උත්සාහ ගන්න. එසේ නොමැති නම් තමාගේ ජීවිතය ගුණ යහපත් කමට පත්කර ගෙන සතුටින් ජීවත් වන්න. දෙමාපියන්ගෙන් එවැනි ගුණ දායාද කිසිවක් නොලද්දේ නමුත් තමා විසින් උත්සාහයෙන් සහ නුවණින් යුතුව කටයුතු කරමින් යහපත් මනුෂ්‍යයන් ලෙස ජීවත්වන අපමණ අය ලොව පුරා සිටිති. “ කසළ ගොඩක හටගෙන පිපුනත් මල විසිතුරු නම් සුවඳ හමන්නේ” නම් සියලු දෙනාම ඒ මලට ප්‍රිය බවක් දක්වති. එමෙන්ම සත්පුරුෂ ලෝකයා ගරු කරන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ චරිත ස්වභාවයට අනුව මිස පසුබිම ගැනම සිතාම නොවේ. ලද උතුම් මනුෂ්‍ය ජීවිතය ගැන සිතා වඩාත් සතුටු වෙන්න.

මීළඟට ධනය, වස්තු, ගේ දොර, තනතුරු, හැකියාවන් හෝ බාහිර සම්පත් පිළිබඳ ධර්මානුකූලව සිතා බලමු. ඔබට උපතින්ම ධනයක් හිමි වුවද, නො වූවද උත්සාහයෙන් ද නුවණින් ද කටයුතු කළ යුතුය. එසේ නොමැතිවුවත් උපතින් ලද ධනය වුවද විනාශවී යා හැකිය. ඔබට සැපවත් හෝ කරදරයක් නොමැති පහසු ජීවිතයක් ගතකිරීමට මිල මුදල් හෝ ධනයක් අවශ්‍යයය. මේ සඳහා මහන්සිවී ධෛර්යයෙන් යුතුව කටයුතු කරන්න. සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වා දෙන අයුරින් අලසකමින් අත්මිදීම අවශ්‍යය.

“දැන් ශීතලයි, ඉතා උෂ්ණයි, ඉතා සවස් යයි පවසමින් රැකියා හෝ කර්මාන්ත නොකරන අය වෙතින් ධනයෝ බැහැරව යති.” මෙසේ අලසකමින් තොරව උත්සාහයෙන් රැකියා හෝ ව්‍යාපාර කටයුතු ධර්මානුකූ®ලව සිදුකොට ලබන ලද ඵලයෙන් සතුටුවිය යුතුය. තමන්ට හැකි අයුරින් සහ නඩත්තු කළ හැකි අයුරින් සාදාගත් නිවස සෑහීමට පත්විය යුතුය. සමහරුන් තමන්ට දරාගත නොහැකි අයුරින් ණයකාරයන් බවට පත්වී අනවශ්‍ය ලෙස විශාල නිවෙස් ඉදිකිරීමට සහ යානවාහන ගැනීමට උත්සාහ කරති. අවසානයේ ණය පියවා ගැනීමට නොහැකිව නිරන්තර දුක් දොම්නස්වලින් පිරුනු සිතකින් යුතුව කාලය ගත කරති. පවුල් ජීවිතයේ අඬදබර ඇතිකර ගනිති. මීළගට ආතතිය ආදී ලෙඩ දුක්වලට පත්ව ජීවිතය ද පවුල ද එකම දුක් ගොඩක් බවට පත්කර ගනිති. ණය කාරයෙක් වී කාමර හත අටක නිවසක් සාදාගෙන එක කාමරයකවත් සතුටින් නිදාගෙන සිටින්නට නොහැකි නම් එම නිවසෙහි ඇති තේරුම කුමක් ද ? හැකි අයුරින්, තමාට නඩත්තු කළ හැකි අයුරින් පවුලට සෑහෙන පරිදි කාමරයක් හෝ දෙකක් නමුත් චාම්ව සාදාගෙන සතුටින් සිටීම වඩා අගනා නොවේදැයි ඔබම සිතා බලන්න.

නිරන්තරයෙන් ආදායම සහ වියදම ගැන සැළකිලිමත් වීම අවශ්‍යය. අනවශ්‍ය ලෙස ඇඳුම් පැළඳුම්වලට සහ බඩුමුට්ටුවලට වියදම් කිරීම නිසා බොහෝ කෙනෙක් අමාරුවේ වැටී සිටිති. මෙය වර්තමාන පරිසරයේ තරගයකි. අනෙක් අයට වඩා පෙනී සිටීමට ද ගේ දොර ඉදිකර ගැනීමට ද ඇඳුම් මිලදී ගැනීමට ද බඩු රැස් කර ගැනීමට විශාල තරගයක බොහොමයක් දෙනා යෙදී සිටිති. ඔබගේ සිතට ඔබම එබී බලන්නට පුරුදුවීම අවශ්‍යය. මෙම පෘථග්ජන සිත, යහපත හා අයහපත ගැන සිතා පාලනය නොකරන්නේ නම් කිසිදා දිනෙක සතුටු කිරීමට නොහැකිවනු ඇත. මහා සාගරයට ජලය කොපමණ ගලාගෙන පැමිණියත් සෑහීමකට පත් නොවන්නා සේම ගින්දරට කොපමණ දර දැමූවත් සෑහීමක් නොවන්නාසේම අභාවිත හෝ පාලනයක් නැති සිතට කොපමණ අරමුණු ලබා දුන්නත් සෑහීමකට සතුටකට පත්වන්නේ නැත.

“නත්ථි තණ්හා නදී සමා “ ලෙස පැවසූ අයුරින් තෘෂ්ණාව තරම් ගලනා ගංගාවක් තවත් නැත. අධික බලාපොරොත්තු, අධික ආශාව, නොතිත් ආශාව, ආදි මානසික පීඩාවෝ ලද පමණින් සතුටු නොවීමේ විපාකයන් ය. මෙයම පසුතැවීම, කෝපය, ශෝකය සහ විනාශයට ද හේතුවිය හැකිය. ‘ මහිච්ඡතා’ නම් වූ කොපමණ ලැබූවත් සෑහීමක් නැති දුර්ගුණයේ අභාග්‍යසම්පන්න ප්‍රතිඵල ඔබත් අවබෝධ කරගන්න. බුදුසමිඳුන් දෙසූ දහමකින් ඔබ මනස සුවපත් කරගන්නට ආරාධනා කරමි.

අතීතං නානු සෝචෙන්ති
නප්ප ජප්පන්ති නාගතං
පච්චුප්ථන්නේන යාපෙන්ති
තේන වණ්ණේ පසීදති

“අතීතය ගැන සිතා ශෝක නොකරන්න. අනාගතය ගැන මෙනෙහි කරමින් ප්‍රාර්ථනා පොදි බැඳගෙන ශෝක නොකරන්න. වර්තමානයෙහි සතුටින් ජීවත් වන්න. ඔබ නීරෝගී වේවි, ඔබ ප්‍රසන්න අයෙක් බවට පත්වේවි.”

හොදයි යාලුවනේ මේ සියල්ලෙන්ම ඔබට ගැඹුරුම අවබෝධයක් උදාවෙන්න ඇති සතුට නැතිනම් සන්තුට්ඨිය යන වචනය පිලිබදව.

දැන් අපි පැහැදිලිව සතුට ඇතිකරගන්නේ කෙසේදැයි සාරාංශය බලමු.

01. පලමු කාරනය නම් අටලෝ දහමින් කම්පා වෙන්න එපා. ඒක කියන තරම් ලෙහෙසි නැතිබව මම දන්නව. මොන කරදර ආවත් ඒක ඔබට මට විතරක් ආපු දේවල් නොවේ. සමහර විට ඔබ නිකරුනේ හිරේ විලංගුවෙ වැටෙන්න පුලුවන්. බැනුම් අහන්න පුලුවන්, ගුටිකන්න පුලුවන්. හැබැයි හැමදෙයක් දිහාම ඉවසීසේ උපේක්ෂාවෙන් බලන්න. කලබල නොවී දෙවරක් හිතන්න. අපිට වරදින්න පුලුවන්. සමහර විට අපිට ඉවසන්න බැරි අනා නේද කියල දුක හිතෙන්න පුලුවන්. ඒක මනුෂ්‍ය ස්වභාවය. ඒගැන කලබල වෙන්න එපා. නැවත නැවත එතෙන්න එන්න උත්සාහ කරන්න.

02. නිතර මෛත්‍රිය පතුරවන්න. බුදුහිමියන් කරණීය මෙත්ත සූත්‍රයේදි දේශනා කලේ ඉදගෙන, හිටගෙන, නිදියන, ඇවිදින කියන හැම ඉරියව්වෙදිම මෛත්‍රිය වඩන්න කියල. තමන්ට මෙන්ම තමාගේ දෙපාපිය, සොහොයුරු, බිරිද, දරුවන්, ඥාතිහිතමිතුරන්, හතුරන් මිතුරන්, සේව්‍ය සේවකාදීන්, පැවිදි උතුමන්, වැඩිහිටි, මධ්‍යස්ථ බාලාදීන්. ගම්වැසියන්, රටවැසියන්, ලෝකවැසියන්, අපා සතුන්, දෙපා සතුන්, සිවුපා සතුන්, බහුපා සතුන්, ජලචර සතුන්, විජලචර සතුන්, පෙනෙන සතුන්, නොපෙනෙන සතුන්, උපන් සතුන්, නූපන් සතුන්, විශාල සතුන්, කුඩා සතුන්, අපලෝකයේ ජීවත්වන සතුන්, වෙන් ලෝක වල ජීවත්වන සතුන්, අප චක්‍රාවාටය තුල සිටින සතුන්, වෙනත් චක්‍රාවාටවල සිටිවන සතුන් ආදී අප්‍රමාණ සියලු සත්වගට මෙත් සිත පතුරවන්න. මෛත්‍රිය වැඩීමේ ආනිසංස මෙතකැයි කියන්න බැහැ.
ඒව කෙටියෙන්ම කියනවනම් මෙහෙමයි

මෛත්‍රිය වැඩීමේ ආනිසංස …

සුඛන්ග් සුපති – හොඳ නින්දක් ලබයි
සුඛන්ග් පටිබුජ්ජති – සැපසේ අවදිවෙයි
න පාපකන් සුපිනං පස්සති – පවු සිහින නොදකී
මනුස්සානං ප්‍රියෝ හොති – මිනිසුන්ට ප්‍රියවේ
අමුනුස්සානං ප්‍රියෝ හොති – අමුනුස්සින්ට ප්‍රියවේ
දෙවතා රක්කන්ති – දෙවියන් විසින් ආරක්ෂා කරනු ලබයි
නාස්ස,අග්ගිවා, විසංවා,සත්ත්න්ග්වා කමති. – ගින්නෙන් ,වසවිසෙන් ,අයුදයකින් හානියක් නොවේ
චෝටන් චිත්තන්ග් සමාදියති – ඉක්මනින් චිත්ත සමාදිය ඇතිකර ගැනීමට උපකාරීවේ
මුකවන්නෝ විප්ප සිසති – මුහුණ ප්‍රහ්බාම්ත් වේ
අසං මුල්ලෝ කලං කරෝති – සිහි මුලනොවී මියයයි
උත්තරින්ග් අප්පටි විජ්ජන්තෝ – ජීවිතේ මාර්ග පල අවබෝද කරගන්න බැරි උනොත් බ්‍රහ්මලෝකෝ උප්පජ්ජොහොති බ්‍රහ්ම ලෝකේ උපදී

03. පරිසරයට ආදරය කරන සරල මිනිසෙක් වන්න. තමන් කරන්නේ කුමක්දැයි නිතර හිතන්න. බොහෝ දෙනෙකු තමන් විසින් තමන් රවටා ගනී. මා ඊලගට කරන්න යටන වැඩෙන් මම බලාපොරොත්තු වන්නේ කුමක්දැයි නිතර සිතන්න. ඔබටම වැටහේවි ඔබ කරන්නේ ලෝකයට තම ලොකුකම මහන්තත්ත කම පෙන්වීමට යෑමක් පමණයි කියල. හැකිතරම් සරල වන්න. අපි අදින ඇදුම් අයිත්තම් වලින් මූලිකවම බලාපොරාත්තු විය යුත්තේ විලි වැසීම සහ ශීත උෂ්ණවලින් ආරක්ෂා වීම පමණි. ඊට අමතරව කරන සරල විලාසිතා ඔබට අහිංසක සුන්දරත්වයක් ගෙන දේවි. ලෝකෙම තියෙන දහ ජරාව තොල් වලයි නියපොතු වලයි ගාගෙන පිලිකා හදාගන්න යන්න එපා.

04. කිසි විටක වෛර නොකරන්න. වෛරය යනු දිගුකල් පවත්නා කෝපයයි. සෑම දෙයක්ම අනිත්‍ය ලෝකයේ අපිට එකිනෙකා හරහා බෙදාගැනීමට ජන්මාන්තර වෛරයන් අවශ්‍ය නැත. කෝපයන් ඇතිවීම ස්වාභාවිකය. ඒවා ක්ෂණිකව ඇති වූවා සේම ක්ෂනිකව වලලා දමන්න. මොහොතකින් නැවත හිත හොදින් කථා කරන්න. එසේ නොකල හැකිනම් ඒ ඔබගේ මාන්නයයි.

05. බටනළාව යනු මිහිරි ශබ්දයක් ගෙන දෙන සංගීත භාණ්ඩයක්. නමුත් බට නලාවේ මියුරු ශබ්දය පිටවන්නෙ හිස්බව නිසා. සැහැල්ලු බව නිසා. ඔබත් බටනළාවක ශබ්දය මෙන් දැනුමින් පිරිපුන් වන්න. එහෙත් හදවත මෙන්ම අනවශ්‍ය වත්කම් වලින් හිස් පුද්ගලයකු වන්න. නිවස, කාමරය තුල ඇති අනවශ්‍ය සියලු දෑ ඉවත් කර දමන්න. නිතර අවශ්‍ය නොවන දෑ නිතර නොදකින තැනකින් තබන්න. අත්‍යාවශ්‍ය දෑ පමණක් ලගින් තබාගන්න. ඔබට සැබැවින්ම සහනය දැනේවි.

06. මරුවිකල්ලෙන් කෑ ගසන විකාර සංගීතය අපස්මාරයට අතවනයි. ජිප්සීස්ලගෙ ලුණුදෙහි සින්දුවත් වික්ටර් රත්නායකයන්ගේ “ කාසිවලට දෙන්නත් බැහැ” සින්දුවත් අතර වෙනස බලන්න. ඝෝෂාකාරී සංගීතය ඔබේ මනස ව්‍යාකූල කරයි. ගූගල් වෙබ් අඩවියේ පරික්ෂා කර බලා China meditation සංගීතයන් ඩවුන්ලෝඩ් කරගෙන සවන් දෙන්න. හදවතට සුවයක් දැනේවි.

07. පාන්දරින් නැගිටින්න. මදක් මෛත්‍රී භාවනාවට යොදන්න. කලයුතු වැඩ ඉක්මනින් කලබල නොවී ඉවර කරන්න. සැම විටම සිත නිදහස් කරගන්න.

08. සවස් වරුවේ ඉර බැසගෙන යන වෙලාව බොධින් වහන්සේ නමක් අභියසට යන්න. ජනාකීර්ණ නොවන බෝධීන් වහන්සේ නමක් අසලට වී “ මම කවුද? මම කරන්නේ ‍මොනවාද? ” ආදී වශයෙන් ඔබ කල නොකල දෑ සිහි කරන්න. නමුත් ඒවා අල්වා නොගන්න. අනාගතේ මා සිදුකල යුතු දේවල් සිතන්න. නමුත් අල්වා නොගන්න. වරක් බුදුහිමියන්ගෙ ප්‍රශ්නයක් ඇසූ බමුණෙක් “ ස්වාමීනී, ඔබවහන්සේගේ ශ්‍රාවකයන් මෙතරම් සතුටින් සිටින්නේ ඇයිදැ”යි විමසීය. බ්‍රදු පියාණෝ “මාගේ ශ්‍රාවකයන්ට අතීතය ගැන පසුතැවිල්ලක් නැත, අනාගතය ගැන බලාපොරොත්තුවක් නැත. ඔවුන් ජීවත් වන්නේ වර්තමානයේය”යි වදාල සේක. ඔබත් අතීතයයෙන් පාඩම් උගෙන අනාගතය ශක්තිමත් කරගන්න. එහෙත් වර්ථමානය තුල ජීවත් වන්න.

09. වරක් තවත් බමුණෙක් බුදුහිමියන්ගෙන් අසා සිටියේ ඔබ වහන්සේ මෙතරම් සතුටින් සිටින්නේ කෙසේද යන්නයි.
“ බමුණ, මට බලාගන්නට දරුවන් නොමැත, වපුරන්නට කුඹුරු නොමැත, රකින්නට වස්තුව නැ. ඉතින් මා සතුටින් සිටිමි” බුදුහිමියන් වදාල සේක. ඔබත් අනවශ්‍ය භෞතික සම්පත් වලින් ඈත් වන්න. ඔබ වගකීම්වලින් නිදහස් වන තරමට සතුට ඔබ කරා එයි. වගකීම් වැඩිවන විට සතුට පලායයි. එය හරියට තරාදියක් හා සමානය.

10. නිතර බුදුහිමියන් සමග ජීවත් වන්න. බුදුහිමියන්ට හදවතේ වැඩ ඉන්නට ආරාධනා කරන්න. ඊට පෙර සිරුර කුණු මස් මාංශයන් බහාලන අමුසොහොනක් නොකර පිවිතුරු කරගන්න. උම්මලකඩ කැබැල්ලක් තබා බිත්තර කේක් කෑල්ලක්වත් ආහාරයට ගන්න එපා. ඒවායි ප්‍රවේසම වන්න හදවත සමග සාකච්ඡා කරගන්න. පස් පවු දස අකුසල් වලින් ඔබ ඈත්වන විට, මෙත් සිතින් හදවත පිරෙන විට බුදුහිමියන් ඔබගේ අනාරාධනාවෙන් උවත් හදවතට වඩිති. උන්වහන්සේ ඔබේ හද‍වතේ ලැගුම් ගත්විට දැනෙන පිවිතුරු සතුට හිමාලය රන් කන්දක් කලත් දැනෙන සතුටින් කෝටි ප්‍රකොටියෙන් පංගුවක් වත් සමාන කල නොහැක. හිමාලය රන්කන්දක්නම් එය බුදුගුණ සිහිවන සතුට හා සමකල විට මුහුදින් ගත් දියබිදකටත් වඩා අඩුය. ඒ නිසා බුදුහිමියන්ට ඔබේ හදවත ගද කිලියක් කරන්න. එය සදාකල් සැනසුම ලබා දේවි.

(අන්තර්ජාලය ඇසුරින් සකස් කරන ලදි)

ලෞකික සතුට විදිමින් මේ ඝෝර මරු සසරින් එතෙර වීමට ඔබට ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ ශාන්තියම වේවා….

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් කථාකර මා ශක්තිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … …

මම සත්වයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

“ කාන්තාව විදෙස්ගත නොකල යුතුයි ” ලොව්තුරු බුදුහිමියන් මෙය දේශනාකල බව ඔබ දන්නවාද?
මරු සිටින දිශාව දැනගන්න ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.