ශී‍්‍ර දළදා වහන්සේ වෙනුවෙන් ඉටු කෙරෙන පූජා චාරිත්‍ර විධි ... - IFBC Organization | Dhamma

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාලිස් වසරක් මුළුල්ලේ සියලු ලෝ සතුන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ පහස ලැබුවා වූ ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමකොට සැලකේ. ශී‍්‍ර දළදා වහන්සේ විෂයෙහි බුද්ධ ගෞරවයෙන් , ශ‍්‍රද්ධා භක්තියෙන්, ඇපකැප වීමෙන් මහත් පුද සත්කාර වත් පිළිවෙත් පූජා චාරිත‍්‍ර චිරාගත සාම්ප‍්‍රදායානුකූලව නොකඩ කොට ඉෂ්ට සිද්ධ කිරීම සසුනේ චිර පැවැත්මට මෙන්ම ජාතියේ මහත් අභිමානයට ද හේතු සාධක වන්නේ ය.

මෙම පූජා චාරිත‍්‍ර බොහොමයක් සැකසී ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ අග‍්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ විසින් ජීවමාන බුදුරජාණන් වහන්සේ විෂයෙහි ඉෂ්ට සිද්ධ කරනු ලැබුවා වූ බුද්ධෝපස්ථාන, බුදු පුද, පූජා චාරිත‍්‍ර මුල් කොටගෙනය. ශී‍්‍ර දළදා බුද්ධෝපස්ථාන, දළදා පූජා චාරිත‍්‍ර, දළදා පුද සිරිත්, දළදා පුද පිළිවෙත්, දළදා පුද සත්කාර හා දළදා තේවා ආදි වශයෙන් විවිධාකාරයෙන් හඳුන්වන මෙම පූජා චාරිත‍්‍ර දුරාතීතයේ පටන් රාජකීය ස්වරූපයක් ගෙන තහවුරු වී ඇති බව පෙනේ.


අතීතයේ පටන් රාජකීය අනුග‍්‍රහය ලබා චිරාගත සාම්ප‍්‍රදායන් බවට පත්වෙමින් පැවත එන මෙම අති පූජනීය දළදා පූජා චාරිත‍්‍ර අපේ මහතෙරුන් වහන්සේ විසින් වර්තමානය දක්වා සුරක්ෂිත කොට ආරක්‍ෂා කරමින් පවත්වාගෙන ඒම ජාතියේ අභිමානයට හේතුවේ.

අද ද මෙම උත්තම පූජා චාරිත‍්‍ර විධි ඉටු කරනුයේ බුදුරජාණන් වහන්සේගේ අග‍්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ විෂයෙහි බුද්ධෝපස්ථාන සිදුකළ ආකාරයටමය.

අනුරපුර රාජධානි සමයේ පටන් වරෙක මහාවිහාරය හා වරෙක අභයගිරි විහාරයේ උත්තරමුලායතන මහතෙරුන් වහන්සේ විසින් සිදුකරගෙන ආ දළදා තේවා පූජා චාරිත‍්‍ර විධි වර්තමානයෙහි මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහතෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.

මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙනුවෙන් එම තේවා කටයුතු ඉටුකිරීම සඳහා තේවා කටයුතු භාර හිමිවරු පත්කරනුයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අභිමතය පරිදිය.

වර්ෂයේ තේවා මාරුවීම සිදුවන්නේ ඇසළ පොහොයට පසු දින වස් සමාදන් වන දිනයෙහිය. එදිනට තේවාව භාරව සිටි පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේ අසවල් දිනයෙහි තේවාවෙන් බසින බවත්, එදිනට තේවා භාරගැනීම සඳහා වැඩම කරවන ලෙසත් අනෙක් පාර්ශවයට ලිපියක් මගින් දන්වා යැවීම සාමාන්‍ය සිරිතයි.

ඒ අනුව අදාළ පාර්ශවයේ මහානාහිමිපාණන් වහන්සේ තෝරාගත් තේවා කාරක භික්ෂුන් වහන්සේ ද සමඟ නියමිත දින ප.ව. 2.00 ට පමණ දළදා මාලිගාවට වැඩම කිරීමෙන් අනතුරුව උඩමාලයේ හා පල්ලේමාලයේ තේවා භාණ්ඩ ද පත්තිරිප්පුවේ හා ලැඟුම්ගේ අවශේෂ භාණ්ඩ ද ලේකම් මොහොට්ටාල විසින් වට්ටෝරුවට අනුව එක එක කියවීමෙන් පසු භාරදීම හා භාරගැනීම සිදුවේ. අදාළ වට්ටෝරු ලේඛනයන්ට මහානායක හිමිවරු දෙනම හා දියවඩන නිලමේ අත්සන් තැබීමෙන් පසු කෙටි අනුශාසනාවක් කිරීමෙන් තේවා භාරගැනීමේ කටයුතු අවසන් කිරීම සිදුවේ. එදිනම දියවඩන නිලමේවරයා විසින් තේවා කාරක භික්ෂුන් වහන්සේ වෙත වස් වැසීම සඳහා ආරාධනා කරනු ලබයි.

ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ විෂයෙහි තේවා පූජා චාරිත‍්‍ර ඉටුකිරීමට ලැබීම භික්ෂු ජීවිතයේදී ලබන පරම පූජනීය භාග්‍යයක් කොට සැලකේ. අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ භාරකාරත්වයේ පවත්නා සාම්ප‍්‍රදායික තේවා චාරිත‍්‍ර භාරකාරත්වය තමන් වහන්සේ වෙනුවෙන් වර්ෂය පුරා උඩමාලයේ ගන්ධ කුටියේ හා පල්ලේමාලයේ විහාරගෙයි බුදු පුද තේවා කටයුතු ඉටු කිරීම සඳහා පැරණියේදී උඩමාලේ ගන්ධ කුටියට දෙනමක් ද, පල්ලේමාලයට එක් නමක් ද වශයෙන් භික්ෂුන් වහන්සේ තෙනමක් පත් කෙරුණු අතර, වර්තමානයෙහි බැතිමතුන්ගේ පහසුව සලකා ගන්ධ කුටියට තෙනමක් ද, පල්ලේමාලේ විහාරගෙයට එක් නමක් ද, පත්තිරිප්පුවට එක් නමක් ද වශයෙන් පස් නමක් පත්කිරීම සිදුවේ. මෙම පස් නම අතරින් තේවා කටයුතු සම්බන්ධයෙන් මනා පළ පුරුද්ද ඇති එක් නමක් තේවා භාර නායක භික්ෂුන් වහන්සේ වශයෙන් පත්කිරීම සාමාන්‍ය සිරිතය. පල්ලේමාලේ තේවා කටයුතු සිදුකර පළපුරුදු භික්ෂුන් වහන්සේ පමණක් උඩමාලේ ගන්ධ කුටියේ තේවා කටයුතු වලට තෝරා ගැනේ.

මෙසේ අදාළ වර්ෂය සඳහා තෝරා ගන්නා භික්ෂුන් වහන්සේ වසර පුරා ශී‍්‍ර දළදා මාලිගාවේ ලැගුම් ගේ වැඩ සිටිමින් ස්වකීය පවුලේ සමීප ඥාතියෙකුගේ පවා අවමංගල්‍යකට හෝ සහභාගි නොවී ඉතා පවිත‍්‍රව ශ‍්‍රද්ධා භක්තියෙන් චාරිත‍්‍රානුකූල පුද සිරිත් අනුව තේවා කටයුතුවල නිරත විය යුතුව ඇත. තේවා කාරක භික්ෂුන් වහන්සේගේ මූලික කාර්යභාරය වන්නේ අති උත්තම ශී‍්‍ර දළදා වහන්සේ විෂයෙහි නියමිත පුද සිරිත් නොකඩ කොට ඉටු කිරීමය. දෙවනුව හැකි අයුරින් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පහසුකම් සලසා දීමය.

ශී‍්‍ර දළදා වහන්සේ විෂයෙහි සිදු කෙරෙන තේවා පූජා චාරිත‍්‍ර

1. දෛනික තුන්වරු පූජා
2. බදාදා දිනයන්හි නානුමුර මංගල්ලය (සප්තාභික පූජා)
3. පසළොස්වක පොහොය දිනයන්හි පූජා
4. වාර්ෂික සතර මංගල්ලය ඇතුළු උත්සව දින පූජා

වශයෙන් නන්විධ වේ.

දිනකට තෙවරක් සොළොස් මහා පූජාවන් පවිත‍්‍රව ශ‍්‍රද්ධාවෙන් සිදු කිරීම සාමාන්‍ය සිරිතයි. දෛනික තේවා කටයුතු අලුයම 5.15 ට අලුයම් දුරය නමින් හැඳින්වෙන වේගවත් රිද්මයකින් යුත් හේවිසි පද වාදනයෙන් ආරම්භ වේ. තේවා භාර හිමිවරු හා නිල පංගුකරුවන් තේවා කටයුතු සඳහා සූදානම්වීම ඒ හා සමඟ ඇරඹේ. ගිහි සේවකයෝ ඔවුනට නියමිත නිල ඇඳුමෙන් සැරසී පැමිණෙති.

දහවල් ආහාර පූජාව නවපෑ බුද්ධ පූජාව වශයෙන් ද හැඳීන්වේ. එහි යතුරු පයිංඩ කිරිමාදි කටයුතු පෙර පරිදිම සිදුවේ. පෙරවරු 9.30 ට පමණ දොරවල් විවෘත කෙරෙන අතර, පළමු මල් පූජාව පවත්වා පෙරවරු 10.00 ට පමණ ආහාර පූජාවට සූදානම් වෙයි. ආහාර පූජාව 10.30 ට පමණ අවසන් කොට යළිත් වරක් බැතිමතුනට මල් පූජා කරගැනීමට අවකාශය සලසා දෙනු ලැබේ. දහවල් ආහාර පූජාවට හාල් සේරු 32 ක දානය ද ව්‍යංජන 32 ක් ද කැවිලි වර්ග 05 ක් ද සූදානම් කෙරේ.

දවසේ අවසන් පූජාව වන්නේ සවස ගිලන්පස පූජාවයි. උදෑසන පූජාවට මෙන්ම මූලික කටයුතු සිදු කෙරේ. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමාගේ නියමයෙන් දෙවන ගිලන්පසක් ද පූජා කිරීම චාරිත‍්‍රයයි. මෙහිදී පිසූ ආහාර කිරීමක් සිදු නොවේ. පළතුරු යුෂ ආදි පැණි බීම පිළියෙල කර පූජා කිරීම සිදුවේ.

තිබ්බටුවාවේ මේධංකර හිමි

මහාවිහාර වංශික
ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ
කාරක සංඝසභික

දළදා වහන්සේ ලක්දිව බෞද්ධ සංස්කෘතිය කෙරෙහි කළ බලපෑම ...
දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.