ශ්‍රද්ධා බහුල භික්ෂූන් අතරඅග්‍රස්ථානය ලද වක්කලී මහරහතන් වහන්සේ …

ශ්‍රද්ධා බහුල භික්ෂූන් අතර මෙම වක්කලී තෙරුන් වහන්සේ අග්‍ර යැයි ප්‍රකාශ කරනු ලැබේ. අන් අයගේ ශ්‍රද්ධාව වැඩී වර්ධනය කළ යුතු අතර මුන්වහන්සේගේ ශ්‍රද්ධාව අඩු කළ යුතු විය. උන්වහන්සේගේ පුර්වාපර චරිත චරිතාපදානය මෙසේය.

මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහල වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ලෝ සතුන් සසරින් එතෙර කරවනු පිණිස දහම් දෙසන සමයෙහි මෙම වක්කලී තෙරුන් වහන්සේ එක්තරා කුල පුත්‍රයෙක් ව ඉපිද වැඩිවියට පත්වූ කල්හි සර්වඥයන් වහන්සේගෙන් බණ අසනු පිණිස විහාරයට ගොස් පිරිස් කෙළවර බණ අසමින් සිටි යේය.  ඒ අවස්ථාවේදී පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට ශ්‍රද්ධා අධික භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබාදෙනු දුටු හෙතෙම තමා ද අනාගත කාලයකදී බුදු කෙනෙකුන්ගේ එබඳු පදවියක් ලබනු කැමැති ව සත් දිනක් මුළුල්ලෙහි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දී අවසානයේදී එම අභිප්‍රාය බුදුරජාණන් වහන්සේට දන්වා සිටියේය.

උන්වහන්සේ අනාගතය බලා එය  සාර්ථක වන  බව දිවැසින් දැක ” පින්වත ඔබගේ ප්‍රාර්ථනාව මෙයින් කල්ප ලක්ෂයකට මතු බුදුවන ගෞතම නම් බුදුන්ගේ ශාසනයේ දී සිද්ධ වන්නේ යැ”යි නියත වී විවරණ දුන් සේක.
ඒ පුරුෂතෙම ජීවිතාන්තය දක්වා නොයෙක් පින්කම් කොට එයින් චුතව බොහෝ කාලයක් දෙවි මිනිස් සැප  විඳ ඉන් අනතුරුව අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර එක්තරා බමුණු කුලයක ඉපිද වක්කලී නමින්  ප්‍රසිද්ධ විය.  ස්වකීය හෙතෙම ත්‍රිවේදයෙහි පරතෙරට ගියේ දිනක් මහමඟ වඩිනා බුදු රජාණන් වහන්සේ දැක මෙබඳු ශෝභාසම්පන්න රුවක් කිසිදා නුදුටිමි යි බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය කෙරෙහි අතිශයින් බැඳී ඊට වශී විය. වක්කලී බමුණා එතැන් පටන් බුදුරජාණන් වහන්සේගේ සෙවනැල්ලක් මෙන් උන්වහන්සේගේ පිටුපසින් ම යයි. විහාරයට යන විට ඒ සමග විහාරය ට යයි.  බණ දෙසන විට ඉදිරියට විත් බුද්ධ ශරීරය දෙස බලා සිටියි.

ඉන් අනතුරුව ගිහිව සිට නිරතුරුව ම බුදුන් දැකීම් අපහසු යැයි සිතා පැවිදි වීය.  එදා පටන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය දෙස බලමින් කල් යවයි.  බුදුරජාණන් වහන්සේ ඔහුගේ නුවණ මුහුකුරා යන තෙක් කිසිවක් නොවදාරා  පසුව නුවණ මෝරා ගිය බව දැන ” වක්කලී මාගේ දෙතිස් කුණුපයෙන් පිරුණු ශරීරය දෙස බලා හිඳීමෙන් තට කවර නම් වැඩක් වේද , යම් කෙනෙක් නුවණින් මා දකී නම් එය නියම දැකීම වෙයි,  මා දකින්නට නම් මාගේ ධර්මය දැක්ක යුතු යැ”යි අවවාද කළ සේක.

වක්කලී තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ  අවවාදය නොපිළිගෙන කලින් පරිදිම බුද්ධ ශරීරය දෙස බලමින් කල් ගෙවන බව දුටු බුදුරජාණන් වහන්සේ වස් වසන දිනයෙහි ” මෙතැනින් වහා පලායව”යි තදින් ප්‍රකාශ කළ සේක.  එයින් බලවත් සේ කම්පාවට පත් වූ වක්කලී තෙරුන් වහන්සේ “බුදුන් නොදැක ජීවත් වීමෙන් පලක් නැතැ”යි ජීවිතය ගැන කලකිරී “පර්වතයකට නැග ප්‍රපාතයට පැන දිවි නසා ගනිමි “යි අධිෂ්ඨාන කොට ගිජුකුළු පව්වට නැග්ගාහ. එකල්හි බුදුරජාණන් වහන්සේ ඒ කාරණය ඍද්ධියෙන් දැක “මගෙන් අස්වැසිල්ලක් නොලැබ මේ තෙම දිවි නසා ගන්නේ නම් බලවත් විනාසයකැ”යි සලකා එකෙණෙහිම බුදු රැස් විහිදුවා වක්කලී තෙරුන් ට තමන් වහන්සේ දක්නට සැලැස් වූ සේක.  බුදු රජාණන් වහන්සේගේ රුව දුටු පමණින් වක්කලී තෙරුන් ට බලවත් ප්‍රීතියක් උපන්නේය.  ඔහුගේ ප්‍රීතිය වඩාත් දියුණු කරනු සඳහා බුදුරජාණන් වහන්සේ ” පාමොජ්ජ බහුලො භික්ඛූ  පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං ”  යනුවෙන් ගාථාවෙන් ධර්මදේශනා කළ සේක.  අනතුරුව බුදුරජාණන් වහන්සේ “වක්ඛලී ” යැයි ශ්‍රී හස්තය දිගු කොට වදාළ සේක් වක්කලී තෙරුන් වහන්සේ එයින් බලවත් සොම්නස්ට පැමිණ ” එවයි “යන බසින් ප්‍රීතිය බලවත්ව යන එන මාර්ගයේ ගැන සිහි කර ගත නොහී උද්වේග ප්‍රීතිය අහසට නැගී බුදුන් වහන්සේ හමුවට යන්නේ අහසෙහි දීම විදසුන් වඩා සිවු පිළිසිඹියා පත් රහත් ව බුදුන් වහන්සේගේ ඉදිරියට වැඩි සේක. අපර අපරභාගයේදී බුදුරජාණන් වහන්සේ වක්කලී තෙරුන් අමතා ” එතදග්ගං භික්කවේ මම සාවකානං භික්ඛූනං සද්ධාදී මුත්තානන් යදිදං වක්කලී ” යනුවෙන් බලවත් වූ ශ්‍රද්ධාව ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබා දුන් සේක

ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථානය ලද රාහුල මහරහතන් වහන්සේ ...
ප්‍රත්‍ය ලාභයෙන් අග්‍ර වූ සීවලී මහ රහතන් වහන්සේ ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.