බෝසත් ගුණැති පනාමුරේ ඇත්රාජා …

ලවේ ගඟ, කරමැටි ආර ආදී ගංගාවන්ගෙන් හා ඒවාට වැටෙන අතු ගංගාවන් ගෙන් පෝෂිත පනාමුර වනය වනසතුන් බොහොමයකගේ වාස භූමියක් ව පැවතිණි. 1912 දී පමණ කළ ගණන් ගැනීමකට අනුව මේ වනයේ විසූ අලි ඇතුන් ප්‍රමාණය 2,300 ක් පමණ වී ඇත.

මේ මහ වනයත්, එහි සතා සිව්පාවනුත් එහි තැන තැන ගොවිතැන් කරමින් ජීවත්වූ මිනිසුනුත් තම බූදලයේ කොටසක් ලෙස සලකා කටයුතු කළ මොලමුරේ වසර පහකට වතාවක් ඇත්ගාල් පැවැත්වූයේ ආදායම් තර කරගැනීමට ම පමණක් නොවේ. එය අලි ඇතුන් මෙල්ල කිරීම පිළිබඳ වූ ඔහුගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමක් ද වූ නිසා ය. එවකට ආණ්ඩුකාර ධූරය දැරූ සෝල්බරිසාමි හා රජයේ අනෙකුත් ප්‍රබලයින් හා ප්‍රභූ පුද්ගලයින් මෙන් ම සිය විදෙස් මිතුරන්ට ත්‍රාසජනක ක්‍රීඩාවක් නැරඹීමට ඉඩහසර සලසන අවස්ථාවක් බවට ද මෙම අලි ඇල්ලීම නැතිනම් ඇත් ගාල් පැවැත්වීමේ අවස්ථාව පත්වුණි.

පිපාසයට දිය සොයා එන අලි ඇතුන් විවිධ උපක්‍රම යොදා කොටු කර මෙල්ල කර ඔවුන් එම ස්ථානයේදීම වෙන්දේසිකර විකිණීම මෙහි අරමුණයි.

කළුන්දෑව කඳු මතින් බැසගන එන අලි රංචුව මිනිසුන්ගේ කෑගැසීම නිසා ඉන් ඔබ්බේ වන කොළගයාය කන්ද දෙසට හැරුණේ හුළු එළිවල ගින්දරට තැති ගැහුණු නිසා වන්නට ඇත. හාත්පස මහා පවුරක් සේ මිනිසුන් පෙළ ගැසී සිටියේ ගාල් වැට ඉදිකර ඇති ප්‍රදේශයට අලින් එළවීම සඳහායි.

කළුන්දෑව හා කොළඟයාය කඳු පංති දෙක මැදිවන නිම්නය පාමුල කිසිදා නොසිදෙන දිය බුබුළක් වෙයි. තරමක කියුල් රසයකින් යුතු මෙහි දිය බොන්නට අලින් මහත් අභිරුචියක් දක්වයි. මේ දිය බුබුළ ඇති ප්‍රදේශය මැදි වන්නට අඩි හතරෙන් හතරට අක්කර 6 ක පමණ බිමක් පුරා බුරුත කඳන් සිටුවා ඒ හරහා පොලු බැඳ ගාල් වැට තනා තිබෙන්නේ වනාන්තරයේ රූස්ස ගස් අතරිනි. මේ දිය බුබුළ ඇත්තේ ගාල බැද්දට වන්නට ය. වසර ගණන් පුරා දිය බීමට පැමිණි අලිපාර ඔස්සේ පැමිණෙන අලින් උගුලේ වැටෙන්නේ නොදැනුවත්වම ය.

අලි ගාල් කිරීම හා මේච්චල් කිරීම නැරඹීම සඳහා මේ සුවිසල් ගාල අසල නව නගරයක් නිර්මාණය වී ඇත. මේ මහ වනයේ ගස්මත අට්ටාල තනා තිබුණේ නැරඹුම් මැදිරි ලෙසයි. අවට ආපන ශාලා, තානායම්, රට බීම හල් මෙන් ම කඩ සාප්පු ආදියෙන් ද අඩුවක් නොවීය.

එදින ඇත්ගාල නැරඹීමට පැමිණි අය අතර අග්‍රාණ්ඩුකාර සෝල්බරිසාමි ප්‍රධාන අමුත්තා විය. හමුදාපති රෝස් මෙන් ම එවකට සිටි කිර්තිමත් ඉංග්‍රීසි ලේඛක ආර්.ඇල්. ස්පිටල් ඒ අතර වූහ. මීට අමතරව අවසානයේ වෙන්දේසියේදී තම දියණියන්ට දෑවැද්ද පිණිස හොඳ අලියෙකු, ඇතෙකු ලබාගැනීමට රිසි ධනවතුන් ද ගම්පතීන්, මුලාදෑනින් මෙන් ම කොළඹින් එහි ගිය පත්තරකාරයින් කීප දෙනෙක් ද ඒ අතර සිටියහ.

‘පනාමුරය’ යන්නත් සමඟ අපගේ සිහියට නැඟෙන්නේ සුගතපාල මලලසේකර විසින් ලියා ගායනා කළ

“පනාමුරේ… පනාමුරේ…

පනාමුරේ ඇත් රාජා

අභීත තෙද පා හස්ති රජා ඒ

කලේ සටන් පා තේජා…” නම් වූ ගීතයයි. තම වර්ගයා වෙනුවෙන් සටන් කර දිවිපිදූ වීරයෙකු වෙනුවෙන් ගැයුණු පළමු ගීතය එයයි. මේ වන විට අල්ලාගත් ඇතුන්, අලියන් හා අලි පැටවුන් සෑහෙන ගණනක් සිටියහ. නායක ඇතා වන පනාමුරේ ඇත් රාජා මේවන විට වියරු වැටී සිටියේය.

නායක ඇතාගේ විරෝධය එන්න එන්නට වැඩි වූයේ ඒ වනවිට කුඩා පැටවුන් දෙදෙනා ද බැඳ තිබූ නිසා ය. පැටවුන්ගේ හඬත් මවු ඇතින්නියගේ දුක්බර හඬත් වනය සිසාරා රැව් දුන්නේ අදෝනා විලාසයෙනි. වල් අලි බෙහෙවින් කලබල කරන්නට වූයෙන් කුඩා පැටවුන් ලිහා දමන ලෙස සේවකයිනට අණ කිරීමට මොලමුරේ මහතාට සිදු විය.

මේ නායක ඇතාගේ උස අඩි නමයකි. වයස අවුරුදු 25 ක් තරම් ය. පනු දළ යයි සඳහන් කරන ඉතා කුඩා දළ දෙකක් පිහිටා තිබිණි. ‘පනාමුරේ ඇත් රාජා’ නමින් ලොව ප්‍රකට වූ මේ ඇතා සිය වර්ගයා බේරා ගැනීමට එඩිතරව සටන් කිරීම නිසාම අමරණීයත්වයට පත් විය.

දින කීපයට ගාල් කොටුව ඇතුළත සතුන් සිර කරගන සිටිය ද මේ නායක ඇතා හා අනෙකුත් අලි ඇතුන් අල්ලා ගැනීම මහත් දුෂ්කර කටයුත්ත වී තිබිණි. තරමක් පසුබැස විත් හීලෑ අලින්ට පහරදීම නායකයාගේ උපක්‍රමය විය. හීලෑ අලි 14 න් ගොවියෝ 28 ක් හා පළපුරුදු පනිත්තලයින් සමඟ හරි හරියට සිටි නායකයා අපරාජිතව සිය පිරිස වෙනුවෙන් සටන් කළේ බලා සිටි පිරිස මවිතයට පත් කරමිනි. අවසානයේ ෆ්‍රැන්සිස් මොලමුරේ තීරණය කළේ ගාලේ කඩුල්ල ඇර නායකයා පිටමන් කිරීමයි. හීලෑ ඇතුන් යොදවා නායකයා පිටමන් කිරීමට ඔහුගේ උත්සාහය විය. ගාල් දොරටුව වෙත හෙමින් හෙමින් ගමන් ගත් හස්තියා මදක් නතර විය. හැරී ආපස්සට වේගයෙන් පැමිණි හස්තියා තම ඇතින්නියන් බැඳ දමා සිටි ගස්වලට පහර පිට පහර දුන්නේ සිය පිරිස හැර නොයන බව හඬ නඟා කියා පාන්නට මෙනි.

තමාගේ රැකවරණය පමණක් පතන මිනිසුන් ගේ ගුණය ඔහු තුළ නොවූ බව කාටත් පසක් විය. එසේ තම පිරිසෙන් එකෙකු හෝ රඳවා පළා යාම ඔහු ප්‍රතික්ෂේප කළා වැනි ය. සැබෑම නායකත්වයේ මහිමය ඒ ඇතා තුළ මැනවින් පිහිටා තිබුණි. පෞද්ගලික නිදහස නොව පොදු නිදහස දිනා ගැනීම උගේ අභිප්‍රාය විය.

කරකියාගත නොහැකි තත්ත්වයට පත් ෆ‍්‍රැන්සිස් මොලමුරේට අවසානයේ දැඩි තීරණයක් ගැනීමට සිදු විය. ඒ ඇතාට වෙඩිතබා මරණයට පත් කිරීමයි. ඉහත රූපවලින් දැක්වෙන්නේ ඇතා බැද තිබූ ආකාරය හා වෙඩි වැදුනු පසු මැරී වැටී සිටි ආකාරයයි.

මේ අනුවේදනීය සිදුවීමට එදා රට පුරාම පැතිර ගියේ මහත් විරෝධයකි. පාර්ලිමේන්තුවේ කතානායකට සතුන් හිංසාවට විශේෂ අයිතියක් හිමිවී තිබේදැයි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. එකල පුවත්පත් හා කවි කොළ මඟින් ද මේ පිළිබඳව සමාජ කතිකාවක් ගොඩනැඟී තිබුණි.

විරෝධතාවන් වැඩිවීම හේතුවෙන් ගාල්ක්‍රමය නීතියෙන් තහනම් කිරීමට මෙය හේතු විය. මේ අනුව ලංකාවේ පැවැත්වූ අවසන් අලිගාල 1950 ප්‍රැන්සිස් මොලමුරේ පනාමුරේ පැවැත්වූ අලිගාල බවට පත්වේ.

පින්වත් යාලුවනේ අපේ මිනිස්සු තමන්ගෙ යහපත, තමන්කේ සුඛ විහරණය වෙනුවෙන් පමණක් කටයුතු කරන විට මේ තිරිසනා සිය වර්ගයා වෙනුවෙන් දිවි පිදුවේය. තිරිසන් උවත් මෙවන් බෝසත් ගුණැතියන් ඇසුරු කිරීම දුදුන මිනිසුන් දහසක් අගය කරනවාට වඩා අගනේය.

සර්වඥ ධාතු බෙදීම
අට මහා කුසල් ...

Join the discussion 3 Comments

Leave a Reply

IFBC Home Page