විකාර භාවනා ක්‍රම බුද්ධාගමට තර්ජනයෙකි - IFBC Organization | Dhamma

 

“මහණෙනි, පෙරැ දසාරහ නම් රජ හට මහ හඬ ඇති අණ බෙරයක් විය. ඒ අණ බෙරය පැළුණු කල්හි එ තැනට අනෙක් රන්මුවා ඇණයක් යෙදූ හ. මෙ සේ පැළෙන තැනට රන්මුවා, රිදීමුවා ඇණ දැමීමෙන් කලකට පසු එහි පැරණි (මුල්) බෙර කඳ අතුරුදහන් විය. ඇණ සැකිල්ල පමණක් මැ ඉතිරි විය.

එ සේ මැ මහණෙනි, අනාගතයෙහි මෙ බඳු භික්‍ෂූහු වෙති. කෙබඳු ද යත්: යම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු කැමැති නො වෙති; කන් යොමු නො කෙරෙති; වටහා ලනු සඳහා සිත ද නො දෙති; ඒ ධර්මයන් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද නො සිතති.

එහෙත් කන් කලු වන පරිදි විසිතුරු අකුරින් හා ව්‍යඤ්ජනයෙන් ද යුක්ත කොට කාව්‍ය ස්වරූපයෙන් කළ බාහිරක වූ ශ්‍රාවකකාලික වූ සුත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු ද කැමැති වෙති; කනුදු යොමු කෙරෙති; වටහාගැනීමට සිත ද එළවති; එ දහම් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද හඟති. මෙ සේ ඒ තථාගත භාෂිත වූ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ, ලොකොත්තරාර්ථය ප්‍රකාශ කරන්නා වූ, ශුන්‍යප්‍රතිසංයුක්ත වූ මගේ ධර්මය අතුරුදහන් වේ.”

(සංයුක්ත නිකාය – ඕපම්ම සංයුක්තය)

බෙරයේ ප්‍රධාන ප්‍රයෝජනය හඬ යි. ඒ හඬ එන්නට බෙර කඳ තනන්නේ ලීයෙනි. දසාරහ රජතුමාට තුබුණේ එ බඳු බෙරයෙකි. එහි තැනක් පැළුණු අවස්ථාවෙහි වැඩි හොඳට වැඩි ලස්සණට රත්රන් අණ්ඩයක් දැමී ය. මෙසේ පැළෙන පැළෙන තැනට රන්මුවා අණ්ඩ දැමූයෙන් කලක් ගිය පසු මුල් බෙර කඳ අතුරුදහන් විය. දිළිසෙන රන් කඳ ඉතිරි විය. බෙරය පෙනුමෙන් ලස්සන වී ය. එහෙත් හඬ නැති වී ය. එමෙන් ම බුද්ධ ධර්මයෙහි ප්‍රධාන ප්‍රයෝජනය ප්‍රතිවෙධය යි. එය ලැබෙන්නේ නියම බුද්ධ වචනය තුබුණොත් ය. මුලින් උපමාව දැක්වූ බුදුරජාණන් වහන්සේ නියම බුද්ධ වචනය අතුරුදන් වන සැටි ද ප්‍රකාශ කළ හ. “කලක් ගිය පසු මා ගේ ධර්මය ගැඹුරු ය යි කියා ලෙහෙසි ක්‍රම යොදා ගනීවි, එකින් එකට ලෙහෙසි ක්‍රම යෙදීමෙන් හා එයට වඩා ප්‍රිය කිරීමෙන් හා නියම ධර්මය අතුරුදන් වේ” ය යි ද ප්‍රකාශ කළ හ.

     චීනය ගැන කියන විට යටැ කී සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් සව්නේ දත් නුවණින් ආනාගත චීනය දැක ම දේශනා කරන ලදැ යි සිතන්නට ඉඩ තිබේ. වර්ෂ 65 වැන්නෙහි මිං ටිං රජු දවස චීනයට ගියේ මහායාන බුද්ධ ධර්මය යි. මුල් කාලයෙහි මහායාන හා ‍ෙථරවාදය හා අතර දැන් වාගේ ලොකු වෙනසක් තිබුණේ නැත. මඳ වෙනස්කම් සහිත වැ වුව ද දීඝනිකාය, මඡ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය ආදි ධර්ම ග්‍රන්ථ චීන බසට නඟන ලද්දේ ය. එහි සුපෙසල ශික්‍ෂාකාමී භික්‍ෂූන් සිටි බවත් විනය කර්ම මැනවින් සිදු කළ බවත් ඉතිහාසයෙන් පෙනෙයි. මුල් කාලයෙහි රාජ රාජමහාමාත්‍යවරු ද බුද්ධ ධර්මය ගෞරවයෙන් පිළිගත් හ.

චීනයෙහි විදේශීය හා ස්‍වදේශීය පඬිවරු බොහෝ දෙනෙක් සිටිය හ. ඔවුහු නොයෙක් පොත් ලියූ හ. අලුත් ලෙහෙසි පහසු ක්‍රම ධර්මයට සම්බන්ධ කළ හ. ශීල භාවනාදිය සඳහා පහසු ක්‍රම ඇති කළ හ.

මහායානයෙහි දීර්ඝ සුඛාවතිය, චූළ සුඛාවතිය යී සුඛාවතී සූත්‍ර දෙකකි. එහි සඳහන් වන්නේ පුදුම ස්වර්ග ලෝකයක් ගැන ය. එහි අසංඛ්‍ය ගණන් බුදුවරු ද බෝසත්වරු ද වෙති. ඒ හැමට ම ප්‍රධාන අමිතාභ බුදුරජාණෝ ය. එහි තිබෙන්නේ සත් රුවනින් කළ ගෙවල් ය. ගහ කොළ ද එසේ ම ය. මේ පුදුම විස්තරය අසන කවර කෙනෙකුට වුව ද එහි යන්නට සිත් වෙයි.

ක්‍රි. ව. 146 ටත් 148 ටත් අතර කාලයේ දී දීර්ඝ සුඛාවතී සූත්‍රය දෙ වරක් චීන බසට නඟන ලදී. එ රට වැසියා එය මහත් ගෞරවයෙන් පිළිගති. ඔහු නිර්වාණය අමතක කොට සුඛාවතිය ප්‍රිය කරන්නට වූහ. මේ ධර්මය ඒ රටට ගෙන ගිය පඬිවරු හෝ එය පිළිගත් අය අනාගත ශාසනයට සිදු වන දේ ගැන නො සිතූ හ. සුඛාවතියෙහි උපදින්නට නිතර අමිතාභ බුදුන් ද සිහි කළ යුතුවාක් මෙන් බොහෝ කුසල් දහම් ද රැස් කළ යුතු ය.

සතර වැනි සිය වසෙහි අග කොටසෙහි චීනයට ගිය ඉන්දියානු ජාතික කුමාරජීව පඬිවරයා විසින් ක්‍රි: ව: 384 වැන්නෙහි දී චූළ සුඛාවතී සූත්‍රය චීන බසට නඟන ලදි. එහි ද සුඛාවතිය විස්තර වන්නේ මුල් සූත්‍රයෙහි සඳහන් පරිදි ම ය. වෙනස නම් ලෙහෙසි කෙටි මාර්ගයක් වීම යි. තමන් කැමැති පරිදි ජීවත් වෙමින් ඉඩ ඇති පරිදි අමිතාභ බුදුන් ගේ නම සිහි කිරීම පමණ යි කළ යුත්තේ. අවසාන මොහොතෙහි දී ‘නමො අමිතාභ’ යි සිහි කරත් ම අමිතාභ බුදුන් සහ පිරිවරින් පැමිණ ඔහු ඉදිරියේ පෙනී සිටිති. හේ මොහොතෙකින් මැරී සුඛාවතියෙහි උපදී. අනාගත ශාසනය ගැන නො සිතූ ඒ ර‍ට වැසියෝ මේ ලෙහෙසි කෙටි ක්‍රමය මහත් ගෞරවයෙන් පිළිගත් හ. මෙය කොතරම් ජනප්‍රිය වූවා දැ යි කිව හොත් නිර්වාණයට පමණක් නො වැ සුඛාවතියට යෑමට ද බොහෝ කුසල් කටයුතු ය යි සඳහන් දීර්ඝ සුඛාවතී සූත්‍රය ද යටපත් විය.

     චීනයට බුද්ධාගම ගිය කාලයේ පටන් ම බෞද්ධ භාවනා ක්‍රම පුරුදු කරන ලදී. වරින් වර මඳ වෙනස් කම් ඇති වුවත් භාවනා පිළිබඳ ලොකු වෙනසක් ඇති වූයේ ස වැනි ශත වර්ෂයෙහි ය. එනම්, බෝධිධර්ම යතීන්ද්‍රයන් එහි යෑමෙන් පසු වැ ය. බෝධිධර්ම යතීන්ද්‍රයෝ භාවනාවෙහි යෙදුණු කෙනෙකි. උන් වහන්සේ ගේ අළුත් ලෙහෙසි භාවනා ක්‍රම නිසා බොහෝ දෙනා භාවනාවට උනන්දු වූවාක් මෙන් ම කලින් පැවැති භාවනා ක්‍රම ද යටපත් විය. මේවා තව ද වෙනස් වෙමින් අවුත් දැන් පුදුම තත්ත්වයකට පැමිණ තිබේ. මේ ක්‍රමයට භාවනා කරන්නන් පිළිවෙළකට වාඩි විය යුතු ය. ඔවුන් භාවනා කැරැවීමටත් පරීක්‍ෂා කිරීමටත් පිරිස අතරින් එහෙ මෙහෙ යන්නෙක් වෙයි. පොල්ලක් ද කර තබාගෙන පරීක්‍ෂකයා භාවනා කරන්නවුන් ගේ නිඳාවැටීම ආදී මඳ වරදක් හෝ දුටු විට පොල්ලෙන් පාරක් ගසයි. මේ භාවනා ක්‍රම ආරම්භ කළ අය පවා මෙබඳු තත්ත්වයකට පැමිණෙති යි සිහිනෙන් වත් නො සිතන්නට ඇත. මේ භාවනා ක්‍රමයේ තව ද විශේෂ ලක්‍ෂණයක් නම් ධර්මඥානයක් ඇති කැරැගැනීම වුවමනා නැති බව හා ගුරුවරයා කියන ලෙසට ම කළ යුතු බවත් ය. මේ භාවනාව කරන විට “අවබෝධ කරමි, අවබෝධ කරමි” යි නිතර සිතිය යුතු ය. එයින් ඔහුට අවබෝධ වුණා යන හැඟීම ඇති වෙයි. එයින් හේ සතුටට පත් වෙයි.

මන්ත්‍ර හා ධාරණී චීනයෙහි පැතිරෙන්නට පටන් ගත්තේ අට වැනි සියවසෙහි ය. එයට මුල් වූවෝ අමොඝවජ්‍ර යතීන්ද්‍රයෝ ය. එතුමෝ හින්දු මන්ත්‍ර අනුකරණය කොට බෞද්ධ මන්ත්‍ර තැනූ හ. කලින් පැවැති සූත්‍ර දිග බැවින් පාඩම් කිරීම අපහසු ය යි කියා ඒවා කෙටි කැරැ ධාරණී තනාගත් හ. මන්ත්‍ර නිසා තුනුරුවන් කෙරෙහි විශ්වාසය අඩු වන්නට විය. ධාරණී නිසා සූත්‍ර ධර්ම ඉගෙනීම බොහෝ දුරට අඩු විය. චීනයේ බෞද්ධයන් අතර පැවැත්වෙන මළවුන් සිහි කිරීමේ පිළිවෙළ ද ඉතා පුදුම සහිත ය. ඒවා මා ද සියැසින් ම දැක තිබෙන නිසා හොඳින් විස්තර කළ හැකි වුවත් මේ එයට අවස්ථාව නො වේ. අමොඝවජ්‍ර යතීන්ද්‍රයන් ගේ මේ අළුත් පිළිවෙළ නිසා කලින් පැවැති ප්‍රාප්තිදානමය පින්කම ද අභාවයට ගියේ ය.

අට වැනි සිය වසෙහි ම තන්ත්‍රයානය ද චීනයට ගෙන යන ලද්දෙන් තාන්ත්‍රික භාවනා ක්‍රම ද ඇති විය. මෙසේ අළුත් වෙමින් ලෙහෙසි වෙමින් අවුත් තිබෙන අද තත්ත්වයත් ආරම්භ අවස්ථාවත් සසඳා බලන විට මුල් බුද්ධ ධර්මය නැතැ යි කිව යුතු තරම් ය. අළුත් ක්‍රම, ලෙහෙසි ක්‍රම ඒ ඒ අවස්ථාවන්හි දී බාරගත් අය එය හොඳ සිතින් ම කරන්නට ඇත. එහෙත් එ වේලේ ලෙහෙසිය පහසුව බැලුවා විනා අනාගතයේ ශාසනයට, නිර්මල ධර්මයට සිදු වන්නේ කුමක් දැ යි සිතන්නට නැත.

උගත් චීන බෞද්ධයනට දැන් දැන් කාරණය වැටැහීගෙන යන බවත් එ කී විකාර ටිකෙන් ටික අඩු කෙරෙමින් නියම තත්ත්වයට පමුණුවා ගන්නට උත්සාහ දරන බවත් එයට වත්මන් චීන රජය අතිශයින් ම උපකාරී වන බවත් ගිය වර්ෂයෙහි ලංකාවට පැමිණි චීන බෞද්ධ පිරිසේ ප්‍රධාන චෞ පූ චූ මහතා කී ය.

ලංකා ශාසනමාමක ගිහි පැවිදි පින්වතුන් විසින් ද චීනයෙහි බුද්ධාගමයට සිදු වූ දේ නුවණින් සලක‍ා බැලිය යුතු ය.

 

දිනමිණ 1959.03.11

ප්‍රඥාප්‍රභා 2

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

මියගියවුන් හට පින් දීම ...
මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ මතය ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.