මහානුභාවසම්පන්න අෂඨපරිෂ්කාර ( අටපිරිකර පූජාව ) ගැන දැනගනිමු.

යාලුවනේ පින්කම් අතරින් මහා කුසල් අටක් පිළිබඳව මා මෙයට කලින් විස්තර කර තිබෙනවා. ඒ ලිපියත් ඔයාල අනිවාර්යෙන්ම කියවන්න. මේ අටමහ කුසල්වලට අනුව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත සතර සංග්‍රහ වස්තූන්ගෙන් සංග්‍රහ කිරීම පුද පූජා කිරිම මහත්ඵල මහානිශංස පූජාවකි. මෙහිදී සතර සංග්‍රහ වස්තු නම් චීවර, පිණ්ඩපාත , සේනාසන සහ ගිලානප්‍රත්‍ය බව සඳහන් වේ.අප සැදැහැවත් ආර්ය ශ්‍රාවක බෞද්ධයා විසින් කළ යුතු ඒ අටමහා කුසල් පිළිබඳව මා යලි වරක් කෙටියෙන් සදහන් කරන්නම්.

“ කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච මුත්තමං
බුද්ධපමුඛ සංඝස්ස
දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච බුද්ධස්ස
පටිමා කරණානම් පිච
කාරණං වච්ච කුටියා
අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

කඨින සිවුරක් පූජා කිරීම, අට පිරිකරක් පූජා කිරිම, මහා සංඝයාගේ ප්‍රයෝජනය සඳහා කෙත්වතු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා කරවීම. වැසිකිළි කැසිකිළි කරවා පූජා කිරීම මහත්ඵල මහානිශංස පුණ්‍ය ක්‍රියා ලෙස සැලකේ. කඨින චීවර පූජාවේ ආනිශංස අති විශාල බව විනය පිටකයේ මෙන්ම නාගිත අපදානයෙහි පැහැදිලිව දක්වා ඇත.
කසාවතට අප දක්වනුයේ අසීමිත ගෞරවයකි. කිසිදා කිසි ලෙසකිනුදු වෙනස් නොවු ශාරීර වරණය කසාවත පමණි. කඨින පූජාවට පමණක් නොව නොයෙකුත් දේ පිළිබදව කරනු ලබන පුණ්‍ය කර්ම වලදී චීවරයට අප ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ අප සම්මා සම්බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද භික්‍ෂු , භික්‍ෂූණීන් වහන්සේලාට නියමිත ශරීරාවරණය ලෙසය. තම ජීවිත කාලය තුළ අට පිරිකරක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන්නට ලැබීමද අප ලබන්නා වූ මහත්ම භාග්‍යයකි.

මජ්ඣිම නිකායේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙහි ශීල සම්පන්න වූ භික්ෂුව සතුවිය යුතු අල්පේච්ඡ බව දක්වමින්, උන්වහන්සේ තෘප්තිමත්භාවයට පත්ව සිටිය යුතු අයුරු මෙසේ දැක්වෙයි.

සො සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකෙන චීවරේන, කුච්ඡිපරිහාරිකේන පිණ්ඩපාතෙන. සො යෙනයෙනව පක්කමති, සමාදායෙව පක්කමති. සෙය්‍යථාපි නාම පක්ඛිසකුණො යෙන යෙනෙව ඩෙති, සපත්තභාරොව ඩෙති’

කය පරිහරණය කරන සිවුරෙන් ද කුස පරිහරණය කරන පිණ්ඩපාතයෙන් ද උන්වහන්සේ සතුටට පත් වෙති. උන්වහන්සේ තමන් යනු කැමැති තැනකට පියාපත් ඇති ලිහිණියකු තමන් කැමැති තැනකට පියාපත් බර පමණක් ඇතිව යන්නාක් මෙන්, පා සිවුරු පමණක් ඇතිව වැඩම කරති.

ශාසන ඉතිහාසයේ දැක්වෙන පරිදි ගිහිගෙයින් නික්ම අප මහා බෝසතාණන් වහන්සේ අනෝමා නදී තෙරදි කේශච්ඡේදනය කර සහම්පතී බ්‍රහ්මයා ලබා දුන් පිරිකර හැඳ ගත් බව බුද්ධ චරිතයෙහි සඳහන් වේ. ඉන් පසු අප මහා බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව සම්බෝධියෙන් අති උතුම් වූ බුද්ධත්වයට පත් වූ විට ගෞතම බුදුරජාණන් වහන්සේට ප්‍රථම අෂ්ඨ පරිෂ්කාර පූජාව මහා බ්‍රහ්මයා විසින් සිදු කරන ලද බව ශාසන ඉතිහාසය පෙන්වා දෙයි.

අප සම්මා සම්බුදු ගෞතමයන් වහන්සේගේ නිර්මල බුද්ධ ශාසනය තුළ බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලාගේ මූලික පරිෂ්කර ලෙස අටපිරිකර සැලකේ.

එම් අෂ්ඨ පරිෂ්කාර නම්,

“පත්තං පරිස්සාවනං කාය බන්ධනං
නිච්චරං වාසි සුචිං ච සංඝ
දන්ති යේ නිච්ච පසන්ත චිත්තා
තේ එහි භික්‍ඛුනි වදන්ති බුද්ධා “

මෙහිදී අටපිරිකර යනු මහණ උපසදම්පදාව ලැබීමට අත්‍යවශ්‍ය පිරිකර අටක එකතුවකි.

1. තනිපට සිවුර,
2. දෙපට සිවුර,
3. අදනය,
4. පටිය,
5. පාත්‍රය,
6. දැලිපිහිය,
7. පෙරහන,
8. ඉදිකටු, නූල්බෝල

වශයෙන් ශ්‍රමණ පරිසකර අට දැක්වේ.

මෙම අටපිරිකර පමණක් පරිහරණය කිරීම, භික්ෂුවට කැප විය. එනිසා සිය සෑම අවශ්‍යතාවක් ම ඉන් පිරිමසා ගත යුතු විය. මෙනිසා මෙම පිරිකර අට කාය පරිහාරික ද කුච්ඡි පරිහාරිකද විය. කාය යනු ශරීරය යි ශරීරයෙන් පරිහරණය කරන ද්‍රව්‍ය ‘කාය පරිහාරික’ නම් වේ. කුච්ඡි යනු කුසයි (බඩයි). කුසින් පරිහරණය කරන හෙවත් ආහාර ගැනීමට යොදාගන්නා ද්‍රව්‍ය ‘කුච්ඡි පරිහාරික’ නම් වේ. අටපිරිකරින් පමණක් සතුටට පත්වන භික්ෂුව එම පිරිකර අට කායික කටයුතු සඳහාත්, ආහාරපාන භාවිතය සඳහාත් යොදා ගන්නා අයුරු අටුවාවේ විස්තර කර ඇත. . ( පිරිකර අට ම ශරීරයේ ආරක්ෂාවට මෙන්ම කුසෙහි ආරක්ෂාව පිණිස ද වෙයි. )

තුන් සිවුර (තිචීවරං) හැඳ පොරවාගෙන හැසිරෙන අවස්ථාවෙහි එය කාය පරිහාරික පිරිකරක් වේ. සිවුරු කොණින් දිය පෙරා වළඳන අවස්ථාවෙහි තුන්සිවුර ‘කුච්ඡි පරිහාරික’ පිරිකරක් බවට පත්වෙයි.

පාත්‍රය (පත්තම්පි) ද, ඉන් ජලය ගෙන නෑමේදීත් දිය රැගෙනවුත් කුටිය හෝ සෙනසුන සෝදා පවිත්‍ර කිරීමෙහිදීත් කාය පරිහාරික පිරිකරක් බවට පත්වෙයි. ඉන් ආහාර ගෙන වළඳන අවස්ථාවෙහි දී පාත්‍රය කුච්ඡි පරිහාරික පිරිකරකි.

‘කුඩා පිහිය’ (දැලි පිහිය) ද, දැහැටි දඬු සාදා ගැනීමේදී ද, ඇඳ පුටු ආදියේ කැඩීම් බිඳීම් ආදියකදී ද, සිවුරු කුටි, සිවුරු දමන දඬු සාදා ගැනීමේදී ද කාය පරිහාරික උපකරණයක් වෙයි. උක් දඬු කැපීම, පොල් ගා ගැනීම් ආදියේ දී ද දැලි පිහිය කුච්ඡි පරිහාරික පිරිකරක් බවට පත්වෙයි.

ඉදිකටුව ද සිවුරු මසන අවස්ථාවෙහි කාය පරිහාරික පිරිකරකි. කැවුම්, ගෙඩි ආදියක් විද වැළදිය යුතු අවස්ථාවෙහි ආහාර ද්‍රව්‍ය විඳීම නිසා ඉඳිකටුව කුච්ඡි පරිහාරික පිරිකරක් බවට පත්වෙයි. කය බඳිනා පටිය, කයෙහි බැඳ හැසිරෙන අවස්ථාවෙහි කාය පරිහාරික පිරිකරක් වන අතර, උක් දඬු ආදිය කපා ගෙන යෑමේදී (මිටියක් ලෙස බැඳ ගෙන යෑම් ආදියට එය භාවිතයට ගන්නා බැවින්) කුච්ඡි පරිහාරික පිරිකරක් වෙයි. පෙරහන්කඩ ද, ඉන් දිය පෙරා වැළඳීමේ දී හා ඉන් තල, මුං සහල් ආදිය පෙරා ගෙන වැළඳීමේදී කුච්ඡි පරිහාරික පිරිකරක් වෙයි. බාහිර අවශ්‍යතා සදහා දිය පෙරා ගැනීමේදී ( නෑමේ දී හෝ සෙනසුන, පිරිසිදු කිරීමට දිය පෙරා ගන්නා විටදී ) පෙරහන්කඩ කාය හරිහාරික පිරිකරක් බවට පත්වෙයි.

කැප සරුප් ලෙස පිළියෙළ කරන ලද අටපිරිකර පූජාවේ ආනිශංස අති මහත්ය. අරහත් භාවය ලබා ගැනීමට පවා මෙම පූජාව උපනිශ්‍රය වන බව සූත්‍ර පිටකයේ සඳහන් වේ. සියලු සැපතින් සිපිරු දෙව් මිනිස් භවයන්හි භාග්‍යමත් උපතක් ලැබීමට පවා ලෞකික වශයෙන් හේතුවන අතර, නෛර්යාණික බුදුසසුනක උතුම් පැවිද්ද ලබා අරහත් භාවයට පත්වීමටද මෙය වෙන වෙනම හේතුවන බව පිළින්දවචඡ ථෙරපදානයෙහි දැක්වේ.

අටපිරිකර පූජා කිරීමේ ආනිශංස මහත්ඵලය . මේ අසිරිමත් වු ආනිශංස ඒකාන්ත වූ සැදැහැ සිතින් දරා පූජාවන් සිදු කරන්නේය ද එය මහත්ඵල මහානිශංස වන්නේය.

අටපරිකරෙහි චීවර වර්ග තුනකි. තුන් සිවුර යනුවෙන් අපි එය හඳුන්වන්නෙමු. තනිපට සිවුර, දෙපට සිවුර අදනය මෙයට අයත්ය. මෙම තුන් සිවුරු පුජා කිරීම නිසා, 1.රන්වන් සිරුරක් ලැබීම 2. ශරීරයේ දූවිලි නොවැසීම 3. රැස් විහිදෙන වර්ණවත් ශරීරයක් ලැබීම 4.මහත්වූ ප්‍රතාප බවක් දිස්වීම 5.සිනිඳු ශරීරයකට හිමිකම ලැබීම 6. සසර ගමනෙහි සෑම භවයකදීම සුදු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම 7. සසර ගමනේ සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්‍ෂ ගණනික් දැරීම 8. සසර ගමනේ සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම සිදුවේ. තවද බුදු පියාණන් වහන්සේ ඒහිභික්ඛුභාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දේ. එනම් එව මහණ කියූ සැනින් හිස මුඩුවී පෙරවී පාත්‍රය පෙරවී පැවිදි උපසම්පදාව ලැබෙන්නේ අටපිරිකර පූජා කර ඇත්නම් පමණි. පළමු රහත් සැටවම් ඇතුලුව බොහෝ භික්ෂූන්වහන්සේලා ඒහිභික්ඛු භා‍වයෙන් පැහිදි උපසම්පදාව ලබාගත් බව ශාසන ඉතිහාසයේ දැක්වේ. ඒ විතරක්ද සසරේ අටපිරිරක් පුදන්නට බැරි උන අයට සිව්රු පිරිකර නොලැබුන අව්සථාද විය. බාහිය දාරුචිරිය රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා මොහොතකින් රහත් වීමේ වාසනාව තිබුණත් උන්වහන්සේට සසරදී අටපිරිකරක් පූජා කර ගන්නට අවස්ථාවක් නොලැබුණු නිසා ඒහි භික්ෂු භාවයෙන් මහණ වීමට අවස්ථාව නොලැබී රහත් බවට පත් වු ගිහි පින්වතකු ලෙස එදිනම පිරිනිවන් පාන්නට සිදු විය. අන්න ඒ නිසයි කියන්නෙ මේ පූජාවත් හරිම වැදගත් කියල.

අට පිරිකරට පාත්‍රය අනිවාර්ය වේ. පාත්‍ර පිදීම නිසාද ආනිශංස දහයක් ලැබෙන බව අපදාන ග්‍රන්ථයේ දැක්වේ. එනම්, 1. රන්, රිදී, මැණික් තලි පරිභෝජනය කිරීමට ලැබේ. 2. කිසිදා උපද්‍රව සිදු නොවේ. 3. අනතුරු වලින් වලකියි. 4. සෑම තැන්හි ගරු පුද ලබයි 5. ආහාර පාන වස්ත්‍ර සයනාසන නොඅඩුව ලැබේ. 6. භව බෝග නොනැසේ. 7. ස්ථීර වූ සිත් ඇතිවේ. 8. සෑම කල්හි ධර්මය රුචි කෙරේ 9. මද කෙලෙස් සහිත වේ. 10. කාම භව දිට්ඨි ආශ්‍රව රහිතව ජීවත් වේ.

දැලි පිහියා පිදීමේ අනුසස් 6 කි. ඒවා නම් 1. සෑම කල්හිම සූරයෙක් වේ. 2.නොවිසිරුන සිත් ඇත්තෙක් වේ. 3.විශාරදත්වයෙහි යුතු වේ. 4. ධෛර්ය ඇතිව වෙසේ. 5. වීර්ය ඇතිව වෙසේ. 6. ඍජු සිත් ඇත්තෙක් වේ 7. කෙලෙස් සිදී සූක්‍ෂම ශ්‍රද්ධාග්‍රණය ලබයි.

පෙරහන් කඩ පිදීමේ ආනිසංස 5 කි.
1.සෑම දෙනා ඉක්මවා දීර්ඝායුෂ විදීමට 2. කිසිදාක හොරුන්ගෙන් හිංසා නොවීම 3. සතුරු විපත් නැතිවීම 4. ආයුධ වස විෂ වලින් අනතුරු නොවීම 5.අතුරු මරණ නොමැතිව පරමායුෂ වැළදීමට ලැබීම

පටි පිදීමද මහානිශංස සහිතයි
1.සමාධීන් හි අකම්පිත වීමත් 2. සමාධින් හිදි වශී භාවයට පැමිණීමත්, 3.නොබිදෙන පිරිස් ඇතිවීම 4. සැම විට තම වදන් අනුන් පිළිගැනීම 5. සිහියෙන් සිටීම 6. කිසිදු භවයකදී බියක් හෝ තැති ගැනීමක් ඇති වීමක් නොවේ.

දුටුගැමුණු රජු ඉදිරියේ සිටි පින්පොත කියවන්නත් පැවසූ ප්‍රකාශ දක්වන මහාවංසය 32 වන පරිච්ඡේදයේ 35 ගාථාවේ ‘දීපෙ සංඝස්ස තික්ඛත්තුං – තිචීවරම දෘෂයිං’ යනුවෙන් ලක්දිව වැසි සියලු සංඝයාට තුන්වරක් තුන්සිවුරු දුන් බව පවසයි. පූජාවලියේ දුටුගැමුණු රජු සිදුකළ පින්කම් දක්වන උද්දේසිත කථා පූජා විස්තරයේ ‘මේ ශ්‍රී ලංකාද්වීපයෙහි හැම භික්ෂූන් නොවරදවා තුන්වාරයෙක අටපිරිකර දී පූජා කළේ ය. යනුවෙන් දැක්වේ.
මෙසේ අනන්ත අප්‍රමාණ කුසල සම්භාරයක් ලැබීමට අනුව අටපිරිකර පූජාව නිසා අවස්ථාව ලැබේ. විනයානුකූල අටපිරිකර පුදා සසර ගමනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතු නිර්වාණය අවබෝධය කරගැනීම සඳහා අවශ්‍ය පුණ්‍ය සම්භාරය ලබා ගැනීමට අප විසින් උනන්දු විය යුතුය. ඔබත් හැකි පමණින් මේසා මහානුභාවයැති අටපිරිකර පූජාවට සම්බන්ධ වන්න.
හැකිනම් අසරණ දුප්පත් පන්සල් වෙත උදව් කරන්න. අනුරාධපුර ආදී ප්‍රදේශවල සිව්රක් අදනයක් ගැනීමට නොහැකිව සිටිනා භික්ෂූන් වහන්සේලා ගණන අනන්තය. සියලු රජ සැප හැරදමා තුරුසෙවනට වැඩි බුදුහිමියන්ට මාලිගා හදනු වෙනුවට භික්ෂූන් වහන්සේ නමකට අට පිරිකරක් පූජා කිරීම මහත්ඵල මහානිසංස වේ.
නිරෝධ සමාපත්තිය ගැන ඔබ අසා තිබේද? නිරේධ සමාපත්තිය යනු බුදු, පසේබුදු, මහරහත් උතුමන් සත්දිනක් තිස්සේ එක දිලට භාවනා කරමින් සිටීමයි. ඒ කාලය තුල ආහාර ගරනීමක් තබා ඇස් ඇරීමක්වත් නැතිව එක දිගට සත් දවසක් ඒ සමාපත්තියට පිවිසේ. ඉන් නැගී සිටින උන්වහන්සේට දන්වෙලක් දෙන්නේද එය එම අවස්ථාවේම ආනිසසංස ලබාදෙන තරම් පින්කමකි. මන්ද සත් දවසක් කුසගින්නේ සිටිය අයෙකුට දෙන දානය මහත් ඵල වන නිසාය. ඒ අයුරින්ම වඩා ( සම මට්ටමේ සිටින ආර්යන් වහන්සේලාට ) පිරිකරක් නැති තැනකට පිරිකර පිදීම පිරිකර ඇති තැනකට පුදනවාට මහානිසංස වේ. එසේ හෙයින් ලද තැනටම පුද කීවා සේ ලැබෙන තැනටම දීමට වඩා අති දුෂ්කර පන්සල් වලට එවන් පූජාවක් කර මහත් ඵල මහානිසංස ලබාගන්න. ඒ ඒ පුද්ගලයාගේ ලැබීම අනුව ඒවා ලැබෙන හෙයින් තමන් කැමති තැනකට දෙ ලෙස සමහරු කියයි. එසේ කියන්න ඇත්තන් කොහොමටත් බුදු බණට පිටින් යන්නන්ය. බුදුන් එපා කී යමක් බුද්ධ ශාසනය තුල සිටි කරන්නේනම් ඒ ශාසනය වනසන කද පණුන්ය. ඔවුන් පිරිකර පවා ගොඩවල් ගසාගෙන පරිභොජනය කරත්නම් බුදු හිමියන් දෙසූ පරිදි මෝඝ පුරුෂයන්ය. බහු භාභිඩික භික්ෂුවට බුදු හිමියන් නින්දා ගල බව ඔබ අසා ඇත. ඔවුන් පිගන් ගඩොල් පොළවේ ඇවිදින විට සිල්වත් ගුනවත් භික්ෂූන් වහන්සේලා පයට පාවහනක් නැතිව ඇවිදිති, ඔවුන් කුකුල්මස්, එලුමස් ගිල දමද්දී සම්බෝලයයි බතුයි නැතිව දාන වේල පවා වරද්දා ගන්නා භික්ෂූන් වහන්සේලා අපමණය. ඉන්ටකූලර්, ප්‍රාඩෝ වලින් යනවිට අපේ උගත් වියත් ත්‍රිපිටකධාරී භික්ෂූන්වහන්සේලා පයින් සැතපුම් තිහ හතලිස් ගණන් වැඩම කරති.
යාලුවනේ බුදු හිමියන් සිවුරු පිරිකර ලැබෙන විට ඒවා අක් අය අතර බෙදා හැරි අවස්ථා ඕනෑ තරම් ත්‍රිපිටකය තුල දක්නට ඇත. තමන් වහන්සේට ලැබුනු සිවුරු අන්ත් භික්ෂුන් වහන්සේලාට නිතර බෙදා හරින බ ආනන්ද ‍හිමියන්ගෙ කථාවෙන් පැහැදිලි වේ. ඉන් සදහන් වන්නේ ලැබීම තියෙන අයවලුන් ඒ සිවුරු ලබාගෙන නැති භික්ෂූන් වහන්සේලාට ලබා දුන් බවයි. ඒ නිසා අසබාලයන්ගේ කීමවල් අසා ඔබේ සසර ගමන විනාශ කර නොගන්න. ඇති තැනටම යමක් පුදනවාට වඩා නැති තනට ලබා දීම සුදුසු බව සිහිබුද්ධිය ඇති ඕනෑම මිනිසෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට පුලුවන. එසේ හෙයින් අසරණ අහිංසක සිල්වත් තුන්පිටක ධර්මධර භික්ෂූන් වහන්සේලා වැඩ සිටින පන්සල් වලට උපකාර කරන්න ඔබත් කැමතිනම් මට පුද්ගලික මැසේජ් එකක් ලබාදෙන්න. ඒ විහාරස්ථානයන්ට ඔබම ගොස් ඔබේ දෑසින් පරීක්ෂා කර බලා ඒ අසරණ යතිවරුනට සරණක් වෙන්නට පෙල ගැසෙන්න. සිය ජීවිත කාලයම සසුන වෙනුවෙන් කැපකල ඒ උතුමන්ට පිහිටක් සරණක් විය හැකිනම් එය මහත් ඵල මහානිසංශ ලබාදන පිංකමක් වේ.
අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා … … …

අට මහා කුසල් ...
ආර්ථිකය ජයගන්න බුදු දහමෙන් උපදෙස් ...

Join the discussion One Comment

  • Sasitha Asaranga says:

    මම කැමතියි ඒ විහාරස්ථානයන් ගැන දැනගන්න.

Leave a Reply

IFBC Home Page