විශ්වයේ පැවැත්ම බුදු ඇසින් දකිමු. - IFBC Organization | Dhamma

Posted by | September 01, 2014 | සිරි සදහම් ( Dhamma) | No Comments

විශ්වය යනු දුක මත පිහිටි දෙයක් බව බුදුන් වහන්සේ පැවසූහ. ‘දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතො’ ලෝකය සම්පූර්ණයෙන්ම පවතින්නේ චලනය වීම මතයි. ‘විවට්ටට්ඨායි’ යනුවෙන් ලෝකය සකස් වන යුගය හඳුන්වනු ලැබේ. ‘විවට්ට’ යුගය යනු ලෝකය විකාශනය වී සංවර්ධනය වී ඇති යුගය යි. ‘සංවට්ටට්ඨායි’ යුගයේ දී සමහර ලෝක විනාශයට පත් වනවා.

බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේ දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් කෙනෙකුට ලෝකය දැකීමට අවශ්‍යනම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි. ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, ලෝකයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි.

විශ්වය සාමාන්‍ය නුවණින් විස්තර කළ නොහැකි ය. බුදුන් වහන්සේ ලෝකය යනුවෙන් නිර්වචනය කරන ලද්දේ ‘ලුජ්ජති පලුජ්ජතී’ ති ලෝකෝ’ යනුවෙනි. එනම් කැඩෙන – බිඳෙන ස්වභාවයෙන් පත්වන දේ ලෝකයයි, යනු යි.

විද්‍යාඥයින් විසින් පිටසක්වළ යනුවෙන් හඳුන්වන්නේ මේ විශ්වයමයි. බටහිර නවීන විද්‍යාවට බුදුරදුන් දෙසූ විස්තර ගෝචර වී නොමැත.

බුදුරජාණන් වහන්සේ විසින් මේ පිළිබඳ ඉතා පැහැදිලි හා ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන් සමහර විෂය පිළිබඳ අනවශ්‍ය ලෙස නොසිතන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒවා නම් ලෝක විෂය, ධ්‍යාන විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය හා සෘද්ධි විෂය යි.
එසේම, බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේ දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් කෙනෙකුට ලෝකය දැකීමට අවශ්‍යනම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි.

ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, ලෝකයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි. එම පළමුවෙනි රොහිතස්ස සූත්‍රය. හා දුතිය රොහිතස්ස සූත්‍රය මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමි.

පළමුවෙනි රොහිතස්ස සූත්‍රය.
*******************
1. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවණ ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති රෝහිතස්ස නම් දිව්‍ය පුත්‍ර තෙම කාලය ඉක්ම ගිය රාත්‍රියෙහි බබලන ශරීර වර්‍ණයෙන් යුක්තව, ජේතවනය ආලෝක කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.

2. “එකත්පසෙක සිටි රොහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “යම් තැනෙක්හි නූපදියිද, නොදිරයිද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ස්වාමීණි, ගමණින් ලෝකයෙහි කෙළවර දැනගන්ට හෝ දකින්ට හෝ පැමිනෙන්ට හෝ හැක්කේදැ” යි ඇසීය.

3. “ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි.”

4. “ස්වාමීනි, ආශ්චය්‍ර්‍යයයි. ස්වාමීනි, පුදුමයි. “ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි.” යන යමක් වදාළේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය යහපත්කොට වදාරණ ලදී.

5.”ස්වාමීනි, මම පෙර ඉර්ධි ඇති, අහසින් යන්නාවූ, වැදි පුත්‍රවූ, රෝහිතස්ස නම් ඎෂියෙත් වූවෙමි. ස්වාමීනි, ඒ මට හික්මුනාවූ, කළ පුරුද්ද ඇති, දක්වන ලද ශිල්ප ඇති, සැහැල්ලු ඊයකින් නිදුකින් තල් සෙවනැල්ලක් ඉක්මවන්නේ නම් එබඳු උතුම් දුන්නක් ඇති දුනු දරන්නෙක් යම් සේද, එබඳු ජවයක් වූයේය. යම්සේ පූර්‍වදිග මුහුදින් බටහිර මුහුද යම් සේද, එබඳු පා මාරුවක් වූයේය. ´මෙබඳු ජවයකින් යුත්, මෙබඳු ගමන් ඇති, ඒ මට, මම ගමනින් ලෝකයෙහි කෙළවරට යන්නෙමි´ යි මෙබඳු අදහසක් ඇතිවිය. ස්වාමීනි, ඒ මම කෑම් බීම් දෙක හැර, මල මූත්‍ර කිරීම් හැර, නිදීම් ක්ලාන්ත සංසිඳවීම් හැර, වර්‍ෂ සීයක් ඇත්තේ, වර්‍ෂ සියයක් ජීවත් වන්නේ, වර්‍ෂ සියයක් ගොස් ලොකයෙහි අන්තයට නොපැමිණම, ලෝකය අතරෙහිම කාලක්‍රියා කළෙමි.

6. “භාගයවතුන් වහන්සේ විසින්, “ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි.” යි වදාරණ ලද්ද, භාග්‍යවතුන් වහන්සේ විසින් යහපත් කොටම වදාරණ ලද්දකි.”

7. “ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි. ඇවැත්නි, එහෙත් යම් තැනක නූපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, ඇවැත්නි, මම ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරිම නොකියමි. ඇවැත්නි, මම සංඥාවෙන් යුත්, සිතින් යුත් මේ බඹයක් පමණ ශරීරයෙහි ලෝකයද, (දුක්ඛ සත්‍යයද) පනවමි. ලෝක සමුදයද (දුකට හේතුවද) පනවමි. ලෝක නිරෝධයද පනවමි. ලොක නිරෝධයට පැමිණෙන මාර්‍ගයද පණවමි.”

8. “කිසිකලෙක ලෝකයාගේ කෙළවරට ගමණින් නොපැමිණිය හැක. ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුකින් මිදීමක් නැත. එසේ හෙයින් ඒකාන්තයෙන් ලෝකය දත් ප්‍රඥාවත්, ලෝකයෙහි කෙළවරට ගිය, වැස නිමවන ලද බඹසර ඇති, පව් සමනය කළ ලෝකයාගේ කෙළවර දැන, මෙලොවද, පරලොවද බලාපොරොත්තු නොවෙමි.”

දුතිය රොහිතස්ස සූත්‍රය.
****************
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් පසු භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. “මහණෙනි, මේ රාත්‍රියෙහි රොහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම කාලය ඉක්ම ගිය රාත්‍රියෙහි හොබනා ශරීර වර්‍ණ ඇතිව. මුළු ජේතවනය ආලෝක කොට, මා යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, මා වැඳ එකත්පසෙක සිටියේය.

2. “එකත්පසෙක සිටි රෝහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම මට, ´ස්වාමීනි, යම් තැනෙක වනාහි නූපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, පහළ නොවේද. ස්වාමීනි, ඒ ලෝකයේ කෙළවර පා ගමනින් දැන ගැනීමට හෝ දැකීමට හෝ පැමිණීමට හෝ හැක්කේදැ?´ යි ඇසීය. මෙසේ ඇසූ කල්හි, මහණෙනි, මම රොහිතස්ස දිව්‍ය පුත්‍රයාට, ´ඇවැත්නි, යම් තැනෙක නූපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ගමනින් ලෝකයෙහි ඒ කෙළවර දත හැකියයි හෝ දැක්ක හැකියයි හෝ පැමිණිය හැකියයි හෝ මම නොකියමි.´

3. “මහණෙනි, මෙසේ කී කල්හි රොහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම මට, ´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින්, ´ඇවැත්නි, යම් තැනෙක්හි වනාහි පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ඒ ලෝකයෙහි ඒ කෙළවර ගමනින් දත හැකියයි හෝ දැක්ක හැකියයි හෝ පැමිණිය හැකියයි හෝ නොවදාරමි´ යි වදාරන ලද්ද, යහපත්කොට වදාරන ලද්දක්මය. ස්වාමීනි, ආශ්චය්‍ර්‍යයි. ස්වාමීනි, අද්භූතයකියි කීයේය.

4. ´ස්වාමීනි, පෙරවූ දෙයක් නම් මම ඉර්ධි ඇති, අහසින් යන වැදි පුත්‍රවූ, රොහිතස්ස නම් ඎෂිවරයෙක් වීමි. ස්වාමීනි, ඒ මට මෙබඳු ජවයක් විය. හික්මුනාවූ, අත්දැකීම් ඇති, සිල්ප දක්වා, පළපුරුදු දුනු දරණ, දුනු ආචාය්‍ර්‍යයෙක් යම් සේ සීඝ්‍ර ඊතලයෙන් නිදුකින් තල් ගසක සෙවනක් සරසට ඉක්ම

වන්නේද, ඒ යම් සේ පෙරදිග මුහුදින් බටහිර මුහුද යම් සේ ඉක්මවන්නේද, මෙබඳු ගමන් වේගයක් වූයේය. ස්වාමීනි, මෙබඳු ජවයකින් යුත්, මෙබඳු ගමන් වේගයකින් යුත්, ඒ මට මම පා ගමනින් ලොකයෙහි කෙළවරට පැමිණෙන්නෙමි යන මෙබඳු අදහසක් පහළ විය. ස්වාමීනි, ඒ මම අනුභව කිරීම්, පානය කිරීම්, කෑම් රස විඳීම් හැර, මළ මූත්‍ර කිරීම් හැර, නිදීම්, ක්ලාන්ත සංසිඳුවීම් හැර, වර්‍ෂ සියයක් ඉතිරිවූ ආයුෂ ඇත්තේ, වර්‍ෂ සියයක් ජීවත් වන්නේ, වර්‍ෂ සියයක් ගොස් ලෝකයාගේ කෙළවරට නොපැමිණම, අතරෙහි කළුරිය කෙළෙමි.

5. ´ඇවැත්නි, යම් තැනක පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ගමනින් ලෝකයාගේ ඒ කෙළවර දත හැකියයිද, දැක්ක හැකියයිද, පැමිණිය හැකියයිද නොකියමි´ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ වචනය මනාකොට වදාරන ලද්දක්මය. ස්වාමීනි, එය ආශ්චය්‍ර්‍යයි. අද්භූතයි” කීයේය.

6. “මහණෙනි, මෙසේ කී කල්හි මම රොහිතස්ස දිව්‍ය පුත්‍රයාට, ´ඇවැත්නි, යම් තැනෙක්හි පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ගමණින් ලෝකයාගේ ඒ කෙළවර දත හැකියයිද, දැක්ක හැකියයිද, පැමිණිය හැකියයිද, නොකියමි´ යි කීවෙමි. ඇවැත්නි මම ලෝකයෙහි කෙළවරට නොපැමිණ, දුක්ඛයාගේ කෙළවර කිරීම නොකියමි. ඇවැත්නි, මම නැවතද, සංඥාව සහිතවූ, සිත සහිතවූ, බඹයක් පමණවූ, මේ ශරීරයෙහි, ලෝකය හෙවත් දුක්ඛ සත්‍යයද පනවමි. සමුදය හෙවත් දුකට හේතුවද පනවමි. දුක්ඛ නිරෝධය හෙවත් නිවන පනවමි. දුක්ඛ නිරෝධයට යන ප්‍රතිපදාව පනවමි.

7. “ගමනින් ලොකයෙහි කෙළවරට කිසිකලෙක නොපැමිණිය හැක. ලොකයාගේ කෙළවරට නොපැමිණ දුකින් මිදමක්ද නැත්තේය. එසේ හෙයින් ඒකාන්තයෙන් ලෝකයෙහි කෙළවරට ගිය, වැස නිමවන ලද බඹසර ඇති, ලෝකය දත්, ඤාණවන්ත, පම් සමනය කළ පුද්ගලයා ලොකයෙහි කෙළවර දැක, මෙලොවද, පරලොවද බලාපොරොත්තු නොවෙයි.”

විශ්වය බුදු දහම තුලින් දකින්නට ඔබට ආරාධනා.

රතන සූත්‍රාන්ත දේශනාව ...
කළලයක විකසනය දුටු බුදුනෙත - ඉන්දක සූත්‍රය හා විග්‍රහය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.