බෞද්ධ ස්තූපයේ ආරම්භය ... - IFBC Organization | Dhamma

බෞද්ධ ස්තූපයේ ආරම්භය පිළිබඳ විවිධ මත හා අදහස් ගොඩනැගෙන්නට පටන් ගත්හ. 18 වන සියවසේ පෙරදිග අපරදිග ඉතිහාසඥයින් පුරාවිද්‍යාඥයින් සහ ඉතිහාස ගවේශකයන් ඉදිරි පත්කර ඇති සාධක අතිශයින් වැදගත් වේ. ක්‍රි. පූ. 6 වන සියවසේදී බුදුන්වහන්සේගේ පහළවීමත් සමඟ බෞද්ධ ස්තූ®පය හා එහි සම්භවය පිළිබඳ ඉතා වැදගත් සාධකයන් සඳහන්ව තිබේ.

01. බෞද්ධ සාහිත්‍ය මුලාශ්‍රවලත්
02. ජෛන සාහිත්‍ය මුලාශ්‍රවලත් සඳහන් වේ.

එකල සමාජය තුළ ගෞරවය ලැබිය යුතු පුද්ගලයන් සඳහා ‘සුසාන’ හෙවත් සොහොන් ගෙවල් සාදා ඇති බවත් ඒවායේ ස්භාවය කෙබඳුද? යන්න ඉතා පැහැදිලි සාධක මගින් පෙන්වා දී තිබේ. බුද්ධ කාලීන සමාජය තුළ ගුප්තමය ආගමික විශ්වාසයන් දක්නට ලැබුණු අතර ස්තූප හෙවත් චේතිය වන්දනා කිරීම පිළිබඳව ඇත. අතීතයේ පටන් ම දක්නට ලැබෙන බවත් සඳහන් වේ.


බෞද්ධ ජෛන ආගම් වල පමණක් නොව සමකාලීන අන්‍යආගම්වලද මෙම වන්දනා ක්‍රමය දක්නට ලැබේ. නිදසුනක් ලෙස ආජීවකයෝ පරිභ්‍රාජකයෝ තම ආගම ප්‍රචාරය කිරීමේදී වැලි කඳු සහ කඳු මුදුන්වල සිට ඒවා කළ බවත්, පැරැණි මුලාශ්‍ර වල සඳහන් වේ. මෙය පදනම් කරගෙන ස්තූප නිර්මාණය වන්නට ඇතැයි සාහිත්‍ය තුළ සඳහන් වන කරුණු මගින් අනාවරණය වේ. වර්තමානයේ ‘ස්තූප’ හැඳින්වීම සඳහා විවිධ නම් භාවිතා කෙරේ. ඒ අතර

1. තුඹ
2. සෑය
3. දාගැබ
4. වෙහෙර
5. ස්තූපය
6. චෛත්‍යය සඳහන් කළ හැකිය. ධම්ම පදයේ සඳහන් වන්නා වූ පහත සඳහන්වන ගාථාවෙන් ‘චෛත්‍ය’ යන වචනයේ අර්ථය පිළිබඳ අදහසක් දැක්වේ.

බහුංවේ සරණං යන්තී
පබ්බතානී වනා නීච
ආරාම රුක්ඛ චේතියානී
මනුස්සා භය තජ්ජිතා
(ධම්ම පදය)

බොහෝ මිනිසුන්ගේ බිය හා තැතිගැනීම් හේතු කොටගෙන වනාන්තර ගහකොළ, පර්වත විශාල වෘක්ෂලතා වන්දනා මාන කරන්නට පටන් ගත්තේය. (ධම්ම පදය)

ධම්ම පදයේ සඳහන් වන ‘චේතිය’ යන වචනයේ අර්ථය කඳුමුදුන, කන්ද, උස්බිම යන්නයි. අතීතයේ මිනිසුන් මෙබඳු උස් තැතිතලාවක පිහිටි කඳු ගෞරවයෙන් විශ්වාසයෙන් වන්දනාමාන කර ඒවා විශ්වාස කිරීමට පටන්ගෙන ඇත්තේ ක්‍රි.පූ. යුගයේදීය. ආජීවක, ජටිල, පරිබ්‍රාජක ආදී පිරිස් මෙම උස් කඳුමුදුන් වල සිට සුර්යය දේවතාවා වන්දනා කරමින් එයින් මහත් බලයක් ශක්තියක් යොදාගෙන ඇතිබව උපනිශත් මූලාශ්‍රයන්හි සඳහන් ව තිබේ.

ඇතැම්විට භූගෝලීය හේතු සාධක මත එබඳු ස්ථානයක් නිර්මාණය වී තිබෙන්නට ඇතිබවත් ඒවා විපරිත වීම නිසා එහි ඇති ගුප්තභාවයක් කල්පනාකර එබඳු ස්ථාන වන්දනා කරන්නට ඇතැයි සිතිය හැකිය. බෞද්ධ මූලාශ්‍ර වල සඳහන් වන්නා වූ තොරතුරු වලට අනුව බුදුන් වහන්සේ බොහෝ අවස්ථාවල එබදු උස්බිම් ප්‍රදේශයන් සෞන්දර්යයෙන් අනූන බව, රමණීය ස්ථාන බව අගයකර ඇති ආකාරය පැහැදිලි ය.

‘ආනන්දය, චාපාලක චෛත්‍ය රමණියය, සුන්දරය.
‘ආනන්දය, උදේනක චෛත්‍ය රමණීයය, සුන්දරය’.
‘ආනන්දය, ගෝතමක චෛත්‍ය රමණීයය, සුන්දරය’.
(දීඝ නිකාය, මහා පරිණිර්වාන සූත්‍රය)

මෙබඳු ස්ථානයක් සෞන්දර්යාත්මකව වැදගත් වන බවත් බෞද්ධ කලා මුල ග්‍රන්ථයන් වල සඳහන් වන්නේ ඒවා පසුකාලීනව ඉදිවූ චෛත්‍ය වලට විශාල පිටුවහලක් වීම පදනම් කරගෙනය. පෙරදිග අපරදිග පුරාවිද්‍යාඥයින් සොයා ගෙන ඇති කරුණු අනුව ස්තූ®පයේ විකාශය බුදුරදුන්ගේ අනුදැනුම මත උපදෙස් මත සිදුවූවක් බවට සාධකයන් බෞද්ධ මූලාශ්‍රයන් තුළිනුත් පුරාවිද්‍යාත්මක සාධකයන් තුළිනුත් ගෙනහැර දක්වයි. එච්.සී.පී. බෙල්, සර් ජෝන් මාශල්, කනින් භූමි අයියංගර්, සෙනරත් පරණවිතාන වැනි විද්වතුන් ස්තූපයේ ස්භාවය, ආරම්භය පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරනු ලබයි. එහිදී ස්තූපයේ ආරම්භය සිදුවීමට බුදුන් වහන්සේගේ උපදෙස් සෘජුවම බලපා ඇති බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වන්නා වූ කරුණු තුළින් අවධාරණය වේ.

‘ආනන්දයනි, ස්තූප සාදවා ගෞරව කළ යුතු වන්දනා කළයුතු පුද්ගලයෝ සතර දෙනෙකි. එනම් බුදුන් වහන්සේ, පසේ බුදුන් වහන්සේ , රහතන් වහන්සේ සහ සක්විති රජු වේ.’ (දීඝනිකාය මහා පරිනිර්වාණ)

ආනන්ද හිමියන් අමතා ස්තූපයක් නිර්මාණය කළ යුතු ආකාරයද දීඝ නිකායේ පරිනිර්වාණ සූත්‍රයේ පෙන්වා දී තිබේ.

‘සඟල සිවුර හතරට නමා තැනිතලා බිමක එලා එය මත උන්වහන්සේ පරිහරණය කළ පාත්‍රය මුනින් අතර තබා එහි හරි මැදින් සැරයටිය තබා ස්තූ®පයක් නිර්මාණය කරන ආකාරය පෙන්වා දී තිබේ.

මේ ආකාරයට ස්තූ®පය මුලින්ම නිර්මාණය වියයුතු ආකාරය බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සිදුවී ඇති අයුරු දීඝ නිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේ අන්තර්ගත කරුණු තුළින් අනාවරණය වන්නේ ය. මහා පරිනිර්වාණ සූත්‍රය තවදුරටත් අනාවරණය කරනුයේ බුදුන් වහන්සේගේ උපදෙස් මත ස්තූප නිර්මාණය කර ඇති අතර ඔවුන් අනුගමනය කරන යහපත් ආචාර ධර්ම පද්ධතීන් අනුගමනය කළයුතු බවයි. ගෞරව කළයුතු පිදිය යුතු වන්දනා කළ යුතු සිහිකළ යුතු තැනැත්තා සිහිකළ යුතුයි. එය මංගල හෙවත් අභිවෘද්ධියට හේතුවන කාර්යය ලෙස ඇතැම් සූත්‍ර දේශනා වල සඳහන්ව තිබේ. ඒවා අනුගමනය කිරීමෙන් තම යහපත සලසා ගත හැකි බව ඔවුන් විශ්වාස කරයි. එය බුදුන් වහන්සේගේ දේශනාවන් අනුව නව මඟක් ගනිමින් ස්තූප නිර්මාණය වීම බෞද්ධ කලානිර්මාණයන්ගේ සුවිශේෂි වූ කරුණක් බව පෙරදිග අපරදිග ඉතිහාසඥයින් මෙන්ම පුරානත්ව ගවේශකයින්ද පෙන්වා දෙන ලබන සාධකයකි.

ස්ථූප කලාවේ සංවර්ධනයත් සමග පසුකාලීනව විවිධ හැඩ තලයන් ඔස්සේ ස්ථූප නිර්මාණය විය.ඒ අනුව නිර්මාණ ශිල්පීන් ආකෘති හයක් මේ සදහා යොදා ගෙන ඇත.

1) ඝණ්ඨාකාර –

ඝණ්ඨාකාර චෛත්‍යය ඝණ්ඨාවක ස්වරූපය ගනී.මෙම චෛත්‍යය වර්ගය ප්‍රමාණයෙන් කුඩාවන අතර බුදුදහම ලැබීමෙන් පසු ලංකාවේ ඉදිකළ ප්‍රථම දාගැබ ඝණ්ඨාකාර හැඩයෙන් යුක්ත වේ.එය ථූපාරාම දාගැබය

2) ඝටාකාර –

ඝඨාකාර චෛත්‍යය යනු කළයක හැඩයට නිර්මාණය කර ඇති චෛත්‍යය වේ.පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි සෝමාවතී චෛත්‍යයයත් මඟුල් මහාවිහාර ස්ථූපයත් ඝඨාකාර හැඩයෙන් යුක්තය.

3) පද්මාකර –

පද්මාකාර චෛත්‍යය නෙළුමක ස්වරූපය ගනී.පොළොන්නරුවේ දෙමළ මහාසෑයත් බුත්තල යුදගනා වෙහෙරත් පද්මාකාර හැඩයෙන් යුක්ත වන්නේය.

4) ධාන්‍යාකර –

ධාන්‍යාකාර චෛත්‍යය ධාන්‍ය ගොඩක හැඩයගනී.ශ්‍රී ලංකාවේ ධාන්‍යාකාර චෛත්‍යයකට කදිම උදාහරණය නම් කැළණි චෛත්‍යයයි.

5) බුබ්බුලාකාර –

දියබුබුලක හැඩයගත් චෛත්‍යය මේ නමින් හැදින්වේ.ලෝකයා මවිතයට පත්කරන රුවන්වැලි මහාසෑය බුබ්බුලාකාර හැඩයගනී.එමෙන්ම තිස්සමහාරාම ස්ථූපය,පොළොන්නරුවේ කිරිවෙහෙර හා රන්කොත් වෙහෙර බුබ්බුලාකාර හැඩයෙන් යුක්තය.

6) ආමලාකාර –

නෙල්ලි ගෙඩියක ස්වරූපය ගත් චෛත්‍යය ආමලාකාර චෛත්‍යය වන්නේය. මෙවැනි ස්ථූප වර්තමානයේ දක්නට නැත.මෙම ස්ථූප වර්ග හැරෙන්නට බෞද්ධ රටවල අටපට්ටම් ස්ථූප,ලූණු ගෙඩියක හැඩය ගත් ස්ථූප, සතරැස් ස්ථූප, සිලින්ඩරාකාර හැඩයගත් ස්ථූපද දක්නට ඇත.

මේ කෙසේ උවද නිවනට යන රන් දොරටුවක් ලෙසින් ස්තූපය හැදින්විය හැකිය.

බුදුසමිදු දැකගනිමු ...
දැන් අරුමයක් වූ එදා ගම ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.