මිහිරි වදන් ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය කුටිකණ්ණ සෝණ මහා ශ්‍රාවකයන් වහන්සේ

සිද්ධාර්ථ බෝසතුන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත්ව බරණැස ඉසිපතනාරාමයට වැඩමවා ප්‍රථම ධර්ම දේශනාව දම්සක් පැවතුම් සූත්‍රය මාතෘකා කොට දේශනා කොට වදාළා. එදින ධර්ම ශ්‍රවණය කළ සාතාගිර නම් යක්‍ෂයා සෝවාන් භාවයට පත් වූ අතර තමාගේ යහළු හේමවත යක්‍ෂයාට බුදුරදුන් ලෝ පහළ වී ඇති බව පැවසීම සඳහා තම පිරිවර සමඟ පිටත්ව ගියා.
මේ කාලයේ ම හිමාලයෙහි අකාලයේ මල් පිපී ඇති බව දුටු හේමවත යක්‍ෂයා ද ඒ බව තම සාතාගිර නම් යහළුවාට දන්වා හිම ක්‍රීඩා කිරීමට ඔහු කැඳවාගෙන ඒම සඳහා පිටත්ව ආවා. ඒ දෙදෙන රජගහ නුවර කාලි නම් උපාසිකාවගේ නිවසෙහි ඉහළ අහසෙහි දී මුණ ගැසුණා. සාතාගිර බුදුරදුන් පිළිබඳවත්, ඇසූ දහම් පිළිබඳවත් විස්තර ප්‍රකාශ කොට අවසන් වත්ම හේමවත යක්‍ෂයා ද සෝවාන් භාවයට පත් වුණා. එදා ඒ යහළු යක්‍ෂයන් දෙදෙනා එක්ව කළ ධර්මය පිළිබඳ සාකච්ඡාව අසා සිටි කාලි නමැති පෙර පින් ඇති කාන්තාව සෝවාන් භාවයට පත්වීම විශේෂ සිදුවීමක්. අප ගෞතම බුද්ධ ශාසනයෙහි පළමුව සෝවාන් භාවයට පත්වූ කාන්තාව මේ කාලි උපාසිකාව යි.


ගැබිනියකව සිටි ඇය එදින රාත්‍රියෙහි බිහි කළ දරුවාට සෝණ යන නම තැබුවා. රජගහ නුවර දී මේ කුමරුවා බිහි වීමෙන් අනතුරුව මව සමඟ කලින් ජීවත් වූ කුරරඝර නම් නුවරට ගොස් ජීවත් වුණා. වයසින් වැඩෙත් ම කුඩා කුමරුවාගේ කණෙහි කෝටියක් වටිනා ආභරණයක් පැළඳවූ හෙයින් කූටිකණ්ණ යන නම ද එකතු කොට කූටිකණ්ණ සෝණ නමින් ප්‍රසිද්ධියට පත් වුණා.
මහා කච්චාන රහතන් වහන්සේ කුරරඝර නුවර අසළ තිබූ පවත්ත නම් පර්වතයෙහි වැඩ වාසය කළ අතර කාලි උවැසියගේ නිවසෙහි නිතර දානය වැළඳීමට පුරුදුව සිටියා. ටික කලෙකට පසු කූටිකණ්ණ සෝණ කුමරුවා තමන්ට පැවිදි වීමට අවශ්‍ය බව තෙරණුවන්ට දැන්වූවා. සිවුමැලි බැවින් කුමරුවන්ගේ ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්‍ෂේප කළ නමුත් නැවතත් ඉල්ලා සිටියෙන් පැවිදි කළා. මේ අවන්ති දේශයෙහි භික්‍ෂූන් අඩුවෙන් වැඩ සිටිය නිසා ඉතා අපහසුවෙන් දස නමක් සොයා ගෙන සෝණ හිමියන් උපසම්පදාවට ද පත් කළා.

සෝණ හිමියන් මහා කච්චාන තෙරුන් වෙතින් ධර්මය මනා කොට උගත්තා. එක් වප් කාලයක් අවසානයේ දී බුදුරදුන් දැකීමට තදබල කැමැත්තක් තමා තුළ ඇති හෙයින් එයට අවසර දෙන මෙන් මහා කච්චාන හිමියන්ගෙන් ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටියා. එයට අවසර දුන් උන් වහන්සේ තමා වෙනුවෙන් ද බුදුරදුන්ගේ පා නැමැඳ වර පහක් ඉල්ලාගෙන එන මෙන් සෝණ හිමියන්ට නියම කළා.
සාමණේර නමක් උපසම්පදා කිරීමට උපසපන් දස නමක් හෝ ඊට වැඩි ගණනක් අවශ්‍ය බව බුද්ධ නියමය යි. බුදුරදුන් වැඩ සිටි මධ්‍ය දේශයට එය එතරම් අපහසු වූවක් නොවේ. එහෙත් අවන්ති දේශය වැනි දුර බැහැර ප්‍රත්‍යන්ත දේශයන්හි භික්‍ෂූන් දස නමක් සොයා ගැනීම පහසු වූවක් නොවෙයි. මේ නිසා දස නමකට අඩු භික්‍ෂුණ් ගෙන් උපසම්පදා විනය කර්මය සිදු කිරීමට අවසර දීම පළමු වන වරය යි. දෙවැන්න වූයේ අධික වැසි කාලයෙහි ඇතිවන ගවයන්ගේ කුර සටහන් අධික ඌෂ්ණ කාලයෙහි වියළී තිබූම නිසා යාම් ඊම් අපහසු වූ නිසා අඩි සවිකළ පාවහන් දැමීමට අනුමැතිය දීමයි. භික්‍ෂූන්ට අවශ්‍ය පරිදි නිතර නෑමට අනුමැතිය දීම තුන්වැන්න වූ අතර සමින් කළ ඇතිරිලි පරිහරණය කිරීමට භික්‍ෂූන්ට අනුමැතිය ලබා දීම සිවුවැන්න යි. පස්වන වරය වූයේ දායකයන් විසින් නම නියම කොට භික්‍ෂූන්ට පරිත්‍යාග කොට එවන සිවුරු පිළිගැනීමට අනුමැතිය දීමයි.

කූටිකණ්ණ සෝණ හිමියන් ආචාර්යන් වහන්සේ ගෙන් අවසර ගෙන සැවැත්නුවර ජේතවනාරාමයට වැඩමවා බුදුරදුන් හමුව වැඳ අවසර ගත්තා. ඒ සෝණ තෙරුන්ට බුදුරදුන් වැඩ සිටි විහාරයෙහිම රාත්‍රිය ගත කිරීම සඳහා ආනන්ද හිමියන් ලවා සෙනසුනක් පිළියෙල කොට භාර කළා. ඉතා අලුයම පිබිදුණු බුදුරදුන් කූටිකණ්ණ සෝණ හිමියන් අමතා ධර්මයක් දේශනා කරන මෙන් නියම කළා. කිසිදු පැකිලීමක් නැතිව සෝණ හිමියන් ඉතා මිහිරි හඬින් ධර්මය දේශනා කරන කොට අවසන් වීමත් සමග බුදුරදුන් සාධු නාද පැවැත්වූවා. එයින් නොනැවතුන උන් වහන්සේ ඔබේ ධර්ම දේශනාව හරි මිහිරියි. වදන් වැල මනාව ඉදිරිපත් කළා. අර්ථය ඉතා පැහැදිලි වන අන්දමට ධර්මය දේශනා කළ බව පෙන්වා දී දැන් උපසම්පදාවට පත්ව කොපමණ කලක් ගතවූයේ දැයි ප්‍රශ්න කළා. ස්වාමීනි එක අවුරුද්දයි යනුවෙන් සෝණ හිමියන් පිළිතුරු දුන්නා. මෙපමණ අඩු කාලයකින් උසස් පුහුණුවක් ලැබූයේ කෙසේදැයි බුදුරදුන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සෝණ හිමියන් කම් සැපයේ ආදීනව තමා අවබෝධ කර ගත් නිසා බව සඳහන් කළා. නැවතත් තම බලවත් ප්‍රීතිය ප්‍රකාශ කළ බුදුරදුන් උන් වහන්සේට ප්‍රශංසා කළා.

සෝණ හිමියන් නැවතත් තම ගුරු හිමියන් වෙනුවෙන් බුදුරදුන්ගේ පා වැඳ මහා කච්චාන හිමියන් ඉල්ලූ වර පහ බුදුරදුන්ට ගෞරවයෙන් ඉදිරිපත් කොට ඒ සඳහා අවසරය ලබා ගැනීම ශාසන ඉතිහාසයෙහි ඉතා වැදගත් සිදු වීමක්. තම මෑණියන් විසින් ගඳ කිලියේ ඇතිරීමට දෙන ලද කම්බිලිය බුදුරදුන්ට පුදා අවසර ගෙන ආපසු වැඩමවා තම ගුරු හිමියන්ට හා මවට සියලු තොරතුරු දැනුම් දුන්නා. මහත් සතුටට පත් මව තම පුත් සෝණ හිමියන් ලවා ධර්මය දේශනා කරවා ගෙන අවසානයෙහි සතුටින් සාදුකාර දුන්නා. පසු අවස්ථාවක සිවුවණක් පිරිස හමුවේ දී මගේ ශ්‍රාවකයන් අතර මිහිරි වදන් ඇති භික්‍ෂූන්ගෙන් කූටිකණ්ණ සෝණ හිමියන් අග්‍ර වන්නේ යැයි උන්වහන්සේට අග තනතුරු දී වදාළා.

ප්‍රත්‍ය ලාභයෙන් අග්‍ර වූ සීවලී මහ රහතන් වහන්සේ ...
පරිපූර්ණ වීර්යය ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය (කෝළි විස ) සෝණ මහරහතන් වහන්සේ
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.