මුතියංගණ චෛත්‍යරාජයන් වහන්සේ ( Muthiyangana Sthupa )

සොළොස්මස්ථානයන් අතරින් සත් වැනි ස්ථානය ලෙස නම් කර ඇත්තේ මුතියංගනය මහා සෑ රදුන් ය. එහෙත් එය පිළිබඳ වැඩි විස්තර වංශ කතාවල ඵල නොවී තිබීම ප්‍රශ්නකාරී වෙයි.

මෙම ස්ථානය පිහිටා ඇත්තේ ඌව පළාතේ බදුලු දිස්ත්‍රික්කයේ බදුල්ල නගර මධ්‍යයේ ය. මහාවංශය මෙය පිළිබඳ කතා නොකර යි. බෝධි වංශයේ ද එය එසේමය. ධාතු වංශයේ දී ද මුතියංගනය පිළිබඳව නො කියැ වෙයි. එහෙත් මෙම ඉතිහාස ග්‍රන්ථයන්ට වඩා පැරැණි වූ සමන්තපාසාදිකා වෙහි සදහන් වන්නේ මෙසේය. “සම්බුදුහු මෙදුවට ධරමාන කාලයෙ මැ තෙවරක් වැඩියහ. තෙවන වර පන්සියයක් මහණ පිරිවර ඇති වැ අවුත් මහා චෛත්‍යස්ථානයේ ද ථූපාරාම චෛත්‍ය ස්ථානයේ ද මහා බෝධි ප්‍රතිෂ්ඨිතස්ථානයේ ද මුතියංගන චෛත්‍යස්ථානයේ ද දීඝාවාපි චෛත්‍යස්ථානයේ ද කල්‍යාණී චෛත්‍යස්ථානයේ ද නිරෝධ සමාපත්තියට සමවැදී හුන් සේක”.

මේ අනුව මුතියංගන සෑ රදුන් පිහිටි ස්ථානයේ ද සම්බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි ස්ථානයක් ලෙස හඳුනා ගත හැකි වෙයි. සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේ දී මෙම ස්ථානයට වඩින විට මෙම ප්‍රදේශය ජනාවාසයක්ව පැවැති බව කියැ වෙයි. පෙර යක්‍ෂ ගෝත්‍රය විසූ බිම්තැනි ප්‍රදේශයටම අයත්ව තිබූ මුතියංගනය සම්බුදු දහමේ පහසින් ආලෝකය ලද පූජනීය වූ පුද බිමකි.

එසේම ලාංකේය බෞද්ධ ඉතිහාස කතාව පිරික්සීමේදී මව්බිමේ සද්ධාවන්ත බෞද්ධයින්ට විශේෂිත වූ පුදබිම් නිර්ණය කිරීමේ දී විහාරස්ථානයක වටිනාකම් තක්සේරු කිරීමට, එහි ඇති චෛත්‍යය, බෝධීන් වහන්සේ, විහාර මන්දිර ආදී අංගයන්ගේ ඉපැරණි බව ඒවායේ විශේෂතා, ආදිය ද සැළකිල්ලට භාජනය වෙයි. විහාරස්ථානයක, පුද බිමක, අෂ්ටඵල දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලා රෝපණය වී ඇතිනම් එම පුදබිමෙහි පූජනීයත්වය තව තවත් වර්ධනය වේ. ඓතිහාසික වටිනාකම ද වැඩිවේ.

මෙම මුතියංගන පුද බිමෙහි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇති බව කියැ වෙයි. ලංකාව පුරා ඇති විහාරස්ථාන අති බහුතරයක් අතර එවන් වූ ස්ථානයන් ඇත්තේ තිස් දෙකක් පමණක් වීම එහි ඇති විශේෂයයි.

බෞද්ධාගම, බෞද්ධ ආකල්ප, මෙම දිවයිනේ සතර දිග් භාගය පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි මෙසේ දෙතිස්ඵල රුහ බෝධීන් රෝපණය කර ඇත. ඉන් අපේක්‍ෂා කළේ බුද්ධාගම දීප ව්‍යාප්ත කිරීම ය. ඒ සඳහා සුවිශේෂී වූ පිවිතුරු බිම් තෝරාගෙන එයට රාජ්‍ය අනුග්‍රහය දැක්වීය.

මේ අනුව ක්‍රි.පූර්ව තුන්වන සියවසේ දී මෙහි සර්වඥ ධාතූන් නිධන්කර දේවානම්පියතිස්ස රජතුමා විසින් මුතියංගන මහා සෑය කළ බව ථූපවංශය ආදී වංශ කතා වලට අනුව සනාථ කරගත හැකි වෙයි. පසුව ජෙට්ඨතිස්ස රජතුමා එම ස්තූපය තවත් විශාල කර බන්ධවා ඇත. පසු කලෙක සතුරු ආක්‍රමණයන්ගෙන් විනාශ වීම් වලට විහාරස්ථානය බඳුන් වී තිබේ. එය දෙවන රාජසිංහ වැනි රජවරුන්ගේ අනුග්‍රහයෙන් අලුත්වැඩියා කළ බවද සඳහන් වෙයි.

මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටින බවටද විශ්වාසයක් පවතී. බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දිගැබ මෙයයි.

ජනප්‍රවාදයට අනුව මුතියංගන පුදබිම එ දවස රහතන් වහන්සේ වැඩ සිටි ස්ථානයක් බව විශ්වාස කෙරෙයි. බෞද්ධ ඉතිහාස කතාව හා දක්වන සම්බන්ධතාවය නිසා මුතියංගනය රජමහා විහාරය ලංකාවේ සිද්ධස්ථාන අතර ප්‍රධාන සිද්ධස්ථානයකි. ඌව පළාතේ විහාරස්ථානයන් අතර මෙය දෙවැනි වන්නේ මහියංගනයට පමණි. ගිරි මේඛලාවකින් වටවූ සොභාව සෞන්දර්යයෙන් සපිරි බදුලු පුරවරයේ සොඳුරු පරිසරය සැදැහැති ලකුණෙන් පහන් කරවීමට මේ ඓතිහාසික මුතියංගන මහා සෑ රදුන් සමන් වී සිටියි.

බුදුසරණ ඇසුරිණි

තිස්සමහාරාම සෑ රදුන් (Thissamaharama Sthupa)
දීඝවාපිය ( Deegawapiya)

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.