බෝධිපූජාවක් නිවැරදිව තියමු …

යාලුවටන් ඔයාලට කොහොමද? තෙරුවන් ගුණ බලෙන් හොදින් ඉන්ව ඇති කියල මට හිතෙනව. මම මේ ලිපි පලකරන්නෙ කුසල් රැස්කරගන්නයි. ධර්ම දානයක් විදිහට. අනේ තරහ වෙන්නනම් එපා මෙහෙම කීවට. මේ ලිපි කියවන්නෙත් නැතිව ලයික් කරල සාධු සාධු කියල කොමෙන්ට් එකක දාල ගියාටනම් කිසිම වැඩක් නෑ. රුපය බලල සතුටු උනත් පින් තමයි. ඒත් මේ ලිපි අධික වැඩ රාජකාරි මැදයි මම හදන්නෙ. මගෙ ඉගෙනීම් කටයුතුත් අතපසු කරගනිමින්. ( මම මේ ලිපි හදන්නෙ තව ලිපි කියවල ඒවයින් කරුණු උපුටාගෙනයි. ඒ ඇරෙන්න මේ සියලුම දැනුම මගෙ දේවල් කියල හිතන්නනම් එපා. ) ඒ ම‍ට අවශ්‍ය පින් රැස් කරගන්නත් ඔයාලට ධර්මය පැහැදිලි කරල දෙන්නත් එක්ක. ඉතින් යාලුවනේ ඒ පින මට ලබාදෙන්න පුලුවන් ඔයාලටයි. මේ ලිපි කියවල හිත පහදිනවනම් මගෙ අරමුණ ඉටුවෙනව. හැබැයි හිත පහදවන් පමණක් වැඩක් නෑ. “ සුනාථ, ධාරේථ, චරාත ධම්මේ”. ඒ කියන්නෙ ධර්මය අහල, දරාගෙන, ධර්මයේ හැසිරෙන්න ඕනි කියලයි බුදුහාමුදුරුවො කීවෙ. මේ එක් ලිපියකින් එක කරුණක් හරි ජීවිතයට එක්කරගන්න. විද්‍යාව ඔලුවෙතියාගෙන “මම හැමදේම දන්නව ”කියන අදහසින් ඉන්න අසරණයො මොනාකිව්වත් ගැටලුවක් නෑ. ඉස්සරහට එන්නෙ නැවත රහතන් වහන්සේලා අහස් ගැබ සැරිසරන යුගයක්. අදටත් රහතන් වහන්සේල වැඩසිටිනව. නමුත් ඉදිරියේදී උන්වහන්සේලා සමාජයට විවෘත වෙනව. මොකද අද උන්වහන්සේලා එලියට නොවඩින්නෙ සමාජය විෂම වීම නිසයි. ඒ අභිමානවත් යුගයට යන්න අද සිටම පිලිවෙතින් පෙළගැසෙමු. ඔයාලට තව ටිකදවසකින් මම මේ නොකිය කියන්නෙ මොකක්ද කියල පැහැදිලිවෙයි. එතෙක් ඉවසන් ඉන්නකො.
හරි අද අපි කථාකරන්නෙ නිවැරදිව බෝධි පූජාවක් තියන ආකාරයයි. මෙතනදි කියන්න ඕනි ගාථා කියලදෙන්නේ නෑ. ඒව ගොඩදෙනෙක් දන්නවනෙ. ඒ වගේම අපි ‍බෝධිපූජා තියද්දි හාමුදුරුවන් වහන්සේනමක් එක්කනෙ තියන්නෙ. ඒ නිසා මෙතනදි ගාථා කියල දීල ලිපිය දීර්ඝ කරන්න ඕනි නෑ. ඔයාලට ඕනිනම් මම වෙනම පෝස්ට් එකක් දාන්නම් ඒ පිලිබදව. හරි. ඔයාල දන්නවනෙ ත්‍රිවිද්‍යාව කියන්නෙ මොකක්ද කියල. සීල, සමාධි, ප්‍රඥ කියන තුනයි. ඉතින් ඔය තුනෙන් ප්‍රඥව කියන කාරණයට තමයි බෝධි පූජාව සම්බන්ධ වෙන්නෙ. මොකද බෝධිමූලයේ සිය සර්වඥතා ඥානය අවබෝධකරගත් බුදුහිමියන් ඒ වෙනුවෙන් බෝධීන් වහන්සේට කළගුණ සැලකුව. ඇයි කළගුණ සැලකුවෙ ? සර්වඥතා ඥානය අවබෝධ කරගන්න සෙවන සැලසූ නිසයි. අන්න ඒ අවබෝධකරගත් සර්වඥතා ඥානයට උපහාරයක් කිරීමයි ‍බෝධිපූජාව කියන්නෙ. නමුත් යහලුවනේ එතනින් නතර වෙන්නෙ නෑ. අපිට නොදැනෙන, අපි නොදකින දෙයකුත් මේ බෝධින්වහන්සේ සතුව තියෙන්න පුලුවන්. මොකද, බලන්න ජයසිරිමහ බෝධීන්වහන්සේගේ සෙවනෙ තියෙන සුවය මොනතරම්ද කියල. ඒ විතරක් නෙවෙයි එතන බණභාවනා කරන්න ගියත් හිතේ සමාධිය ඉක්මනින් වැඩෙනව නේද? මහා ආශ්චර්යයක් දැනෙනව නේද? ඔය සිරිමහ බෝමලුවෙ වැලි ඩිංගිත්ත පවා අපේ ගොවි මහත්තුරුන්ට පුදුමාකාර සහනයක් ගෙනෙනව. මොකද කුඹුරෙ ඉන්න කෘමිසත්තු එළවන්න ඒ වැලි හරිම ප්‍රයෝජනවත් උනා. ( ඔන්න දැන් විද්‍යාවේදියො ටික සටන් ආරම්භකරයිද දන්නෙ නෑ ඒකෙ විද්‍යාත්මක පදනමක් නෑ කියල. ඊට ඉස්සරල ගිහින් බලන්න ඒ ගොවිමහත්තුරු එක්ක කථා කරල. ) පිංවත් යාලුවනේ ඔය ජයසිරිමහ බෝධීන් වහන්සේට ඉහලින් කිසිම බලගතු මිත්‍යාදෘෂ්ඨික හෝ සම්‍යයදෘෂ්ඨික දෙවි කෙනෙකුට හෝ වෙනයම් බලවේගයකට යන්න බැරිලු. එ තරම් මහා ශක්තියක් ඔය බෝධීන්වහන්සේට තියෙනව.

කෙසේ වුවත් බෝධිපූජා පින්කම් වලදි අපේ අනුරාධපුරයේ වැඩසිටින විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේත් දඹදිව බුද්ධගයාවේ වැඩ සිටින ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේත් සිහිකරමින් තමයි අපි බෝධිපූජා පැවැත්විය යුත්තේ.

යාලුවනේ ඇයි අපි බෝධි පූජාවක් පව්වන්නේ. මේ කියන කාරණය පොඩ්ඩක් හොයල බලමු. අද බොහෝ දෙනෙක් විභාග වලින් සමත් වීමේ අපේක්ෂාවෙන් බෝධි පූජා පවත්වනව. අපල දුරු කර ගැනීමේ අරමුණින්ද බෝධි පූජා පවත්වනව. රෝග සුව වී නිරෝගී වීමටද බෝධි පූජා පවත්වනව. දියුණුව අපේක්ෂාවෙන්ද බෝධිපූජා පවත්වනව. ඒ මාතෘකා සිහියේ තබාගෙන බෝධි පූජා පවත්වා “අසවලාගේ අපල දුරුවේවා!” යනුවෙන් ලියූ කොඩි වැල් බෝධියේ එල්ලා තබනු ලබනව. හරියට බෝධීන් වහන්සේ රෙදිවැලක් වගේ වෙලා. එහෙත් අමතක කරන්න එපා. බුදුපියාණන් වහන්සේ මා බුදුවේවා! යනුවෙන් බෝධියේ කොඩි වැල් එල්ලුවේ නෑ, යහලුවනේ මේ අපල දුරුවේවා, ශාන්තිය උදාවේවා කියන කොඩිවලත් විද්‍යාත්මක පදනමක් නැත්තෙම නෑ. මොකද එකම කාරණාවක් වැඩිවාරගණනක් කියවනවිට එහි යම් බලයක් පිහිටනව. දැන් ඔය යන්ත්‍ර මන්ත්‍ර වලත් වාරගණන් තියෙන්නෙ ඒකයි 108 හෝ 312ක් විදිහට. දැන් කියන්න එපා ඒව මිත්‍යාදෘෂ්ඨිකයි ඒව අදාල නෑ කියල. ඔය නවගුණ වැලත් 108ක් විදිහට සලකල තියෙන්නෙ ඒකයි. ඉතින් ඔය කොඩියත් බොහෝදෙනා දැකල දැකල කියවනකොට එතනත් යම් බලපෑමක් ඇති. ඒත් ඕක බෝධියෙ එල්ලන එකේ කිසිම පදනමක් නෑ. ඔනැනම් වෙන ගහක එල්ල ගන්න. නමුත් බෝධිපූජාව නිවැරදිව ශ්‍රද්ධාවෙන් කරනවනම් ආයි කොඩි එල්ලන්න ඕනි නෑ. ඒත් ඉතින් අර කලින් සදහන්කල දේවල් ඉටුකරගැනීමටම බෝධිපූජා තැබීම නිවැරදිද?

‘බෝධි පූජා’ කියන වචන දෙකේ තේරුම අප අවබෝධ කර ගත යුතුයි. බෝධි කියන්නේ ‘බුද්ධිය’ කියන එකයි.

නැත්නම් චතුරාර්ය සත්‍යය ධර්මයන් ගැන පවතින ‘ප්‍රඥාව‘ ට. ‘පූජා’ කියන්නේ පිදීමට. එහෙමනම් එහි තේරුම භාග්‍යවත් වූ බුදුපියාණන් වහන්සේගේ ප්‍රඥාවට ගුණයන්ට පූජා පැවැත්වීම .

එසේ නම් බුදු පියාණන් වහන්සේ පහළ වූයේ ලෝක සත්වයාට විමුක්ති ඥාන දර්ශනය ඉගැන්වීමටය. දුකින් නිදහස් වීමේ මග හෙළිකිරීමටය. එසේ නොමැතිව ග්‍රහ අපල දුරු කිරීමට නොවේ. විභාග සමත් කරවන්ටද නොවේ. ලෞකික සැප වැඩි කර දෙන්ට ද නොවේ. එහෙම නම් යාලුවනේ , ‘බෝධි පූජාව‘ නැත්නම් ‘ප්‍රඥා පූජාව‘ තබන විට ළාමක ප්‍රාර්ථනා කිරීම සුදුසුද? ඒ දේවල් කර ගැනීමට ඕනෑ නම් “ වීර්යය අත්‍යාවශ්‍යය. විභාග සමත්වීමට ඕනෑ නම් හොඳට පාඩම් කිරීමට අවශ්‍යය. දියුණු වෙන්ට ඕනෑ නම් අලස නොවී කටයුතු කල යුතුය. අපල දුරු කරගැනීමට නම් අපල ගැන හිත හිතා නොසිට වීර්යයෙන් පින්දහම් කරමින කටයුතු කල යුතුයි. පින්වතුනි, තමාට සිටින හොඳම උපකාරකයා තමාම මිස වෙන කවුරුවත් නොවේ. “ අත්ථාහි අත්තනෝ නාථෝ, කොහිනාථෝ පරෝසියා ” කීවෙත් ඒ නිසා නේද? ඔබ කරන යම් කටයුත්තක් වේද ඒ සදහා බෝධිපූජාවෙන් ආශිර්වාදල ලබාගත හැකිය. දෙවියන්ගේද ආශිර්වාදය ලැබේ. ඒතුලින් ඔබේ කටයුතු සාර්ථක වේ. ඒ හැර ඔබේ ව්‍යාපාරයේ ගනුදෙනු වැඩි කිරීමට බෝධීන්වහන්සේට නොහැකිය. බෝධි පූජාව කියන අධ්‍යාත්මික ගුණ වගාව රෝපණය කරගෙන ඵල ලැබිය යුත්තක්. ඉන් ලැබෙන ඵල අති මහත්. විභාග සමත් වීමට වඩා ඵල ප්‍රයෝජන ඉන් ලැබේ. බෝධිපූජාව තුලින් ඔබේ ප්‍රඥාව වර්ධනය වනවිට එය විභාග සමත්වීමට ආශිර්වාදයක් වේ. ඒ හැර වෙහෙස මහන්සි නොවී හැම දේකටම නොපෙනෙන බලවේග වල පිහිට ලබාගන්ට යන අය ඉන්නවා නම් ඉන් පෙනෙන්නේ ඒ අයගේ තියෙන නුවණ මද කමයි. ඉතින් සැබෑ බෞද්ධ ශ්‍රාවක දරුවන් විදිහට කරන්නට ඕනෑ නිවැරදි බෝධි පූජා ක්‍රමයක් තිබේ.

“බෝධි පූජාව“ ඉතාම වටිනා කාරණයක්. අනන්ත වූ මහත් ඵල ලැබෙන දෙයක්. බෝධියට අරක් ගත් දෙවිවරුන් ඉන්නට පුළුවන්. දෙවියන්ගෙන් අපට පිහිට ලැබෙන්නේ අපි නිවැරැදි දේ කළොත් පමණයි. නිවැරැදි බෝධි පූජාව කරන්නේ කෙසේද? කියන කාරණාව දැන්

පළමුව බෝධිය ළඟට ගොස් පිරිසුදු කරන්න. මම කලින් ලිපියක් දැම්ම නේද බෝ මලුව ඇමදීමේ අනුසස් කියල. බෝමලුව, මල් අසුන් චෛත්‍යරාජයන් වහන්සේ පිරිසිදු කිරීම වියදමක් නැතිව කරගන්න පුලුවන් මහත්ඵල මහානිසංස ලබාදෙන පිංකමක්. හිතේ ශ්‍රද්ධාව ඇතිව බුදුගුණ සිහිකරමින් පිරිසිදු කිරීම් කරන්න. ඒ ලිපියෙ සදහන් කලාවගෙ දක්ෂිනාවර්ථව නව වරක් යමින් පැන් වත්කරන්න. එක් වරකට එක බුදුගුණය බැගින් සිහිකරමින්. එහිදී නිරතුරුව බුදුගුණ සිහි කරන්න. මෙනෙහි කරන්න. මෙන්න බුදුගුණ නමය. පාඩම් කරගන්න. විශ්වයේ ඇති බලගතුම මන්ත්‍රය මෙයයි. ඒය පාඩම් කරන් නිතර සිහිකරන්න.

පළමු බුදු ගුණය – භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ කෙලෙසුන් දුරලූ සේක! කෙලෙස් සතුරන් නැතිකල සේක! සංසාර චක්‍රය සේක! රහසින්වත පව් සේක! සිව්ලසයෙන් කෙරෙන පූජායන්ට ඉතා සුදුසු වන සේක! එසේ හෙයින් අරහං නම් වන සේක!

දෙවන බුදු ගුණය – කිසිවෙකුගේ පිහිටකින් තොරව තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක!

තුන්වන බුදුගුණය – විද්‍යා නම් ඥනෙ අටකින්ද පසළොස් චරණ ගුනයෙන්ද යුක්ත වන හෙයින් විද්‍යාචරණ සම්පන්න නම් වන සේක!

හතරවන බුදුගුණය – සෝභන වූ නිවන් මගෙහි ගමන් කරමින් සුන්දර වූ නිවනට පැමිණි හෙයින්ද දෙසිය යුතු දහම් කරුණු සුදුසු අවස්ථාවේ දෙසූ හෙයින්ද සුගතෝ නම් වන සේක!

පස්වන බුදුගුණය – ලෝකය පිලිබදවත් සෙසු ලෝක ධාතුව පිලිබදවත් දතයුතු සියල්ල මැනවින් දැන වදාල හෙයිනඋන්වහන්සේ ලෝකවිදූ නම් වන සේක!

හයවන බුදුගුණය – උන්වහන්සේ දරුණු වූද විෂම වූද පුද්ගලයන් දමනය කල හෙයින් අන්න්ත්තර පුරිසධම්මසාරථි නම් වන සේක. !

හත්වන බුදුගුණය – උන්වහන්සේ දරුණු වූද විෂම වූද පුද්ගලයන් දමනය කල නිසා අනුත්තරෝ පුරිසධම්මසාරථි නම් වන සේක.!

අටවන බුදුගුණය – උන්වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් අන් අයටද දේශනා කල නිසා බුද්ධෝ නම් වන සේක.

නවවන බුදුගුණය – භාග්‍යයෙන් යුක්ත වූ හෙයින්ද සියලු කෙලෙසුන් දුරලූ හෙයින්ද භගවා නම් වන‍සේක.

මෙසේ වට නවයක් යමින් බෝධියට පැන් ඉසින්න. යහලුවනේ මේ පූජාවෙ වැදගත්ම දේ තමයි ප්‍රඥාව වර්ධනය වීම, මතක ශක්තිය, ධාරණ ශක්තිය, බුද්ධිය වර්ධනය වීම මේ කටයුත්තෙන් සිදුවන දේවල්. පැන් කරමින් මටත් (කැමති බෝධියකින්) උතුම් වූ නිර්වාණය සාක්‍ෂාත් කර ගත හැකි වීමට මේ “ බුද්ධානුස්සතිය” හේතු වේවා! “ කියා ප්‍රාර්ථනා කරන්න. දෙලොවටම මහත් සුභසිද්ධියක් වේවි.

එසේ ලොව්තුරා බුද්ධ රාජයාණන් ගේ උතුම් ගුණ සිහි කරමින් ඇති තරම් වේලා බුද්ධානුස්සතියේ යෙදෙන්න. එය බුද්ධානුස්සතියේ පරතෙරට ගොස් සෝතාපන්න මගට පැමිණීමේ හැකියාවද ලැබේ. ලොව්තුරු සුව දෙන මහා අධ්‍යාත්ම ගුණ වගාවක් තමයි බෝධි පූජාවෙන් කෙරෙන්නේ. ඉතින් බෝධි පූජාවේ අනන්ත ගුණයන් ඔබට තිබේ.හැබැයි කලින් කීව වගේ බෝධියේ කොඩිවැල් එල්ලන්නට එපා. ඒ කියන්නෙ ග්‍රහ අපල දුරුවේවා, සෙත ශාන්තිය සැලසේවා වගේ දේවල් ලියපු කොඩි. බෞද්ධ කොඩි බෝධියට පූජා කරමින් එල්ලුවත් ඒවා බෝධියේ එල්ලන්න එපා. අහල පහල ගස්වල එල්ලන්න. මොකද? ප්‍රඥාව දියුණු කරගන්නට උපකාරී වෙන බෝධීන් වහන්සේ අපිරිසුදු කරන එක කොතරම් වැරදිද? ඒක බුදු රජාණන් වහන්සේටත් කරන අගරුවක්. ඒ නිසා අපි නිතරම බුද්ධානුස්සති බෝධි පූජාව කරන්නට පුරුදු වන්ට ඕනෑ

යහලුවනේ ඉන්පසු බෝධි පූජාව තියන්න. මල්, පහන්, සුවද දුම්, බෙහෙත්, ගිලන්පසු, දැහැත්විට ආදිය සියල්ල තියා ගුණවත් සිල්වත් ස්වාමීන්වහන්සේ කෙනෙකු ඔස්සේ බෝධිපූජාව තියන්න. මතක තියාලන්න බෝධිපූජාවෙන් ආනිසංස ලැබෙන්නේ ඔබේ හිත පිරිසිදු වීමෙන් හා හිතේ ඇතිවන යහපත් චේතනා ඔස්සේ මිස බෝධීන් වහන්සේගේ බලයකින් නොවේ. ඒ ඒ බෝධියේ පූජනීයත්වය මත දෙවියන් විසින් එය ආරක්ෂා කිරීම වෙනම කථාවක්. ඒ එම පූජනීය ‍බෝධියේ ආරක්ෂාව සම්බන්ධ දෙයක් පමණයි. ඉතින් ඔබ බෝධීන් වහන්සේට උත්තරීතරම අයුරින් පූජාව සිදුකොට යහපත් සිතින් ඔබටම හෝ අනෙකෙකුට සෙත් පැතීමෙන් ඔවුන්ට ආශිර්වාදයක් ලබාදෙන්න පුලුවන්. මතක තියාගන්න. ඒ බෝධියේ බලයක් නිසා නොව ඔබේ චිත්ත තරංගයන්ගේ බලය වේ. ඒ අවස්ථාවේ ඒ ඇතිවන කුසල ශක්තීන් දෙවියන්ට අනුමොදන් කිරීම තුලින් දෙවියන්ද සතුටු වී ඔබට ආශිර්වාද කරාවි.

හොදයි අපි දැන් බලමු බෝධිපූජාවේ එක් එක් පූජාවන්හි ආනිසංස.

මලුව ඇමදීමේ ආනිශංස
මේ ගැන මම කලින් කියල තියෙන නිසා වැඩිය කියන්නෙ නෑ. මම දින කිහිපයකට කලින් දාපු ලිපියක් තියෙනව බලන්න. කිහිපයක් කියනවනම් මැදපු රන් පතක් සේ රන්වන් පැහැති සිනිඳු සමක් ලැබෙනවා. ශරීරයේ දූවිලි සහ කුණු තැවරෙන්නෙ නෑ. හරියට නෙලුම් කොළයකට දිය බින්දුවක් දැම්මම නිකම්ම ලිස්ල යනව යාලුවො දැකල ඇති නේද? අන්න ඒ වගේ ශරීරය මතුපිට දූලි රදන්නෙත් නෑ. ඒ විතරක්ද උෂ්ණය, අව්රශ්මිය, ගිණිරශ්මිය, ආදිය නිසා දාදිය ගලල ශරීරය අපිරිසිදු වන්නෙත් නෑ. කොටින්ම ශරීරය මොනවිදියකින්වත් අපිරිසිදු වෙන්නෙම නෑ. සමාජයේ ජනපි‍්‍රය වෙනව. දීර්ඝායුෂ ලැබෙනවා. කුෂ්ඨරෝග, දද, කැලලි, වණ, පිළිකා ආදිය ශරීරයේ ඇති වන්නෙත් නෑ. රෝගපීඩා වැලදීම පවා සිදුවෙන්නේ නෑ. කොටින්ම නියාම ධර්ම නිසා ඇතිවන රෝග පීඩාදීන පවා මග හැරෙන්න පුලුවන් තරම් මහ පින්කමක් මේක. ඒ විතරක් නෙවෙයි. චිත්ත පීඩා දුරුවනව. සිත පිරිසිදුවෙනව. සැහැල්ලු වෙනව. අසහනයන් දුරුවෙනව. සතුරන් ඇතිවෙන්නෙත් නෑ. සතුරන් මිතුරන් බවට පත්වෙනව. කිසිකලෙක ආහාරපාන ආදී දේවලිනුත් කිසිම අඩුවක් වෙන්නෙත් නෑ.

බෝධියට පවන් සැලීමේ ආනිසංශ

සුමනවිජනිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
විපස්සී බුදුරජුන්ගේ උතුමි බෝධි වෘක්‍ෂය සමීපයෙහිදී සමන් මල් විජිනියක් ගෙන මම ඒ උතුමි බෝධියට පවන් සැලීමි. මින් එක් අනූවන කපෙහි උතුමි බෝධියට පවන් සැලූයෙමිද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. පවන් සැලීමෙහි විපාකය මෙයයි. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියඵ භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැදීම සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

(අපදාන පාළිය. ථෙරාපදානය. නළමාලිය වග්ග. සුමනවිජනිය ථෙරාපදානය.)

බෝධියට ශබිධ පූජා පැවැත්වීමේ ආනිසංශ

එක සංඛිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
විපස්සී බුදුරජුන්ගේ මහා බෝධි පූජාවක් විය. මහජනයා රැස්ව උතුමි බෝධියට පූජා කෙරෙත්. යමි ශාස්තෘවරයෙකගේ බෝධියද මෙබදු පූජනීය වස්තුවක් නමි, ඒ උතුමා ලාමක කෙනෙකැයි නොහගිමි. බුද්ධ ශේෂ්ඨයෙක් වන්නේය.

ඉක්බිති සකක් ගෙන බෝරුක වෙත එළඹියෙමි. මුඵ දවසෙහිම එය පිඹිමින් උතුම බෝධිය වැන්දෙමි. කරන ලද එම පුණ්‍ය කර්මය මරණාසන්න කල්හි මා දෙවි ලොවට පැමිණවීය. මාගේ සිරුර අප්‍රාණිකව වැටිනි. මම දෙව් ලොව සිත් අලවා වසමි. තටුවූ, පමුදිතවූ සැටදහසක් තූර්‍ය වාදකයෝ හැමකල්හි මට උවටැන් කෙරෙත්. බුධ පූජාවෙහි මෙ විපාකයයි. එක් සැත්තෑවන කපෙහි සිව මහ දිවයින් හා සිව සයුරු කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූ, සතුරු රජුන් ජයගන්නා සුඵවූ, විශේෂයෙන් ජමබුද්වීපයට අධිපතිවූ සුදස්සන නම් සක්විති රජෙක් වීමි.

යලි එහි සප්තාංගීක තූර්‍යයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්මය අනුභව කරමි. බෝධි උපස්ථානයාගේ මේ විපාකයයි. දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම යම් යෝනියක උපදිම් නම්, මව් කුස පිළිසිඳ ගත්තාවූද මට හැමකල්හි භෙරීහු වාදනය කෙරෙත්. සම්බුදුරජුන් වෙත එළඹ සමපත් අනුභවකොට, අතිශයින් ක්ෂේමවූ, ශිවවූ, අමෘතවූ අචල පදය වන නිවනට පැමිණියේ වෙමි. මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම කර්මයක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුධ පූජාවෙහි මේ විපාකයයි.

ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.
(අපදාන පාළිය. ථෙරාපදානය. එක වීහාරීය වග්ග.)

බෝධියට මල් පිදීමේ අනුසස්

තිපුප්ඵිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
මම පෙර මහ වෙනෙහි වැද්දෙක්වීමි. විපස්සී බුදුරජුන්ගේ නිල්වන්වූ පළෝල් බෝධිය දැක එයට මල් තුනක් විසිරවීමි. පිදීමි යමි කර්මයක් කෙළෙමද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. මම එකල්හි බෝකොළ සතක් අවුලා ගෙන පිටත දැමීමි. ඇතළත පිරිසිදුවූ පිටත ද පිරිසිදුවූ කෙළෙසුන්ගෙන් මැනවින් මිදුණු ආශ්‍රව රහිතවූ ලෝක නායකවූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහිදී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කඵරිය කෙළෙමි.
මින් එක් අනූවන කපෙහි යම බෝධි පූජාවක් කෙළෙද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මෙ විපාකයයි.

මින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්ත පාසාදිකා නමි වූ සක්විති රජවරු තෙළෙස් දෙනෙක් වූහ. මේ සිව පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
(අපදාන පාළිය. ථෙරාපදානය. සුධාපිණ්ඩිය වග්ග.)

බෝධියට සුවඳ පැන් පිදීමේ අනුසස්

ගන්‍ධාදකිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි නමි මහබෝ පූජාවක් විය. විසිතුරු කළයක් ගෙන මම එහි සුවඳ පැන් වත්කෙළෙමි.
බෝධිය නාවන කල්හි මහ වැසි වැස්සේය. හෙන පුපුරණ කල්හි මහත් ශබිදද විය.
එම අසනි වේගයෙන් (හෙන පහරින්) එහිම කඵරිය කෙළෙමි. මම එකෙණෙහි දෙව් ලොව උපන්නේ මෙම ගාථාවන් කීමි.

සර්වඥ තෙම ආශ්චර්‍යයකි. ධර්මය ආශ්චර්‍යයකි. අපගේ සාස්තෲ සමිපත්තිය ආශ්චර්‍යයකි. මාගේ සිරුර හෙන පහරින් ඇදවැටුනි. ඉන් චුතවූ මම දෙවලොව සිත් අලවා වසමි. පැන නැගනාවූ මාගේ සත්බුමු විමන උස්ව නැගනේය. හැම කල්හි සියක් දහසක් කන්‍යාවෝ මා පිරිවරත්. මට ආබාධයෝ නොවෙත්. මට ශෝකයත් නැත. පරිළාහයන් තැවීමක් නොදකිමි. පුණ්‍ය කර්මයාගේ මෙ විපාකයයි.

දෙදහස් අසූවන කපෙහි සත්රුවනින් යුක්තවූ මහත් බල ඇති සංවසිත නමි සක්විතිරජෙක් වීමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. වීජනි වග්ග.)

බොධියට ධජ පූජා කිරීමේ හා පිරිසිදු කිරීමේ අනුසස්.

ධජදායක ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම බෝරුකෙහි සතටුවූයේ, සතටු සිතින්ම ධජයක් නැගීමි.

බෝධියෙන් වැටුණු කොළ ගෙන පිටතට බැහැර කරවීමි. ඇතළත පිරිසිදු පිටතද පිරිසිදු විශේෂයෙන් කෙළෙසුන්ගෙන් මිදිණු ආශව රහිතවූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන් උතුම බෝධිය වැන්දෙමි. පූජාවන් පිළිගන්නාවූ නොහොත් ලෝවැස්සනගේ පූජාවන්ට ගෙයක් වැනිවූ ශාස්තෘවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මේ ගාථා වදාළ සේක. මෙම ධජ දානයෙන්ද බෝපත් බැහැර කිරීම වශයෙන් කළ උපස්ථානයෝද යන මෙ දෙකින් හෙතෙම කල්ප ලක්‍ෂයක් මුඵල්ලෙහි දුගතියට නොයයි.

දෙවියන් අතර බොහෝවූ දිව්‍ය සෞභාග්‍ය සමිපත් අනුභව කරන්නේය. නොයෙක් සිය ගණන් වාරයක්හි රටෙහි රජ වන්නේය. නමින් උග්ගත නමිවූ සක්විති රජෙක්ද වන්නේය.

කුශල මූලයන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභවකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි සිත් අලවා වාසය කරන්නේය කියායි. උපශාන්තවූයේ, උපධි රහිතවූයේ වඩනා ලද වීර්‍ය ඇත්තේ වෙමි. සර්වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. )

බෝධි රෝපණයේ ආනිසංශ

අසනබෝධිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම තිස්ස බුදුරජාණන් වහන්සේ දිටිමි. පහන් සිත් ඇත්තේ, සොමනස්වූ මම තථාගතයන් වහන්සේ වෙත එළඹුනෙමි.

ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගණ ඇති, තිස්ස බුදුරජාණන් වහන්සේට සතුටුවූයේ, සතටු සිතින් උන්වහන්සේගේ බෝ රුකින් ඵලයක් ගෙන උතුමි බෝධියක් රෝපනය කෙළෙමි. නමින් අසන (පියා) නමවූ බෝධි වෘක්‍ෂයයි. එම උතුම බෝරුක පස්වසක් පිරිවරණය කෙළෙමි පිදීමි. ආශ්චර්‍යවූ, ලොමු දැහැ ගන්වන්නාවූ, පිපිනු පියා බෝ රුක දැක ස්වකීය කර්මය ප්‍රකාශ කරන්නේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹුනෙමි. එකල්හි සියල්ල තෙමෙ දැනගත්තාවූ, අග්‍ර පුද්ගලවූ, ඒ තිස්ස සර්වඥ තෙමෙ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළ සේක. යමෙක් විසින් මෙම බෝධිය රෝපණය කරණ ලදද, බුද්ධ පූජාව මැනවින් කරණ ලදද, මම ඔහු කවරෙක්දැයි ප්‍රකාශ කරන්නෙමි. ප්‍රකාශ කරන්නාවූ මාගේ වචනය අසවි.

හෙතෙම තිස් කපක් දෙවියන් අතරෙහි දිව්‍ය රාජ්‍යය කරන්නේය. සූ සැට වරක් සක්විති රජ වන්නේය. කුශල මූලයෙන් මෙහෙයන ලද්දේ, තුෂිත දෙව් ලොවින් චුතව, දිව්‍ය මනුෂ්‍ය සමපත් දෙක අනුභව කොට මිනිසත් බැව්හි සිත් අලවා වසන්නේය. වීර්‍යයෙන් මෙහෙයන ලද සිත් ඇති, උපශාන්තවූ, උපධි රහිතවූ, හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශව රහිතව පිරිනිවන් පාන්නේය කියායි.

විවෙකයෙහි යෙදුනේ, උපශාන්තවූ, උපධි රහිතවූ මම හස්ති රාජයෙකමෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
මින් දෙඅනූවන කපෙහි වූ, එකල්හි එම පියා බෝධිය රෝපණය කෙළෙමි. ඒ හේතවෙන් දුගතියක් නොදනිමි. බෝධි රෝපනයෙහි මෙ විපාකයයි.
(අපදාන පාළිය. ථෙරාපදානය.)

ප්‍රිය මිතුරනේ අපදාන පාළියේ තවත් බෝධි පුජා ආනිසංශ දැක්වෙන අපදාන දක්වා ඇතත් මෙහිදී දක්වා ඇත්තේ වර්ථමානයේ ජනප්‍රිය වූ පූජාවන් හා සමිබන්ධ වූ ආනිසංශ දැන්වෙන අපදානයි. කෙසේ වෙතත් මෙහිදී ඉහත අපදානයන්ගේ ඒ ඒ කතාවේ වර්ණ කර ඇති කොටස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමටයි මේ සූදානමි වනුයේ.

01)සුමනවිජනිය ථෙරාපදානය “විපස්සී බුදුරජුන්ගේ උතුමි බොධි වෘක්‍ෂය”
02) එක සංඛිය ථෙරාපදානය “යමි ශාස්තෘවරයෙකගේ බෝධියද මෙබදු පූජනීය වස්තුවක් නමි, ඒ උතුමා ලාමක කෙනෙකැයි නොහගිමි”
03) සකිංසමිමජ්ජක ථෙරාපදානය. “විපස්සී බුදුරජුන්ගේ උතුමිවූ පාටලී බෝධි වෘක්‍ෂ රාජයා දැක එහි සිත පැහැදවීමි”
04)තිපුප්ඵිය ථෙරාපදානය. “ඇතළත පිරිසිදුවූ පිටත ද පිරිසිදුවූ කෙළෙසුන්ගෙන් මැනවින් මිදුණු ආශ්‍රව රහිතවූ ලෝක නායකවූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහිදී මෙන් පළොල් බෝධිය වැඳ”
05)ගෙන්‍ධාදකිය ථෙරාපදානය.”සර්වඥ තෙම ආශ්චර්‍යයකි. ධර්මය ආශ්චර්‍යයකි. අපගේ සාස්තෲ සමිපත්තිය ආශ්චර්‍යයකි”
06)ධජදායක ථෙරාපදානය “ඇතළත පිරිසිදු පිටතද පිරිසිදු විශේෂයෙන් කෙළෙසුන්ගෙන් මිදිණු ආශව රහිතවූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන්”
07)අසනබෝධිය ථෙරාපදානය. “ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගණ ඇති, තිස්ස බුදුරජාණන් වහන්සේට සතුටුවූයේ, සතටු සිතින් උන්වහන්සේගේ”

එක් එක් අපදානයෙන් උපුටන ලද මේ කොටස් දෙස බලනා විට ඔබට හැඟී යන්නේ කුමක්ද? ආශ්‍රවයන්ගෙන් මිදුනාවු මේ රහතුන්වහන්සෙලා ඒ උත්තම වූ පුන්‍ය කර්මය කිරීමෙ දී මෙනෙහි කර අත්තේ අන් කිසිවක් නොව බුදු ගුණමය, දහමි ගුණමය, සඟුන් ගුණමය. මගේ මේ අපලය දුරැවේවා, මේ දුක නැති වේවා!, මේ මේ දේ මට ලැබේවා කියා ලොභ සිත් උන්වහන්සේලා තුල නොවීය, මට මේ කරදර ඇතිවී තිබෙනවා. මේ මේ දුක් ඇතිවී තිබෙනවා! මේව වලට මම පොඩිඩක් වත් කැමති නෑ. මේ වා ඒකාන්ත වශයෙන් නැතිවෙන්න ඕන. මට කිසිම දුකක් වේදනාවක් වෙන්න හොද නෑ ආදී වශයෙන් දුක්ඛ වේදනාවට ද්වේශ කරමින් ‍සුඛ වේදනාවට පලාභ කරමින් දොශ සිත්ද උන්වහන්සේලා තුල නොවීය. මේ බෝධිය මහා බල සමිපන්නයි. මේකේ දෙවිවරැ එහෙමත් ඇති. මේකට වැඳ වැඳ ගිය ගොඩ දෙනෙක්ට මේක මේක ලැබිලා තියෙනවා ආදී වශයෙන් හටගත්තාවු මොහ සිතුවිලිද උන්වහන්සේලා තුල නොවීය. ‍‍මෙබදු මහත් ආශ්චර්‍යමත් පුන්‍ය ශක්තියක් ඇති කුසලයක් සිදුකිරීමට උන්වහන්සේලා තුල එක් දෙයක් තිබිණි. ඒ තමයි තුන්රැවණ කෙරෙහි වන්නාවු පැහැදීම. ඒ පැහැදීම තුලින්මයි මේ ලැබුවා වූ සැප සමිපත් ලැබුවේ. ඒ පැහැදීම තුලිමයි ඒ පුජාවන් සිදුකලේ, ඒ පැහැදීම තුලින්මයි ඒ සංස්කාර රැස් කලේ, ඒ පැහැදීම තුලින් මයි සියළු දුකින් මිදුනාවු පරම ශාන්ත වූ, සියළු සුඛයන් පැරයූ, උතුමි වූ නිවනින් නිවී සැනසුනේ.මෙවන් ආශ්චර්‍යක් සිදු කලේ ‍බෝරැකක් නෙමයි ඒකාන්ත වශයෙන් තුන්රැවන කෙරෙහි ඇතිකර ගත්තාවූ පැහැදීමයි, ශ්‍රද්ධාවයි. මේ කරැණ වැටහෙන්නට ඇති යන්නයි අපගේ අදහස.

මේ සියලු දෙවල්වල සාරාංශය

01)බෝගසකට කුසල් ලබා දීමේ හෝ පැමිණි දුක් දුරැ කිරීමේ ශක්තියක් නැත.

02)කුසල් හට ගන්නෙත් අකුසල හට ගන්නේත ස්වකීය සිතින්ම විනා බෝගස තුල නොවේ.

03)බෝධි පුජෘවකින් යමි ආශ්චර්‍යමත් ඵලයක් යමෙක් ලැබුවා නමි එසේ ලබන්නේ නමි එය තුන්රුවන නිසාම සිදු වන්නකි. ඒ නිසා තෙරුවන් සරණ ගිය පුද්ගලයෙකුට පමණක් බෝධිපූජාවෙන් ආශිර්වාද ලැබේ.

04)බෞද්ධයන් බෝධියට පූජා කරනුයේ “ගසක් වදිමි” යන අර්ථයෙන් නොව. ඒ තුලින් කාටත් කුසල් කිරීමට පහසු වන ශාන්ත වු අරමුණක් ජනිත කර ගැනීමට පහසු බැවිනි.

05)බෝධි පුජා කිරීමේ දී මට මේ මේ දේ ලැබේවා! ආදී වශයෙන් ලොභයෙන්ද, පැමිණි විපතට ද්වේශයෙන්ද, ගසකින් මේ මේ දේ ලැබේය යන මොහයෙන්ද යුතුව යම් ක්‍රියාවක් කරන්නේ නමි අකුසල මූල මුල් වී කරන්නාවු ඒ ක්‍රියාවන් කුසල් නොව අකුසල්ය.

06)එබැවින් බෝධි පුජා පමණක් නොව කුමන කුසලයක් කලද ඒවා අලෝභ, අදෝශ, අමෝහ යන කුසල මූලයන් හැකි පමණ ඇතිවන සේ කල යුතුය.

ඉතින් යාලුවනේ බෝධි පූජාව කියන්නෙ ඉතාම වැදගත් පූජාවක්. බුදුහිමියන්ගෙන් පවා කළගුණ සැලකුම් ලද වෘක්ෂයක්. ඔයාලත් සිහිබුද්ධිය ඇතිව මෙම පූජාව කරන්න. ඔබට ජය නියතයි.

සියලු කුසලානුභාවයෙන් උතුම් නිවනම අවබෝධ වේවා!

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සංදේශය ලොව පුරා රැගෙන යාමට මාහට අනන්ත ශක්තිය ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

යහලුවනේ මගෙ ලිපි බලන වැඩිදෙනෙක් මගෙ ගිණුමෙ යාලුවො නෙවෙයි. ඒත් මම ඕනැම කෙනෙකුට මේ ගිණුමට එන්න විවෘතකලේ ඔබේ යහපත වෙනුවෙන්. ඒත් සමහර අන්තවාදී අය මගෙත් එක්ක තරහයි. මොකද ශාසනයට අපේම ඈයො කරන හානියට විරුද්ධව කථාකරන නිසා. ඉදිරියේදී මගේ ගිණුම අවහිර කිරීමේ අවදානමක් තියෙනව. ඔයාල මගෙ යාලුවො නෙවෙයිනම් මගේ යාලවෙක් වෙන්න කැමතිනම් කරුණාකරල රික්වෙස්ට් එකක් කරන්න. ඒක මගෙ ගිණුම ආරක්ෂාකරගන්න කරන උදව්වක්.

දෙව්, බඹ, සුර, නර සාධුකාර මැද ශ්‍රී දළදා වහන්සේ පෑ අසිරිමත් පෙළහර ...
ඔබේ සමීපතමයන් නිතර ලෙඩ වෙනවනම් මේ පිළියම කරල බලන්න.
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.