විකල්ප විසිඳුමක් නො ව සම්‍යක් සංකල්ප විසඳුම මෙන්න ... - IFBC Organization | Dhamma

රජය ඉදිරිපත් කැර ඇති විසඳුම නුසුදුසු නම් විකල්ප විසඳුමක් ඉදිරිපත් කරන්නේ නැත්තේ මන්දැයි නිතර අසන ප්‍රශ්නයකි. ප්‍රශ්නය ඉතා වැදගති. නිකායත්‍රයයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් ඒ ඒ කාරක සංඝ සභාත් සමහර දේශපාලන පක්‍ෂත් ජනමත විචාරණයක් කරන්නැයි කැර ඇති ඉල්ලීම ම ප්‍රමාණවත් විසඳුමෙකි. එය ප්‍රමාණවත් නොවේ යයි රජය සිතනවා නම් ඒ ගැන වාද විවාද නො කොට විකල්ප විසඳුමක් ඉදිරිපත් කිරීම විශේෂයෙන් මහා සංඝයා වහන්සේගේ යුතුකමයි. මහා සංඝයා වහන්සේ වෙනුවෙන් ඒ යුතුකම සපුරන්නට යි මේ ලිපිය. මේ කරුණු ඉදිරිපත් කරන්නේ ශාසනයටත් රටටත් රජයටත් ඉතා හිතවත් ව ය. අපි, සංඝයා බොරු හිතවන්තයෝ නො වෙමු. හැබෑ හිතවන්තයෝ වෙමු. මෙසේ ඉදිරිපත් කරන්නේ විකල්ප විසඳුමක් නො ව සම්‍යක් සංකල්ප විසඳුමකි.

අර්බුදයට හේතු

පළමුව ජනවාර්ගික අර්බුදයට හේතු පෙන්වා දීම මැනැවැයි සිතමි. ශ්‍රී ලංකාව රාවණා රජතුමාගේ කාලයේ පටන් හෙළ දිව යි. හෙළ රට යි. විජය රජතුමා ගේ කාලයේ පටන් සිංහලද්වීපය යි. සිංහල රට යි. මිහිඳු මහ රහතන් වහන්සේ ගේ පැමිණීමෙන් පසු සිංහල රට බෞද්ධ වුණා. එතැන් පටන් සිංහල බෞද්ධ රට යි. ක්‍රිස්තු පූර්ව 237 සිට දකුණු ඉන්දියාවෙන් පැමිණි සේන ගුත්තිකයන් හා එළාරයන් ද පිහිටි රට ආක්‍රමණය කළා. එළාර රජතුමා අවුරුදු හතළිස් හතරක් අනුරාධපුරය අගනුවර කැරගෙන රජකම් කළා. එළාර රජතුමා දැහැමි කෙනෙකු හැටියට ඉතිහාසය කියතත් ඔහුගේ අනුගාමිකයන් පිහිටි රට වෙහෙර විහාර විනාශ කරන්නට පටන් ගත්තා.

එකලැ රුහුණේ රජකමට පත් දුටුගැමුණු රජතුමා මහ හමුදාවක් සමග ගොස් සටන් කොට පිහිටි රට අත්පත් කැර ගත්තා. ඒ සටනේ දී සිංහල දෙමළ විශාල සංඛ්‍යාවක් මරණයට පත් වුණා. නොමැරුණු පරාජිත දමිළයන්ගෙන් කොටසක් ඉන්දියාවට පැන ගත්තා. කොටසක් උතුරේ නතර වුණා. සිංහල බෞද්ධයන්ගේ හොඳ කම නිසා ඔහුනට කරදරයක් නැති වැ හොඳින් වාසය කරන්නට ඉඩ දුන්නා. එයින් ශ්‍රී ලංකාවේ දෙමළ නමින් ජන කොටසක් ඇති වුණා.

දකුණු ඉන්දියාවෙන් යුද හමුදා පැමිණ කළ සටන් රාශියෙකි. සිංහලයන් ආරම්භ කළ සටනක් නැත. දමිළයන් පැමිණ සිංහලයන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්නට සටන් පටන් ගත් විට සිංහලයන් අයිතිවාසිකම් රැක ගන්නට සටන් වැදුණා. හැම සටනෙකින් ම සිංහලයන් දිනුවා. පරාජිතයන්ගෙන් කොටසක් ඉන්දියාවට පැන ගත්තා. කොටසක් උතුරේ නතර වුණා. සිංහල බෞද්ධයන්ගේ හොඳකම නිසා ඔවුනටත් කරදරයක් නැති ව වාසය කරන්නට ඉඩ දුන්නා. එයින් උතුරේ ඔවුන් ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවුණා.

මිහිඳු මහ රහතන් වහන්සේ වඩින විට උතුරේ වාසය කළෝ හෙළයන් හා සිංහලයෝය. ඔවුන් බෞද්ධයන් වුණා. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ රැගෙන යාපනේ දඹකොළ පටුනට වැඩම කරන විට මහා පිළිගැනීමක් සිදුවුණේ එහෙයිනි. දේවානම් පියතිස්ස රජතුමා කලින් යාපනේට ගොස් දඹකොළ පටුන අසල රාජ්‍ය ගෞරව හා ආරක්‍ෂා ඇතිව වාසය කළා. එය සිහිවීමට ඒ ප්‍රදේශයට “තිස්ස ගාම” යැයි නම් කළා. දැනුත් ඒ නම ම දෙමළ කැරගෙන තිසාකාමම් යනුවෙන් ව්‍යවහාර කරයි. කේ. වේලුපිල්ලේ මහතා විසින් ලියන ලදුව 1918 දී නිකුත් කළ යාල්පාන වෛපම කෞමදි නමැති දෙමළ පොතේ පිටු 468 කි. එයින් පිටු 123 ක් වෙන්කැර ඇත්තේ යාපනේ පුරාණ සිංහල ගම් නම් දෙමළ කැර ඇති සැටි පෙන්නීමට ය.

උතුර, දකුණු ඉන්දියාවට ආසන්න ය. එහෙයින් දමිළයන් යුද පිණිසත් නිකමුත් නිතර ම එන්නට පටන් ගත්තා. එයින් උතුරේ දමිළයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වුණා. එහෙත් එහි පාලනය සිදු වූයේ සිංහල යාපා කෙනකුන්ගේ හෙවත් ආදිපාදයකු ගේ යටතේ ය. එහෙයින් ඒ ප්‍රදේශය “යාපනේ” වුණා. එනම්, යාපා ආදිපාදයාගේ නේ – ප්‍රදේශය, යාපනේ.

දහතුන් වැනි සියවසෙහි දකුණු ඉන්දියාවෙන් පැමිණි ආර්ය චක්‍රවර්තීන් යාපනයේ කලක් රජකම් කළ බව ඉතිහාසය කියයි. සෙන්පති සපුමල් කුමරු යුද හමුදාවක් සමග යාපනේට ගොස් සටන් කොට ආර්ය චක්‍රවර්තීන් පලවා හැර පාලනය අතට ගත් බවත් ඉතිහාසය කියයි. සපුමල් කුමරු කෝට්ටේට ආවාට පසු යාපනේ පාලනය නැවතත් ද්‍රවිඩයන් අතට පත් විය. එහෙත් ඔවුන් එහේ පාලනය කෙළේ කෝට්ටේ රජතුමාගේ යටත් පාලකයන් හැටියට බව “ලංකා ආක්‍රමණ” නමැති පොතේ ක්වේරෝස් පියතුමා ලියා ඇත.

විදේශීය ආක්‍රමණිකයන් නිතර ම සිතුවේ කවදා හෝ අපට විරුද්ධ වැ නැගී සිටින්නෝ මහ ජාතිය වන සිංහලයෝ ය, එහෙයින් සිංහලයන් දුර්වල කිරීමටත් ද්‍රවිඩයන් ප්‍රබල කිරීමටත් සිතුවා. එයට අධ්‍යාපනය ප්‍රධාන මාර්ගය කැර ගත්තා. අනාගතයේ රාජ්‍ය පරිපාලනයේ උසස් තනතුරු අල්ලා ගැනීමට උසස් අධ්‍යාපනය යාපනේටත් සිංහලයනට පරිපාලනයේ ලිපිකාර කම් හා පියුන් කාරකම් හිමිවන පරිදි සාමාන්‍ය අධ්‍යාපනයත් දුන්නා.

එකල විශ්ව විද්‍යාලයේත් වෛද්‍ය විද්‍යාලයේත් ශිෂ්‍ය සංඛ්‍යාව විශාල නො වී ය. එසේ වුවත් එකී විද්‍යාල දෙකට සියයට හැටක් හැත්තෑවක් ඇතුළුවූවෝ ද්‍රවිඩයෝ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙහිත් ලෝකය පුරාමත් උසස් තනතුරු ඔවුනට ලබා ගත හැකි විය. නිදහස් අධ්‍යාපනය ලැබෙන්නට පෙර ශ්‍රී ලංකාවේ ආනන්ද, නාලන්ද වැනි පාසල් තුබුණේ 65 ක් බවත් එයින් 33 ක් යාපනේ බවත් අසා ඇත. නිදහස් අධ්‍යාපනයෙන් පසු මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කිරීමෙන් සිංහල බෞද්ධයනටත් උසස් අධ්‍යාපන පහසුකම් ලැබිණ. දැනට ද යාපනේ තිබෙන අධ්‍යාපන පහසුකම් අන් කවුරුනට වත් නැත. සාධකයක් වශයෙන් කියනවා නම් යාපනේ ජනගහනය අට ලක්‍ෂයකට ටිකක් වැඩි ය. ඔවුනට උසස් අධ්‍යාපනය ලබන්නට ආනන්ද, නාලන්නද වැනි පාසල් 50 ක් ඇත. කොළඹ දිසාවේ ජනගහනය දහසය ලක්‍ෂය ඉක්මවා ඇත. යාපනේ ප්‍රමාණය අනුව කොළඹට ආනන්ද, නාලන්ද වැනි පාසල් 100 ක් තිබිය යුතු ය. එහෙත් තව ම පනහ ඉක්මවා නැත.

1936 ගණන් මුලදී ද්‍රවිඩයනට වැඩි බලතල ලබා ගැනීමේ අදහස ඇති වූ නිසා ඔවුන්ගේ සුහදතාව හීන විය. එහෙත් සිංහලයන්ගේ සුහදත්වය පෙර සේ ම පැවැතිණ. 1946 දී ශ්‍රී ලංකාවට නිදහස දීම පිළිබඳ කරුණු සෙවීමට සෝල්බරි කොමිෂම ආවා. ඒ අවස්ථාවේ දී ද්‍රවිඩයන් බලතල පනහට පනහක් වුවමනා යැයි ඉල්ලා සිටියා. ඒ ඉල්ලීමේ අසාධාරණකම් පිළිගත් කොමිෂම එයට තැනක් නො දී නිදහස දීමේ වාර්තාව පිළියෙළ කළා.

රාජ්‍ය භාෂා පනත

නිදහස් රාජ්‍යයේ ප්‍රථම අග්‍රමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා දමිළයන්ගේ අසාධාරණ කතාව අමතක කොට රාජනීතිඥ ජී. ජී. පොන්නම්බලම් මහතා ද අමාත්‍ය මණ්ඩලයට ගෙන දොරේසාමි මහතා කථානායක කළා. නිදහස් රාජ්‍යයකට ජාතික ගීයක්, ජාතික කොඩිය හා රාජ්‍ය භාෂාවක් වුවමනා ය. එහෙයින් ජාතික ගීයත් ජාතික කොඩියත් සම්පාදනය කළා. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව ගෙනාවේ වර්තමාන ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ය. එය සාධාරණ යි. 1943 ජුනි 22 වැනිදා හා 1944 මැයි 24 වැනිදා හැන්සාඩ් වාර්තාව බලන්න. එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වුණා.

1956 දී බලයට පත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා රාජය භාෂා පනත ගෙනා අතර දෙමළ භාෂා සාධාරණ විධිවිධාන පනතත් ගෙනාවා. දෙක ම සම්මත වුණා. ඒ අවස්ථාවේ දෙමළ ජනතාව මහා අර්බුදයක් ඇති කළා. වර්තමාන අර්බුදයේ මුල රාජ්‍ය භාෂා පනත යයි සමහරුන් කියනවා. සිංහල රටේ සිංහල රාජ්‍ය භාෂාව වීමේ වරද කුමක් ද? මේ රටේ සිංහලයන් නම් එයට විරුද්ධ නැත. හිංගලයන් නම් වරුද්ධ බව දැන ගන්නට ඇත. එසේ එය වරද කොට සලකන හිංගලයන් එහි පළමු වරදකරු කළ යුත්තේ ඒ යෝජනාව ගෙනා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ය. එහි දෙවන වරදකරු කළ යුත්තේ ඒ යෝජනාව ක්‍රියාත්මක කළ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ය. අප නම් සලකන්නේ ඒ උතුමන් දෙදෙනා කළේ අති ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් හැටියට ය.

ලංකාවේ ජනගහනය: සිංහලයෝ සියයට 74 යි, දමිළයෝ සියයට 12.6 යි. සිංහල රටෙහි සිංහල රාජ්‍ය භාෂාව කිරීම සාධාරණ යි. දෙමළ භාෂා සාධාරණ විධි විධාන පනත දමිළයනට ඔවුන්ගේ නිජ භූමිය වන ඉන්දියාවේ වත් නොදුන් තරම් තත්ත්වයක් දී ඇති නිසා අතිසාධාරණ යි. එහෙත් ඔවුන් ශ්‍රී විරෝධී අර්බුදය වැනි කෝලාහල දිගට ම කළා. එහෙත් ඒ කාලයන්හි පැවැති රජයන් සාධාරණත්වය ඉක්මවා අතිසාධාරණ වන්නට ගියේ නැත.

1977 දී එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණයේ දී ද්‍රවිඩයන්ගේ සාධාරණ අයිතිවාසිකම් තවත් අඩුව තිබේ නම් සපුරා දෙන බවත් සිංහල හා දෙමළ ජාතික භාෂා කරන බවත් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළා. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ 1977 මැතිවරණයේ දී දෙමළ ජනතාව ගේ විශේෂයෙන් අන්තවාදී තරුණ පිරිසේ ඡන්දය ලබා ගන්නට බොරු ඉතිහාසයක් පෙන්වා දෙමින් ඉතා දාමරික කතා පවත්වමින් ඊළාම් රාජ්‍යයකට ජනතාව පොළොඹවමින් කටයුතු කළ ආකාරය රහසක් නොවේ.

අගෝස්තු 20 වැනිදා වන විට කෝලාහල ශ්‍රී ලංකාව පුරා පැතිරී ගියා. අගෝස්තු 22 වැනිදා මගේ සන්දේශය එවකට අගමැති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා අතට පත් කළා. එහි අර්බුදය විසඳන යෝජනා 5 ක් විස්තර කොට මේ යෝජනා පහ ක්‍රියාත්මක කළොත් තවත් කවරදාක වත් ජාතිවාදී කෝලාහල ඇති වන්නේ නැතැයි ද සඳහන් කළා.

මගේ සන්දේශය එකලැ අගමැතිතුමා පිළිගත්තා යයි මා හිතුවේ එය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සියලු ම පුවත් පත්වල පළ කැරවූ නිසා ය. ඒ සන්දේශය යැවූයේ ශාසනයටත් රටටත් රජයටත් හැබෑ හිතවත් කමිනි. මා හිතනවා ඒ සන්දේශය ක්‍රියාත්මක නොවූයේ බොරු හිතවන්ත අමෘතලිංගම් මහතා විපක්‍ෂ නායකයා හැටියට ළං වැ සිටි නිසා ය කියා.

බුදුරජාණන් වහන්සේ සිගාලෝවද සූත්‍රයෙහි හැබෑ මිතුරන් හා බොරු මිතුරන් පැහැදිළි වැ විග්‍රහ කොට ඇත. මිතුරන් හොඳින් හඳුනාගෙන බොරු මිතුරන් දුරින් ම දුරු කළ යුතු යැයි ප්‍රකාශ කළහ. බොරු මිත්‍රයාගේ ප්‍රධාන ලක්‍ෂණය මිත්‍රයාගෙන් ලාභ ප්‍රයෝජන ගන්නට විරිදුකාරයාගේ හැම කවියට ම “ඒක සැබැයි සැබැයි” කියන්නාක් මෙන් හොඳයි හොඳයි කිය කියා සිටීම යි. හැම කාලවල ම හැම පාලකයන් ම වටා බොරු මිත්‍රයෝ රැස් වෙති. ඉහළින් ම ප්‍රයෝජන ලබති.

සර් ජෝන් කොතලාවල අගමැතිතුමා හොඳ සිංහල එඩිතර පෞරුෂයෙකින් යුත් කෙනෙකි. බුද්ධජයන්ති මහෝත්සවය පටන් ගත්තේ එතුමා ය. එය ඉතා හොඳින් සංවිධානය කොට ආරම්භ කළා. ඊළඟට මැතිවරණයට කල් තිබිය දී රාජ්‍ය සභාව විසුරුවා හැර අළුත් මැතිවරණයක් තබන්නැයි යෝජනාවක් ආවා. එතුමා ගේ ඇතැම් කටයුතුවලට මහා සංඝයා වහන්සේ සතුටු නොවූවත් එතුමාගේ ප්‍රධානත්වයෙන් බුද්ධජයන්තිය පවත්වන්නට කැමැති වූහ.

එහෙයින් මහා සංඝයා වහන්සේ බුද්ධ ජයන්තිය පවත්වා මැතිවරණය පවත්වන්නැයි ඉතා කරුණාවෙන් දන්වා සිටියා. එතුමා වටකැරගෙන සිටි බොරු හිතවන්තයන්, “අග්‍රාමාත්‍ය උතුමාණෙනි, ඔය පන්සල්වල නිකම් බත් කකා ඉන්නා උන්නාන්සේලා කියන හැටියට රට පාලනය කරන්නට බැහැ, බඹරය වැල්ලේ ගැහුවත් කැරකෙන තරම් උතුමාණන්ගේ කාලය හොඳයි. ඒ නිසා මැතිවරණය පවත්වන්නැ” යි කීවා. මොකද උණේ? එඩිතර සිංහලයා බොරු හිතවන්තයන් දුටු තැන එළවා, කම්පාවක් නැති වැ කඳවල වත්තට වී ප්‍රීතියෙන් වාසය කළා.

මේවා අපට කියන්නේ නැති ව පත්‍රවලට ලියන්නේ කුමකට දැයි අහන්න පිළිවන. ඇයි දෙයියනේ, අහන්නේ නැත්නම් කියන්නේ කුමට ද? 1985 මැයි 22 වැනි දා ශ්‍රීමත් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඇමැතිවරුන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළා. ඊට පසුව එබඳු සාකච්ඡාවක් නො වී ය. භාරත අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා සමග සාකච්ඡා කොට සාමයක් ඇති කැර ගැනීමට මහා සංඝයා වහන්සේට මාර්ගය පාදා දෙන්නැයි ඉල්ලීමක් කළා. එය ද සිදුවුණේ නැත. යෝජිත පළාත් සභා ගැන නිකායත්‍රයයේ මහා සංඝයා වහන්සේගේ අදහස දන්වා යැව්වා. ලැබුණු බව දන්වා එව්වා. ඒ ගැන සාකච්ඡාවක් කරන්නට වත් කැමැත්ත ඇති බවක් පෙනුණේ නැත. පත්‍රයේ පළ වුවහොත් මහජනයා වත් කියවනවා. ඒ අතර නිතර පුවත්පත්වලට ලියන අය තව ම ජීවතුන් අතර සිටින බවත් දැනගන්නට ලැබෙනවා. පසුගිය කාලයෙහි පිට රට ගොස් සිටිය නිසා ලිපි ලිවීම ටිකකට නතර වුණා. මෝටර් රථයක් දී කට වසා ඇතැයි යන රාවය වේගයෙන් පැතිරී ගියා. කුමක් කරන්න ද? තමන්ගේ මට්ටමෙන් අනුන් ගැන සිතන අය වැඩියෙන් සිටින ලෝකයෙකැ නොවැ අප ජීවත්වන්නේ? අමනාප වන්නට කරුණක් නැත.

අමරපුර මහා සංඝ සභාවේ සභාපති මහානායක තෙරුන් වහන්සේටත් රජයේ ගබඩාවෙන් අඩු මිලයට දෙන වාහනයක් හිමි ය. රුපියල් ලක්‍ෂ අටකට වඩා වටිනා බෙන්ස් රථයක් රුපියල් එක් ලක්‍ෂ පනස් දාහකට දෙන්නට පිළිවනැයි රජයේ ගබඩාවෙන් කියා තුබුණා. නොමිළයේ දුන්නත් බාර ගන්නට අවශ්‍ය නැතැයි සමිතියට කීවා, දැන් පාවිච්චි කරන්නේ දායක දායිකාවන් මිලයට ගත් ශාසන සේවක සමිතියේ වාහනය යි.

දමිළයන් කොපමණ කරදර හානි විනාශ කළත් 1978 ජනරජ පනතින් සිංහල රාජ්‍ය භාෂාව එසේ පවතින අතර සිංහල හා දෙමළ ජාතික භාෂා කළා. දමිළයන්ගේ සාධාරණ අයිතිවාසිකම්වල අඩුවක් තුබුණා නම් ඒ සියල්ල සම්පූර්ණ කළා. ඊට පසුව ද ඔවුන් කළ සාධාරණ ඉල්ලීම් ඇත්නම් සපුරා දුන්නා, ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් වලින් ඊළාම් හැරෙන්න අන් සියල්ල ම දුන්නා යැයි ශ්‍රීමත් ජනාධිපති තුමා කිහිප වරක් ම කීවා.

ශ්‍රීමත් ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ වර්තමාන රජයට ශ්‍රී ලංකාවේ කවරදාක වත් නොලැබුණු තරම් ලෝකාධාර ලැබෙන්නට පටන් ගත්තා. එසේ ම රජය ද මහවැලි ව්‍යාපෘතිය හා ගෙවල් දස ලක්‍ෂයේ ව්‍යාපෘතිය වැනි විශාල වැඩ පිළිවෙළවල් ආරම්භ කොට කරගෙන යනවා.

ත්‍රස්තවාදී අවාසනාවන්ත ක්‍රියා මාර්ගය නොතිබුණා නම් මේ රටේ දියුණුව වර්ණනා විෂයාතික්‍රාන්ත වෙනවා ඇත. සියලු බාධා මැද ඒ කටයුතු කැරගෙන යතත් ත්‍රස්තවාදී ක්‍රියා නිසා රටට සිදුවන විනාශය හා අලාභය මේ පුංචි රටට ඔරොත්තු නොදෙන තරම් ය.

රජය මේ තරම් හොඳ වැඩ කරද්දී මහා සංඝයා වහන්සේත් දොස් කියනවා විනා හොඳ කියන්නේ නැත්තේ මන්දැයි සමහරු අහනවා. අප දොස් කියනවා නො වේ. යම් යම් වැරදි කරුණු සහිත වැ පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කෙළේ හිතවත් ව වැරදි පෙන්වා දීම නිධානයක් පෙන්වාදීම හා සමාන බව යි. අවශ්‍ය නම් රජය කරන හරි දේ වර්ණනා කොට පිටු සිය ගණනක් ලියා දෙන්නත් පිළිවන. එසේ ම රාජ්‍ය පාලනයේ වැරදි ද ඉතා හිතවත් ව පිටු සිය ගණනක් ලියා දෙන්නත් පිළිවන.

අප සංඝයාවහන්සේ මේ කරුණු ඉදිරිපත් කරන්නේ ශාසනයටත් රටටත් රජයටත් ඉතා හිතවත් ව ය. අපි බොරු හිතවන්තයෝ නො වෙමු. හැබෑ හිතවන්තයෝ වෙමු. රාජ්‍ය පාලකයන් බොරු හිතවන්තයෝ කවරහු ද, හැබෑ හිතවන්තයෝ කවරහු දැයි හරියට තේරුම් නොගෙන මහා සංඝයා වහන්සේටත් දොස් පවරමින් දැන් යන ගමන සුදුසු නො වේ.

යථෝක්ත අර්බුදය ඉතා දරුණු වීම නිසා යාපනේ වාසය කළ 23,000 ක් සිංහලයන් පන්නා දැම්මා. සිංහලයන් ඉතා වේදනාවට පත් වැ සිටියා. 1983 ජූලි 23 වැනිදා යාපනේ සිංහල සෙබළුන් 13 දෙනෙකුන් එක වර මරා දැමීම නිසා අවුරුදු හයක් ඉවස ඉවසා සිටි සිංහල ජනතාව බලවත් වේදනාවකට පත්වී සිංහල ප්‍රදේශවල සිටි දමිළයන්ගේ ජීවිත සෑහෙන සංඛ්‍යාවක් නැති කළා, විශාල සංඛ්‍යාවක් දේපළ නැති කළා.

කවුරුන් කළත් වරද වරද ම යි. එහෙයින් වැරදි අනුමත කරන්නේ නැත. එසේ ම අවුරුදු හයක් මුළුල්ලේ දමිළයන් කළ වැරදි යටපත් කොට සිංහලයන් කළ වැරදි පමණක් ලොව පුරා ප්‍රචාරය කිරීම ඉතා තදින් හෙළා දැකිය යුතුවේ.

සර්ව පාක්‍ෂික සම්මේලනය

මේ අර්බුදය නිසා ඉන්දියාව ද එකතුවී වටමේස සාකච්ඡාවක් ඇති කළා. එය සර්ව පාක්‍ෂික නිසා දේශපාලන පක්‍ෂවලට පමණක් ආරාධනා කැර තිබුණා. එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ යන පක්‍ෂවල සිංහලයන් වැඩි වුවත් කෙළින් ම සිංහල පක්‍ෂ නොවේ. පොදු පක්‍ෂයි. ඒ අතර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, පෙඩරල් පක්‍ෂය, ලංකා දෙමළ කොන්ග්‍රසය, තොන්ඩමන් ඇමතිතුමාගේ කම්කරු සංගමය, අසීස් මහතාගේ කම්කරු සංගමය කෙළින් ම දමිළයන් නියෝජනය කරන පක්‍ෂයි.

සිංහලයන් හා දමිළයන් අතර හටගෙන තිබෙන ජාතික අර්බුදයක් ගැන කරන වටමේස සාකච්ඡාවට කෙළින් ම දමිළ සංවිධාන පහක් පෙනී සිටින අතර කෙළින් ම සිංහල සංවිධාන එකක් වත් නැතිවීම සිංහලයනට කරන බලවත් වරදක් අසාධාරණයක් බව සමස්ත ලංකා උත්තර මහා සංඝ සභාවත් බෞද්ධ සංවිධාන නියෝජිතවරුනුත් රජයට පෙන්වා දුන්නා. එයට ඇහුම් කන් දුන් රජය සමුළුවට පෙරදා මටත් අතිපූජ්‍ය පලිපාන ශ්‍රී චන්දානන්ද මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ආචාර්ය වල්පොල රාහුල ස්වාමීන් වහන්සේටත් බෞද්ධ සමිති නියෝජිතයනටත් ආරාධනා කළා. අන්‍ය ආගමික නියෝජිතයනටත් එසේ ම ආරාධනා කර තිබුණා.

වටමේස සාකච්ඡාවේ අරමුණ හැටියට ගැනීම සඳහා රජයේ මුද්‍රාව සහිත රජයේ මුද්‍රණාලයේ මුද්‍රිත යොජනා 14 ක් සහිත ප්‍රකාශනයක් සාමාජිකයන් අතට පත්කැර තිබුණා. මේ යෝජනා පැන නැගී තුබුණු අර්බුදය පිළිබඳ ව ශ්‍රී ලංකාවෙහිත් ඉන්දියාවෙහිත් පැවැති සාකච්ඡා අනුව සම්පාදනය කරන ලද්දක් බව පැහැදිළි ව පෙනුණත් ඉදිරිපත් කරන්නෙක් නො වී ය.

සාකච්ඡාවේ මුල් ම කරුණ වූයේ න්‍යාය පත්‍රය පිළියෙළ කැර ගැනීම යි. එහි දී ඒකාබද්ධ දිසා සංවර්ධන සභාවනට හෙවත් රීජනල් කවුන්සිල් වලට සම්පූර්ණයෙන් විරුද්ධ බවත් එයට මග පාදන යෝජනා 14 සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කරන බවත් දැනට දී තිබෙන දිසා සංවර්ධන සභාවලට වඩා අඟලක් වත් එහාට යන්නට ඉඩ දෙන්නේ නැති බවත් මහා සංඝයා වෙනුවෙන් පලීපාන ශ්‍රී චන්දානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තදින් ප්‍රකාශ කැර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් මහජන එක්සත් පෙරමුණත් බෞද්ධ නියෝජිතයනුත් මහාසංඝයාගේ අදහස් අනුමත කළ අතර ද්‍රවිඩ පක්‍ෂ ඒ යෝජනා 14 ට පක්‍ෂ ව කථා කළා.

ඒ අවස්ථාවෙහි එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා කතා කෙරෙමින් ඒ යෝජනා නැති ව න්‍යාය පත්‍රයට කරුණු තුනක් ඉදිරිපත් කළා. තොන්ඩමන් ඇමතිතුමා ඒ යෝජනා ඇතුළුව කරුණු ඉදිරිපත් කළා. අග්‍රාමාත්‍යතුමාගේ යෝජනා 3, 1.දමිළයන්ගේ පමණක් නොව සියලු ජාතීන්ගේ දුක් ගැනවිලි විසිඳීම, 2.පාලන ක්‍රම පිළිබඳ කරුණු 3.ත්‍රස්තවාදය මර්දනය කිරීම. දෙමළ ප්‍රශ්න විසඳීමට ඇති කළ වටමේස සාකච්ඡාවට අන්‍ය ජාතීන්ගේ දුක් ගැනවිලි එකතු කිරීමට අමෘතලිංගම් මහතා ඉතා තදින් විරුද්ධ වුණත් ඒ කරුණු තුන න්‍යාය පත්‍රයට ගත්තා.

දුක් ගැනවිලි ඉදිරිපත් කරන අවස්ථාවෙහි සිංහලයන් ගේ දුක් ගැනවිලි ප්‍රධාන මාතෘකා 15 ක් යටතේ සංඛ්‍යාලේඛන සටහන් දොළහක් සහිත ව මැනැවින් පෙන්වා දුන්නා. හැම දෙනාට ම වැඩි දුක් ගැනවිලිත් වැඩි අසාධාරණ කමුත් තිබෙන්නේ සිංහලයාට බව එසේ නොවේ යැයි කියන්නට බැරි තත්ත්වයකින් හේතු සාධක සහිත ව පෙන්වා දුන්නා. ඒ හැම ප්‍රකාශයක් ම ඉංග්‍රීසි පරිවර්තනයක් සංඛ්‍යා ලේඛන සටහනුත් ඒ සඳහා බැලිය යුතු පත් පොත් පත්‍රිකා හා සිතියමුත් පොදි වශයෙන් බැඳ හැම දෙනකුට ම එකී පොදිය ගණනේ දී කරුණු ඉදිරිපත් කිරීම සිරිතක් වශයෙන් කරන ලදී. අන්‍යයන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන අවස්ථාවේ දීත් එසේ ම කළා. අනෙක් අය ද දුක් ගැනැවිලි ඉදිරිපත් කළා.

මහා සංඝයාගේ විසඳුම

දින ගණක් දුක්ගැනවිලි ඉදිරිපත් කෙරෙමින් සාකච්ඡා කොට අවසානයේ දී දුක් ගැනවිලි නිවා ගැනීමේ විසඳුම් ඉදිරිපත් කරන්නට සම්මත කළා. මහා සංඝයා වෙනුවෙන් ආකාර දෙකෙකින් විසඳුම් ඉදිරිපත් කළා. ඒකාබද්ධ දිසා සංවර්ධන සභාවනට සම්පූර්ණයෙන් විරුද්ධ වීමට හේතු, ඒ සඳහා පිළියෙළ කොට තුබුණු යෝජනා 14 සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කිරීමට හේතු හා දැනට තිබෙන සංවර්ධන සභාවනට වඩා අඟලක්වත් එහාට යන්නට දෙන්නේ නැතැයි කීමට හේතු ද පෙන්වා දී දැනට තිබෙන සංවර්ධන සභාවනට අංශ දහනමයෙකින් බලතල පවරා පාලනය කිරීමේ විසඳුම්, අප ඉදිරිපත් කළ සිංහල ජනතාවගේ දුක්ගැනවිලි නිවන විසඳුමයි.

මෙහි පළමු විසඳුම පිළියෙළ කිරීමේ දී රජයේ උසස් තනතුරු දරමින් සිටි විශ්‍රාම ගිය උගත් බුද්ධිමත් තැන්පත් මහත්වරුන් සිවු දෙනෙකුගේ සහාය ලැබුණු බව කෘතඥතාපූර්වක ව සඳහන් කෙරෙමි.

අපේ විසිඳුමේ ඉංග්‍රීසි පිටපත් සමුළුවේ සියලු ම පක්‍ෂවලට හා ආගමික සංවිධානවලට ද කල් ඇතු ව යැව්වා. අනතුරුව එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ආදී නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කළා. අපේ විසඳුම් එජාපය පිළිගත්තා, ඊට පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය විපක්‍ෂයේ නායක අනුර බණ්ඩාරනායක මන්ත්‍රීතුමා ඇතුළු නියෝජිත පිරිසත් සමඟ සාකච්ඡා කළා. අපේ විසඳුම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිළිගත්තා, ඊටත් පසුව මහජන එක්සත් පෙරමුණේ දිනේශ් ගුණවර්ධන මන්ත්‍රී තුමා ආදී නියෝජිත පිරිසත් සමඟ සාකච්ඡා කළා. අපේ විසදුම් ම.එ.පෙය පිළිගත්තා.

විසඳුම් සාකච්ඡා කරන අවස්ථාවේ උත්තර මහා සංඝ සභාව වෙනුවෙන් ආචාර්ය වල්පොල රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ විසඳුම හෙවත් ඒකාබද්ධ දිසා සංවර්ධන සභාවනට සම්පූර්ණ විරුද්ධවීම, යෝජනා 14 සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කිරීම, දැනට තිබෙන සංවර්ධන සභාවනට වඩා අඟලක් වත් එහාට යන්නට ඉඩ නොදීම හා සංවර්ධන සභාවනට සාධාරණ බලතල දීම ගැන කතා කෙරෙමින්, අපේ විසඳුම ජනගහනයෙන් සියයට 75 ක් පිළිගෙන තිබෙන බැවින් කිසි ම කෙනකුට වෙනස් කළ නොහැකි යැයි ඉතා වේගයෙන් ප්‍රකාශ කළා. එහි දී කරුණු දක්වමින් සිංහල ජනතාව තුළ පවත්නා වේදනාව කොතරම් දැයි කියතොත් ඒකාබද්ධ දිසා සංවර්ධන ක්‍රමය ඉදිරියට ගෙනාවොත් ජුලැයි 23 වැනිදාට වඩා විසි තිස් ගුණයකින් වැඩි අරගලයක් පැන නඟිනු ඇතැයි වේගයෙන් ප්‍රකාශ කළහ.

මහා සංඝයා වහන්සේ ගේ විසඳුම ගැන දෙමළ පක්‍ෂ එකකුදු විරුද්ධ වූයේ නැත. පසුව දෙමළ පක්‍ෂ මහා සංඝයා පෞද්ගලික ව හමුවී සතුට ප්‍රකාශ කළහ. ඉහළ ම පෙළේ දෙමළ සංවිධාන පහක් විශ්‍රාම ලත් හමුදාපති ඇන්ටන් මුතුකුමාර මහතාගේ සභාපතිත්වයෙන් රැස්වී සාකච්ඡා කොට මහා සංඝයා වහන්සේ හමුවන්නට නියෝජිත පිරිසක් එව්වා. ඔවුන් බොහෝ වේලාවක් සාකාච්ඡා කොට විසඳුමේ පිටපතක් ඉල්ලාගෙන ගියා. නැවතත් ඔවුන් රැස්වී සාකච්ඡා කොට මහා සංඝයාගේ විසඳුම ඔවුනුත් බාර ගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

මෙතරම් බරපතල ප්‍රශ්නයෙක දී කිසිවකුගේ විරෝධයක් නැති ව විසඳුමක් පිළිගත්තා ය යන්න ලෝකයේ ම අහන්න නොලැබෙන තරම් සිද්ධියකි. මෙය ගිනස් පොතට යැවිය යුතු තරම් වාර්තාවෙකි. අපේ විසඳුම් විකල්ප විසඳුමක් නො ව සම්‍යක් සංකල්ප විසඳුමක් යයි කියන්නේ ඒ නිසා ය.

මහා සංඝයා වහන්සේ රාජ්‍ය පරිපාලනය බලතල ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. රජය හෙවත් මහා රාජ්‍ය සභා බලතල හා උප රාජ්‍ය සභා හෙවත් දිසා සංවර්ධන සභා බලතල යි. මේ දෙක ම අඩු වැඩි කිරීම රජය සතු කාර්යයෙකි.

මහා රාජ්‍ය සභා බලතල:

මහ රාජ්‍ය සභා යටතේ පාලනය වන උප රාජ්‍ය සභාවනට තමන්ගේ දිසා දියුණු කිරීමේ නිදහස ස්වයං පාලන තත්ත්වයෙන් දිය යුතු යයි මහා සංඝයා වහන්සේ යෝජනා කළා. මහා සංඝයා හමුවූ ද්‍රවිඩ පක්‍ෂ ද ස්වයං පාලන තත්ත්වයට බලවත් සතුටක් දැක්වූ බව පෙනුණා. අපේ ඉල්ලීම වූයේ වහා ම පනත කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවේ සම්මත කරවාගෙන ක්‍රියාත්මක කරන්න යනුයි. මේ මහඟු අවාස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම අපේ වරදක් නො වේ.

පහත සඳහන් විෂයයන් හා කාර්යයන් මුළුමනින් ම රජය සඳහා වෙන්කර තැබීම යෝග්‍ය ය. සියලුම නැව් තොටවල් සහ වරායවල්, රජයේ ඉඩම් පවරාදීම සහ ජනාවාස ව්‍යාපෘති, ප්‍රධාන වාරිකර්මාන්ත, පාඨශාලාවල කළමනාකරණය නඩත්තුව හා පරීක්‍ෂණ බැහැරකොට ප්‍රාථමික, ද්විතීය හා උසස් අධ්‍යාපනය, නියමිත පොත්, පාඨමාලා හා විභාග, ඛණිජ තෙල්, න්‍යෂ්ටික ශක්තිය ඇතුළුව විදුලි බලය හා ශක්තිය, පරිසර ආරක්‍ෂාව හා පාංශු රක්‍ෂණය, ගම්මාන කැලෑ ලෙස වෙන් කරන ලද ඒවා හැර කැලෑ ආරක්‍ෂාව, ප්‍රයෝජනයට ගැනීම හා යළි රෝපණය, ආණ්ඩුවලට අයත් නැති විදේශීය සංවිධානවල ආධාර, උපත් විවාහ හා මරණ ලියාපදිංචි කිරීම, පුද්ගලයන් ලියාපදිංචි කිරීම හා ඉඩම් ලියාපදිංචි කිරීම, ආගමික කටයුතු (රජයේ ආධාර සහ ප්‍රතිපත්තිමය කරුණු) රජයේ ඉඩම් හා ඉඩම් ප්‍රතිසංස්කරණය, කොමිසමට පවරා ගෙන ඇති ඉඩම් පරිපාලනය, සංස්කෘතියට අයත් පුරාවිද්‍යාව හා පැරණි ලේඛන හා නටබුන් ආරක්‍ෂා කිරීම.

උප රාජ්‍ය සභා බලතල:

ශ්‍රී ලංකාව ඒකීය ස්වෛරී රාජ්‍යයක් බව අපි පිළිගනිමු. සාමය තහවුරු කිරීමටත්, විවිධ භාෂා, ජාතීන් හා ආගමික වශයෙන් බෙදී සිටින කොටස් අතර අන්‍යෝන්‍ය ගරුත්වය හා මිත්‍රත්‍වය වැඩි දියුණුකර ලීමටත් අවශ්‍ය ජාතික සහයෝගතා ගොඩනැංවීම අපේ පරමාර්ථය යි.

මේ අනුව සංවර්ධන පරිපාලනයේ දී සංවර්ධන සභාවලට වඩාත් පුළුල් වගකීමක් පැවරෙන අයුරින් ද ඒ ඒ දිස්ත්‍රික්කවල වැඩිපුර ස්වයං පාලනයක් ඇතිවන පරිද්දෙන් ද සංවර්ධන සභා නීති රීති සංශෝධනය කිරීම සඳහා අපි යෝජනා ඉදිරිපත් කරමු.

කෘෂිකර්මය – ව්‍යාප්තිය හා සංවර්ධනය:

බීජවර්ග වැඩි කිරීම හා බෙදා දීම, දියුණු වැඩක්‍රම ජනප්‍රිය කිරීම, පෝර වර්ග හා නවීන උපකරණ බෙදා දීම, කෘත්‍රිම හා අමුකොළ පෝර භාවිත ව්‍යාප්ත කිරීම, පලතුරු හා එළවළු ගොවිතැන හා ගස් වැවීමේ ව්‍යාපාරය, ඉඩම් හා වගුරු බිම් ගොවිතැනට හා පස් සේදී යාම නැවැත්වීම සඳහා සකස් කිරීම, අස්වැන්න ආරක්‍ෂාව හා අස්වැන්න වර්ධනය කිරීම, තරග පැවැත්වීම, විෂදායක පැළ වර්ග නැතිකිරීම, ගොවිපළවල් පාලනය සම්බන්ධ ආදර්ශ ගොවිපොළවල් ඇති කිරීම හා බීජ වර්ධන ගොවිපළවල් ඇති කිරීම, කුඩා වාරිමාර්ග වැඩ හා ගම් පුළුල් කිරීමේ ක්‍රම ඇති කිරීම හා නඩත්තුව.

සත්තව පාලනය:

පශු වෛද්‍ය ආරෝග්‍යශාලා හා ක්‍ෂේත්‍ර ස්ථාන ඇති කිරීම හා නඩත්තුව, ගවයන් ආදී සත්ත්ව වර්ග දියුණු කිරීම හා බෙදා හැරීම, බෝවන සත්ත්ව රෝග මර්දනය, ගව ප්‍රදර්ශන පැවැත්වීම.

සමුපකාර සංවර්ධනය:

කර්මාන්ත, කෘෂි කර්ම ආදීවූ සමූපකාර සමිති දියුණු කිරීමෙන් සමුපකාරය වර්ධනය, සමුපකාර ක්‍රමය වර්ධනය හා පුළුල් කිරීම, සමුපකාර ප්‍රචාරක වැඩ, ප්‍රදර්ශන හා සම්මේලන, ආහාර බෙදා හැරීම හා ආහාර පාලනය, කුඩා හා මධ්‍යම තරමේ කර්මාන්තයෝ, ගෘහ කර්මාන්ත හා කුඩා කර්මාන්ත දියුණු කිරීම හා ඒ සම්බන්ධ මුදල් වෙළෙහෙළඳාම් ඇති කටයුතු පුහුණු කිරීමේ මධ්‍යස්ථාන, එම කර්මාන්ත ඇති කිරීමට ණය මුදල් හා ආධාර මුදල් සැපයීම, ප්‍රාදේශීය විසිතුරු වැඩ හා නිපැයීම් වෙළෙද මධ්‍යස්ථාන ඇති කිරීම, රෙදි සෑදීම් – අත්මැෂින් හා ඉලැක්ට්රික් මැෂින් වර්ධනය.

දිස්ත්‍රික් සභාවලට යම් යම් කටයුතු පැවරිය හැකි ය. ජාතික ආරක්‍ෂාව, ආගමන විගමන හා රේගු වැනි ජාතික අවශ්‍යතාවන් සහ ධීවර අයිතිවාසිකම් පිළිබඳ කරුණු රජය වෙත ම තබා ගත යුතු ය.

ග්‍රාම සංවර්ධනය:

ග්‍රාම සංවර්ධන සමිති ග්‍රාම සේවක කොට්ඨාසය තුළ ඇති කිරීම හා ඒ වැඩ කටයුතු එකමුතු කිරීම, ගම්වල නියෝජිතයන් ග්‍රාම සංවර්ධන කටයුතුවල පුහුණු කිරීම, ග්‍රාම සංවර්ධනය, ආදර්ශ ගම් ඇති කිරීම.

ප්‍රසිද්ධ වැඩ:

මහාමාර්ග හා පළාත් පාලන සභා පාරවල් හැර දිස්ත්‍රික්කයේ අනෙක් පාරවල් කැප්පවීම හා නඩත්තුව, ග්‍රාම උද්‍යාන හා හිස් ඉඩම්, දිස්ත්‍රික්ක සභාවට අවශ්‍ය කරන ගොඩනැගිලි සෑදවීම, පාරවල් හැර ඔරු පාරු ආදී වෙනත් ගමනාගමන ක්‍රම, ආණ්ඩුවේ ගොඩනැගිලි නඩත්තුව, ප්‍රසිද්ධ පාරවල් වල ගස් වැවීම, සංරක්‍ෂණය කිරීම, සංවර්ධන සභා සමග හෝ පළාත් සභා සමග ඇතිකළ මහජන සෞඛ්‍ය, ඉංජිනේරු වැඩ, ජලය සැපයීම, කසළ ශෝධනය.

දිස්ත්‍රික් නිර්මාණ ශිල්පී වැඩ:

ග්‍රාම සංවර්ධන වැඩ හා සංවර්ධන වැඩ ක්‍රම, දිස්ත්‍රික්කයේ ගෘහනිර්මාණ වැඩ පාලනය, නගර හා ගම් ආධාර ක්‍රම සහ පළාත් සභාවලට ආධාර කිරීම.

සංචාරක ව්‍යාපාරය:

සංචාරක ව්‍යාපාර සංවර්ධනය, සංචාරක තානායම් පොළවල් ඇති කිරීම, ප්‍රශංසනීය ප්‍රදේශයන් හා සංචාරකයන් සඳහා යෝග්‍ය විශේෂ ප්‍රදේශ ආරක්‍ෂා කර ගැනීම, ආණ්ඩුවෙන් පාලනය වන සත්ත්ව උද්‍යාන හැර වෙනත් සත්ත්ව උද්‍යාන ඇති කිරීම.

අධ්‍යාපනය:

ඇමතිතුමාගේ අනුමැතිය ඇතිව ප්‍රාථමික, ද්විතීයික හා කනිෂ්ඨ කාර්මික පාඨශාලා ඇති කිරීම, පාලනය පරීක්‍ෂා කිරීම. එයට පහත සඳහන් විශය මාලා හා පාඨමාලා පිළියෙල කිරීම, පාසල් පොත් නියම කිරීම, විභාග පැවැත්වීම, අධ්‍යාපන පර්යේෂණ කටයුතු, ගොඩනැගිලි හා උපකරණ ප්‍රමිතිකරණය, ගුරු පුහුණුව යන කරුණු ඇතුළත් නොවේ. විශේෂයෙන් වැදගත් වන කරුණු අතර, ශිෂ්‍යයන් වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කිරීම හා ප්‍රමිතිකරණය කිරීම, කිරි හා ආහාර සැපයීම, විවේක පහසුකම්, ක්‍රීඩාපිටි, ක්‍රීඩා සංවිධාන හා තරග පැවැත්වීම, ගමන් පහසුකම්, පුස්තකාල හා කියවීම් ශාලා ඇති කිරීම, පාසල් නේවාසිකාගාර, රසායනාගාර හා කාර්මික වැඩපොළ සඳහා ගොඩනැගිලි ඉදිකිරීම, ප්‍රාථමික පාසල්වලට අනිවාර්යයෙන් ම ශිෂ්‍යයන් ගෙන්වා ගැනීම, ප්‍රාථමික ද්විතීයික හා උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව දීම.

සංස්කෘතික කටයුතු:

ලලිත කලා වර්ධනය හා කලා පාසල් ඇති කිරීම, තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවීම හා පවත්වා ගෙන යෑම, සංස්කෘතික කටයුතු සංවිධානය, උත්සව සංවිධාන ඇතුළු සාහිත්‍ය හා සංස්කෘතික කටයුතු වර්ධනය කිරීම, කලා ප්‍රදර්ශන, කලාගාර හා ප්‍රදේශීය කෞතුකාගාර සංවිධානය කිරීම, ජාතික හා ආගමීක උත්සව පැවැත්වීම, පුස්තකාල ඇතිකර පවත්වා ගෙන යෑම සහ සාහිත්‍ය හා සංස්කෘතික අතින් වැදගත් පොත් ප්‍රකාශනය, ක්‍රීඩා පිටි හා විවේකාගාර, පිහිනුම් තටාක, ක්‍රීඩා මණ්ඩප හා විනෝදාගාර පිහිටුවීම.

‍සෞඛ්‍ය සේවා:

පරිසර සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවීම, පාසල් සෞඛ්‍ය සේවා, එන්නත් කිරීම්, ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන, මාතෘ හා ළමා සුභසාධක මධ්‍යස්ථාන පිහිටුවීම හා පවත්වා ගෙන යාම, සෞඛ්‍ය ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව රොහල් හා බෙහෙත් හල් පිහිටුවීම හා පවත්වාගෙනයෑම.

ආයුර්වේදය:

බෙහෙත් පැළ වගා කිරීම හා ආයුර්වේද බෙහෙත් තොග ගබඩා, ආයුර්වේද බෙහෙත් ශාලා හා අදාළ සේවා පිහිටුවීම හා පවත්වාගෙනයෑම.

නිවාස:

අඩු ආදායම් ලබන ජනතාව සඳහා නිවාස පහසුකම් සැපයීම, නිවාස යෝජනාක්‍රම ඉදිකිරීම හා පවත්වා ගෙන යෑම, ග්‍රාමීය නිවාස, කුලී ගෙවා සින්නවීමේ ක්‍රමයට නිවාස ක්‍රම රජයේ නිවාස යෝජනාක්‍රම සඳහා පදිංචිකරුවන් තෝරා ගැනීම හා කුලී එකතු කිරීම, අඩු වියදමින් තනන නිවාස සඳහා ගොඩනැගිලි උපකරණ සැලසීම, අඩු වියදමින් නිවාස තැනීම කියා දීම.

පළාත් පාලනය:

පළාත් පාලනය වර්ධනය, පළාත් පාලන ආයතනවලට මුදල් වලින් ආධාර සැපයීම හා කාර්මික උපදෙස් සැලසීම, දිස්ත්‍රික්කය තුළ පළාත් පාලන ආයතන සමග එක් ව ක්‍රියා කිරීම පළාත් පාලන ආයතන පිළිබඳව රජය වෙනුවෙන් පරීක්‍ෂාකාරී වීම.

සමාජ සුභසාධනය:

සමාජ සේවා, මහජන ආධාර, අනාථ වූ ළමයි වෙනුවෙන් ආයතන, අනාථ දරු නිවස, ගොවිතැන් හානි, ජල ගැල්ම, ගිනිබත් වීම වැනි කරුණුවලදී උපකාරී වීම, වැඩිහිටි නිවාස, ක්‍ෂයරෝග ආධාර, ලාදුරු රෝග ආධාර, අංගවිකල වූවන්ට ආහාර, වැරදිකරුවන් ගේ සුභසාධනය, නීති උපකාර, කාන්තා හා යෞවන සුභසාධනය, රැකීරක්‍ෂා පහසුකම්.

සැලැස්ම හා සංඛ්‍යා ලේඛන:

දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධන සැලැස්ම පිළියෙල කිරීම, පරීක්ෂණයට භාජනය කිරීම හා සම්බන්ධීකරණය, සංවර්ධන සැලැස්ම යටතේ ඉලක්ක වන ක්‍රියාමාර්ග වරින් වර පරීක්‍ෂණයට භාජනය කිරීම සංඛ්‍යා එකතු කිරීම හා පවත්වා ගෙන යෑම.

විවිධ:

වන්දනා ගමන්, වනසත්ව ආරක්‍ෂාව, රැකී රක්‍ෂා.

 

දවස 1986.10-9,10,11,13,14 යන දිනයන්හි කොටස් වශයෙන් පළ විය

ප්‍රඥාප්‍රභා 4

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

තව දුරටත් කරුණාව දක්වනු මැනවි ...
හෙට රට කොයිබට ද?

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.