මධ්‍යම ප්‍රතිපදාව යන්නෙහි ධර්මාර්ථය එකෙකි, වචනාර්ථය අනෙකෙකි. සමහරු ධර්මය පිළිබඳ වචනවලට පවා ධර්මාර්ථය ගැන නො සලකා වචනාර්ථය අනුවැ අර්ථ දෙන්නට ගොස් මහජනයාට වැරදි හැඟීම් දෙන බව දැනගන්නට ලැබෙයි. ධර්මය පිළිබඳ කරුණුවලදී ව්‍යඤ්ජනඡායාව ම ගැනීම ධර්මන්‍යාය නොවන බැවින් එයින් කියැවෙන ධර්මාර්ථයට බුදුරජාණන් වහන්සේ ගේ අදහස සලකා ම අර්ථ දිය යුතු ය.

මධ්‍යම ප්‍රතිපදා යනු ඉතා දීර්ඝ විසිතුරු ඉතිහාසයක් ඇති වචනයෙකි. අවුරුදු දෙ දහස් පන්සියයකටත් අධික ඉතිහාසයක් ඇති වචනයෙකි. ආරම්භය බරණැස ඉසිපතනයෙහි පැවැත්වුණු බුදුරජාණන් වහන්සේ ගේ මංගල ධර්ම දේශනය යි. පරිණාමවාදය අනුවැ සලකා බලන විට වචනයක් වුව ද අවුරුදු දෙ දහස් පන්සියයක් යන විට නෙ‍ායෙක් බෙදුම් හා නොයෙක් තේරුම් ඇති වී පැතිරී යෑම ස්වභාවයෙකි. මධ්‍යම ප්‍රතිපදාව යන වචනය ද මුල් අදහස අමතක වන තරමට විනාශයට පැමිණ තිබෙන බව කිව හැකි ය. එය කොතරම් දුරට ගියා දැ යි කිව හොත් ඇතැම් දේශපාලනඥයන් පවා “අප දේශපාලනය කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුව යැ” යි කියමින් මධ්‍යම ප්‍රතිපදාව දේශපාලනයටත් ඈඳගෙන ඇත.

වචනාර්ථය අනුවැ නම් “මධ්‍යම ප්‍රතිපදාව” යන්න කවර කරුණක් හා සමඟ වුව ද යෙදිය හැකි ය. එහෙත් මෙහි වැඩි දෙනා කල්පනා නොකරන බලවත් වරදක් වෙයි. එ නම් යටැ කී මධ්‍යම ප්‍රතිපදා ගැන කථා කරන බොහෝ දෙනා අප මේ කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මධ්‍යම ප්‍රතිපදාව අනුව යැ යි කීම ය.

බුදුරජාණන් වහන්සේ ගේ මධ්‍යම ප්‍රතිපදාව උන් වහන්සේ ම දේශනා කොට ඇති හෙයින් ඒ ඒ අයට තමන් තමන් කැමැති පරිදි ඒ ඒ අත හරවා දක්වනු නොහැකි වෙයි. එය එකම ප්‍රතිපදාව යි. එනම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය යි, මෝක්‍ෂ මාර්ගය යි.

බුදුරජාණන් වහන්සේ උපන් කාලයෙහි දඹදිව වැසියෝ සීමාන්තික ක්‍රම දෙකකට ජීවත් වූහ. සමහරු මො‍්ක්‍ෂය ගැන සිතීම් මාත්‍රයකුදු නැති වැ සුඛෝපභෝගී ජීවිත ගත කළ හ. සමහරු මෝක්‍ෂය ලබන්නට ය යි කියමින් නොයෙක් දුෂ්කර ව්‍රතයන්හි යෙදුණ හ. සිද්ධාර්ථ කුමාරයෝ ද අවුරුදු විසි නවයක් මුළුල්ලේ ඉතා උසස් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ හ. එයින් මොහොතින් මෙ‍ාහොත ම කෙලෙසුන් වැඩෙනවා විනා තැවීමක් නොවන බව සිද්ධාර්ථ කුමාරයෝ අත්දැකීමෙන් ම අවබෝධ කැරගත් හ. අනතුරු වැ මෝක්‍ෂය සඳහා නැමුණු බෝසතාණෝ සියලු සැපත් හැර දමා පැවිදි වූ හ. එ කලැ පැවිදි වූවන් ගේ විශ්වාසය වූයේ මෝක්‍ෂය ලබනු පිණිස දුෂ්කර ව්‍රත රැක්ක යුතු බව ය. දුක් නැති කිරීමට තමා ගේ කයට දුක් දිය යුතු යැ යි ඔවුහු විශ්වාස කළ හ. ඒ විශ්වාස පිළිගත් බෝසතාණෝ ද නොයෙක් දුෂ්කර ක්‍රියාවන්හි යෙදුණ හ. අවුරුදු සයක් ගත විය. ශරීරය තැවීමක් විනා එයින් කෙලෙසුන් තැවීමක් නොවන බව උන් වහන්සේ වටහාගත් හ.

මෙසේ සුඛෝපභෝගී ජීවිතය, දුෂ්කර ක්‍රියාවන්හි යෙදීම ය යන දෙකෙළවර ම මෝක්‍ෂ මාර්ගය නොවන බව වටහාගත් බෝසතාණෝ හොඳට ම සැප පහසුත් නොවන හොඳට ම දුකත් නොවන ජීවිතයක් ගත කෙරෙමින් ශීල – සමාධි – ප්‍රඥා යන ගුණ කඳු සපුරා උතුම් වූ බුදු බවට පැමිණිය හ. යටැ කී දෙකෙළවරට නොපැමිණ මෝක්‍ෂ මාර්ගය බුද්ධාගමයෙහි සඳහන් වන මධ්‍යම ප්‍රතිපදාව යි.

බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ය, ඒකායන මාර්ග ය, විශුද්ධි මාර්ග යැ යි සොයා දැක්වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි අංග (අවයව) අට කවරේද යත්: සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනු යි.

  1. දුක පිළිබඳ ඥානය, දුක හටගැනීමේ හේතුව පිළිබඳ ඥානය, දුක නිවීම පිළිබඳ ඥානය, දුක නිවීමේ මඟ පිළිබඳ ඥානය යන චතුරාර්ය සත්‍යයන් පිළිබඳ නුවණ සම්මා දිට්ඨි නම් වෙයි.
  2. කාමයන් ගෙන් නික්මෙන කල්පනාව ය, ව්‍යාපාදයෙන් නික්මෙන කල්පනාව ය, හිංසාවෙන් නික්මෙන කල්පනාව ය යන නිවැරදි කල්පනයෝ සම්මා සංකප්ප නම් වෙති.
  3. බොරු කීමෙන් වැළැකීම, කේළාම් කීමෙන් වැළැකීම, පරුෂ වචනයෙන් වැළැකීම, සම්‍යක් ප්‍රලාපයෙන් වැළැකීම යන චතුර්විධ වාග් සුචරිතය සම්මා වාචා නම් වේ.
  4. සතුන් මැරීමෙන් වැළැකීම, සොරකම් කිරීමෙන් වැළැකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැකීම යන ත්‍රිවිධ කාය සුචරිතය සම්මා කම්මන්ත නම් වේ.
  5. ගිහියන් ගේ වශයෙන් ත්‍රිවිධ කාය දුශ්චරිතයෙහි හා චතුර්විධ වාග් දුශ්චරිතයෙහි ද යෙදී කැරෙන මිථ්‍යාජීවයෙන් ද පඤ්චවිධ මිථ්‍යා වෙළෙඳාමෙන් ද තුලාකූටාදියෙන් කැරෙන මිථ්‍යාජීවයෙන් ද, පැවිද්දන් ගේ වශයෙන් කුහනාලපනාදියෙන් කැරෙන මිථ්‍යාජීවයෙන් ද වැළැකීම සම්මා ආජීව නම් වෙයි.
  6. තමා ගේ සන්තානයෙහි නූපන් (දැනට පහළ වැ නැති) අකුශල ධර්මයන් ඇති නොවනු පිණිස උත්සහ දැරීම ය, දැනට පහළ වැ තිබෙන අකුශල ධර්මයන් නැති කිරීම පිණිස උත්සහ දැරීම ය, දැනට සන්තානයෙහි පහළ වැ නැති කුශල ධර්මයන් පහළ කැරැගැනීම පිණිස උත්සහ දැරීම ය, දැනට පහළ වැ තිබෙන කුශල ධර්මයන් වැඩි දියුණු කිරීම පිණිස උත්සහ දැරීම ය යන චතුර්විධ වීර්යය සම්මා වායාම නම් වෙයි.
  7. කායානුපස්සනාදි සතර සතිපට්ඨානයෝ – සතර සැදෑරුම් සිහිය – සම්මා සති නම් වේ.
  8. කාමයන් ගෙන් හා අකුශල ධර්මයන් ගෙන් ද වෙන් වැ එක් අරමුණෙක්හි සිත මනා කොට පිහිටුවා ප්‍රථමධ්‍ය‍ානාදී ධ්‍යාන උපදවා විසීම සම්මා සමාධි නම් වෙයි.

මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශීල – සමාධි – ප්‍රඥා යි ස්කන්ධ (රාශි) වශයෙන් කඳු තුනකට බෙදෙයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන ශීලයට ද, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංගත්‍රයය සමාධියට ද, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංගද්වයය ප්‍රඥාවට ද ඇතුළත් වෙයි.

 

දිනමිණ 1957.04.30

ප්‍රඥාප්‍රභා 2

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ මතය ...
චාම් ජීවිතය ...
IFBC Home Page