බෝසත් සිතක නැගුනු සිතිවිලි (සියැටල්ගේ සිතිවිලි ...) - IFBC Organization | Dhamma

අරඤ්ඤේ රුක්ඛ මූලේසු
කන්ද රාසු ගුහා සුව
විවේක මනු බ්‍රෑහන්තා
විහන්සු තප්පරායනා

පියාපත් සෙවෙණි ඇත්තා වූ පක්ෂීහු, මේඝ ගර්ජනා ;හ්තුවෙන් මිහිරි හඬින් නාද කරන මොනරුන් සහිත වනයේ ධ්‍යාන වඩන සුළු වූ අවස්ථා, ඔබගේ සිත් ඇඳ ගන්නා බව ධර්මයේ සදහන් වේ.
ලොව්තුරා බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන් ස්වභාව දහමට ආදරය කලසේක. ඇලුම් කල සේක. උන්වහන්සේ සොබා දහමට කෙතරම් සමීපවීද යත්, ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම යන සියල්ල සොබාදහමට සමීපවී සිදුකල සේක. ගස්කොලන් වලට හානි කිරීම තරයේ ප්‍රතික්ෂේප කල බුදු පියාණන් වහන්සේ වතුර ඇති තැන්වලට කෙල ගැසීම, තණකොලවලට මුත්‍ර කිරීම පවා නොකරන ලෙස දැක්වූ සේක. උන්වහන්සේ එතරම්ම ස්වභාව දහමට ආදරය කල සේක. පහත දැක්වෙන්නේ 1786ත් 1766ත් අතර ජීවත් වූ සියටැල් නම් රතු ඉන්දියානු ජාතිකයා පිළිබද විස්තරයකි. එය බුදු දහමට ඇති සම්බන්ධය කුමක් වේදැයි ඔබම කියවා බලන්න.

සියටැල් නම් නායකයා
මෙදියත කවරාකාරයකින් බිහි වුවද එහි අයිතිය මෙලොව වසන සියල්ලන්ම සතුය. නීල වර්ණ ගහකොළට ගලා බසින ගංගාවට ඇළට දොළට, හමන සුළඟට, ඉරට, හඳට අයිතිය කීමට කිසිවෙකුටත් නොහැකිය. ධන තණ්හාවෙන්ද බල තණ්හාවෙන්ද පීඩිත වූ මිනිසා මේ සියල්ලටම උරුමකම් කීමට පොරබදිති. කලකෝලාහල කර ගනිති. අවසානයේ මේ සියල්ල අතැර මිහිතලය මත සැතපෙති.

මේ පොළෝ තලය පිළිබඳ ලෝ ප‍්‍රකට අදහසක් ප‍්‍රකාශ කළ තැනැත්තෙකි සියටැල්. මීට වසර බොහෝ ගණනකට පෙර ඔහු කළ ප‍්‍රකාශය පුදුම එළවන සුළුය.

කවුද මේ සියටැල්?
සියටැල් යනු රතු ඉන්දියානුවෙකි. ඔහු රතු ඉන්දියානු නායකයායි. ඔහු උපත ලැබුවේ 1788 වසරේ දී පුගටි සවුන්ඞ් නම් ප‍්‍රදේශය අසල පිහිටි ¥පතක් වන බේන් බි‍්‍රජ් දිවයිනේ දීය. ඔහුගේ පියා ස්ක්වේම් ස්කුමාටිල් නම් ගෝත‍්‍ර නායකයායි. මව ස්කොලටියා දුවාමිෂ් නම් කාන්තාවයි. ඇය ද ගෝති‍්‍රක නායකයෙකුගේ දියණියකි. සියැටල්ගේ නියම නම වූයේ ”සීත්ල්”ය. එය ඉංගී‍්‍රසි ඌරුවට හැසිරවීමේදී සියටැල් නම් විය. එනිසා ඔහු ප‍්‍රසිද්ධ වූයේ එනමිනි. සියැටල් තරුණ කාලයේ පටන් සැලකූයේ යුද විරුවෙකු ලෙසිනි. එනිසා ලාබාල වියේදීම ගෝත‍්‍ර හයක නායකත්වය ද උරුම කර ගත්තේය.

කවුද මේ රතු ඉන්දියානුවෝ?
රතු ඉන්දියානුවන් යනු ගෝති‍්‍රක ජන කොටසකි. නැතහොත් ඇමරිකාවේ මුල් පදිංචිකරුවෝය. පරිසරයට අනුගත වෙමින් පරිසරයට ආදරය කරමින් ඔවුහු ජීවත් වූහ. ඔවුනට ආවේණික වූ බසක් ද ජීවන රටාවක් ද විය. එසේම ඇමරිකාවේ රතු ඉන්දියානුවන් සමග වෙනත් ගෝති‍්‍රකයෝ ද වාසය කළහ. ඔවුහු ලෝහ ගැන යම් තරමකට දැනගෙන සිටි අතර දියුණු තාක්ෂණික ඥානයක් නොවිණි. අවි ආයුධ හා ආම්පන්න බොහෝමයක් තනා ගනු ලැබුවේ ගලින් සහ දැවයෙනි. ආහාර ලෙස මසුන් ද, සතුන් ද, පළතුරු ද, අල වර්ග ද භාවිත කළේය. ඇතැම්හු ගොවිතැන් කටයුතු ද කළහ. ලීවලින් සාදන ලද කුඩා ඔරු යාත‍්‍රා ලෙස භාවිත කළහ.

සුදු ජාතික ආක‍්‍රමණ
යුරෝපීයන් පළමු වරට ඇමරිකාවට ගොඩබැස්සේ 16 වැනි සියවසේ දීය. එවකට එහි වාසය කළෝ ගෝති‍්‍රකයෝය. ඇමරිකාවට ගොඩබට සුදු ජාතිකයෝ එහි පදිංචි වූහ. ක‍්‍රමයෙන් ගෝති‍්‍රක වාසභූමි පවා ඔවුන්ගේ ග‍්‍රහණයට නතු කර ගත්හ. එනිසා සුදු ජාතිකයන් හා ගෝති‍්‍රකයන් අතර ගැටුම් හට ගත්තේය. භූමියේ බලය බෙදා ගැනීමේ අරමුණින් දරුණු සටන් ඇති වූවේය. 1830 දී පමණ ඇමරිකානු ආණ්ඩුව ඉන්දියානුවන් පිටුවහල් කිරීම සඳහා පනතක් සම්මත කළේය. ඒ අනුව රතු ඉන්දියානුවන්ට පාරම්පරික වාසභූමිවලින් ඉවත් වී රක්ෂිත ප‍්‍රදේශවලට යාමට නියම විය. එම ගමනේ දී බොහෝ පිරිසකට මරු වැළඳ ගැනීමට සිදුවිය. එය කඳුළේ චාරිකාව නම් විය.

රතු ඉන්දියානුවන්ට මරණය
සුදු ජාතිකයෝ සංක‍්‍රමණය වන විට රෝග විසබීජ ද ගෙන ආහ. සරම්ප, වසූරිය වැනි වසංගත රෝග පිළිබඳව නොදැන සිටි නිසා ඒවාට ඔරොත්තු දීමට තරම් ශක්තියක් ඔවුන්ට නොවුණි. එනිසා රෝගවලට ගොදුරු වීමෙන් බොහෝ පිරිසක් මරු වැළඳ ගත්හ.

යුද්ධය නිසා ද රතු ඉන්දියානුවෝ තවත් බොහෝ පිරිසක් මරු වැළඳ ගත්හ. සුදු ජාතිකයන් සතු වූ අවි ආයුධ සමග සටන් කිරීමේ හැකියාවක් රතු ඉන්දියානුවන්ට නොවිණි. ඒ ඔවුන් සතුව සාම්ප‍්‍රදායික අවි ආයුධ විනා නවීන අවිආයුධ නොතිබූ නිසාය. මෙම යුද අරගලවලින් නිරායුධ කාන්තාවෝ ද දරුවෝ ද බොහෝ පිරිසක් මරණයට පත් වූහ.

හිත මිතුරු සියැටල්
සුදු ජාතිකයෝ සියටැල් හා කුළුපගය. ඔවුහු මේ ගෝති‍්‍රක නායකයාට බොහෝ සේ ගරු කළහ. ඔහුගේ මැදිහත්වීම නිසා දෙපිරිසේම බොහෝ ජීවිත ආරක්ෂා වූවේය. එහෙත් තම පාරම්පරික සංස්කෘතිය හා ජීවන රටාව වෙනස් වන ආකාරය වැළලී යන ආකාරය ශෝකයෙන් මුත් ඔහුට බලා සිටින්නට සිදුවිය.

සියටැල් නම් වූ නායක තෙමේ අවුරුදු 78ක් ආයු විඳ එනම් 1866දී පුගට් සවුන්්ඞ් හිදී මිය ගියේය. ඔහුට ගෞරව කරනු වස් සුදු ජාතිකයෝ පුගට් සවුන්ට් ප‍්‍රදේශයේ පිහිටි ජනපදය සියටැල් නමින් නම් කළේය. ඒ ප‍්‍රදේශය අද ද හැඳින්වෙන්නේ එනමිනි.

සියටැල්ගේ රමණීය කාව්‍ය
යුද අරගල නිමාවට පත් විය. ඇමරිකානුවෝ බොහෝ ප‍්‍රදේශවල බලය තහවුරු කරගත්හ. ඉන් සෑහීමකට පත් නොවූ එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ ෆ්රැුන්ක්ලින් පියර්ස් රතු ඉන්දියානු නායකයාට හසුන් පතක් යැව්වේය. ඒ ඔවුන් සතුව ඇති භූමියෙන් ඉඩම් අක්කර මිලියන දෙකක් ලබා දෙන ලෙසිනි. ඊට ප‍්‍රතිචාර ලෙස නායක සියැටල් ප‍්‍රකාශයක් කළේය. එය සැලකෙන්නේ ඓතිහාසික දේශනයක් ලෙසිනි. මන්ද එය ඒ තරමටම විශිෂ්ටය. ගෝති‍්‍රක නායකයෙකු වුවද ඔහු තුළ ඇති උත්කෘෂ්ටභාවය ඉන් මනාව පිළිබිඹු වේ. 1890 පමණ වන විට සුදු ජාතිකයෝ රතු ඉන්දියානුවන් පරාජය කොට ජය ගත්හ. ඔවුන්ට වෙන් කළ වාසභූමි වෙත පිටුවහල් කෙරුණහ.

එහෙත් වර්ෂ 1952 වන විට එතෙක් පනවා තිබූ සීමාවන් අහෝසි කරන ලදී. එසේම රතු ඉන්දියානුවන්ට රටේ තමන් කැමති පෙදෙසක ජීවත්වීමේ අවසරය ද ලැබිණ.

දශක ගණනක් තිස්සේ යුද ගැටුම් ඇති වූවා සේම සත්ත්ව හිංසාව ද බොහෝ තදින් සිදුවූවේය. එපමණක් නොව ඉඩම් ද පහසු මිලට ලබා ගත්තේය.

මරණයෙන් පසු ජනපි‍්‍රයත්වය
ජනාධිපතිවරයා එවූ හසුනට පිළිතුරු ලෙස සියටැල් ප‍්‍රකාශයක් නිකුත් කළේය. එම දේශනයේ සටහන් ලබා ගන්නා ලද්දේ සුදු ජාතික ලේඛකයෙකු විසිනි. ඔහු හෙන්රි ස්මිත් නම් විය. ඔහු විසින් සියටැල් කළ දේශනය එළිදැක්වූයේ වසර 30කට පසුවය. ඒ වන විට සියටැල් මියගොස් වසර 16ක් පමණ ගත විය. ඔහු ජීවත් වූ කාලය තුළ නොලද ජනපි‍්‍රයත්වයක් එම ප‍්‍රකාශය එළිදැක්වීමෙන් පසුව හිමි වන්නට විය.

ම්ලේච්ඡු යැයි සලකනු ලැබුණ පුද්ගලයෙකුගේ මුවින් පිටවුණු එම වදන් ලෝකයක් මවිත කළේය.
******************************************************************
සියටැල්ගේ ප‍්‍රකාශය
වොෂින්ටන් නගරයේ සිටින බලවත්ම නායකතුමා අපේ භූමිය මිලදී ගැනීමට කැමති බව අපට දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත‍්‍රත්වය හා හොඳ හිත ද ප‍්‍රාර්ථනා කරයි. අපේ මිත‍්‍රත්වයෙන් ඔහුට එතරම් ප‍්‍රයෝජනයක් නැතත් එතුමාගේ කාරුණිකභාවය පිළිබඳව අපි එතුමන්ට කෘතඥ වෙමු. එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව ද අපි සලකා බලන්නෙමු.
ඔබ මේ අහස් තලය, පොළොවෙන් නගින උණුසුම් මිලදී ගන්නේ කෙසේද?

මේ අදහස අපට නම් විකාරයකි. සුළෙඟ් නැවුම් බව ජලයේ දිදුලන කාන්තිය අපට අයිති නොවේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙලෙසද?
මේ පොළොවේ සෑම බිම් අඟලක්ම මගේ මිනිසුන්ට පූජනීයය. දේවදාර ගසක දිලිසෙන සෑම කිනිත්තක්ම වැලි කඳුවලින් පිරි සෑම වෙරළක්ම අඳුරු වන ගැබ තුළ වන සෑම මීදුම් වළාවක්ම, සෑම එළිමහනක්ම, ගී ගයන සෑම කුඩා ප‍්‍රාණියෙක්ම මගේ මිනිසුන්ට නම් පූජනීය මතකයෝ සහ අත්දැකීම් වෙති. තුරුලතා අතරින් දිවෙන සෑම මංපෙතක්ම රතු ඉන්දියානුවන් පිළිබඳව මතකයන් රැුගෙන යයි.

එබැවින් වොෂින්ටනයේ මහා නායකයා අපේ ඉඩම් මිලදී ගැනීමට කැමති බැව් දන්වා එවීමෙන් හෙතෙම අපෙන් නොදිය හැකි දෙයක්ම බලාපොරොත්තු වෙයි. මන්දයත් මේ පොළව අපට පූජනීය වන හෙයිනි. මේ ගංගා දිගේ ගලා බසින්නේ හුදු ජලයම නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. පොකුණු දිය කඳ මත පතිත වන සෑම අඳුරු ඡුායාවක්ම මගේ වර්ගයේම ජීවන අත්දැකීම් හා අනුස්මරණ බැව් ඔබේ දරුවන්ට කියා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන් මිත්තන්ගේ කටහඬයි.

ගංගාවෝ අපේ සොහොයුරෝය. ඔවුහු අපේ පිපාසය සංසිඳවති. අපේ ඔරු පාරු ගෙන යති. අපේ දරුවන් පෝෂණය කරති. අප මේ භූමිය ඔබට විකිණුවහොත් වෙනත් ඕනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලට ද දක්වනු මැනවි.

අපගේ පියවරුන්ගේ භෂ්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන් බිම් අපට පූජනීය වන්නේය. එහෙත් සුදු මිනිසුන් වන ඔබට නම් එක් භූමියක් තවත් භූමියකට වඩා වෙනස් නොවේ. ඔබේ මිනිස්සු මේ භූමිය කොල්ලකා පලා යති. භූමිය ඔවුනට මිතුරෙකු නොව සතුරෙකි. එක් බිමක් අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් තවත් බිම් සොයා ඉදිරියට ඇදෙති. කිසිදු හැඟීමකින් තොරව තම පියවරුන්ගේ සුසාන පසු කර යති. තම දරුවන්ගේ අනාගත භූමිය මංකොල්ල කති. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ හිස් කාන්තාරයක් පමණකි.

සුදු මිනිසාගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන එයි. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයා ගත නොහැකිය. වසන්ත සමයෙහි තුරු ලතාවල ළපලූ විකසිත වන හඬ හෝ කුඩා කෘමි සතුන්ගේ පියාත්වල සිලිසිලිය ඔබේ නගරවලදී ඇසෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණි. එය දෙසවනට මහත්ම හිරිහැරයකි.

ඇතැම් විට මා වැනි ම්ලේඡුයෙකුට මේ දේවල් වටහා ගන්නට අසීරු විය හැකිය. එහෙත් හුදෙකලාවේ උලමා ගයන ගීතය හෝ රාති‍්‍රයේ පොකුණක් අසල මැඩියන්ගේ තර්ක විතර්ක නොඅසන ජීවිතයේ හරයක් වේද?

සත්තු, තුරුලිය හා මිනිස්සු යන අපි සියල්ලෝම එකම ප‍්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නෙමු. සුදු මිනිසුන් වන ඔබ තමන් ආශ්වාස කරන වාතය ගැනවත් නොදනිති. අපේ භූමිය ඔබට විකිණුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් අගනා දෙයක් වූ බව සිහි තබා ගත මැනවි. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතුය.

ප්‍රෙයරි තණ බිම හරහා ගමන් කරන දුම්රියක සිට විනෝදයට වෙඩි තබා මරා දමන ලද කුණු වී යන දහස් ගණන් කුළු හරකුන්ගේ මළ සිරුරු මම දුටුවෙමි. කුළු හරකාට වඩා දුම්රිය වැදගත් වන්නේ කෙසේදැයි මට නම් වැටහෙන්නේ නැත. ඒ සමහර විට මා වනචාරී ම්ලේච්ඡුයෙකු නිසා වීමට පුළුවන.

තිරිසන් සතුන් නොමැති ලොවක මිනිසා හුදෙකලාව ජීවත් වන්නේ කෙසේද? එසේ වුවහොත් ඒ හුදකලා බවින් ඔහුද විනාශ වී යනු ඇති. ඒ මන්ද යත් ඒ තිරිසනුන්ට සිදුවන දෙය ඉක්මනින්ම මිනිසාටද සිදුවන නිසාය.

ඔබේ දරුවන් දෙපයින් නැගී සිටින විට මේ බිම අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වී ඇති බව ඔවුනට වටහා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. භූමියට සිදුවන සෑම හොඳක් හෝ නරකක්ම එහි දරුවන්ට ද උරුම වන්නේය. ඔබ භූමියට කෙළ ගසන්නේද ඔබ තමාටම කෙළ ගසා ගනී.

මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. ඥාතීන් සියලූ දෙනා එකම බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෑ එකිනෙක හා බැඳී තිබෙන බව අපි දනිමු. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වරපටක් පමණකි. මේ ජීවන ජාලයට හෙතෙම යම් බලපෑමක් සිදු කරයි ද හෙතෙම එය තමන්ටම සිදු කර ගත්තා වේ. එහෙත් ඔබ අප වෙනුවෙන් වෙන් කොට ඇති වාසභූමි වෙත යාම පිළිබඳව අපි සලකා බලන්නෙමු. එවිට අප එකිනෙකාගෙන් වෙන්ව එහෙත් සාමයෙන් ජීවත් වනු ඇත.

අපි එක් දෙයක් දන්නෙමු. එනම් යම් කිසි දවසක සුදු මිනිසා අපේ දෙවියන් ඔබේ දෙවියන්ද වන බව වටහා ගනු ඇත. අපේ ඉඩම් අයිතිකර ගැනීමට සිතන්නාක් මෙන් දෙවියන් ද අයත් කර ගැනීමට ඔබට සිතෙනු ඇත. නමුත් ඔබට එසේ කිරීමට නොහැකි වනු ඇත.

එතුමන් මුළු මහත් මිනිස් වර්ගයාගේම දෙවියාය. උන්වහන්සේගේ දයාව සුදු මිනිසාට මෙන්ම රතු මිනිසාට ද එක හා සමානය. මේ පොළෝ තලය ඔහුට අනර්ඝ වස්තුවක් වෙයි. ඊට හානි කිරීම එහි නිර්මාපකයාට නිගරු කිරීමක් වේ. දිගින් දිගටම ඔබේ යහන අපවිත‍්‍ර කිරීමෙන් යම් රාති‍්‍රයක ඔබම නිපදවූ අපද්‍රව්‍ය ඔබේම හුස්ම හිර කරවනු ඇත.

එහෙත් විනාශය කරා යන ඔබ නිවෙන්නට පෙර දීප්තිමත්ව දැල්වෙන පහන් වැටියක් මෙන් උද්දීප්තිමත්ව බැබළෙනු ඇත. ඔබට මේ භූමියෙහි හා රතු ඉන්දියානුවන්ගේද ආධිපත්‍යය ලබා දුන්නා වූ දෙවියන්ගේ ශක්තිය ඊට හේතු වනු ඇත. සෑම කුළු හරකෙකුම මස් කරන ලද සෑම කැලෑ අශ්වයෙකුම හීලෑ කරන ලද පැහැබර කඳු ශිඛර කතා කරන කම්බිවලින් වැසී ගිය කල ඒ දෛවය අපට නම් අභූතයකි. වන ලැහැබ් කොහිද? නැති වී ගොස්ය. රාජාලියා කොහිද? නැති වී ගොස්ය. මේ සියල්ල කුමක්ද? ජීවිතයේ අවසානයයි. අපි ඔබේ ඉඩම් මිලදී ගැනීමේ යෝජනාව සලකා බලන්නෙමු.

අප ඊට එකඟ වුවහොත් ඔබ විසින් අපට දෙන්නට පොරොන්දු වී සිටින රක්ෂිත භූමියෙහි අපි ජීවත් වන්නෙමු. අන්තිම රතු මිනිසාත් පොළොවෙන් අතුරුදහන් වූ විට ඔහුගේ මතකය තණ බිම් මතින් පාවෙන වලාකුළක සෙවණැල්ලක් පමණක් වනු ඇත. මේ වෙරළ හා වනාන්තරය තවදුරටත් මගේ මිනිසුන් පිළිබඳ මතකය දරා සිටිනු ඇත. ඔවුන් මේ භූමියට ආදරය කළේ අලූත උපන් ළදරුවෙකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. ඉතින් අප භූමිය ඔබට විකුණා දැමුවොත් අප එයට ආදරය කළ හැටියටම ඔබත් ඊට ආදරය කරන්න. දෙවියන් අප සියලූ දෙනාටම ආදරය කරන ලෙසටම ඊට ආදරය කරන්න. අපි එක් දෙයක් දනිමු. අපේ දෙවියනුත් ඔබේ දෙවියන්මය. පොළොව ඔහුට බෙහෙවින් අගී. සුදු මිනිසාට පවා පොදු ඉරණමෙන් ගැලවිය නොහැකිය. ඒ අරුතින් අපි සියලූ දෙනාම සහෝදරයෝ නොවෙමුද?
*****************************************************************
ඔන්න යාලුවනේ ලිපිය. ඔබට තේරුනාද සොබා දහම අපිට කෙතරම් වැදගත්ද කියල. ඒ වගේම සියටැල් බුදු දහමට කෙතරම් සමීපද කියල. අන්න ඒ නිසයි මම හැමවෙලේම කියන්නෙ උප්පැන්න සහතිකේ තිබුන පලියට හෝ පරම්පරාවෙන් ආපු පලියට කවුරුත් බොදුනුවො වෙන්නෙ නෑ කියන කාරණාව. පරිසරය රකිනව කියන්නෙත් මහා පින්කමක්. මොකද ඔසු පැල, සෙවනට හදන ගස් ආදිය නිසා සදා පින් වැඩෙනව කියල. ඒ කියන්නෙ හරියට ඔයාල ස්ථාවර තැන්පතුවක් දැම්ම වගේ වැඩක්. ඔයාල කවදාහරි මැරිල ගියත් ඒ පින් නිරන්තරයෙන්ම ඔබට අඛණ්ඩව ලැබෙනව. පාලම්බෝක්කු, වැසිකිලි, කැසිකිලි විතරක්නොවෙයි චෛත්‍ය, විහාරාරාම හැදුවත් ඒවගේම පින් අඛණ්ඩව රැස්වෛනව.

හොදයි, ඔබත් වහ වහා ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.

 

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … …. …

තෙරුවන් ගුණ අනුහසින් සෙත සලසන පිරිත ...
ධම්මපදය - යමක වග්ගය - පළමු ගාථාව

One Comment

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.