මහත් ඵල මහානිසංස ලබාදෙන බෝමලු, විහාර මලු ඇමදීමේ පින්කම - IFBC Organization | Dhamma

පඤ්චානිසංසා, සම්මජ්ජනියා, සකචිත්තං පසීදති,
පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති,
පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති,
කායස්ස භේදා පර්ම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජතිති.

දයාබර යාලුවනේ ඉහත පාඨයෙන් ප්‍රකාශ වන්නේ විහාරස්ථාන, බෝමළු ඇමදීමේ අනුසස් පිළිබඳවයි. එහි සාමාන්‍ය අදහස වන්නේ, “ඇමදීමෙන් අනුසස් පහක් ලැබෙන බවයි. තමන්ගේ සිත පහදී, අනුන්ගේ සිත් පහදී, දෙවියෝ සතුටුවෙති. රූපශෝභාව ලැබේ. මරණින්මතු සුගතියෙහි උපදී.”

යාලුවනේ විහාරස්ථාන, බෝමළු ඇමදීම වියදමක් නැතිව කාටත් කළහැකි විශිෂ්ටතම පින්කමක්. සිතේ ශ්‍රද්ධාව ඇතිව එය කරන්නේනම් අනන්ත ආනිශංස ලැබෙනවා. බෞද්ධයින් අඩුතරමින් පොහොය දිනටවත් විහාරස්ථානයට යනව. බොහෝ උපාසක උපාසිකාවන් උපෝසථ අෂ්ඨාංග ශීල ගෘහස්ථ දසසීල සමාදන් වෙනව. ඒ අයට එදින කළහැකි ඉතාම පහසු කුසලයක් නම් මලුපෙත් ඇමදීම, මල් අසුන්වල පරමල් ඉවත්කර මල් අසුන් සෝදා පිරිසුදු කිරීම, දාගැබ්, බෝමලු විහාර මලුව ඇමද පිරිසුදු කිරීම ආදී කුසලකාර්යයන්. මෙය වියදමක් නැතිව කළ හැකි උසස්ම කුසලකර්මයක්.

විහාරස්ථාන වතාවත් කිරීමෙන් ලැබෙන අනුසස් අනන්තයි. එය විශේෂයෙන්ම නුවණ හා රූප සෝභාව ලැබීමට හේතුවන පිංකමක්. මියගොස් නැවත උපදින අයෙකු සුගතිගාමීව උපදින අතර. මිනිස්ලොව උපන්නේනනම් ඉතා යහපත් මෙන්ම ධනවත් දෙමාපියන්ට දාව උපදිනව. උපදින උපදින ආත්මයේ ශරීරාංග සම්පූර්ණව අංගවිකල නොවී උපදිනව. පූර්ණ මෙන්ම බොහොම ආරෝහ පරිණාහ දේහයකින් යුත්තව උපදිනව, ඒ විතරක් නොවේ උපදින්නෙ කාන්තාවක් ලෙසින්නම් පංචක්‍යාලණියක් ලෙසින් උපත ලබනව. ශරීරය වර්ණවත් වෙනව. නැත්නම් රන්වන් පැහැ වෙනව. හරියටම උණුකර පෙරන ලද රත්රන් මෙන් ශරීරය පැහැපත්වෙනව. හරියට මැදපු රන් පතක් සේ රන්වන් පැහැති සිනිඳු සමක් ලැබෙනවා. ශරීරයේ දූවිලි සහ කුණු තැවරෙන්නෙ නෑ. හරියට නෙලුම් කොළයකට දිය බින්දුවක් දැම්මම නිකම්ම ලිස්ල යනව යාලුවො දැකල ඇති නේද? අන්න ඒ වගේ ශරීරය මතුපිට දූලි රදන්නෙත් නෑ. ඒ විතරක්ද උෂ්ණය, අව්රශ්මිය, ගිණිරශ්මිය, ආදිය නිසා දාදිය ගලල ශරීරය අපිරිසිදු වන්නෙත් නෑ. කොටින්ම ශරීරය මොනවිදියකින්වත් අපිරිසිදු වෙන්නෙම නෑ. සමාජයේ ජනපි‍්‍රය වෙනව. දීර්ඝායුෂ ලැබෙනවා. කුෂ්ඨරෝග, දද, කැලලි, වණ, පිළිකා ආදිය ශරීරයේ ඇති වන්නෙත් නෑ. රෝගපීඩා වැලදීම පවා සිදුවෙන්නේ නෑ. කොටින්ම නියාම ධර්ම නිසා ඇතිවන රෝග පීඩාදීන පවා මග හැරෙන්න පුලුවන් තරම් මහ පින්කමක් මේක. ඒ විතරක් නෙවෙයි. චිත්ත පීඩා දුරුවනව. සිත පිරිසිදුවෙනව. සැහැල්ලු වෙනව. අසහනයන් දුරුවෙනව. සතුරන් ඇතිවෙන්නෙත් නෑ. සතුරන් මිතුරන් බවට පත්වෙනව. කිසිකලෙක ආහාරපාන ආදී දේවලිනුත් කිසිම අඩුවක් වෙන්නෙත් නෑ.
ඒ විතරක්ද දැසිදස්සො හා පිරිවරත් ඇතිවෙනව. ගිණිබිය, ජල බිය, සොරබිය, රාජබිය, සොරබිය ආදී කිසිම දෙයකින් පාඩුවක් වෙන්නෙත් නෑ. අඩු ආයුෂයෙන් මියයාමක් සිදුවන්නෙත් නෑ මේ පින්කම තුලින් දෙමාපිය, සොහොයුරු හිතමඅතුරන් මෙන්ම රටවැසියන් තමන්ට අවනත වෙනව. භවබෝග සම්පත් ඇති, යසස ඇති, රූපසම්පත් ඇති වීම, නෑයන් ලක්ෂපාතීවීම ආදිය ඇති වෙනව. දෙවියන්ද, මිනිසුන්ද, අසුරයෝද, යක්ෂයෝද ආරක්ෂා කරනව. දෙවි මිනිසුන් අතර සැප විද අවසන අනුත්තර නිර්වාණ සැප ලබනව. මාර්ගඵල ධ්‍යාන ලබන්නත් පුලුවන් වෙනව.

පෙරපෙරකළ අකුසලකර්ම නිසා නිදන්ගතව සුව නොවන කුෂ්ඨ රෝගීන් සිටිනව. සිද්ධ ස්ථාන ඇමද පිරිසුදු කිරීමෙන්, කලක් එසේ කරන විට නොදැනුවත්වම කුෂ්ඨරෝග සුවවෙනව. බෝමලු, විහාරමලු ඇමදීම කුෂ්ඨ රෝගීන්ට යහපත් ඖෂධයක් වගෙයි. චිත්ත පාරිශුද්ධිය මනුෂ්‍යයාට ඉතාම අවශ්‍යයයි. අපිරිසුදු සිතකින් කුමන කුසල් කළත් එයින් ප්‍රයෝජනයක් නැහැ. අපිරිසුදු සිතෙන් කරන කුසලය සම්පූර්ණවන්නෙ නැහැ. හිත පිරිසුදු කරගැනීමට කළහැකි අගනා පින්කම විහාරමලු ඇමදීමයි. ‘මේ මලුවේ කුණු රොඩු ඉවත්වී පිරිසුදු වන්නාක්මෙන් මගේ සිතද ලෝභ, ද්වේෂ, මෝහ, මාන, වෛර, ක්‍රෝධ ආදී කෙලෙසුන්ගෙන් වෙන්වී පිරිසුදුවේවා’ යන්න සිත තුළ රඳවාගන අමදින විට සිතතුළ නිතැනින්ම මෛත්‍රිය, කරුණාව උපදිනව.
පිංවත් යාලවො දැන් දැන් ටික ටික ධර්මය කෙරේ යොමුවෙන බව මට ආරංචියි. ඒකට මම පලකරන ලිපිත් හේතුවක් නම් ඒ ගැන මම අපමණ සතුටු වෙනව. ඔයාලට මේ බෝමලු ආදිය ඇමදීමෙන් ලද අනුසස් ගැන කථා කිහිපයකුත් කියන්නම්කො. එතකොට මේ පින්කමේ වටිනාකම තවත් පැහැදිලිවෙයි.

සකිංසමිමජ්ජක ථෙරාපදානයේ මෙන්න මෙහෙම සදහන් වෙනව.

විපස්සී බුදුරජුන්ගේ උතුමිවූ පාටලී බෝධි වෘක්‍ෂ රාජයා දැක එහි සිත පැහැදවීමි. එකෙණෙහි මම මුස්න ගෙන බෝ මඵව හැමැද්දෙමි. හැමද, ඒ පළොල් බෝධියට වැන්දෙමි.

මම එහි සිත පහදවා හිසෙහි ඇඟිලි බැඳ ඒ බෝධියට වඳිමින් ගෞරවයෙන් නැමුනේ ඉවත්ව ගියෙමි. මම උතුම බෝධිය ගැන සිතමින් අඩිපාරකින් යමි. එහිදී මහත් බල ඇති ඝෝර ස්වරූප ඇති පිඹුරෙක් මා පෙළීය. මරණාසන්නයෙහි මා විසින් කරණ ලද බෝධි පූජා කර්මය විපාකයෙන් මා සතටු කරවීය. පිඹුරා මාගේ ශරීරය ගිලී. මම දෙවි ලොව සිත් අලවා වසමි. මාගේ සිත හැම කල්හි නිශ්චලය. ශෝකයෙන් ඇතිවන පීඩා කිසිවක් ගැන නොදනිමි. එසේම මාගේ චිත්ත සන්තාපයක්ද නොදනිමි. කුෂ්ටය, ගණ්ඩය, කැසිලිය, අපස්මාරය, සම ගැලවී යන කුෂ්ටය, දදය, කැසුමිය යන මෙ රෝගයන් මට නැත. මෙ හැමදීමෙ විපාකයයි. ශෝකයද, වැළපීම ද මාගේ සිතෙහි නැත. ශාන්ත වූ තැති නොගත් ඍජුවූ සිත ඇත්තේ වෙමි. මෙය හැමදීමෙ විපාකයයි. සමාධීන්හි ඇලුනෙමි. සිත ප්‍රකට පැහැදිලි වේ. යමි යමි සමාධියක් කැමැත්තේ නමි, ඒ ඒ සමාධිය මට සමෘධ වේ. නොඇලිය යුතු දෙයෙහි නොඇලෙමි. මුලා නොවෙමි. මෙය හැමදීමෙහි විපාකයයි.

මින් එක් අනූවන කපෙහි යමි කර්යක් කෙළෙමද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. හැමදීමෙහි විපාකයයි.
ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.
(අපදාන පාළිය. ථෙරාපදානය. සකිංසමි මජ්ජක වග්ග)

පේනව නේද යාලුවනේ මේ පිංකමේ ඵල විපාක. ඒ විතරක්ද මේබලන්න.

කටකන්දරවාසී ඵුස්සදේව තෙරුන්වහන්සේ ඉතා ක්‍රමවත්ව පිරිසුදුව සෑ මලු, බෝමලු හැමද එදෙස බලා අපමණ බුද්ධාලම්භන පී‍්‍රතියක් ලබාගන්නව. උන්වහන්සේ ක්‍රමවත්ව සෑ මලුව ඇමද එයින් අසීමිත සතුටක් ලබනව. දිනක් උන්වහන්සේ සෑ මලුව ඇමද අසීමිත බුද්ධාලම්භන පී‍්‍රතිය ආශ්වාදය කරනවිට මාරයා කලු වඳුරකුගේ වෙසක්ගෙන පැමිණ මලුවේ මළපහකර අපිරිසුදු කර ගියා. තෙරුන්වහන්සේ දෙවැනි දිනයෙත් මෙසේ මලුව ඇමද එහි සතුට විඳිමින් සිටිනවිට මාරයා මහලුගොන් වෙසක් මවාගන පැමිණ මලුව අපවිත්‍ර කළා. තුන්වන දවසේද තෙරුවන්වහන්සේ මලුව ඇමද එදෙස බලාසිටිනවිට මාරයා කොරෙකුගේ වෙසක්ගෙන පැමිණ ක්‍රමවත්ව අමදින ලද මලුවේ පා අදිමින් ගොස් සෑමලුව විරූපී තත්ත්වයට පත් කළා. තෙරුන්වහන්සේ මෙවැනි කොරෙකු තම ගොදුරු ගමේ කිසිදිනක දැක නැත. එනිසා මොහු මාරයාදැයි? සැකයක් ඇතිවුනා. තෙරුන් වහන්සේ මෙම කොරාගෙන් ඇසුවා. ‘ඔබ මාරයාද? කියල. කොරා කියනව‘ ඔව්, මම මාරය තමා කියලා. ‘මාරය, ඔබ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිනාකාලයේ ඉඳල ඉන්න කෙනෙක්. ඔබ බුදුරජාණන් වහන්සේ දැක තිබෙනවාද? කියල තෙරුන් වහන්සේ මාරයාගෙන් ඇසුව ‘ඔව්, මම බුදුන්වහන්සේ දැක තියෙනව.’ මාරය පිළිතුරු දෙනව. ‘මාරය, ඔබ මහා බලවතෙක් යැයි කියනවා. හොඳයි, ඔබට ඔපමණ බලයක් තියනවනම් මට බුදුරජාණන් වහන්සේ මවා පෙන්වන්න.” කියල තෙරුන්වහන්සේ මාරයාට කිව්ව. “මට බුදුරජාණන් වහන්සේ සමාන ආත්මභාවයක් නම් මවන්න බැහැ. එහෙත් තරමක සමාන ආත්මභාවයක් නම් මැවිය හැකියි.ප්‍රකාශ කළ මාරයා බුද්ධ වේශය ගෙන තෙරුන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය. “ කෙළෙස් සහිත මාරයා බුද්ධවේශයෙන් සිටින විට මෙතරම් ශෝභන නම් නික්ලේශී බුදුරජාණන් වහන්සේ කෙතරම් ශෝභන වන්නට ඇද්දැයි” තෙරුන් වහන්සේට බුද්ධාලම්බන පී‍්‍රතිය ඇතිවුනා. විදසුන්වැඩූ තෙරුන් වහන්සේ ඒ අවස්ථාවේදීම අර්හත් ඵලයට පත්වුණා. තමන් රැවටුනබව තේරුම්ගත් මාරයා නොපෙනී පලාගියා. “පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති” විහාරමලු බෝමලු, සෑ මලු ඇමදීමෙන් ප්‍රසාද උපදවන රූපශෝභාවක් ඇතිවෙනව. අසෝකමාලාවට රූප ශෝභාව ලැබුණේද, බෝමලු ඇමදු පින නිසා.

දැක්කනේද? ඉන්නකො කව තියනව.

අතීතයේ අනුරාධපුරයේ විසූ අභයතෙරුන් වහන්සේට ඉතා මනහර රූප ශෝභාවක් තිබුණ. ඒ වගේම රූප ශෝභාව තියන අමාත්‍ය පුතෙකුත් එම ප්‍රදේශයේ සිටිය. “මෙම දෙදෙනා අතරින් වඩාත්ම රූප සම්පත්තිය ඇත්තේ කවරකුටදැයි දැන ගැනීමට ජනයාට අවශ්‍ය වූණා. මේ දෙදෙනාම එක්තැන දැකීමට ජනයා උපායක් යෙදුව. රුවන්මැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනාව සඳහා අමාත්‍යපුත්‍රයා කැටුව යාමට ඔහුගේ දෙමව්පියන් පොළඹව ගත්ත. අභය තෙරුන් වහන්සේ මේ අවස්ථාවේ සෑ මලුවට පිවිසුනා. “ඔබ මහලු තෙරුන් වහන්සේද මේ ඇමදු කසල ගෙන ගොස් දමා මා සමඟ තරඟ කරන්නේදැයි අභය තෙරුන් වහන්සේ අමාත්‍ය පුත්‍රයාගෙන් ඇසුව. මෙසේ මේ දෙදෙනාටම රූප සම්පත්තිය ලැබීමට හේතුවූයේ පෙර භවයකදී අභය තෙරුන්වහන්සේ මහා තෙරනමක් වී කතරගම වෙහෙර මලුව අමදින විට මෙම අමාත්‍යපුත්‍රයා එකලද අමාත්‍ය පුත්‍රයෙක්ව සිට තෙරුන් වහන්සේ අමදින කසල මෙම පුත්‍රයා ඉවත්කර සෑ මලුව පිරිසුදු කළා. මලුව ඇමදූ තෙරුන් වහන්සේට ද කුණු කසල ඉවත්කළ පුත්‍රයාටද ඒ පිනෙන් විශේෂ රූප ශෝභාවක් ඇතිවුණා. චෛත්‍ය මලු, බෝමලු, විහාරමලු ඇමදීමෙන්, තීක්‍ෂණ නුවණක් ලැබෙනව. පාසල්දරුවන් විහාරස්ථාන ඇමදීමෙන් නිරවුල් දියුණු මනසක් ලබාගන්න පුළුවන්.

මේ කථාවත් ඉගෙනගන්නකො

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක් ගංතෙරක විහාරයක් තිබුණා. එම විහාරයේ භික්‍ෂූන් වහන්සේ දිනපතා මලු ඇමද පිරිසුදු කරනව. දිනක් තෙරනමක් මලුව අමදින විට සමීපයෙන් යන සාමණේරනමකට ‘පොඩිනම මේ කුණු ඉවතට ගෙනගොස් දමන්න.” යයි කීවා. සාමණෙරනම නොඇසුණාමෙන් සිටිය. දෙතුන්වරක් කීවා. සාමණේරනම ඇහුන්කන් දුන්නෙ නැහැ. තෙරනම පොඩිනමට ඉදලෙන් පහරක් ගැසුවා. පොඩිනම අඬ අඬා කසලගොඩ ඉවත්කළා. පසුව සාමණේරනම පැන් පහසුව සඳහා ගඟට ගියා. ගඟේ රළපහර දැකල සාමණේරනම මෙසේ ප්‍රාර්ථනා කළා. “මා කුණු කසල ඇද දැමූ පිනෙන් මතු උපදිනා උපදිනා ආත්මයේ මේ රළපහරමෙන් තේජස ඇතිවේවා. ස්ථානෝචිත ප්‍රඥාව ඇතිවේවා. මෙලෙස සාමණේරනම ප්‍රාර්ථනය කරන විට මහතෙරනමද ගඟට ගියා. මෙය ඇසූ මහ තෙරුන් වහන්සේ ‘කසල ඇද දැමූ සාමණේරනමට එතරම් අනුසස් ලැබේනම් ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු මට කෙතරම් අනුසස් ලැබිය යුතු ද? යනුවෙන් සිතා ‘මා ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු පිනෙන් උපදිනා උපදිනා ආත්මයේ මේ රළ පහරමෙන් ක්‍ෂය නොවන නුවණ ඇතිවේවා. මොහුගේ සියලු ප්‍රශ්න විසඳීමට මට හැකියාව ලැබේවා. “යනුවෙන් ප්‍රාර්ථනය කළා. පසුකාලයේ මිලිදු රජ වූයේ එම සාමණේරනමය. නාගසේන තෙරුන් වහන්සේ වූයේ මලුව ඇමදු තෙරුන් වහන්සේය.

මෙසේ ක්‍රමවත්ව චෛත්‍ය, විහාර, බෝමලු ඇමදීමෙන් අනන්ත අප්‍රමාණ ආනිශංස ලැබෙනවා. සිත් තැවුල්, දොම්නස් ඇතිවිට මලුපෙත් ඇමදීමෙන් සිත තුළ ප්‍රබෝධය ඇතිවෙනව. සිතේ ශ්‍රද්ධාව ඇතිව විහාරමලු ඇමැද ඔබගේ මෙලොව පරලොව ජීවිතය ආලෝක කරගන්න පුලුවන්. යහලුවනේ පිංකම් කරන්න සල්ලිඕනි නෑ. පිංකම් කරනව කියන්නෙ හතරපෝයට සිල්රෙදි පොරවන් සිල් ගන්න එක විතරක් නෙවෙයි. මේ කියන්නෙ ඒක කරන්න එපා කියල නෙවෙයි. සිල් ගන්නව කියන්නෙ මහත්ඵල මහානිසංස ලබාදෙන පිංකමක්. ඔයාලට වෙලා නෑ කියමු. ඉතින් ‍පන්සලට ගිහින් අඩුගානෙ සතියකට සරයක්වත් ‍බෝමලුව අමදින්න පුරුද්දක් හදාගන්න. මම තව දෙයක් කියන්නම්. හොද්න බෝමලුව පිරිසිදු කරල, මල් ආසන ශුද්ධපවිත්‍ර කරල විශේෂ දෙයක් කරන්න තියෙනව. ඉතාම පිරිසිදු පැන් කලයක් අරන් බෝධිය දක්ෂිණාවර්ථව, ඒ කියන්නෙ ඔයාලගෙ දකුණු අත බෝධිය පැත්තට හැරෙන විදිහට පැන් කලයඅරන් යන්න. කීවතාවක්ද? නවවතාවක් යන්න ඕනි. බුදුගුණ නවය එකක් එකක් ගානෙ කියමින් රවුම් නවයට බුදුගුණ නවය සිහිකරන්න. තේරුම එක්ක පුලුවන්නම් හරිම වටිනව. මොකක්ද මේකෙන් ලබන්න පුලුවන් ආනිශංස.
පළමුවන කාරණය තමයි ප්‍රාඥාවන්තබව ලබෙනව, බුද්ධිය වැඩෙනව. මතකය, ධාරණ ශක්තිය ලැබෙනව. මේ පින නිකම්ම ලැබෙන එකක් නෙවෙයි. කලින් ඇමදීමේ පිනත් එක්ක බද්ධ වෙලා තියෙන්නෙ. ඉතින් අර කලින් කීව ආනිසංශ දෙගුණ තෙගුණ වෙලා ලැබෙනව. යාලුවනේ මම දැන් කරන රැකියාව නිසා මට විවේකය අඩුයි. නැතිනම් ඉස්සර එක දිනයක්වත් මග නොඇර මම මේ වැඩේ කලා. ඔයාල විශ්වාස කරයිද මන්ද? බෝධීන්වහන්සේ තමන්ගෙ අම්ම තාත්ත ගානට තමන්ට සමීප වෙනව. ලගම ඥාතියෙක් වෙනව. මටම පුදුමයි දැනුත්. අත්හරින් බැරි මිතුරෙක් බවට පත්වෙනව විතරක් නෙවෙයි. තමන්ගෙ ගැටලු අහන් ඉදල ඒවට පිලියම් ලබාදන කල්‍යාණ මිත්‍රයෙක් බවට පත්වෙනව. ඒ දවස්වල මගෙ ප්‍රශ්න ඔක්කොම කියන්නෙ බෝධින් වහන්සෙට. පුදුමෙ කියන්නෙ ඒව කියල ගෙදර යන්නෙ පුදුම සැහැල්ලුවකින්. එපමණක් නොවෙයි. තියෙන ප්‍රශ්න වැඩිහරියක් විසදිල මම නොදැනුවත්වම. මේක මහ පුදුමයක්. හැබැයි ඉතින් මාසෙකට සැරයක් ගිහින් බලල ඇවිත්නම් වැඩක් නෑ. දිනපතා කෙරෙන්න ඕනි වැඩක් මේක.
හොදයි, මලුව අමැදල පැන්වක්කරල විතරක් එන්නෙ නැතිව පහනක් පත්තුකරල මලක් පූජකරන්නත් අමතක කරන්න එපා. පන්සලට ගිය වෙලාවෙ උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න මතක තියාගන්න.

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

පරම පූජනීය සිරි දළදාවහන්සේ‍ගේ තේවාව ගැන දැනගනිමු.
දෙව්, බඹ, සුර, නර සාධුකාර මැද ශ්‍රී දළදා වහන්සේ පෑ අසිරිමත් පෙළහර ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.