ලොව ශ්‍රේෂ්ඨතම කායික වෛද්‍යවරයා ... - IFBC Organization | Dhamma

ක්‍රිස්තු පූර්ව සවන සියවස තරම් දුරාතීතයේදී බුදුන් වහන්සේ දේශනා කළ කරුණු තුළ නූතන වෛද්‍ය ශාස්ත්‍රය පවා ඉක්මවාගිය පෘථුල දැනුම් සම්භාරයක් අන්තර්ගත ව ඇති අයුරු අද අපි විමසා බලමු. මිනිසාට වැලඳෙන කායික රෝග පිළිබඳ ව බුදුන් වහන්සේගේ මෙම වර්ගීකරණය සඳහන් ව ඇත්තේ අංගුත්තර නිකායේ ගිරිමානන්ද සූත්‍රයෙහි ය.
‘ඉති ඉමස්මිං කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති, සෙය්‍යථිදං, චක්ඛු රෝගෝ, සෝත රෝගෝ, ඝාන රෝගෝ, ජිව්හා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කණ්හ රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්ඡි රෝගෝ, මුච්ඡා, පක්ඛන්ධිකා, සූලා, විසූචිකා, කුට්ඨං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්ඡු, රඛසා, විතච්ඡිකා, ලෝහිත පිත්තං, මධුමේහෝ, අංසා, පිළකා, භගන්දලා, පිත්ත සමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුට්ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතු පරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා, සීතං, උණ්හං, ජිගච්ඡා, පිපාසා, උච්චාරෝ, පස්සාවෝති.’
පඤ්චස්කන්ධයේ ඇති විය හැකි මෙම රෝගාබාධ 48කින් යුතු ලැයිස්තුව කා හටත් වැටහෙන ලෙස කෙටියෙන් පැහැදිලි කිරීම වැදගත් යැ යි සිතේ. ඉහත සඳහන් රෝග පිළිවෙළින් දක්වන්නේ නම් මෙබඳු ය:


01. ඇස් රෝග, 02. කන් රෝග, 03. නාසයේ රෝග, 04. දිව හා සම්බන්ධ ආබාධ, 05. ශාරීරික රෝග, 06. හිසේ අමාරු, 07. කම්මුල්ගාය, 08. මුඛයේ රෝග, 09. දත් රෝග, 10. කැස්ස, 11. ඇදුම, 12. පීනස, 13. බඩ දැවිල්ල, 14. උණ, 15. උදරාබාධ, 16. සිහිමූර්ඡාව, 17. ලේ බඩ යෑම, 18. ඉදිමුම, 19. බඩරිදුම, 20. ලාදුරු, 21. ගඩු, 22. සුදු කබර, 23. ක්ෂය රෝගය, 24. අපස්මාරය, 25. වටපණු රෝග, 26. කැසිල්ල, 27. විදාරණය හෙවත් පිට දැමීම (උෂ්ණ ලෙඩකි), 28. පයේ මහපට ඇඟිල්ලේ නියපොත්ත මස කාගෙන වැඩීම නිසා ඇති වන අධික වේදනාව, 29. සැරව බිබිළි, 30. රක්ත පිත්ත රෝගය, 31. දියවැඩියාව, 32. අර්ශස්, 33. පිළිකා, 34. භගන්දලා (සුව කිරීමට අපහසු රෝගයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ), 35. පිත්තාශය සම්බන්ධ ආබාධ, 36. සෙම නිසා හටගන්නා රෝග, 37. වාතය නිසා හටගන්නා රෝග, 38. වා, පිත්, සෙම් යන තුªන් දොස් කිපීම, 39. විවිධ ඍතු ගුණ නිසා ඇති වන ආබාධ, 40. ආසාත්මිකතා / චර්යාත්මක විෂමතා නිසා ඇති වන රෝග, 41. හදිසි අනතුරු / වධ බන්ධන ආදියෙන් ඇති වන රෝගාබාධ, 42. කර්ම විපාක හේතුවෙන් ඇති වන රෝග, 43. සීතල, 44. තද උණුසුම, 45. බඩගින්න, 46. පිපාසය, 47. මල පහ කිරීම සාමාන්‍ය ලෙස සිදු නොවීම, 48. මූත්‍ර පහ කිරීම සම්බන්ධ අපහසුතා.
මෙම ලේඛනයේ සඳහන් රෝග වර්ගීකරණය ඉතා පුළුල් වූවකි. මෙහි සඳහන් බොහෝ රෝග පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නොවූවත්, ඍතු ගුණය, විෂම පරිහාරය, උපක්‍රමය යන මේවා පිළිබඳ බොහෝ දෙනකුට නිිසි අවබෝධයක් නැත.

ඍතු වෙනස් වීම නිසා ලෙඩ රෝග වැලදෙන බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. වැසි සමය එළඹෙත් ම විවිධ උණ රෝග හා සෙම ආශ්‍රිත රෝග බහුල වන බව අපි අත්දැකීමෙන් දනිමු.
දෙවැන්න විසම පරිහාරයෙන් හටගන්නා රෝග ය. විවිධ ආසාත්මිකතා හේතුවෙන් මෙන් ම අපේ පැවැත්මේ අඩු-පාඩු හේතුවෙන් නොඑසේ නම් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන්, දුම්පානයෙන් වැලඳෙන රෝග, පෙණහලු පිළිකා, සිරෝසිස් වැනි රෝග මෙයට උදාහරණ වේ. එමෙන් ම අනවශ්‍ය ලෙස දිව පිනවීමට යෑමෙන් වැලඳෙන ලෙඩ රෝග රැසක් ද වර්තමානයේ දැකගන්නට තිබේ. තෙල් මිරිස් රසයට අනවශ්‍ය ලෙස ගිජු වීමෙන් වැලඳෙන කොලෙස්ටරෝල් හා ගැස්ට්‍රයිටීස් වැනි රෝග අයත් වන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් මේ විසම පරිහාරයෙන් වැලෙඳන රෝග ගණයට ය.
තුන්වැන්න ඕපක්කමිකා ආබාධා නැති නම් උපක්‍රමයෙන් වන රෝග ය. පරමාණු, රසායනික හා න්‍යෂ්ටික අවි-ආයුධ ආදිය නිසා මිනිසාට වැලඳෙන රෝග-ආබාධ මේ ගණයට අයත් වේ.
විශේෂයෙන් දියුණු යැ යි සම්මත බටහිර රටවල මහා පරිමාණ ඖෂධ සමාගම්වල වෙළෙඳ උපක්‍රම නිසා නොදියුණු දිළිඳු රටවල ජනතාව බරපතළ ලෙස පීඩා විඳින බව නොරහසකි. නොයෙකුත් රෝග කාරක විෂබීජ ශරීරගත වන්නට සලස්වා තම ඖෂධ අලෙවිය වැඩි කරගැනීමට උත්සාහ ගන්නා ඖෂධ සමාගම් පිළිබඳවත්, ප්‍රමිතියකින් තොර බාල ඖෂධ බෙදාහරින සමාගම් පිළිබඳවත් ලොවට අනාවරණය වූයේ අද-ඊයේ නො වේ. මෙබඳු උපක්‍රමශීලි වෙළෙඳපොළ අරමුණු හේතුවෙන් මිනිසාට ලෙඩ රෝග වැලෙඳන බව බුදුන් වහන්සේ අදින් වසර 2600කට පෙර දේශනා කර තිබීම පුදුම සහගත නො වේ ද?
දහම පිළිබඳ පුළුල් අවබෝධයක් නැති බොහෝ දෙන තමන්ට වැලඳෙන ලෙඩ රෝග සියල්ල කර්මය විපාක දීමෙන් (කම්ම විපාකජා ආබාධා) සිදු වන බව විශ්වාස කරති. එහෙත් සියල්ල සිදු වන්නේ කර්මයෙන් ය යන ජෛන මතය ප්‍රතික්ෂේප කරන බුදුන් වහන්සේ මිනිසාට ලෙඩ-රෝග වැලඳෙන හේතු අට අතරින් කර්මය පෙන්වා දී ඇත්තේ අවසාන හේතුව වශයෙනි.
සබ්බාසව සුත්‍රයේදී ප්‍රත්‍ය පරිභෝජනයේ මූලික අරමුණු පැහැදිලි කරන බුදුන් වහන්සේ ඇඳුම්, ආහාර-පාන නිවාස හා බේත්-හේත් මිනිසාගේ මූලික අවශ්‍යතා බව පෙන්වා දෙයි. සබ්බාසව සූත්‍රයට අනුව ආහාර-පාන ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ ශරීරයේ පැවැත්ම, ජීවිතේන්ද්‍රියේ යැපීම, බඩගින්න දුරලීම පැරණි වේදනා නැති කිරීම හා අලුතින් වේදනා නූපදීම, නිවැරදි බව, පහසු විහරණය, උතුම් ජීවිතයක් ගත කිරීමට අනුග්‍රහය යන කරුණු ඉටු වීම සඳහා ය.
නීරෝගි, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් තමන්ගේ කෑමෙහි ප්‍රමාණය, සීමාව තමන් දැනගත යුතු බවයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම (භෝජන්‍යෙය මත්තං සුතා).
නූතන පෝෂණවේදීන්ගේ මතය ද කුස පුරා ආහාර ගැනීම කිසි සේත් නොකළ යුතු බව යි. කුසෙන් අඩක් ආහාර ද, අනෙක් අඩෙන් අඩකට චතුර ද ගෙන සෙසු අඩ කෑම දිරවීම සඳහා අවශ්‍ය වාත සංසරණයට හිස් ව තබාගැනීම ලෙඩ දුක් දුරු ව නීරෝගි වීමේ මඟ බව බුද්ධ භාෂිතය යි. අධික ලෙස ආහාර ගැනීම නිසා බොහෝ ස්ථූල පෙනුම ගෙන දෙන බවත්, වයසට අනුව උස හා බර පැවතිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත මඟිනුත් පෝෂණවේදීන්, හෘදය හා කායික රෝග විශේෂඥයන් විසිනුත් තහවුරු කරගෙන තිබේ.
මේ හා බැඳුණු සරල බුදුවදන නම් මෙබඳු අයගේ ශරීරය ගවයකුගේ මෙන් මසෙන් වැඩුණ ද නුවණ වැඩීමක් නොවන බව යි. එමෙන් ම ‘ස්ථූලං රෝග ආකරං’ යනුවෙන් පුද්ගලයකුගේ අධික මහත ඔහුට ම රෝග ආකරයක් වන බව ද බුදු හිමියෝ පවසති. බුදු වදනෙහි මෙන් ම ආයුර්වේදයේ ද නූතන වෛද්‍ය විද්‍යාවේ ද අදහස නම් කෙට්ටු ශරීරයක් සහිත පුද්ගලයා නීරෝගි බවත්, වැඩි ආයුෂ ප්‍රමාණයක් විඳින බවත් ය. ශරීරය බර වැඩි මහත් පුද්ගලයා පහසුවෙන් රෝගවලට ගොදුරු වන බවත්, ආයු කාලය ද අඩු බවත් ඒවායේ දැක්වේ.
කෑම-බීම සම්බන්ධයෙන් පමණ ඉක්මවා යෙදෙන්නකුගේ චර්යාව කෙබඳු වේ ද? එහි ප්‍රතිඵල කවරේ ද? මෙම ප්‍රශ්නය වරක් බුදු හිමියන් ඉදිරියට පැමිණියේ ය. කොසොල් රජු පමණ ඉක්මවා අනුභව කොට අවුත් බුදුන් වහන්සේ ඉදිරියේ ඉතා අපහසුවෙන් හැසිරෙන හැටි දුටු බුදුන් වහන්සේ මෙම ගාථාවෙන් රජුට අනුශාසනා කළ බව සංයුක්ත නිකායේ දැක්වේ:
‘මනුජස්ස සදා සතිමතෝ
මත්තං ජානාති ලද්ධභෝජනේ
තනු තස්ස භවන්ති වේදනා
සනිකං ජීරති ආයුපාලයන්ති
(හැම කල්හි සිහි ඇති ව, පමණ දැන ආහාර ගන්නාගේ වේදනා තුනී වෙයි. වැළඳූ ආහාර සෙමෙන් දිරයි. ආයුෂ ද රැකෙයි).
ආයුවඩ්ඪන සූත්‍රයේදී ආහාරයේ තුලිත බව හා යෝග්‍ය බව ගැන විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බුදුන් වහන්සේ ආහාරය රෝග නිවාරණ සාධකයක් ලෙසින් ද පෙන්වා දී ඇත. තව ද ලුණුකැඳෙහි ගුණ දක්වා ඇති බුදුන් වහන්සේ එය පවස සංසිඳුවා, ගිනි නසන බවත් වාතය සමහන් කරන බවත්, බඩ බුරුල් කොට ආමදෝෂ නසන බවත්, ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච සම්පත් ළඟා කරන බවත් පෙන්වා දෙති.
ආහාරය සම්බන්ධයෙන් විනය පිටකයේදී බුදුන් වහන්සේ විසින් දේශිත බොහෝ කරුණු ශීලයට මෙන් ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ද එක සේ වැදගත් ය. ‘ජිගච්ඡා පරමා රෝගා’ යනුවෙන් කුසගින්න යනු බලවත් ම ස්වාභාවික රෝගයක් ලෙස පෙන්වා දී ඇත. එමෙන් ම ‘සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා’ යනුවෙන් ජීවිතය පවත්වා ගැනීමට ආහාරයේ ඇති අවශ්‍යතාව අවධාරණය කර ඇත.
තමන්ට නොගැළපෙන හෝ අහිතකර ආහාර ගැනීම, හිතකර ආහාර වුවත් පමණ ඉක්මවා ගැනීම, අනුභව කළ ආහාර දිරවීමට පෙර නැවත ආහාර ගැනීම යන කරුණු මිනිසා ලෙඩ කරවන බව බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ ගිලාන වග්ගයේදී පෙන්වා දී ඇත.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව මෙම කරුණු තුන ම දියවැඩියාව වැලඳීමේ හේතු ය.
බුදුන් වහන්සේගේ දේශනා බොහෝ සෙයින් ම භික්ෂූන් වහන්සේගේ දෛනික ජීවන රටාව ඉලක්ක කරගනිමින් දේශිත වුව ද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා එම උපදෙස් ගිහි-පැවිදි භේදයකින් තොර ව අනුගමනය කළ හැකි බවට විවාදයක් නැත. භික්ෂූන් වහන්සේලා හට විකාල භෝජනය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ පැනවූ ශික්ෂා පදය ආරක්ෂා කිරීම ගිහියකුගේ වුව සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත වීමට හේතු වන බව නොකිව මනා ය. එමෙන් ම නිර්මාංස ආහාරයෙන් යැපීම ගිහි-පැවිදි භේදයකින් තොර ව සෞඛ්‍ය ප්‍රශ්න අවම කරන්නා වුත්, සෞඛ්‍ය තත්ත්වය සුරකින්නා වුත් සාධකයක් බව නූතන වෛද්‍ය විද්‍යාව පවා පිළිගනී.
භික්ෂූන් වහන්සේගේ සෞඛ්‍ය සම්පන්න බව රැකදීම සඳහා බුදුන් වහන්සේ දුන් අවවාද රැසක් ත්‍රිපිටකයේ අන්තර්ගත ය. රස බොජුන් වළඳා ශරීරයට නිසි ව්‍යායාමයක් නොමැති ව වාසය කිරීමෙන් භික්ෂු සංඝයා වහන්සේගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය පිරිහී, රෝගාබාධවලට පහසුවෙන් ගොදුරු වන බව බුදුන් වහන්සේගේ වෛද්‍යවරයා වූ ජීවක කෝමාරභච්චයන් ද පෙන්වා දී තිබේ. ශාරීරික සෞඛ්‍යය රැකෙන අයුරින් සක්මන් භාවනාවෙහි යෙදීම, ආරණ්‍ය, සංඝාවාස, නිවාස, ගෙවත්ත නිසි පරිදි අතුපතුගා පිරිසිදු කිරීම ආදි ක්‍රියාවන්හි නිරත වීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුදැන වදාළහ. එසේ ම ඉඳීම්, සිටීම්, සැතපීම්, සක්මන් කිරීම් ආදි සතර ඉරියවුව ද උන් වහන්සේ දක්වා ඇත්තේ කය නීරෝගි ව පවත්වාගැනීමේ ව්‍යායාම ක්‍රමයක් ලෙසිනි.
දෛනික ජීවිතයෙහි වරින් වර මේ සතර ඉරියාපථයන් ම පැවැත්විය යුතුª බව බුද්ධ දේශනාව යි. මේ අතරින් සක්මන හෙවත් ඇවිදීම වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා ඕනෑ ම පුද්ගලයකුට වඩාත් සුදුසු ම ව්‍යායාමය ලෙස පිළිගෙන ඇත. එමගින් රුධිරගත සීනි ප්‍රමාණය දහනය කරවන බවත්, රුධිරගත මේද ප්‍රමාණය අවම කරවන බවත් විශේෂඥ මතය යි. එමෙන් ම සක්මන් කිරීමේදී මුළු ගත පුරා අධික ලෙස ඩහදිය වැගිරේ. ඩහදිය හෙළීමෙන් තොර වීම, ලෙඩ රෝග තමන් වෙතට කැඳවාගැනීමකි. ශරීරයේ තරබාරුව නැති කරලීමේත්, මේද ප්‍රමාණය අවම කරලීමේත් හැකියාව ඇත්තේ ගලන ඩහදියට ය.
භික්ෂූන් වහන්සේ අරබයා ම ලියැවුණු එක ම වෛද්‍ය ග්‍රන්ථය වන භේසජ්ජ මඤ්ජුසාව (බේත් පෙට්ටිය) නම් ග්‍රන්ථයෙහි භික්ෂූන් වහන්සේගේ දෛනික ජීවිතයේ චර්යාත්මක විෂමතා හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය පිරිහී, පහසුවෙන් රෝගාබාධයන්ට ගොදුරු වන්නේ ය යන අදහස වඩාත් විස්තාරණය කොට දක්වා ඇත. විශේෂයෙන් වැළැකිය යුතු ආහාර-පාන වර්ග කිහිපයක් සහ එකතැන හිඳීම, නිතර සැතපීම, ඉරමුදුනෙන් මෙපිට නිදීම, කෑමෙන් පසු නිදීම යන චර්යාවන් ප්‍රමේහ හේතු බව එහි දැක්වේ.

වර්තමානයේ බොහෝ භික්ෂූන් වහන්සේට ලැබෙන ආහාර-පානවල බලපෑමත් දෛනික පුරුද්දක් බවට පත් ව ඇති දානයෙන් පසු ව සැතැපීමත් උන් වහන්සේ අතර දියවැඩියා රෝගය බහුල වීමට හේතු වී ඇතැ යි පැවැසේ. පිෂ්ටය බහුල හීල් දානයක් වළඳන උන් වහන්සේට එම දානය දිරවීමට ප්‍රමාණවත් කාලයක් නොතබා ම දහවල් දානය වැලඳීමට සිදු වීම අහිතකර භෝජන චර්යාවක් බව තවදුරටත් දැක්විය හැකි ය.
භික්ෂූන් වහන්සේගේ නීරෝගි බව පවත්වාගෙන යෑම සඳහා බුදුන් වහන්සේ විසින් අටපිරිකරට පෙරහන්කඩක් ඇතුළත් කොට, පැන් පෙරාගෙන පානය කිරීමට අනුදැන වදාරනු ලැබ ඇත. එදා උන් වහන්සේ ස්වකීය භික්ෂු සංඝයා වහන්සේ වෙනුවෙන් අනුදැන වදාළ මෙම කරුණ නූතන වෛද්‍ය විද්‍යාවට ද එකඟ ය.
අද බොහෝ නිවෙස්වල වතුර පෙරන උවාරණ (එචබඥප ජ්ඪතබඥපඵ) භාවිත කරනු ලැබේ. ජලය වැඩිපුර පාවිච්චිය ශරීරයට ගුණදායක බව නූතන වෛද්‍යවරු පවසති. වකුගඩු රෝග හා ගැස්ට්‍රයිටීන් වැනි රෝගාබාධවලට ද ක්‍රමවත් ජල පානය වැදගත් ය. ස්වාභාවික ලෙඩ සුව කිරීමේ ක්‍රමයක් ලෙස ජල චිකිත්සාව වර්තමානයේ ජනප්‍රිය වී ඇත. එමෙන් ම මත්ද්‍රව්‍ය භාවිත කර පුනරුත්ථාපනය වන පුද්ගලයන්ගේ ස්නායු ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා ජල චිකිත්සාව යොදාගනු ලැබේ.
විනය පිටකයේ භේසජ්ජඛන්ධකය වූකලි භික්ෂූන් වහන්සේ විෂයයෙහි අනුදැන වදාළ වෛද්‍යමය ප්‍රතිකාර ඇතුළත් පුස්තකය යි. බේත්-හේත් සහ ආහාර සාමාන්‍ය වශයෙන් පස් වැදෑරුම් වන අතර, එයට පඤ්ච භේසජ්ජනී යනුවෙන් ද ව්‍යවහාර වේ. මේවා නම් ගිතෙල්, වෙඬරු, තෙල් (තල, අබ, එඬරු ආදි තෙල්), මී පැණි හා උක් සකුරු ය. මේ පිළිබඳ මහාවග්ග පාළියෙහි මෙසේ දැක්වෙයි:
‘පූති මුත්ත භේසජ්ජං නිස්සාය පබ්බජ්ජා තත්ථ තේ යාවජීවං උස්සාහෝ කරණීයෝ. අතිරේක ලාභෝ සප්පී නවනීතං තේලං මධු පාණිතං.’
පැවිද්ද ගෝ මූත්‍ර බෙහෙත් නිසා ය. තා විසින් දිවි තෙක් ඒ පූති මුත්ත භේසජ්ජයෙහි උත්සාහ කට යුතු ය. ගිතෙල් ය, වෙඬරු ය, තෙල් ය, මී පැණි ය, උක්සකුරු ය යන මෙය අතිරේක ලාභ යි.
‘පූති මුත්ත භේසජ්ජ’ යන්න පිළිබඳ ව ද මෙහිදී යම් අදහසක් දැක්වීම වැදගත් යැ යි සිතමි. බොහෝ පොත-පත මේ පිළිබඳ ව දක්වන සම්ප්‍රදායානුකූල අර්ථකථනය නම් ‘අරළු ගව මූත්‍රයෙහි ලා සම්පාදනය කරන බේත්’ යන්න යි. එහෙත් ‘පූති මුත්ත භේසජ්ජය’ යනු පූතිකාය යනුවෙන් බණ පොතේ විස්තර වන කුණු ශරීරයේ ම මූත්‍ර විය යුතු යැ යි රාජකීය පණ්ඩිත පූජ්‍ය මඩබාවිට විජයසෝම හිමියන්ගේ අදහස යි. මෙම අදහස ප්‍රතික්ෂේප නොකරන අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛතේ‍්‍රය මහ නා හිමියන් පවසන්නේ බුරුමයේ භික්ෂූන් වහන්සේලා මූත්‍ර පමණක් නොව අසූචි ද බෙහෙත් වශයෙන් පාවිච්චි කරන බව යි. තව ද මේ පිළිබඳ ව ඉන්දීයයන්ගේ මතය ගෙනහැර දක්වන උන් වහන්සේ ඉන්දීයයන් පූතිමුත්ත භේසජ්ජය යනුවෙන් හඳුන්වන්නේ උදෑසන පිට කරන මූත්‍ර දහරාවේ මැද කොටස බව පවසති.
මේ පිළිබඳ මහත් පරිශ්‍රමයක් දරමින් කෘතියක් සම්පාදනය කරන පුජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන් පවසන්නේ මේ පූති මුත්ත කතාව වර්තමානයේ වඩාත් ජනප්‍රිය හෝ ශිෂ්ට සම්පන්න කිරීමට ගත් වෑයමක් හේතුවෙන් සත්‍යය යටපත් වී ඇති බවයි. ‘පූති මුත්ත’ යනු තමන්ගේ ම මූත්‍ර බව උන් වහන්සේගේ ද අදහස යි.
කෙසේ වෙතත් අතිරේක ලාභ ලෙස අනුදැන වදාළ ඉහත කී පස් වැදෑරුම් ද්‍රව්‍ය භික්ෂූන්ගේ ශරීර ස්කන්ධයේ සමතුලිත පැවැත්මට සමබල ආහාරයක් වන අතර, නිතර භාවිතයෙන් රෝගාබාධයන්ගෙන් මිදෙන්නේ යැ යි දැක්වේ. ග්‍රීෂ්ම ඍතුවේ දැඩි උෂ්ණත්වය නිසා රොගාතුර වූ භික්ෂූන් වහන්සේට බුදුන් වහන්සේ මේ පස් වැදෑරුම් ද්‍රව්‍ය නියමිත වේලාවන්හිදී පිළිගෙන අනුභව කිරීමට අනුදැන වදාරා ඇත.
මේ හැර ආයුර්වේදයෙහි බහුල ව ඇති අරළු-බුලු නෙල්ලි (ත්‍රිපලා), කටුකරෝසන, වළඟසාල්, ගම්මිරිස්, තිප්පිලි, වදකහ, අමුකහ, ඉඟුරු, දුම්මැල්ල, කලාඳුරු, කොහොඹ, ඔලිඳ අතිවිඩයන් හා සැවැන්දරා ඖෂධ වශයෙන් යොදාගැනීමට අවශ්‍ය උපදෙස් ත්‍රිපිටකයේ ද සඳහන් වේ.
බුදුන් වහන්සේ සාමාන්‍ය සුළු සුළු ආබාධවලට අනුදැන වදාළේ සාමාන්‍යයෙන් භික්ෂූන් භාවිත කළ ඖෂධ වර්ග ය. වනයෙහි වසන භික්ෂූන්ට විසකුරු සර්පයන්ගෙන් නොයෙක් විට අනතුරු පැමිණිණි. සර්ප විෂට ගව ගොම, ගව මූත්‍ර, අළු සහ මැටි අනුදැන වදාරා තිබේ.
‘අනුජානාමි භික්ඛවේ චත්තාරි මහා විකටානි ධාතුං ගුටං මුත්ත පාරිතං මන්තකං’ (විනය පිටකය).
පාණ්ඩුවට ගව මූත්‍රයෙහි දැමූ අරළු අනුදැන වදාරා ඇත. මෙයට අමතර ව ගස්වැල්වල මුල් ද ඖෂධ ලෙස භාවිත කිරීමට අනුදැන තිබේ. මෙම මුල් වර්ග නම් සියඹලා, ඉඟුරු, සුදුලූනු, කටුකරෝසන, සැවැන්දරා ආදි මුල් ය. මෙබඳු මුල් වර්ග රැසක් ඖෂධ වශයෙන් නම් කළ බුදුන් වහන්සේ ඒවා ඖෂධ වශයෙන් මිස ආහාර වශයෙන් නොගන්නා ලෙස ද දැක්වූ හ.
භික්ෂූන් විවිධ වෘක්ෂවල පොතු ඖෂධ වශයෙන් භාවිතයට බුදුන් වහන්සේගෙන් අවසර පැතූ විට එයට අවසර දුන් බුදුන් වහන්සේ ඖෂධ සකසාගැනීම සඳහා ඇඹරුම් ගලක් සහ මෝල් ගසක් ද අනුදැන වදාළ සේක. එමෙන් ම කසාය භාවිතයට ද අවසර දුන් බව විනය පිටකයෙහි දැක්වේ. ගස්වල ඵල හා කොළ වර්ග ද, ඇතැම් ගස්වල ලහටු වර්ග ද ඖෂධ වශයෙන් භාවිතයට ගැනීම අනුමත කර ඇත.
බුදුන් වහන්සේ භාවිතයට අවසර දුන් ලුණු වර්ග 5ක් පිළිබඳ ව ද විනය පිටකයේ සඳහන් වේ. මුහුදු ලුණු (සමුද්ද ලෝණ), කළු ලුණු (කාල ලෝණ), සිද්ධි ප්‍රදේශයේ ගල් ලුණු (සින්ධව ලෝණ), කෑම පිසීමට ගන්නා ලුණු (උබ්භිද ලෝණ) සහ රතු ලුණු (බිල ලෝණ) යනු ඒවා ය.
වශීකරණ විෂ ශරීරගත වූ භික්ෂුවකට නඟුලේ ඇලුණු මඩ දියෙන් කලතා පෙවීමට අනුදැන වදාරා ඇත. එමෙන් ම වැරදීමකින් වස ශරීරගත වූ භික්ෂුවකට අසූචි පොවන්නටත් අනුදැන ඇත. බඩ වියළීමට (දුම්මගාහරිත) අමු ආමිසකාර ආහාර භාවිතය නිර්දේශ තිබේ. ශරීර දුර්ගන්ධයට ප්‍රථමයෙන් විරේචනයක් ද, දෙවනු ව කැඳ ද, එයට පසු ඇටවලින් සෑදු සුප් සහ අවසාන වශයෙන් හොදි වර්ගයක් ද දීමට උපදෙස් දී තිබේ. තව ද උදරවාත ආබාධයකදී ලුණු කැඳ සුදුසු බව සඳහන් කර ඇත. මෙයට අමතර ව ග්‍රහණියට බත් කාරම් ද, වණයක් සෑදුණු විට අබ කුඩු එළීම ද, ඇඟ ඩහදිය ගැන්වීම සඳහා ස්වේද කර්මය ද, ඇස් ලෙඩට අඳුන් ගෑම ද, ඇඟ කැසීමට ගොම මැටි හා තම්බාගත් කහට කුඩු ද, හන්දි රුදාව සඳහා ලේ ඇරීම ද, කකුල් පැළීම නවත්වනු පිණිස පය තෙල් ගැල්වීම ද, මස් දලුව ලුණු කැටයෙන් කැපීම ද, වණයට දුම් ඇල්ලීම වැනි ප්‍රතිකාර හා ඖෂධ රාශියක් භික්ෂූන්ගේ රෝග සඳහා බුදුහු අනුදැන වදාළහ.
තව ද, හිසරදයට තෙල් ගල්වා නස්‍ය කිරීම හා ධූම විධි කිරීමද, ආම ජීරණ දෝෂවලදී එම උදරගත වාතයන් බැහැර වීමට උක් හකුරු පානය හා උණු පැන් පානය ද තුවාල සඳහා ඖෂධීය කහට දියෙන් ඒවා පිරිසිදු කොට තල අඹරා පැලැස්තර යෙදීම ද, එහි කැසීම ඇති කල අබ කුඩු යෙදීම ද වණය වේළීමක් නැතොත් ඔසු දුම් ඇල්වීම ද පාණ්ඩු රෝගයට අරළු කුඩු ගව මූත්‍රයෙන් දිය කර පෙවීම ද ආදි වශයෙන් විවිධාකාර රෝග සඳහා උන් වහන්සේ ඖෂධ හා ප්‍රතිකාර නියම කළ සේක.
පුද්ගලයකුගේ නීරෝගි බව සඳහා පෞද්ගලික සනීපාරක්ෂාව ඉතා වැදගත් ය. බුදුන් වහන්සේ භික්ෂූන් අරබයා දේශනා කළ බොහෝ දේ ගිහි-පැවිදි භේදයකින් තොර ව සියලු මනුෂ්‍යයන්ට අනුගමනය කළ හැකි ය. දකින කවරකු හට වූව ද ප්‍රියමනාප වන අයුරින් සමාජයේ ජීවත් වීමෙහි අගය බුදුන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. හිස-රැවුළු බා, ගැටවටු ගන්වා සිවුරු පෙරවා ප්‍රසන්න ව වාසය කරන ලෙස උන් වහන්සේ භික්ෂූන්ට උවදෙස් දුන්නේ ප්‍රියමනාප ලෙස ජීවත් වීම පෞද්ගලික ගරුත්වයට ද හේතු වන බැවිනි. දත් මැදීම පිළිබඳ ව අංගුත්තර නිකායේ එන මෙම විස්තරයෙන් බුදුන් වහන්සේ එබඳු සරල දේ පිළිබඳ ව පවා දැක්වූ උනන්දුව පැහැදිලි වේ. ඒ අනුව දිනකට තුන් වරක් වත් දත් මැදිය යුතු යැ යි දක්වන බුදුන් වහන්සේ එමගින් මුඛයෙන් දුගඳ නොහමන බවත්, රසනහර පිරිසිදු කරන බවත්, බඩේ අමාරු අජීර්ණ ඇති වීම වළකින බවත් කෑම රුචිය වඩෙන බවත් පෙන්වා දෙති.
මෙලෙස ම ශරීරය පිරිසිදු ව තබාගැනීම සඳහා ස්නානය කළ යුතු බව ද, පාචිත්තපාළියෙහි දැක්වේ. ඒ අනුව උෂ්ණාධික තත්ත්වයක් ඇති වූ විට, රෝගයක් වැලඳී සුව වූ විට, දෛනික වැඩ අවසන් වූ විට, දුරබැහැර ගොස් පැමිණි විට (වෙහෙස නිවීමෙන් පසු) හා දූවිලි සහිත පරිසරයකදී ස්නානය කළ යුතු බව උන් වහන්සේ පෙන්වා දී ඇත.
බුදුන් වහන්සේ වෛද්‍යවරයකුගේ කාර්යභාරයෙහි පමණක් නො ව, හෙද කාර්යයෙහි ද නිරත වූ බව පූතිගත්ත තිස්ස තෙරුන්ගේ කතාවෙන් තහවුරු වේ. සිරුරෙන් සැරව ගලන ගඩු සෑදීම හේතුවෙන් සෙස්සන් විසින් පිළිකුල් කැරුණු පූතිගත්ත තිස්ස හිමියන් උණ දියෙන් නහවා, සිවුරු සෝදවා දී සියතින් ම උවටැන් කළ බුදුන් වහන්සේ ගිලනුන්ට උපස්ථාන කිරීම තමන් වහන්සේට උපස්ථාන කිරීමට සමාන කොට දක්වා ඇත (‘යෝ භික්ඛවේ මං උපට්ඨ හෙය්‍ය සෝ ගිලානං උපට්ඨහෙය්‍ය’).
එක් අවස්ථාවක බුදුන් වහන්සේ නකුල පිතා නමැති ගෘහපතියා අමතා මෙසේ දේශනා කළ සේක:
‘ආතුරෝභයං ගහපති කායෝ, අන්ධභූතෝ පරියෝනද්දෝ. යෝහි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය කිමඤ්ඤත්‍ර බාලයා? තස්මා තිහතේ ගහපති ඒවං සික්ඛි තබ්බං ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති.’
ගෘහපතිය, කෙළ, සෙම්, සොටු ආදිය නිතර වැගිරෙන මේ කය ආතුර ය; දුබල ය; එබැවින් වැටුණ හොත් බිඳී යන බිත්තරයක් වැනි ය. සියුම් සමකින් වැසී ඇති එකකි. ගෘහපතිය, යමෙක් මේ දුබල කය පරිහරණය කරමින් මොහොතකුදු තමන් නීරෝගි යැ යි ප්‍රතිඥා කෙරේ නම් එය අනුවණකම හැර කිමෙක් ද? ගෘහපතිය, ආතුර කයක් ඇති ඔබ අනාතුර සිතක් ඇතියකු වන පරිදි පිළිපැදිය යුතු ය. අනේක විධ වූ ව්‍යාධීන් හටගන්නා ස්වභාවයක් ඇති මෙම පඤ්චස්කන්ධය ගැන අවබෝධ කරගත් නුවණැතියෝ එහි ඇලී නොසිට ආතුර වූ පඤ්චස්ඛන්ධය හැර අනාතුර වූ නිවනට පිවිසෙන්නෝ ය.’
මේ අයුරින් බුදුන් වහන්සේ සෑම විට ම කායික රෝග උපමාවට ගනිමින් පවා කායික රෝගවලට වඩා මානසික රෝගවලට ප්‍රතිකාර කිරීමට උනන්දු වූ හ. මන්ද: කායික රෝගවලට කරන ප්‍රතිකාර තාවකාලික වන නමුත් මනෝ ප්‍රතිකාර එබඳු තාවකාලික ඒවා නොවන, සදාකාලික නිවීම, සැනසීම ලබාදෙන්නක් වන බැවිනි.
මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක් තිබේ. එනම් ලොව පැරණිතම රෝහල් පද්ධතිය පිළිබඳ ව ය. මේ පිළිබඳ ව පුරාවිද්‍යාත්මක සාධක හමු වන්නේ ද ඉන්දියාවෙන් නො ව, ලක්දිව මිහින්තලයෙනි. ඒ 2 වන සේන රජතුමා විසින් පිහිටුවනු ලැබූ (චූළවංසයේ ද සඳහන්) මිහින්තලා ගල පාමුල ඇති රෝහල යි.
බාහිර රෝග සායනයකින්, බෙහෙත් ගබඩාවකින්, බෙහෙත් පිළියෙල කරන ස්ථානයකින් සහ එක් එක් රෝගියාට වෙන් වූ කුටිවලින් සමන්විත ව තුබූ බැව් ද තහවුරු වී තිබේ.
අපේ ආදි මුතු-මිත්තන්, බටහිර ජාතීන් වෛද්‍ය විද්‍යාව ගැන සිතලා වත් නැති යුගයක මනා පරිපාලනයක් සහිත රෝහල් පද්ධතියක් පවත්වාගෙනයෑම විස්මයට කරුණක් නොවන්නේ බුදුදහමේ සඳහන් කායික මානසික වෛද්‍ය විද්‍යාත්මක කරුණු රැස හේතුවෙනි.
අප රටේ බොහෝ පාසල් සිසු-සිසුවියන් මෙන් ම අනෙකුත් උගත් වැඩිහිටි පරපුර ද අතර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලැකෙන්නේ හිපොක්‍රටීස් ය. මනෝ වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලැකෙන්නේ සිග්මන් ෆෙ‍්‍රායිඩ් ය. හෙද සේවාවේ නිර්මාතෘවරිය ලෙස හැඳින්වෙන්නේ ෆ්ලෝරන්ස් නයිටිංගේල් ය. මෙතරම් විද්‍යානුකූල උරුමයක් සතු ව තිබියදීත් අප විසින් වුව තවමත් නඩත්තු කරමින් පවත්වාගෙන යනු ලබන්නේ බටහිරින් ණයට ගත් අධ්‍යාපන ක්‍රමයක් වීම තුළ එහි වරදක් ද නැත!
හිපොක්‍රටීස්ලාට, ෆෙ‍්‍රායිඩ්ලාට මෙන් ම නයිටිංගේල්ලාට ද සියවස් ගණනාවකට පෙර ගෞතම බුදුන් වහන්සේ මේ සියල්ල දේශනා කොට ආදර්ශ සපයා ඇති බව අප අමතක නොකළ යුතු ය. සියල්ල බටහිරට ම පවරා දී අද අප ලජ්ජාසහගත නිහැඬියාවක ගැලී සිටිමු. එය රටේත්, ජාතියේත් අවාසනාව මිස අන් යමක් නො වේ. අපි අපේ මුදුන් මුල් අහිමි කරගෙන අවසන් ය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉරානය, චීනය වැනි පෙරදිග රටවලට තරම් දියුණු ශිෂ්ටාචාර උරුමයක් කිසිදු බටහිර රටකට නැත. එහෙත් ඔවුන් මුළු ලෝකය ම ඔවුන්ගේ ආධිපත්‍යයට නතු කරගෙන අවසන් ය. කණගාටුවට කරුණ නම් එබඳු දියුණු ශිෂ්ටාචාරයක්, හර පද්ධතියක් අප සතු ව තිබූ බව පිළිගැනීමට පවා ඇතැම් ලාංකිකයන් මැළිකමක් බියක් දැක්වීම ය.

උපුටා ගැනීමත් ඇසුරිනි

සොබාදහමින් පවා ආශිර්වාද ලැබෙන ගාථාවක අසිරිය විදගන්න ...
බුදුහිමියන් පවා ප්‍රතික්ෂේප කල සර්වාගමික “එකගෙයි කෑම“ - භරු ජාතකය ඇසුරින් විමසුමක් ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.