මරණ දඩුවමට බිය නොවූ යං මිං ... - IFBC Organization | Dhamma

යං මිං ගුරු දේවයාණන් ගේ නියම නම වූයේ යෙං ෂව් කියාය. ඔහුගේ අභාවයෙන් පසුව චීන අධිරාජයා විසින් එවකට චීනයේ ඉහළම ගෞරව නාමය වන “චිචුහ් “ යන සම්මානයෙන්ද ඔහු පුදනු ලැබීය. එසේ වූ නමුත් සියලු දෙනා ම ඔහු හඳුන්වනු ලැබුවේ “ ගුරුදේව යං මිං “ යන නාමයෙන් ය. මන්ද ඔහු ජීවත් වූයේ හැංකව්හි යං මිං විහාරස්ථානයේ බැවිනි.

ඔහු ගිහි ජීවිතය අතහැර පැවිදි බිමට පැමිණීමට පෙර ඔහුගේ නම වෑං ය. ඔහුගේ වයස අවුරුදු විසි ගණන්වලදී හැංකව් නගරයට ආසන්න යූහාන් ප්‍රාන්තයේ රාජ්‍ය භාණ්ඩාගාරයේ නිලධාරියකු ලෙස සේවය කෙළේය. ආහාර පිණිස මත්ස්‍යයන් සහ කූනිස්සන් විශාල ලෙස ඝාතනය කිරීම ගැන ඔහු මහත් සේ දුකට පත්ව සිටියේය. එම මසුන්ගේ ජීවිත ගලවා ගැනීම පිණිස සමහර අවස්ථාවල රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් ද ඔහු විසින් යොදවන ලදී. ඔහු මසුන් මිලදී ගෙන වෙරළට ගෙන ගොස් ඔවුන් මුදාහැර මරණයෙන් මුදවනු ලැබීය.

එම මුදල් ඔහුට අයත් පෞද්ගලික මුදල් නොවන බැවින් අවසානයේ දී ඔහු වරදට අසුව දඟගෙට දමන ලදී.

කුඩා ප්‍රාණීන්ගේ ජීවිත මුදාගනුවස් තමා එම මුදල් යෙද වූ බව අධිකරණයේ දී ප්‍රකාශ කළ නමුත් විනිසුරුතුමා එම ප්‍රකාශය විශ්වාස කළේ නැත. රජයේ මුදල් අයථා පරිහරණයෙහි යෙදවීමේ වරදට ඔහු වැරදිකරු යැයි තීරණය කරන ලදී. එය අති දරුණු රාජ්‍ය විරෝධි සාපරාධී ක්‍රියාවකි. එදා නීතියට අනුව එම වරදට අසුවූවකුට දෙන දඬුවම හිස ගසා දැමීමය. චූදිතයා ජනාකීර්ණ ප්‍රසිද්ධ ස්ථානයකට ඇදගෙන ගොස් සියල්ලන්ම බලා සිටියදී විශාල කඩුවකින් හිස ගසා මරා දමනු ලැබේ. මේ අති භයානක දඬුවම ඇසින් දුටුවෝ මරණ භය නිසාම එවැනි වැරදි නොකිරීමට පෙළඹෙති.

වූ යුව් ප්‍රදේශයේ රජතුමා වෑං බොහෝ කාරුණික පුද්ගලයකු ලෙසත් ඔහු කුඩා ප්‍රාණීන්ට අභයදානය දෙන්නෙක් හැටියටත් දැන සිටියේය. ඔහු රජයේ මුදල් සතුන් මිල දී ගැනීමට යෙදවූවාද? යන්න ගැඹුරින් සොයා බලන ලෙස දණ්ඩනායක නිලධාරියාට දන්වන ලදී. ඔහුගේ ක්‍රියා කලාපයද සොයා බැලීමට රාජ නියෝගය ලැබුණි.

වෑං ඔහුගේ හිස ගසා දැමීම පිණිස ඇදගෙන යන විට ඔහු කිසිදු චකිතයක් හෝ පැකිලීමක් හෝ නැතිව සතුටින් සිටියේය. අලුගෝසුවාට මෙය අපූරුවකි. ඉතා ගෞරව පූර්වකව චූදිතයාට සමීප වූ අලුගෝසුවා ඔහුගෙන් මෙසේ විමසුවේය.

“ හිස ගසා දැමීමට මාවෙත මෙයට පෙර පැමිණි හැම දෙනාම මරණ බියෙන් ගැහෙමින් හඬා වැලපෙති. දඬුවමට කැපවූ ඔබ වැනි කිසිම පුද්ගලයෙක් මා මෙයට පෙර දැක නැත. ඔබ ඔය තරම් ශාන්ත දාන්තව ඉන්නේ කොහොමද? ඔබ දන්නව රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ බරපතළ වරදට එය අසු වී තියෙන බව . නීතිය අනුව ඒ වරදට නියම දඬුවමට ඔබ යටත් වී සිටින බව.

ඊට පිළිතුරු දෙමින් වැං කියා සිටියේ ඔව්, මම රජයේ මුදල් පාවිච්චි කළා . නමුත් එයින් කිසිම කොටසක් මගේ ප්‍රයෝජනයට ගත්තේ නෑ. මා ඒ සියල්ලම භාවිතා කෙළේ සතුන් මිලදී ගෙන ඔවුන්ට ජීවිත දානය දීම පිණිසයි. ඔවුන් මරණයෙන් නිදහස් කර යැවීමටයි. ඉතින් මං මොටද බය වෙන්නෙ? ඔබ මගේ හිස ගසා දැමුව වහාම මට අමිතාභගේ පරම පවිත්‍ර භූමිය වන ස්වර්ගයට යන්නට ලැබෙනවා. ඒක පුදුමයක් නෙවෙයි ද? මම එතකල් ඉවසගෙන ඉන්නව“ දණ්ඩාධිපතිට මෙම ප්‍රකාශය ඇසුන වහාම වැං ගේ අව්‍යාජ භාවය ඔහුට වැටහුණි. ඔහුගේ අව්‍යාජත්වය හා සාවධාන වීරත්වය විශාල ලෙස වර්ණනා කළ ඔහු අලුගෝසුවනට අණ කෙළේ ඔහු නිදහස් කර හරින ලෙසටය.

එයින් වසර කීපයකට පසුව ඔහුට වයස අවුරුදු තිහක් වූ විට වෑං ගිහිජීවිතය අතහැර ශ්‍රමණ ජීවිතයට සංක්‍රමණය වූයේය. ඔහුගේ සියලුම දුක් ගැහැට නිමාවට පත් කර ගනිමින් ඉතාම යහපත් භික්‍ෂූන් වහන්සේ නමක් හැටියට ප්‍රබුද්ධත්වයට පත් වූයේය. ඉතා වැදගත් ග්‍රන්ථ කීපයක් ඔහු රචනා කෙළේය. ක්‍රි.ව. 975 දී වයස 72 දී උන් වහන්සේ අපවත් වූ සේක. එදා සම්මතයේ පැවැති ආකාරයට උන්වහන්සේ ස්වර්ග රාජ්‍යයට කැඳවාගෙන යාමට අමිතභා සැපත් වූ බවද විශ්වාස කෙරේ.

ගොලුබෙල්ලන් අතුගෑමේ විපාක ...
උගුලට හසු වූ සාවුන් මුදා ගැනීම ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.