මවුපියෝ ... - IFBC Organization | Dhamma

තම දරුවන් අයහපතින් මුදා යහපතෙහි යොදා ආරක්‍ෂා කොට ප්‍රේමයෙන් හදා වඩන්නෝ මවුපියෝ නම් වෙති.

“බ්‍රහ්මාති මාතාපිතරෝ – පුබ්බාචරියාති වුච්චරෙ
අහුනෙය්‍යා ච පුත්තානං – පජාය අනුකම්පකා”

– අංගුත්තර, තික නිපාත

මවුපියෝ බ්‍රහ්මයෝ ය, ශ්‍රෙෂ්ඨයෝ ය, මුල් ගුරුවරයෝ ය, දරුවන් විසින් ගෞරවයෙන් පිදිය යුත්තෝ ය, දරුවන් කෙරෙහි අනුකම්පා කරන්නෝ ය යි කියනු ලැබෙති.

බ්‍රහ්මයා සියලු සත්ත්වයන් කෙරෙහි මෙත්තා – කරුණා – මුදිතා – උපේක්‍ෂා යන උතුම් පැවැතුම් සතරෙන් යුතු ව වාසය කරයි. මවුපියෝ ද මේ සතර ගුණයෙන් යුක්ත හෙයින් බ්‍රහ්මයෝ – ශ්‍රෙෂ්ඨයෝ වෙති.

මවු කුස වන් ප්‍රත්‍රයා නිදුක් ව නිරෝග ව කවදා දකිමු දෝ යි නිතර ම මෙත් සිත පතුරුවති. දරුවනට ස්වල්ප වූ ද දුකක් කරදරයක් ඇති වූ විට මවුපියන් ගේ ළය කම්පා වෙයි. ඒ දුකින් මුදවන කරුණා සිත පහළ වෙයි. මවුපියෝ වුව ද අන්‍යයන් ගේ දියුණුව කැමැත්තෝ ම නො වෙති. ඊර්ෂ්‍යා නොකරන්නෝ ද නො වෙති. එහෙත් තම දරුවන් ගේ දියුණුවෙහි නම් ඊර්ෂ්‍යා නො කෙරෙති. තව තවත් දියුණු වේවා යි මුළු සිතින් ම බලති, පතති. එහෙයින් මවුපියන් තුළ දරුවන් කෙරෙහි මුදිතා ගුණය ද නොඅඩුව ම වෙයි. මවුපියෝ තම දරුවන් ආවාහ විවාහ ආදියෙන් බැහැර ව ගිය ද මුළුමනින් ම ඔවුන් අත් නො හැර උපේක්‍ෂක ව මධ්‍යස්ථ ව සැප දුක් සොයා බලති. මෙකී ගුණ සතර නිසා – ශේෂ්ඨ පැවැතුම් සතර නිසා මවුපියෝ බ්‍රහ්ම නමුදු වෙති.

කෙනෙකුට ආචාර්යවරයෝ බොහෝ දෙනෙක් වෙති. ඉන් හැමට පළමු ආචාර්යවරයෝ නම් දෙමවුපියෝ ය. ශිල්පශාස්ත්‍රාචාර්යවරු කලින් කල වරින් වර වෙනස් වෙති. එහෙත් පුර්වාච‍ාර්යවරයෝ මරණින් විනා අතරෙහි නම් වෙනස් නොවෙති. ශිල්පශාස්ත්‍රාචාර්යවරයන් ගේ ඉගැන්වීම නැතිව ද ලොව සිටිය හැකි වුවත් පූර්වාච‍ාර්යයන් ගේ ඉගැන්වීම් කොටස නැති ව නම් ලොව ශිෂ්ට මනුෂ්‍යයකු ලෙස වාසය කළ නොහැකි ය. එහෙයින් සෑම දෙනා විසින් ම අවශ්‍යයෙන් ම දත යුතු යන – එන, කන – බොන, කතා කරන සැටි ආදිය ඉගැන්වෙනුයේ පූර්වාචාර්ය වූ මවුපියන් විසින් ම ය.

මවුපියෝ පිදිය යුත්තෝ ද වෙති. ‘ආහුනෙය්‍ය’ යන්න බුදුරජාණන් වහන්සේ විසින් රහත් ගුණයක් ලෙස ද යොදන ලද ගුණ පදයෙකි.

පින් කුඹුරු සතර

සැදැහැවතුන් ගේ පින් නැමැති බිත්තර වැපිරීමට ඉතා වටිනා පින් කුඹුරු හතරක් ඇති බව බුදුරජ‍ාණන් වහන්සේ වදාළහ.

  1. බුදුරජාණන් වහන්සේ 2. රහතන් වහන්සේ 3. මෑණියන් වහන්සේ 4. පියාණන් වහන්සේ යනු යි. මවුපියනට උපස්ථාන කිරීම බුදුරජුනට රහත් උතුමනට කරන උපස්ථානයක් හා සමාන ම පින්කමක් බව මැනැවින් පැහැදිළි වේ.

මවුපියෝ දරුවන් කෙරෙහි අනුකම්පා කරන්නෝ ද වෙති. දරුවන් කෙරෙහි මවුපියන් තුළ ඇති කරුණාව දයාව නො කිය හැකි තරම් ය. දරුවන් ගේ යහපත සඳහා තම ජීවිතය වුව ද පුදන්නට කැමැති වෙති.

සීවලී මහ රහතන්වහන්සේ ගේ මෑණියන් වූ සුප්පවාසා, දරුවා කුසින් දරමින් සත් වසකටත් වැඩි කාලයක් දුක් වින්ද බව සඳහන් වෙයි. දිනක් බුදුරජාණන් වහන්සේ සුප්පවාසා අමතා, කෙසේ ද, ඔබඳු දුකක් විඳ තවත් දරුවන් ලබන්නට කැමැති දැ යි ඇසූහ. එවිට සුප්පවාසා, “අනේ ස්වාමීනි, මෙහෙම දුක් විඳ එක් දරුවකු නො ව දරුවන් සත් දෙනකු වුවත් ලබන්නට කැමැති යි” ප්‍රකාශ කළා ය. මේ එක කරුණෙන් ම මවුපියන් දරුවන් කෙරෙහි කොපමණ ප්‍රේම කරනවා දැ යි පැහැදිළි වේ‍. දරුවන් කෙරෙහි පියවරුන් තුළ ඇති කරුණාවත් කොපමණ ද යන්න බිම්බිසාර රජු ගේ කතා පුවතින් පැහැදිළි වේ.

හොඳ මවුපියන් ගේ බලාපොරොත්තුව

අතිජාතං අනුජාතං – පුත්තමිච්ඡන්ති පණ්ඩිතා
අවජාතං න ඉච්ඡන්ති – සො හොති කුලගන්‍ධකො”

– ඉතිවුත්තක

මෙ ලොව හා පරලොව හා දියුණුව බල‍ාපොරොත්තු වන පණ්ඩිත මවුපියෝ දරුවන් වශයෙන් තමාට වඩා ගුණ නුවණැති අතිජාත පුත්‍රයා ද තමන් හා සම වූ ගුණ නුවණැති අනුජාත පුත්‍රයා ද කැමැති වෙති. කුලය පරපුර වනසන්නා වූ තමනට වඩා ගුණ නුවණ නැති අවජාත පුත්‍රයා නම් කැමැති නො වෙති.

මෙසේ උසස් බලාපොරොත්තුවක් නැති ව කවර ආකාරයක හෝ දරුවන් ලැබීම පමණක් කැමැති වන මවුපියෝ නිර්ගුණයෝ ය, රටට ජාතියට හා ආගමට අහිතයෝ ය. එබඳු මව දරුවනට පමණක් නොව ජනසමාජයට ම හැතිරියක මෙන් ද, පියා හතුරකු මෙන් ද උගත් ලෝ වැස්සෝ සලකති.

නියම මවුපියන් වන්නට බලාපොරොත්තු වන්නවුන් විසින් කල් ඇති ව ම ආවාහ විවාහ වන විට ම තමන් බැ‍ඳෙන බැරෑරුම් කටයුත්ත ගැන, කල්පාන්තය තෙක් පවත්නා පරපුරෙක ආදි කර්තෘන් වීමේ වගකීම ගැන හොඳින් සිතා බැලිය යුතුය. මෙ කල මෙ බඳු උදාර හැඟීමෙකින් යුතු ව මවුපියන් වන්නෝ ඉතා දුලබ වෙති. ඉන්‍ද්‍රියයන් පිනවීම ම පරමාර්ථය කරගෙන ආවාහ විවාහ වන්නවුන් බහුල වීම නිසා ජනගහනය වැඩි වෙතත් රටට – ජාතියට – ආගමට – භාෂාවට වැඩ ඇති දරුවන් වැඩි වන බවක් නො පෙනේ.

මවුපියන් ගේ නියම සේවාව

ගුණ නුවණැති දරුවන් තැනීමට වඩා මහජන සේවයක්, රටට – ජාතියට හා ආගමට කරන හිතවත් බවක් තවත් නැතැ යි මවුපියන් විසින් නිතර සිහියේ තබාගත යුතු ය. දරුවන් තැනීම මවුපියන් කැරනුවා විනා සේවකයන් ලවා කරවන්නක් නොවන බව ද මතක තබා ගත යුතු ය. නිසි ලෙස දරුවන් තැනීමේ කාරිය පසෙක තබා නම ප්‍රසිද්ධ කරගැනීමේ අදහසින් හෝ වෙනත් නොමන‍ා පුහු අදහසින් හෝ මහා රැස්වීම් තබා පුහු ඝෝෂා කිරීමෙන් නම් කිසි විටෙකත් රටට ජාතියට හා ආගමට උපකාරයක් සිදු නොවන්නේ ම ය. එපමණක් ද නොව, එය සමාජය දූෂණය වීමට ද හේතු වන බව දස දෙසින් ලැබෙන වාර්තාවලින් මොනවට පැහැදිළි වේ.

 

සිංහල බෙ‍ෟද්‍ධයා 1954.12.18

ප්‍රඥාප්‍රභා 2

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

බුදු රදුන් ගිහි විනයේ දී වදාළ මවුපිය යුතුකම් ...
ආනාපානසතිය ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.