මහමෙර මෙන් නොසැලෙන කඨින මහා පිංකම - IFBC Organization | Dhamma

Posted by | September 07, 2014 | සිරි සදහම් ( Dhamma) | No Comments

වස්සාන සෘතුවට ඇති මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමය, කඨිනස්ථාර මාසය ආදී නම් වලින් හඳුන්වනු ලබයි. වස්සානයේ මුල් මාස තුන තුළ වස් ශික්‍ෂාපද ආරක්‍ෂා කරමින් සමථ, විදර්ශනා භාවනා වඩන භික්‍ෂුන් වහන්සේලා අතරින් වැඩි දෙනා ධ්‍යාන අභිඥා මෙන්ම මාර්ග ඵල ධර්මයන්ට පත්වෙමින් ගිහි පින්වතුන්ට ද එවැනි ගුණ පිළිවෙත් පුරා ගැනීමට අවකාශ උදා කරයි. වස් පවාරණ විනය කර්මය කිරීමෙන් ඉක්බිති කඨිනස්ථාරය නම් විනය කර්මය සිදු කිරීමට උන්වහන්සේලාට අවස්ථාව උදාවෙයි. දැන් උදාවී පවතින්නේ ද එම පුණ්‍යවන්ත කාල සීමාව වන නිසා විනය පිටකයේ මහාවග්ග පාලි, පරිවාර පාලි ග්‍රන්ථද්වයේ සහ සමන්තාපාදිකා නම් විනයට්ඨ කථාවේත් තදන්‍යටීකා ග්‍රන්ථ වලත් විස්තර කරන ලද කරුණු අනුව කඨිනස්ථාරය නම් විස්තර කරන ලද කරුණු අනුව කඨිනස්ථාරය නම් විනය කර්මය පිළිබඳ කරුණු දැක්වීම නඟාලීම කාලෝචිත යැයි හැඟේ. ඒ සමග කඨිනය පඅලිබද සාමාන්‍ය තොරතුරුත් දක්වමි.

වස් කාලය ඇසළ, නිකිණි, බිනර , වප් යන මාස හතරින් නිමාවේ. මෙයින් ඇසළ පොහෝ දිනට පසු දින පටන් වප් මැදින්පෝය දින දක්වා වූ මාස තුන බුද්ධ ප්‍රඥප්තියක් අනුව භික්‍ෂූන් වහන්සේ පෙර වස් සමාදන්වීම කළ යුතුවේ. යම් කිසි හේතු නිසා මෙම දිනයට වස් සමාදන්වීමට අපහසු වූයේ නම් නිකිණි අව පෑලවිය දිනයේදී වස් සමාදන් වීමට හැකිය.

වැසි සමයේදී තණකොළ ආදි පැලෑටි ලියලා වැඩීම සිදුවේ. කුඩා පණුවන් ආදිය පොළොව මතුපිට වාසය කරති. පයට යට වුවහොත් එම ජීවීන් පෑගීම, මිරිකීම නිසා මැරීයාම සිදුවේ. අවිහිංසාව පරම ධර්මය කොට සැලකීම භාරතීය ජනතාවගේ පොදු හැඟීමයි. මෙහිදී චාරිකාවේ හැසිරෙන බෞද්ධ භික්‍ෂූන් වහන්සේ තණ පැලෑටි නසමින්, සතුන් මරමින් ඇවිදින විට ලක්වු දෝෂාරෝපණය නිසා “අනුජානාමී භික්ඛවේ වස්සානං වස්සං උපගන්තුං ….” මහණෙනි! වස්සාන ඍතුවෙහි වස්එළඹෙන්නට අනුදනිමි” යනාදී වශයන් වදාළ සේක. කුරුළු කොබෝ සතුන් පවා කැදලිවලට වී වැඩිපුර කල් ගත කරනුයේ වැසි කාලයේදීය.අන්‍ය තීර්ථක පූජකවරුද දිසා චරණයෙහි නොයෙදී වැසි සමයේදී කිසියම් තැනකට වී සිටියහ.

නමුත් වස් විසූ භික්‍ෂුවට වග වලස් නයි පොළොං යක්‍ෂ භූත ගිනි ජාලා ආදි කුමන හෝ උවදුරක් ඇතිවේ නම් සත්තාහකරණයෙන් යා හැකිය. එයින් වස් බිඳීමෙන් ඇවැත් සිදු නොවේ.

එකල පාවා නුවර වැසි පිණ්ඩපාතික වූ පාංශුකූලික තෙචීවරික ආරණ්‍යවාසී සංඝයා වහන්සේලා තිස්නමක් වැඩ හුන්හ. සඟරුවන බුදුරජාණන් වහන්සේ දැක කමටහන් ලබා ගැනීමට කැමතිව සැවැත් නුවරට වැඩම කරන්නේ සැවතට යොදුන් හයක් තිබියදී වස්සාන ඍතුව එළැඹිනි.අතරමග සාකේත නුවර නතර විය. වස් කාලය අවසන් වූ වහාම තව දුරටත් වැසි වැටෙද්දී තෙමී ගත් සිවුරුවලින් යුතුව බුදුරජාණනන් වහන්සේ හමුවට පැමිණියහ. එම කරුණ එදා කඨින චීවරයක් මහා සංඝරත්නය වෙත අනුදැනීමේ මඟ විය.

‘අනුජානාමි භික්ඛවේ වස්සං වුතරානං භික්ඛුනං කඨිනං අත්තරිතුං’ එතැන් සිට භික්‍ෂූන් වහන්සේට කඨිනය පරිභෝග කිරීමට අවස්ථාව උදාවිය.

කඨිනය යනු කුමක් ද?

“කථ” ධාතුවෙන් පරව “ඉන” ප්‍රත්‍ය වී “කථ හට කඨ” ආදේශ වී නිපැයෙන කඨින යන වචනයේ වචනාර්ථ දන්නෝ කඨිනාස්ථාරයේ ආනිසංස සමඟ එම වචනාර්ථ ගලපා මෙම වචනය අදාළ ධර්ම රාශියට ව්‍යවහාර වශයෙන් යෙදීමේ නිරවද්‍යභාවය සනාථ කොට පෙන්වා ඇත. ලෙහෙසියෙන් නොකැඩෙන, නොබිඳෙන, විනාශ නොවී (බොහෝ කලක්) පවතින ස්වභාවය යන අර්ථය එම වචනයෙන් උපදියි. “මහණෙනි! විසූ වස් ඇති (වස් වසා පවාරණය කරන ලද) භික්‍ෂූන් වහන්සේට කඨිනයක් අතුරන්නට අනුදනිමි. කඨිනය අතුරන ලද නුඹලාට අනාමන්තචාරය, අසමාදාචාරය, ගණභෝජනය, යාවදත්ත චීවර, යෝච තත්ථ චීවරුප්පාද යන පහක් කැප වශයෙන් හිමි වන්නාහ.”යනු බුද්ධ ප්‍රඥප්තියයි. භික්‍ෂූන් වහන්සේට පනවා ඇති ශික්‍ෂාපද කිහිපයකින් ලිහිල් බව පහසු බව සලසාදීම පිළිබඳව මෙම කරුණු වලින් කියවෙයි. එම ආඥාවට අනුව කඨිනානිසංස 5 උපදවන, එකට එකතු කරන නිසා කඨින යන ව්‍යවහාරය එයට ගැලපේ. කඨිනානිසංස පවතින මාස 5 ක කාලය පුරා තත් ආනිසංස ඉපදී රඳා සිටින බලය ඉන් ඉපදවීම ඊට හේතුවයි. වස් ශික්‍ෂාපද මැනවින් ආරක්‍ෂා කර කඨිනය අතුරන ලද භික්‍ෂු වහන්සේට බුද්ධ ආඥාව පරිදි ඒකාන්තයෙන්ම මේ කඨිනානිසංස උපදින බැවින් ද වස් ආරක්‍ෂා කිරීමේ සහ විනයට අනුව කඨිනය අතුරා එහි ආනිසංස භුක්ති විඳීමේ පුණ්‍ය බලයෙන් භික්‍ෂූන්ට නිවන හිමි කොට (ලෞකික, ලෝකෝත්තර) විපාක උපදවන බව ස්ථිරසාර බැවින් ද, ඒ සඳහා භික්‍ෂූන් වහන්සේට උපකාර කරන ගෘහස්ථයින්ට ද සසර පුරා තිරසාරව විපුල පුණ්‍ය විපාක උපදවා නිවන් පසක් කිරීමට උපකාර වන බැවින් ද එතෙක් සසර පුරා දිගු කලක් සුඛ විපාක භුක්ති විඳීමට ලැබෙන බැවින් ද කඨින යන වචනය ව්‍යවහාර කිරීමට ඉඩ ලැබෙන බව තහවුරු වෙයි.

කඨිනයක් හැම භික්ෂුවකටම ලබා ගත නොහැකිය. ඒ සදහා කරුණු කිහිපයක් සම්පූර්ණ විය යුතුය.වස්සාන ඍතුවේ මුල් මාසය වන ඇසළ පුනු පෝය දා පොහොය කොට අව පෑලවිය දා පෙර වස් එළඹ වස් කඩා නොගෙනතුන් මසක් මුලුල්ලේ එය මැනවින් ආරක්ෂාකොට වප් පුර පසොළොස්වක දා මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවක් විය යුතුය.

කඨිනයක් පරිභෝජනය කරන භික්ෂුව අංග අටකින් සමන්විත විය යුතුයි.
01. පුබ්බකරණං ජානතී – පූර්වකරණය දැනීම ( තුන් සිවුර පිලිබද කටයුතු)
02. පච්චුද්ධාරං ජානාති – පුරාණ තුන් සිවුරු පිළිබද පච්චුද්ධාරය දැන ගැනීම
03. අට්ඨානං ජානති – අධිෂ්ඨානය දැන ගැනීම
04. අත්ථාරං ජානතී – අත්ථාරය දැන ගැනීම
05. මාතිකං ජානතී – අෂ්ඨ මාතිකාව දැන ගැනීම
06. පළිබෝධං ජානතී – පළිබෝධය දැන ගැනීම
07. උද්ධාරං ජානතී – උද්ධාරය චැන ගැනීම
08. ආනිසංසං ජානතී – ආනිසංසය දැන ගැනීම

යන අංග සමන්විත විය යුතුය.

කඨින පින්කමක් සිදු කිරීමේදී පවත්නා සම්මතයන්
[1] අනාගත ශාසනාභිවෘද්ධියට කඨින චීවර පූජාව මෙසේ අනුදැන වදාළ බුදුරජානන් වහන්සේ මෙසේ කඨින සිවුරක්‌ පිළිගත හැක්‌කේ ඇසළ පෝදා වස්‌ සමාදන් වූ, වස්‌ ශික්‍ෂා පදය මැනවින් රැක, වප් පෝයෙන් වස්‌ පවාරණය කරන භික්‍ෂුවට පමණක්‌ බව දේශනා කළ සේක. චීවර මාසය හෙවත් වප් පොහොය දින සිට ඉල් පොහොය දක්වා දින විසි නවය තුළදී කඨින චීවර පූජාව සිදු කළ හැකිය.
[2] ඇසළ පෝදා වස්‌ සමාදන් වීමට නොහැකි වූ භික්‍ෂූන් වහන්සේලාට නිකිණි පෝදා වස්‌ සමාදන් විය හැකි වූවත් කඨින සිවුරක්‌ පූජා ලැබීමට නොහැකිය. උන්වහන්සේලා වස්‌ පවාරණය කළ යුත්තේ ඉල් පෝ දිනය.
[3] මේ පින්කම සඳහා අවම වශයෙන් උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලා පස් නමක්වත් සම්බන්ධ විය යුතුය.
[4] වෙසෙසින්ම, කඨිනයක් කඨිනයක් වීමට කරුණු 24ක් ද, එසේ නොවීමට හේතු 17ක් ද ඇති බව සඳහන්. ඒවා ඉදිරියේදී කියන්නම්.

කඨිනයක් පිදීමට සූදානම් වීම

පෙරවස් වසා පවාරණය කළ එක උප සම්පන්න භික්‍ෂුවක් හෝ කිහිප නමක් වැඩ සිටින විහාරයක දී වප් පුරපසළොස්වක දිනට පසු දින (වප් අව පෑළවිය දින) සිට ඉල් පුරපසළොස්වක දිනය දක්වා වූ වස්සාන සෘතුවේ අවසාන මාසය හෙවත් කාර්තික මාසයේ නියම කරගත් යම්කිසි දිනයක සංඝයා රැස්ව සිටියදී දායක පිරිස සකස් කළ යෝග්‍ය කඨින වස්ත්‍රයක් ඇති කල්හි කඨින අස්ථාරය නම් විනය කර්මය සිදු කිරීමට අවස්ථාව සැලකෙන බව ඉහත තොරතුරු අනුව සනාථ විය. යම්කිසි දෙවියෙකුට මනුෂ්‍යයෙකුට හෝ භික්‍ෂු භික්‍ෂුණී ආදී පැවිදි කෙනෙකුට හෝ කඨිනයක් සඟසතු කොට පූජා කර ගැනීමට අවස්ථාව උදාවන බව දැක්වේ. දායක තෙමේ එය පූජා කරන්නේ සංඝරත්නය වෙතය. (සංඝිකවයි)මෙම සංඝික කිරීම එදින රැස් වූ සංඝරත්නය වෙනුවෙන් එක් නමක් දෙනමක් ඉදිරියේ හෝ සියලු සංඝරත්නය ඉදිරියේ කළ හැකි ය. සෙසු සංඝික පින්කම් වලදී රැස්ව සිටින සියලු සංඝරත්නයට පිරිකර කොටස් බෙදී යන මුත් මෙදින ලැබෙන සියලු පිරිකර වල අයිතිය ලැබෙන්නේ කඨිනය අතුරන ලද භික්‍ෂූන්ට ය.

වස් විසූ විහාරයේ භික්‍ෂූන් වහන්සේලාගේ අනුදැනීමක්, මැදිහත් වීමක් හෝ සංවිධානය කිරීමක් නැතිව දායක පක්‍ෂයේම මැදිහත් වීමෙන් සංවිධායකත්වයෙන් භික්‍ෂූන් වෙත කඨිනයක් පුදන්නේ නම් ඉන් නියම කඨිනානිසංස ජනිතව දෙපාර්ශවයටම මහත්ඵල මහානිසංස ලැබෙන්නේ ය. මේ අනුව පළමුවම කළ යුත්තේ සුදුසු වස්ත්‍රයක් සපයා ගැනීමය. චීවර සඳහා තෝරා ගන්නා වස්ත්‍රය, ගස්වල කොළ, මල්, ගෙඩි, පොතු ආදිය තම්බා ලබා ගත් කහට වතුරෙන් කළ පඬු උරා ගන්නා එකක් විය යුතු ය. එසේම එය අලුත්ම වස්ත්‍රයක් විය යුතු ය. එවැන්නක් නැති විට දෙතුන් වරක් සෝදන ලද වස්ත්‍රයක් ද සුදුසු ය.
මෙසේ සපයා ගන්නා ලද කඨින වස්ත්‍රය විහාරයට ගෙන ගොස් සංඝික වශයෙන් පූජා කරනු ලැබෙයි.

අදාළ විහාරයේ වස් විසූ භික්‍ෂූන් 5 නමක් නැති නම් කඨිනය දෙන දිනයට වෙනත් විහාරයකින් හෝ සංඝයා වැඩමකරවා ගත යුතු ය. ඒ නිසා හිටි හැටියේ විහාරයට ගොස් ‘අපි කඨිනයක් දීමට ආවා’ යයි කීමෙන් එහි භික්‍ෂූන් වහන්සේලා ද දායක උදවිය ද විවිධ අපහසුතාවයනට පත් වනු ඇති නිසා වස් අවසානයේ පින්කමක් සිදුකර ගන්නට අවශ්‍ය බැව් දායක උදවිය විහාරයේ වස් විසූ භික්‍ෂූන් වහන්සේලාට දැනුම් දිය යුතුයි. තවත් භික්‍ෂූන් කිහිප නමක් වැඩමවා දෙන ලෙසද ආරාධනා කළ යුතු ය. ඒ අතරතුර ඉතාම සංයතව, ශික්‍ෂිතව කටයුතු කරමින් චාම් සරල පින්කමක් සංවිධානය කළ යුතු ය. කඨින වස්ත්‍රයට අමතරව චීවරය මැසීමට අවශ්‍ය නූල් ද හැකිනම් තවත් ලඝු ගුරු පරිස් කාරද වැඩම වන මහා සංඝරත්නය උදෙසා දානය ද මේ අතරම සම්පාදනය විය යුතු ය.

කඨිනයක් පුදන පිළිවෙළ
මෙසේ සකස් කර ගනු ලබන කඨිනය සහ සෙසු පරිස්කාර ආදියත් අළුයම් කාලයේ විහාරයට පමුණුවාගෙන ඒ බැව් මහාසංඝරත්නයට මතක් කිරීම අපේ ගතානුගතික සිරිතය. මෙහි ඉදිරි කටයුතු පිළිබඳ යථාර්ථය ඇතැම් දෙනා දන්නේ නැත.

. විහාරයට ගෙන ආ කඨින ‘ඉමං කඨින දුස්සං භික්‍ඛු සංඝස්ස දේම’ කියා දායක පින්වතුන් විසින් සාංඝික කළ පසු එය අයිති වන්නේ සංඝරත්නය වෙතය. කඨිනයක් ලබන්නේ ද කඨිනයක් දෙන්නේද සඟරුවනටයි. එයට අවකාශ සලසමින් කඨින වස්ත්‍රයක් සපයා සංඝරත්නයට පූජා කරන්නේ දායක පක්‍ෂයයි. සංඝරත්නයට ලැබෙන කඨින වස්ත්‍රය ගෙන සීමාවට රැස් වන සංඝරත්නය විසින් එම විහාරයේ වස් විසූ භික්‍ෂූන් වහන්සේ අතරින් එක් නමක් සම්මත කරගෙන ඤත්තිදුතිය කම්ම නම් විනය කර්ම මඟින් කඨිනය ඇතිරීම පිණිස ඒ සම්මත කරගත් (කඨිනස්ථාරක) භික්‍ෂුවට පවරා දෙයි. කඨිනය සම්බන්ධ වැදගත්ම කටයුතු සිදු කෙරෙන්නේ මින් ඉදිරියටය. ‘කඨිනය දීම, කඨිනය පැවරීම’ කියා කියන්නේ එම අවස්ථාවටය. එම දිනයේ සංඝරත්නය අවශ්‍ය වන්නේ මේ සඳහා ය. විනය කර්මයක දී සංඝ යනු උපසපන් භික්‍ෂූන් 4 නමක් හෝ ඊට වැඩි පිරිසකි. මෙහිලා පස් නමක් හෝ ඊට වැඩි පිරිසක් සිටිය යුතු යැයි කියන්නේ කඨිනය ලබන්නා ඒ වේලාවේ සංඝරත්නයට අයත් නොවන නිසාය. ඉතිරි හතර නම හෝ වැඩි පිරිස සංඝරත්නයයි.

මෙසේ කඨිනය ඇති කිරීම නම් විනය කර්මය කිරීම සඳහා සංඝරත්නයෙන් කඨිනය ලැබූ භික්‍ෂුව වස්ත්‍රය (කිළිටි වී ඇත්නම් සෝදා වේලා) අවශ්‍ය ප්‍රමාණයට මැනගෙන, නූල් ගසා, කඩ නියම කරගෙන, (කෑලි වලට) කපා, සිවුර මසා, පඬු පොවා, කප්බිංදුව තබා වැඩ නිම කළ සිවුරෙන් පසුදින අළුයමට පෙර ( ඒ දිනය ඇතුළත) කඨිනය ඇතිරීම කළ යුතු වෙයි. අනෙක් සියලු දෙනා වහන්සේ උන්වහන්සේට උපකාර කළ යුතු ය. නැති නම් ඒ සැමට ඇවැත් සිදු වේ. මේ කාරණා අනුව පැහැදිලි වන්නේ සංඝරත්නය වෙත කඨිනයක් පූජා කරන පින්වතුන් ඒ අදාළ දින ඉතා උදෑසනින් එය විහාරයට ගෙන ආ යුතු බව ය. කොස්කොළයේ නටුව පෙනෙන වේලාවට කඨිනය විහාරයට ගෙන යා යුතු යැයි අපගේ මුතුන්මිත්තන් තුළ ජන සම්මත ව්‍යවහාරයක් තිබුණේ මේ නිසා ය.

කඨිනය ඇතිරීම
වැඩ නිම කළ චීවරයෙන් කඨිනය ඇතිරීම එදිනම සිදුකරනු ලබයි. මෙය විනය කර්මයක් යැයි කියන්නේ ඤත්තිදුතිය කර්මයේම පරිවාරක කටයුතු සමූහයක් වශයෙන් මේවා සිදු කෙරෙන නිසා ය. සර්වඥයන් වහන්සේ ‘කඨිනස්ථාරය මෙසේ කළ යුතු ය’ යන ශීර්ෂය යටතේ මෙය කෘත්‍යය සියල්ල සම්පිණ්ඩනය කර වදාරා තිබීමෙන් මේ බැව් තහවුරු වෙයි. වස්ත්‍රය සෝදා, මැන, නූල් ගසා මඩුලු නියම කොට කපා, නැවත එම අතු එක්කොට මසා, පඬු පොවා අවශ්‍ය කටයුතු සම්පූර්ණ කළ පසු සිවුරේ වැඩ නිම වී යැයි කියනු ලැබේ. (විනයගත කරුණු අනුව සංඝරත්නයට කඨිනයක් පූජා කළ පසු ගිහියන්ට එහි මැසීම් පඬු පෙවීම් ආදී කටයුතු කිරීමට ඉඩදීම අවශ්‍ය නොවන බව ඉහත කරුණු වලින් හෙළිවන බවද මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතුයි.) වැඩනිමකළ සිවුර ඇති කඨිනස්ථාරක භික්‍ෂුව ඒ චීවරයට සමාන පැරැණි චීවරය පච්චුද්ධරණය කොට ඒ වෙනුවට මෙම නව චීවරය අධිෂ්ඨාන කොට එය වම් අත්ල මත තබා ගෙන දකුණු අතින් පිරිමදිමින් (සුදුසු පරිදි වාක්‍ය යොදා) මෙයින් කඨිනය අතුරමි කියා වාග්භේදය කිරීම හෙවත් වචනයෙන් කීම කඨිනය ඇතිරීම නම් වෙයි. වාග් භේදයම කඨිනස්ථාරය නම් වන බව පරිවාර පාලියේ දැක්වෙන කරුණු වලින් හෙළිවෙයි.
මෙසේ කරුණු කාරණා රාශියක් එකට එක් වීමෙන් කඨිනය ඇතිරීම් විනය කර්මය සම්පූර්ණ වන අතර බුද්ධ දේශනාවට අනුව කඨිනය ඇති රූ භික්‍ෂුවට කඨිනානිසංස 5 ක් හිමිවෙයි. එම භික්‍ෂුව විසින් ආරාමයේ වස් විසූ සෙසු භික්‍ෂූන්ට ද කඨිනානිසංස අනුමෝදන් කරවනු ලබනු අතර එම භික්‍ෂුවගෙන් ආනිසංස අනුමෝදන් වූ පසු ඒ සියලු දෙනාම ආනිසංස ලාභීන් වෙති. මෙම අසහාය ශාසනික විනය කර්මයට උපකාර කිරීමෙන් ද සිවුපසය සහිතව කඨිනයක් පූජා කිරීමෙන් ද දායකයනට අද්විතීය සාංඝික පුණ්‍ය කර්මයකින් ලැබෙන ශ්‍රේෂ්ඨ විපාක උපදින්නේ ය. මුලින් කඨිනය ගැන පැහැදිලි කළ විස්තර අනුව මෙහි ආනිසංස දෘඪ තර වන අයුරු තේරුම් ගත හැකි ය. ඊළඟට කිව යුතු කරුණ වන්නේ විනය කර්මයක් වශයෙන් කෙරෙන කඨිනයට පින්කමයැයි කීම සුදුසු නොවන බවය. පින්කමක් කළ පමණින් හෝ කඨිනයක් දී කඨිනය ඇති රූ පමණින් හෝ භික්‍ෂූන්ට කඨිනානිසංස ලැබෙන්නේ නොවේ. ‘මෙය මෙසේ විය යුතු යැයි’ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට අනුව විනය පිළිවෙත් ඉටු වූ කල්හිම එම ආනිසංස ජනිත වනු ලබයි. ඒ නිසා මෙය විනය කර්මයක් බව තිරසාරවම කිව හැකි ය. වස් කාලයේ අවසාන මාසය තුළ දිනයක එම විහාරයේ කෙරෙන පින්කමට ‘වස් අවසාන පින්කම’ කීම අර්ථාන්විතය. ‘අද අසවල් විහාරයේ කඨිනය. අසවල් විහාරයේ අසවල් දවසේ කඨිනය දෙනවා. කඨිනය අසවල් දා තියෙනවා’ ආදී යෙදුම් ඉතාම නිවැරැදි අර්ථාන්විත යෙදුම් ය.

කඨිනයක් කඨිනයක් නොවීමට වීමටනම් කරුණු 24ක හේතු වේ.
01. ලකුණුකළ පමණින් කඨිනය නොඅතුලේ වේ.
02. වස්ත්‍ර සේදූ පමණින් කඨිනය නොඅතුලේ වේ.
03. කඩ නියම කළ පමණින් කඨිනය නොඅතුලේ වේ.
04. කඩ කැපීම් පමණින් කඨිනය නොඅතුලේ වේ.
05. හිස් නූල් ඇදීම් පමණින් කඨිනය නොඅතුලේ වේ.
06. දික් මැහුම් මැසීම් පමණින් කඨිනය නොඅතුලේ වේ.
07. අතු මූට්ටු කිරීම් පමණින් කඨිනය නොඅතුලේ වේ.
08. දෙපට එකට මැසීම් පමණින් කඨිනය නොඅතුලේ වේ.
09. පිටනුවා ඇල්ලූ පමණින් කඨිනය නොඅතුලේ වේ.
10. ඇතුල් නූවා ඇල්ලූ පමණින් කඨිනය නොඅතුලේ වේ.
11. අමුතු රෙදි පටක් ඇල්ලූ පමණින් කඨිනය නොඅතුලේ වේ.
12. එක් වරක් පඩු පෙවූ පමණින් කඨිනය නොඅතුලේ වේ.
13. මේ වස්ත්‍රයෙන් කඨිනය අතුරමී නිමිතිකොට ලත් වස්තරයෙන් කඨිනය නොඅතුලේ වේ.
14. අනුසස් කීමෙන් ලත් වස්තරයෙන් කඨිනය නොඅතුලේ වේ.
15. තාවකාලික වස්ත්‍රයෙන් කඨිනය නොඅතුලේ වේ.
16. තැන්පත් කොට තැබූ වස්ත්‍රයෙන් කඨිනය නොඅතුලේ වේ.
17. එක් රැයක් ඉක්ම යාමෙන් නිසැගි වූ වස්ත්‍රයෙන් කඨිනය නොඅතුලේ වේ.
18. කප් බින්දු නොතැබූ වස්ත්‍රයෙන් කඨිනය නොඅතුලේ වේ.
19. සගල සිවුරු හැර අන් වස්ත්‍රයෙන් කඨිනය නොඅතුලේ වේ.
20. උත්තරසංග චීවරය හැර අනෙක් වස්ත්‍රයෙන් කඨිනය නොඅතුලේ වේ.
21. අන්තර වාසකය හැර අනික් වස්ත්‍රයෙන් කඨිනය නොඅතුලේ වේ.
22. එදිනම කපන ලද මහ මඩුලු කුඩා මඩුලු සහිත වූ කුඩා කඩ අතු පසෙකින් හෝ වැඩියෙන් කඩ ඇති සිව්රක් හැර අනෙකකින් කඨිනය නොඅතුලේ වේ.
23. පුදුගලයෙකුගේ ඇතිරීමෙන් විනා සංඝයාගේ හෝ සමූහයාගේ ඇතිරීමෙන් කඨිනය නොඅතුලේ වේ.
24. කඨිනය මනා කොට අතුරන ලද වුවත් එය වස් විසූ විහාර සීමාවෙන් බැහැරව යමෙක් අනුමොදන් වේද මෙසේද කඨිනය නොඅතුලේ වේ.

කඨිනයක් කඨිනයක් වීමට වීමටනම් කරුණු 17ක හේතු වේ.
1. අලුත් වස්ත්‍රයෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
2. අලුත් වස් සමාන වූ වස් කඨිනය අතුරන ලද්දේ වේ.
3. රෙදි කැබලි වලින් කළ සිවුරෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
4. පාංශුකූලික වශයෙන් ලත් වස් කඨිනය අතුරන ලද්දේ වේ.
5. සල්පිල් දොරටුවේ හැර දැමූ අහුලාගත් වස් කඨිනය අතුරන ලද්දේ වේ.‍
6. හැගවීමක් නැතිව ලත් වස් කඨිනය අතුරන ලද්දේ වේ.
7. අනුසස් නොකීමෙන් ලත් වස් කඨිනය අතුරන ලද්දේ වේ.
8. තාවකාලික නොවූ වස් කඨිනය අතුරන ලද්දේ වේ.
9. සන්නිධි (තැන්පත් කොට) නොතැබූ වස් කඨිනය අතුරන ලද්දේ වේ.
10. නිසගි නොවූ වස් කඨිනය අතුරන ලද්දේ වේ.
11. කප් බින්දු තැබූ වස් කඨිනය අතුරන ලද්දේ වේ.
12. සගල සිව්රෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
13. උතුරු සග සිව්රෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
14. අදනා සිව්රෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
15. එදවස කපන ලද මැඩිලි සහිත කරන ලද අතු පසක් ඇති පසට වැඩි හෝ අතු ඇති සිව්රකින් කඨිනය අතුරන ලද්දේ වේ.
16. පුද්ගලයෙකුගේ ඇතිරීමෙන් කඨිනය අතුරන ලද්දේ වේ.
17. මනාකොට නියමය අනුව කඨිනය අතුරන ලද්දේ වේ. එය සීමාහෙි සිටියෙක් අනුමොදන් වේද? මෙදස්ත් කඨිනය අතුරන ලද්දේ වේ.

කඨිනානිසංස නැති වන කරුණු අටකි.
පක්‌කමනන්‌තිකා, නිට්‌ඨානන්‌තිකා, සන්‌නිට්‌ඨානන්‌තිකා, නාසනන්‌තිකා, සවනන්‌තිකා, ආසාවච්‌ඡෙදිකා, සීමාතික්‌කන්‌තිකා, සහුබ්‌භාරා. මේවායේ තේරුම ඉදිරි ලිපි වලින් දක්වන්නම්. මෙහි ලිවීම ගියහොත් ලිපිය විශාල වේ.

සිවුරුවල ප්‍රමාණය – භික්ෂූන් වහන්සේ පාවිච්චි කරන චීවරය බුද්ධ චීවරයට වඩා ප්‍රමාණයෙන් කුඩා විය යුතු වෙයි. එනම් දිගින් සුගත් වියතින් නවයක් සහ පළලින් සුගත් වියතින් හයකට වඩා අඩුවිය යුතුය. සුගත් වියත යනු වඩු රියන් එක හමාරකි. ඒ අනුව අද එවැනි විශාල චීවරයක් දැරීමට කිසිවකුටත් අවශ්‍ය වේය’ යි සිතිය නොහැකි ය. ඉතා කුඩා චීවරයක් නම් ඉහතින් දැක් වූ සුපටිච්ඡන්න, පරිමණ්ඩල ශික්ෂා පද රැකීමට අපහසු වේ. ඒ නිසා තම තමන් වහන්සේලාගේ ශරීර ප්‍රමාණයන් අනුව චීවරය සකස් කැර ගැනීම නිවැරදියි. අඳන ය සඳහා දිගින් පස් රියනක් සහ පළලින් රියන් දෙක හමාරක් සුදුසු වේ. තනිපට, දෙපට චිවර සඳහා දිගින් රියන් පහ හමාරක්ද, පළලින් රියන් හතර හමාරක්ද වීම සුදුසුය. පස්කඩ, සත්කඩ, වශයෙන් සිවුරු කපා මසා ගත යුතුය. පසළොස්කඩ, අසූකඩ වශයෙන්ද සිවුරු මසා ගනිති. පාංශකූ®ල රෙදි වලින් චීවර මසා ගන්නේ්නම් කැමති පරිදි මසා ගැනීම අනුදැන වදාරා ඇත. එහෙත් අලංකාරය පිණිස කිසිදු මැස්මක් නොකළ යුතුය. අංසකඩය යනු ඩහදිය උරා ගැනීමට අදින පිරිකරකි. එය ඇතැම් දෙනා බැනියමක් ආකාරයට මසා ගනිති. එය විනයානුකූල නොවේ. ‘න තඤ්චුකං ධාරේතබ්බං’ යනුවෙන් එය ප්‍රතික්ෂේප කැර ඇත.

චීවර සඳහා වස්ත්‍ර- අනුජානාමි භික්ඛවේ ඛෝමං, කෝසෙය්‍යං, කප්පාසිතං, කම්බලං, ඝාණං, භංගං… යනුවෙන් අනුදැන වදාළ පරිදි, ‘ඛෝම’ නම් ගසෙහි කෙඳි වලින් වියන වස්ත්‍ර, කපු නූල් වලින් වියන වස්ත්‍ර, පට නූලෙන් වියන වස්ත්‍ර, මිශ්‍ර නූලෙන් වියන වස්ත්‍ර සහ මේවාට සමාන වෙනත් වස්ත්‍ර වර්ග ද සුදුසු වේ. හිසකෙස්, පියාපත්, සම් වර්ග ආදියෙන් කළ වස්ත්‍ර අකැපය.

චීවරයෙහි පැහැය – මෙකල භික්ෂුන් වහන්සේ විවිධ පැහැයෙන් යුතු චීවර පෙරවති. සිවුරෙහි තිබිය යුතු පැහැය පිළිබඳ විනායානුකූලව බැලීම වඩාත් සුදුසුය. නිල්, කහ, රතු මදටිය, කළු, පැත්තෑයන්ගේ පිටෙහි පැහැය, ඉදුණු කොළ වල පැහැය, යන මෙම පැහැයන්ගෙන් යුතු වස්ත්‍ර අකැපය. මෙවැනි පාට ඇති චීවර ඇත්නම් එම පැහැය වෙනස් කැර ගත යුතුය. එසේ කිරීම අපහසු නම්, ඇතිරිලි වැනි දෑ සඳහා ප්‍රයෝජනයට ගත යුතුය. චීවරයේ පැහැය මිශ්‍ර වර්ණයන් විය යුතුය. කළු, රතු, කහ පැහැයන් මිශ්‍ර වී ඇතිවන පාට නුග ගසෙහි පොතු තම්බා ගැනීමෙන් ලබා ගත හැකිය.

දායක උදවිය විහාරයේ වස් විසූ භික්‍ෂූන් වහන්සේ සමඟ කඨිනය ගැන කල්තබා කථා කිරීමෙන් කඨිනයට සෘජුවම සිදුවන හානියක් නැත. නමුත් කඨින විපත් 24 ට ඇතුළත් කරුණු දෙකක් වන 1. පරිකථා කිරීම, (කඨිනයක් ලබා ගන්නා සිතින් ආනිසංස කීම, අවවාද දීම, මෙන්ම ලැබෙන පරිදි ළං කොට කථා කිරීම) 2. මෙයින් කඨිනය අතුරමි කියා කළින් නියම කර ගත් වස්ත්‍රයකින් කඨිනය ඇතිරීම යන විපත් දෙකෙන් ගැලවීමට භික්‍ෂූන් වහන්සේ කල්පනාකාරීව කටයුතු කළ යුතු ය.

පඨවිරිවන ජාතු කම්පතෙ – න ච ලති මේරු රිවාති වායුනා
වජිර මිව න භිජ්ජතෙ ඝනං – තමෙද මතො කඨනංති වුච්චතී

කඨින චීවර දානමය කුසල කර්මය මහා පොළොව මෙන් කිසි දිනක කම්පා නොවේ. මහමෙර මෙන් අධික සුළඟින් නොසැලේ. දියමන්ති පර්වතයක් මෙන් නොබිඳෙන හෙයින් මේ ස්ථාවර කුසලයට “ කඨින’’ යැයි කියනු ලැබේ.

‘කඨින’ දානමය කුසලය අට මහා කුසල් අතර ප්‍රධාන වන්නේය. ආර්ය පුද්ගල මහා සංඝ රත්නය වෙනුවෙන් මහ මෙර උසට සියලු ආමිස දානයන් අභිබවා කඨින පූජාව අගතැන් ගනී.

නාගිතාපදානය දෙස විමසා බලන විට කඨිනයේ අනුසස් කොතරම් ද යනු සිතා ගත හැකි ය. නාගිත හිමියන් පෙර ආත්මයක දී කඨිනයක් පූජා කර, එම ශ්‍රේෂ්ඨ කුසලය අර්හත් මාර්ග ඤාණයට උපනිශ්‍රය වේවා, යි ප්‍ර‍්‍රාර්ථනා කර ඇත. එතැන් පටන් සතර අපායේ නොඉපිද, දෙව් ලොව සහ මිනිස් ලොව ඉපිද දිව්‍ය මනුෂ්‍ය සම්පත් අත් විඳ ඒහි භික්‍ෂු භාවයෙන් සිවු පිළිසිඹියා පත් මහ රහත් බව ට නාගිත හිමියෝ පැමිණියහ. කඨින චීවරය පරිහරණය කරන භික්ෂුවට ලැබෙන ආනිශංස පහ පසුව නැති වී ගියත් පූජා කළ දායක පක්ෂයට ලැබෙන ආනිශංස එසේ අහිමි වී නොයයි.

අනවතප්ත විල අසල දී බුදු රදුන් පිරිවරා වැඩ සිට රහතන් වහන්සේ මධ්‍යයෙහි නාගිත මහ රහතන් වහන්සේ, තමන් කළ කඨින පුණ්‍ය කර්මයේ ඉෂ්ට ඵල විපාක ප්‍රකාශ කළ ගාථා තුළින් මෙහි ආනිශංස අපට වඩාත් තේරුම් ගත හැකි ය.
( අනවතප්පත විල ගැන දැනගන්න මේ ලිපිය කියවන්න
http://www.facebook.com/photo.php?fbid=462917423758136&set=pb.100001196487578.-2207520000.1351659330&type=3&theater )

“ කඨින දානං දත්වාන –
සංඝෙ ගුණ වරුත්තංම
ඉතො නිංස මහාකප්පෙ
නාහිජානාමි දුග්ගතිං”

ගුණයෙන් උතුම් වූ මහා සංඝයා විෂයෙහි කඨින චීවර දානයක් පූජා කර මහා කල්ප තිහක් දුගතියක නොඉපදුණෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.

“අට්ඨාර සන්නං කප්පානං
දෙව ලොකෙ රමාමහං
චතුත්තිං සක්ඛතතුං දෙවින්දො
දෙවරජ්ජ මකාරයිං”

අටළොස් කල්පයක් දෙව් සැප වින්දෙමි. තිස් හතර වාරයක් සක් දෙව් රජව ඉපිද වාසය කළෙමි. මේ කඨින පූජාවේ අනුසසයි.

“දෙව භවෙ උප්පජ්ජාමි
දෙවා පිච මානුංස
අඤ්ඤංගති නජානාමි
කඨින දානස්සි දං ඵලං”

දෙව් මිනිස් දෙගතිය හැර අන්‍ය ගතියක නූපන්නෙමි. මේ කඨින දානයේ ඵල විපාකය යි.

අතෝ බුද්ධො අහෝ ධම්මො
අහො සංඝස්ස සම්පදා
පරිත්ත දානං දත්වාන
ලද්ධං මේ විපුලං සුඛං

බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ නෛර්ය්‍යානික බව දක්ෂිණාර්හබව ආදී ගුණ විශේෂ නිසා මා දුන් කඨින දානයෙන් මේ සා මහත් සම්පත් ලදිමි.

‘තෙනෙව කුසල කම්මෙන
පියොහං දෙව මානුසෙ
තස්සෙව හඳ කම්මස්ස
පතංතොසමිං අමතං පදං’

එම කඨින චීවර දාන සිතිවිල්ල හේතු කොටගෙන මම දෙව්ලොව දෙවියන්ට ද මිනිස් ලොව මිනිසුන්ටද ප්‍රිය මනාප පුද්ගලයකු වූයෙමි. එම කුසල ක්‍රියාවේ අනුසස් නිසා උතුම් නිවනට ද පැමිණියෙමි.

මෙලෙස නාගිත මහ රහතන් වහන්සේ කඨින චීවර දානයෙහි මහා කුසල විපාක ගෙන හැර වදාළහ.

ගුණ නුවණින් පරිපූර්ණ රාජ රාජ මහාමාත්‍යාදි පුණ්‍යකාමීහු සිල්වත් මහ සඟරුවන ඇසුරු කරමින් ඒ , ඒ විහාර ආරාමයන්හි මහත් ශ්‍රද්ධා භක්තියෙන් කරනු ලබන විශේෂ කුසල කර්මයකි. අපමණ පින් ඇතිවන අනුහස් ඇති කඨින සිවුරක් පූජාකරගත් අයට ආනන්තරික කර්ම හැර ඉන් මෙපිට කවර විදියේ අකුසල කර්මයක් කෙරී තිබුණද ඒවා යටපත් කිරීමේ ශක්තියක්, බලයක් ඇතිවේ. දෙවි මිනිස් දෙගතියෙහිම සැරිසරමින් මහාකල්ප හතකින් පමණ මෙම කුසලයෝ විපාක ලැබිය හැකිය. සක්දෙවි රජෙකුවීමට හේතුවන කුසලයකි. උපනූපන් සෑම තැනකදීම සියලු සම්පත් ලැබීමට හේතුවේ. ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ යන උසස් කුලවල ඉපදීමට උපකාර වේ. සෑම තැන්හිම පි‍්‍රය, මනාප පුද්ගලයෙකු වේ. මෙම අනර්ඝ කුසල කර්මයෙහිදි සංඝයා වහන්සේලාට අවශ්‍ය කැපසරුප් බඩු බාහිරාදියද පූජා කිරීමක්ද සිදු වේ. ඉදල, කොස්ස, පැදුර, කොට්ටය, පාපිස්ස, ආදිය උපකරණ පමණක් නොව විහාරස්ථානයට අවශ්‍ය ඇඳ පුටු ආදි ගරු භාණ්ඩයෝද පූජා කළ හැකිය. වැඩ සිටින සියලුම භික්‍ෂූන් වහන්සේලාට සිවුරු පූජා කිරීමද වස්සාවාසික චීවරපූජා නමින් හඳුන්වයි. එපමණක් නොව දායක පිරිස විසින් විහාරස්ථාන භූ®මිය එළි පෙහෙළි කොට විහාර, බෝමළු ධර්මශාලා දී ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමද සිදු කරනු ලබයි. සිංහල බොදු සැදැහැවතුන්ට මේ මහානිසංසදායි කුසල ක්‍රියාවම උතුම් චාරිත්‍රයකි. පුරා මාස තුනකට වඩා පිළිවෙත් පිරීම නිසා පැවිදි පක්‍ෂයට ලැබෙන අනුහසද බොහෝය.

කඨින විපත් 24 කි. සිහිමුලාවෙන් හෝ විනය නොදත්කමින් හෝ ඇතැමෙක් ප්‍රත්‍ය ආසාවෙන් මේ විපත් 24 න් එකකටවත් හසු වුවහොත් කඨින ආනිසංස උපදින්නේ නැත. ඒ නිසා කඨින සම්පත් 17 න් කියවෙන පරිදි කඨිනයක් ඇතිරීම් ක්‍රියාව සිදු විය යුතු ය. කඨින විපත් අතරින් ඉතා ලෙහෙසියෙන් මත් බොහෝ සෙයින්මත් පත්වන විපත් දෙක වන්නේ ඉහත කී කරුණු දෙකය. ඒ නිසා ඊට වැට කඩොලු බැඳීම පිණිස අපේ පැරණි ථෙරාචාර්ය වරයන් වහන්සේලා දායකයන් සමඟ කල් ඇතිව කඨිනය ගැන කථාවට නොගිය බැව් පෙනෙයි. කඨිනයක් දීමට (පූජා කිරීමට) සූදානම් වෙනවාය යන හැඟුමෙන් ‘කඨිනය, කඨිනය’ යැයි කියමින් මේ කටයුත්තට සූදානම් වීම කටයුතු සංවිධානය කිරීම නිසා දායක උදවියට වැඩිපුර ආනිසංස උපදවා ගත හැකි වනු ඇති මුත් භික්‍ෂූව එසේ කිරීමට යාමෙන් කඨිනානිසංස නොලැබෙන පරිදි කටයුතු යෙදීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත.

අනික්තසාවෝ කාසාවං – යෝ වත්තං පරිදහෙස්සතී
අපේතෝ දමසච්චේන – නසෝ කාසාවමරහතී
(ථෙරගාථා)

චීවරය දැරීමට සුදුස්සෝ – කෙළෙස් කසට දුරුකැර ඇත් ද, ශීලයෙන් යුක්ත වේද, ඉන්ද්‍රිය දමනයෙන් සහ සත්‍යයෙන් යුක්ත වේද, හෙතෙම චීවරයට සුදුසු වේ. යමෙක් සිල්වත් වේද, දුරු කරන ලද රාග ඇත්තේ ද, යහපත් සිතක් සහ යහපත් කල්පනාවක් ඇත්තේ ද හෙතෙම චීවරයක් දැරීමට සුදුස්සකු වේ.

සූකර මද්දව නැමති අවසාන බුද්ධ පූජාව ඌරු මස් ද ?
කෝටි ලක්ෂයක් සක්වල අභිබවනය කල මෙත් සිත - මෙත්තානිසංස සූත්‍රය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.