Skip to main content

සම්පාදක:

බම්බලපිටියේ වජිරාරාමයේ

මඩිහේ පඤ්ඤාසීහ මහා නායකස්ථවිරයන් වහන්සේ  විසිනි

පෙරවදන

අතිගරු පැළෑණේ සිරි වජිරඤාණ මහානායක
මාහිමියන් වහන්සේ විසින් සකස් කරන ලදී.

බුද්ධාගම පවත්නා රටවල් අතුරෙන් ලංකාව අගතන්හි ලා ගිණිය යුතුවේ. සිංහල ජාතිය ගේ මුල් කාලයෙහි පටන් ම මෙහි බුද්ධාගම අවිච්ඡින්නව පැවැතැ ආ බැවිනු ත්, ශ්‍රී දංෂ්ට්‍රාධාතුන් වහන්සේ මුල්කොටැ බොහෝ සර්‍වඥ ශාරීරික ධාතුන් වහන්සේද ශාඛා මහාබොධි පාත්‍රධාතු ශ්‍රී පාද ලංඡනාදි නොයෙක් පාරි‍‍භෝගික චෛත්‍යයන්ද, රන් පිළිම, රිදී පිළිම, මැණික් පිළිම, සල පිළිම, සඳුන් පිළිම ආදියෙන් සැදුම් ලත් රන්ගිරි දඹුලු ආදි අනෙක ශත උද්දේසික චෛත්‍යයන් ද, අවුරුදු දෙදහසකටත් පෙර පටන් අද දක්වා මෙහි පවත්නා බැවිනුත්, සියලු ත්‍රිපිටක පය්‍ර්‍යාප්තිය පොතෙහි ලිවීම ය, ඒ වර්‍ණනාවන් ම පාළියට පෙරළා මුලුලොවැ නොයෙක් දෙස් වැස්සන් ට ප්‍රයෝජනවත් වන සේ අටුවා පොත් ලිවීම ය, ඔවුන්ට ම නොයෙක් ටිකානුටීකා අර්ථ යෝජනා සන්න ගැටපද නිඃශ්‍රය ග්‍රන්ථාදිය ලිවීම ය යන ආදීන් පය්‍ර්‍යාප්ති ශාසනස්ථිතිය ට වුවමනා හැම කටයුතු මෙහිදී ම සම්පූර්ණ වූ බැවිනු ත් ප්‍රතිපත්ති ගරුක වූ මහණ මෙහෙණි උවසු උවැසි යන සිවු පිරිස් වැස්සන් විසින් චිරපර්ය්‍යුෂිත බැවින් ප්‍රතිපත්ති ශාසනයට ජයභූමියක් වන හෙයිනුත් ඉතා පෙර සෝවාන් ආදී මගපල ලත් බොහෝ ගිහි-පැවිද්දන් මෙහි වුසූ බැවින් ප්‍රතිවෙධ ශාසනය මෙහි අනූනව පිහිටි හෙයිනුත්, තුනුරුවන් පහළ දඹදිවැ මධ්‍ය දේශයෙහි පවා ටික කලකින් බුදු සස්න අතුරුදහන් ව ගියත් මෙහි අද දක්වා ත් නො සිඳී පවත්නා හෙයිනු ත් බුදු සසුන් පිහිට වූ සියලු රටවල් අතුරෙන් මේ සිංහළ ද්වීපය අගතන්හි තබා සැලකිය යුතුවේ.

කරුණු මෙසේ නමුත් දැන් ලක්දිවැ ගිහි පැවිදි දෙපසම පිළිවෙත් අතින් ඉතා පහත බැස සිටින බව සඳහන් කිරීම පවා මහත් කනගාටුවකි. ගිහි බෞද්ධයන් අතර ජනප්‍රධානයන් ප්‍රභූන් මෙන් ප්‍රසිද්ධියට පැමිණි බොහෝ දෙනා තුළැ වැඩි පිළිවෙත් තබා පන්සිල්වත් නැත. සාමාන්‍යයෙන් පොදු බෞද්ධ ජනතාව අතර ද නියත වූ දිනපතා පිළිවෙතක් නැත. සිද්ධස්ථානයන් ට එළඹීම ගැනවත් වැඳුම් පිදුම් පැවැත්වීම ගැනවත් ඉදහිටලාවත් පෙහෙවස් සමාදන්වීම ගැනවත් කිසි ත් සැලකිල්ලක් නැත. මෙකී දේවලට වඩා සැලැකිල්ලෙන් නාඩගම්, බයස්කෝප්, අසුන් විහිදුවීම් ආදිය බලන්නට යෙති. ඉඳහිටලාවත් කරන පින්කම් නම් දන්දීමත්, පිරිත් කියැවීමත් ය. ඒවාත් පරලොව ම තකා නොවැ මෙලොව ත් යම් යම් දේ සමග මුසු කොටැ ම කෙරෙති. එහෙත් පුරාතන සිංහලයෝ එක රෑ බණ ඇසීමට තිස්සමහාරාමයේ සිට අනුරාධපුරයට ත් ගියෝ ය. රජවරු පවා ඒසා මහත් රාජකාර්යයන් තිබියදීත් මසකට සතර දින අට දින දොළොස් දින බැගිනුත් අටසිල් සමාදන් වූහ. “කුකුළකු හිස් සිඳින්නට” යයි මහ රජුගෙන් ලත් අණට, නොකීකරුව තමන් හිස පුදා පන්සිල් රැක්කෝ ය. තමන් අත තියුණු ආයුධයක් තිබියදී පිඹුරකු විසින් වෙළනු ලබමිනුත් ආයුධය ඉවත දමා ගසා දිවිපුදා පන්සිල්ම රැක්කෝ ය. මෑණියන්ගේ අසාධ්‍ය වූ රෝගයට පිළියම් පිණිස අමු හාමස් වුවමනා වැ තිබියදීත් අතට අසුවූ හාවා පවා මෛත්‍රියෙන් මුදා හැර මෑණියනට සත්කිරියෙන් ම සෙත් කළහ. එකම දියණියන් උකස් කොටැ ගත් මුදලින් මහ සඟනට පස්ගෝරස දන් දුන්හ. හත් අට මසක් බැළ මෙහෙ කොටැ දියණියන් නිදහස් කර ගැනීම පිණිස ඉතිරි කර ගත් කහවනු සොළොසම මගී වූ තෙර නමකට එක පිණ්ඩපාතයක් සැපැයීමට කැප කළහ. තුමූ පලා කොළින් ඉවූ ඇඹුල් කැඳිත්තකින් පැපෙමිනුත් භික්‍ෂූනට රසමසවුලෙන් පිණ්ඩපාත දාන දුන්හ. අවුරුදු ගණන් මුළුල්ලේ සතිපට්ඨාන භාවනාදී භාවනාමණස්කාරයන් පහුණු කළහ. දිනපතා උපනිෂණ්ණ කථා වශයෙන් ද පොහොයක් පාසා සර්ව රාත්‍රික ධර්මදේශනා වශයෙන් ද බණ ඇසූහ. දවස් තුන්වේලේ තුනුරුවන් වැඳුම් පිදුම් කළහ. ගුරුන් වැඩිහිටියන් දැක හුනස්නෙන් නැංගා හ. ඔවුනට කීකරුව ගරුබුහුමන් හා යථා ශක්තීන් උපස්ථාන ද කළහ.‍

මේ ආදීන් පුරාතන ගෘහස්ථ ප්‍රව්‍රජිත සිංහල බෞද්ධයන්ගේ ප්‍රතිපත්තිය ගැන සලකා බලා කවුරුන් විසිනුත් තම තමන්ගේ ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කැර ගැනීමට දැන් කාලය පැමිණ තිබෙන බව කුලුණු මෙත් පෙරදැරිව සිහිපත් කරවම්හ.

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා !

 

බෞද්ධ ප්‍රතිපත්ති

නමෝ තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

යමෙක් බුදුන් සරණ ගියේ ද, දහම් සරණ ගියේ ද, සඟුන් සරණ ගියේද හෙතෙමේ උපාසක බෞද්ධ නම් වේ යයි බුදුරජාණන් වහන්සේ වදාළහ.

මෙසේ තෙරුවන් ගුණ දැනගෙන, තෙරුවන් සරණ යන්නේ කුමටදැ යි වටහාගෙන තෙරුවන් සරණ ගිය බෞද්ධයෝ භික්‍ෂු – භික්‍ෂුණී – උපාසක – උපාසිකා යැයි සිවු කොටසකට බෙදෙති. එයින් උපාසක උපාසිකාවෝ ගිහි බෞද්ධයෝ ය. ඔවුහු ද නමින් පමණක් බෞද්ධයෝ ය. නියම බෞද්ධයෝ යැයි දෙකොටසක් වෙති.

බෞද්ධ දෙමව්පියන්ගේ දරුවකු වීම ය, බෞද්ධ ගෙදරක ඉපැදී හැදී වැඩීම ය, බෞද්ධ නාමයක් තිබීම ය, නිකම් චාරිත්‍රයක් වශයෙන් තිසරණ පන්සිල් සමාදන් වීම හා පන්සල් යෑම ය, බෞද්ධ උත්සව වලට සහභාගී වීම ය යන මේ කරුණු වලින් පමණක් බෞද්ධ වූවෝ නමින් පමණක් බෞද්ධයෝ ය.

බෞද්ධ ප්‍රතිපත්ති ඇත්තෝ නියම බෞද්ධයෝ ය. ඒ බෞද්ධ ප්‍රතිපත්ති සර්ව සාධාරණ ප්‍රතිපත්තිය පෞද්ගලික ප්‍රතිපත්ති යැයි දෙකොටසකට බෙදෙති. එයින් මෙහි විස්තර වන්නේ ස්ත්‍රී පුරුෂ – මවු පිය – දූ දරු – අඹු සැමි – ස්වාමි සේවක යන ආදී පුද්ගයන් තුළ තිබිය යුතු බෞද්ධ ප්‍රතිපත්ති පිළිබඳ විස්තරයෙකි.

හොඳ පුරුෂයා හා හොඳ ස්‍ත්‍රිය

චාතුම්මහාරාජිකය තාවතිංසය යන දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවෙන්‍ද්‍රයා නිතරම උයන් සිරි දකිනු සඳහා යයි. එසේ ම එහි යෑමට පිටත් වන්නට පෙර සියලු දිශාවන් වැඳීම ද සිරිත ය. දිනක් එසේ වඳිනු දුටු මාතලී දිව්‍ය ප්‍රත්‍රයා, “දේවෙන්‍ද්‍රය වෙදත්‍රය හදාරන්නා වූ සියලු මනුෂ්‍යයෝ ද, ක්‍ෂත්‍රියයෝ ද, සතර වරම් මහරජුහු ද, අනෙකුත් දෙවියෝ ද ඔබ වහන්සේ වඳිති. මේ ඔබ වහන්සේ වඳින්නේ කිනම් කෙනෙකුට ද?” යි ඇසී යැ. එවිට ශක්‍රදෙවෙන්‍ද්‍රයා තමන් වඳින පිරිස සඳහන් කෙරෙමින් මෙසේ කී යැ:

යෙ ගහට්ඨා පුඤ්ඤකරා – සීලවන්තො උපාසකා
ධම්මෙන දාරං පොසෙන්ති – තෙ නමස්සාමි මාතලී.

(සංයුත්ත සක්කනමස්සන සූත්‍රය)

  1. පින් කරන්නාවූ, 2. සිල්වත් වූ, 3. උපාසක ගුණයන්හි පිහිටියා වූ, 4. දැහැමින් අඹුදරුවන් රකින්නා වූ යම් ගිහි කෙනෙක් වෙත් ද, මාතලිය, මම් ඔවුන් වඳිමි යි යන මේ ශක්‍රදේවේන්‍ද්‍රයාගේ කියමනෙන් ගුණ නුවණින් යුතුව ගිහි ගෙයි වාසය කරන්නා වූ හොඳ පුරුෂයා හට ශක්‍රාදී දෙවියන් පවා වඳින බව මැනවින් පැහැදිළි වේ. මෙහි සඳහන් වූ සතර ගුණය බෞද්ධ වූ කවර ගිහියෙකුට වුව ද ඇති කර ගැනීම අපහසු නො වේ.
  2. පින් නම්, සිත කිලිටි කරන්නා වූ රාගාදීනට ප්‍රතිපක්‍ෂ වූ ප්‍රඥාදි ශෝභන ධර්මයන් හා එක්ව යෙදුනා වූ උපනූපන් තන්හි ඉෂ්ට විපාක ගෙන දෙන ස්වාභාවය ඇති චේතනාවෝ (සිතිවිලි) යි. මෙකී පින්, දාන – ශීල – භාවනා වශයෙන් තුන් වැදෑරුම් කොට ද, දානය -ශීලය – භාවනා ය – පින් දීම ය – පින් අනුමෝදන් වීම ය – වතාවත් කිරීම ය – වැඩිහිටියන් පිදීම ය – බණ දෙසීම ය – දෘෂ්ටිය සෘජු කිරීම ය යි දස වැදෑරුම් ලෙස ද,

1 දන් 2 සිල්         3 භාවනා
4 පින් දෙනු        5 අනුමෝදන‍ා
6 බණසනු                 7 දේසනා
8 පිදිය යුත්තන් පුදනු      සමනා
9 කරනු ද                     වතාවත්
10 පින්කරු ගුණ         වැනීමත්
11 සරණ 12 සිහි              වීමත්
දොළොස් පින් දැන කරව යහපත්

මෙසේ ඇතැම් ආචාර්යවරු (කාව්‍යශෙඛරයෙහි) දොළොස් වැදෑරුම් කොට ද දැක්වූහ.

  1. සිල්වත් බව නම්: පඤ්ච දුශ්චරිතයන්ගෙන් මිදීම හා සතුන් මැරීම – සොරකම් කිරීම – කාමයෙහි වරදවා හැසිරීම – බොරු කීම – කේලම් කීම – රළු බස් බිණීම – හිස් වදන් දෙඩීම – වැරදි ජීවිකාව යන මෙයින් වැළැකී ආජීවාෂ්ටමක ශීලයෙන් යුක්ත වීම යි. කාමයෙහි වරදවා හැසිරීමෙහි මද්‍යපානය ද ඇතුළත් වේ.
  2. උපාසකයා නම්: බුද්ධං සරණං ගතො හොති – ධම්මං සරණං ගතො හොති – සංඝං සරණං ගතො හොති එත්තාවතා ඛො මහානාම උපාසකො හො ති යි මහා නාම සූත්‍රයෙහි වදාළ පරිදි බුදුන් දහම් සඟුන් සරණ ගිය තැනැත්තේ ශ්‍රද්ධා – ශීල – ශ්‍රැත – ත්‍යාගාදී ගුණයන්හි පිහිටීම නියම උපාසක ලක්‍ෂණය වේ.
  3. දැහැමි අඹු දරු පෝෂණය නම්: දැහැමින් සපයා ගත් වස්තුවෙන් කටයුතු සංග්‍රහ ඒ ඒ අවස්ථාවේදී නො පිරිහෙළා කෙරෙමින් සැප පහසු ද සලසා දෙමින් පිනට දහමට ද මග යොදා දෙමින් භාර්යාව කෙරෙහි හොඳ පියකු – සොහොයුරකු – යහළුවකු මෙන් පවතිමින් සතර සංග්‍රහ වස්තුවෙන් ද සංග්‍රහ කෙරෙමින් පෝෂණය කිරීමයි.

ඉතා පුරාණයෙහි සුරුචි නම් රජ කෙනෙක් වූහ. එතුමාගේ අග මෙහෙසිය ඉතා සිල්වත් ය, ගුණවත් ය. මේ බව දත් ශක්‍රදේවේන්‍ද්‍රයා මෙහෙසිය ඉතා සිල්වත් ය, ගුණවත් ය, මේ බව දත් ශක්‍රදේවේන්‍ද්‍රයා මෙහෙසිය ගේ ගුණ ලොවට ද ප්‍රකට කොට ගුණ දහම් පිරීමෙහි ලෝකයා උනන්දු ද කරවනු සඳහා මිනිස් ලොවට එන්නට සිතා ගති.

දිනක් සුරුචී රජහුගේ බිසවුන් උයනෙහි සිටින විට ශක්‍රදේවේන්‍ද්‍රයා සෘෂියකුගේ වේශයෙන් එතැනට පැමිණ කථා කෙරෙමින් සිට, දේවිය විසින් ඔබ කවුදැ යි අසන ලදුව තමන් ශක්‍රදේවේන්‍ද්‍රයා බව සඳහන් කොට මෙසේ ද කී ය.

ඉත්ථියො ජීවලොකස්මිං යා හොන්තිසමචාරිණී
මෙධාවිනී සීලවතී සස්සුදේව පතිබ්බතා
තාදිසාය සුමෙධාය සුචිකම්මාය නාරියා
දෙවා දස්සනමායන්ති මනුසියා අනුමානුසා

(සුරූචී ජාතකය)

1 සමව හැසිරෙන්නා වූ, 2 නුවණැත්තා වූ, 3 සිල්වත් වූ, 4 නැන්දා හා මාමා දෙවියන් කොට සලකන්නා වූ, 5 පතිව්‍රතා ධර්මයෙන් යුක්ත වූ, යම් ස්ත්‍රීහු මේ ලෝකයෙහි වෙත් ද, මනා නුවණැති පිරිසිදු ක්‍රියා ඇති මනුෂ්‍ය වූ එබඳු ස්ත්‍රීන් දැකීමට මනුෂ්‍ය නො වූ දෙවියෝ ද පැමිණෙති.

ගුණ නුවණැති හොඳ භාර්යාවන් දැකීමට දෙවියන් කැමැති බවත් අපේ ඇසට නො පෙනුනත් එබඳු ගුණවත් ස්ත්‍රීන් දැකීමට – ගරු කිරීමට ශක්‍රාදී දෙවියන් පවා පැමිණෙන බවත් මෙයින් මැනැවින් පැහැදිලි වේ. යටැ කී පස්ගුණය බෞද්ධ වූ හැම ස්‍ත්‍රියක විසින් ම පිරිය හැකි පිරිය යුතු ගුණයෝ වෙති.

  1. සමව හැසිරීම නම්: මනා – යහපත් හැසිරීම යි. සම පැවැත්ම ය, විෂම පැවැත්ම යැයි මෙ ලොව මිනිසුන්ගේ පැවැතුම් දෙකකි. ඉන් සම පැවැත්ම නම් තමන්ගේ කතාවෙන් හා ක්‍රියාවෙන් ලෝකයාට කරදර හිරිහැර නො වන සේ හැසිරීම යි. විෂම පැවැත්ම නම් තමන්ගේ කථා සහ ‍ක්‍රියා ලෝකයාට කරදර හිංසා පිඩා වන සේ පැවැත්වීම යි. මෙය මෙතැනදී හොඳ ස්ත්‍රියකගේ ගුණයක් ලෙස සඳහන් වුව ද ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කාටත් සාධාරණ වු ගුණයෙකි. යමකු තමන්ගේ කථා සහ ක්‍රියා අන්‍යයනට කරදර නොවන සේ පවත්වනුවා නම් එය ජන සමාජයට කරන ලොකු සේවයෙකි. සුචරිතයෙක පිහිටීම නිසා තමනට කුසල් ද රැස් වෙයි.
  2. නැණවත් බව ද පුරුෂ පක්‍ෂයට මෙන් ස්ත්‍රී පක්‍ෂයට ද තිබිය යුතු ය. එසේ ම නිවැරදි ශිල්ප ශාස්ත්‍ර විෂයෙහි උගත්කම ද බහුශැත භාවය ද තිබිය යුතු ම ය.

අප්පස්සුතා’යං පුරිසො
බලිවද්දො’ව ජීරති
මංසානි තස්ස වඩ්ඪන්ති
පඤ්ඤා තස්ස න වඩ්ඪති

(ධම්මපදය)

“ඇසූපිරු තැන් නැතියෙ
ගොනකු මෙන් ජරපත් වේ.
ඔහු ඇඟමස් මතු වැඩේ
නුවණෙක් නම් නොම වැඩේ”

බහුශ්‍රැත භාවය පමණක් නොව නුවණ ද තිබිය යුතු ය.

  • ආයකෞශල්‍යඥානය – දියුණුවෙහි දක්‍ෂ නුවණ හෙවත් මේ මේ දේ කිරීමෙන් හා මෙසේ හැසිරීමෙන් දෙලොව දියුණුව සැලසේ යි ‍දන්නා නුවණ ය,
  • අපායකෞශල්‍යඥානය – පිරිහීම පිළිබඳ දක්‍ෂ නුවණ හෙවත් මේ මේ දේ කිරීමෙන් හා මෙසේ හැසිරීමෙන් දෙලොවින් ම පිරිහීම සැලසේ යි දක්නා නුවණ ය,
  • උපායකෞශල්‍යඥානය – ස්ථානොචික ප්‍රඥාවය යන මේ ඥානයන්ගෙන් ද යුක්ත විය යුතු ය.
  1. සිල්වල් බව නම්: හොඳ පුරුෂයාගේ ගුණ කී තැනැ ප්‍රකාශ වූ පරිදි පඤ්‍චදුශ්චරිතයෙන් වැළැකීම හා ආජීවාෂ්ටමක ශීලයෙන් සම්පූර්ණ වීම යි.
  2. නැන්දා හා මාමා දෙවියන් කොට සැලැකීම, නීතියෙන් ආවාහ විවාහයෙන් වන නැන්දාට පාළියෙන් ‘සස්සු’ යනු ද සකුයෙන් ‘ශ්වශ්‍රැ’ යනු ද, මාමාට ‘සයුර’ හා ‘ශ්වශුර’ යනු ද නම් වෙති. එකී නැන්දා හා මාමා දෙවියන් කොට සැලැකීම ද හොඳ භාර්යයාවකගේ ගුණය වේ.
  3. පතිවුතා ධර්මය නම්: ස්වපුරුෂ සන්තුෂ්ටියෙන් යුක්තව තම හිමියා දෙවියකු ලෙස සලකමින් සිතින්වත් තම ස්වාමිපුරුෂයා ඉක්මවා නො සිතන උතුම් ගුණය යි.

ලෝකයාගේ සැලැකීම නා නා හේතුක නිසා වෙයි. ඇතැම්හු කුල යට ද ඇතැම්හු ධනයට ද ඇතැම්හු උගත් කමට ද ඇතැම්හු ගුණවත් කමට ද සලකති. මින් කුලයට සැළැකීම දැන් ලොව නැතැයි කිව යුතු තරමට අඩු වී ගොස් තිබේ. කෙනකු උසස් වන්නේ කුලයෙන් නොව ක්‍රියාවෙන් බව බුදුරජාණන් වහන්සේ ද වදාළහ.

ලෝකය අතර ධනවතාට සැලැකීමක් ඇතත් එය තාවකාලිකය, ගනුදෙනු කරන අවස්ථාවෙහිදී – ඉදිරියෙහිදී පමණක් ලැබෙන ඒ සැලැකීම පිටතදී නො ලැබෙයි, ධනවතාට පිටත දී බොහෝ සෙයින් ලැබෙනුයේ නින්දා අපහාස ආදිය යි.

උගතාට දක්වන සැලැකිල්ල ධනවතාට දක්වන සැලැකිල්ලට වඩා ස්ථිර ය. උගතාගේ අගය දන්නෝ ද උගතුම ය. උගත්තු ලොව සුලබ නොවෙති. එහෙයින් උගතාට සලකන පිරිස සංඛ්‍යා වශයෙන් ටික ය. එහෙත් එය බොහෝදුරට ම ස්ථිර ය. ඉදිරියේ දී මෙන් පිටත දී ද සලකයි.

ගුණවතාට සැලැකීම හැමදාම එකසේ ම සිදුවෙයි. බොහෝවිට කල් යත් යත් සැලැකීම අධික ද වෙයි, පසු ගිය දා සැරියුත් – මුගලන් දෙදෙනා වහන්සේගේ ධාතුන් හට දැක්වූ සැලැකිල්ලෙන් එය මැනැවින් පැහැදිලි විය. ධාතුන් යයි මහාජනයා වැන්දේ පිදුවේ උන්වහන්සේලාගේ ශරීරය දැවූ ස්ථානයෙන් ගත් දිරාගිය ඇට කැබලිය, සොහොන් බිම්හි දි ඊට වඩා ලොකු නො දිරුණු ඇට කැබලි දක්නට ලැබෙතු දු ඒවා වඳින්නට තබා පයින් ස්පර්ශ කරන්නට වත් කිසිවෙක් කැමැති නොවෙති. එහෙත් යටැ කී ධාතුන් වහන්සේලාට විසිපන් ලක්‍ෂයකටත් අධික ජනකායන් වැන්දාහ, පිදුවහ, මේ වැඳීම කෙළේ උන්වහන්සේලාගේ කුලවත්කමටද, ධනවත්කමටද නැතහොත් උගත්කමට ද? නැත ගුණ වත්කමට ම ය, මෙසේ උගත් – නූගත් – දුප්පත් – පොහොසත් – උසස් කුල වත් – එසේ නොවන කුලවත් ආදී හැම දෙනා විසින් ම හැම තැනදී හැම විට ම එක සේ වඳිනු ලැබෙන්නේ ගුණවත් කමට ම ය. එහෙයින් හැම දියුණුවට ම වඩා ගුණදහමින් දියුණුව උසස් බව සැලැකිය යුතු ය.

බුද්ධ ධර්මය ගැන නියම තතු නො දන්නාහු බුද්ධාගමයෙහි උගන් වන්නේ මරණින් මතු ලබන සුගතිමාර්ගය පමණක් ය යි සිතති. එය මහා මුළාවෙකි. බුද්ධ ධර්මයෙහි මරණින් මතු ලබන සුගතිමාර්ගයත්, සසර දුක් ගෙවා ලබන මොක්‍ෂ මාර්ගයත් හරි හැටි ප්‍රකාශ කොට ඇත්තාක් මෙන් මනුෂ්‍යයකු ගේ මෙලොව යහපතට හේතුවන හැම කරුණක් ද ප්‍රකාශ වෙයි. බොහෝ දෙනා ඉතා සුළු කොට සලකන ගේදොර පිරිසිදු කිරීම, වැසිකිළි කිස කිරීම ආදී දේ පවා වැදගත් මහත්මයකු ලෙස හා නිවැරදි ලෙස ද කරන අයුරු මැනැවින් විස්තර කොට ඇත්තේ ය. මෙසේ මහජනයා සදාචාරසම්පන්න කරනු සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ආචාර නීති සමූහය අති විශාලය.

බෞද්ධයන්ගේ උසස්ම බලාපොරොත්තුව වන නිවන් සුව ලබනා සැටිත් ඉතා සාමාන්‍ය දේ හැටියට සැලැකෙන කන බොන යන එන සැටිත් හොඳින් විස්තර වී ඇත්තේ නම් මෙදෑතුරෙහි වූ සවි සතුන්ගේ යහපතට හේතු වන අන් කරුණු ගැන කවර කතා ද?

මවුපියෝ

තම දරුවන් අයහපතින් මුදා යහපතෙහි යොදා ආරක්‍ෂා කොට ප්‍රේමයෙන් හදා වඩන්නෝ මව්පියෝ නම් වෙති.

බ්‍රහ්මාති මාතාපිතරො – පුබ්බාචරියාති චුච්චරෙ
ආහුණෙය්‍යා ච පුත්තානං – පජාය අනුකම්පකා

(අංගුත්තර තික නිපාත)

මවුපියෝ බ්‍රහ්මයෝ ය, ශ්‍රෙෂ්ඨයෝ ය, මුල් ගුරුවරයෝ ය, දරුවන් විසින් ගෞරවයෙන් පිදිය යුත්තෝය, දරුවන් කෙරෙහි අනුකම්පා කරන්නෝය ය යි කියනු ලැබෙති.

බ්‍රහ්මයා සියලු සත්ත්වයන් කෙරෙහි කරුණා ය – මෛත්‍රිය – මුදිතා ය – උපෙක්‍ෂා ය යන උතුම් පැවැතුම් සතරෙන් යුතු ව වාසය කරයි, මවුපියෝ ද මේ සතර ගුණයෙන් යුක්ත හෙයින් බ්‍රහ්මයෝ – ශ්‍රෙෂ්ඨයෝ වෙති.

මව්කුස වන් පුත්‍රයා නිදුක් නීරෝග ව කවදා දකිමුදෝයි නිතරම මෙත් සිත පතුරුවති. දරුවනට ස්වල්ප වූ ද දුකක් – කරදරයක් ඇති වූ විට මව්පියන් ගේ ළය කම්පා වෙයි. ඒ දුකින් මුදවන කරුණා සිත පහළ වෙයි. මව්පියෝ වුව ද අන්‍යයන්ගේ දියුණුව කැමැත්තෝ ම නො වෙති, ඊර්ෂ්‍යා නොකරන්නෝ ද නො වෙති. එහෙත් තම දරුවන්ගේ දියුණු වෙහි නම් ඊර්ෂ්‍යා නො කෙරෙති, තව තවත් දියුණු වේවා යි මුදු සිතින් ම බලති පතති. එහෙයින් මවුපියන් තුළ දරුවන් කෙරෙහි මුදිතා ගුණයද නො අඩුව ම වෙයි. මව්පියෝ තම දරුවන් ආවාහවිවාහාදියෙන් බැහැරට ගිය ද මුලුමනින් ම ඔවුන් අත් නො හැර උපෙක්‍ෂකව මධ්‍යස්ථ ව සැප දුක් සොයා බලති. මෙකී ගුණ සතර නිසා – ශ්‍රෙෂ්ඨ පැවැතුම් සතර නිසා මව්පියෝ බ්‍රහ්ම නමුදු වෙති.

කෙනෙකුට ආචාර්යවරයෝ බොහෝ දෙනෙක් වෙති. ඉන් හැම පළමු ආචාර්යවරයෝ නම් දෙමව්පියෝ ය. ශිල්ප ශාස්ත්‍රාචාර්යවරු කලින් කල වරින් වර වෙනස් වෙති. එහෙත් පූර්වාචාර්යවරයෝ මරණින් විනා අතරෙහි නම් වෙනස් නො වෙති. ශිල්ප ශාස්ත්‍රාචාර්යන්ගේ ඉගැන්වීම් නැතිව ද ලොව සිටිය හැකි වුවත් පූර්වාචාර්යයන්ගේ ඉගැන්වීම් කොටස නැති ව නම් ලොව ශිෂ්ට මනුෂ්‍යයකු ලෙස වාසය කළ නොහැකි ය. එහෙයින් සෑම දෙනා විසින් ම අවශ්‍යයෙන් ම දත යුතු යන – එන කන – බොන කතා කරන සැටි ආදිය උගන් වන්නේ පූර්වාචාර්ය මව්පියන් විසින් ම ය.

මව්පියෝ පිදිය යුත්තෝ ද වෙති. ආහුණෙය්‍ය යන්න බුදුරජාණන් වහන්සේ විසින් රහත් ගුණයක් ලෙස ද යොදන ලද ගුණ පදයකි.

සැදැහැවතුන්ගේ පින් නමැති බිත්තර වී වැපිරීමට ඉතා වටිනා පින් කුඹුරු හතරක් ඇති බව 1. බුදුරජාණන් වහන්සේ 2. රහතන් වහන්සේ 3. මෑණියන් වහන්සේ 4. පියාණන් වහන්සේ යනු යි. මව්පියනට උපස්ථාන කිරීම බුදුරජුනට රහත් උතුමනට කරන උපස්ථානයක් හා සමාන ම පින්කමක් බව මැනැවින් පැහැදිලි වේ.

මව්පියෝ දරුවන් කෙරෙහි අනුකම්පා කරන්නෝ ද වෙති. දරුවන් කෙරෙහි මව්පියන් තුළ ඇති කරුණාව දයාව නො කිය හැකි තරම් ය. දරුවන්ගේ යහපත සඳහා තම ජීවිතය වුව ද පුදන්නට කැමැති වෙති.

සීවලී රහතන් වහන්සේ මෑණියන් වන සුප්පවාසා දරුවා කුසින් දරමින් සත් වසකටත් වැඩි කාලයක් දුක් වින්ද බව සඳහන් වෙයි. දිනක් බුදුරජාණන් වහන්සේ සුප්පවාසා අමතා, “කෙසේ ද ඔබඳු දුකක් විඳ තවත් දරුවන් ලබන්නට කැමැති දැ”යි ඇසූහ. එවිට සුප්පවාසා “අනේ ස්වාමීනි! මෙහෙම දුක් විඳ එක දරුවකු නොව දරුවන් සත් දෙනෙකු වුවත් ලබන්නට කැමැති”යි ප්‍රකාශ කළා ය. මේ එක කරුණෙන් ම මව්වරු දරුවන් කෙරෙහි කොපමණ ප්‍රේම කරනවා දැ යි පැහැදිලි වේ. දරුවන් කෙරෙහි පියවරුන් තුළ ඇති කරුණාව කොපමණ ද යන්න බිම්බිසාර රජුගේ කතා පුවතින් පැහැදිළි වේ.

හොඳ මව්පියන්ගේ බලාපොරොත්තුව

අතිජාතං අනුජාතං – පුත්තමිච්ඡන්ති පණ්ඩිතා
අවජාතං න ඉච්ඡන්ති – සො හොති කුලගන්‍ධකො

(ඉතිවුත්තකය)

මෙ ලොව හා පරලොව ද දියුණුව බලාපොරොත්තු වන පණ්ඩිත මව්පියෝ, දරුවන් වශයෙන් තමනට වඩා ගුණ නුවණැති අතිජාත පුත්‍රයා ද, තමන් හා සම වූ ගුණ නුවණැති අනුජාත පුත්‍රයා ද කැමැති වෙති. කුලය – පරපුර වනසන්නා වූ තමනට වඩා අඩු ගුණ නුවණැති අවජාත පුත්‍රයා නම් කැමැති නො වෙති.

මෙසේ උසස් බලාපොරොත්තුවක් නැතිව කවර ආකාරයෙන් හෝ දරුවන් ලැබීම පමණක් කැමැති වන මව්පියෝ නිර්ගුණයෝ ය. රටට ජාතියට හා ආගමට අහිතයෝ ය. එබඳු මව දරුවනට හා සමාජයට හැතිරියක මෙන් ද, පියා හතුරකු මෙන් උගත් ලෝ වැස්සෝ සලකති.

නියම මවුපියන් වන්නට බලාපොරොත්තු වන්නවුන් විසින් කල් ඇති ව ම, ආවාහ විවාහ වන විට ම තමන් බැ‍ඳෙන බැරෑරුම් කටයුත්ත ගැන, කල්පාන්තයක් තෙක් පවත්නා පරපුරෙක ආදී කර්තෘන් වීමේ වගකීම ගැන හොඳින් සිතා බැලිය යුතු ය. මෙ කල මෙබඳු උදාර හැඟීමකින් යුතු ව මවුපියන් වන්නෝ ඉතා දුබල වෙති. එහෙයින් ජනගහනය වැඩි වෙතත් රටට – ජාතියට – ආගමට වැඩ ඇති දරුවන් වැඩිවන බවක් නොපෙනේ.

මව්පියන්ගේ නියම සේවය

ගුණ නුවණැති දරුවන් තැනීමට වඩා මහාජන සේවයක්, රටට ජාතියට හා ආගමට කරන හිතවත් බවක් තවත් නැතැයි මවුපියන් විසින් නිතර සිහියේ තබා ගත යුතුය. දරුවන් තැනීම මවුපියන් කරනුවා විනා සේවකයන් ලවා කරවන්නක් නො වන බව ද මතක තබා ගත යුතු ය. නිසි ලෙස දරුවන් තැනීමේ කාර්ය පසෙක තබා නම ප්‍රසිද්ධ කර ගැනීමේ අදහසින් හෝ වෙනත් නො මනා පුහු අදහසින් හෝ මහා රැස්වීම් තබා පුහු ඝෝෂා කිරීමෙන් නම් කිසි විටෙකත් රටට ජාතියට හා ආගමට උපකාරයක් සිදු නො වන්නේ ම ය. එ පමණක් නො ව සමාජය දූෂණය වීමට ද හේතුවන බව දස දෙසින් ලැබෙන වාර්තා වලින් මොනවට පැහැදිලි වේ.

මව්පියන්ගේ යුතුකම්

යුතුකම් නම් කරන්නට බැඳුණු ක්‍රියා යි, නොකරම බැරි ක්‍රියා යි. මවුපියන් විසින් දරුවන් කෙරෙහි පැවැත්වි යුතු යුතුකම් මහා රාශියක් උවත් ඒ සියල්ල මෙහි දී විස්තර කරන්නට නො ගොස් බුදුරජාණන් වහන්සේ ගිහි විනයේ දී වදාළ යුතුකම් පහ පමණක් සඳහන් කරනු ලැබේ.

පාපා නිවාරෙන්ති, කල්‍යාණෙ නිවෙසෙන්ති” යි වදාළ පරිදි දරුවන් පවින් – අයහපතින් මුදවා යහපතෙහි යොදවීම මවුපියන්ගේ මුල් ම යුතුකම වේ. දරුවකු මවු කුසේ පිළිසිඳ ගත් දා පටන්ම මේ කටයුත්තෙහි යෙදිය යුතු ය. මවගේ – ආහාරය අනුව දරුවාගේ කය වැඩෙන්නාක් මෙන් මවගේ අදහස් අනුව දරුවාගේ ද අදහස් වැඩේ. එහෙයින් දරුවාගේ හොඳවීම හෝ නරක වීම හෝ පිළිබඳ ප්‍රධාන වග කිව යුත්තා මව ය. පියා මවගේ ශරීර වර්ධනයට පොෂ්‍යාහාර සපයා දෙන්නාක් මෙන් හොඳ අදහස් වැඩි දියුණු වනු සඳහා මවගේ හිත නරක් නොවන සේ නිතර ම ගුණ නුවණින් වාසය කළ යුතු ය.

ශ්‍රද්‍ධාවත් බෝධිරාජ කුමාර මාත‍ාවෝ තම කුසෙහි දරුවකු පිළිසිඳ ගත් බව දත් කෙනෙහි බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් වැඳ යො මෙ අයං භන්තෙ කුච්ඡිගතො කුමාරකො වා කුමාරිකා වා සො භගවන්තං සරණං ගච්ඡති ධම්මං ච භික්ඛු සංඝ ච”යන ආදීන් ස්වාමීනි, මාගේ කුසෙහි කුමරකු හෝ වේවා කුමරියක හෝ වේවා ඔහු බුදුන් දහම් සඟුන් සරණ යයි කියා කුස හොත් කල ම දරුවා තෙරුවන් සරණ ගත කළහ. එයින් තෙරුවන් බෙලෙන් දරුවා ආරක්‍ෂා වෙනුවා පමණක් නොව ආනාගතයෙහි උදාර පුරුෂයකු වීමට ද ආධාර වන්නේ ය.

දරුවා පසු ද ආදර්ශයෙන් හා උපදේශයෙන් ද අයහපතින් මුදා යහපතෙහි යෙදෙවිය යුතු ය. කුඩා දරුවන්ගේ සිරිත ආදර්ශ ගැනීමය දුටු දේ අනුව කිරීම හා ඇසු දේ අනුව කීම ය. එහෙයින් මව්පියෝ ඉතා කල්පනාවෙන් කතා කළ යුතු ය, ක්‍රියා කළ යුතුය. යම් කිසි මවක් දරුවා කුසේ සිටින කාලයේ රාග දෝෂ මොහ‍ාදිය බහුලව වාසය කළා නම් දරුවා ද සහජයෙන් ම රාග දෝෂ මොහාදිය බහුලයෙක් වන්නේ ය. එසේ ම මව හොඳ අදහස් වලින් යුතු ව වාසය කළා නම් දරුවා ද උදාර අදහස් ඇත්තෙක් වන්නේ ය. උපන් පසු ද මව්පියෝ නිතර කලකෝලාහල අසමගිකම්වලින් යුක්ත ව වෙසෙත් නම් දරුවා ද එබඳු ම වෙයි. යම් කිසි මව්පිය කෙනෙක් යහපත් පැවැත්මෙන් හා කතාවෙන් ද ශ්‍රද්ධා ශීලාදී ගුණයන් ගෙන් ද යුතුව වාසය කෙරෙත් නම් ඔවුන් නිසා ඇතිවන දරුවෝ ද රටට ජාතියට හා ආගමට වැඩ ඇත්තෝ ම වෙති.

ඇතැම් මව්පියෝ තමන් මත්පැන් බොමින් – දුම් පානය කෙරෙමින් – සූදුවෙහි යෙදෙමින් – චිත්‍රපට දර්ශනයෙහි ලොල් වෙමින් දූදරුවන් ඒ දෙයින් මුදවන්නට උත්සහ දරති, අවවාද කෙරෙති. එසේම තමන් සිල් නොරකිමින් – දවසකට වරක් වත් බුදුන් නො වඳිමින් – ගුණ දහම් නො පුරමින් දරුවන් ලවා ඒ සියල්ල කරවන්නට වෑයම් කෙරෙති. එහෙත් එය නො කට හැක්කක් බව පැහැදිලි ව ම පෙනේ. තමන් මත්පැන් බීම් ආදී දුසිරිත්හි නො යෙදෙතොත් දරුවෝ ද එබඳු ම වෙති. ඉදින් නරක ආශ්‍රයෙන් එබඳු දුසිරිතක යෙදුනත් එයින් දරුවා මුදවා ගැනීම සඳහා අවවාද කිරීමට පිළිවන් කම ලැබෙ යි. බොහෝ දෙමව්පියනට දරුවන් අයහපතින් මුදා ගන්නට බැරි වන්නේ තමන් තුළ පවත්නා දුසිරිත් නිසා ම ය. යම් කිසි මව්පිය කෙනෙකුන් තමන් දවසකට වරක් වත් බුදුන් වැඳීම ආදි යහපතෙහි යෙදෙතොත් ඔවුනට දරුවන් ඒ ම‍ඟෙහි යෙදවීමට විශේෂ උත්සාහයක් ගන්නට උවමනා නැත. එහෙයින් තම දරුවන් හොඳින් හදා වඩා ගන්නට කැමැති වන මව්පියන් විසින් පළමු ව හොඳ ආදර්ශයෙන් හා දෙවනුව උපදේශයෙන් ද පූර්‍වාචාර්යයන් විය යුතු ය.

සුදුසු කාලයෙහි ශිල්ප ශාස්ත්‍රයන් ඉගැන්වීම ද මව්පියන්ගේ යුතු කමෙකි.

දෙගුරුන් විසින් තම – දරුවනට දෙන නො මද දන නම්
වියතුන් සබා මැද – ඉන්ට ඉදිරිව සිල්ප දෙනු මැ යි

(ලෝකෝපකාරය)

අකුරු උගන්වන විට ද ආගම පෙරදැරිව ම කටයුතු ය. ආගම දැනුමෙන් තොර උගත්කම තමනට හා ලොකයට අනර්‍ථ පිණිස පවතින හෙයිනි. ටික කලකට පෙර ලක්දිවට පැමිණි භාරත පුත්‍ර ඒ. එස්. ආර්. රාඝවාචාර්ය තුමා කී වටිනා කීම බෞද්ධ මව්පියන් නිතරම සිහියේ තබා ගත යුතු ය. ශ්‍රී ලංකා වාසී දෙමව්පියවරුනි, යුෂ්මතුන්ලාගේ දරුවන් ශීලයෙන් පිරිහි උතුම් බුද්ධාගම අත්හැර මේ ලෝකයෙහි රජ වුවත් වැඩක් නැත” යන අවවාදය ඉතා වටනේ ම ය.

භාෂා ශාස්ත්‍ර උගන්වන විට ද පළමුව ස්වභාෂාව ද, දෙවනු ව උපයොග – රක්‍ෂාවට උවමනා කරන (මෙ කල නම් ඉංග්‍රීසි) භාෂාව ද ඉගැන්විය යුතු ය. පිළිවන්කම ඇතොත් සාමන්ත භාෂා ද තමනට අවට සිටිනවුන්ගේ (සිංහලයනට නම් දෙමළ හා හින්දි) භාෂා ද, ඉන් වැඩිය හැකි නම් ඥාතිභාෂා ද – සිංහල භාෂාවට නෑහුරුකම් ඇති පාළි සංස්කෘත ආදි භාෂා ද, ඉනුත් වැඩිය හැකි නම් භාෂාන්තර ද ඉගැන් විය යුතු ය.

කවර භාෂාවක් ඉගෙන ගත්තත් තමන් සිංහල බව නිතර ම සිත තබා ගත යුතු ය. එසේම නම් තම ආචාර ධර්‍මයන්ට පටහැනි නොවන ලෙස ම හැම ඉගැන්මක් ම කට යුතු ය. මෙකල ඉංග්‍රීසි ඉගෙන ගන්නවුන් බොහෝ දෙනෙකුන් වැනැසෙන්නේ තමන් සිංහල බව අමතක කොට සංකර වෙස් ගන්නට යෑමෙනි. ඒ නිසා මව්පියන්ගේ යුතුකම මුල සිට ම නිසි විදියට පැවැත්විය යුතු ය.

සුදුසු කාලය පැමිණි විට දරුවනට ආවාහ විවාහ කර දීම මව් පියන්ගේ යුතුකමෙකි. පෙරදිග චාරිත්‍රානූකූලව දරුවනට සුදුසු ස්වාමි පුරුෂයන් හෝ භාර්යාවන් හෝ සොයා දීම මව්පියන් විසින් කට යුතු ය. ස්වයංවරය හෙවත් තමන් ම සුදුස්සා තෝරා ගැනීමත් ද පෙර ස්වල්ප වශයෙන් පැවැත්තේ ය. එහෙත් එය දෙමව්පියන් විසින් පමුණුවා දෙන සුදුස්සන්ගෙන් කෙනෙකු තෝරා ගැනීම මිස මෙ කල බහුල වේගෙන එන හිතුවක්කාර බන්ධන නොවේ. ඉන්‍ද්‍රිය දමනයක් නැති රාගයෙන් මත් වූ තරුණයකුට හෝ තරුණියකට හෝ තමනට සුදුසු භාර්යාව හෝ ස්වාමියා හෝ සොයා ගැනීම පහසු නොවේ. එහෙයින් ම මෙකල බහුල වේගෙන එන හිතුවක්කාර බන්ධන වැඩිකල් නො යවා හිතුවක්කාර ම වී යති. පෙර අප රට නො තිබුණු දික්කසාද (මෙය සිංහල වචනයක් නම් කොට කසාද විය යුතුය.) වැඩිවීමේ ප්‍රධාන හේතුවත් එය ම ය. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අනුව ආවාහ විවාහ බන්ධන මරණයෙන් විනා අන් ලෙසකින් අතර මග දී කැඩිය හැක්කක් නො වෙති. එහෙයින් දරුවනට ආවාහ විවාහ කර දෙන මව්පියන් විසින් වස්තුව පමණක් ම නොබලා ඔවුනට ජීවිතාන්තය තෙක් යහපතින් සිටිය හැකි වන පරිදි ඔවුනොවුනට සමවන වයස ගති සිරිත් ගුණ නුවණ හා අදහස් ද ඉතා සැලැකිල්ලෙන් බැලිය යුතු ය.

සුදුසු කල්හි දරුවනට දේපල පවරා දීම ද මව්පියන්ගේ යුතුකමෙකි. දෙමව්පියන්ගේ අභාවයෙන් දරුවනට ලැබෙන වස්තුව දෙනු ලබන්නක් නොව උරුමයට අයිති වන්නකි. මෙතැනදී බුදුරජාණන් වහන්සේ වදාළේ මැරෙන තුරු සිටින්නේ නැතුව දරුවන්ගේ දියුණුවට උවමනා අවස්ථාව නො වරදවා සුදුසු පරිදි දීම ද මව්පියන්ගේ යුතුකමක් බව ය.

පුත්‍රයෝ

මව්පියන්ගේ හිත සතුටින් හා ප්‍රේමයෙන් පුරවන්නෝ දරුවෝ ය – පුත්‍රයෝ ය. එසේ නෙ‍ා ව මව්පියන්ගේ හිතට දුක් කරදර දෙන්නෝ දරුවෝ නොව මරුවෝ ය.

අතිජාත – අනුජාත – අවජාත වශයෙන් තුන් වැදෑරුම් වූ දරුවන්ගෙන් අතිජාත විය නො හැකි නම් අනු ජාත වත් වන්නට හැම දරුවකු ම උත්සහ ගත යුතු ය.

මව් පියනට අඩු ගුණ පුත්                  අවජාත
ඔව් නට සමගුණ ඇතියේ                 අනුජාත
ඔව් නුදු ඉකුත් ගුණවත් පුත්              අතිජාත
කිව්  මුනිවරු වෙසෙසා මේ               තුන් ජාත

මෙයින් අතිජාත පුත් රුවනක්              වන්න
තදින්     සිතට ගෙන වීරිය               කරපන්න
එ යි න් මව්පියොත් නෑයොත්       සලකන්න
ප ට න්   ගනිති නුඹ මුදුනෙන්         පිළිගන්න

හොඳ පුතා හා දුව

ඔවාදකාරී භතපොසී – කුලවංසං අහාපයං
සද්ධො සීලෙන සම්පන්නො – පුත්තො හොති පසංසියො

(අංගුත්තර පංචක නිපාතය)

මව්පිය ගුරුවර වැඩි සිටියන්ගේ අවවාද අනුව ක්‍රියා කරන්නා වූ කුඩා කල තමන් පෝෂණය කළ දෙමව්පියන් පෝෂණය කරන්නා වූ නුසුදුසු කතාවලින් හා ක්‍රියා වලින් කුලවංශය නො පිරිහෙළන්නා වූ හෙවත් කුල සිරිත් කඩ නො කරන්නා වූ ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ පුත්‍රයා ඉතා ප්‍රසංශා කටයුත්තේ වේ. එබඳු දුව ප්‍රශංසා කටයුත්තී වේ (මෙහි පුත්ත ශබ්දය දූ පුතුන් දෙපිරිසට ම පොදු බව සැලැකිය යුතු ය.)

දරුවන්ගේ යුතුකම්

තස්මා හි නෙ නමස්සෙය්‍ය – සක්කරෙය්‍යාථ පණ්ඩිතො
අන්නෙන අ‍ථ පානෙන – වත්‍ථෙන සයනෙන ච
උච්ඡාදනෙන නහාපනෙන – පාදානං ධොවනෙන ච
තාය නං පරිචරියාය – මාතා පිතුසු පණ්ඩිතා
ඉධෙව නං පසංසන්ති – පෙච්ච සග්ගෙ පමොදති.

(අංගුත්තර තික නිපාතය)

බුදුරජාණන් වහන්සේ මව්පියන් ගේ ගුණ විස්තර කොට හොඳ දරුවන් විසින් මව්පියන් කෙරෙහි පිළිපැදිය යුතු අයුරු ද වදාළහ. මව්පියන් වැන්ද යුතු ය, ආහාරයෙන් ද පානයෙන් ද වස්ත්‍රයෙන් හා සේනාසනයෙන් ද සුවඳ දෑ ඇඟ ගැල්වීමෙන් හා නැහැවීමෙන් අවස්ථාවෙහි පා සේදීමෙන් හා තෙල් ඇල්ලීමෙන් ද සත්කාර කටයුතු ය. එසේ කරන ගුණවත් දරුවනට මෙලෙ‍ාව දී ම නුවණැත්තෝ ප්‍රසංශා කරති, එබඳු දරුවෝ මින් සැස දෙව්ලොව ඉපැද විපාක සුවයෙන් අධිකතර සතුටට පැමිණෙත්.

මව්පියන් වැඳීම ද පෙර සිට පැවති යහපත් බෞද්ධ චාරිත්‍රයෙකි. පෙර රජවරු ආදී මහෝත්තමයෝ පවා මව්පියන් වැඳීම ඉතා ආදරයෙන් කළහ. අග්බෝ ආදී බෞද්ධ රජවරු මව්පියන් වැන්දේ චෛත්‍යයක් ප්‍රදක්‍ෂිණා කරන්නාක් මෙන් ප්‍රදක්‍ෂිණා කෙරෙමින් ය.

පෙර සිටි අයියා කෙනෙකුන් තම මල්ලී මෑණියන් ‍කෙරෙහි නො නිසි ලෙස පැවති විටක අම්මාට වඳින්නට කී ආකාරයෙන් එවකට පැවැති බෞද්ධ ශිෂ්ටාචාරය කෙබඳු දැයි පැහැදිලි වේ.

“මල්ලියේ ඔහොම නොකරන්           අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අප             දෙන්නාට
තියන දෙයක් දෙන්නෙත් අප         දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන්          අම්මාට

මෙකල සමහරු දෙමව්පියන් වැඳීම උවමනා නැතැයි සිතති. ඇතැම් මව්පියෝ පවා වැඳුම් වලක්වති. එය නො මැනැවි. කුඩා කල පටන් මව්පියන් වඳිමින් පුදමින් ගරු කෙරෙමින් කීකරුව හැදෙන දරුවා ලොකු වුව ද ඒ හොඳ ගති නො කඩවා පුරුදු කරයි. මව්පියන් හිත් නො පෙළයි. එයින් මව්පියෝ ද සැනසිල්ලේ වෙසෙති. එහෙයින් හොඳ බෞද්ධ දරුවන් දවසකට දෙවරක් නො හැකි නම් වරක් වත් නො වරදවා ම මව්පින් වැන්ද යුතු ය. එසේ ම ඉතා ආදරයෙන් මව්පියනට උපස්ථාන කටයුතු ය.

මව්පියනට වැරදි කිරීමේ ආදීනව

මුගලන් මහ රහතන් වහන්සේ පෙර ජාතියෙක දී තම භාර්යයාව ගේ කීම අසා මව්පියන් මරණ අදහසින් ඉතා දරුණු ලෙස ගැසූහ. ඒ පවින් ඒ ආත්මභාවයේ දී ම ඉතා දුකින් වාසය කොට ඉන් මැරී අපායේ උපන්හ. ඉනුදු අකුශල කර්මය ඉවර නො වී අන්තිම ජාතියෙහි රහත් වීමෙන් පසුව ද පන්සීයක් පමණ පල් හොරුන්ගෙන් පහර ලැබ හාල් මිටියක් තරමට ඇඟ ඇට කුඩු වී යෑමෙන් ඉතා කනගාටු තත්වයෙකින් පිරිනිවන් පෑහ. මෙයින් ම මව්පියනට වැරදි කිරීමේ ආදීනව පැහැදිලි වේ. මව්පියන් නො සලකන්නා පිරිහෙන බවත් චණ්ඩාලයෙක් අවාසනාවන්තයෙක් බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ. මව්පියන්ගේ හිතට දුක් දෙන දරුවෝ පව් සිදුකර ගන්නෝ පමණක් නොව මරුවෝ ද වෙති.

මව්පියනට සංග්‍රහ කිරීමේ අනුසස්

මව්පියනට උපස්ථාන කිරීම උපනූපන් ජාතිවල අනන්ත සැප ලැබීමට හේතුවන මහපින්කමක් බව බුදුරජාණන් වහන්සේ වදාළහ. භික්‍ෂූන් වහන්සේ විසිනු දු මව්පියන් උපස්ථාන කටයුතු යි වදාරා ඒ සඳහා ඇතැම් විනය ශික්‍ෂාපද ද ලිහිල් කළහ, වෙනස් කළහ. මව්පියනට සලකන්න කෙනෙක් නැත්නම් පන්සලට එක්ක අවුත් පිණ්ඩපාතය ගෙන දෙමින් කවමින් පොවමින් නහවමින් සියලු උපස්ථාන කිරීමට භික්‍ෂූනට ද ඉඩ දුන්හ. දෙමව්පියන් ශීලාදී ගුණයන්හි පිහිටු වීම හැමට වඩා උසස් සංග්‍රහ බවත් වදාළහ.

බුදුරජාණන් වහන්සේ සැරියුත් මාහිමියන් වහන්සේ ආදී උතුමෝ ද මව්පියනට උපස්ථානය කිරීමෙන් ලෝකයාට වටිනා ආදර්ශයක් දැක් වූහ.

ස්වාමි පුරුෂයා

අඹුදරුවන් භාරය හෙවත් ස්වාමීත්වය උසුලන්නා ස්වාමිපුරුෂයා නම් වේ.

කාලකණ්ණි පුරුෂයා

මක්ඛි පලාසි සාරම්භී – ඉස්සුකී මච්ඡරී සඨො
සො මය්හං පුරිසො කන්තො – ලද්‍ධං යස්ස විනස්සති.

කොධනො උපනාහී ච – පිසුණො ච විභෙදකො
කණ්ටකවාචො ඵරුසො – සො මෙ කන්තතරො තතො.

අජ්ජසුවෙති පුරිසො – සදත්‍ථං නාවබුජ්ඣති
ඔවජ්ජමානො කුප්පති – සෙය්‍යසො අතිමඤ්ඤති.

දවප්පලුද්දො  පුරිසො – සබ්බමිත්තෙහි ධංසති
සො මය්හං පුරිසො කන්තො – තස්මිං හොමි අනාමයා

(සිරි කාලකණ්ණි ජාතකය)

යම් පුරුෂයකු තුළ කෙළෙහි ගුණ නො දැනීම, එකට එක කීම, එකට එක කිරීම, ඊර්ෂ්‍යාව, මසුරුකම, කපටි ගතිය ලැබෙන ලැබෙන දේ මත් පැනට සූදුවට හා කාමයෙහි වරදවා හැසිරීමට යෙදීම, නිතර කිපීම, හිතේ බැඳගත් වෛර ඇති බව, කේළාම් කීම, ඔවුනොවුන් භේද කිරීම, සදොස් වචන හා ඵරුෂ වචන කීම, මේ කටයුත්ත අද කටයුතු ය මේ කටයුත්ත හෙට කටයුතු යයි කිසිම හැඟීමක් නැති බව, අවවාද කළ විට කිපෙන ගතිය, පුහු උඩඟු බව, කාමයෙහි ලොල් බව, මිත්‍රද්‍රෝහි බව යන මේ ගති තිබෙද්ද එබඳු පුරුෂයා වෙත වාසය කිරීමට මම ඉතා කැමැත්තෙමි, මට එබඳු පුරුෂයා ප්‍රිය වේ. මෙය සිරිකාලකණ්ණි ජාතකයෙහි දී කාලකණ්ණි තැනැත්තී තමන් සිත් ගන්නා කාලකණ්ණි පුරුෂයාගේ ලක්ෂණ කී සැටිය.

මේ කාලයේ ද මෙබඳු ගති ඇති කාලකණ්ණි පුරුෂයන් නිසා ගෙවල් නිරය බවට පත් වී දුක් විඳින භාර්යයාවන්ගේ ගණන සුළු පටු නො වේ.

හොඳ පුරුෂයා

යො වාපි සීතෙ අථවාපි උණ්හෙ
වාතාතපෙ ඩංස සිරිංසපෙ ච

ඛුදං පිපාසං අභිභුය්‍ය සබ්බං
රත්තින්‍දිවං සො සතනං නියුත්තො

කාල ගතංඤ්ච න හාපෙති අත්‍ථං
සො මෙ මනාපො නිවසෙවතම්හි

අක්කොධනො මිත්තවා චාගවා ච
සීලුපපන්නො අසඨොජුභූතො

සංගාහකො සඛිලො සණ්හවාවො
මහත්තපත්තොපි නිවාත වුත්තී

අත්‍ථං චරන්තං අථවා අනත්‍ථං
ආවී රහො සංගහමෙව වත්තෙ

වාචං න මජ්ජා ඵරුසං කදාචි
මතස්ස ජීවස්ස ච තස්ස හොමි

(සිරි කාලකණ්ණි ජාතකය)

යම් පුරුෂයකු තුළ ශීත – උෂ්ණ – වැසි – සුලං ආදී පීඩා ද මැසි – මදුරු – සර්පාදීන් ගෙන් වන උවදුරු ද, බඩගිනි – පිපාසාදී කරදර මදකුදු සිතට නො ගෙන රෑ දවල් දෙකෙහි පැමිණෙන ඒ ඒ ගොවිකම් වෙළදාම් ආදී කටයුතු කිරීම, කොපමණ කටයුතු ඇතත් දන් දීම, සිල් රැකීම, බණ ඇසීම ආදිය සපුරා කිරීම, නිතර ඉවසනසුලු ගතිය, හොඳ මිත්‍රයන් ආශ්‍රය කිරීම, පරිත්‍යාග ශීලි බව, ආචාර ශීලයෙන් යුක්තවීම, අවංක සෘජු ගතිය, මිත්‍රයනට සංග්‍රහකිරීම, මෘදු මොලොක් වචන ඇති බව, මහත් තනතුරු ලැබුණත් නිහතමානී යටහත් පැවතුම් ඇති බව, හොඳ හෝ නොහොඳ හෝ කරන්නවුනට හමුයෙහි හා නො හමුයෙහි සංග්‍රහ මිස කරදර නො කිරීම, කිසි විටක තද ඵරුෂවචන නො කීම යන මේ යහපත් ගුණ තිබෙද්ද එබඳු පුරුෂයා වෙත වාසය කිරීමට මම කැමැත්තෙමි. මට එබන්දා ඉතා ප්‍රියය. මරණින් මතු ද එබඳු පුරුෂයා භජනය කිරීමට කැමැත්තෙමි. මෙය වාසානාවත් තැනැත්තී තමන් බලාපොරොත්තු වන වාසනාවන්ත පුරුෂයා ගේ ලක්‍ෂණ කී සැටිය.

හොඳ ස්වාමිපුරුෂයා භාර්යාව කෙරෙහි ගුණවත් පියකු මෙන් ද, සහෝදරයකු මෙන් ද පිරිසිදු ප්‍රේමයෙන් වාසය කරයි. භරියාව පරමා සඛා’ යි වදාළ පරිදි භාර්යාව තමන්ගේ ප්‍රාණය වැනි මිතුරියක – යෙහෙලියක සිතා අන්‍යෙ‍ාන්‍ය ප්‍රිය භාවයෙන් වාසය කිරීම යහපත් ස්වාමි පුරුෂයකු තුළ තිබිය යුතු උසස්ම ගුණය වේ. ස්වදාරසන්තුෂ්ඨ බ්‍රහ්ම චර්යය – තම භාර්යාවගෙන් පමණක් ප්‍රීතිවීමේ උතුම් හැසිරීම හැම ස්වාමි පුරුෂයකු තුළ ම තිබිය යුතු ය. නකුල පියාට මෙන් තමන්ගේ පිරිසිදු බව ප්‍රකාශ කට හැකි විය යුතු ය. නකුල පියා බුදුන් වහන්සේ ඉදිරියේ දී “ස්වාමීනි, මම මේ නකුල මව ආවාහ කර ගත්තේ ඉතා තරුණ කාලයේ ය. එදා පටන් මෙවක් වන තුරු මම අන් ස්ත්‍රියක දෙස නරක බැල්මකින් වත් නොබැලීමි’ යි කියන්නට පිළිවන් වූයේ පිරිසිදු බ්‍රහ්මචර්යයක් රැකි නිසා ම ය.

මෙ කල සමහර ස්වාමිපුරුෂයෝ භාර්යාවට කථාකිරීමේ දී ‘එයා මෙයා’ ආදී වචන භාවිතා කෙරෙති. එය නො මැනවි. බොහෝ විට ස්වාමිපුරුෂයා වයසින් වැඩි මහලු වන බැවින් භාර්යාවට නමින් කථා කිරීමේ වරදක් නැතු වාක් මෙන් පෙනෙතත් එයද පිළිවන් තරම් අඩු කටයුතු ය. ස්වාමීනි – සාමිනි – හාමිනේ – සොඳුර – ප්‍රියා – ආර්ය – තිස්ස මාත (තිස්සගේ අම්මා, ළමයාගේ නම කවරක් වුවත් එය මුලට යොදා කියත හැකි ය.) – ප්‍රජාපතී (ළමයින්ගේ මෑණියෝ) යන ආදිය බෞද්ධ ශිෂ්ටාචාරය අනුව භාර්යාවට කථා කිරීමට ඉතා යෝග්‍ය බව සැලැකිය යුතු ය.

ස්වාමිපුරුෂයාගේ කටයුතු

උට්ඨාතා කම්මධෙ‍ෙය්‍යසු – අප්පමත්තො විධානවා
සමංකප්පෙති ජීවිතං – සම්භතං අනුරක්ඛති

ස‍‍‍ද්ධො සීලෙන සම්පන්නො – වදඤ්ඤූ වීතමච්ඡරො
නිච්චං මග්ගං විසොධෙති – සොත්‍ථානං සම්පරායිකං

ඉච්චෙතෙ අට්ඨධම්මා – සද්‍ධස්ස ඝරමෙසිනො
අක්ඛාතා සච්චනාමෙන – උභයත්‍ථ සුඛාවහං

(අංගුත්තර අට්ඨක නිපාත)

කටයුතු වලදී නොපසුබට වීර්යයෙන් යුක්ත වීම, හැම කටයුත්තෙහි ම සැලැකිලිමත් බව, කටයුතු සංවිධාන කිරීමෙහි පුරුද්දක් ඇති බව, ආදායමට සරිලන සේ වියදම් කිරීම – දිවි පැවැත්වීම, නිකම් ලැබුනාවූ හෝ ස්වල්ප වූ හෝ කිසිදෙයක් අපතේ නොහරින අරපරෙස්සම, ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වීම, දීමට පුරුද්ද – නොමසුරු වීම, පරලොව යහපත සඳහා කටයුතු කර ගැනීමේ නුවණ යන මේ කරුණු අට ගිහි ගෙයි වසන්නවුනට ඒකාන්තයෙන් ම දෙලොව සුභ සිද්ධිය සඳහා උපකාර වේ.

මාතාපිතු කිච්චකරො – පුත්තදාර හිතො සදා
අන්තොජනස්ස අත්‍ථාය – යො චස්ස අනුජීවිනො

උභින්නං යෙව අත්‍ථාය – වදඤ්ඤු හොති සීලවා
ඤාතීනං පුබ්බපෙතානං – දිට්ඨධම්මෙ ච ජීවිතං

සමණානං බ්‍රාහ්මණානං – දෙවතානං ච පණ්ඩිතො
විත්ති සඤ්ජනනො හොති – ධම්මෙනඝරම‍ාවසං

සො කරිත්වාන කල්‍යාණං – පුජ්ජො හොති පසංසියො
ඉධෙව නං පසංසන්ති – පෙච්ච සග්ගෙ පමොදති

(අංගුත්තර පඤ්චක නිපාතය)

දැහැමින් ගිහිගෙයි වෙසෙන නුවණැති යම් පුරුෂයෙක් මව්පියන්ගේ කටයුතු සකසා කිරීම, භාර්යාවගේ හා පුත්‍රයන්ගේ හිත වැඩ සැලසීම, තමන් අනුව වෙසෙන්නවුන්ගේ හා කම්කරු සේවකාදීන්ගේ දියුණුව සැලැසීම, සිල්වත් වීම, දිය යුතු තැන දීම, ජීවත්ව සිටින නෑයනට හා මිතුරනට සංග්‍රහ කිරීම, මිය ගිය නෑ මිතුරනට පින් පෙත් දීම, ශ්‍රමණයන් වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කිරීම, දෙවියනට පින්පෙත් දීම, ගුණයෙන් යුතුකම් සපුරා කිරීමෙන් යටැ කී හැම දෙනාම සතුටු කරවන්නේ ද හෙතෙමේ පිදිය යුත්තෙක් – ප්‍රසංසා කට යුත්තෙක් වන්නේ ය. මෙලොව දී ඔහු පණ්ඩිතයන්ගේ ප්‍රසංසා හා පරලොව සුගතීන්හි දී විපාක සුව ද ලබයි.

භාර්යාවෝ

ස්වාමිපුරුෂයකු විසින් පෝෂණය කරනු ලබන්හී භාර්යා නම් වේ.

නරක භාර්යාවෝ

යා චීත භරියා වධකාති වුච්චති
චොරී ච අය්‍ය‍ාති ච පා පවුච්චති
දුස්සීලරූපා ඵරුසා අනාදරා
කායස්ස භෙදා නිරයං වජන්තී.

(අංගුත්තර සතතක නිපාතය)

ස්වාමියාගේ හිතට හා කයට වද පීඩා දෙන ස්වභාවය ඇති වධක භාර්යාවය, ස්වාමියාගේ ධනය සොරකම් කොට නොමනා මාර්ගයන්හි යොදවන ස්වභාවය ඇති චෞරී භාර්යාවය, ස්වාමියා තමා යටතට ගන්නට සිතන ස්වාමියා ගේ කටයුකු නිසි ලෙස නො කරන කුල – ධන – රූපාදියෙන් මත් වී නිකම් කකා ඉන්නා ස්වාමි භාර්යාවය යන මේ අනාදර නුගුණවත් දුශ්ශීල භාර්ය‍ාවෝ මරණින් මතු නිරයට යති.

ස්වාමියාට නින්දා කරන භාර්යාව

ආරාමසීලා උය්‍යානං – නදී ඤාතී පරංකුලං,
දුස්සමණ්ඩන මනුයුත්තා – යා චිත්ථි මජ්ජපායිනී
යා ච නිල්ලොකනසිලා – යා ච පද්වාරඨායිනි,
නවහි එතෙහි ඨානෙහි – පදොස මාහරන්තිත්‍ථියො

(කුණාල ජාතකය)

ස්වාමිපුරුෂයාට දන්වා අවසර ලබා නො ගෙන හිතු මනාපේ ආරාමයන්හි – උයන්වල – ගංගා මුහුදු වෙරළවල වෙනත් අන්‍යයන්ගේ ගෙවල හැසිරීමට යන්නා වූ ද, වස්ත්‍ර අලංකාර කිරීමෙහි ලොල් ව සිටින්නා වූ ද, මත්පැන් පානය කරන්නා වූ ද, නිතර දොර කවුළු ආදියෙන් පිටත එබි එබී බලන්නා වූ ද, අඟ පසඟ නිසි ලෙස නො වැසෙන අඳුමින් යුතුව දොරකඩ සිට මග එහෙ මෙහෙ බලමින් සිටින්නාවූ ද, භාර්යාවෝ යටැ කී නව කරුණෙන් නොහොත් නවයක් වූ එක එක කරුණෙන් තම ස්වාමියාට නින්දා අගෞරව කෙරෙති. මෙකල මෙබඳු සිරිත් ඇතත් ඒවා ආර්යය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට කිසිසේත් නො ගැලපෙන බව හැම භාර්යාවක් විසින් ම සිත තබා ගත යුතු ය.

හොඳ භාර්යාවෝ

යා චීධ මාතා භගීනි සඛී ච
දාසීච භරියාතිච යා පවුච්චති
සීලෙ ඨිතත්තා චිරරත්ත සංවුතා
කායස්ස භෙද‍ා සුගතිං වජන්ති

(අංගුත්තර සත්තක නිපාතය)

ස්වාමියාට මවක මෙන් පිරිසිදු ප්‍රේමයෙන් වෙසෙන මාතෘ භාර්යාවය, සොහොයුරියක මෙන් වෙසෙන භගිනි භාර්යාවය, මිතුරියක මෙන් අවංක ප්‍රේමයෙන් වෙසෙන සඛි භාර්යාවය, දාසියක මෙන් ස්වාමියාට ගෞරවයෙන් – ප්‍රේමයෙන් හා කීකරුව වෙසෙන දාසි භාර්යාවය, යන මේ ඉතා ගුණවත් සිල්වත් බොහෝ කලක සිට සංවරව වාසය කරන්නා වූ භාර්යාවෝ මරණින් මතු සුගතියෙහි උපදිති.

කොම‍ාරි යස්සහං භරියා – සාමිකො මම ඉස්සරො

(මද්‍රීදෙවි – වෙස්සන්තර ජාතකය )

“යමෙකුට මම තරුණ භාර්යාවක් වෙමි ද ඒ ඔබ වහන්සේ මාගේ හිමියා ය. මාගේ ඊශ්වරයාය – දෙයියෝ ය”යන මේ මද්‍රීදේවියගේ කීමෙන් බෞද්ධ ශිෂ්ටාචාරය අනුව තම ස්වාමිපුරුෂයා ගැන සිතිය යුතු අයුරු මැනවින් පැහැදිලි වේ.

මෙධාවිනී සීලවතී – සස්සුදෙව පතිබ්බතා

(කොසල සංයුත්තකය)

නුවණැති සිල්වත් නැදිමයිලන් දෙවියන් කොට සලකන පතිව්‍රතා ධර්මය රකින ස්ත්‍රීහු සිටිති යි බුදුන් වහන්සේ කොසොල් රජහට කළ මේ දේශනායෙන් ද හොඳ භාර්යාවකගේ ලක්ෂණ ප්‍රකාශ වේ.

යස්ස භරියා තුල්‍යවයා සමග්ගා
අනුබ්බතා ධම්මකාමා පජාතා
කොලිනියා සීලවතී පතිබ්බතා
දාරෙසු වෙ සොත්ථානං තදාහු

(මහාමංගල ජාතකය)

යමකුගේ භාර්යාව තමනට සම වූ වයස් ඇත්තී ද, සේවකයන්ගේ හෝ අහල පහළ අයගේ හෝ කේළාම් අසා අසමගි නොව, ‘අපි අපේ ශිෂ්ටාචාරය අනුව මරණය දක්වාම යන දිග බැම්මෙකින් බැඳුනම්හ, කල්පාන්තය දක්වා ම පැවතෙන දරු මුනුබුරු පරපුරෙක මූලිකයන් වීමේ බැම්මෙකින් බැඳුනම්හ’ යි සිතා සමඟව වසා ද, හිමියා තමාගේ මුදලට ගත් කෙළිබඩුවක් මෙන් සිතා තමන්ගේ අණට යට කර ගන්නේ නැතිව, ගුණවත් මද්‍රී දේවීන් සිතුවාක් මෙන් ස්වාමියා මගේ දෙයියෝ යයි සිතමින් ස්වාමියාට අනුකූලව වසා ද, ගුණදහමට කැමති වේ ද, දරුවන් ඇත්තී වේ ද, සදාචාර කුලයකින් උපන්නී ද, පතිවත දහම පුරා ද භාර්යාවන් කෙරෙහි ඇති මේ සුන්දර ගුණ සමුදාය ස්වාමිපුරුෂයා හට උතුම් මඟුලි යන මෙයිනු දු හොඳ භාර්යාවකගේ ලක්‍ෂණ පැහැදිලි වේ. ස්වාමියා කථා කරන විට මෙකල ඇතැමුන් භාවිතා කරන එයා මෙයා’ ආදී වචන හා ස්වාමියාගේ නම කියා අඬගැසීම ද ඉතා අසෝභනය. ස්වාමි – ස්වාමි පුත්‍ර – හාම්පුතා – මහත්මා ආදී වචන භාවිතා කිරීම මැනැවි.

හොඳ භාර්යාවගේ කටයුතු

යො නං භරති සබ්බදා – නිච්චං අතාපි උස්සුක්කො
සබ්බකාමහරං පොසං – හත්තාරං නාතිමඤ්ඤති.

න චාපි සොත්‍ථි හත්තාරං – ඉච්ඡාචාරෙන රොසයෙ
භත්තු ච ගරු නො සබ්බෙ – පටිපූජෙති පණ්ඩිතා.

උට්ඨාභිකා අනලසා – සංගහීත පරිජ්ජනා
භන්තුමනාපා චරති – සම්භතං අනුරක්ඛති.

සා එවං වත්තති නාරී – හත්තුඡන්‍දවසානුගා
මනාපා නාම තෙ දෙවෙ – යත්‍ථ සා උපපජ්ජති.

(අංගුත්තර පඤ්චක නිපාතය)

යම් පුරුෂයෙක් සියලු කල්හි නිරන්තරයෙන් උත්සහවත් වූයේ යම් ස්ත්‍රියක් පෝෂණය කෙරේ ද, එසේ පෝෂණය කැරෙන හොඳ භාර්යා සියලු කැමැති දේ දෙන්නා වූ ස්වාමිපුරුෂයා ඉක්මවා නො සිතන්නී ය. ඒ හොඳ භාර්යයාව තමන් කැමැති ලෙස හැසිරීමෙන් ස්වාමියා කෝප ද නො කරන්නී ය. නුවණැති ඒ භාර්යාව ස්වාමියාගේ ගුරු දෙගුරුන් මැනැවින් පුදන්නී ය. අලස නැතැ නැගී සිටි උත්සහය ඇති පිරිවර ජනයාට ද හොඳින් සංග්‍රහ කරන භාර්යාව ස්වාමියා සතුටු වන ලෙස හැසිරෙමින් හිමියා සපයන වස්තුව ද හොඳින් රකින්නී ය. මෙසේ ස්වාමිපුරුෂයා ගේ කැමැත්ත අනුව හැසිරෙව යටැ කී ගුණැති තමනට අයිති වූ යුතුකම් කටයුතු නො පිරිහෙළා කරන යහපත් භාර්යාව මරණින් මතු දෙව්ලොව උපදින්නී ය.

සුසංවිහිත කම්මන්තා – සංගහිත පරිජ්ජනා
හත්තු මනාපා චරති – සම්භතං අනුරක්ඛති.

සද්‍ධා සීලෙන සම්පන්නා – වදඤ්ඤූ වීතමච්ඡරා
නිච්චං මග්ගං විසොධෙති – සොත්‍ථනං සම්පරායිකාං

ඉච්චෙතෙ අට්ඨධම්මා – යස්ස විජ්ජන්ති නාරියා
තම්පි සිලවතිං ආහු – ධම්මට්ඨං සච්චවාදිනං

(අංගුත්තර අට්ඨක නිපාතය)

ගේදොර කටයුතු නිසි පරිදි සංවිධානය නියම කිරීම, තමන්ගේ සහ ස්වාමියාගේත් නෑදෑමිතුරනට සේවකයනට සහ අසල් වාසීනට ප්‍රස්ථාවානුකූල ව සංග්‍රහ කිරීම, ස්වාමියා විසින් සපයන ලද වස්තුව මත්පැන් පානය – සූදුව – නෘත්‍ය දර්ශනයෙහි ලොල් බව – පමණ ඉකුත්ව ගිය අලංකාරලෝලතාවය යන මේ වස්තුව නාස්ති වන මං අවුරා ආරක්‍ෂා කිරීම, ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්තවීම, දීමට කැමැත්ත හා මසුරු නො වීම යන මේ අට කරුණින් යුතු නුවණැති ගුණවත් භාර්යාව සත්‍යවාදී සිල්වත් තැනැත්තියෙකැ යි මෙලොව උගතුන්ගේ ප්‍රශංසාව ලැබ පරලොවද සුගති සම්පත් ලබයි.

යම් කිසි ගෙදරක භාර්යාව හොඳ නම් ස්වාමියා සහ දරුවනුත් හොඳින් හදා ගැනුම අපහසු නො වේ. ගුණවත් භාර්යාවකගේ වචනයට අවනත නොවන ස්වාමිපුරුෂයන් නැතැයි කියයුතු තරම් ය. ස්වාමියා කොපමණ හොඳ වුවත් යම් ගෙදරක භාර්යාව නරක නම් ඒ ගෙදර අපායෙකි. එහෙයින් තම ගෙදර වාසනාවන්ත කර ගැනීමේ සම්පූර්ණ භාරය පවත්නේ භාර්යාව වෙත බව හැම භාර්යාවක විසින් ම සිත තබා ගත යුතු ය.

මෙහෙකරුවන් හා ස්වාමීහු

බෞද්ධ ගෙවල වෙසෙන මෙහෙකරුවන් හා ස්වාමීහු ද තමනට අයිති ගුණයන්ගෙන් යුතුව තම යුතුකම් ද නොපිරිහෙළා පුරන්නෝ වෙති.

මෙහෙකරුවෝ ස්වාමීන්ගේ මෙහෙ කර දෙන උපකාර කාරයෝ ය. ස්වාමීහු මෙහෙකරුවන් ගේ දියුණුව සලසා දෙන ආධාර කාරයෝ ය. මෙසේ මෙහෙකරුවන් හා ස්වාමීහු ඔවුනොවුනට උපකාරය හ. එහෙයින් මේ දෙ පිරිසේ නියම සම්බන්ධය ඔවුනොවුන්ගේ දියුණුවට හේතු වේ. බුද්ධ ධර්මයේ හැටියට ඔවුනොවුන් උපකාර කාරයන් වෙනුවා මිස, මෙහෙ කරුවා ස්වාමියාගේ ද‍ාසයෙක් වත් ස්වාමියා මෙහෙකරුවාගේ ණය ගැතියෙක් වත් නොවේ.

හොඳ ස්වාමියා

හොඳ ස්වාමියා නියම ස්වාමි ගුණයෙහි පිහිටිය යුතු ය.

යාචන’ – නුඹේ බැරිකම් අමාරුකම් හා නුඹට මුදලින් හෝ වෙන දෙයකින් හෝ උවමනාවක් ඇති වූ විට එයත් මට කියන්න. මම හැම විට ම නුඹට පිහිට වන්නට සූදානම් වෙමි යි යන ආදී වශයෙන් තමාගේ උපකාර ඉල්ලන්නට යයි අයදනා බව ය.

සන්තාප’ – මෙහෙකරුවා ඉතා අකීකරු ලෙස කරන වරදට සුදුසු ප්‍රමාණවත් දඬුවම් දීම් වශයෙන් කැරෙන තරවීමය හෙවත් මතු එබඳු වරද නොකරන ලෙස කරුණාවෙන් කරන ප්‍රමාණවත් දඬුවම් හෝ තර්ජනය.

ඉස්සෙර’– ඊශ්වරභාවය හෙවත් මෙහෙකරුවා තමා වශයෙහි පවත්වන අධිපතිභාවය

ආශංසා’ – මෙහෙකරුවාගේ දියුණුව බලාපොරොත්තු වීම ය. හෙවත් මා යටතේ සිටින මේ දුප්පත් තැනැත්තේ කෙසේ නම් මේ දුඛිත තත්ත්වයෙන් නගා දියුණුවෙහි සිටුවම් ද යන උසස් බලාපොරොත්තුව ය.

කරුණා’ – මෙහෙකරුවාගේ දුකෙහි හිත කම්පාවන ස්වාභාවය වූ දයාවය යන ආදී ගුණ ස්වාමියකු තුළ පිහිටිය යුතු ය.

ස්වාමියාගේ යුතුකම්

  1. ඒ ඒ මෙහෙකරුවන්ගේ ශක්ති පරිදි කර්මාන්ත නියම කිරීම :- මෙහෙකරුවෝ සමහරු බාලයෝ ය. සමහරු තරුණයෝ ය, සමහරු මහල්ලෝ ය, සමහරු ස්ත්‍රීහු ය. තරුණයකු විසින් කට යුතු දේ බාලයකු මහල්ලකු විසින් නො කට හැකි වේ. පිරිමියකු විසින් කට හැකි දේ ගැහැණියක විසින් නොකට හැකි වේ. එහෙයින් ඒ ඒ අයගේ ශක්තිය තත්ත්වය බලා ම කටහැකි පමණට මෙහෙ නියම කළ යුතු ය.

මෙහෙ නියම කිරීමත්, එහි ගුණදොස් සෙවීමත්, කළ වරදට දඬුවම් දීමත් එක්කෙනෙකු විසින් ම කටයුතු වේ. ගෙදරක සිටින සියලු දෙනාම මෙහෙ නියම කරන්නට ගියා ම එක මෙහෙකරුවෙක් කෙසේ කරන්නද? ගෙදර ඇතුළත මෙහෙය පිළිබඳ ව නම් ගෘහණිය – ගෙදර හාමිනේ (භාර්යයාව) විසින් ද පිටත නම් ගෘහ ස්වාමියා විසින් ද නියම කට යුතු ය. නියම කිරීමේදී නූගත් මෙහෙකරුවාට එය කරන සැටිත් කියා දිය යුතු ය. ඔහු මෙහෙය වරදුවහොත් එක වර ම කෝපයෙන් බැණ නො වැදී මතු එබඳු වැරදි නොකරන ලෙසත්, එසේ කළොත් මේ මේ දඬුවම් ලැබේවි යයි ද අවවාද කටයුතු ය. එසේත් වරද්දතොත් ඔහු කෙරෙහි කරුණාවෙන් හොඳ මිනිසකු කරන අදහසින් ම සුදුසු ප්‍රමාණවත් දඬුවමක් දිය යුතු ය. එසේ නොව අතින් පයින් ගසන්නට අශිෂ්ට වචනයෙන් බැණ වදින්නට යෑම වැදගත් මහතුනට සුදුසු නො වේ. එසේ නැත්නම් නුඹ කරන මෙහෙයට මේ වැටුපුත් (පඩියත්) මා කෝප වූ විට කරන ගැසුම් බැණුම් පිණිස මේ පඩියත් කියා පඩි දෙකක් දිය යුතු ය.

දැන් අප රටේ මෙහෙකරුවන්ගේ තත්වය බොහෝ සෙයින් ම කනගාටු උපදවන සුලු ය. සමහර ගෙවල තිරිසනුනට දක්වන දයාව වත් දුප්පත් මනුෂ්‍ය වූ මෙහෙකුරුවනට නො දැක්වෙයි. සමහර විට නාන්නට කෙස් රවුල් කපා ගන්නට වත් ඉඩක් නො ලැබෙයි. ගෙදර ඉන්නතාක් සියලු දෙනා ම නියම කරන මෙහෙ කටයුතු ය. එසේ කොටත් සුලු වරදෙහි පවා ගසන්නට බණින්නට සැරැසෙයි. තිරිසනුන්ගේ දුකෙහි හදවත පැළෙන තරම් කම්පාවන සමහරුන්ගේ හිත් මිනිසුන්ගේ දුකෙහි යකඩට ගලකටත් වඩා තද වීම මහා පුදුමයෙකි. සුප්‍රසිද්ධ වත්මන් කිවිවරයකු විසින් –

“තිරිසන්     සතුන් දුක දැක උනුවන                  හදය
මිනිසුන්      දුකෙහි යකඩට ගලකට                  තදය
මෙලෙසින්                     ලොවට පෙන්වන කරුණා      කඳය
මිනිසුන්      නොමැති ලොවකදි වඩතොත් සොඳය”

  1. මෙහෙකරුවනට නිසි සේ වැටුප් දීම ද ස්වාමියාගේ යුතුකමෙකි. ඒ ඒ අයට සුදුසු ප්‍රමාණවත් පඩියක් නියම දිනයෙහි ම දිය යුතු ය. ඔහුත් මිනිසකු නිසා පැමිණෙන නොයෙක් කට යුතු මේ පඩියෙන් ම පිරිමසා ගන්නට වන හෙයිනි. එය අවුරුද්දකට වරක්වත් සුඵ ගණනෙකින් හෝ වැඩි කළ යුතු ය. ඔහුගෙන් පෝෂණය වන්නට අඹු දරු දෙමාපිය ආදීන් සිටින්නකුට නම් විශේෂයෙන් අනුකම්පා කටයුතු ය. ලක්දිව විසූ යුරෝපීය කාන්තාවක් තමාගේ සිංහල සේවකයාට ලක්‍ෂ ගණනකින් සංග්‍රහ කොට තුබුණු බව පුවත් බලන බොහෝ දෙනාට මතක ඇත. කුඩා නොවන අයගේ පඩි දඬුවම් වශයෙන් කැපීම ද සිරිතෙකි. එසේ ම එය තැන්පත් කොට තබා ඔහු යන දිනෙක පොලිත් සමග දීම ද මහා ම ගුණයෙකි.
  2. දුප්පත් මෙහෙකරුවන් ලෙඩ වූ විට ඉතා ආදරයෙන් උපස්ථාන කිරීම ද හොඳ ස්වාමි ගුණයෙකි. පෙර උත්තමයෝ තම ගෙදර තිරිසනුනට පවා තමන් පහසු නො බලා සියතින් ම උපස්ථාන කළහ. එබඳු දේ ඉතා කලාතුරයෙකින් ලැබෙන මහඟු පින්කම් ලෙස සිතිය යුතු ය. අනේපිඬු සිටාණෝ අටසිල් සමාදන් ව සිටත් ගිලන් මෙහෙකරුවාට උපස්ථාන කළහ. විශාඛාවෝ සරණගියදාමත් ගිලන් අස් වෙළඹකට උපස්ථාන කළහ.
  3. රසවත් කෑමක් ලැබුණු විට තමන් පමණක් එයින් සතුටු නොවී දුප්පත් මෙහෙකරුවන් ද සතුටු කිරීම හොඳ ස්වාමි ගුණයෙකි. නියම බෞද්ධ ගෙවල සේවක පක්‍ෂයට එක බත් හැලියකු ත් ස්වාමි පක්‍ෂයට එක බත් හැලියකු ත් පිසනු නො ලැබේ. හොඳ බෞද්ධයෝ තමන් කන බොන පමණින් ම සේවකයනටත් සංග්‍රහ කෙරෙති. එහෙත් අද සමහර ගෙවල බල්ලන්ට තරම් හොඳ කෑම මෙහෙකරුවනට නො ලැබෙන බව රහසක් නොවේ.
  4. මෙහෙකරුවනට ප්‍රමාණවත් විවේකයක් දීම ද හොඳ ස්වාමි ගුණයෙකි. දුප්පත්කම නිසා මෙහෙකරන්නට පැමිණිය ත් යකඩෙන් වාත්තුකරපු කෙනෙකු නොවේ. ඔහු ද ස්වාමියා බඳු ම මනුෂ්‍යයෙක් වන හෙයින් ස්වාමියාට මෙන් සේවකයාට ද විවේකය අවශ්‍ය යි.

හොඳ මෙහෙකරුවෝ

නියම මෙහෙකරුවකු විසින්

ප්‍රේමය” – ස්වාමියා කෙරෙහි දැඩි ආදරය හෙවත් කෑම් බීම් ඇඳුම් පැළැඳුම් ආදියෙන් ද, කාසි පනම් වලින් ද මාගේ සියලු හිත වැඩ සලසන මේ ස්වාමියා මට කොපමණ හිතවත් ද, මාගේ පියාත් මේ තෙමේ ම ය, ම‍ෙග් මෑණියෝ ත් මේ තෙමේ ම ය යන ආදී වශයෙන් ස්වාමියා කෙරෙහි ප්‍රිය හිතෛෂි භාවය.

අවංක භාවය” – ස්වාමියා සතු සතයක්වත් සොර සිතින් නො ගන්නා කිසි විටෙක වත් කවර කරුණකින් හෝ ස්වාමියා රවටන්නට නොසිතන බව – ස්වාමියාගේ සම්පූර්ණ විශ්වාසයට සුදුසු වන බව ය.

සුවච භාවය” – ස්වාමියාට කීකරු බව, ස්වාමියා කියන – කරන්නට නියම කරන දෑ එලෙසින් ම හොඳටත් කියූ ලෙසටත් කරන බව ය, එසේ ම ස්වාමියා කෙරෙහි ගෞරවයෙන් යුක්ත වන බව ය යන මේ ආදී ගුණයෙහි පිහිටිය යුතු ය.

හොඳ සේවකයාගේ යුතුකම්

  1. ස්වාමියාට පෙර නින්දෙන් නැගිට කටයුතු දෑ හොඳින් කිරීම ය.
  2. ස්වාමියා නින්දට ගිය පසු තැන්පත් කටයුතු දෑ තැන්පත් කොට දොර කවුළු වසාදැයි සොයා බලා පසුව නිදාගැනීම ය.
  3. ස්වාමියා දුන් දෙය පමණක් ගැනීම ය. එය මදි නම් නැවත කියා ඉල්ලා ගන්නවා මිස නුදුන් දෙයක් ගන්නා සොර සිතක් සිහිනෙන් වත් ඇති කැරැ නො ගැනීම ය.
  4. තම මෙහෙය හොඳ හැටි සකසා සම්පූර්ණව කිරීම ය.
  5. ස්වාමියාගේ අගුණ තැනින් තැන නො කීම ය, කිය යුතු ගුණ නො සඟවා කීම ය.

යන ආදී තමන්ගේ යුතුකම් ද හොඳින් සිදු කළ යුතු ය.

ධනය සැපයිය යුතු ආකාරය

පණ්ඩිතො සීලසම්පන්නො – ජලමග්ගීව භාසතී
හොගෙ සංහරමානස්ස – හමරස්සෙව ඉරියතො
භොගා ඝන්නිචයං යන්ති – චම්මිකො වූ ප්‍රචීයති

(දීඝ නිකාය සිගාල සූත්‍රය)

පණ්ඩිත වූ ද, සිල්වත් වූ ද තැනැත්තේ (කඳු මුදුනෙක) දැල්වෙන ගින්නක් මෙන් මහාජනයා අතර බැබැලෙයි. මල නොතලා රොන් ගෙන මී බඳින්නා වූ බමරෙකු මෙන් අනුන් නො තළා – නොපෙළා දැහැමින් වීර්යය වඩන්නා හට තුඹසක් බැ‍ඳෙන්නාක් මෙන් ධනය රැස් වේ. බමරා මල් වලින් රොන් ගන්නේ මල නොතළා, මලට කිසි ද හානියක් නො වන ලෙස ය. එ‍මෙන් නුවණැති සත්පුරුෂයන් විසිනුදු ධන රැස් කට යුත්තේ මහාජනයා නො පෙළා ධාර්මිකව බව මෙයින් පැහැදිලි වේ.

න අත්තහෙතු න පරස්සහෙතු
න පුත්තමිච්ඡ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මෙන සමිද්ධිමත්තනො
ස සීලවා පඤ්ඤාච ධම්මිකො සියා

තමන්ගේ සුව සඳහා හෝ අනුන්ගේ සුව සඳහා හෝ පවක් – අධර්මයක් නො කරන්නේ ය. අධර්මයෙන් පුතකු හෝ නො පතන්නේ ය. ධනය හෝ රටක් ‍හෝ තමාගේ වැඩි දියුණුව හෝ නො පතන්නේ ය. සිල්වත් වනුයේත්, නුවණැති වනුයේත්, ධාර්මික වනුයේත්, මෙබඳු තැනැත්තේ ය. මෙයින් ද නො දැහැමින් ධනය හෝ රටක් හෝ අන් කවර දෙයක් හෝ නො පැතිය යුතු බව සඳහන් වේ. ධාර්මිකව ධන සපයන්නට සිතනවුන් විසින් නොකටයුතු වෙළදාම් පසක් වේ. එනම්

  1. අන්‍යයනට හිංසා කිරීම සඳහා උපකාර වන කඩු කිරිච්චි ආදී වෙළදාම්
  2. දාස භාවයට මිනිසුන් විකිණීම
  3. මස් පිණිස සතුන් විකිණීම
  4. මත් පැන් වෙළෙඳ‍ාම
  5. වස විෂ වෙළෙඳ‍ාම යනු යි

බුදුරජාණන් වහන්සේ බෞද්ධයන් විසින් නො කට යුතු යයි වදාළ හෙයින් හා අන්‍යයන්ගේ කරදරයට – විපතට – හේතු වන නිසාත් මේ පස් වෙළෙඳාම හළ යුතු ය.

තවද, තුලාකූට – තරාදියෙන් කරන සොරකම් ය. කංසකූට – නොරං රං ලෙස පෙන්නා කරන සොරකම් ය. මානකූට – වී සහල් ඉඩම් ආදිය මනින විට කරන ‍සොරකම් ය. උක්කොටන – අල්ලස් දීම හා ගැනීම ය. වංචන – වංචාකිරීමය. නිකති – මායාවෙන් අනුන් රැවටීම. සාචියොග – වංක ක්‍රියා සහ කථාය යනු මෙයිනුදු වැළකිය යුතු ය.

ජීවිතං ච අධම්මෙන – ධම්මෙන මරණං ච යං
මරණං ධම්මිකං සෙ‍ෙය්‍යා – යං චෙ ජීවෙ අධම්මිකං

අධාර්මික ජීවිකාවය, ධාර්මික මරණය යන මේ දෙකින් අධාර්මික ජීවිකාවට වඩා ධාර්මික මරණය ම උතුමැ යි වදාළේත් නො දැහැමින් ජීවත්වීමෙන් පසුව මෙලොව දී හා පරලොව දී මහත් දුකට පත්වන හෙයිනි. එහෙයින් කෙබඳු අපහසුවෙකින් වුවත් දැහැමින් ම ධන සැපැයිය යුතු ය. එය එවෙලෙට අමාරු වුව ද පසු ව මෙලොව දී හා පරලොව දී සැනැසිල්ලට හා සැපතට හේතු වේ.

ලොභිය‍ාගේ ධනය

  1. සකුණො මය්හකො නාම – ගිරි සානුදරීචරො
    පක්කං පිප්ඵලි මාරුය්හ – මය්හමය්හාති කන්‍දතී
  2. තස්සෙවං විලපන්තස්ස – දිජසංඝා සමාගතා
    ඤත්‍වාන පිප්ඵලිං යන්තී – විලපිතේවව සො දිජො
  3. එවමෙව ඉධෙකච්චො – සංඝරිත්‍වා බහුං ධනං
    නෙවත්තනො න ඤාතීනං – යථොධිං පටිපජ්ජති
  4. න සො අච්ඡාදනාං භත්තං – මාලං න විලෙපනං
    අනුහොති සකිං කිඤ්චි – න සංඝණ්හාති ඤාතකෙ
  5. තස්සෙවං විලපන්තස්ස – මය්හ මය්හාති රක්ඛතො
    රාජානො අථවා චොරා – දායාදා යෙච අප්පිය
    ධනමාදාය ගච්ඡන්ති – විලපිතේවව සො නරො
  6. කඳුය, පල්ලම්ය, කඳුරැලිය යන තැන්වල හැසිරෙන්නා වූ මය්හක නම් පක්‍ෂියා ඉදුනු ගෙඩි ඇති පුලිල ගසට නැග ‘මගේ ගසය, මගේ ගස යැ’යි හඬයි.
  7. මය්හක පක්‍ෂියා එසේ හඬද්දී ම අනෙක් පක්‍ෂි සමූහයා අවුත් පුලිල ගෙඩි කා යති. ඒ මය්හක පක්‍ෂියාට හැඬීම පමණෙකි.
  8. එසේ ම මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොහෝ ධනය රැස් කොට තමන්ගේ ප්‍රයෝජනයට ද ‍නො ගනිති. නෑදෑයනට ද සුදුසු පරිදි සංග්‍රහ නො කෙරෙති.
  9. ‍එබඳු ලෝභි තෙමේ තමන් පමණට ඇන්ද යුතු වස්ත්‍ර ද, අහාර ද, මල් ගඳ විලවුන් ද, කැමැති පරිදි එක වරකු ද අනුභව නො ‍කරයි. එකී දැයින් කිසි නෑකෙනකුට ද සංග්‍රහ නො ‍ෙකරෙයි.
  10. ඒ මුළු ලෝභියා “මගේ ධනය, මගේ ධනයැයි” හඬා වැලැපෙද් දීම, නොක‍ා නොබී යුතුකම් ද නො කොට පොදි ගසා ගෙන ආරක්‍ෂා කරද්දී රජවරු හෝ සොරු හෝ පැහැර ගනිති. එසේ ම නො සතුටු වූ උරුමක්කාරයෝ ද ගනිති. ලෝභියාට සුසුම් හෙළා මැරෙනු විනා අන් කට හැක්කෙක් නො වේ.

කෙතට බැඳි පඹයා

ඇතැම්හු කෙතකට බැඳි පඹයන් වැන්නා හ. පඹයා කෙතෙහි බැන්ද දින පටන් කිසි ද කෑමක් බීමක් නැති ව අව්වය – වැස්සය – පින්නය – රෑය – දවාලය – ආදී කිසිවක් නො බලා දිරාපත් වනතුරු ම කෙත රැක දෙයි. අපමණ කරදර හිරිහැර වින්දා හැර කිසිම ඵලයක් අනුභව නොකරයි. එහි ඵල අනුභව කරන්නෝ අන්හු ම ය.

ඇතැම් මුළු ලෝභියෝ ද අවු – වැසි – පිනි – රෑ – දවල් නොබලා මහත් ආයාසයෙන් ධන සපයති. එහෙත් තමා ගේ ප්‍රයෝජනයට ද නො ගනිති. තම දූදරුවන්ගේ කටයුතු සඳහා වත් යුතුකම් පිණිස වත් නො යොදති. නිකම්ම පොදි ගසා ගෙන සිටිති. නොකිය හැකි තරම් හිරිහැර වින්දා හැර ඔහුට අන් ඵලයක් නැත. පසෙක සිටින්නෝ එහි ඵල අනුභව කෙරෙති. මෙබඳු ධනවත් හු පඹයන් වැන්නාහ. මෙබඳු පඹයෝ අප රට ද දුබල නො වෙති.

නුවණැති සත්පුරුෂයාගේ ධනය

ධීරො ච විඤ්ඤු අධිගම්ම භොගෙ
සො භුඤ්ජති කිච්චකරො ච හොතී
සො ඤාතිසංඝං නිසභො හරිත්‍වා
අනින්‍දිතො සග්ගමුපෙති ඨානං

(කොසල සංයුත්ත)

ධෛර්යයෙන් යුක්ත වූ නුවණැති තැනැත්තෙ ධාර්මිකව ධනය ලබා තෙමේ ද නිසි පමණට ප්‍රයෝජන ගනී. දන්දීම ආදී පින්කම් හා ලෝකචාරිත්‍රාදි යුතුකම් ද කෙරෙයි. උතුම් ගුණැති හෙතෙමේ තම නෑ සමූහයා ද මැනවින් පෝෂණය කොට මෙලොව ද නින්දා නො ලබා උගත් සත්පුරුෂ ලෝකයා ගේ ප්‍රසංශා ද ලබා පරලොව සුගතියට ද පැමිණෙයි.

ධනය වියදම් කටයුතු ආකාරය

එවං භොගෙ සමාගන්ත්‍වා – අලමත්‍ථො කුලෙ ගිහී
චතුධා විභජෙ භොගෙ – ස වෙ මිත්තානි ගන්‍ථතී

එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය – ද්‍වීහි කම්මං පයොජයෙ
චතුත්‍ථං ච නිධාපෙය්‍ය – ආපදාසු භවිස්සති

(දිඝ නිකාය සිගාල සූත්‍රය)

ධාර්මිකව වස්තු සැපයීමෙහි සමර්ථ වූ ගිහියන් විසින් සපයා ගත් ධනය කොටස් සතරකට බෙදිය යුතු ය. ඉන් කොටසක් කෑම බීම් ඇඳුම් පැළඳුම් පින්කම් යුතුකම් ආදී තමාගේ ප්‍රයෝජනයට ගත යුතු ය. දෙකොටසක් වෙළෙදාම් කර්මාන්තාදී තමන් කරන ව්‍යාපාරයන් ගේ වැඩි දියුණුව සඳහා යෙදිය යුතුය. මෙය සිටු පුත්‍රයකුට දේශනා කරන ලද්දක් බැවින් සිටුවරුන් වැනි විශාල ව්‍යාපාරයන්හි යෙදී සිටින ධනවතුන් විසින් පිළිපැදිය යුතු ක්‍රමය වේ. එහෙත්, හැම දෙනා විසින් ඉගෙන ගත යුතු එක් කරුණක් තිබේ. එනම් සුළු හෝ විශාල හෝ කවර පමණක ධනයක් සපයන්නකු විසින් වුව ද විපත්තීන්හි දී ගැනීමට සුලු කොටසක්වත් තැන්පත් කර තැබිය යුතු බව යි. දිනපතා පඩි ලබන කුලී කරුවකු වුව ද අඩු ම ගණනේ දිනකට ශත පහක් වත් අර මුදලක් වශයෙන් වෙන් කර තැබීම නො වරදනා ම කට යුතු ය.

භුත්තා භොගා භතා භච්චා – විතිණ්ණා ආපදාසු මෙ
උද්ධග්ගා දක්ඛිණා දින්නා – අථො පඤ්චබලී කතා
උපට්ඨිතා සීලවන්තො – සඤ්ඤතා බ්‍රහ්මචාරයො

යදන්නං භොගං ඉච්ඡෙය්‍ය – පණ්ඩිතො ඝරමාවසං
සො මෙ අත්‍ථො අනුප්පත්තො – කතං අනනුතාපියං

එතං අනුස්සරං මච්චො – අරිය ධම්මෙ ඨිතො නරො
ඉධෙව නං පසංසන්ති – පෙච්ච සග්ගෙ පමොදති

(අංගුත්තර – චතුත්ත නිපාතය)

  1. භුත්තා භොගා – භෝගයෝ අනුභව කරන ලද්දාහු ය. ඇතැම්හු ධනය සපයා තමා ද භුක්ති නො විඳිති. නිකම්ම පොදිගසා ගෙන සිටිති. එය මනුෂ්‍යයනට, විශේෂයෙන් බෞද්ධයනට නොවටී. එහෙයින් සෑම බෞද්ධයකු විසින් ම තමන් ධාර්මිකව සපයා ගත් වස්තුව, තමන්ගේ ප්‍රමාණය කෑම් බීම් – ඇඳුම් පැළැඳුම් – ගමන් බිමන් ආදියෙහි යෙදීමෙන් හොඳට අනුභව කළා ය යි සතුටු විය යුතු ය.
  2. භතාභච්චා – පෝෂණය කටයුත්තෝ පෝෂණය කරන ලද්දාහු ය. හැම දෙනා විසින් පෝෂණය කටයුතු පිරිසක් වෙති. එ‍ෙස් පෝෂණය කටයුතු දෙමව්පිය – අඹුදරු – සේවකාදී පිරිස නිසි පමණට පෝෂණය කිරීම සඳහා ද මගේ වස්තුව හොඳ හැටි යෙදුවා ය යි ද සතුටු විය යුතු ය.
  3. විතිණ්ණා ආපදාසු මෙ – මාගේ විපත්තීහු ද විශේෂයෙන් දුරු කරන ලද්දාහු ය. මනුෂ්‍යයනට ලෙඩ දුක්, නෑයන්ගේ හා මිතුරන් ගේ විපත්ති ආදී නොයෙක් කරදර හිරිහැර පැමිණෙයි. ඒවා ස්වභාව ධර්මයෝ ය. ඇතැම් නුවණ නැති පුද්ගලයෝ ධනය තිබියදී ත් එබඳු අවස්ථාවන්හි දී නිසි පමණට වියදම් නො කිරීමෙන් මහත් කරදරයකට මූණ පාති. එය ද බෞද්ධයනට නොවටින හෙයින් තමන්ගේ ධනයෙන් ඒ ඒ අවස්ථාවේ පැමිණි විපත්තීහු දුරු කරන ලද්දාහ යි ද සතුටු විය යුතු ය.
  4. උද්ධග්ගා දක්ඛිණා දින්නා – මතුයෙහි විපාක දෙන්නා වූ සංඝදාන ද දෙන ලද්දේ ය. ගිය ජාතියෙහි දුන් දැයින් මේ ජාතියෙහි වස්තු ලැබෙයි. මතු ජාතිවල දී විපාක ලැබීමට මේ ජාතියෙහි දිය යුතු ය. එහෙයින් මතු ජාතිවල දී සැප ලබන්නට කැමැත්තවු න් විසින් තම ධනයෙන් දිමට ද කොටසක් වෙන් කට යුතු ය.
  5. පඤ්චබලී කතා – යුතුකම් වශයෙන් කටයුතු පූජා පස ද කරන ලද්දේ ය. යුතුකම් නම් යෙදුණු – බැඳුණු ක්‍රියාවයි. නො කරම බැරි ක්‍රියාවයි. එසේ කටයුතු යුතුකම් රැසක් වුවත් හැම ගිහියකු විසින් ම ප්‍රධාන වශයෙන් කටයුතු පූජා – පිදීම් පසක් වේ. 1 නෑයනට සංග්‍රහ කිරීම, 2 තම ගෙදරට – ගමට – පළාතට හෝ රටට පැමිණි ආගන්තුකයනට සංග්‍රහ කිරීම 3 මියගිය නෑදෑ මිතුරනට පින් දීම 4 පින්කම් කොට දෙවියනට පින් දීම 5 රජයට ගෙවිය යුතු බදු මිල ආදිය නිසි පරිදි ගෙවීම යන දේ යුතුකම් පස වේ.
  6. උපට්ඨිතා සීලවන්තො සඤ්ඤතා බ්‍රහ්මචාරයො – කය – වචනය – හිත යන තුන්දොර සංවර කර ගත්, බ්‍රහ්මචාරී වූ සිල්වත්හු උපස්ථාන කරන ලද්දාහු ය. භික්‍ෂූහු ධන සැපයීමක් නො කරන බ්‍රහ්මචාරීව සිල්වත්ව සිට මහාජනයාට ආදර්ශයෙන් හා උපදේශයෙන් සුගතිමාර්ගය පෙන්වන පිරිසකි. එබඳු භික්‍ෂූන් වහන්සේලා චීවර – පිණ්ඩපාත – සේනාසන – ග්ලානප්‍රත්‍යය යන මෙයින් උපස්ථාන කිරීම ද ගිහියන් ධනයෙන් කට යුතු තවද යුතුකමෙකි.

ගිහිගෙයි වසන නුවණැතියෙක් යම් ප්‍රයෝජනයක් සලකා ගෙන වස්තුව බලාපොරොත්තුවේ ද යටැ කී ලෙස වස්තුව වියදම් කරන තැනැත්තේ “වස්තුවෙන් ලබා ගත යුතු ප්‍රයෝජන මා ලැබුවේ ය, පසුව සැනසිල්ලට හේතුවන කුසල් ද රැස් කර ගත්තේ ය” යි සතුටු වෙයි. මෙසේ කටයුතු කරන නුවණැත්තේ පන්සිල් ද මැනැවින් රැක මෙලොව ද සතුටුව පරලොව ස්වර්ගයෙහි විපාක සුවයෙන් ද සතුටු වේ.

ගිහිගෙයි විසිය යුතු ආකාරය

ධනඤ්ජය කොරව්‍ය රජතුමා විධුර පණ්ඩිතයන්ගෙන් ගිහි ගෙදර විසිය යුතු අයුරු ඇසූ විට විධුර පඬිතුමා එය හොඳින් පැහැදිලි කර දෙන ලදී. ඒ මෙසේ ය.

න සාධාරණදාරස්ස – න භුඤ්ජෙ සාදුමෙකකො
න සෙවෙ ලොකායතිකං – නෙතං පඤ්ඤාය වද්‍ධනං

සීලවා වත්තසම්පන්නො – අප්පමත්තො විචක්ඛනො
නිවාතවුත්ති අත්‍ථද්ධො – සුරතො සඛිලො මුදු

සංඝහොතා ච මිත්තානං – සංවිභාගී විධානවා
තප්පෙය්‍ය අන්නපානෙන – සදා සමණ බ්‍රාහ්මණෙ

ධම්මකා‍ෙමා සුතාධාරො – භවෙය්‍ය පරිපුච්ඡකො
සක්කච්චං පයිරු පාසෙය්‍ය – සීලවන්තෙ බහුස්සුතෙ

ඝරමාවසමානස්ස – ගහට්ඨස්ස සකං ඝරං
ඛෙමා වුත්ති සියා එවං – එවං නු අස්ස සංඝහො

අව්‍යාපජ්ඣොසියා එවං – සච්ච වාදී ච මාණවො
අස්මා ලොකා පරං ලොකං – එවං පෙච්ච න සොවති

ගිහිගෙයි වෙසෙන ස්වාමි පුරුෂයා සාධාරණ භාර්යා ඇත්තෙක් හෙවත් ස්වදාරසන්තුෂ්ටයෙන් තොර ව අන් ස්‍ත්‍රීන් වෙත යන්නෙක් නො විය යුතු ය. එසේ ම භාර්යාව ද ස්වපුරුෂසන්තුෂ්ටියෙන් යුක්ත විය යුතු ය. මෙහි ප්‍රධාන වශයෙන් පුරුෂයා අරමුණු කොට කරුණු කියා ඇතත් මේ කරුණු භාර්යාවන් විසින් ද පිළිපැදිය යුතු ය. රසවත් කෑමක් ලැබුණු විට තනියම අනුභව නො කරන්නෙක් ද විය යුතු ය. නුවණ වැඩීමට හේතු නොවන ලොකායත ශාස්ත්‍රය හෙවත් පව් පින් නැත ආදී වශයෙන් පවතින නාස්තිකවාදය ද සෙවනය නො කට යුතු ය. ජඩවාද ජඩයන්ගේ = මොඩයන්ගේ කීම් යනු ද මීට ම නමෙකි.

පන්සිල් ආදී චාරිත්‍ර ශීලයෙන් ද, කුසල් දහමෙහි සැලකිල්ල ය, විමසා බලා කටයුතු කිරීමය, නිහතමානී වීමය, නො තද වීමය, ප්‍රේමණීය වචනැත්තෙක් වීමය, කථා සහ ක්‍රියා ගොරෝසු නොවී ම ය, මෘදු වීමය යන මෙයිනුදු යුක්ත විය යුතු ය.

මෙසේ මෙකී ගුණයන්ගෙන් යුක්තව වසන්නා හට නිවෙස නිර්භය තැනක් හෙවත් කිසි බයක් සැකයක් නැතිව සැනැසිල්ලෙන් සිටිය හැකි තැනක් වන්නේ ය. මෙලෙසින් හැසිරෙන්නා ලෝකයා ට ද සංග්‍රහ කරන්නෙකි. මෙබඳු නුවණැතියන් නිසා ලෝකයාට ද යහපතක් මිස අයහපතක් නොවන හෙයිනි. මෙකී ලෙස ගිහි ගෙදර හැසිරෙන්නා නිදුකින් කල් ගෙවන්නේ ය. සත්‍යවාදී ද වන්නේ ය. මරණින් මතු සුගතියෙහි ද ඉපද සතුටින් වෙසෙන්නේ ය.

මෙ කී තාක් කරුණු හිතට ගෙන හැම ගිහි පින්වතුන් ම තම ජීවිතය සඵල කර ගන්නට ත් එයින් ලෝකයාට වැඩ සලසන්නට ත් සිතට ගත යුතු ය. තමනට අයත් බෞද්‍ධ ප්‍රතිපත්ති සපුරා නියම බෞද්‍ධයන් වන්නට ද හැම පින්වතා ම සිතට ගත යුතු ය.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා !

ධර්‍ම පත්‍රිකාවකි

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.