මල් පැලේ උපන් පන්සලේ පියතුමා මර්සලින් ජයකොඩි පියතුමා …

කැලණි නදිය නිසල ව ගලා බසියි. ගංතෙරෙහි උණ පඳුරු සෙවණක ලැගුම්ගෙන සිටින ධවල ලෝගුවකින් සැරසුණු පැවිද්දෙකි. මේ පරිසර හිතකාමී පැවිදි තෙම වූ කලී පසුකලෙක ‘පන්සලේ පියතුමා’ නමින් සිරිලක පුරා ප්‍රකට වූ මර්සලින් ජයකොඩි පියතුමන් ය. එතුමාගේ නෙත ද සිත ද එකවිලස යොමු ව පැවැතියේ ගඟ දියමත රිද්මයකට ඇදී යන ඔරුවක් වෙත ය. ඊළඟ මොහොතේ උන්වහන්සේගේ එක’තක වූ කඩදාසි ගොනුවක් මත අනිත් අතෙහි තිබූ පෑන රඟදෙන්නට විය.

”ඕලු නෙළුම් නෙරිය රඟාලා – කිකිණි හඬන වලා නඟාලා
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ – මගේ කුඩා ඔරුව හබල් ගා”
නෙත ගැටුණු මනරම් දසුනින් සිත මැවුණු සුන්දර හැඟුම් කඩදාසිය මත සටහන් වන්නට වූයේ එලෙසිනි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාගේ ‘රේඛාව‘ චිත්‍රපටය ඔස්සේ දේශීය ගීත සාහිත්‍යයේ මහත් පෙරළියක් කරන්නට මතු යම් දවසක තමන්ට හැකි වෙතැයි එදා කැලණි ගං ඉවුරේ හිඳගෙන හුන් මර්සලින් ජයකොඩි පියතුමා මොහොතකටවත් නොසිතන්නට ඇත.

ළමා මර්සලින්ට සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලබන්නට වරම් ලැබුණේ තෙවන වසර දක්වා පමණකි. ඒ මාදම්පේ සිංහල පාඨශාලාවෙනි. එතැන් සිට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ඉංග්‍රීසි මාධ්‍යය ඔස්සේ ශිල්ප හදාරන්නට ඔහුට සිදුවිණි. එහෙත් බහ තෝරන වියේ පටන් ම කුඩා මර්සලින්ට නිවසේදීම කවි ගී රස විඳින්නට අවකාශ සැලසිණ.

මර්සලින්ගේ පියා සිංහල වෛද්‍යවරයෙකි. ඔහු වෙදපොත් හැදෑරුවේ ඒවායේ කවි හඬ නඟා කියවීමෙනි. මර්සලින්ගේ මෑණියන් සඳලංකාව ප්‍රදේශයේ බොදු පරපුරක සාමාජිකාවක් වූවා ය. ඉඩක් ලද හැම විටක ම ජාතක පොත හා පැරණි කවි පොත් හඬ ගා කියවීම ඇගේ සිරිතකි. කව් කල්පනා කුඩා මර්සලින්ගේ සිත තුළ රෝපණය වීමට පසුබිම සැලසුණේ එලෙසිනි.

ශාන්ත ජෝසප් විද්‍යාලයේදී ඉංග්‍රීසි භාෂාවට අමතර ව ලතින්, ග්‍රීක් හා ප්‍රංස භාෂා හැදෑරීමට ද මර්සලින් සිසුවාට මඟපෑදිණි. ඉංග්‍රීසි සාහිත්‍ය විෂයයෙන් හැමදාම මුල් තැන හිමිවූයේ ඔහුට ය. ග්‍රීක සාහිත්‍ය හැදෑරීමේදී අර්ථපූර්ණ බවට එහි ප්‍රමුඛත්වයක් ලබාදී තිබෙන අයුරු දැකීමෙන් තමා කළ ගැඹුරු ජීවන දර්ශනයක් ජනිත වූ බව පසුකලෙක එතුමා සඳහන් කළේ ය.

ජෝසප් විදුහලෙන් පසු තරුණ මර්සලින්ට අම්පිටිය දෙව්සත්හල බලා යාමට සිදුවිණි. විසිපස්වන විය වන විට ඔහු දෙව්සත්හලින් නික්ම එන්නේ පූජකවරය ලබාගනිමිනි. කොළඹට පැමිණි මර්සලින් පියතුමා කොළඹ ශාන්ත පීතර හා ශාන්ත ජෝසප් විදුහල්වල ගුරු සේවයේ නිරත විය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් ශාන්ත ජෝසප් විදුහලේ පැවැති මුල් ම නිදහස් උළෙලෙහිදී සිසුවියන් පිරිසක් විසින් ගැයුණු ‘ශ්‍රී ලංකා රාණි මෑණියේ – ත්‍රී සිංහලේම රානියේ’ නම් ගීතය නිර්මාණය කෙරුණේ මර්සලින් පියතුමා අතිනි. එහි ඇතුළත් ත්‍රී සිහලේ’ වදන පිළිබඳ ව වාද විවාද ද එකල පැනනැඟිණි.

ගිහියන්ට මෙන්ම පැවිදි පක්ෂයට ද ඒ සමයේ දඬුවම් මාරුවලින් ගැලවීමක් නොවීය. කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් මර්සලින් පියතුමන් යාපනයේ ශාන්ත පැට්රික් විදුහලට මාරු කෙරිණි. දෙවියන් වහන්සේගේ සේවයට කැපවී සිටි එතුමාණෝ ඉතා සතුටින් එහි ගියහ. යාපන අර්ධද්වීපයේ සිසුන් අතර පමණක් නොව වැඩිහිටි සමාජය තුළ ද මේ සිංහල පියනම ඉක්මනින් ම ජනප්‍රිය විය.

දෙමළ ජනතාවගේ සිරිත් විරිත්, ඔවුන්ගේ් දුක් පීඩා සියල්ල දකුණේ ජනතාවට විස්තර කරමින් එතුමා ඊඪථඥඵ පත්‍රයට තීරු ලිපියක් ලියන්නට විය. “යාපනයට යනකම් අපි සම්පූර්ණ නැහැ” පසු දවසක ඔහු හිතවතුන් පිරිසකට පැවසුවේ ය. “දෙමළ මිනිස්සුන්ගෙ ආත්ම ශක්තිය, නිහතමානිකම, සරල බව, යාපනයට ගිහින් බලපුවහමයි මේ හැම දෙයක් ම අපට වැටහෙන්නෙ.” එතුමා හිතවතුන්ට තවදුරටත් පැහැදිලි කර දුන්නේ ය.

මර්සලින් පියතුමා කලාව හා සංගීතය හැදෑරීම පිණිස ශාන්ති නිකේතනයට ද ගියේ ය. එක් ග්‍රීෂ්ම සමයක දහදිය ගලන සිරුරින් යුතුව එතුමා සිය කුටියේ බිම ඒ මේ අත පෙරළෙමින් සිටියේ ය. හදිසියේ ග්‍රීෂ්මය අඩු වී ඔහු නින්දට වැටිණ. උදෑසන කිසිවකු ඔහුගේ කාමරයට ඇතුළු විය. ඒ ඔහුගේ් ගුරුදේව නන්දාලාල් බෝස් ය. “ඔබට නින්ද ගියාද?” ගුරුදේව විමසීය. “ඔව් රෑ දොළහට විතර” ගෝලයා පිළිතුරු දුන්නේ ය. “මම තුවා දෙකක් තෙමලා ජනේලෙන් ඇතුළට දැම්මා. ඒවා අරන් යන්ඩ ආවේ.” තුවා දෙක අහුලාගත් ගුරුතුමා සිනාසී යන්නට ගියේ ය. “අනේ හැබෑට මෙහෙමත් ආගන්තුක සත්කාරයක්” මර්සලින් පියතුමා තමාට ම කියා ගත්තේ ය.

සංගීතය හැදෑරීමට ගරු පියතුමා ඇතුළු වූයේ අලහාබාද් විශ්වවිද්‍යාලයට. සහතික පත්‍ර ප්‍රදාන උත්සවයේදී සිසුන්ගේ ප්‍රසංගයක් විය. සෙසු ශිෂ්‍යයෝ සිය හපන්කම් පෙන්වීමට ගැඹුරු රාග තාල යෙදූ ගී ගායනා කළහ. ප්‍රේක්ෂකාගාරයට නැවුම් ආස්වාදයක් රැගෙන එමින් අප පැවිදි සිසුවා සරමකින් හා ජටාවකින් සැරසී වේදිකාවට පිවිසියේ ය. ඔහු ගැයූ පාරු කවියට සභාවෙන් නැඟුණු අත්පොළසන් නාදය විනාඩි ගණනාවක් පුරා පැවතිණි.

ශිෂ්‍යයකු වශයෙන් පමණක් නොව ගුරුවරයකු වශයෙන් ද එතුමා කවදත් කළේ අමුතු වැඩ ය. පියතුමා කොළඹ පාසලක උගන්වමින් සිටි සමයේ පාසල් යාම මඟහැර චිත්‍රපටයක් නැරඹීමට යන තම ගෝළයෙක් දිනක් මඟදී මුණගැසිණ. දඟකාරයා තමා ඉදිරියේ දැඩි අසරණභාවයකට පත්වනු ගුරු පියාගේ සිත තුළ ඔහු ගැන අනුකම්පාවක් හටගැනිණ. ලෝගුවෙහි වූ සාක්කුවට අත දැමූ පියතුමා අතට අසුවූ කාසි කිහිපය කොලුවාගේ මිට මොලවා සිනාසී යන්නට ගියේ ය.

මුල් කාලයේ ඉංග්‍රීසි බසින් ලේඛන කලාවේ නිරත වුවද තම මව්බස ප්‍රගුණ කරගැනීමේ අවැසිතාව තරුණ මර්සලින් පියතුමාට තදින් ම හැඟිණ. ඒ පිළිබඳ ව ළතැවෙමින් සිටි පියතුමාට භාෂා ප්‍රේමියකු වූ ජයන්ත වීරසේකරයන් හඳුනාගන්නට ලැබිණ. කුමාරතුංග සූරීන්ගේ සගයකු වූ වීරසේකරයෝ අප පියතුමාණන් කුමාරතුංගයන්ගේ සුබැසි හවුලට සම්බන්ධ කළහ. පසුව දිනපතා ම පාහේ සවසට කොටහේනේ සිට බොරැල්ලට පයින් ම පැමිණි ජයන්ත වීරසේකරයෝ මහත් කැපවීමකින් පියතුමාණන්ට සිංහල භාෂාව ඉගැන්වූවෝ ය.

කෙතරම් සූර ලෙස එතුමා භාෂාව ග්‍රහණය කරගත්තා ද කිවහොත් 1949 වසරේදී, කතෝලික සභාවේ ප්‍රමුඛ පුවත්පත වන ‘ඥානාර්ථ ප්‍රදීපයේ’ කතු අසුන මර්සලින් පියාණන්ට පිරිනැමිණ . එතෙක් ආගමික පුවත් හා ලිපිවලට පමණක් සීමා වී තිබුණු ඥානාර්ථ ප්‍රදීපයෙහි ඒකාකාරී මුහුණුවර වෙනස්කර සාහිත්‍ය කලා විෂයයන්ගෙන් සේ ම දේශීය ලක්ෂණවලින් ද සමන්විත ආකර්ෂණීය පුවත්පතක් බවට එය පත් කරනු ලැබුවේ මර්සලින් පියාණන් විසිනි. සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ සභාපති ධූරයට පත්වීම ද පියතුමාගේ කවිත්වයට හා භාෂා ප්‍රේමයට පිදුණු උපහාරයක් සේ සැලකිය හැකි ය.

මර්සලින් ජයකොඩි පියතුමා තරම් ගිහි පැවිදි බොදුනුවන් ඇසුරු කළ කිතුනුවකු සොයාගත හැකිදැයි සැක සහිත ය. අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන්ගෙන් පටන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් දක්වා වූ සඟරුවන පියතුමාගේ සමීපතමයෝ වූහ. මෙරට කිතුනු – බොදු සබැඳියාවේ ඓතිහාසික මතක සටහනක් තබමින් 1995 දී ජයකොඩි පියතුමා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තේ ය. ශ්‍රී ලාංකික බව හා සිංහලකම මුල් කරගෙන තම ජීවන දැක්ම සකසාගෙන සිටි එතුමාණන්ට පන්සලත් පල්ලියත් අතර වෙනසක් නොපෙනිණ. ‘නෙළුම් පිපෙන්නේ බුදුන් වඳින්නයි’, ‘පෝය හඳදා කුසුම් යානයි’, ‘වෙසක් කැකුළු අතු අග හිඳ’ වැනි ගේය පද එතුමාගේ පන්හිඳෙන් ගලා ආවේ අපේකම පිළිබඳ ව නිරන්තරයෙන් ම හදපත්ලෙහි පැවති අව්‍යාජ ළෙන්ගතු බව නිසාවෙනි.
ඉහත ඡායා රූපයේ දැක්වෙන්නේ එතුමා විසින් රචිත පදවැල් වේ.

1983 අගෝස්තු 31 දිනය ගරු මර්සලින් ජයකොඩි පියාණන්ට මෙන් ම ශ්‍රී ලංකාවාසී අප සැමට ද වැදගත් දවසක් විය. ‘පුවත්පත් කලාව, භාෂා හා නිර්මාණාත්මක ජනසන්නිවේදනය’ වෙනුවෙන් පිරිනැමෙන ජාත්‍යන්තර මැග්සයිසයි සම්මානය සඳහා ඒ වසරේ නම් කරනු ලැබුවේ එතුමා ය. පිලිපීනයේ මූලස්ථාන කාර්යාලයේදී එතුමාට සම්මාන කමිටුව හමුවේ අවසාන සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටීමට සිදුවිය. “ඔබතුමාගේ දීර්ඝකාලීන සාහිත්‍ය සේවාවෙන් කොපමණ පිරිසක් කතෝලික දහමට නැඹුරු කරගෙන තිබේදැ’යි පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙක් පැනයක් විමසී ය.

”මම කිසිම කෙනෙක් එහෙම මගේ ආගමට හරවා ගන්න උත්සාහ කරලා නැහැ. මා කළ එක ම කාර්යය තමා මට හමුවන සියලු දෙනාගේ ම හදවතේ තිබෙන පහන දැල්වීමට උත්සාහ කිරීම. ඒක මම මට පුළුවන් තරම් හොඳින් කළා. එපමණයි.” ජයකොඩි පියතුමාගේ සෘජු පිළිතුරට ප්‍රශ්නය නැඟූ පුද්ගලයාගේ මතු නොව සෙසු සාමාජිකයන් ගේ් ද ඇස් උඩ ගියේය. සම්මුඛ සාකච්ඡාව එතැනින් ම නිමවිණි.

ආගම, ජාතිය, කුලය හෝ පන්තිය බඳු සීමා මායිම් අතික්‍රමණය කරමින් දශක නවයකටත් අධික කාලයක් පොදු ජන මෙහෙවරෙහි කැපවූ මර්සලින් ජයකොඩි නම් කලාකාමී පියතුමාණන්ගේ අන්තිම කැමැත්තවූයේ උන්වහන්සේ විසින් ම නිර්මාණය කරන ලද ‘කලා ලංකා’ නම් කලායතන භූ®මියේ සමාදානයේ සැතපෙන්නට ය. එහි වූ ‘නෙළුම් පොකුණ’ ඉස්මත්තෙහි කන්‍ය මරියතුමියගේ පිළිරුවක් තනා ඒ පාමුල තම සිරුර මිහිදන් කරන ලෙස එතුමා ඉල්ලා සිටියේ ය. එසේ ම ‘මමත් මලක් නම් පිපී සුවඳ වී ඔබ ළඟ පරෙවන්නා’ නම් එතුමා මහත් සේ ප්‍රිය කළ ගී පදය එහි සමරු ඵලකයක ලියා තබන ලෙසද මර්සලින් පියතුමා අවසන් කැමැත්තේ දක්වා තිබිණ.

එහෙත් උන්වහන්සේගේ අභිමතය පරිදි ඒ කිසිවක් සිදු නොවුණ ද මර්සලින් ජයකොඩි නාමය එදා මෙදා නොව මතුදා ද සකල ලක්වාසී ජනහදවත්වල සදා රැව් දෙනු ඇත.

’මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරහැලි නැති වන දාය
මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය
මගෙ නත්තල මඬු පල්ලිය යන දාය
මිනිස් සිත් සතන් හි දුක තුනීවන දා උදාවන තුරු වෙසක් කැකුළු අතු අග සුපිපෙන තුරු මර්සලින් ජයකොඩි පියාණන්ගේ කුළුණුබර සිනහව කිසිවකුට හෝ අමතක නොවනු ඇත.

කමල් පෙරේරා

උපුටාගැනීම – http://www.silumina.lk/punkalasa/20101003/_art.asp?fn=ar10100310

ශාසනාලයෙන් එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

ඔය කොයි ආගමෙත් කියන්නේ එකමද????
බුදු සසුන ‍රැක ගැනුමට එක් වෙමු.
IFBC Home Page