ලංකාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ ( The Lankaramaya Stupa ) - IFBC Organization | Dhamma

ඉතිහාස ග්‍රන්ථයක් පිරික්‍ෂීමේදී අටමස්ථානයට අයත්වන ලංකාරාමය පිළිබඳව ලියැවී ඇත්තේ අල්ප වශයෙනි. මෙහි ධාතු ගර්භයේ නිධන් කර ඇති සුවිශේෂී පූජනීය නිධන් වස්තූන් පිළිබඳව ඒවායේ සඳහන් කර නැතත්. මෙහි සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ නිදන් කර ඇති බවට සැකයක් නොමැත.

ඓතිහාසික වටිනාකමින් කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි මෙය ගොඩ නංවන ලද්දේ වළගම්බා රජතුමා විසින් බව කියැවේ. රජතුමා තම බිසව වූ සෝමා දේවිය වෙනුවෙන් කරවූ සෝමාරාමය මෙය යැයි ද මතයක් පවතී.

එස්.පරණවිතාන යන්ගේ ‘ලංකාවේ ස්තූපය’ නම් ග්‍රන්ථයේ පැවසෙන්නේ වළගම්බා රජතුමා විසින් නිමවන ලද සීලාසොබ්භකණ්ඩක චෛත්‍ය මෙය විය යුතු බව අනුමාන වශයෙන් අදහස් කෙරෙන බවයි.

එහෙත් ‘අනුරාධපුර අටමස්ථාන’ පොත ලියූ මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් පවසන්නේ ලංකාරාමය පුරාණයේ හඳුන්වා ඇත්තේ මණිථූපාරාමය, මණිසෝමාරාමය ආදි නම් වලින් බව බෝධිවංස ගැටපදය මහාවංසය ආදියෙන් හෙළි වන බවත්. මෙය සීලසොබ්භකණ්ඨක (ගල් හෙබකඩ) චෛත්‍ය යනුවෙන් වරදවා හඳුන්වා තිබෙන බවය. අද ලංකාරාමය වෙනම ආරාමයක් වුවද පුරාණයේ මෙය අභයගිරියට අයත් ආරාමයක් ලෙස පැවැති බවත් මෙය ඊට අයත් භික්‍ෂුණී ආරාමය විය හැකි යැයි තවදුරටත් ඔහු පවසයි.

මහා විහාරයට ථූපාරාමය තිබුණා සේ අභයගිරි විහාර සංකීර්ණයට ලංකාරාමය සතුව පැවැතුණු බව කියැවෙයි.

ලංකාරාම චෛත්‍යයද ථූපාරාම චෛත්‍යයයේම වටදාගෙයකින් ආවරණය වී තිබූ අලංකාර ස්තූපයකි. ‘ලංකාවේ ස්තූප’ ග්‍රන්ථය පවසන පරිදි මෙය ථූපාරාමයට වඩා ප්‍රමාණයෙන් කුඩාය. ස්තූපය පිහිටා ඇති වටකුරු මළුවේ විෂ්කම්භය අඩි 132 අඟල් 2 කි. ස්තූපයේ පාදම අඩි 44 අඟල් 2 ක විෂ්කම්භයකින් යුක්ත ය. මෙය ද ථූපාරාමයේ ආකෘතියට සමගාමීව පැවැතියේය. මෙම ස්තූපයන් දෙකෙහිම වටදාගෙය දරා සිටි සෛලමය කුලුණු හිස් ලංකාවට පමණක් විශේෂ වූ නිර්මාණයන් බව පැවැසෙයි. ‘ලංකාවේ ස්තූපය’ නම් ග්‍රන්ථයේ තවදුරටත් සටහන් වන්නේ මෙය ප්‍රතිසංස්කරණය කිරීමේදි ආදි ලක්‍ෂණ විකෘති කරමින් අව ලක්‍ෂණ ආකාරයකින් ප්‍රකෘතිමත් කර ඇති බවකි.

චෛත්‍යයේ වටදාගෙය ඉදිකර ඇත්තේ කණිට්ඨතිස්ස රජතුමා (ක්‍රි.වර්ෂ 164 – 192) බව මහාවංසය පවසයි. ලංකාරාමයේ පොහොය ගෙය කරවන ලද්දේ ගෝඨාභය රජතුමා (ක්‍රි.ව. 253-266) විසිනි. වර්තමානයේ ස්තූපයේ විෂ්කම්භය අඩි 38 ක් පමණ වෙයි.

වළගම්බා රජතුමා තම ආදරණීය බිසවගේ සෙනෙහසට ගෞරවයක් වශයෙන් තිළිණ කළේ චෛත්‍යයකි. ආක්‍රමණික සොලී හමුදාවක් හා සටන් වැදි පරාජයට පත්වූ වළගම්බා රජතුමා පලාගිය රියට වේගවත්ව යාමට නොහැකි වූයේ එහි වූ බර වැඩිකම නිසාය.රජතුමාගේ අයියණ්ඩියගේ බිසව වු අනුලා දේවියද ඔහුගේ සොහොයුරාගේ පුතා වූ මහාචූලී හා රජයුවලගේ පුතා වු මහානාගද නැග සිටි රථයේ වේගය වැඩි කරන අටියෙන් මාරාන්තික සතුරු ආක්‍රමණය පෙනි පෙනී ආත්ම පරිත්‍යාගයෙන් රථයෙන් බැස්සේය. වළගම්බා රජතුමාගේ අග මෙහෙසිය මේ සෝමාදේවිය නම් වීර මාතාවය. එම නිසා මව්බිම නැවතත් එක් සේසත් කිරීමට නිරිඳකු අපට ඉතිරි විය. ඒ උතුම් මාතාවගේ ආත්ම පරිත්‍යාගයට මෙන්ම උත්තරීතර සෙනෙහස වෙනුවෙන් රජතුමා සෑදූ සදාණුස්මරණීය සිහිවටනය ලංකාරාමය නම් වන මෙම ඓතිහාසික ස්තූපයය.

ලංකාරාම සෑ රදුන් අභියස දී ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී නාමයට පූජෝපහාරයක් ලෙස නළලතට එසැවෙන අන්ජලීකරණීය වූ ඔබ දෑත සැදැහැති නිවුණ සිත, මහා ආත්ම පරිත්‍යාගයක් කළ මාතාවකගේ උත්තරීතර සෙනෙහසක නාමය වෙනුවෙන් ද පිදෙන පූජෝපහාරයකට එක්වනු ඇත.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ( The Jaya Sri Maha Bodhi )
මෛත්‍රී බුද්ධ වංශය ( Maithree Buddha Wanshaya )

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.