සක් දෙවිඳුනි, යළිත් වඩින්න.

 

ලෝකයෙහි පුරාණ තොරතුරු දැන ගන්නට ජාතක පොත හැර අන් පොතක් නැත යනු බටහිර උගතුන්ගේ පිළිගැනීමයි. මේ ලිපියෙන් පැහැදිලි කැර දෙන්නේ ද කස්සප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සිද්ධියෙකි. එනම් මහා කණ්හ ජාතකය යි.

කස්සප බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ්ක උත්තමයෙකි. දීර්ඝායුෂ්ක බුදුවරු ගේ ශාසනය පිරිසිදු ව පවතින්නේ උන්වහන්සේලාගේ ජීවත්වන කාලයෙහි පමණයි. උන්වහන්සේගේ අවසාන කාලයෙහි ජනතාව තුළ බෙ‍‍ෟද්ධ ප්‍රතිපත්ති පිරිහෙන්නට විය.

භික්‍ෂු – භික්‍ෂුණීහු ශ්‍රමණ ප්‍රතිපත්තීන් ගෙන් පිරිහී යන්නට වූහ. මවුපිය ගුණ නැත්තෝ වූහ. ආවාහ විවාහයෙන් ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් වූවෝ රටට වැඩ ඇති දරුවන් බිහි කිරීමට අසමත් වූහ. හැම දෙනා ම මිනිස්කම්වලින් පිරිහී ගියහ. පස්පව් දස අකුසල් කරන්නවුන් ගෙන් රට පිරී ගියහ.

මූලිකයන් පිරිහීමෙන් රට ම පිරිහෙන හැටි පෙන්නීමට බුදු රජාණන් වහන්සේ ඉතා හොඳ උපමාවක් දේශනා කොට ඇත. භාරතය ගොවි රටෙකි. එහෙයින් විශාල ගව රැළවල් සිටියා. ඒ ගව රැළවල් අතර පුංගවයන් හෙවත් වෘෂභ රාජයන් – ගොන් රජුන් – සිටියා. ඒ ගව රැළවල් බලා ගන්නා ගොපල්ලන් සිටියා. ඒ ගව රැළවල් මහා ගංගාවලින් එතෙර කරවන්නටත් සිදු වෙනවා. ඒ මහා ගංගාවල දිය සුළි තිබෙනවා. ඒ දිය සුළිවලට අසු වුණොත් ගවයන් ගසාගෙන යනවා. ගිලෙනවා. පුංගවයන් ඒ මාරක ස්ථාන දන්නවා. එහෙයින් ගඟක් එතෙර වන විට පුංගවයකු ඉදිරියට යොදයි. පුං ගවයා කෙළින් යන ප්‍රදේශයෙහි අන් ගවයන් ද කෙළින් යනවා. ඇදට යන ප්‍රදේශයෙහි ඇදට යනවා.

මේ උපමාව දේශනා කළ බුදුරජාණන් වහන්සේ මෙසේ මනුෂ්‍යයන් අතර ද ශ්‍රේෂ්ඨ යැයි සම්මත අය ඇදට යනවා නම් සාමාන්‍ය ජනතාව ද ඇද ව යනවා. කෙළින් යනවා නම් කෙළින් යනවා. ඉදින් රජතුමා අදැහැමි නම් මුළු රට ම දුක‍ට පත් වෙනවා. ඉදින් රජතුමා දැහැමි නම් මුළු රට ම සුවසේ වාසය කරනවා යැයි දේශනා කළහ.

කස්සප බුදුරජ‍ාණන් වහන්සේ ගේ කාලයෙහි කලින් සඳහන් කළ පරිදි රජුන් හා ප්‍රධානීන් අධර්මිෂ්ඨ වීම නිසා මුළු රට ම අධර්මිෂ්ඨ වී ඇත. එකලැ ක්‍රමයෙන් දිව්‍ය ලෝක හිස් වී අපායවල් පිරෙන්නට විය. මෙසේ වන්නේ කුමක් නිසා දැයි සොයා බැලූ ශක්‍ර දේවේන්‍ද්‍රයාට පෙනුණේ රජුන් ප්‍රධාන මනුෂ්‍යයන්ගේ අධර්මිෂ්ඨකම ය. මෙසේ අධර්මිෂ්ඨයන් තව තවත් වැඩි වුණොත් දිව්‍ය ලෝකයන් හිස් වී අපායවල් පිරී ඉතිරී යනු ඇතැ යි සක්දෙව් රජ සිතී ය.

අපේ සාහිත්‍යයෙහි සඳහන් වන පරිදි මනුෂ්‍ය ලෝකය මහද්වීප සතරෙකින් යුක්ත ය. එයින් ප්‍රධාන ස්ථානය ගත්තේ ජම්බුද්වීපය යි. එයිනුත් ප්‍රධාන වූයේ මෙකලැ භාරතය නමින් ප්‍රසිද්ධ භූමිය යි. මේ මහා විනාශය දුටු ශක්‍රදේවේන්‍ද්‍රයා උපායක් යොදා ගත්තා. එනම් ශක්‍ර දේවේන්‍ද්‍රයා වැදි වේශයක් මවාගෙන මාතලී දිව්‍ය පුත්‍රයා අශ්ව නාම්බකු තරමේ බලු වේශයක් ගන්වා ගෙන හය පළකින් බැඳගෙන මනුෂ්‍ය ලෝකයට පැමිණීම යි. දෙව්රජ එසේ කළා.

එකලැ එරට අගනුවර සමීපයෙහි දී බල්ලා වරක් බිරුවා. මුළු රට ම හෙල්ලී ගියා. ජනතාව මරණ බියෙන් පෙළීගියා. රජතුමා ද මරණ බියෙන් බිරාන්ත වුණා. ඒ ශබ්දය කුමක් දැයි විමසා බැලුවා. පැමිණ සිට වැද්දා හා බල්ලා ගැන කීවා. රජතුමා බිය වී මහ දොරටු වහන්න කීවා.

වැද්දා හා බල්ලා කොටු තාප්පයට උඩින් පැන්නා. මහ හඬින් බුරාගෙන රජ ගෙදරට ම ගියා. බියෙන් වෙවුල වෙවුලා රජතුමා ධෛර්යය උපදවාගෙන බල්ලා මහ හඬින් බුරන්නේ මන්දැයි ඇසුවා. බඩගිනි නිසා යැයි වැද්දා කීවා. රජතුමා බියපත් වී බල්ලාට කන්න දුන්නා. දෙන සියල්ල එක වරට කා නැවතත් බුරනවා. ඒ වෙලාවට දෙන්න පිළිවන් කෑම සියල්ල ම දුන්නා. ඒ සියල්ල ම එක වරට ම කා නැවතත් බුරනවා. එවිට රජතුමා මේ තරම් කන්න දීලත් බල්ලා බුරන්නේ මන් දැයි වැද්දාගෙන් ඇසුවා.

“මහරජ, මේ රට පස් පව්, දස අකුසල් කරන්නවුන්ගෙන් පිරිලා. ඔවුන් සියල්ල ම මේ බල්ලා ලවා කවා මරවන්නැයි මා ආවේ’යි කීවා. රජතුමා මහත් බියට පත්වුණා. මේ කියන කාරණා අනුව මේ බල්ලා පළමු ව පනින්නේ මගේ ඇඟටයි කියා රජතුමා හිතන්නට ඇති. බියෙන් වෙව්ලී ගිය රජතුමාත් ජනතාවත් මින් ඉදිරියට පස් පව් හා දස අකුසල් අත්හැර පන්සිල් රකිමින් දස කුසල් රකිනවා යයි පොරොන්දු වුණා. ශක්‍ර දේවේන්‍ද්‍රයා රජතුමාත් ජනතාවත් ස්ථිර පොරොන්දුවක පිහිටුවා අතුරුදහන් වුණා.

මෙකල අපේ රට ද පස් පව් දසඅකුසල්වලින් පිරිලා ඇත. කස්සප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මිනිහාගේ හා ශාසනයේ පරිහානිය දැක පැමිණි ශක්‍ර දේවේන්‍ද්‍රයා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි නොපැමිණෙන්නේ මන්දැයි ඇසිය යුතු කාලය පැමිණ ඇත. තවද ශාසන ඉතිහාසය අනුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර ලංකා බුද්ධ ශාසනයත් එය රකින සිංහල බෙ‍ෟද්ධයනුත් ආරක්‍ෂා කැර ගන්නැයි ශක්‍ර දේවේන්‍ද්‍රයාට ප්‍රකාශ ‍කොට ඇත. ශක්‍ර දේවේන්‍ද්‍රයා එය බාරගත් බව ද ඉතිහාසය කියයි.

එය එසේ නම් සිංහල බෞද්ධයන් ශක්‍ර දේවේන්‍ද්‍රයාට කරුණු කිව යුතු අවස්ථාව පැමිණ ඇත. එය මෙසේ ය: ශක්‍ර දේවේන්‍ද්‍රයෙනි, බුදුරජාණන් වහන්සේ සිංහල රට හා සිංහල බෞද්ධයන් ආරක්‍ෂා කිරීම ඔබතුමාට බාර දුන්නා නොවේ ද? ශ්‍රී ලංකාවේ තත්ත්වය ඔබට පෙනෙන්නේ නැද්ද? ඔබතුමා වැදි වේශයක් ගෙන මාතලී දෙවි පුතුට බලු වෙස් ගන්වාගෙන අවුත් බරණැස් නුවර කසීරට රජතුමා ප්‍රධාන ජනතාව බිය ගන්වා නොමඟින් මුදා සුමඟට ගත්තාක් මෙන් සිරිලක් වැසියන් ද දුමඟින් මුදා සුමඟට ගත යුතු කාලය පැමිණ ඇත.

ශක්‍ර දේවේන්‍ද්‍රයාට මේ පණිවිඩය දෙන්නේ කෙසේ ද? සත්‍යක්‍රියා මාර්ගය හැර අන් මඟක් නැත. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් පිරිදි ශක්‍ර දේවේන්‍ද්‍රයා පුණු පොහෝදා මනුෂ්‍ය ලෝකය දෙස බලනවාලු. එහෙයින් අද පුණු පොහෝ දා සවස 3.30 සිට 5.00 දක්වා හැම විහාරස්ථානයක ම අධිපතීන් වහන්සේ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලාත් සිල් සමාදන් ව සිටින උපාසක උපාසිකාවනුත් දායක දායිකාවනුත් බෝධීන් වහන්සේ සමීපයෙහි රැස් වී මල් පහන් සුවඳ ගිලන්පසින් බුදුන් පුදා පිරිත් කියා භාවනා කොට ශක්‍ර දේවේන්‍ද්‍රයා සිහි කොට සත්‍යක්‍රියා කළ යුතු වේ.

දවස 1988.11.23

ප්‍රඥාප්‍රභා 5

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

උතුරේ සාමය රකින්න මෙතරම් වැය කරන්නේ ඇයි ?
ජනගහනය පාලනයෙන් “මිනිසත්කමට” හානි කරන්න එපා.
IFBC Home Page