මිනිස් ලොව සිටිය දී දෙව් විමන් ලද කුමරා …

අප බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි බරණැස් නුවර එක්තරා සැදැහැවත් පවුලක් වාසය කළේය. මේ පවුලේ මව්පිය දෙදෙන ඉතාමත් සැදැහැ සිතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට උපස්ථාන කරන්නේය. මේ දෙපළගේ නන්දිය නම් පුත්‍රයා ද දෙමාපියන් මෙන්ම තෙරුවන් කෙරෙහි ගරු කටයුතු ඇත්තේය.

නන්දිය නම් පුත්‍රයා වැඩිවියට පැමිණි කල්හි දෙමාපියන් විසින් තමන්ගේ නිවස අසල ජීවත් වූ ඥාති පවුලක සිටි රේවතී කුමරිය තම පුත්‍රයාගේ බිරිඳ බවට පත් කරලීම සඳහා කතිකා කොට ගත්තේය. එහෙත් රේවතී කුමරිය තෙරුවන් කෙරෙහි ප්‍රසාදයක් නැති, දන්දීමට පුරුද්දක් නැති තැනැත්තියකි. එනිසා එවැනි තැනැත්තියක් තමාගේ බිරිඳ බවට පත් කර ගැනීමට නන්දිය කුමාරා අකමැති විය. මේ බව දැනගත් නන්දිය කුමරාගේ මෑණියෝ රේවතී කුමරියගේ නිවසට ගොස් ඇය අමතා;

“දියණියෙනි, තොප තෙරුවන් කෙරෙහි ප්‍රසාදයක් නැති බැවින් ද දන් දීමට මැලිකමක් දක්වන බැවින් ද තොප සරණපාවා ගන්නට අපගේ පුතා නො කැමැත්තේය. එනිසා තොප අපගේ නිවසට පැමිණ භික්‍ෂූන් වහන්සේ දානය සඳහා වැඩම කළ විට දානය වැළදීමට හිඳගන්නා තැන් ගොම මැටි ගා පිරිසුදු කොට අසුන් පැනවීම, දන් වළඳා අවසන්හි පාත්‍ර ගෙන සෝදා පිරිසිදු කිරීම ආදී කටයුතු නොමැළිව සිදු කරන්නේ නම් මාගේ පුත්‍රයාගේ සිත් ගැනීමට හැකි වන්නේය”.

ආදී වශයෙන් ප්‍රකාශ කළහ. එය ඇසූ රේවතී කුමරිය එතැන් සිට නන්දිය කුමරාගේ නිවසට ගොස් එම කටයුතු සිදු කරන්නේය. මේ අතර, පුතා හමුවට ගිය දෙමාපියෝ;

“පුතණුවනි, රේවතී කුමරිය අපගේ අවවාද පිළිගෙන සැහැදැ සිතින් යුතුව මහාසංඝරත්නයට උපස්ථාන කරන්නේයැ” යි කීය. එය ඇසූ නන්දිය කුමරා ඇය කෙරෙහි සතුටුව ඇය ආවාහ කරගන්නට කැමැත්ත දැක්වීය. දෙමාපියෝ ද ඔවුන්ගේ ආවාහ විවාහ කටයුතු සිදු කළහ. අනතුරුව තම බිරිඳ ඇමතූ නන්දියට කුමරා;

සොඳුර, තොප මහා සංඝරත්නයටත්, මාගේ දෙමාපියන්ටත් නිසි අයුරින් උපස්ථාන කරන්නේ නම් මේ නිවසෙහි තිබෙන සියලු‍්‍ර සම්පත් තොප සතු වන්නේය. එබැවින් නොපමාව ඒ කටයුතු ඉටු කළ මැනවයැ” යි ප්‍රකාශ කළහ.

ඒ ඇසූ ඇය ඒ කටයුතු මැනවින් ඉටු කළාය. තම ස්වාමියා හා එක්ව නිරතුරුවම මහා සංඝරත්නයට දානය පූජා කළාය. දුගී මගී යචකාදීන්ට ද උපකාර කළාය.

මේ අතර දිනක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා භික්ෂූන් උදෙසා ආවාස පූජා කිරීමේ අනුසස් දැනගත් නන්දිය කුමාරයාට ආවාසයක් කරවා පූජා කිරීමට සිතක් පහළ විය. ඒ අනුව ඉසිපතන මහා විහාරයෙහි විශාල ආවාස ගෙයක් කරවා ඒ සඳහා අවශ්‍ය කරන ඇඳ පුටු ආදී භාණ්ඩ ගෙන්වා තබා අංග සම්පූර්ණ බවට පත් කළේය. අනතුරුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරවා ගත් ඔහු උන්වහන්සේලාට මහ දන් පවත්වා අවසාන දිනයෙහි ආවාසය පූජා කිරීමට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙහි පැන් වත් කළේය.

මෙලෙස තමන් විසින් කරවන ලද ඒ ආවාස පූජා කරත්ම එහි අනුහසින් ඔහු සඳහාම තව්තිසා දිව්‍යලෝකයෙහි සියලු දිසාවන්හි යොදුන් දොළහක් පැතිරී ගිය යොදුන් සියයක් පමණ උසට නැඟුණු දිව්‍ය විමානයක් පහළ වූයේය.

මේ අතරතුර කාලයෙහි දිනක් මුගලන් මහ රතහත් වහන්සේ දිව්‍යලෝක චාරිකාවෙහි වැඩම කළ අවස්ථාවෙහි නන්දිය කුමාරයා වෙනුවෙන් පහළ වූ දිව්‍ය විමානය අසලට ද වැඩම කළහ. එහිදී තමන් අසලට පැමිණි දෙව් පුතුන්ගෙන්;

”පින්වත් දිව්‍යපුත්‍රයෙනි, මේ දෙවඟනන්ගෙන් අතුරු සිදුරු නැතිව ගැවසී ගත් ඉතා මනරම් වූ මේ දෙව් විමන කවරකුගේදැ” යි ඇසීය.

“ස්වාමිනි, නන්දිය නම් ගොවි පුත්‍රයා විසින් පසුගිය දිනක ඉසිපතනාරාමයෙහි බද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා විහාරයක් කරවා පූජා කරන ලද්දේය. ඔහු විසින් කරන ලද ඒ පිංකමේ බලයෙන් මේ මනරම් දිව්‍ය විමානය ඔහු වෙනුවෙන් පහළ වූයේ යැ”යි කීය.

ඒ අතර ඒ විමානයෙහි රැස්ව සිටි දිව්‍ය අප්සරාවෝ ද උන්වහන්සේ වෙත අවුත්;

“ස්වාමිනි අපි නන්දියගේ මෙහෙකාර දේවඟනෝය. එහෙත් ඔහු දක්නට නැතිව කළකිරුණු සිත් ඇත්තේය. ස්වාමිනි, මිනිස් සැප හැර පැමිණ දෙව් සැප විඳීම නම් මැටියෙන් කරන ලද ප්‍රාසාදයක් බිඳ දමා රනින් කරන ලද ප්‍රසාදයක් ගන්නාක් මෙන් ය. එනිසා මෙහි පැමිණෙන ලෙස ඔහුට පවසනු මැනවැ” යි අයැද සිටියාය.

දෙව් ලොව චාරිකාව අවසන් කළ මුගලන් තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ;

”ස්වාමිනි, පින් කළ මිනිසුන් මිනිස් ලොව ජීවත් ව සිටියදී ම ඔවුන් වෙනුවෙන් දෙව්ලොව විමානයක් පහළ වන්නේදැ” යි ඇසූහ.

එවිට බුදු රදුන්;

”මුගලන් තෙරණුවනි, ඔබ විසින් ම එය ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ලද්දේ නොවේද? කුමක් හෙයින් මාගෙන් විමසන්නෙහිද?”

එවිට මුගලන් තෙරණුවෝ;

”එසේය ස්වාමිනි, මා විසින් එය දක්නා ලද්දේයැ” යි කි කල්හි බුදුරජාණන් වහන්සේ;

“මුගලන් තෙරණුවෙනි, ඔබ කුමක් නම් පවසන්නෙහිද? බොහෝ කාලයක් තමන් උපන් බිමෙන් බැහැරව වෙනත් රටක වාසය කළ පුත්‍රයකු හෝ සොහොයුරකු නැවත තමන්ගේ ගම් බිම් බලා එනු දකින කිසිවෙක් වහා දිව ගොස් ඔහුගේ ඥාතීන්ට දැන්වූ විට ඔවුහු සතුටුව පැමිණ ඔහු පිළිගෙන කැඳවාගෙන යන්නේය. මුගලන් තෙරණුවෙනි, එපරිද්දෙන් මෙලොවදී යම් ස්ත්‍රියක් හෝ පුරුෂයකු විසින් පින්කම් කරන ලද්දේ ද, ඔවුහු මෙලොව හැර පරලොව ගිය කල්හි ඔවුන් වෙනුවෙන් දස වැදෑරුම් දෙව් පඬුරු ගෙන මම පළමුව පිළිගනිමි. මම පළමුව පිළිගනිමි යි දෙවියෝ ඉදිරියට පැමිණ සතුටින් ඔවුහු පිළිගන්නාහ.”

ආදී වශයෙන් ප්‍රකාශ කොට පින්කම්හි ආනිසංස දේශනාකොට වදාළහ. දේශනාවසානයෙහි බොහෝ දෙන මාර්ගඵලාවබෝධයට පැමිණියහ.

ගණේගම ඤාණකීර්ති හිමි විසිනි

සත්කෙරේ මෙත් සිතින් එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි

බුදුපිළිම වහන්සේ ...
ගත සිත සුවපත් කරන කාරුනික උපස්ථානය ...
IFBC Home Page