මියගියවුන් හට පින් දීම ... - IFBC Organization | Dhamma

බුදුරජාණන් වහන්සේ බුදු වූ පළමු අවුරුද්දෙහි ම තමන් වූ පෙ‍ාරොන්දුවෙන් මිදෙනු සඳහා රජගහ නුවරට වැඩම කළ හ. එහි දී බණ අසා බිම්බිසාර රජු ප්‍රමුඛ බොහෝ දෙනා සෝවාන් වැ තෙරුවන් සරණ ගිය හ. වේළුවන නම් රජ උයන ද බුදු පාමොක් මහ සඟනට පිදී ය‍. බුදුරජාණන් වහන්සේ එහි වැඩ වෙසෙන සඳ බිමිබිසාර රජු ගේ ඥාති ප්‍රේතයනට පින් දෙන්නට ය යි නියම කළ හ. මෙය මියගියවුන් හට පින් දීමේ ආරම්භය යි.

මේ පින් දීම පිළිබඳ වැ මෙ කල බොහෝ දෙනා තුළ නොයෙක් විමති ඇති බව ඉතා ප්‍රකට ය. මේ පින් යන්නේ කවර ම‍ෙඟකින් ද? පින් ලැබෙන්නේ කෙසේ ද ආදී නොයෙක් ප්‍රශ්න නඟන්නෝ ඉතා බහුල ය. එසේ ප්‍රශ්න කිරීම ඉතා මැනැවි. අන්ධ විශ්වාසය බුද්ධධර්මයට නො ගැළැපෙයි. සැකය බුදුරජාණන් වහන්සේ ගෙන් බොහෝ නින්දා ලැබුවකි. සැක නැති කැරගත හැක්කේ ප්‍රශ්න කොට දැනුම පිරිසුදු කැරගැනීමෙනි. බුද්ධාගමයෙහි “දේව රහස්” නැත. කවර කරුණක් පිළිබඳ වැ හෝ ප්‍රශ්න කිරීමට කිසි ම බාධාවක් නැත. ප්‍රශ්න කිරීමේ නිදහස ලෝකයාට දුන් මහෝත්තමයාණෝ බුදුජාණන් වහන්සේ ය. එය කාලාම සූත්‍රාදියෙන් මැනවින් පැහැදිළි වෙයි. දැනීම පිරිසිදු කැරගැනීමට ප්‍රශ්න කරන්නවුන් හට ප්‍රශංසා කළ බුදුරජාණන් වහන්සේ ගෙන් අති පණ්ඩිතකමට ප්‍රශ්න කරන්නවුන් හට බොහෝ නින්දා ද ලැබිණ.

බොහෝ ආගම් භක්තියට – විශ්වාසයට මුල් තැන දෙතත් බුද්ධාගමයෙහි මුල් තැන ලැබෙන්නේ ප්‍රඥාවට ය. “පඤ්ඤාය පරිසුඡ්ඣති” යන බුද්ධ වචනයෙන් එය පැහැදිළි වෙයි. බුද්ධාගමයෙහි පින්කම් උසස් වන්නේ නුවණින් විමසා බලා කරුණු දැනැගෙන කළ පමණට ම ය. බොහෝ ආගම් පිටතින් බලන විට ලස්සන ය, රසවත් ය; කරුණු වශයෙන් විමසා බලන විට නම් නීරස ය. බුද්ධාගමය පිටතින් බලන විට කර්කෂ ය, දුෂ්කර ය; කරුණු වශයෙන් නුවණින් විමසා බලන විට ඉතා රසවත් ය, ප්‍රඥාගොචර ය.

මියගියවුන් හට පින් දීම වැනි ක්‍රියා ද පිටතින් බලන විට නිරර්ථක ලෙස පෙනෙන්නට පිළිවන. එහෙත් කරුණු හොඳින් විමසා බලන විට කොතරම් ක්‍රමවත් ද, අර්ථවත් ද, ප්‍රඥාගොචර ද යනු වැටැහෙවුවා ඇත. එහෙයින් මියගියවුන් හට පින් දීම ගැන ප්‍රශ්න කිරීම ඉතා මැනැවි.

බුදුරජාණන් වහන්සේ මෙය නියම කළ කාලයෙහි ද ජාණුස්සොනි නම් බ්‍රාහ්මණයා මෙබඳු ප්‍රශ්නයක් උන් වහන්සේ ගෙන් විමසූ විට එය ඉතා මැනැවින් පැහැදිළි කැර දුන් හ. එය ඉතා ක්‍රමවත් වුව ද කරුණු සහිත වැ ස්ඵුට කිරීම එ තරම් පහසු නො වීය. එහෙත් මෑතක දී ඇති වූ නවීන විද්‍යාත්මක නිපැදවීම් නිසා එය ලෙහෙසියෙන් ඔප්පු කළ හැකි ය.

ජාණුස්සොනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස්, “ස්වාමීනි, මියගියවුන් හට පින් දුන් විට එය ලැබෙන්නේ කෙසේ ද? කවුරුන් හට දැ” යි ඇසී ය. උන් වහන්සේ ගේ පිළිතුර වූයේ යමකු පින් දෙනුවා නම්, අනෙක් තැනැත්තා එය පිළිගන්නට ද බලාපොරොත්තුවෙන් සිටිනුවා නම් එය ලැබෙන බව ය. දීමත් ගන්නට බලාපොරොත්තු වීමත් මෙහි ලා ඉතා අවශ්‍ය කරුණු දෙක බව මෙයින් පැහැදිළි ය.

පින් අනුමෝදන් නොවන්නෝ

යමකු මැරීගොස් මනුෂ්‍ය ලෝකයෙහි උපන්නා නම් ඔහුට පින් ලැබෙන්නේ නැත, බලාපොරොත්තුවක් නැති හෙයිනි. මිනිස් ලොවැ උපන් අප කවුරුන් වත් ගිය ජාතියේ අපේ නෑයෝ කවරහු දැ යි නොදන්නා හෙයින් ඔවුන් ගැන බලාපොරොත්තුවක් නැත‍.

යමකු තිරිසන් ජාතියෙහි උපන හොත් ඔහුට ද පින් ලැබෙන්නේ නැත. බෝසත් තිරිසනකුට හැර සාමාන්‍ය තිරිසනුන් හට ගිය ජාතිය ගැන තබා මේ ජාතිය ගැන වත් හැඟීමක් නැති හෙ‍යිනි, නරකයෙහි උපන්නහුට ද බලාපොරොත්තුවක් නැති නිසා පින් ලැබෙන්නේ නැත. නානා වීධ ප්‍රෙ‍්තයන් අතර පරදත්තූපජීවී නම් ප්‍රේත නිකායක් වෙයි. ඔවුහු හැම විට ම පින් බලාපොරොත්තු වෙති. එහෙයින් ඔවුනට නම් නො වරදවා ම ලැබෙයි.

දෙවියන් අතර උපන හොත් බලාපොරොත්තුවෙන් සිටිය හොත් පින් ලබාගත හැකි වෙයි. දෙවියන් අතර උපදින බොහෝ දෙනාට අධිකතර සම්පත් නිසා මේ ලොවත් නෑදෑ හිතවත්තුන් අමතක වෙති. ඉදින් බලාපොරොත්තු වුව හොත් ලබාගත හැකි ය.

මේ කරුණුවලින් පැහැදිළි වන්නේ නො වරදවා ම පින් ලැබෙන තැන ප්‍රේතලො‍්කය බව යි. මේ නිසා වැදගත් ප්‍රශ්නයක් උපදියි. මියගිය තැනැත්තා කොහේ උපන්නා දැ යි නොදනිතත් පින්පෙත් පමුණුවන්නේ මැරෙන තාක් දෙනා ප්‍රේතයන් වන නිසා ද? පිළිතුර, ‘නැත’ යනු යි. කර්ම විපාකඥානය බුද්ධ ඥානයෙකි. එ හෙයින් පෘථග්ජනයකු ගේ ඊ ළඟ උප්පත්තිය කෙබඳු දැ යි කාට වත් කිව නොහැකි ය. දිවැස් ඇතියකුට වුව ද කිවහැක්කේ උපන්නාට පසු වැ ය. කෙනෙකු ගේ ලබන උප්පත්තිය සිදු කැරෙන ජනක කර්මය කුමක් දැ යි නියම කොට කීමට රහතන් වහන්සේ නමකට වත් නොහැකි ය. ඉදින් යම් අකුශල කර්මයෙක විපාකයෙකින් ප්‍රෙ‍්තලෝකයෙහි උපත හොත් එයිනුදු මුදවන මහා කරුණාව නිසා උපන් තැන නොදනිතත් පින් දීම සිරිත ය.

තව ද ප්‍රශ්නයෙකි. ඉදින් බලාපොරොත්තු වන තැනැත්තා පෙ‍‍‍්‍ර‍්ත ලො‍්කයෙහි නූපන්නා නම් පිනට වන්නේ කුමක් ද? අපතේ යනවා ද? ඊට පිළිතුර, ‘නැත’ යනු යි. තමන් අදහස් කරන තැනැත්තා ප්‍රේත ලො‍්කයෙහි නැතත් තමන් ගෙන් එබඳු පින්කමක් බලාපොරොත්තුවෙන් ඉන්නා නොයෙක් දෙනා ඒ අතර සිටිය හැකි ය. සමහර විට පෙර ජාතිවල නෑ සබඳකම් ඇතියන් ද සිටිය හැකි ය. බිම්බිසාර රජතුමන් ගේ ඥාති ප්‍රේතයන් කල්ප ගණනක් මුළුල්ලේ පින් බලාපොරොත්තුවෙන් සිටි බව සිහි කළ යුතු ය, එහෙයින් තමන් අදහස් කරන නෑයා, නැත හොත් වෙන නෑයකු හෝ ඒ පින අනුමො‍්දන් වී සුවපත් වෙනුවා ඇත.

තව ද ප්‍රශ්නයෙකි. තමන් ගේ නෑයා ප්‍රේත ලෝකයෙහි උපන්නා නම් දුන් පින අනුමෝදන් වී සුවපත් වනුවා ඇත. එසේ නම් එක් වරක් පින් දුන්නාම ප්‍රමාණවත් නොවේ ද? නැවැත නැවැතත් පින් දීමේ අදහස කුමක් ද? ඉතා වැදගත් ප්‍රශ්නයෙකි. කෙසේ හෝ ඒ පින නෑයාට පමුණුවා ඔහු සුවපත් කරන අදහසින් එසේ කරති. තමන් ගේ නෑයා ප්‍රේත ලො‍්කයෙහි උපන්නා, පින් ගන්නට බලාපොරොත්තුවෙන් සිටියා, එහෙත් ඔහු එහි උපන් ජනක කර්මය බලවත් නම්, තව කලක් එහි දුක් විඳීමට සුදුසු වැ උපන්නා නම්, ඔහුට පින් දෙන වෙලාව අමතක වෙයි. එසේ අමතක වුවොත් නැවැත පින් දෙන තුරු ඔහුට එය ලබාගත නොහැකි ය‍. ඉදින් කර්ම බලත්වය නිසා මුල් වර අමතක වුවොත් දෙවැනි වර හෝ එසේත් නොහැකි වුවොත් තුන් වැනි සතර වැනි වර හෝ පින ලබාගන්නට හැකි වනු සඳහා නැවැත නැවැතත් පින් දෙති.

විද්‍යාත්මක සාධකයක්

දැන් මේ ක්‍රමවත් පිළිවෙළ ඔප්පු කිරීමට නවීන විද්‍යාත්මක නිපදවීමක් වන ගුවන් විදුලිය යන්ත්‍රය ගෙන බලමු. ගුවන් විදුලිය ප්‍රචාරක ස්ථානයෙන් ශබ්දය නිකුත්‍ කොට දීමත් එය ලබාගැනීමට යන්ත්‍රය සූදානම් කැරගෙන බලාපොරොත්තු වීමත් යන දෙ කරුණ සම්පූර්ණ වූ විට කවර ම‍‍ෙඟකින් හෝ ගොසින් ශබ්දය ඇසෙනුවා නොවේ ද? එය අපට මහ පුදුමයෙකි. මඟක් පෙනෙන්නට නැත. කම්බියක් නැත. ශබ්දය යන්නේ කෙසේ ද? එය ලැබෙන්නේ කෙසේ දැ යි අපට නොයෙක් විමති පහළ විය හැකි ය. මේ විද්‍යාව සොයාගත් මාර්කෝනි තුමාට මේ ශබ්දය යන මඟ පිළිබඳ සැකයක් තුබුණා ද? ඒ විද්‍යාව උසස් ලෙස ඉගෙනගත් මෙ කල උගතුනට හෝ සැකයක් තිබෙනවා ද? ඇත්තෙන් ම නැත. ශබ්දය ලැබෙන ක්‍රමය ඔවුන් දන්නා හෙයිනි. එසේ ම පින් ලැබෙන ක්‍රමය ද සර්වඥයන් වහන්සේ දුට හ. ඊට සමාන රහත් මඟ නුවණ ලබාගත් උතුමෝ ද එය දුට හ. මෙකල වුව ද දිවැස් නුවණැතියෝ එය දනිති. ප්‍රචාරක ස්ථානයෙන් යම් බඳු ශබ්දයක් නිකුත් කළා ද ඊට සමාන වූ ශබ්දයක් එය ලබාගන්නට සූදානම් කැරගෙන සිටි යන්ත්‍රයෙහි උපදී. චිත්ත වේගය විදුලි වේගයට වඩා බලවත් ය. එහෙයින් කෙනෙකු ඇති කැරගත් චිත්තය අසුවලුන් හට ලැබේවා යි නිකුත් කළ විට එය ගන්නට බලාපොරොත්තු වූ තැනැත්තා තුළ ද සාදු! සාදු!! කියා එය අනුමෝදන් වීමෙන් ඒ අනුවැ කුසල් සිත් පහළ වෙයි. එයින් ඔහුට සැප ලැබෙයි.

බලාපොරොත්තු නැති තැනැත්තාට පින් ලැබෙන්නේ නැත යනු ද ප්‍රකාශ විය. කෙනෙක් ප්‍රචාරක ස්ථානයට ගොස් අසුවලුන් හට ඇසේවා යි ඉතා ඕනෑකමින් කථා කළ හ. ඒ ශබ්දය නිකුත් වී ද ගියේ ය. එහෙත් බලාපොරොත්තු වන තැනැත්තාට ගුවන් විදුලිය යන්ත්‍රයක් නැත් නම්, එසේ ම තුබුණත් එය බාර ගැනීමට යන්ත්‍රය සූදානම් කැරගෙන නොසිටියා නම් ඇසෙනුවා ද? කිසි සේත් නො ඇසෙයි. එමෙන් ම කොතරම් ඕනෑකමකින් පින් දුන්නත් අදහස් කරන්නා පින් ලබා ගත නොහැකි උප්පත්තියක් ලැබුවා නම් ලබාගතහැකි තැනෙක වුවද බලාපොරොත්තුවක් නැති වැ සිටියා නම් පින ලැබෙනුවා ද? නො ලැබේ ම ය.

ඊ ළඟ ප්‍රශ්නය, බලාපොරොත්තු තැනැත්තා නැත් නම් පින අපතේ යනුවා ද යන්න යි. ප්‍රචාරක ස්ථානයට ගොස් අසුවලුන් හට ඇසේ වා යි කථා කළ විට අදහස් කරන තැනැත්තා නො ඇසූ පමණින් ඒ ශබ්දය අපතේ යනුවා ද? නැත. එ බඳු ශබ්දයක් එන තුරු තව නොයෙක් දෙනා යන්ත්‍ර සූදානම් කැරගෙන සිටින්නට පිළිවන. ඔවුන් ඒ ශබ්දය අසා ඉන් ප්‍රයෝජන ලබනුවා ඇත. එසේ ම පිනක් ලැබෙන තුරු බලා සිටින වෙන කෙනෙක් හෝ ඒ පින අනුමෝදන් වී සැපයට පැමිණෙයි. යමකු මෙයින් ලෝකය‍ාට යහපතක් ම වේවා යි සිතා වචනයක් හෝ කටින් පිට කළ විට අනෙක් අය ඇසුවත් නො ඇසුවත් ඔහුට යහපත් සිත පහළ වෙයි, දැනුම දියුණු වෙයි, එසේ ම ‘මින් වැඩක් වේවා’යි කරුණා සිතින් පින් දුන් විට එය අනෙක් අය ලැබුවත්, නොලැබුවත් ඔහු තුළ කුසල් සිත් පහළ වෙයි. එයින් පින වැඩි වෙයි.

ඊළඟ ප්‍රශ්නය, නැවැතත් පින් දීමේ අදහස කුමක් ද? යන්න යි. අවශ්‍යයෙන් දිය යුතු හෙයිනි යනු පිළිතුර යි. මහාජනයා විසින් නො වරදවා ම ඇසිය යුතු රජයේ හෝ සමාජයේ හෝ නිවේදනයක් වුවොත් ගුවන් විදුලිය මඟින් දෙ තුන් වර ප්‍රචාරය කිරීම සිරිත ය. සමහර විට දහ පහළොස් වර ද ප්‍රචාරය කැරේ. ගුවන් විදුලිය යන්ත්‍රයක් ද ඇත්තේ ය, එයින් නිවේදන ප්‍රචාරය වන වේලාව ද දනිති, එය අසන්නට ද බල‍ාපොරොත්තුවෙන් සිටියි. එහෙත් කටයුතු බහුල වුවොත් වේලාව අමතක විය හැකි ය. එසේ අමතක වුවොත් නැවැත ප්‍රචාරය වන තුරු නො ඇසිය හැකි වෙයි. පළමු වර නො ඇසුව හොත් දෙ වැනි තුන් වැනි වර හෝ දහ පහළොස් වැනි වර හෝ ඇසිය හැකි වන පරිදි ඒ නිවේදනය නැවැත නැවැතත් ප්‍රචාරය කැරේ. එ මෙන් ම මියගිය තැනැත්තා පින් ලබා ගත හැකි තැනෙක උපදියි; පින් දෙන බව ද දනියි; එය ගන්නට ද බලාපොරොත්තු වෙයි; එහෙත් ඔහු එහි උපන් කර්මය බලවත් නම් ඒ වේලාව අමතක වී යයි. එසේ අමතක වුවොත් නැවැත දෙන තුරු පින් නො ලැබිය හැකි වෙයි. ජනක කර්මයේ බලවත් කම නිසා පළමු වර අමතක වී පින නොලැබුවා නම් දෙවැනි තුන් වැනි වර හෝ දහ පහළොස් වැනි වර හෝ ලැබිය හැකි වන පරිදි නැවැත නැවැතත් පින් දෙයි.

බොදු පිළිවෙතට නොගැළැපෙන සිරිත්

මේ නයින් සලකා බලන විට බුද්ධාගමයෙහි සඳහන් වන මළවුන් සිහි කිරීමේ ක්‍රමය හෙවත් මියගියවුන් හට පින් දීමේ පිළිවෙළ කොතරම් ක්‍රමවත් ද, අර්ථවත් ද, ප්‍රඥාගොචර දැ යි කාටත් වැටැහෙනුවා ඇත. මළවුන් සඳහා හැඬීම, ශෝක වීම, සොහොනට ගොස් පහන් දැල්වීම, මල් වඩම් තැබීම බුදුරජාණන් වහන්සේ අනුමත නො කළ සේක. හැඬීමෙන් ශෝක වීමෙන් පහළ වන්නේ අකුසල් සිත් ය. එයින් තමන් හට වත් අනුන් හට වත් යහපතක් නොවනුවා පමණක් නො වැ, තමනට අකුසල් ද සිදු වෙයි. ඒ මොහොතට හෝ තමන් ගුණයෙන් පිරිහෙයි. සිදුහත් කුමරු උපන් දා රජ ගෙදරට පැමිණි ධ්‍යානලාභී කාලදේවල තවුසාණෝ කුමරුගේ අනාගතය බලා සිනා සී දෙ වනු වැ හැඬූ හ. ඒ හැඬූ මොහොතෙහි උපන් අකුසල් සිත් නිසා ඔහු උත්තර මනුෂ්‍ය ගුණයක් වන ධ්‍යානයෙන් පවා ඒ මොහොතට හෝ පිරිහුණු හැටි සිහි කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේ මියගියවුන් හට පින් දෙන්නට ය යි නියම කළා විනා තුන් වැනි දින, හත් වැනි දින, අට වැනි දින ආදී වශයෙන් දින නියමයක් නො කළ හ. එය උන් වහන්සේට පෙර පටන් මළවුන් සිහි කිරීමට පැවැති චාරිත්‍රයෙකි. බෞද්ධයනට ද මේ චාරිත්‍රය අනුගමනය කිරීමට ප්‍රධාන කරුණු දෙකක් අරමුණු කැරගත හැකි විය. සමහර විට ඉතා හොඳින් සිටි අය පවා අන්තිම මොහොතෙහි නරක සිත් පහළ වීමෙන් දුගතියෙහි උපන් බව පෙනෙයි. එහෙත් එ බන්දෝ වැඩි කල් එ බඳු තැන්වල දුක් නො විඳිති. ඔවුන් හත් ද‍ිනෙන් අට දිනෙන් එයින් මිදී සුගතියෙහි උපන් බව කථා ප්‍රවෘත්තිවලින් පෙනෙයි. එ හෙයින් එබඳු අය පවා එසේ මිදෙන විට මේ පින ද පමුණුවා අධිකතර සම්පත්තියට පමුණුවනු සඳහා හත් දිනෙන් අට දිනෙන් පින් පමුණුවති. එසේ ම මෙසේ දින නියමයක් තිබෙන විට පින් ලබන අයට එක්තරා පහසුක් වෙයි. අපේ නෑයන් අපට පින් දෙන්නේ අසුවල් දිනවල යයි සිතා දිනය නොවරදින ලෙසට බලාපොරොත්තු විය හැකි වෙයි.

මෙසේ කරුණු වශයෙන් සලකා බලන විට දින නියමයේ චාරිත්‍රය හළ යුතු නොවේ. එසේ ම දිනයට වහල් විය යුතු ද නො වේ. බුද්ධාගමයෙහි පින්කම් උසස් වන්නේ කරන අයගේ සිත්වල ශ්‍රද්ධා ප්‍රඥාදී ශෝභන චෛතසිකයන් ගේ පමණට විනා දිනයෙන් වත් බාහිර අලංකාරයෙන් වත් නො වේ. සමහර පින්වත්හු බුද්ධාගමයෙහි පින්කම්වල නියම තත්ත්වය නොසැලැකීම නිසා මියගියවුන් හට පින් දීමේ දිනය පිළිබඳ නොයෙක් අසතුටු අමනාප හදාගන්නා බව පෙනෙයි. ඇතැම් විට කලින් බාරගත් පන්සලේ වෙන කටයුතු නිසා හෝ එ කී දිනට පින්කම බාර නො ගත හොත් ස්වාමීන් වහන්සේ සමඟ ද අමනාප වෙති, දායක කම් ද අත් හරිති. එය ඉතා නො මැනවි. නිවැරැදි චාරිත්‍ර නො හළ යුතු බැවින් එකී පින් දීම නියමිත දිනයට පිළිවන් නම් ඉතා මැනැවි. එහෙත් දින වෙනස් වීම පින්කමේ අඩුවක් කොට සැලැකීම සහමුලින් ම අත් හල යුතු ය.

පැන් වැඩීමේ සිරිත

වැදගත් දීමනාවෙක දී පැන් සාක්‍ෂ්‍යයට ගැනීම පුරාණ චාරිත්‍රයෙකි. කුමාරයකුට ඔටුන්න පවරාදීමෙහි දී හිස පැන් වැඩීමත් කුල කාන්තාවක ස්වාමියකුට පවරා දීමෙහි දී අත පැන් වැඩීම ආදියත් පෙරදිග සිරිත් බව කවුරුත් දනිති. නිවැරදි චාරිත්‍රයට බුදුරජාණන් වහන්සේ විරුද්‍ධ නො වූහ. එහෙයින් ආරාම පූජාදියෙහි දී උන් වහන්සේ අත පැන් වඩා කළ හ. පින ද වැදගත් දීමනාවෙකි. එහෙයින් එදා පටන් මේ දක්වා ම විශේෂයෙන් මියගියවුන් හට පින් දීමේ දී මේ යහපත් චාරිත්‍රය නො කඩවා පැවැත්තේ ය. එය කරන විට ද පැන් ලබන භාජනය උතුරා යේ වා යන කරුණා හැඟීමක් එයිනුදු පහළ වෙයි. පින වැදගත් දීමනාවක් හෙයින් පිරිසිදු භාජන ගෙන සුදු වතක් අතුරා ඒ මතැ තබා පැන් වැඩීම ද නැණවතුන් ගේ සිරිතකි. ඔටුන්නක් දීමේ දී හා කුල කාන්තාවක දීමේ දී එය කරන ගෞරවාකාරය සිහි කළ යුතු ය. මෙසේ සලකා බලන විට පින් දීමෙහි දී පැන් වැඩීම වැදගත් චාරිත්‍රයක් වුව ද එය නොකිරීමෙන් පින්කම අඩු ලුහුඬු නෙ‍ාවන බව ද සිත තබාගත යුතු ය. බෞද්ධයෝ අන්ධ විශ්වාසය අත්හැර නුවණින් කරුණු විමසා බලා පින්කම් කිරීමෙහි යෙදෙත් වා!

 

රසවාහිනී 2504 / 1960 වෙසක් කලාපය

ප්‍රඥාප්‍රභා 2

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

අබ්‍රහ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි ...
විකාර භාවනා ක්‍රම බුද්ධාගමට තර්ජනයෙකි

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.