ලෝකයට සුදුසු බෞද්ධ අර්ථක්‍රමය ... - IFBC Organization | Dhamma

පෙරදිග පඬිවරු මනුෂ්‍ය ශබ්දය විවිධාකාරයෙන් විග්‍රහ කළහ. එයින් බෞද්ධ පඬිවරු මනස්ස උස්සන්නතාය මනුස්සා” දියුණුවන මනසක් ඇත්තේ මිනිසාට යැයි විග්‍රහ කළහ. බුද්ධ ධර්‍මය අනුව සියලු සත්ත්වයන් අතර මිනිසා සැමට වඩා උතුම් වෙයි. ශ්‍රේෂ්ඨ වේ. එසේ වන්නේ ද දියුණු වන මනස නිසා ම ය. මිනිස්කම හැමට වඩා උසස් වස්තුව යි, ධනය යි.

අභ්‍යන්තර දියුණුව යැ, බාහිර දියුණුව යැයි දියුණුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. අභ්‍යන්තර දියුණුව නම් මනසේ හෙවත් මිනිස්කමේ දියුණුවයි. බාහිර දියුණුව නම් මිනිසා විසින් නුවණත් උත්සහයත් යොදා ඇතිකරන ධනය ආදී බාහිර සම්පත් ය. එයිනුත් මුල්තැන දුන්නේ මනසේ දියුණුවටයි.

පාලි භාෂාවට අයත් “අත්‍ථ” ශබ්දයේ මුඛ්‍යාර්‍ථය දියුණුව ය. එය අත්‍ථ – දියුණුව යැ, උත්‍ථමත්‍ථ – උතුම් දියුණුව යැයි දෙකට බෙදා දේශනා කළහ. එයිනුදු උත්‍ථමාර්‍ථය ම – මනසේ හෙවත් මිනිසා පිළිබඳ ගුණ – නුවණ දෙකෙහි දියුණුවට මුල්තැන දුන්හ. ඒ උත්‍ථමාර්‍ථය කුළුගැන්වෙන්නේ රහත් බැවිනි.

බුදුරජාණන් වහන්සේ “අත්‍ථ” ශබ්දයෙන් ප්‍රකාශ කෙළේ පිටට පෙනෙන්නට තිබෙන සමාජය පිළිබඳ ආර්ථික, දේශපාලනික, අධ්‍යාපනික, සෞඛ්‍යය, අධිකරණය හා සදාචාරාදී විවිධ දියුණුවයි. මෙයින් අධිකරණය හැරුණු විට අනෙක් විෂයන් පිළිබඳ එකට ගොනු කොට විද්‍යාවක් හෝ ශාස්ත්‍රයක් හැටිය‍ට කළ සූත්‍රයක් හෝ දහම් කොටසක් හෝ නැත. එහෙත් එ‍් එ‍් ස්ථානයන්හි දී දේශනා කළ සූත්‍රයන් හා ධර්‍මකොට්ඨාසයන් ගොනු කොට ගත්විට ඒ ඒ විෂයයන් පිළිබඳ විද්‍යාවන් හා ශාස්ත්‍රයන් ගොඩනැංවීම ඉතා පහසු කාර්යයක් වේ.

මෙකලැ ව්‍යවහාර ප්‍රප්ත වැ තිබෙන ආකාරයට ආර්ථික විද්‍යාව කියා හෝ ආර්ථ ශාස්ත්‍රය කියා‍ හෝ වි‍ෙශ්ෂ දේශනාවක් කැරැ නැතත් බුදුරජාණන් වහන්සේ තැනින් තැන දේශනා කළ කරුණු ගොනු කොට ගත් විට ඉතා දියුණු යැයි සැලැකෙන වර්තමාන සමාජයට උචිත ආර්ථික විද්‍යාවක් හෝ බිහිකළ හැකි වේ.

පුරාණ කාලයෙහි ද බුද්ධ කාලයෙන් පසු වැ කෙ‍‍ෟටිල්‍ය අර්‍ථශාස්ත්‍ර යැ, බෘහස්පති අර්‍ථශාස්ත්‍ර යැයි ග්‍රන්ථ දෙකක් බිහි කොට අ‍ැත. මේ අර්‍ථශාස්ත්‍රඥයන් දෙදෙනා ම දේශපාලනයත් ධනසම්පත්තියත් අ‍ැතුලු කොට අර්‍ථශාස්ත්‍රය නිරූපණය කරන ලදී. එහෙත් මනසේ හෙවත් මිනිස්කමේ දියුණුව පිළිබඳ සැලැකිල්ලක් දක්වා නැත.

මෑත යුගයෙහි ද විවිධ අර්‍ථශාස්ත්‍රඥයන් විසින් ආර්ථිකවිද්‍යා නමින් හා අර්ථශාස්ත්‍ර නමින් ද නිපදවන ලද ග්‍රන්ථ රාශියකි. ඒ සියල්ල ධනවාදී අර්‍ථක්‍රමය සමාජවාදී අර්‍ථක්‍රමය යැයි දෙකට බෙදිය හැකි වේ. ඒ දෙකෙහි ද මනසේ දියුණුව ගැන සැලැකිල්ලක් දක්වා නැත. එහෙයින් බාහිර දියුණුවෙන් මිනිසා හඳට යනකම් දියුණු වූයේ වී නමුත් මිනිසා මිනිස්කමින් පිරිහී යම ලෝකය දක්වා බැස ගෙන යයි.

මේ කරුණු හොඳින් සලකා බලන බුද්ධිමතුන් තුළැ “ නොබෝ කලෙකින් මිනිස්කම් ඇති මිනිසුන් නැති වේ යැ” මිනිසා තිරිසන් ගණයට ම වැටේ යැ” යන බියක් හා සැකයක් පහළ වේගන යන බවක් පෙනෙන්නට ඇත. එය අස්ථාන බියක් හෝ සැකයක් හෝ නොවන බව කිය යුතු ය. මිනිහා එක් අංශයෙකින් හෝ තිරිසන් ගණයට වැටෙනවා නම් එය බලවත් පිරිහීමෙකි. එහෙයින් මනසේ හෙවත් මිනිස්කමේ දියුණුවට මුල්තැන දෙන අර්‍ථක්‍රමයක් දැන් ලොවට අවශ්‍ය වී ඇත.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ එක්සිය අටක ප්‍රභේදගත තෘෂ්ණාවෙන් හා හැට දෙකක ප්‍රභේදගත දෘෂ්ටියෙන් ද අවුල් වැ තුබුණු සමාජයෙක ය. අවුලෙන් අවුලට පත් වැ සිටි ජනතාව මේ අවුල ලිහා ගන්නේ කෙසේ දැයි සිතන්නට විය. එහෙත් අවුල් ජලාවෙක පැටලී සිටි අයට ඒ අවුල ලිහා ගන්නා මග සිතා ගත නොහැකි විය. එහෙයින් බුදුරජාණන් වහන්සේ ගේ පිහිට සොයා ගොස් “ස්වාමීනි, ඇතුළතත් අවුල් ය, පිටතත් අවුල් ය, අවුලෙන් අවුල ය, මේ අවුල ලිහන්නේ කවරෙක් දැයි ඇසී ය.

මේ සියලු අවුල් මනස මුල් කැරැගෙන බව දැන වදාළ බුදුරජාණන් වහන්සේ ශීල, සමාධි, ප්‍රඥා යන ගුණ කඳු තුන වඩා මනස දියුණු කැරැ ගන්නා මේ අවුල ලිහා ගන්නේ යැයි දේශනා කළ සේක. මේ ඇතුළේ හෙවත් මනසේ අවුල් ලිහා ගැනීමට පිටත අවුල් ද සෑහෙන තරම් ලිහාගෙන පරිසරය හොඳ කැරැ ගත යුතු වේ. එහෙයින් පිටත අවුල් ලිහා ගැනීමේ මග ද දේශනා කළහ.

බුද්ධධර්මයෙහි ඇතැම් කරුණු කෙලින් ම භික්‍ෂූන්ට ය. ඇතැම් කරුණු කෙලින් ම ගිහියනට ය. ඇතැම් කරුණු ගිහිපැවිදි දෙපසට ම පොදු ය. ගිහිපැවිදි දෙපසට ම පොදු කරුණු දේශනා කිරීමේ දී මුල් කැරැ ගන්නේ භික්‍ෂූන් වහන්සේ ම ය.

එක් අවස්ථාවක දී මනුෂ්‍යයනට නැති ව ම බැරි කරුණු සතරක් සිවුපසය නමින් ප්‍රකාශ කළහ. එනම් අඳින්නට වස්ත්‍රය, කන්නට ආහාරය, ඉන්නට නිවාසය, ලෙඩට බෙහෙත් යනුයි. මේ කරුණු හතරෙන් පිටත අනෙක් දේවල් නැති ව ද කෙනෙකුට ජීවත් විය හැකි වුවත් මේ සිවුපසය නැති වැ ම මනුෂ්‍යයකුට ජීවත් විය නොහැකි බව කවුරුනුත් පිළිගන්නවා ඇත. මේ සිවුපසය සුලබ කිරීම හා පහසු කිරීම රජවරුන් හෙවත් රජයක පරම යුතුකම බව ද ප්‍රකාශ කොට ඇත.

මනුෂ්‍ය ජීවිතයකට අත්‍යවශ්‍ය සිවුපසය හා අතිරේක උවමනාවන් සඳහා ධනසම්පත්තිය අවශ්‍ය ය. එහෙයින් බුද්ධධර්‍මයෙහි ධනසම්පත්තියට උපකාර වන පරිදි රජවරුන්ටත් සාමාන්‍ය ගිහි ජනතාවටත් දේශනා කළ කරුණු රාශියකි. ඒ ඒ අවස්ථාවන්හි දේශිත ඒ කරුණු ගොනු කොට ගත් විට වර්‍තමාන ලෝකයට සුදුසු අර්‍ථක්‍රමයක් ඉදිරිපත් කළ හැකි වේ.

බුදුරජාණන් වහන්සේ අත්‍ථ – (සාමාන්‍ය – බාහිර) දියුණුව යැ, උත්තමත්ථ – උතුම් දියුණුව යැයි ද්‍විවිධ කොට දේශනා කළහ. උත්තමාර්‍ථය හෙවත් මනසේ දියුණුව සඳහා ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගය ප්‍රකාශ කොට එය වැඩීමේ පහසුව සඳහා ශීල, සමාධි, ප්‍රඥා යන ගුණ කඳු තුන විස්තර කළහ. එදිනෙදා සැපවත් ජීවිතයටත් උත්තමාර්‍ථයටත් උපකාර වන අර්‍ථය – සාමාන්‍ය හෙවත් බාහිර දියුණුව සපුරා දෙන බෞද්ධ අර්‍ථක්‍රමයෙහි මූලධර්ම තුනක් ඇත.

  1. උට්ඨ‍ානසම්පදා – නුවණින් හා උත්සාහයෙන් ධන සම්පාදනය කිරීම, නිපදවීම
  2. අ‍ාරක්‍ඛසම්පදා – රක්ෂණය හෙවත් ඉතිරි කිරීම
  3. සමජීවීකතා – ආදායමට සරිලන සේ වියදම් කිරීම

1. උට්ඨානසම්පදා – නුවණින් උත්සහයෙන් ධනසම්පාදන කිරීම

ගිහි ශ්‍රාවකයන් ධනසම්පාදනයෙහි උනන්දු කැර වූ බුදුරජාණන් වහන්සේ එකලැ පැවැති ප්‍රධාන ධනෝපාර්ජන ක්‍රම හය ද පෙන්වා දුන්හ.

  1. කෘෂිකර්මය
  2. වෙ‍ෙළදාම
  3. ගවපාලනය
  4. කර්මාන්ත
  5. රාජ්‍යාරක්‍ෂක හා රාජ්‍යෝපස්ථාන සේවය
  6. රාජ්‍ය සේවය

 

භාරතය කෘෂිකාර්මික රටෙකි. එහෙයින් කෘෂිකර්‍මය ගැන කරුණු රාශියක් දේශනා කළහ. එයින් ප්‍රධාන දෙකරුණක් සඳහන් කෙරෙමි. ජලසම්පත හා ගවසම්පත යි. සදාපුඤ්ඤප්පවඩ්ඪන සූත්‍රයෙහි ජලසම්පාදනය හැමදා ම පින් වැඩෙන පින්කමක් හැටියට සඳහන් කළහ. සංයුක්ත නිකායෙහි ගොවි රටකට ගවසම්පත හා සමාන ධනයක් නැතැයි ද සුත්තනිපාතයෙහි කිරි, දීකිරි, මෝරු, වෙඬරු හා ගිතෙල් යන පස්ගෝරස නැමැති ඔ‍ෟෂධ සපයන ගවයා ජාතියේ පරම මිතුරා යැයි ගවසම්පත ද වර්‍ණනා කළහ. එහෙයින් පැරණියෝ මේ සම්පත් දෙක ඉහළට ම දියුණු කළහ.

ගිහිසුඛ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මුලට ම ප්‍රකාශ කෙළේ අත්‍ථිසුඛ – ධනය ඇතිකමින් හටගන්නා සුඛය යි. ධනයෙන් කයට මෙන් මනසට ද සුවය ලබා ගන්නට නම් ධාර්මික වැ ධනසම්පාදනය කළ යුතු බව දේශනා කළහ. එහෙයින් ධනය ලැබුණත් මිනිසා හෙවත් මිනිස්කම නරක්වන අර්ථක්‍රම බුද්ධධර්‍මය අනුමත කරන්නේ නැත. එහෙත් දැන් සමාජය පුරුදු වී සිටින්නේ මුදල් ලැබෙනවා නම් ඕනෑ ම අපරාධයක් හීනදීන කමක් කරන්නට ය. වර්‍තමාන අර්ථ ක්‍රමය ද එයට තදින් ම අනුබල දෙයි.

නුවණත් උත්සාහයත් ඇතොත් සුළු මුදලකින් ද කෝටිපතියකු විය හැකි යැයි චුල්ලසෙට්ඨි ජාතකයෙන් පැහිදිලි කළත් තෘෂ්ණාවට දාස වීම දුකක් හැටියට වදාළහ. තෘෂ්ණාදාස නොවී තමන්ගේත් අඹුදරුවන්ගේත් කටයුතු පහසුවෙන් කැරගෙන යා හැකි සේ ධනසම්පාදනයෙහි ප්‍රමාණවත් වෙනවා නම් තවත් වැදගත් කටයුතු සඳහා කාලය යෙදිය හැක්කාක් මෙන් ම, එසේ ධනෝපාර්ජනයෙහි යෙදීම නිසා තව බොහෝ දෙනෙකු අතර ධනය බෙදී යන බව ද කිව යුතු වේ. මෙසේ ධනය ජනතාව අතර සාධාරණ වැ බෙදී යෑමෙන් ජනතාව සුඛිත මුදිත වීමෙන් රටෙහි අපරාධ නැති වී ඉතා සාමකාමී සුහද සමාජයක් බිහිවන සැටි කූටදන්ත සූත්‍රයෙන් පැහැදිලි වේ. ජනගහනයෙන් සියයට පහක් පොහොසතුන් කොට අනූපහක් දුප්පතුන් කරන ධනෝපාර්ජන ක්‍රම බුද්ධධර්‍මය අනුමත කරන්නේ නැත. මේ රටේ තිබෙන්නේ ද එබඳු වැරදි අර්ථක්‍රමයෙකි.

පුරාණ කාලයෙහි මහාවිජිත නම් රජෙක් සිටියේ ය. හේ ධනවත් ය. භෝගවත් ය, මහත් රාජෛශ්වර්‍යයෙන් වාසය කෙරේ. එහෙත් ඔහුගේ රටෙහි බොහෝ දෙනාට රැකියා නො වී ය. ඔවුහු කන්න බෙ‍ාන්න ද නැති ව අතිශය දුකින් වාසය කෙරෙති. ජීවත් වීමට මගක් නෙ‍‍ාවූයෙන් හොරකම හා මංකොල්ල කෑමට ද ඇබ්බැහි වූහ. එයින් රටෙහි අපරාධ බහුල වී ය.

දිනක් රජතුමා හුදෙකලාවැ සිටිනුයේ මහා යාගයක් හෙවත් මහා පරිත්‍යාගයක් කරන්නට සිතී ය. එය පුරෝහිත බ්‍රාහ්මණයාට දැන්වී ය. “මහරජ, පරිත්‍යාගය ඉතා හොඳ වුවත් එයට කාලය නො වේ. ඔබතුමාගේ රට අපරාධයන්ගෙන් පිරී ඇත. එහෙයින් ඔබ පරිත්‍යාගය සඵල වන්නේ නැත. සොරුනට දඬුවම් කොට රට සෙමෙහි පවත්වා ගන්නට ඔබතුමා හිතනවා ඇත. එහෙත් එය සාර්ථක වන්නේ නැත. ඔබ රටෙහි රැකියා නැති වැ දුකසේ වාසය කරන අය සොයා ඔවුනතුරෙන් කෘෂිකර්‍මය හා ගවපාලනය කරන්නට කැමැති අයට එයට රජයෙන් උපකාර කළ යුතු ය. වෙළදාමට කැමැති අයටත් රාජ්‍ය සේවයට කැමැති අයටත් ආධාර දිය යුතු ය. එසේ රටේ දුප්පත්කම නැතිකොට ජනතාව දුඛිත මුදිත කළ යුතු ය. මහරජ, එසේ කිරීමෙන් රට ද සෙමෙහි පවත්වා ගත හැකිවන අතර රාජ්‍ය භාණ්ඩාගාරය ද පිරී යනවා ඇත”. රජතුමා එසේ ක‍ෙළ් ය.

ටික කලක් ගත විය. ජනතාවගේ ගොවිතැන වෙ‍ෙළදාම ආදිය සරුවීමෙන් ජනතාව සුඛිත මුදිත විය. ගේදොරවල අගුලු දැමීමක් අවශ්‍ය නොවන තරම් රට නිරපරාධී විය. කලින් බදුගෙව්වේ සියයට දහයක් නම් දැන් සියයට සියයක් ම බදු ගෙවන්නට ඇති වූයෙන් රජයේ භාණ්ඩාගාරය ද පිරී ඉතිරී ගියේ ය. බෞද්ධ අර්ථක්‍රමයට භාණ්ඩාගාරය පුරවන පිළිවෙළයි මේ. ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය හැමදා ම හිස් ය. එසේ වුවත් රටේ සංවර්‍ධනයට කියා වැය වැඩි අයවැය ලේඛනයක් රාජ්‍යසභාවට ඉදිරිපත් කොට සාකච්ඡා කරනවා. හරි වුණත් වැරදි වුණත් පැත්තට අත් උස්සන පිරිසක් ඉන්නා නිසා සම්මත කර ගන්නවා. ඊට පසු මුදල් ඇමතිතුමා ලෝකය පුරා නම්බුකාර හිඟමනක යෙදෙනවා. එතුමාගේ දක්‍ෂකමට ණයට හෝ කෝටි ප්‍රකෝටි ධනයක් එකතු කර ගෙන එනවා. මෙහේ ඉන්නා හපනුන් එයින් බාගයක් පමණ නාස්ති කරනවා. ඔය ණය ගෙවන්නේ කෙසේ ද? මෙය බෞද්ධ අර්ථක්‍රමයට සම්පූර්ණයෙන් පටහැනි ය.

බුදුරජාණන් වහන්සේ මෙයින් රජවරුනට ද දුන් උපදේශය නම් රට සෙමෙහි පවත්වා ගන්නට දුප්පත්කම නැති කොට ජනතාව සුඛිත මුදිත කිරීම අවශ්‍ය බවත් ආර්ථික දියුණුවෙන් පමණක් සෑහීමකට පත් නො වී ජනතාවගේ මනස ද දියුණු කළයුතු බවයි. එසේ කළොත් නාස්තිය, වංචා හා දූෂණ නැතිවනු ඇත. පුරාණ කාලයෙහි ද ධීවර කර්මාන්තය තුබුණා. එහෙත් බෞද්ධ රජවරුන් එය රජයේ අර්ථක්‍රමයට සම්බන්ධ කළේ නැත.

2. ආරක්ඛසම්පදා – රක්‍ෂණය හෙවත් ඉතිරි කිරීම.

ආරක්ඛසම්පදා යන වචනය විස්තර කැර තිබෙන්නේ ධාර්මික වැ සපයා ගත් ධනය සොර සතුරු උපද්‍රවාදියෙන් ආරක්‍ෂා කැර ගන්නා ආකාරයටයි. එහෙත් ධනය පිළිබඳ ඉතිරිය වෙනත් තැන්වල දේශනා කොට ඇති බැවින් එය ද මෙතැනට එකතු කැරැගත යුතු ය. ව්‍යාපාරයන් සඳහා ණය ගැනීම මෙකල මෙන් එකල ද තිබිණ. එකල සිටි සිටුවරු මෙකල මහජන බැංකු හා සමාන ය. ආනාථපිණ්ඩික සිටාණෝ ද එක් මහජන බැංකුවකැයි කිය යුතු ය. එතුමා පොලියට රජයටත් මහජනයාටත් ණය දුන් සැටි පොත් වල විස්තර වෙයි. එහෙත් ණය බරින් සිටීම බුද්ධධර්‍මය අනුමත නො කරයි.

බුදුරජාණන් වහන්සේ ගිහිසුඛවලින් අණනසුඛය හෙවත් ණය නැතිකමින් හටගන්නා සුවය ද එකක් ලෙස දේශනා කළහ. කෙනෙකු මුදල් ණයට ගෙන ව්‍ය‍ාපාරයක් අරඹා එය දියුණු කොට ණය ද ගෙවා අඹුදරු පෝෂණය සඳහා ඉතිරියක් කැරැ ගත්විට ඇතිවන සතුට හා මානසික සුවය හිසමත තුබුණු මහ බරක් ඉවත් කොට පසෙකැ තැබුවා වැනි යැයි සාමඤ්ඤඵල සූත්‍රයෙහි උපමාවක් දක්වා ඇත. හැම දෙන ම සපයන ධනයෙහි කොටසක් ඉතිරි කිරීමේ වටිනාකම මෙයින් පෙන්වා දී ඇත.

තව ද මහා ව්‍යාපාරිකයන් විසින් සපයන ආදායම හතරට බෙදා එකක් පරිභෝජනට සඳහා ද කොටස් දෙකක් ව්‍යාපාරයෙහි දියුණුව සඳහා ද යොදා සතර වැනි කොටස ආපදාවක දී ගැනීමට තැන්පත් කළ යුතු යැයි සිගාලෝවාද සූත්‍රයෙහි ද සඳහන් වේ. මහා ව්‍යාපාරිකයන් අදත් අනුගමනය කරන පිළිවෙළ මීට සමාන ය.

3. සමජීවිකතා – ආදායමට සරිලන සේ වියදම් කිරීම

නිපදවීම, රක්‍ෂණය හා වියදම් කිරිම යන බෙ‍ෟද්ධ අර්‍ථක්‍රමයෙහි මූලධර්‍ම තුනෙන් සමජීවිකතාව තුන්වැන්නයි. තමන්ගේ අයත් වැයත් දැන ගෙන වඩා අඩුත් වැඩිත් නො වී වියදම් කෙරෙමින් ජීවත් වීම සමජීවිකතා නම් වේ.

සම්පාදනය කරන ධනය වියදම් කළ යුතු ආකාරය පත්තකම්ම සූත්‍රයෙහි දී පැහැදිලි කර ඇත. වස්තුව සුදුසු පරිදි භුක්ති විඳීම භෝගසුඛය හැටියට ගිහිසුඛ සූත්‍රයෙන් ප්‍රකාශ කළහ.

  1. කෑම් බීම්, ඇදුම් පැළදුම් ආදී තමන් ගේ පරිභෝගය.
  2. දෙමාපියන් අඹුදරුවන් පෝෂණය කිරීම.
  3. ලෙඩ දුක් ආදී විපතෙහි කළ යුතු වියදම.
  4. දානාදි පුණ්‍ය කටයුතු සඳහා යෙදීම.
  5. යුතුකම් පහක් සම්පූර්ණ කිරීම.
  6. ඥාතීනට සංග්‍රහ කිරීම.
  7. ආගන්තුකයනට සංග්‍රහ කිරීම.
  8. මියගියවුන් සඳහා පින් කිරීම.
  9. දෙවියන් සඳහා පින් කිරීම.
  10. රජයට ගෙවිය යුතු බදු ගෙවීම.

 

ගිහියනට විචිත්‍ර ජීවිතය තහනම් කර නැත. එහෙත් බුද්ධධර්‍මය වර්‍ණනා කරන්නේ චාම් ජීවිතය යි. ජීවිතය චාම් වූ තරමට මනස දියුණු කිරීම පහසු වේ. මනස දියුණු තරමට මිනිස්කම දියුණු වේ. මිනිස්කම දියුණු වූ තරමට රාජ්‍ය පාලනය ද පහසු වේ. එහෙයින් භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා අරියවංශ සූත්‍රයෙහි දේශනා කළ කරුණු හතරක් පුරාණ රජවරු මහජනයා අතර ඉතා ඉතා තදින් ප්‍රචාරය කළහ.

  1. හීන හෝ ප්‍රණීත හෝ ලැබුණු සිවුරෙන් (ඇදුමෙන්) සතුටු වීම.
  2. හීන හෝ ප්‍රණීත ආහාරයෙන් සතුට වීම.
  3. හීන හෝ ප්‍රණීත සෙනසුනෙන් සතුටු වීම
  4. භාවනාවට කැමැත්ත.

 

මුල් කාරණා තුන මහාජනයා තුළට කාවද්දීමෙන් චාම් ජීවිතයට පුරුදු වීම නිසා ආර්ථික ගැටළු අඩුවෙයි. සතරවැනි ව කී භාවනාරාමතාව නිසා මහජනයාගේ හිත සංසුන් වීමෙන් සමාජය තුළ කලබල විප්ලව අඩු වේ. එයින් රටෙහි සාමය දියුණු වේ.

වර්තමාන ලෝකය කාර්මික හා විද්‍යාත්මක ආදී බාහිර අංශයෙන් ඉතා දියුණු ය. අභ්‍යන්තර දියුණුවෙහි එක කොටසක් වන බුද්ධිවර්‍ධනය ද වචනයෙන් නො කිව හැකි තරම් වේ. එහෙත් ගුණධර්‍මයන් දියුණු වෙනවා වෙනුවට ශීඝ්‍රයෙන් පිරිහෙන බව පෙනෙන්නට ඇත. එයට නොයෙක් හේතු ඇත. එයට ප්‍රධාන හෙ‍්තූන් හැටියට නවීන දේශපාලන වාද, අර්ථක්‍රම හා අධ්‍යාපනය යයි කිව යුතු ය. එහෙයින් දේශපාලන වාද අර්ථක්‍රම හා අධ්‍යාපනය ආදී සංවර්‍ධන මාර්ග ගුණධර්ම ද දියුණු වන පරිදි සකස් විය යුතු ය.

බුද්ධ ධර්‍මය විමුක්තිමාර්ගයක් මෙන් ම ජීවන මාර්ගයක් ද වේ. ජීවන මාර්ගයට සම්බන්ධ ආර්ථිකාදි විවිධ අංශ ඇත. ඒ ඒ අංශ පිළිබඳ බෙ‍ෟද්ධ දර්ශනය හෙවත් බුද්ධධර්‍මයෙන් ලැබෙන ආභාසය කුමක්දැයි වර්තමාන ලෝකයට දැන්විය යුතු කාලය දැන් පැමිණ ඇත. එහෙයින් රට හදන්නට නම් මිනිසා හැදිය යුතු ය යන බෞද්ධ සංකල්පය අනුව පොත් පෙළක් සම්පාදනය කරවන්නට අදහස් කෙළෙමි. එ‍‍‍් පොත් පෙළේ නම “මිනිසා නැවත හැදීම” යනුයි. එහි පළමු පොත බුද්ධධර්‍මය පසුබිම් කැරගෙන ගොඩනැංවිය හැකි අර්‍ථක්‍රමය යි. දැන් ඒ පොත ඉංග්‍රීසි බසින් ම මුද්‍රණය වී ඇත. මෙහි සඳහන් වනුයේ බෙ‍ෟද්ධ අර්ථක්‍රමයේ වැටිසනක් පමණ ය.

 

1978 වසරේ දී පළ කැරුණු This Confused Society නම් කෘතියට
මහ නා හිමිපාණන් ලියූ පෙරවදනේ සිංහල පරිවර්තනයයි.

ප්‍රඥාප්‍රභා 6

 

යතුරු ලිවීම: චමිත ලක්මාල් මහතා

අපේ රටටත් ශාසන මණ්ඩලයක් ...
ගස් වැවීම හැමදා පින් වැ‍ෙඩන පින්කමෙකි ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.