ලාංකේය බිමේ ඇති මහා සෑය ‘රුවන්වැලි’ මහා සෑයයි. මෙය ලංකාවේ ඇති අතිශයින්ම සම්මානනීය දාගැබ බව විවාදයකින් තොරව පිළිගැනෙන සත්‍යයකි.

පුරා වසර 75 ක් පමණ අප මාතෘභූමිය විවිධ දේශපාලන අර්බුදයන්ට භාජනය වී තිබූ අවධිය නිම කරවමින් මේ බිම එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා එතැන් පටන් තම රාජ්‍ය සමය කැප කළේ විශේෂයෙන් බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ය.

දුටුගැමුණු රජතුමාට අවශ්‍ය වූයේ ලංකාවේ විශාලතම දාගැබ ඉදිකිරීමට ය. එහෙත් රජතුමාගේ ජීවිත කාලයටම එය සාදා නිම කිරීමට නොහැකි වන බව දත් මහරහතන් වහන්සේලා එහි සැලැස්ම එම ප්‍රමාණයට වඩා කුඩා කිරීමට උපදෙස් දුන් බව කියැවෙයි.

එවකට ලක්බිමේ විශාලම සෑය එය වූ බැවින් රුවන්වැලි සෑය මහා සෑය නම් විය. ඊට පසුව රුවන්වැලි සෑයට වඩා විශාල ස්තූපයන් ඉදි වුවද මෙහි ඇති විශිෂ්ටත්වය අභිභවා යාමට වෙනත් කිසිදු ස්තූපයක් සමත් වී නැත. අදත් ලක්බිමේ ඇති මහා සෑය නමින් කිරළු දරන්නේ රුවන්වැලි සෑයමය.

මිහිඳු මහරහතන් වහන්සේ අටමස්ථානය හඳුන්වා දීමේ දී සත්වැනි ස්ථානය වශයෙන් මෙම මහා සෑය පිහිටුවන තැන හඳුන්වා දුන් බව කියැවෙයි. දේවානම්පියතිස්ස රජතුමා මේ පිළිබඳව විමසීමේ දී මිහිඳු මහ රහතන් වහන්සේ වදාළේ මෙතැන ‘ස්වර්ණමාලී’ මහා සෑය නමින් ස්තූපයක් ඔබගේ මුණුපුරකු විසින් අනාගතයේ කරවන බවයි. එම පුවත ගල් ටැඹක ලියා එම ස්ථානයේ පිහිට වූ බව වංශකතාවල සඳහන් වේ.

දුටුගැමුණු රජතුමා මෙම මහා ස්තූපය කරවා ඇත්තේ එම ගල්ටැඹ එසවූ ස්ථානයේ ය. ඒ වන විට එතැන තෙළඹු ගසක් තිබුණු බවත් සෑය සෑදීමට තෙළඹු ගස ඉවත් කිරීමට රජතුමාට සිදු වූ බවත් පැවසෙයි. ගස ඉවත් කළේ එයට අධිගෘහිතව සිටි ස්වර්ණමාලි නම් දෙවඟනගේ එකඟත්වය සහ අවසරය පරිදි ය. එම නිසා ‘ස්වරණමාලීට’ උපහාරයක් වශයෙන් මෙම මහා ස්තූපයට ස්වර්ණමාලී මහා සෑය වශයෙන් නම් තැබීමට තරම් රජතුමා කෘතවේදී විය. ස්වර්ණමාලී මහා සෑය, ‘රත්නමාලී’, රුවන් මැලි යන තවත් සමාන වූ නාමයන්ගෙන් කියැවෙයි. පසුව මෙය ‘රුවන්වැලි’ නමින් වී අද දක්වාද එම නම ප්‍රචලිතව තිබේ. මහා සෑය ඉදිකළේ රුවන්මළුව නම් බිමෙක නිසා එය රුවන්වැලි නමින් වූ බව තවත් තැනක සඳහන් වෙයි.

මෙම ස්තූපය මහා ස්තූපය වශයෙන් සැලකීමට තවත් බොහෝ කරුණු රාශියක් බෞද්ධ වංශ කතාවට අනුව පෙළ ගැසී තිබීම විශේෂිතය. සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ ද්‍රෝණයක් මෙහි නිධන් කර තිබෙන බව මහා වංශය මෙන්ම වෙනත් වංශ කතා ද සඳහන් කරයි. ද්‍රෝණය නම් කොතරම් නම් ප්‍රමාණයක් දැයි දළවශයෙන් පැහැදිලි කර ගැනීමේ දී එය පැරැණි මිනුම් අනුව ලාස් හතරක් නොහොත් නැලි දහසයක පරිමාවකට සමානය. සර්වඥ ධාතූන්ගෙන් 1/8 ක් පමණ මෙහි නිධන්ව ඇති බවද තැනක කියැවෙයි.

රුවන්වැලි මහා සෑය පිළිබඳව විස්තර බොහෝ තැන්හි සඳහන්ව තිබේ. එහෙත් අපි අද මෙහි අඩිතාලම පිළිබඳව විශේෂයෙන් කතා කිරීමට අපේක්‍ෂා කරමු. ඊට ආසන්නම හේතුව වන්නේ බුද්ධ වර්ෂ 390ටත් 400ටත් අතර වර්ෂයක ඇසළ මස පුර පසළොස්වක දිනක මෙම මහා සෑය තැනවීමට අවශ්‍ය මඟුල් ගඩොල පිහිටුවීමය. එසේ නම් මෙම අසිරිමත් වූ මහා සෑය සෑදීමේ කාර්ය සිදුවූයේ බුද්ධ වර්ෂයෙන් අදට වසර 2156 කට පමණ පෙරය.

අද අපි තාක්‍ෂණික විද්‍යා ඥානයෙන් හිණි පෙත්තට ද උඩින් අහස් කුස අභිභවන මහා ගොඩනැඟිලි ඉදිකරමින් සිටිමු. සමහර තැනක එවැනි ඉදිකිරීමක් සුළු ගුවන් ප්‍රහාරයකින් පොළොව මතට ඇද වැටෙන අයුරු ද අසා දැක ඇත්තෙමු. එහෙත් මීට වසර දෙදහස් ගණනකට ප්‍රථම අප මුතුන් මිත්තන් සතු ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ විශාරද බව කොතරම් දැයි හඳුනා ගැනීමට සමත් ජීවමාන සාධකයක් බවට රුවන්වැලි මහා ස්තූපය නම් කළ හැකි ය.

මේ ලෝක විනාශයේ දී දියත පුරා විවිධ දේශ දේශාන්තරයන්හී වැඩ වසන සම්බුද්ධ සර්වඥ ධාතූන් වහන්සේ රුවන්වැලි සෑය නම් මෙම අසාදෘශ්‍ය මහා ස්තූපය වෙතට වැඩමවා වදාරා පෙළහර පා, පිරිනිවන් පානා බව අට්ඨකතාවන්හි සඳහන්ව තිබේ. එයින් හැඟෙන්නේ මේ මහා ස්තූපයේ ඇති නොසෙලවෙන මහා බල පරාක්‍රමයක අනුහස නොවන්නේ ද?

එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් මෙම මහා සෑයේ ස්ථිරත්වය වෙනුවෙන් මීට වසර දෙදහස් ගණනකට එපිට දැමූ අඩිතාලම පිළිබඳව කතා කිරීමේ දී මෙහි ඇති පදනමේ මහා ශක්තිවන්තකම පිළිබඳව අපට යම් හැඟීමක් ඇතිකර ගත හැක.

රුවන්වැලි සෑයේ අඩිතාලම දැමීමට අඩි 7 යි අඟල් 6 ක් පමණ පොළව සෑරූ බව කියැවෙයි. හුණුගල් ගෙන්වා යෝධයන් ලවා කුළු ගස්වා පොඩි කරන ලද එම ගල් අඩිතාලමට දමා ඇතුන් ලවා මැඩවීය. ඒ සඳහා රජතුමා කොතරම් නම් කාරුණික වූයේ ද යත් මෙම ඇතුන්ගේ පතුල් තුවාල වී අනතුරට ලක්වීම වැළැක්වීමට සමින් මසන ලද ‘අලි සපත්තු’ පලඳවා පතුල් ආරක්‍ෂා කරවීය. ඊට අමතරව රහතන් වහන්සේ මගින් ලබා ගත් ‘වෙඬරුමැටි’ නොහොත් ‘නවතීන මැටි’ (ඉතා සියුම් මැටි වර්ගයක්) ඇතිර වීය. එය මත ගඩොල් ද ගඩොල් මත්තෙහි සුද්ධ කරගල් ද එයිටත් මත්තෙහි කුරුවින්ද ගල් ද ඊටත් උඩින් යබොර කැටද, ඉන් මත්තෙහි බොරළු ද, බොරළු මත හිමාලයෙන් ගෙනෙන ලද පළිඟු ගල් ද, එයටත් උඩින් තවත් විශේෂ ගල් වර්ගයක් ද ඇතිරීය. මෙම ස්ථරයත් දැඩිව තද කිරීමෙන් පසුව, රසදියෙන් මිශ්‍රකළ ගිවුලු මැලියමින් අඟල් 8 ක් ඝන වූ ලෝහ තහඩුවක් මුළු අත්තිවාරම වැසෙන පරිදි සවිකළේ ය. ආරම්භයේ දී රුවන්වැලි මහා සෑයේ උස අඩි 300 ක් ද ස්තූප පාදයේ වර්තමාන විශ්කම්භය අඩි 298 ක් ද වන බව පරණවිතානයන්ගේ ‘ලංකාවේ ස්තූප’ නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි. මේ අනුව මෙතරම් විශාල ඉදිකිරීමක බර දරා සිටින අත්තිවාරමේ ඇති ශක්තිය පිළිබඳ දළ හැඟීමක් ඇතිකර ගත හැක. ඉහත කී තහඩුව මතු පිට තලතෙලින් පොඟවන ලද රත් සිරියෙලින් අඟල් හතක් ඝන රිදී පටක් ද ඇතිරවීය. (මෙය රිදියෙන් කළ කොටු දැළක් විය හැක.)

මෙම අඩිතාලමේ තාක්‍ෂණය අද විද්‍යාඥයින්ට අභියෝගාත්මක ප්‍රශ්න රැසක් ඉතිරිකර තබා තිබේ. රසදිය, තලතෙල්, මැලියම්, ඉතා සියුම් මැටි වර්ග, තට්ටුවෙන් තට්ටුව ඇති රූ ගල් වර්ග, ලෝහ තහඩු, රිදී පට ආදී මේ සියලු පැරැණි තාක්‍ෂණයේ අමුද්‍රව්‍ය ඒවා ඇතිරූ ක්‍රමවේදයන් දියුණු විද්‍යාත්මක ඥානය හා සැසඳෙන්නේ කෙලෙසක දැයි අපි තවමත් සොයා බැලුවෙහිද? මහා බරක් සමසේ බෙදීයාමට මෙම තහඩු යොදවන්නට ඇත. එසේම අකුණු විපත් ආදිය වළකාලීමටද මෙම ලෝහයන් ප්‍රයෝජනවත් වීමට පුළුවන. අප නොදත් විද්‍යාත්මක පදනමක මහා රහස් අපේ මුතුන් මිත්තන් හොඳින් දැන සිටියා වීමට ද පුළුවන. මෙම මහා කර්මාන්තයේ ඉංජිනේරු අධීක්‍ෂණ කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ ඉන්ද්‍ර ගුප්ත නම් භික්‍ෂූන් වහන්සේ නමක් බව සඳහන් වේ. රහතන් වහන්සේලාගෙන් අනූන වූ එම යුගයේ මෙම විද්‍යාඥානයට මහා රහස් බලයක් ද සම්මිශ්‍රණය වූවා දැයි සිතට සැකයක් උපදියි.

මෙසේ අඩිතාලම දමා තුන්මාල් පේෂාව දක්වා චෛත්‍ය ගොඩනැගීමේ දී නව වාරයක් එය පොළවට කිඳා බැස ගිය බවත් ඉන් පසුව දස වන වාරය වන විට චෛත්‍ය බැඳීමට දසකෝටියක් ගඩොල් වැය කළ බවත් මහා වංශාදී වංශ කතාවන්හි සඳහන්ව තිබේ.

ව්‍යාකූලත්වයට පත් දුටුගැමුණු රජතුමා මෙසේ වන්නේ ඇයි දැයි අසූ දහසක් මහ රහතන් වහන්සේ ගෙන්වා විචාල විට රහතන් වහන්සේලා පැවසුවේ අති මහත් විනාශයකදී වුව මෙම මහා සෑය ස්ථිර ලෙසම පැවැතිය යුතු වූ නිසා එසේ වූ බවය. ලෝක විනාශයකදී පවා මහා මේරුවක් සේ විනාශ නොවී පවතින එකම ස්ථානය රුවන්වැලි මහා සෑය යැයි තැනක සඳහන් වන්නේ මෙහි පදනමේ ඇති මහා සවි බලයේ තරම කියා පෑමට විය හැක.

මහා සෑයේ මංගල ගඩොල අති උත්සවශ්‍රීයෙන් පිහිටුවන ලද අවස්ථාවට ආශීර්වාද පිණිස විදේශයන්හි ලක්‍ෂ ගණනක් රහතන් වහන්සේ වැඩිය බවක් ද කියැවෙයි. එසේම මෙම ස්තූප කර්මාන්තයේ තවත් විශේෂයක් වන්නේ මේ වෙනුවෙන් ශ්‍රමය, බුද්ධිය වැය කළ සෑම ශිල්පියකු වෙනුවෙන්ම රජතුමා වැටුප් ගෙවීමය.

ඒ පිළිබඳව මහා වංශයේ සඳහන් වන්නේ මෙසේ ය. ‘මෙහි නොමිලයේ වැඩ නොකටයුතු යැයි රජතුමා දැන් වූ සේක. එක එක දොරටුවෙහි සොළොස් ලක්‍ෂය බැගින් කහවණු ද ඛාද්‍ය භෝජ්‍යයන්ද පාන වර්ග ද සුවඳ මල්, උක්සකුරු ආදිය ද තබ්බවා රිසි වූ පරිද්දෙන් කර්මාන්තය කොට ඒ දෙය රිසි සේ ගනිත්වා යි නියම කළේ ය’. මෙයින් හැඟෙන්නේ සුළු කම්කරුවකු පවා සතුටු සිතින් මේ මහා පුණ්‍යකර්මයට සම්බන්ධ කර ගැනීමට රජතුමා අපේක්‍ෂා කළ බවය. සුළු සේවකයකුගේ පවා සිත් නොරිදවා ඉතා සතුටින් මෙම විශ්මිත ඉදිකිරීමට දායක කර ගැනීමට ලැබීමෙන් මෙම මහා ස්තූපයේ පූජනීයත්වයට ශ්‍රමයක දහදියේ බලයද එකතු වී ඇති සෙයකි.

අදත් සැදැහැති බෞද්ධ ජනතාව රුවන්වැලි මහා ස්තූපය වෙතට පැමිණෙන්නේ මහත් වූ සද්ධා සම්ප්‍රයුක්ත ගෞරවයක් සිත්හි දරා ගනිමින් සියලු විපත් දුරු වේවායි දැඩි අපේක්‍ෂාවෙනි. කිසිවකුත් පීඩාවට පත් නොකරමින් හෘදයාංගව බැඳුණු පිවිතුරු චේතනාවන් පෙරදැරිව කළ මේ උතුම් මහා පූජාවට දෙවිදේවතාවුන්ගේ මෙන්ම මහ රහතන් වහන්සේලාගේ ද ආශීර්වාදය ලැබුණු බව සඳහන් වෙයි.

නැවතත් කිසිදු දිනක එකම ස්ථානයකදී මෙවන් වූ අසිරිමත් අභිමානවත් මහා බලයක් නිර්මාණය වන්නට ඉඩක් නොමැත. රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී පෙර නොවිඳි අපමන සුවයක්, සැනසීමක් හිතට දැනෙන්නේ එය වටා ගොනුව ඇති මහා බල ශක්තියක උණුසුම අපගේ ලේ ධාතුව හරහා ගමන් කිරීමට තරම් බලයක් මේ විශ්මිත වූද සදැහැති වූ ද බලගතු ‘මහා සෑය’ මත අදටත් නොනැසී පවතින නිසා ද?

ථූපාරාම චෛත්‍ය රාජයන් වහන්සේ (Thuparama Sthupa)
මිරිසවැටි මහා සෑ රදුන් ( Mirisawati Sthupa)

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.