සිංහල භාෂාව ඉපැරණි ය. පැරැණි තරමට ම ප්‍රාණවත් ය, පොහොසත් ය. මෙකලැ වාග් විද්‍යාඥයන් කියන උසස් භාෂ ලක්‍ෂණයන් සිංහල භාෂාවෙහි නොඅඩුවැ ඇත.

බුද්ධ ධර්මය ඉතා ගැඹුරු දර්ශනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අදහස් එලෙසින් ම ප්‍රකාශ කිරීම මෙකලැ දියුණු වැ තිබෙන ඇතැම් භාෂාවනටත් දුෂ්කර කාර්යයක් වී ඇත. එහෙත් මෙයට අවුරුදු දෙදහසකට පෙර ද සිංහල භාෂාවට ඒ හැකියාට නොඅඩුවැ ම තිබිණි. සම්පූර්ණ ත්‍රිපිටකය පාළියත් සමඟ හෙළ බසින් හදාරන්නට පිළිවන්කම තුබුණා පමණක් නොවැ, අටුවා සියල්ල ම ද හෙළ බසින් ලියැවී තිබිණ. ඉතා ගැඹුරු දර්ශනයක් ඇති දහමෙක අදහස් පැහැදිළි වැ ප්‍රකාශ කළ හැකි භාෂාවෙකින් රටෙකැ පාලන කටයුතු ගෙනැ යෑම දුෂ්කර කාර්යයෙක් නොවේ. එහෙයින් සිංහලයා රාජ්‍ය භාෂාව කිරීමට පැය විසි හතරෙකින්වත් පමා වීමක් වුවමන‍ා නොකෙරෙයි. එහෙත් රාජ්‍ය භාෂා පනත සම්මත වී අවුරුදු දහයක් ගත වී ඇතත් තව ම සිංහලය රාජ්‍ය භාෂාව වී ඇත්තේ ප්‍රකාශවලින් පමණ ය. නීති රීති සම්මත කිරීම තව ම පමා වී ඇති බැවින් නීත්‍යනුකූල වැ ලංකාව පුරා භාවිතා වන එකම රාජ්‍ය භාෂාව දෙමළ යයි කිව හැකි ය. කාගෙ ක‍ාගේත් මේ කටයුතු තමන් තමන් ගත් පක්‍ෂය හා ඒ මඟින් ලබාගත් බලය තර කැරැගන්නට විනා ජාතියට හෝ භාෂාවට හෝ හිතවත් වැ යයි සිතන්නට තරම් ලකුණු තවම දක්නට නැත.

යම් කිසි රටෙකැ ඉගැන්වීම කළ යුත්තේ ස්වභාෂා මාධ්‍යයෙන් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ලංකාවෙහි අධ්‍යාපන මාධ්‍යය ස්වභාෂා විය යුතු යයි යෝජනා කෙළේ නිදහස ලැබෙන්නටත් පෙරැ ඉංගිරිසීන් විසිනි. එහෙත් මෙයින් සිංහල බෞද්ධයා නැඟී ඒවිය යන බියෙන් හා ඊර්ෂ්‍යාවෙන් උන්මාදයට පත් බෞද්ධ විරෝධී පිරිස එයට විරුද්ධ වූහ. කෙසේ හෝ දැන් ස්වභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය දීම ඉතා වැදගත් ක්‍රියාවෙකි.

අසිංහල අබෞද්ධයෝ දූරදර්ශී වූ බැවින් තම දරුවනට ස්වභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂාව අත් නොහැරියා පමණක් නොවැ, පෙ‍‍ෟද්ගලිකව වැත් සංවිධානාත්මක වැත් ඉංග්‍රීසි වඩ වඩාත් ඉගැන්වූ හ. සිංහල බෞද්ධයෝ අදූරදර්ශී වූ බැවින් හා සීමාන්තික වැ කල්පනා කිරීමෙන් ද ‘ඉංග්‍රීසි නැති වැ බැරි ද, ඉංග්‍රීසි නැති වැ දොස්තරවරුන් ඉංජිනේරුවන් විද්‍යඥයන් වන සැටි පෙන්වන්නම්’ කියකියා බොරු දොඩවදොඩවා ඉංග්‍රිරිසිය ටිකෙන් ටික අත් හැරිය හ. මෙයින් සිදුවූයේ සිංහල බෞද්ධයා අන්ත ප්‍රපාතයට වැටීම යි. මේ කරුණ නුවණින් සලකා බලන්න.

මතු සඳහන් වන කොටස්වලැ දැනට ද සිංහල බෞද්ධයා සිටින්නේ ඉතා ස්වල්ප වශයෙනි. ඉදිරි අනාගතයෙහි විදේශීය තානාපති සේවාවනට සිංහල බෞද්ධයකු තේරෙන්නේ නැත. වෙනස් කමකට නෙ‍ාවැ ඉංගිරිසි නොදන්නා හෙයිනි. ඉංගිරිසි නොදැනැ ගොස් එහි පොල්ගාන්න ද? විදේශීය ශිෂ්‍යත්ව ලැබෙන්නේ නැත. උසස් දොස්තර මහත්මයකු වන්නට ලැබෙන්නේත් නැත. සිංහල බසින් ඉගෙනැ එම්. බී. බී. එස්. විභාගයෙන් සමර්ථ වන්නට නම් පිළිවන් වේවි. එහෙත් අවරදිග රටවලැ හතු පිපෙන්නාක් මෙන් කරනු ලබන සොයාගැනීම් වත් අලුත් බෙහෙත් හා අලුත් පිළියම් ක්‍රම වත් දැනැගන්නට ලැබෙන්නේ නැත‍. එකී පොත් සිංහලයට පෙරළා අවසාන වන විට ඊට වඩා අලුත් ක්‍රම සොය‍ා ඒවා කුණු කූඩෙට දමා අවසාන ය. අනෙක් අය හොඳින් ඉංගිරිසිත් ඉගෙනැ අලුත් සොය‍ාගැනීම් එදින එදින මැ දැනගෙන බෙහෙත් කරන අතර අනාගතේ දී සිංහල දොස්තර මහත්වරුනට කරන්න සිදු වන්නේ අවරදිග රටවල කුණු කූඩෙට දමන බෙහෙත් ය. මුදල් තිබෙන අය අනෙක් දොස්තර මහත්වරුන් ළඟට ගොස් අලුත් බෙහෙත් හා පිළියම් ලබා ගනිති. ලංකාවේ ධනයෙන් තව කොටසක් අසිංහල දොස්තරවරුන් අතට යයි. සිංහල දොස්තර මහතා කුණු කූඩෙට දමාපු බෙහෙත් දී ලබා ගන්නේත් දුප්පතාගේ තුට්ටු දෙකයි. සිංහල දොස්තර මහතාට ආර්ථික වාසියකුත් නැත. දුප්පත් සිංහල ලෙඩා ගේ ලෙඩ හොඳ වන්නේත් නැත. දුප්පත් සිංහලයා මැරී වඳවී යන්නත් පිළිවන. දැන් සිටින විශේෂඥ දොස්තර මහත්වරුන් ඉගෙන ගන්නා කාලයෙහි අධ්‍යාපනය දුන්නේ ඉංගිරිසි බසිනි. එසේ ද වුවත් විශේෂඥ දොස්තර මහත්වරුන් අතර සිංහලයන්, සිංහල බෞද්ධයන් කී දෙනෙකුන් සිටිනවාදැ යි සිතා බලන්න. එය එසේ නම් අනාගතය කෙබඳු වේද?

සිංහල මාධ්‍යයෙන් ඉගෙන නීති විභාගයෙන් සමර්ථ වන්නට පිළිවන. එහෙත් උසස් නීතිවේදියකු නම් වන්නට ලැබෙන්නේ නැත. නීති ග්‍රන්ථ හා විශේෂ නඩු තීන්දු පළවී තිබෙන්නේ ඉංගිරිසියෙන් හෙයිනි. දැනට ද අලුත්කඩේ උසාවියට ගිය කෙනෙකුට දක්නට ලැබෙන්නේ සියයට අසූවක් පමණ අසිංහල මුහුණු ය. ලොකු නඩුවල දී සිංහලයා වැරැදිකාරයා කොට හිරේ යවන්නටත් අසිංහලයා නිවැරදිකාරයා කොට හිරෙන් බේරන්නටත් කතා කරන්නෝ අසිංහලයෝ ම ය.

දැන් තත්ත්වයත් මෙහෙම නම් සිංහලෙන් නීතිය ඉගෙනැ නීතිවේදීන් වූ දාට සිංහලයාගේ තත්ත්වය කෙබඳු වේද? ඉංජිනේරු විද්‍යාව හා නවීන විද්‍යාවත් සිංහලයෙන් ඉගෙනැ උපාධිධරයන් වන්නට පිළිවන. එහෙත් ඒ පිළිබඳ විශාරදයන් වන්නට ලැබෙන්නේ නැත. කාර්මික ආයතනවල ද ඉඩ ඇහිරෙනු ඇත. ලොකු වෙළඳ ආයතන සියයට අනූවක් පමණ අසිංහල අබෞද්ධයන් අතේ ය. සිංහලයාට ඒ තැන්වල ඉඩ ලැබෙන්නේ ද නැත. දැන් විශ්වවිද්‍යාලයයෙහි ස්වභාෂායෙන් උගන්වන්නේ වී නමුත් ලංකා සමාජ සේවා විද්‍යාලයයෙහි අධ්‍යාපනය දෙනු ලබන්නේ ඉංගිරිසියෙන‍් බව සැළ යි. දැනුත් සිංහල බෞද්ධයා කොන් කැරැ ඇති ඒ විද්‍යාලයයට අනාගතයේ දී සිංහලයකුට ඇතුළු වන්නට ලැබෙන්නේ නැත. අසිංහල අබෞද්ධයනට ඉංගිරිසි දැනුම පමණක් නො වැ කාර්මික හා සාමාන්‍ය රැකී රක්‍ෂා පුහුණුවට ද ස්ථාන ඇත. සිංහලයාට එබඳු ස්ථානත් නැත. යම් කිසි රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට එන විට අසිංහල අබෞද්ධයන් පුහුණුවක් ලබා එන අතර සිංහලයා නිකම් ම ගෙදර සිට පැමිණෙයි. වැඩි සුදුසු කම් හා පුහුණුවක් ඇති අසිංහල අබෞද්ධයාට රැකියාව ලැබන අතර සිංහලයා ගමන් වියදම සඳහා ණයට ගත් මුදල ගෙවන්නේ කෙසේ දැ යි සුසුම් හෙළමින් ආපසු ගෙදර යයි.

මේ කරුණ ලියන විට ඔය එන්නේ නැවැතත් ඉංගිරිසියට තැන දෙන්නැයි වරදවා සිතන්නත් එපා. අහිංසක සිංහලයා මුළා කරවන්නත් එපා. අධ්‍යාපනය ස්වභාෂාවෙන් කරන අතර අප ජීවත් වන්නේ විසි වැනි ශත වර්ෂයේ ලෝකයෙකැ යි සිතා වත් ඉංගිරිසි හොඳට ම උගන්වන්නට පිළියෙළ කරන්න. අප ඔය දෙමළගේ භාෂාව ඉගෙන ගන්නේ නැත. එයින් සිදුවන්නේ දැන් තිබෙන තත්ත්වය අනුවැ උතුරු නැගෙනහිර පළාතකට රැකියාවක් වශයෙන් වත් යන්නට නොලැබීම යි.

ළමා කාලයෙහි භාෂා ඉගෙනීම ඉතා පහසු ය. පාසලේ දී භාෂා තුන හතරක් උගන්වන රටවල් ඇත. එහෙයින් සිංහල ළමයිනට සිංහල හා ඉංගිරිසි පමණක් නොවැ දෙමළ ද ඉගැන්වීම වරදක් නොවේ. බුද්ධ ධර්මය අනුවැ විවිධ භාෂා ඥාණය රහත් වන ජාතියෙහි සිවුපිළිසිඹියා නුවණ ලැබීමට ද උපකාර වෙයි. එය කෙසේ වෙතත් දැන් තිබෙන තත්ත්වය අනුවැ සිංහලයන් සෑහෙන සංඛ්‍යාවක් වත් දෙමළ ඉගෙන ගත්තේ නැත්නම් උතුරු නැගෙනහිර පළාත් නිකම් ම දෙමළ අයට වෙන් වෙනවා ඇත. ඔවුන් බලාපොරොත්තු වන පෙඩරල් රාජ්‍යය ඉබේ ම ලැබෙනවා ඇත.

මේ කරුණු හොඳින් නුවණින් සලකා බලන විට අනාගතයේ දී සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් අතර උසස් දොස්තර කෙනෙකු උසස් නීති වේදියකු උසස් ඉංජිනේරුවකු උසස් විද්‍යාධරයකු පහළ වන්නට ඉඩක් නැති බව පැහැදිළි වැ වැටැහෙනවා ඇත. එසේ ම උසස් කාර්මිකයකු රජයේ හෝ අන් සංස්ථාවක හෝ මාණ්ඩලික නිලධරයකු වන්නට ඉඩ නොලැබෙනු ඇත. ජාතියට භාෂාවට වඩා පක්‍ෂය දෙස බලා, ගන්නා ලද ක්‍රියා මාර්ග නිසා ගුරුවෘත්තිය හැර සාමාන්‍ය රැකියාවන් අතරෙනුත් අනාගතයේ දී සිංහලයනට ලැබෙන්නේ සියයට විසි පහක් පමණ ය. ඒ දෙපළාතේ සේවයට එක ද සිංහලයකුත් උවමනා නැත.

ලංකාවේ අනෙක් පළාත්වලැ සිටින ද්‍රවිඩයන්ගේ කටයුතු දෙමළ බසින් ම කළ යුතු වැ ඇත. සිංහලයන් දෙමළ ඉගෙනැ ගන්නේ නැති නිසා ඒ සේවය සඳහා දෙමළ සේවකයෝ උවමනා වෙති. කන්ද උඩරට ඌව – සබරගමු යන පළාත්වලැ ද්‍රවිඩයන් සිටින ප්‍රමාණය අනුවැ සමහර විට සියයට හතළිහක් පණහක් පමණ දෙමළ සේවකයන් උවමනා විය හැකි ය. කොළඹට නම් සියය‍ට පණහකට වැඩිගණනක් දෙමළ සේවකයන් උවමනා වනු නොඅනුමාන යි. වවුනියාවෙන් ඉහළට සිංහලයනට බිම් අඟලක් වත් නැතැ යි කීම සත්‍ය ද? එය සත්‍ය වුවත් අසත්‍ය වුවත් ද්‍රවිඩයනට ලංකාව පුරා ම ඉඩ කඩම් දේපල ඇති බව නම් සත්‍යයෙකි. ගාල්ල මාතර වැනි ද්‍රවිඩයන් අඩු පළාත්වලැ ද ඉන්නා අයගේ කටයුතු දෙමළ බසින් ම කළ යුතු වැ ඇත. ලංකාවේ එබඳු පළාත් රාශියෙකි. ඒ පළාත්වලැ සිටින ද්‍රවිඩයනට සේවය කිරීම සඳහා දෙමළ සේවකයන් සියයට විස්ස තිහ ගණනේ උවමනා විය හැකි ය. මෙසේ ගණන් හදා බලන්න. ලංකාවේ රැකියාවන් සියයට විසි පහකුත් සිංහලයාට නොලැබෙන්න පිළිවන. මේ ගැන දෙමළ සහෝදරයනට ස්වල්ප වශයෙන් හෝ දොස් කිව යුතු නොවේ. අනුන් ගේ රටකට අවුත් ගුටි බැට කාගෙනැ, වද හිංසා පීඩා විඳ‍ෙගනැ, එසේ ම ඒ සියල්ල ඉවසාගෙනැ, දූරදර්ශී වැ බුද්ධිය මෙහෙයව‍ා, ටිකෙන් ටික රට අල්ලාගෙනැ, අනාගතයේදී රටේ සම්පූර්ණ බලය අල්ලාගැනීමේ මාර්ගයෙකැ ගමන් කරන දෙමළ සහෝදරයනට වැඩේ වැරදි වුවත් කරන පිළිවෙල ගැන ප්‍රශංසා කට යුතු ය.

 ශ්‍රී ලංකාදීප 1966.12.19

ප්‍රඥාප්‍රභා 2
යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

සිංහලයිනි, එක් වමු. ජාතිය බේරාගනිමු ...
ජාතිය ද? පක්‍ෂය ද?

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.