මඩු දේවස්ථානය කාගේද? - IFBC Organization | Dhamma

මඩු පල්ලිය නමින් වර්ථමානයේ ප්‍රකට වී ඇති, උතුරු මැද පළාතේ පිහිටි පූජා භූමිය සියවස් කිහිපයක් තිස්සේ බෞද්ධයන්ගෙන් පුදලත් උතුම් ආගමික ස්ථානයකි. මේ පුදබිමෙහි ඉතිහාසය පළමුවන ගජබාහු (112-134) රාජ්‍ය කාලයෙන් ආරම්භ වේ. වංකනාසික තිස්ස රාජ්‍ය කාලයෙහි කේරළයට අල්ලාගෙන ගොස් සිටි සිංහලයන් මෙරටට නැවත ගෙන ඒමට ගජබාහු රජතුමා නීල මහා යෝධයා සමග එහි ගියබව පූජාවලියෙහි සඳහන් වේ. ආපසු එන ගමනේදී එරට ප්‍රචලිතව පැවති පත්තිනි දේවියගේ සංකේතයක් වන පත්තිනි සලඹද ගෙන ආ බව ජනප්‍රවාදයෙහි එයි. පත්තිනි වන්දනය සිංහලයන්ට හුරු පුරුදු වූයේ එදා පටන් බව කියනු ලැබේ.

බුද්ධාගම රාජ්‍ය නිල ආගම උවත් දෙවි දේවතාවන් ඇදහීම මුළුමනින්ම ප්‍රතික්ෂේප නොවීය. පත්තිනි අම්මා බෞද්ධ සංස්කෘතියට අබ්බැහි වූයේ සීලප්පදිකාරම් නම් දෙමළ පොතෙහි එන විස්තරය නිසාය. එහි එන ප්‍රවෘත්ති පරිදි ඈ පතිවෘතා ධර්මයේ මූර්තියක් වූ නිසාය. එදා ඇගේ ස්වාමියාට මරණ දඪුවම හිමිවූ විට ඔහු බේරා ගැනීමට ඈ කල පරිත්‍යාගය ඉතා උතුම්කොට සැලකූ එරට ජනතාව ඈ දේවත්වයට නංවා අදහන්නට පටන් ගත්හ.


බුදු දහමේ පතිවෘතාව උසස් කොට දැක්වීමට අගනා ජාතක කථාවක් බුදුරජුන් විසින්ම දේශනාකර තිබේ. සඳ කිඳුරිය තමන් වසඟයට පත්කරගැනීමට තැත් කළ බ්‍රහ්ම දත්ත රජු අතින් මැරුම් කෑ තම ස්වාමියා වෙනුවෙන් මහ වනය මැද විලාප නගන විට වෙස්වලා එතැනට පැමිණි ශක්‍රයා ඈට පිහිට විය. තම ස්වාමියාට නැවත ප්‍රාණය ලබාදුන් බව ඒ ජාතකයේ සඳහන්ය. මේ පුවත කෙතරම් බෞද්ධයන් අතර පැතිර ගියේද යත් අද පවා පෙරහැරවල කිඳුරු ජෝඩුව නරඹන්නන්ගේ සිත් ගනී. කිඳුරු ජෝඩුව නැති පෙරහැර පෙරහැරක් නොවේ කීමට තරම් ඒ පාඩම ජනයා තුල කාවැදී තිබේ.

පත්තිනියගේ පුරාණය මීට වඩා වෙනස් උවත් උගන්වන පාඩම නම් එක සමානය. ඇගේ චරිතයෙන් ඉස්මතු වන්නේද පතිවෘතාවේ අගයයි. පත්තිනියගේ මුල් නම කන්නගී වේ. ඕ පාළඟ කුමරු සමග විවාහ වූවාය. පාලඟ ගුරු ගණිකාවන් සතපවමින් ද, සූදු ක්‍රීඩාවෙන්ද, කල් ගතකළ සෙල්ලක්කාරයෙකි. නොබෝ කලකින්ම හේ පත්තිනියගේ සළඹ පවා හොරාගෙන එය නිකිණීමට මදුරාපුර පාරවල් දිගේ ඇවිද්දේය. මේ දිනවල මදුරාපුර බිසවලේ සළඹ නැතිවී ගියෙන් රාජපුරුෂයන් එය සොයා නගරය පුරා ඇවිදින අවස්ථාවකි. තම බිරිඳගේ සලඹ අතැතිව සිටි පාලඟ රාජ පුරුෂයන්ට හසු විය. බිසවගේ සළඹ හොරාගත් තැනැත්තා ඔහු යයි සිතා රාජ පුරුෂයෝ උන් රජු ඉදිරියට කැඳවාගෙන ගියහ. නඩුව ඇසීමෙන් ඔහුට මරණ දඬුවම අත්විය. මේ ඇසූ පත්තිනි තම පතිවෘත්තා බලයෙන් නිවැරදිව තම හිමියාට යලි ප්‍රාණය ලබා දුන්නාය. රජුගෙන් පලිගන්නා අටියෙන් තමාගේ දකුණු පයෝධරය කඩා මදුරාපුර දෙසට වීසි කළාය. ඉන් එම පුරු දැවී අළුවී ගියේය. පතිවෘත්තා බලයේ තවත් ප්‍රතිමූර්තියක් වශයෙන් පත්තිනි දේවත්වයට පත් වූයේ මේ ආකාරයෙනි.

ඝන වනාන්තර විසින් මඩු බිම සියවස් ගණනක් තිස්සේ ගිලගෙන තිබුණු නිසා මිනිසු ඇසින් මුවා වී තිබුණෙන් වනසතුන්ගේ කෙළි බිමක් විය. යාපනේ බිෂොප්තුමා සපයා ඇති වාර්තාවකමන්නාරම් පෙදෙස 1670දී පමණ අරක්ගෙන සිටි ඕලන්ද ප්‍රොතැස්කන් ජනයා පෘතුගීසීන් විසින් පන්නා දැමූ විට රැකවරණය පතා ඔවුන් පැමිණියේ මුරුතමඩුවටය. ඒ දැන් පල්ලිය පිහිටි ගම්මානයයි. ඒ මුරුතමඩුව සිංහලේ රජුගේ මඩිගය (ගබඩාගම ) පිහිටි ස්ථානයයි. මුරුතමඩු යන නමෙහි මුරුත යනු දෙවියන්ට කියන නමකි. මඩුව යනු පූජාව කරන ස්ථානයට යෙදෙන නමකි. උදාහරණ ලෙස ගම්මඩුව යනු ගම්මඩු මංගල්‍යය කෙරෙන ස්ථානයයි. හියුං සාං හිමියන් ඉන්දියාවේ සංචාරය කළ අවධියේ බුද්ධගයා ශ්‍රී මහාබෝධි ස්ථානයටද ගොස් තිබේ. උන්වහන්සේගේ වාර්ථා වල ඒ පූජා භූමිය හඳුන්වා දී තිඛෙන්නේ බෝධීමණ්ඩ යන නමිනි. වර්තමාන මඩු යනු ඒ නයින්ම සිද්ධ වී යයි ගැනීම යුක්ති සහගතය.

1911දී පැවති ජනසංගණන වාර්ථාවේ සංගණක ඊ.බී.ඩෙන්හැම් ප්‍රකාශකර ඇත්තේ සංගණනය පැවැත්වූ 1911 මිර්තු මස 10 වැනි දින මුරුතමඩුවේ දක්නට ලැබුණේ පුද්ගලයන් 320ක් පමණ බවයි. ඉන් 230ක් පමණ පිටින් තාවකාලිකව පැමිණි සංහලයෝය.

මඩු පූජාබිමේ මුල් කතෝලික වාරෂික උත්සවය පටන්ගත්තේ 1870 දීය. එය යාපනේ බිෂොප්තුමාගේ මූලිකත්වයෙන් පැවති බව වාර්තා වී ඇත. කතොලික මඩු පල්ලියට මුල්ගල තැබුණේ 1876 දීය. වර්ථමාන ගොඩනැගිල්ල නංවන අවස්ථාවේදී එහි තිබුණු පත්තිනි දේවාලය විනාශකර තිබේ. එසේ කරද්දී වැඩට ගතහැකි සමහර ගොඩනැගිලි ද්‍රව්‍ය අළුත් ගොඩනැගිල්ලට රුවා ගන්නට ඇත. මේ ස්ථානයේ තවමත් ක්‍රමවත් කැණීමක් කර නොමැත. එසේ කරන්නේනම් පැරණි පුරාවස්තු නටබුන් මතුවිය හැකිය. ත්‍රීකුණාමලයේ රාජරාජ පෙරුම් පල්ලිය කැණීමේදී එහි යටවී තිබුණු සෙල්ලිපියෙන් කියැවුණේ එය වේල්ගම් වෙහෙර බවයි. එපරිද්දෙන්ම අන්‍ය ආගමිකයන් විසින් අල්ලාගෙන සිටින බොහෝ තැන් පැරණි බෞද්ධ විහාර පිහිටි තැන්ය.
මන්නාරම් දිස්ත්‍රික්කයේ 1804දී සංචාරය කළ ජේම්ස් කෝඩ්නර් නම් දේවගැති තුමා තම වාර්තාවේ සඳහන්කර තිඛෙන්නේ එම දිස්ත්‍රික්කයේ බොහෝ පල්ලි හා කෝවිල් පැරණි විහාර භූමි මත නංවා ඇති බවය. හලාවත සිට මුහුදු වෙරළට සමාන්තරව ත්‍රිකුණාමලය තෙක් ඇති අබෞද්ධ සිද්ධස්ථාන රාශියක් ගොඩනංවා ඇත්තේ බෞද්ධ විහාර භූමි මතය. පෘතුගීසීන් අතින් විනාශ වූ කැළණි විහාර භූමියේ පල්ලියක් ඉදි නොවුනේ කිසියම් හාස්කමකින් විය යුතුය.

මඩු පත්තිනි දේවාලයේ සිදුවී තිඛෙන්නේ කුරුසයට ඉඩදී පත්තිනි අම්මා කැලෑ වැදීමය. පත්තිනි අම්මා යලි මුරුත මඩුවට කැඳවා ගැනීමට කටයුතු කිරීම සියළු බෞද්ධයන්ගේ යුතුකමකි.

(2003 පෙබරවාරි මස 23වැනි ඉරිදා දිවයින ඉරිදා සංග්‍රහයට මහාචාර්ය අභය ආර්යසිංහ විද්වතාණන් විසින් ලියන ලද ලිපියකින් උපුටාගැනීමකි. )

බුදුහිමියන් පෙන්වා දුන් ස්ථූප ආකෘතියේ රහස කුමක්ද ?
අහ‍සේ පා‍වෙන මියන්මාරයේ කයිතියෝ (රන්ගිරිවෙහෙර) චෛත්‍ය රාජයානන් වහන්සේ ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.