විදු යුගයේ බුදු දහම ... - IFBC Organization | Dhamma

 

විද්‍යාව දිනෙන් දින දියුණු වන බව වත්මන් ලෝකය දෙස බැලු විට නිතැතින් ම පෙනී යයි. එහෙත් ආගම අංශයෙන් බැලුවහොත් ඒවායේ පිළිවෙත් හෝ දර්ශනයෙහි හෝ දියුණුවක් ඇති වන බවක් නො පෙනේ. මෙම තත්ත්වය නිසා නවීන විද්‍යාවේ දියුණුව විසින් ආගම් යටපත් වී යා හැකි ද යන ප්‍රශ්නය ඇතැමෙකුගේ සිතට නිතැතින් ම නැගෙයි.

“ආගම්” යන පොදු වචනයෙන් මේ තත්ත්වය විග්‍රහ නො කොට බුදු දහම යන්නෙන් විග්‍රහ කළ හොත් අපට පැහැදිලිව පැවසිය හැක්කේ අදත් බුදු දහම නවීන විද්‍යාව පරදා ඉදිරියට ගොස් ඇති බවය. එපමණක් නොව අනාගතයේ දී ඒ ජයග්‍රහණය තව තවත් පතළ වන ලකුණු නවීන විද්‍යාවේ දියුණුවත් සමග ම පැහැදිලි ව පෙනේ.

“බුද්ධාගම”, “ආගම්” යන ශබ්ද නැගෙන වචනයෙන් හැදින් වුව ද බුදු දහම විද්‍යාවක් බව නිසැක ව ම කිව හැකි ය. එමෙන් ම නවීන විද්‍යාවත් “විද්‍යාවකි.” බුදු දහම අභ්‍යන්තර ලෝකය පිළිබඳ විද්‍යාව වන අතර නවීන විද්‍යාව බාහිර ලෝකය පිළිබද විද්‍යාව ලෙස හැදින්විය හැකි ය. අදට අවුරුදු 2558 කට පෙර බුදුන් වහන්සේ අභ්‍යන්තර ලෝකය පිළිබඳව දත් යුතු සියල්ල දැන තමා ලත් ඒ දැනුම ලෝකයාට ප්‍රකාශ කළේත් “විජ්ජා උදපාදි” (විද්‍යාව පහළ විය) යනුවෙනි.

ලෝකයේ පළමු වරට ගැඹුරු අර්ථයක් දක්වනු සදහා “විද්‍යා” යන වචනය යෙදුවේ බුදුන් වහන්සේ ය. බුදුන් වහන්සේ ගේ මත හා ප්‍රකාශයන් අද බොහෝමයක් නවීන විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ පරමාණු බල උපදේශක කමිටුවේ සභාපති ව සිටි සුප්‍රසිද්ධ විද්‍යඥයකු වු අචාර්ය ජේ. රොබට් ඕපන් හයිමර් වරක් නෝබල් ත්‍යාගය පවා හිමි කර ගත්තේ ය. 1953 දී විද්‍යාව හා පොදු වැටහීම යන මැයෙන් ප්‍රසිද්ධ දේශනයක් කළ ඕපන් හයිමර් පරමාණු ඉලැක්ට්‍රෝනයේ පැවැත්ම පිළිබඳව නැගෙන සෑම ප්‍රශ්නයකට ම “එය එසේ නො වේ” යයි පිළිතුරු දිය යුතුව ඇති බවත් බුදුන් වහන්සේ ද මනුෂ්‍යයාගේ මරණින් මතු තත්ත්වය පිළිබඳව නැගෙන හැම ප්‍රශ්නයකට ම පිළිතුරු දි ඇත්තේ “එය එසේ නො වේ” යනුවෙන් බවත් පළ කළේ ය. මෙහිදී නවීන ‍විද්‍යාව, බුදු දහමේ හරය හා තවදුරටත් සැසඳු ඕපන් හයිමර් අද පරමාණු අංශුවක ඉලැක්ට්‍රෝන ක්‍රියාකාරීත්වය පිළිබඳ දිය හැකි පිළිතුර බුදුන් වහන්සේ මරණින් මතු තත්ත්වය පිළිබඳව දුන් පිළිතුරට සමාන වන නමුත් මෙම පිළිතුර 17 වන හෝ 18 වන ශත වර්ෂ වල විද්‍යාවට නොගැලපෙන බවද පළ කළේය. ඕපන් හයිමර් බුදු දහමෙහි ගැඹුරු න්‍යාය ධර්ම නවීන විද්‍යාවේ ගැඹුරු න්‍යාය හා මැනවින් සැස‍ඳෙන අයුරු පෙන්වා දුන්නේ එසේ ය. ඕපන් හයිමර් ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ විද්‍යාව එතරම් දියුණු තත්ත්වයක නොතිබූ 17 වන හා 18 වන ශතවර්ෂවල විද්‍යාත්මක මත හා බුදු දහම ඇතැම් විටක නොසැසැඳුණත් විද්‍යාවේ ඉහළටම දියුණු වී ඇති මේ විසි වන ශත වර්ෂයේ විද්‍යාව නිසා බුදුන් වහන්සේ ගේ දේශනයන් තව තවත් තහවුරු වන බව ය.

විදු යුගයේ බුදු දහම ගැන සිතීමේ දී ඉහතින් කීවාක් මෙන් ම පැහැදිලිව නැගෙන ප්‍රශ්නය බුද්ධ දේශනාවේ හෝ බුද්ධ චරියාවේ අංග විද්‍යාව හා සැසදේ ද යන්න ය. මේ පිළිබඳව දීර්ඝ විවරණයක් කිරිමට මෙය අවස්ථාව නොවන බැවින් බුදු දහම් ඇතැම් පැහැදිලි සරල එමෙන් ම ඕනෑ ම අයෙකුගේ ප්‍රශ්නාංකය එල්ලවිය හැකි අංග කීපයක් පමණක් ගෙන මෙහි දී විද්‍යාව හා සැසඳීමට තැත් කරමි.

බුදුන් වහන්සේ ගේ සිරුරෙන් නොයෙකුත් වර්ණයෙන් යුත් රශ්මි මාලාවක් විහිදුණේ ය යන්න බෞද්ධයන් විසින් ගෞරවයෙන් පිළිගනිතත් එය කෙනෙකුගේ විමතියට හේතුවක් විය හැකි ය. නුතනයේ රශ්මි විද්‍යාව ඉහළට ම දියුණු වී තිබේ. පෙනුණත් නො පෙනුණත් අප සියල්ලන්ගේ ම සිරුරු වලින් රශ්මියක් පිට වෙන බව රශ්මි විශේෂඥයෝ පළ කරති. හිත දියුණු කළ උතුමන්ගේ සිරුරු රශ්මිය ප්‍රකටව කාටත් දැකිය හැකි වන පරිදි නිකුත් වන අතර හිතට නැගෙන අදහස් උදහස් අනුව රශ්මිය වර්ණ ගන්නා බව ද රශ්මි විද්‍යාඥයන් ගේ පර්යේෂණ වලින් හෙළි වී තිබේ. ඉතා පිරිසිදු හිතකින් යුත් තැනැත්තාගේ සිරුරු රශ්මිය බෙහෙවින් සෞම්‍ය වන බව ද ඔහු පළ කෙරෙති. මෙම රශ්මි විද්‍යාඥයන් ගේ පර්යේෂණ බෙහෙවින් සාර්ථක වීමට හේතු වුයේ සිරුරෙන් පියවි ඇසට නොපෙනෙන ලෙස නිකුත් වන රශ්මි මාලා ඡායාරූප ගත කිරීමට හැකි කැමරාවක් නිපදවීම ය. මෑතක දී රශ්මි විද්‍යාඥයන් කීප දෙනෙක් මිනී 21 ක් මැරීමේ වරදට විදුලි පුටුවට නියම වුවකු මරණයට මුහුණ පා විදුලි පුටුවේ ඉඳ ගත් විට, සිරුරු රශ්මි ඡායාරූප ගත කළ හැකි කැමරාවකින් ඔහු ඡායාරූප ගත්හ. ඒ හැම ඡායාරූපයක ම එම මිනීමරුවා ගේ සිරුරෙන් නිකුත් වු රශ්මිය ඇවිලෙන ගිනි දැල්වලට සමාන ලෙස සටහන් වී තිබුණි. මෙම පර්යේෂණ අනුව පැහැදිලව පෙනී යන්නේ මිනිස් සිරුරෙන් රශ්මි මාලා නිකුත්වීම පුදුම විය යුතු කරුණත් නොවන බව ය.

විද්‍යාව දියුණු වීමට පෙර 17 වන හා 18 වන ශත වර්ෂවල ජීවත් වූවෝ ගැහැනියක පිරිමියකු වීම හෝ පිරිමියෙකු ගැහැනියක වීම කෙළෙසක වත් සිදු විය හැක්කක් යයි නොසිතූහ. පිරිමියෙකු ගැහැනියක බවට පත්වීමේ පුවතක් කියන සෝරෙය් සිටාණන්ගේ කථාව ඔවුන්ගේ සිනාවට ලක් වුයේ බුදු දහමත් සමගිනි. එහෙත් ලිංග විපර්යාශය නවීන විද්‍යාවේ කරුණු හෙළි දරව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද යන්තම් හෝ විමතියට කරුණක් නොවන සිද්ධියක් බවට පත්ව තිබේ.

බෝසතුන් නොයෙකුත් භවයන්හි දී ලේ, ඇස්, ඉස්, මස් දන් දුන් බව ජාතක පොතේ එයි. මේ සිද්ධීන් කලකට ඉහත ඇතැමුන් ගේ සිනාවට හේතු විය. එහෙත් ලේ, ඇස්, ඉස්, මස් මෙන් ම අනිකුත් ශරීර ඉන්ද්‍රියන් ද බෙහෙවින් දියුණු වී ඇති වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් අද දන් දිය හැකිව තිබේ. ඇස් දන් දීම පිළිබදව ලෝකයේ පළමුවරට සදහන් වුයේ සිවි ජාතකයේ ය. කලකට පෙර ඒ පුවත ඇතැම් බෞද්ධයන්ගේ විමතියට හේතු වුවත් අද ඇස් දීම නූගතෙකු පවා විමතියට පත් නො කරයි.

බුදුන් වහන්සේ භික්‍ෂූන් සඳහා කහ පැහැති වස්ත්‍රයක් අනුදැන වදාළේ කුමක් හෙයින් ද යන්න අබෞද්ධයන්ගේ මෙන් ම ඇතැම් බෞද්ධයන් ගේ සිත් තුළ ද ප්‍රශ්නයක් වී තිබේ. එයට මනා පිළිතුරක් දැනට අවුරුදු කීපයකට පෙර යුරෝපයේ පැවැති වර්ණ විශේෂඥ සම්මේලනයක දී ප්‍රකාශයට පත් විය. එම සම්මේලනයේ දී උසස් ම වර්ණය ලෙස තෝරන ලද බුදුන් වහන්සේ සිවුරු පිළි සඳහා අනුදැන වදාළ කසට පැහැයට හුරු වර්ණය, පිරිසුදු කම ඉස්මතු කොට පෙන්නනවාත් හැර බුද්ධි වර්ධනයේ සංකේතයක් බව ද ඒ වර්ණ විශේෂඥ සම්මේලනයේ දී ම පළ විය. කසට පැහැයට හුරු වර්ණය ගිහිගෙය අත්හැර යාමේ සංකේතයක් ලෙස (ගහකින් වැටෙන්නට ආසන්න කොළයක් මෙන්) දැක් වූ බුදුන් වහන්සේ එම පැහැය පිළිබඳව නූතන විශේෂඥයන් පළ කරන මතයන් ද අනියමෙන් වදාල හ. ඒ බව පහත පළවන පාඨයෙන් සනාථ වෙයි.

සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්‍ථාය
ඉමං කසාවං ගහෙත්‍වා පබ්බාජෙථ මං භන්තෙ

“සියලු දුකින් මිදී නිවන් අවබෝධ කරනු සඳහා මේ කසාවත් වස්ත්‍රය රැගෙන මා පැවිදි කරන්න.” “සබ්බ දුක්ඛ නිස්සරණ” යනුවෙන් හැඳින්වෙන්නේ ඉහළ ම පිරිසිදු බවයි. “නිබ්බාන සච්ඡිකරණත්‍ථාය” යනුවෙන් ප්‍රකාශ වන්නේ බුද්ධි වර්ධනයේ ඉහළ ම මට්ටම යි.

වර්ණයන් පිළිබඳව එම සම්මේලනයේ දී හෙළි වූ තවත් කරුණක් මෙහි දී සඳහන් කළ යුතු යයි හැ‍ඟේ. මරණයක් පිළිබඳව ශෝකය හඟවන වර්ණය “සුදු” යයි එහි දී වර්ණ විශේෂඥයෝ පළ කළහ. ක්‍රිස්තියානි සංස්කෘතිය මරණ ශෝකය සංකේත කොට දක්වන්නේ කළු පැහැයෙනි. බුදුන් වහන්සේ මරණ ශෝකයට උචිත වර්ණය සුදු යයි වදාළහ. උන්වහන්සේ එදා වදාළ දෙය නූතන විශේෂඥයන් විසින් කෙතරම් ගැලපෙන අයුරෙන් සනාථ කොට තිබේ ද?

බුදුන් වහන්සේ විශ්වය ගැන කී සිද්ධාන්තයෙන් මෙන් ම ලෝක විනාශය ගැන පළ කළ කියුම් ද අද නවීන විද්‍යා‍ෙවන් පැහැදිලි ලෙස ස්ඵුට වී තිබේ. උන්වහන්සේ සිත පිළිබඳව ගෙන හැර දැක් වූ විග්‍රහයන් අන්තර් ජාතික කීර්තියකට ලක් වූ ස්නායු විශේෂඥයකු වන ආචාර්ය ග්‍රේ වෝල්ටර්ගේ විග්‍රහයන් හා මැනවින් සැස‍ඳෙයි. සිතත් මොළයත් එකක් ය යන මතය බිඳ දමා සිත පිළිබඳ පැහැදිලි ම විග්‍රහයක් කල බටහිර පඬුවා ග්‍රේ වෝල්ටර් බව අවිවාදයෙන් පිළිගත යුත්තකි.

මෙම විදු යුගය බිහි වුයේ නුතන අධ්‍යාපන විද්‍යාවේ අනුහසින් බව තර්කයෙන් තොරව පිළිගත යුතු ය. බුදුන් වහන්සේ, සුතා (ඇසීම – කියවීම) ධතා (ධාරණය) වචසා පරිචිතා (හුරුවීම) මනසානුපෙක්ඛිතා (මනසින් අර්ථ සළකා බැලීම) දිට්ඨියා සුප්පටිවිද්ධා (දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම නැතහොත් සම්පුර්ණ අවබෝධය) යනුවෙන් අධ්‍යාපනය කොටස් පහකට බෙදූහ. නූතන අධ්‍යාපන විද්‍යාව ද බෙදී ඇත්තේ මේ මූල ධර්ම මත බව විමසා බැලීමෙන් පෙනේ. ආර්ථික විද්‍යාව පිළිබඳව ද උන්වහන්සේ විසින් එදා වදාළ වදන් මේ විදු යුගයේ වුව ද න්‍යායානුකූලව මදකින් හෝ වෙනස් වී නැත. නුවණින් උත්සාහයෙන් ඉපයීම, රක්‍ෂණය හා ආදායමට සරිලන ලෙස වියදම් කිරීම යනුවෙන් බුදුන් වහන්සේ එදා අර්ථ සාධනය කොටස් තුනකට බෙදා වෙන් කළහ. නූතන අර්ථ ශාස්ත්‍රඥයන් නොයෙකුත් මති මති මතාන්තර හා න්‍යායයන් පළ කරන්නේ මූලික වශයෙන් මෙම සිද්ධාන්ත තුන මත ම නො වේ ද?

බුදු දහම බුදුන් වහන්සේ ගේ ශ්‍රී මුඛ පාඨයන් මත ම තිර වශයෙන් රැදී සිටිමින් නවීන විද්‍යාවේ දියුණු ව සමග වඩ වඩාත් සනාථ වෙයි. මේ විදු යුගයේ කෙළවර කුමක් වුව ද, එසේ කෙළවර වන තැන ද බුදුන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් දහස් ගණනක් හෝ ලක්‍ෂ ගණනක් වසරකට පෙර වදාළ ධර්ම න්‍යායන් හා එකඟ වනු ඇත.

ශ්‍රී ලංකාදීප 1969.05.01

ප්‍රඥාප්‍රභා 7

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා
අජිත් ද අල්විස් මහතා

‘දුන්නිග්ගස්ස ලහුනො – යත්‍ථ කාමනිපාතිනො
චිත්තස්ස දමථො සාධු – චිත්තං දන්නං සුඛාවහං’

නිගා කොට හික්මවන්නට අපහසු වු, යුහුසුලු වූ, හැම අරමුණක ම වුවත් ලගින ස්වභාවය ඇති මේ පුහුදුන් සිත පිළිබඳ දමනය යහපති. දමනය වු සිත සැප ගෙන දෙන බැවිනි.

‘සුදුද්දසං සුනිපුණං – යත්‍ථ කාමනිපාතිනං
චිත්තං රක්ඛෙථ මෙධාවී – චිත්තං ගුත්තං සුඛාවහං’

දැක්මට අමාරු, ඉතාම සියුම් වු, හොඳ නොහොඳ හැම තැන ම ලගින සුලු වු සිත නුවණැත්තේ රක්නේ ය. රක්නා ලද සිත සුව ගෙන දෙන බැවිනි.

(ධම්ම පදය – චිත්ත වග්ගය)

මෙහෙණි සස්න යළි පිහිටුවීම කාලෝචිත ද?
පන්සිල් සුරකින සමාජයක් සඳහා

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.