Skip to main content

මිහිරි කටහඩ ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරූ ලකුණ්ටක භද්දිය රහතන් වහන්සේ …

මෙයින් කල්ප ලක්ෂයකට පෙර, ‘පදුමුත්තර’ බුදුන් සමයෙහි ‘ලකුණ්ටක භද්දිය’ තෙරුන් වහන්සේ එක්තරා ධනවත් කුල ගෙයක ඉපිද සිටියේ ය. බොහෝ සැප සම්පත් වලින් ආඪ්‍යව වැඩුණු මේ කුමාරයාණන් එක් දිනක බණ ඇසීමට යන අනෙක් ජනතාව සමඟ බුදු හිමියන් හමුවට ගොස් බණ ඇසුවේ ය. එම අවස්ථාවේ පදුමුත්තර බුදු හිමියෝ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට මිහිරි හඬ තිබෙන භික්ෂූන් වහන්සේලා අතුරෙන් අග තනතුර ප්‍රදානය කළ සේක. එම සිදුවීම දුටු තමන් ද එවැනි තනතුරක් ලබමි’යි අදිටන් කර ගත්තේ ය.

ධර්ම ශ්‍රවණයෙන් පසු බුදුපාමොක් මහ සඟනට පසු දින නිවසෙහි දානය සඳහා ඇරයුම් කළේ ය. එදින සිට සත් දිනක් මුළුල්ලේ බුදුපාමොක් මහ සඟනට මහ දන් දුන්හ. සත්වන දින බුදු හිමියන් ඉදිරියට ගොස් තම ප්‍රාර්ථනාව ඉදිරිපත් කළේ ය. පදුමුත්තර බුදු රජාණන් වහන්සේ අනාගතයෙහි බුදු බව ලබන ගෞතම නම් බුදු හිමියන්ගේ කාලයෙහි ඔහුගේ එම පැතුම ඉටුවන බව වදාරා විවරණ දුන් සේක.

එතැන් සිට ජීවිතාන්තය දක්වා බොහෝ පිංකම් කොට, මිය ගොස් දෙවි මිනිස් දෙගතියෙහි ඉපැදෙමින් සසර සැරිසරා මෙයින් කල්ප අනූ එකකට පෙර, ‘විපස්සී’ නම් බුදුන් සමයෙහි ‘චිත්‍රපත්‍ර’ නම් කොවුලෙක් ව ඉපැදි සිටියේ ය. ‘ඛෙම’ නම් වනයෙහි වෙසෙමින් එක් දිනක තම පැටවුන් සඳහා මිහිරි අඹ ගෙඩියක් ගෙන එමින් සිටියේ ය. හිමාලය වනාන්තරයෙහි සිට එම මිහිරි අඹ ගෙඩිය ගෙන එන විට, ‘විපස්සී’ බුදු හිමියන් භික්ෂූන් වහන්සේලා පිරිවරා මහ මග වඩිනු දැකීමෙන් පසු එම මිහිරි අඹ ගෙඩිය උන් වහන්සේට පූජා කළේ ය. බුදු රජාණන් වහන්සේ එම මිහිරි අඹ ගෙඩිය වළඳන අයුරු බලා සතුටින් ඉපිල ගියේ ය. පසුව එම කොවුලා ද කොවුල් ආත්මයෙන් මිය ගොස් දෙවි මිනිස් ආදී උසස් ආත්ම වල ඉපිද, ‘කාශ්‍යප’ නම් බුදු හිමියන්ගේ කාලයෙහි ඉපැදි දක්ෂ වඩු කාර්මිකයකු වශයෙන් කටයුතු කළේ ය.

එම කාශ්‍යප බුදු හිමියන් ද පිරිණිවන් පෑ පසු, ජනතාව සමඟ එක්ව, උන් වහන්සේ ගේ ශ්‍රී සාරීරික ධාතූන් වහන්සේලා තැන්පත් කොට ස්ථූපයක් ගොඩ නැඟීමට තීරණය කැර ගත්හ. බොහෝ දෙනා එක් එක් ප්‍රමාණයෙන් චෛත්‍ය ඉදිකිරීමට යෝජනා කළ අතර, ඉතා කුඩා ප්‍රමාණයෙන් චෛත්‍ය ඉදිකිරීමට යෝජනා කරන ලද්දේ ඉහත සඳහන් ශිල්පියා විසිනි. ඔහුගේ එම යෝජනාවට අනුව ඉතා කුඩා ප්‍රමාණයට චෛත්‍යය ඉදි කරන ලදී. හෙතෙම එම ආත්මයෙන් මිය පරලොව ගොස් ආත්ම ගණනාවකට පසු අප ගෞතම බුදුන් සමයෙහි සැවැත් නුවර ඉතා ධනවත් පවුලක උපන්නේ ය. ඔහු ගේ නම ‘භද්දිය’ විය. ඔහු බුදු හිමියන් වෙත ගොස් බණ අසා සිත පහදවා ගෙන පැවිදි භාවය ද ලබා ගත්තේ ය. අනුරුද්ධ, භගූ, ආදී කුමාර වරුන් සමඟ ගොස් පැවිදි වූවේ මෙම භද්දිය කුමාරයා නොවේ.

මෙසේ පැවිදි බව ලැබූ භද්දිය තෙරුන් වහන්සේගේ කට හඬ ඉතා මිහිරි විය. විපස්සී බුදුන් සමයෙහි කොවුලෙක් වශයෙන් ඉපිද සිටියදී මිහිරි අඹ ගෙඩියක් බුදු හිමියන්ට පූජා කළ නිසා, උන් වහන්සේ මිහිරි කට හඬක් ලැබුවේ ය. කාශ්‍යප බුදුන් සමයෙහි ස්ථූපය ඉතා කුඩා ප්‍රමාණයෙන් ඉදි කිරීමට යෝජනා කරමින් එයට හවුල්වූ බැවින් මිටි සිරුරක් ඇති අයෙකු වශයෙන් ඉැපදුණි. එසේ මිටි සිරුරක් තිබෙන නිසාත්, භද්දිය නමින් තවත් රහතන් වහන්සේලා වැඩ සිටි නිසාත් මුන් වහන්සේ ලකුණ්ටක භද්දිය’ නමින් ප්‍රසිද්ධ වූහ.

පැවිදි බව ලබා නොබෝ කලෙකින් විදසුන් වඩා රහත් භාවයට පත් වූහ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි දිනක් භික්ෂූන් වහන්සේලා අමතා, “ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං මධුරස්සරානං යදිදං ලකුණ්ටක භද්දියො” යනුවෙන් “මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතරින් මිහිරි කට හඬක් ඇත්තේ ලකුණ්ටක භද්දිය තෙමේය”යි වදාරා උන් වහන්සේට අග තනතුර දුන් සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.