ලොව හෙල්ලූ තවත් අධිරාජ්‍යයෙක් සාමණේර හිමිනමක් ලග දණගසයි …

බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ සිද්ධස්ථාන සොයා ගෙන එම සිද්ධස්ථානවල අශෝක ස්ථම්භ පිහිටුවා බෞද්ධයන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසීමෙන් ධර්මාශෝක රජතුමා විසින් සිදු කරන ලද ශාසනික මෙහෙය සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම කරන ලද සදානුස්මරණීය සේවාවකි. ධර්මාශෝක රජතුමා ලක්දිව බෞද්ධ ජනතාවට විශේෂ ගෞරවයක් දැක්වූ අයකු බව ලක්දිවට එවන ලද ධර්මදූත කණ්ඩායමේ නායකත්වයට තම පුත් මිහිඳු මහ රහතන් වහන්සේම තෝරා ගැනීමෙන් පැහැදිලි වේ. එපමණක් නොව ලක්දිව බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනාවට පූජනීයත්වයට ලක්වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමටත් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමටත් තම දියණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමද සුවිශේෂි සිදුවීමකි.

බොහෝ ඈත අතීත කාලයක බරණැස් නුවර මී පැණි වෙළෙඳාමේ නියුක්ත වූ සහෝදරයෝ තිදෙනෙක් වූහ. වැඩිමල් සොහොයුරා ඈත ගම්වලට ගොස් මී පැණි එකතු කරයි.දෙවැන්නා එම මී පැණි ගෙනැවිත් දෙයි. බාල මලණුවන් එම මී පැණි විකිණීම කරයි. එකල ගන්ධ මාදන පර්වතයේ වාසය කරන එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් යම් කිසි ව්‍යාධියක් සඳහා මී පැණි ලබා ගැනීමට පිණ්ඩපාතයේ වැඩි සේක. එම පසේබුදුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩියේ ඉහත කී බාල මලණුවන් මී පැණි වෙළෙඳාම් කරන වීථීයේ මය. එකල එක්තරා කුල ගෙයක බැලමෙහෙවර කරන ස්ත්‍රියක් පැන්ගෙන ඒමට කළයක්ද ගෙන යන විට මේ පසේ බුදුන්වහන්සේ දැක අවුත් පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි කුමක් සඳහා වැඩි සේක්දැ” යි ඇසුවාය. ‘එම්බා නැඟණියනි, මී පැණි ටිකක් අවශ්‍යව ඇති බැවින් වැඩියෙමි’ යි පසේ බුදුන් වහන්සේ පිළිතුරු දුන් සේක.

“ස්වාමීනි අර පෙනෙන්නේ මී පැණි විකුණන තැනයි”යනුවෙන් එම ස්ත්‍රිය අත දිගුකොට පෙන්වූ විට පසේ බුදුරජාණන් වහන්සේ එහි වැඩි සේක. උන්වහන්සේට මී පැණි නොලැබුණොත් තමන් හැඳ සිටි ඇඳුම හෝ විකුණා මී පැණි ලබාදෙමි’යි සිතා එම ස්ත්‍රිය එහිම රැඳී සිටියාය.

මී පැණි වෙළෙඳසැල ඉදිරිපිටට පසේ බුදුන් වහන්සේ පැමිණි පසු උන්වහන්සේ ඉදිරියට පැමිණි වෙළෙන්දා පසඟ පිහිටුවා වැඳ පාත්‍රය අතට ගෙන මී පැණි කළයක් පාත්‍රයට වත් කළේය. පාත්‍රය පිරී ඉතිරී මීපැණි පිටතටද ගලා ගියේය. එය දැක වෙළෙන්දා මහත්සේ සතුටුව මී පැණි දුන් පිනෙන් දස දහසක් යොදුන් දඹදිව එක්සේසත් කොට දඹදිවට අගරජ වෙම්වා යි පැතීය.පසේ බුදුන් වහන්සේද වෙළෙන්දාගේ පැතීම ඒ ආකාරයෙන්ම සිද්ධ වන බව දැන ආශිර්වාද කොට ආපසු එනවිට ඉහතකී ස්ත්‍රිය හමුවිය.

මී පැණි ලැබී ඇති බව දැනගත් ස්ත්‍රිය වෙළෙන්දා කුමන ප්‍රාර්ථනාවක් කළේ දැයි ඇසුවාය. ඔහු දඹදිව අග රජකම පැතූ බව ප්‍රකාශ කළ විට “මඳක් වැඩ සිටිය මැනැවයැ” යි පවසා එම ස්ත්‍රිය වහ වහා නිවෙසට ගොස් තමා හැඳ සිටි වස්ත්‍රය සෝදා, වළල්ලක් කොට පාත්‍රය යටට තබා ගන්නැයි පසේ බුදුන් වහන්සේට පූජා කළාය. එසේ පූජා කොට මීපැණි වෙළෙන්දා අග රජවන විට එතුමාගේ අග මෙහෙසිය වෙම්වායි පැතුවාය. වෙළෙන්දා ගේ හා ස්ත්‍රියගේ පැතුම් ඒ ආකාරයෙන්ම සිද්ධවන බව දැන පසේබුදුන් වහන්සේ ස්ත්‍රිය බලා සිටියදීම අහසට නැඟී ගන්ධ මාදන පර්වතයට වැඩි සේක. එම මී පැණි පාත්‍රයෙන්ම පසේ බුදුන් වහන්සේගේ රෝගය සංසිඳිණි.

ඉන් පසු එක් දිනෙක වෙළෙඳ සහෝදරයෝ තිදෙනා එකතුව වෙළෙඳාමේ අය වැය පරීක්‍ෂාකර බැලූහ.එවිට එක් මී පැණි කළයක අඩුවක් දැන ඒ පිළිබඳ බාල සහෝදරයාගෙන් විමසීය. තමා පසේ බුදුන් වහන්සේ නමකට මී පැණි කළය පූජා කළ බවත්, පින් අවශ්‍ය නම් පින් අනුමෝදන් වන ලෙසත්, නැතහොත් මී පැණි කළය හෝ එහි මිල හෝ දෙමි’යි කීය.

“නුඹගෙන් ණය ගන්නේ කෙසේදැ’යි විමසූ වැඩුමල් සොහොයුරෝ දෙදෙනා එම මුදල් තිබිණි නම් අප තිදෙනාටම ප්‍රයෝජනවත් වන්නේ යැයි පැවසූහ.

“නුඹලා වරදක් නොසිතන්න. අප්‍රමාණ ගුණ ඇති සංවර වූ ඉන්ද්‍රියයන් ඇති, කාෂාය වස්ත්‍ර දරන පසේ බුදුන්වහන්සේ නමකටයි මී පැණි පූජා කළේ යැ’යි බාල සහෝදරයා කීය.

‘එම්බා මලණ්ඩ, මෙකල සැඩොල් කුලේ අයත් කාෂාය වස්ත්‍ර හැඳ ඇවිදියි. නුඹ දන් දුන්නේද එවැනි සැඬොලෙකුට වෙන්න ඕනෑ යැ’යි වැඩුමල් වෙළෙන්දා පැවසීය.

“තොප මී පැණි දන් දුන් අයගෙ ගුණ අපට කියන්නේ ඇයි? තොපගේ පසේ බුදුන් මූදින් එතෙර දමා පියව‘යි දෙවැනි වෙළෙන්දා කීය.

“මහානුභාව සම්පන්න ඒ පසේ බුදුන් වහන්සේට එසේ නොකියනු මැනැවි. සිල්වත් ගුණවත් අයට අපහාස කළ අය අපාගත විය හැකි යැ’ යි බාල සහෝදරයා කීය.

‘තොප ඔය හැටි කියන්නේ නම් අපිත් පින් අනුමෝදන් වෙමු යැයි’ සාධුකාරදී පින් අනුමෝදන් වූහ.

මෙසේ පින් සිදුකරගත් මේ අය පින්දහම් කරමින් දෙව් මිනිස් සැප විඳිමින් සසර සැරි සරා අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් කලකට පසු දඹදිව උපත ලැබූහ. මී පැණි දන්දී කරන ලද ප්‍රාර්ථනාව අනුව බාල වෙළෙන්දා දඹදිව බින්දුසාර රජුගේ පුත්‍රයා වශයෙන් උපත ලැබීය. මී පැණි වෙළෙඳ සැලට අත දිගු කොට පෙන්වූ ස්ත්‍රිය අසන්ධිමිත්‍රා නමින් ඒ ධර්මාශෝක රජතුමාගේ අගබිසොව බවට පත්වූවාය.

පසේ බුදුන් මූදින් එතෙර දමව’ යි කී දෙවැනි වෙළෙන්දා ඒ නිසාම දඹදිව නොඉපිද ලක්දිව දේවානම්පියතිස්ස නමින් උපත ලැබීය. පසේ බුදුන් චණ්ඩාලයකු වේදැ’යි කී වැඩුමල් සහෝදරයා සැඩොල් ගමක නුග ගසක් යට ඉපදී නිග්‍රෝධ නමින් පැවිදිවී රහත් බව ලැබීය. (ඔහු රජතුමාගේ සුමන නම් සහෝදරයකුගේ පුත්‍රයා වන අතර සැමියා යුද්ධයෙන් පැරැදී මැරී වැටුණු බව අසා දේවිය භයින් තැතිගෙන දුවද්දී මේ නුග ගස යටදී දරු උපත සිදුවූ බව සදහන් වේ) මාලිගාව ඉදිරියෙන් ගමන්ගත් සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ මාලිගාවට වැඩමවා දහම් ඇසීමෙන් බුදුදහම කෙරෙහි පැහැදුණු ධර්මාශෝක රජතුමා එතැන් සිට බුදුසසුනට අපරිමිත සේවයක් සිදු කළේය. ‘සහස්සවත්ථු’ හා ‘සීහලවත්ථු’ කථාවල දැක්වෙන ආකාරයට ඔහු ලක්දිව උපත ලබා පැවිදිව ‘ඛුජ්ජතිස්ස’ රහතන් වහන්සේ යැයි ප්‍රසිද්ධව පිරිනිවන් පෑ බව සඳහන් වේ.

දිග් විජය ප්‍රතිපත්තිය හරහා රාජ්‍යත්වය හිමිකර ගත් අශෝක අධිරාජ්‍යයා ධර්ම විජය ප්‍රතිපත්ති ඔස්‌සේ රාජ්‍ය විචාලේය. උපතින්ම බෞධයෙකු නොවූ අශෝක බුදු දහම වැළඳගැනීමෙන් පසුව ධර්මාශෝක බවට පත් වූහ. යුද්ධ කොට රාජ්‍යයන් අල්ලා ගැනීමේ ක්‍රියා පිළිවෙත නිසා චණ්‌ඩාශෝක යනුවෙන් හැඳින් වූ අශෝක අපේ අසල්වැසි ඉන්දීය රාජ්‍යය බොහෝ කාලයක්‌ පාලනය කළ නරපතියෙකි. ශ්‍රී ලාංකිකයන්ගේ දෙවන උපත බඳු මහින්දාගමනයත් සමග අපට දායාදවන බුදු දහම මෙරටට හඳුන්වා දීමට අඩිතාලම දැමූ ධර්මාශෝක රජු අතීතයේ වර්තමානයේ මෙන්ම අනාගතයේදීත් මෙරට ජනයාගේ ගෞරවයට පාත්‍ර වෙති.

අශෝක මෞර්යය වංශිකයෙකි. සටන්කාමී ලක්‌ෂණවලින් හෙබි මෞර්යය වංශිකයන්ගෙන් පැවත එන පෙළපතක ප්‍රතාපවත් අධිරාජ්‍යයෙකු වූ බිංදුසාර රජු අශෝකගේ පියාය. බිංදුසාරගේ පියා චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයාය. සිය පියාගේ අඩිපාරේ ගිය බිංදුසාර තම අධිරාජ්‍ය විශාල කර ගැනීමට නිරන්තර උත්සාහයක යෙදුනේය. විදේශ රටවල් කිහිපයක්‌ සමගම තානාපති සබඳතා පවත්වාගෙන ගිය බිංදුසාර රාජ්‍යත්වයේ කාර්ය ශුරයෙකි. මොහුට බිසෝවරු දහසය දෙනෙකු සිටි බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වේ. එසේම දරුවන් එකසිය එක්‌ දෙනකු සිටි බවද සඳහන්ය. ඉන් අශෝක හා තිස්‌ස නම් දරුවන් දෙදෙනෙකි. ඔවුන් ධර්මා නමින් බිසවට උපන් පුත් කුමරුවන්ය.

මෙම දරුවන් එකසිය එක්‌ දෙනාගෙන් වඩාත් කැපී පෙනෙන පුත්‍රයා ලෙස බිංදුසාර රජු, හඳුනාගත්තේ අශෝකය. ඒ නිසාම තමත් රාජ්‍යත්වයේ සිටින අතරම උදේනි ප්‍රදේශය පාලනය කිරීම අශෝකට භාර විය. විසි අට වසරක්‌ රාජ්‍ය විචාලූ බිංදුසාර රජුගේ අවසන් කාලයේදී අශෝක සිය පියා විසූ පාඨලීපුත්‍ර නගරයට පැමිණියේය. ඒ වනවිට පාඨලීපුත්‍ර නගරය ඉන්දියාවේ ප්‍රධාන කේන්ද්‍රස්‌ථානයක්‌ව පැවතුණි. පියාගෙන් පසු පාඨලීපුත්‍ර නගරය ඇතුළු සම්පූර්ණ රාජ්‍යත්වය බලාපොරොත්තු වූ අශෝකට අන් සොයුරන් අනූනවදෙනා විරුද්ධ වූහ. සහෝදරයන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ අශෝක දීර්ඝ යුද්ධයකින් අනතුරුව සිය සොහොයුරන් අනූනවදෙනා විනාශ කර දැම්මේය. මෙසේ තම සහෝදරයන් හා දරුණු යුද්ධයක පැටලීම හේතුවෙන් අශෝක චණ්‌ඩාශෝක යනුවෙන් හඳුන්වන්නට විය.

අශෝක තම සොහොයුරන් සමග වසර හතරක පමණ කාලයක්‌ යුද්ධ කළේය. දිග් විජය ප්‍රතිපත්තිය හෙවත් යුද්ධයෙන් ජය ගැනීමේ පරමාර්ථයෙන් ක්‍රියාකළ අශෝක සිය සොහොයුරන් ඇතුළු අතිවිශාල පිරිසක්‌ මරා දැමුවේය. වසර හතරක දැවැන්ත යුද්ධයකින් පසු දිග් විජය ප්‍රතිපත්තියෙන් ජය ලැබූ අශෝක රාජ්‍යත්වය හිමිකර ගත්තේය. මෞර්යය පරපුරේ අතීත පාලකයන් වූ චන්ද්‍රගුප්ත, බිංදුසාර ආදීන් අපේක්‌ෂා කළ මෞර්යය ප්‍රතිපත්තිය ගොඩනැගීමේ අපේක්‌ෂාව දිග් විජය ප්‍රතිපත්තිය තුළින් ගොඩනැඟීමට අශෝක කටයුතු කළේය. යුද්ධකොට ජයගැනීම සාර්ථකම ක්‍රමය ලෙස කල්පනා කළ චණ්‌ඩාශෝක අවට වූ අනෙකුත් රාජ්‍යයන් ද දිග් විජය ප්‍රතිපත්තිය යොදවා යටත් කර ගැනීමට මාන බැලුවේය.

රාජ්‍යයත්වයෙන් අටවන වර්ෂය වන විට කාලිංග දේශය හැර ඉන්දියාවේ අනෙකුත් ස්‌වාධීනව පැවති රාජ්‍ය සියල්ලම වාගේ යටත් කර ගැනීමට සමත් වූ චණ්‌ඩාශෝක අවසානයේ කාලිංග දේශය යටත් කර ගැනීමේ මහා සටනට අවතීර්ණ විය. අන් සෑම සටනකටම වඩා දරුණු වූ මෙම සටන ඉතා බිහිසුණු එකක්‌ වූහ. මෙම බිහිසුණ සටනේදී ලක්‌ෂයකට ආසන්න මිනිසුන් පිරිසක්‌ මියගොස්‌ ඇති අතර එක්‌ලක්‍ෂ පනස්‌දහසක පමණ පිරිසක්‌ තුවාල ලබා තිබේ. තවත් ලක්‍ෂයක පමණ පිරිසක්‌ සිරකරුවන් බවට පත්වී ඇත. සටන නිසා ජීවිත අහිමි වූ යුද සෙබළන්ගේ බිරින්දැවරු දහස්‌ ගණනින් අනාථ වූහ. ඔවුන්ගේ දරු දැරියන් දහස්‌ ගණනක්‌ අනාථ වූ අතර තවත් විශාල පිරිසක්‌ ආබාධිතයෝ බවට පත් වූහ.

කාලිංග යුද්ධය අවසන් වීමත් සමග මුළු කාලිංග දේශයම එකම ලේ විලක්‌ බවට පත් විය. චණ්‌ඩාශෝක යුද්ධයෙන් ජයගත් නමුත් සිදු වූ විශාල ජීවිත හා දේපළ සංහාරය පිළිබඳ ඔහු කනස්‌සල්ලට පත් විය. රාජ්‍යයක්‌ නිසාවෙන් මෙතරම් පිරිසක්‌ ඝාතනය කරන්නට සිදුවීම පිළිබඳ අශෝක මහත් සේ සිත්තැවුලටත් කලකිරීමටත් පත් විය. ඔහු කාලිංග යුද්ධය ගැන සිතමින් පසුතැවිලි වන්නට වූහ. කෙසේ වුවද පසුව චණ්‌ඩාශෝක රජු නිවැරදි මාර්ගය වෙත යොමු කරවීමට බුදු දහම ඉවහල් වන අතර අශෝක බෞද්ධයෙකු බවට පත් වීමත් සමග චණ්‌ඩාශෝක ධර්මාශෝක බවට පත් වේ.

යුද්ධායන් හෙම්බත්ව මිනිසුන්ගේ අදෝනා මැද රාජ්‍යය විචාරණ ධර්මාශෝක රජුගේ ජීවිතය වෙනස් කරන්නේ පුංචි සාමණේරයන් වහන්සේ නමකි. සත් අවුරුදු උවද රහතන් වහන්සේ නමක් වූ උන්වහන්සේ රජුගේ අරයුමින් මාලිගාවට වැඩම කොට සිංහාසනාරූඪ වූයේ අධිරාජ්‍යයකු පවා අති පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මයට යටත්ය යන ඉගියද ලබා දෙමිනි. “ අප්පමාදෝ අමතපදං” යන ගාථාවෙන් ධර්මය ඇසූ ධර්මාශෝක අධිරාජයා එතැන් පටන් සිය ජීවිතය ලෝක වාසී, සක්වල වාසී සියලු සතුන් කෙරේ කැප කලේය.

( අශෝක කාලිංග සටන නිමවී එන අතරතුර හමු වූ “උපගුජත” නම් හිමිනමගෙන් ධර්මය අසා පැහැදී බෞද්ධයෙකු වූ බව තවත් මතයකි. “මොග්ගලීපුත්තතිස්‌ස” හිමියන් සමග කරන ලද සාකච්ඡාවකින් පසුව බුදු දහම පිළිබඳ ප්‍රසාදයට පත්ව බෞද්ධයකු බවට පත් වූ බව තවත් මතයකි. බුදු පිළිමයක්‌ දැක රජු ඒ කෙරේ පැහැදි බුදු දහම වැළඳගත් බව ඉන්දියාවේ ජනප්‍රවාදයකින් ප්‍රකාශ වේ. )

මේ තොරතුරු අනුව අශෝක අන්‍යාගමිකයෙකුව සිට පසුව බුදු දහම වැළඳගෙන බෞද්ධයෙකු බවට පත්ව ඇති බවත් ඒ තුළින් ලද ධර්මඥනය තුළින් දිග් විජය ප්‍රතිපත්තිය අතහැර දමා “ධර්මවිජය” ප්‍රතිපත්තියට අවතීර්ණ වී ඇති බවත් ඉතිහාසය හෙළි කරයි.

බෞද්ධාගමිකයෙකු බවට පත් වූ ධර්මානුකූල ප්‍රතිපදාව තුළ රාජ්‍ය විචාලීම ආරම්භ කළේය. තම අධිරාජ්‍ය තුළ පිහිටා ජීවත්වන පුද්ගලයන් සදාචාරාත්මක ගුණගරුක පිරිසක්‌ බවට පත් කිරීමට අවශ්‍ය පිළිවෙත් මාලාවක්‌ සකස්‌ කළ ධර්මාශෝක රජු එම පිළිවෙත් මාලාව රාජ්‍ය පුරා ප්‍රචලිත කළේය. රජු විසින් රට වැසියන්ට ලබාදෙන උපදෙස්‌ මාලාවක්‌ ලෙස එම පිළිවෙත් ටැම් ලිපි, සෙල් ලිපි, ගිරි ලිපි, පුවරු ලිපි වශයෙන් රට පුරා ස්‌ථාපිත කළේය. එම කරුණු සියල්ලක්‌ම බුදු දහම මත පදනම් වූ ධාර්මික පිළිවෙත් වූහ. ගැඹුරු දාර්ශනික සංකල්පවලින් තොර වූ එම පිළිවෙත් සරල සුගම භාෂාවකින් ඉදිරිපත් කළේ සෑම අයෙකුටම අවබෝධ කර ගැනීමේ පහසුව සඳහාය.

උගත් නූගත් කාහටත් තේරුම් ගත හැකි එම උපදේශයන් සෑම ආගමකම ඕනෑම අයෙකුට පිළිපැදීමට හැකි ඒවා ලෙස ඉදිරිපත් කිරීමට ධර්මාශෝක රජු වග බලා ගත්තේය. එම උපදේශකත්වයෙන් භාරත දේශයට පමණක්‌ නොව කවර දේශයක ජනතාවකට වුවද එකසේ සාධාරණ ලක්‌ෂණයන් ගෙන් යුක්‌තව ඉදිරිපත් වූහ. මෙම උපදේශනයට “අශෝක ධර්මය” යෑයිද කියනු ලබන අතර ඉන් කිහිපයක්‌ පහත දැක්‌වේ.

ගුරු දෙගුරුන්ට සංග්‍රහ සත්කාර කිරීම යහපත්ය.

සතුන්ට කරුණාව දැක්‌වීම යහපත්ය.

ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී ආගමික පූජකවරුන්ට දන් දීම යහපත්ය.

ඊර්ෂ්‍යාව අයහපත්ය.

අලසකමින් වැළකීම යහපත්ය.

කෲර නොවීම යහපත්ය.

ධර්මාශෝක රජු විසින් ස්‌ථාපිත කර ඇති තවත් ගිරි ලිපියක අශෝක රාජ්‍ය තුළ තහනම් කරන ලද ක්‍රියාවන් තුනක්‌ දැක්‌වේ. ඒවා මෙසේය.

තම රාජ්‍ය තුළ සතුන් මරා යාග කිරීම තහනම් කළේය.

අදහැමි ප්‍රියසම්භාෂණ උත්සව තහනම් කළේය.

රජ ගෙදර ආහාර පිණිස සතුන් මැරීම තහනම් කළේය.

මේ ආදී වශයෙන් සෙල්ලිපි සහිත පුවරු රට පුරා ස්‌ථාපිත කළ අශෝක රජු බෞද්ධ දේශපාලන දර්ශනයට අනුව රාජ්‍ය පාලනය ගෙන ගියේය. පංචශීල ප්‍රතිපදාව ඒ අතර ප්‍රධාන වූහ. ඊට අමතරව දසරාජ ධර්මය, දස සක්‌විති වත්, සප්ත අපරිහානිය ධර්ම වැනි බෞද්ධ දේශපාලන දර්ශනයෙහි අඩංගු ධර්ම කරුණු රැසක්‌ ධර්මාශෝක රජු සිය පාලනය හා මුසු කළේය.

මහජන මතයට කන්දෙන පාලකයෙකු වූ අශෝක රජු හමුවීමට රට වැසියන්ට අවස්‌ථාව ලැබිණි. ඒ වගේම රජු හා සාකච්ඡා කිරීමට පවා රට වැසියන්ට අවස්‌ථාව සලසා දුනි. මිනිසුන් වෙනුවෙන් රට පුරා ආරෝග්‍යශාලා පිහිටවූ අශෝක රජු සතුන් වෙනුවෙන් ද ආරෝග්‍යශාලා ස්‌ථාපිත කළේය. මිනිසුන්ගෙත් සතුන්ගෙත් ආහාර පිණිස මාර්ග දෙපස පලතුරු ගස්‌ රෝපණය කළේය. මංසන්ධිවල ළිං පොකුණු ඉදිකළ අතර ඒ අසලම ගිමන්හල් ද තැනවීය. අශෝක රජුගේ එක්‌ සෙල්ලිපියක මෙසේ සඳහන් වේ.

“සියලු රට වැසියෝ මගේ දරුවන් ය”

යනුවෙන් සඳහන්වන එම වැකියෙන් රජුගේ මානවහිතවාදී භාවයත් මහජනයා කෙරේ ඇති කරුණාවත් මනාව ප්‍රකාශ වේ. මේ නිසාම ලෝක ඉතිහාසයේ බෞද්ධ දේශපාලන දර්ශනය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ ශේෂ්ඨතම පාලකයා ලෙස ධර්මාශෝක රජු සැලකිය හැකිය.

මිනිසුන් ලක්‍ෂ ගණනකගේ ජීවිත විනාශ කළ දරුණු යුද්ධයක හිමිකරුවකු වූ චණ්‌ඩාශෝක බුදු දහම නිසා ගුණගරුක බෞද්ධ පාලකයකු ලෙස ධර්මාශෝක බවට පත් විය. ඉන්දියානු රාජ්‍ය තුළ අද්‍යතනයේත් ඉමහත් ගෞරවයට පාත්‍රව ඉතිහාසය තුළ වැජඹෙන ධර්ශෝක රජු භාරත දේශයට පමණක්‌ නොව ශ්‍රී ලංකාව ඇතුළු සමස්‌ත ලෝකයටම ආදර්ශ රාශියක්‌ ලබා දුන් ශේෂ්ඨ පාලකයෙකි.

බෞද්ධ භික්‌ෂුවක්‌ හමුවේ පැරැදුණු මහා ඇලෙන්සැන්ඩර් අධිරාජ්‍යයා ...
අන්තවාදීන් අතින් විනාශ වීගිය නාලන්දා නිධානය ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.