යන්න නැවත, බුදුන් වැඩ විසූ අතීතයට…

ශ්‍රී බුද්ධවර්ෂ 2556 ක් වූ
වෙසක් මස පුන්පොහෝ දා,
නුවර වැව් කෙම් ඉමේ සිට,

නමෝ බුද්ධාය..!

සදාසැනසිල්ල වේවායි පතමින් ලියමි,

දයාබර යාලුවනේ..

දුර ඈත අහස් ගඟ කෙළවරේ, සුරඟනා දෑඟිලිවලින් දිව්‍ය තත්සර නැංවෙන මේ අපූරු රාත‍්‍රිය වෙනදාටත් වඩා හරි ම සුන්දර යි. රොබරෝසියා මල් වැටුණු නුවර වැව් කොණේ පුංචි බංකුවක මම වාඩි වුණේ පුරුද්දට වගේ… නො දැනුවත්වම. සුදු පාට මීදුමින් පෙඟුණු සීතල සුළං රැළි හිමි හිමිහිට හමා ගෙන යනවා. වැව් දිය මත බබළන දළදා මාළිගාවේ රත්තරන්පාට ඡායාව ඒ සුළං රැළි නිසා වරින් වර බොඳ වෙලා යන්නෙ හරියට ඒ දිහා ම බලාගෙන ඉන්න මගෙ ඇස් දෙකට විවේකයක් දෙන්න වගෙයි… රොබරෝසියා ගස්වල අඳුරු සෙවණැලි අතරින් සොඳුරු පුන්සඳේ සුවිසල් ඡායාවත් වැව් දිය මතට වැටිලා.

වෙනදා වගේ නො වෙයි. අද මාළිගාව සුදු වතින් සැරසුන සැදැහැවතුන්ගෙන් සම්පූර්ණයෙන් ම පිරිල ඉතිරිලා ගිහින්… ඇයි දන්නව ද..? අද වෙසක් පුන්පොහෝ දින ය. සාමාන්‍ය වෙසක් පුන්පොහෝ දිනයකුත් නො වෙයි. ඒ ශාන්ති නායකයාණන් වහන්සේගේ 2600 වැනි ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරෙන අති උතුම් වෙසක් පුන්පොහෝ දිනය.

හීනියට ඇහෙන දළදා තේවාවට කන් දීගෙන හිටපු මගේ අවධානය එක පාරට ම නැති වෙලා ගියේ, කන්බීරි කරවන තරම් හයියෙන් ගහපු වාහනයක නලා ශබ්දය නිස යි. මට ඉබේට ම ඒ පැත්ත බැලුණ. මැදිවියේ මනුස්සයෙක් අඩියට දෙකට පාර පැනගත්තෙ, ඒ වාහනයට යට වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි.. ඒත් එක්ක ම මට කලින් කියවල තිබුණු හරි ම අපූරු නිසදැසක් මතකයට නැඟුණා.

මේ කවිය ලියල තියෙන්නේ ජපන් ජාතික කවියෙක්. එතුමාගේ නම දයිසකු ඉකෙදා. ඇත්තට ම මෙවලම්වලින් නැඟෙන මේ මහා ඝෝෂාව මැදින් මටත් සිතුණ මුළු නුවරට ම ඇහෙන්න කෑ ගහල කියන්න, “ඒ උත්තරීතර මුනිවරයා වෙත ආපසු යන්න..!” කියල.

වර්තමානයේ අපි එතරම් ම මෙවලම්වලින් පිරුණු ලෝකයක හිරවෙලා… හිතා ගන්නත් බැරි තරම්..

ඔබ දන්නවා… සිඟිති සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකයට බිහි වුණේ අද වගේ පුන්පොහෝ දවසක. ඒ කොතැන දී ද කියල ඔබට මතක යි ද..? ලුම්බිණියේ මලින් බර වූ සාල රුක් සෙවණකදි. සිද්ධාර්ථ ගෞතම යොවුන් වීරයාණන් වහන්සේ, තුන් ලෝකයේ උත්තරීතර ම පදවිය වන සම්බුද්ධත්වයෙන් අභිෂේක ලැබුවෙ ත් අද වගේ දවසක. ඒ කොතැන දී ද කියලත් මතකයි නේ ද..? ගයාවේ ගංතෙරේ සිලි සිලි හඬින් බෝ පත් සැලෙන සොඳුරු ඇසතු වෘක්ෂයක් සෙවණෙදි. අපමණ ලෝ සතුනට සදා සැනසිලි සුව ලබා දුන් ඒ ආදරණීය ශාස්තෘන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළෙත් අද වගේ දවසක. ඒ කුසිනාරාවෙ අකලට පිපී මල් කඳුළු වගුරන යමා සල් රුක් සෙවණෙදි. බලන්න ලෝකයේ උතුම් ම මනුෂ්‍ය රත්නය මේ සොබා දහමත් සමඟ කෙතරම් විශ්මිත සබැඳියාවකින් යුතු වුණා ද කියා.

උන්වහන්සේගේ ජීවිතයේ බොහෝ වැදගත් සිදුවීම් සිදු වුණේ, සඳරැසින් බබළන එළිමහනේ. එක්කෝ සිහිලැල් සුවදෙන රුක් සෙවණේ. බොහෝ අවස්ථාවල භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවතට වැඩම කරල රුක්සෙවණක පණවන ලද අසුනේ වැඩ සිටිනවා. එහෙමත් නැත්නම්, සඳ බබළන රාත‍්‍රියේ සොඳුරු පොකුණු තීරයන්ගේ හෝ එළිමහනේ භික්ෂු සංඝයා පිරිවරා ගෙන වැඩ සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ විදියට සොබා දහම සමඟ නිහඬව ම වැඩ සිටියත්, ඒ වැඩ සිටීම පවා සොඳුරු ධර්ම දේශනාවක් වගේ වුණා. එය ඇත්තෙන් ම නිහඬව ම කියන බණක්.භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයිනුත් ඒ ශාස්තෘන් වහන්සේ අනුව යමින් ඇළ, දොළ, ගංගාවලින් පිරුණු මහා වනාන්තරවලට ප‍්‍රිය කළා. මතක ද එක් අවස්ථාවක බුදු සමිඳුන් මේ විදියට වදාළා.

සොබාදහම සමඟ එළිමහනේ ජීවත් වූ, ඒ පරම සුන්දර මුනිවරයාගේ දහම අපේ මිනිස්සුන්ගේ ජීවිතවලින් ඈත් වෙන්න පටන් අරගෙන දැන් බොහෝ කල් ගත වෙලා. එනිසා ම මිනිසුන් සොබා දහම වෙනුවට මෙවලම්වලට පෙම් බඳින්ට පටන් අරගෙන. රුක් සෙවන, එළි මහන වෙනුවට කොන්ක‍්‍රීට් කණු අතරේ, ගඩොල් බිත්ති අතරේ මුළු ජීවිතේ ම ගෙවා දාන මහ අවාසනාවන්ත ජීවන රටාවකට හුරුවෙලා. ඒ කොන්ක‍්‍රීට් ගොඩවල් ම, තමන්ගෙ ඔළු උඩට කොයි මොහොතේ කඩාගෙන වැටෙයි ද කියල මහා බයකින් ජීවත් වෙන්නත් සිද්ධවෙලා. එක්තරා විදියක සරදමක් වගෙයි.

කුරුළු කොබෙයියො සොබා දහමත් එක්ක ඒකාත්මික වෙලා නඟන සුමිහිරි නාදයන් වෙනුවට අද සවනතට වැකෙන්නෙ මහසද්දෙන් මෙවලම්වලට තඩිබාමින්, යටි ගිරියෙන් කෑ මොරදෙන ඩිජිටල් ගීත. සොබා දහම මවන සොඳුරු දසුන් වෙනුවට, මිනිස්සු පරිගණක, රූපවාහිනී යන්ත‍්‍ර ඉදිරියේ වරුගණන් හිඳගෙන, උමතුවෙන් වගේ විකෘති කාමයන් රස විඳිනවා. ඇත්තෙන් ම කියනා නම් මිනිස්සු යන්ත්‍රෝපකරණවල දාසයන් බවට පත් වෙලා… අපේ මුතුන් මිත්තන් මේ ගහ – කොළ, ඇළ – දොළ, ගංඟාවලට… ඉර – හඳ තාරුකාවලට දේවත්වයෙන් වැඳුම් පිදුම් කළ බවට අපේ ඉතිහාසය සාක්ෂි දරනව. ඒ නිසා ම ඔවුන් සොබා දහම දෙස බැලූවේ ගෞරවය මුසු හැඟීමකින්. ගහක අත්තක් කපන්නට පෙර පවා ඔවුන් දෙවතාවක් සිතුවා. ඇතැම් විට අවසරත් ගත්තා. ඒ දේවල් තුළින් සැබෑ සරණක් නො ලැබෙන බව සත්ත යි. නමුත් ඒ අව්‍යාජ වන්දනාවන් ලඝු කරල සලකන්නට හැකි වෙන්නේ සම්බුදු සමිඳුන්ගේ දහම වැනි අති පරමෝත්තම දහමක් හමුවේ පමණ ම යි. මුළු ලෝකය ම විනාශමුඛයට ඇද දමමින් ගොඩනඟන නවීන විද්‍යාව හමුවේ නම්, ඒ ඇදහීම් ඇත්තට ම ශ්‍රේෂ්ඨ යි. මොකද ඒ දේවල් තුළින් මේ ලෝකයට හානියක් වුණේ නැහැ. නමුත් බලන්න ගස් ගල්වලට වැඳපු අපේ ම උදවිය දිහා අවමානෙන් බලන නූතන මිනිසුන් විසින් තමන් ජීවත්වන ලෝකය ම කොයිතරම් දුරට විනාශ කරගෙන ද කියල.

ඔබ දන්නවා 2010 – 2011 වර්ෂයන් මිනිස් ඉතිහාසයේ ස්වභාවික විපත් අධිකව ම සිදු වූ වකවානුවක් බව. මේ යන රටාව තව දුරටත් නරකට පෙරළෙන අඳුරු සෙවණැලි මිසක, යහපත් වෙන බවක් නම් පෙනෙන්නට නැහැ. යම් විදියකින් අනාගතයේ නැවත මේ මිනිස් ලෝකයේ උපදින්නට සිදු වුණොත් කුමන ඉරණමකට මුහුණ දෙන්ට සිදුවෙයි ද කියා සිතාගන්නටවත් බැහැ. සුගති ලෝකයක් වන මේ මිනිස් ලෝකයත් මිනිසුන් විසින් ඒ තරමට ම විනාශ කරලා. දුගති ලෝකවල තිබෙන දුක ගැන කවර කථා ද..?

ඉතින් ඒ නිසා එළිමහනේ හුදෙකලාව ම වැඩ සිටි ඒ මුනිවරයා සොයා යන්නට තවත් ප‍්‍රමාදවෙන්න එපා. යන්න ඒ අපේ බුදුන් වෙත, අද ම යන්න…! දැන් දැන් ම…!

ඒත් කොහොම ද ඒ මුනිවරයා වෙත යන්නට පුළුවන් වෙන්නේ…? එය කළ හැකි දෙයක් ද..? ඇත්තෙන් ම එය කළ හැකි යි. ඒ සඳහා ඔබට මෙවලම් අතර සිර වූ ජීවිතය මදකට ඉන් මුදවා නිදහස් කරගන්නට සිදු වෙනවා. නුහුරු නිසා අපහසුවෙන් නමුත් නිහඬ බවේ ගීතයට සවන් පත් යොමු කරන්නට ඔබට සිදු වේවි. ඒ නිහඬභාවය තුළ හිඳිමින් බුදු සමිඳුන් පෙන්වා වදාළ දහම් මාවතේ අප‍්‍රමාදීව පියනඟන්නටත් සිදු වේවි.

ආර්ය මාර්ගය තුළ ගමන් කරමින්, යම් දිනෙක ඔබ ආර්ය න්‍යායය අවබෝධකර ගන්නවා ද, එදිනට නො සැලෙන සිත් ඇති ව, නිඟඩ බව ම ගීතයක් කොටගෙන වැඩසිටි ඒ උත්තරීතර මුනිවරයා ව දකින්නට ඔබට පුළුවන්… මතක ද උන්වහන්සේ වරක් මෙහෙම වදාළා..

“යමෙක් ධර්මය දකියි ද, ඔහු මා දකියි. යමෙක් මා දකියි ද ඔහු ධර්මය දකි යි.”
ඒ වගේ ම මෙහෙමත් වදාළා,
“යමෙක් පටිච්ච සමුප්පාදය දකියි ද ඔහු ධර්මය දකියි, යමෙක්ධර්මය දකියි ද ඔහු පටිච්ච සමුප්පාදය දකියි.”

මෙය තුන්කල් විනිවිදි, සනාතන වූ සත්‍යය ධර්මයක්. එනිසා ම යම් කලෙක, පටිච්ච සමුප්පාදය අවබෝධ කිරීම තුළින් යමෙක් ධර්මය දකිනවා ද, එකලට ඔහු බුදුරජුන් දකිනවා. ඒ අතීතයේ එළිමහනේ, රුක්සෙවනේ වැඩ සිටි ආශ්චර්යමත්, අභිමානවත්, අකම්පිත සිත් ඇති මහාමුනිවරයා ව ඔහු දකිනවා. මෙය රූප කාය දකිනවාය යනුවෙන් වරදවා ගන්නට එපා..! නමුත් බුදුරජුන් කියන්නේ කවුරුන් ද කියා ඔහු දහම තුළින් නිසැකව ම දකිනවා. ඉන් පසු කොතැනක දී වේවා, කුමන තත්වයක් යටතේ දී වේවා, මෙවලම්වලින් නැඟෙන අමිහිරි හඬ මැද්දේ වේවා, ඔහුට ඒ බුදු සමිඳුන් සමඟ කාලය ගත කරන්නට පුළුවනි. මන්ද, ධර්මය දුටු ආර්ය ශ‍්‍රාවකයා නිරන්තරයෙන් බුද්ධානුස්සතිය වඩමින් කල් ගතකරනවා. එකල ඔහුගේ සිත කෙලෙස් අවුස්සන මේ විෂම ලෝකයෙන් ලැබෙන පීඩාවන්ගෙන් මිදී, ශාන්තභාවයට පත් වෙනවා. ඉතින් ඔහු කල් ගත කරන්නේ අතීතයේ වැඩ සිටි ඒ අපේ බුදුන් සමඟ යි..!

අපි මේ මිනිස් ලෝකයේ ගත කරන්නේ ඉතා ම ටික කාලය යි. ඒ ටික කාලයත් ඩිජිටල් ලෝකයට, තාක්ෂණික මෙවලම්වලට පෙම් බඳින්නට ගොස් අපතේ දාගන්නට එපා..! එය අපි විසින් අපට ම සිදු කර ගන්නා මහා විපතක් ම යි. ඒ නිසා ලැබෙන සෑම මොහොතක් ම අපේ බුදු සමිඳුන් සමඟ කාලය ගත කරන්නට යොදා ගන්න. සෑම මොහොතක ම බුද්ධානුස්තිය වඩන්න…. ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩන්න. බුදු රජුන් යමක් වදාළා ද, එය ම සිදු කරන්නට උත්සාහ ගන්න. එවිට ඔබ ගස් සෙවණක සිටියත්, කොන්ක‍්‍රීට් ගොඩක් මැද සිරවී සිටියත්, ලොවේ කොතැනක සිටියත්, ඒ බුදු සමිඳුන් ඔබ ළඟ ම යි. ඔබ ඒ බුදුසමිඳුන් ළඟ ම යි.

දිව්‍යාංජලී සූරියබණ්ඩාර
මහාමේඝ වෙසක් කලාපයේ පළ වූ ලිපියකි..

දැදිගම ඇත් පහනේ භෞතික විද්‍යාත්මක පදනම ...
සාම්ප්‍රදායික කෙම් ක්‍රම ...
IFBC Home Page