වස් එළඹීම... - IFBC Organization | Dhamma

විනය නීති ප්‍රකාශයට පත් කිරීම තුළින් මූලිකවම අවධාරණය කර ඇත්තේ සංඝ සමාජයේ නිරවුල් යහපැවැත්ම බවයි. එවැනි චිරාගත විනය චාරිත්‍රයක් ලෙස වස් විසීම දැක්විය හැකිය. රජවරුන්ගේ හෝ ප්‍රභූවරුන්ගේ ඉල්ලීම මත සහ මහජනයාගේ උද්ඝෝෂණයන් පදනම් කොටගෙන පමණක් නොව සමකාලීන ආගමික සම්ප්‍රදායයන් හා සමගාමී වීමෙන් ද පැන වූ විනය ශික්ෂාවන්ගෙන් බුදුන් වහන්සේ අපේක්ෂා කළ අරමුණු 10ක් පිළිබඳව පාරාජිකා පාලියේ විස්තර වේ.

වර්ෂා, වස්සාන සහ වස් යනු පිළිවෙළින් සංස්කෘත පාලි සහ සිංහල භාෂාත්‍රයෙන් වැසි සහිත කාලය හැඟවීම සඳහා භාවිත කරනු ලබන පදයන් ය. මෙම කාලය හා සම්බන්ධ වූ ඉතා වැදගත් විනය කර්මයක් ලෙස වස් විසීමේ ක්‍රියාව දැක්විය හැකිය. ශාසනයාගේ ආයුෂ රඳා පවතින මෙවලම (විනයො නාම සාසනස්ස ආයු) විනය යැයි සැකෙවින් දැක්විය හැකිය. ඒ සඳහා භික්ෂූ සමාජයේ යහපැවැත්ම තීරණාත්මක සාධකයකි. විනය වූ කලී විනය සඳහාම නොවිය යුත්තක් බැවිනුත් එය සමාජය හා සමාජයේ යහපත සඳහා විය යුත්තක් බැවිනුත් දේශයට හා කාලයට අනුරූපව පැන වූ විනය නීති අවශ්‍යතාව අනුව යම් යම් වෙනස්කම් වලට භාජනය වූ අවස්ථා බොහෝ ය. ඇතැම් විනය නීති සහමුලින්ම අහෝසි කර දැමූ බවද පෙනේ.

සම්බුද්ධත්වයෙන් මුල් වර්ෂ විස්සක්ම (20) ගතවූයේ විනය ශික්ෂා පදයන්ගෙන් තොරවය. මතු ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් කෙරෙහි අවධානය යොමුකළ සැරියුත් හිමියන් වරක් බුදුරදුන්ගෙන් අයැද සිටියේ එයට ප්‍රතිකර්මයක් ලෙස විනය ශික්ෂාපද දේශනා කරන ලෙසයි. එහෙත් එය ප්‍රතික්‍ෂේප කරමින් බුදුන්වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ සංඝයා අතර අපවිත්‍ර කාරක ධර්ම (ආසවට්ඨානීය ධම්ම) පහළ නොවන තාක් කල් විනය නීති නොපනවන බවයි. (ම.නි. මහා භද්දාලී සූත්‍රය) එම ධර්ම මෙසේ ය.

  1. සංඝයාගේ ප්‍රමාණය විශාල වීම (වේපුල්ල මහත්තතා)
  2. සංඝයාට ලැබෙන ලාභ සත්කාර බහුල වීම (ලාභග්ග මහත්තතා)
  3. සංඝයා උගත්කමින් ඉහළට යෑම (බාහුසච්ච මහත්තතා
  4. සංඝයා කල්පැවැත්මෙන් ඉහළට යෑම (රත්තඤ්ඤු මහත්තතා)

භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා ලෙස සිවුවනක් පිරිසකගෙන් සැදුම් ලත් බුදු සසුනේ විනය නීති පද්ධතියක් පනවා ඇත්තේ පැවිදි පක්ෂයටයි. යුතුකම් හා වගකීම් ඉටුකිරීම තුළින් ගිහි විනය සුරැකෙන බව බුදුන් වහන්සේ දේශනා කළ මුත් ශික්ෂාපද වශයෙන් ගිහි විනයක් ගැන අවධාරණය නොකළේ බොහෝ විට ගිහි සමාජය රාජ්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වන බැවිනි.

රාජ නීතිය සහ බුද්ධ නීතිය අතර සම විෂමතා දක්නට ලැබේ. නිදසුනක් ලෙස ධීවර කර්මාන්තය රජයේ අනුමත රැකියාවක් වුවත් සත්ත්ව හිංසනයට බුදුදහමෙන් කිසිදු අදහසක් නොලැබෙන්නාක් මෙනි.

ataඑහෙත් පැවිදි සමාජයේ ක්‍රියා පිළිවෙත ගිහි සමාජයෙන් (මහා සමාජය) බොහෝ සෙයින් වෙනස් වේ. රජවරුන්ගේ හෝ ප්‍රභූවරුන්ගේ ඉල්ලීම මත සහ මහජනයාගේ උද්ඝෝෂණයන් පදනම් කොටගෙන පමණක් නොව සමකාලීන ආගමික සම්ප්‍රදායයන් හා සමගාමී වීමෙන් ද පැන වූ විනය ශික්ෂාවන්ගෙන් බුදුන් වහන්සේ අපේක්ෂා කළ අරමුණු 10ක් පිළිබඳව පාරාජිකා පාලියේ විස්තර වේ.

  1. සංඝයාගේ යහ පැවැත්ම පිණිස
  2. සංඝයාගේ යහසුව පිණිස
  3. නොදැමුණු පුද්ගලයන් හික්මවීම පිණිස
  4. විනය ගරුක භික්ෂූන්ගේ පහසු විහරණය පිණිස
  5. මෙලොව වශයෙන් උද්ගත වන ආශ්‍රවයන් කෙරෙන් ආරක්ෂා වීම පිණිස
  6. පරලොව හා සම්බන්ධ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය පිණිස
  7. නොපැහැදුනවුන්ගේ් පැහැදීම පිණිස
  8. පැහැදුනවුන්ගේ් වැඩි පැහැදීම පිණිස
  9. සද්ධර්මයේ චිර පැවැත්ම පිණිස
  10. යහපත් චර්යාවට අනුබල දීම පිණිස

මෙකී සමස්ත කරුණු කෙරෙහිම අවධානය යොමු කිරීමෙන් විශද වනුයේ විනය නීති ප්‍රකාශයට පත් කිරීම තුළින් මූලිකවම අවධාරණය කර ඇත්තේ සංඝ සමාජයේ නිරවුල් යහපැවැත්ම බවයි. එවැනි චිරාගත විනය චාරිත්‍රයක් ලෙස වස් විසීම දැක්විය හැකිය. දඹදිවට අධික වැසි සහිත කාලය (වර්ෂා සෘතුව) ඇසළ මසින් උදාවේ. මෙකල හටගන්නා වැස්ස ඇතැම් විට දින හතක් පුරාවටම අඛණ්ඩව පැවතුණි.

බුදුන් වහන්සේ වේළුවන අරමෙහි වැඩ වසන සමයෙහි භික්ෂුහු හේමන්ත, ගිම්හාන, වස්සාන යන තුන් සෘතුවෙහිම වෙනසකින් තොරව ධර්ම ප්‍රචාරයේ හැසිරෙති.

මේ බව දුටු මහජනයා කළකිරීමට පත්ව ප්‍රකාශ කළේ අන්‍ය තීර්ථකයන් හා පක්ෂීන් පවා එක්තැන්ව සිටින වස්සාන සෘතුවෙහි ලා තෘණ මඩිමින් භික්ෂූන් සංචාරය කිරීම පිළිකුල් සහගත බවයි. මෙම කරුණ පදනම් කොටගෙන බුදුන් වහන්සේ විසින් ‘අනුජානාමි භික්ඛවෙ වස්සං උපගන්තුං’ යනුවෙන් මහණෙනි වස් විසීමට නියම කරමියි දෙසූහ. මෙහිදී වස් වැසිය යුත්තේ කවදා ද යන පැනය උද්ගත වූයෙන් ‘අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං’ යනුවෙන් වස්සාන සෘතුවෙහි වස් විසිය යුතු බවට එය සංශෝධනය වුණි.

වස් විසීමේ චාරිත්‍රය පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන බුදුන් වහන්සේ පෙර වස සහ පසු වස වශයෙන් වස් විසීමේ ක්‍රම දෙකක් ඇති බවත් ඇසළ මස අව පෑළවියදා පෙර වස් වසන දිනය සහ එයින් මසකට පසුව උදාවන නිකිණි මස අව පෑළවියදා පසු වස් වසන දිනය ලෙස ද නම් කෙරිණි. ඇසළ මස පුනු පොහෝ දින පොහොය කොට සිටි භික්ෂූන් වහන්සේට වැසි සළු දැහැත් ගොටු ආදිය පිළිගන්වා මෙතැන් සිට වස් කාලය පුරාවටම අප සෙනසුනේ වැඩ වසන ලෙසත් එම කාලය තුළ සිවුපසයෙන් උපස්ථාන කිරීමට බැඳී සිටින බවත් දායක පින්වතුන් විසින් දැන්විය යුතුය.

එසේ කිසිදු ඇරයුමක් නොවූයේ නම් යෝග්‍යස්ථානයක් තමා විසින් ම වුව තෝරාගෙන වස් කාලය එහි ගත කළ යුතුය. වස් නොවිසු උපසපන් භික්ෂුවට සහ වස් වසා චාරිකාවේ හැසිරෙන භික්ෂුවට දුක්කටාපත්ති වේ.

වස් වැසිය හැකි ස්ථාන

  1. සිව් පසය මනා කොට ලැබෙන ස්ථාන
  2. සුදුසු උපස්ථායකයකු සිටින ස්ථාන
  3. සංඝ රත්නය සමඟි සමාදානයෙන් සිටින ස්ථාන
  4. තමාගේ බ්‍රහ්මචර්යාවන්ට අන්තරායක් නොවන ස්ථාන

වස් නොඑළඹිය යුතු ස්ථාන

  1. රුක් මුල් යට
  2. එළිමහනෙහි (සේනාසන නැති තැන)
  3. සොහොන් බිම්හි
  4. නපුරු සතුන් ඇති තැන්හි

මෙහිදී බුදුන්වහන්සේ විසින් වස් විසීමට නුසුදුසු ස්ථාන රාශියක් ද පෙන්වා දුන්හ. එනම්, ගස් බිලය, ගස්වල අතු බෙදුණු තැන්, එළිමහනෙහි, මිනී කුටියෙහි, වහලය හෝ දොරක් නැති තැනක, කුඩයක් යට, සැළියක් යට, යන තැන් වර්ජනය කළයුතු බැවින් මෙම තන්හි වස් විසුයේ නම් දුක්කටාපත්ති වන බව දෙසූහ.

සුදුසු ස්ථානයේ යෝග්‍යාකාරයෙන් වස් විසූ භික්ෂූන් වහන්සේ අදාළ ආරාමයෙන් බැහැරට යන්නාහු නම් එදිනම නැවතත් පැමිණෙමියි යන අදිටනින් යුක්තව යෑම සතිකරණය නම් වන අතර එදින නොපැමිණ සත් දිනක් තුළ ආපසු පැමිණීමේ නිගමනය ඇතිව යෑම සත්තාහකරණය නම් වේ.

එබැවින් විහාරස්ථානයෙන් බැහැරට යන සෑම විටම තමා වස් සමාදන්ව ඇති බව සිහිකට යුතුය. එය සිහිපත් වනු වස් මෙම කාලය තුළ බොහෝ විහාරස්ථානයන්හි අයං වස්සාන කාලො යනුවෙන් සටහන් කළ පුවරුවක් භික්ෂූන් වහන්සේට හොඳින් පෙනෙන ස්ථානයක (මෙය දායක පිරිස සඳහා නොව) සවිකර තිබෙනු දැකිය හැකිය.

මෙයට අමතරව වස් විසූ භික්ෂුවට චණ්ඩ සිවුපාවුන්ගෙන්, නපුරු සර්පයන්ගෙන්, දරුණු සොරුන්ගෙන් හා පිසාව ආදීන්ගෙන් උවදුරු පැමිණේ්නම් සහ ගොදුරු ගම හෝ සෙනසුන ගින්නෙන් විනාශ වීම, ගොදුරු ගම හෝ සෙනසුන ජලයෙන් යටවීම, නිසි පරිදි ආහාර නොලැබීම, ස්ත්‍රියක විසින් අයුතු යෝජනාවක් කිරීම, සංඝභේදක ක්‍රියාවකට හවුල් වීමට සිදුවීම යනාදි කරුණු මත ඒවායෙන් වැළකීමේ අදිටනින් වස කඩ කිරීම ඇවැතක් නොවන බවට අනුදැන වදාළහ.

පෙර වස් වැස නිවැරැදිව වස ආරක්ෂා කොට වස් පුර පසළොස්වක් පෝ දින මහ පවාරණයෙන් පවාරණය කළ භික්ෂූන් වහන්සේ පමණක් කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් ලබති.

කඨිනානිසංස ගැන දේශනාකල ස්ථානය අනවතප්ත විල ගැන දැනගනිමු.
වස් සමාදන් වීම පිලිබද බුද්ධ නීතිය ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.