බුදුසමිදු දැකගනිමු ... - IFBC Organization | Dhamma

පින්වත් යාලුවන්ට බුදුසරණින් ආයුබෝ වේවා කියල ප්‍රාර්ථනා කරනව. අද මම කථා කරන්න යන්නේ ඉතාවැදගත් මාතෘකාවක් පිලිබදවයි. ඒ බුදු සමිදු දැකගනිමු යන මාතෘකාවයි. මම හිතන්නෙ මගෙ ඉතිහාසය තුල මම ලියන හොදම ලිපිය මේක වෙන්න ඇති. ඒ නිසා අනිවාර්යෙන් කියවන්න. යාලුවන්ටත් යවන්න.
පින්වත් යාලුවනේ අද බොහෝ දෙනෙක් බුදුවරයෙක් කියන්නෙ කවුද කියලවත් දන්නෙ නෑ. සමහරු නිර්දය ලෙස අපහස කරනව උන්වහන්සේට. එක අන්‍යාගමික මල්ලියෙක් දාල තියෙනව බුදුවරු උපදින්නෙ අවුරුදු පන්දාහෙන් පන්දාහටනම් කකුසද බුදුහාමුදුරුවො ගල් වැද්දෙක්ලු. බලන්න මෙයාලගෙ ඔලුගෙඩිවල තරම. බුදුවරයෙක් උපදින්නෙ වසර පන්දාහට සැරයක්ද? මොනතරම් මේ අයගෙ ඔලුගෙඩි නරක් වෙලාද? අනිත් අතින් බලන්නකො ඔය මිසදිටු ආගම් දිහා. එයාල තමන්ගෙ දෙවියන් අදහන්නෙ එක්කො බයට. මට දඩුවම් කරයි කියල. එයාල හිතනව ස්වභාවික විපත් වෙන්නෙ දෙවියන්ගෙ කැමැත්ත නිසා කියල. අනික තමයි එයාල සැප ලබන්න යාඥා කරනව. එහෙමනම් එයාලට දෙවියො සැප ගෙනත් දෙන්න පුලුවන්නෙ. මොකටද ඉගෙනගන්න, රැකියා කරන්න මහන්සි වෙන්නෙ. දැන් ඔය කිතුණු, මුස්ලිම් ආගම් අනුව එයාල කියන්නෙ දෙවියො දුක් වෙනවලු ලෝකෙ මිනිස්සු දිහා බලල. දැක්ක නේද? දැන් අනිත් අය දුකින් මුදවනව තියා එයාලවත් දුකින් මිදිල නෑනෙ. දුකට මුල මොකක්ද? තණ්හාව නෙවෙයිද? ඉතින් බුදු දහම කියන්නෙ තණ්හාව නැතිකරන හැටි කියල දෙන දහමක්. තණ්හාව නිසානෙ දුක හටගන්නෙ, තණ්හාව නිසාමයි භය හටගන්නෙත්, තණ්හාව නැතිකල කෙනෙක් වේද ඔහුට බයක් නැත. එසේනම් ශෝකයක්ද නොවේ.

ඉතින් යාලුවනේ අන්න ඒනිසාමයි බුදු දහම අපේ ජීවිතවලට මේ තරම්ම වැදගත් වන්නේ. ලොව පරම පවිත්‍ර දහමක් වේද ඒ අපේ බුදුහිමියන්ගේ දහම පමණයි. දැන් අනිත් ආගම්වල අය අහනව ඔයාලගෙ ආගම විතරමද ‍ඇත්ත, අපේ ඒව බොරුද කියල. මෙහෙමයි. සමහර දේවල් වලට විකල්ප තියෙනව. දැන් දෙවිවරු ගත්තම විවිධ අය ඉන්නව. සමහරු නුවණට අධිපති, තවත් අය දැනුමට අධිපති, තවත් අය ධනයට අධිපති, දඩුවමට අධිපති අයත් ඉන්නව. ඉතින් ඕනි තරම් විකල්ප. දැනුම ඕනි අයට දැනුමට අධිපති එක්කෙනා ඉන්නව. මුදල් ඕනි අයට ඒකට අධිපති අය ඉන්නව. මුදලට අධිපති අය අදහන කෙනාට කියන්න බෑ අපේ කෙනා උසස් කියල. මොකද ඒ දෙවිය දැනුමට අධිපති නෑ. මෙන්න මේවගේ දෙයක් තමයි ඒ ඒ දෙවියන් ලග තියෙන්නෙ. (මේවත් ඉතින් මිත්‍යානම් තමයි. )
දැන් අපිට අවශ්‍ය සත්‍යයට අධිපති කවුද කියල. සත්‍යයන් දෙකක් මේ ලෝකෙ තියෙන්න බෑ කියල ඔයාල අවිවාදයෙන්ම පිලිගන්න ඕනි. ඕනිම කාරණයක් ඇත හෝ නැත යන දෙකින් එකක් විය යුතුයි නේද? මම මේ කියන්නෙ සත්‍යය සම්බන්ධව. එතකොට දැන් බුදු දහම විතරද සත්‍යය කියල අහන අයට ‍කියන්න තියෙන්නෙ මොකක්ද කියල ඔයාල හිතාගන්න. අනිත් ආගම්වල යම් යම් කරුණු ඇත්ත වෙන්න පුලුවන් කියමුකො. උදාහරණ විදිහට යම් දෙවිකෙනෙක් අදහන ආගමක ඒ දෙවිය අදාල පුද්ගලයට කුමක් හෝ උපකාරයක් කරනව වෙන්න පුලුවන්. මම කියන්නෙ කරනවමයි නෙවෙයි වෙන්න පුලුවන් කියලයි. දැන් ඔය සක්දෙවිදු බෝසතුන්ට උදව් පදව් කල අවස්ථා තියෙන්නෙ. ඒත් කවදාවත් දුක නිවන වැඩපිලිවෙලක්, පරම ශාන්ත සැපයක්, ස්ව උත්සාහයෙන් මෙලොව පරලොව දියුණුවන ක්‍රමයක්, ඔය කිසිම ආගමක නැහැ. මොකද දුක නැතිකරන්න අනිවාර්යෙන් තණ්හාව නැති කරන්නම ඕනි. දැන් ඔය නිර්වාණ කියන වචනෙ හැදිල තියෙන්නෙත් එහෙමනෙ.

නිර් = නැතිකිරීම (නිර්වින්දනය කියන්නෙ වින්දනය, නැතිනම් හැගීම් දැනීම නැතිකිරීම වගේ.)
වාණ = තණ්හාවට කියන නමක්
එහෙමනම් නිර්වාණ කියන්නෙ තණ්හාව නැතිකිරීමයි.

පැහැදිලි ඇති නේද? ඉතින් මේ පරම පවිත්‍ර බුදු දහම සොයාගත්ත පුද්ගලය තමයි තිලෝගුරු බුදුපියාණන් වහන්සේ. ඇයි මම සොයාගත්ත පුදගලය කිව්වෙ. මෙහෙම හිතන්න. අයිසැක් නිව්ටන් මහත්මය මොනවටද ප්‍රසිද්ධ උනේ. ගුරුත්වාකර්ශණය සොයාගත්ත පුද්ගලයා හැටියට නේද? එතකොට ගුරුත්වාකර්ශණය අයිසැක් නිවුටන් හදපු දෙයක්ද? නෑ ඒක විශ්වයේ පවතින දෙයක්. නමුත් අයිසැක් නිවුටන් මහත්මය ඒක තියෙන බව දැනගත්ත. ඒකෙ න්‍යායයන් සොයාගත්ත. දැන් අපිට පුලුවන් ඒ න්‍යායන් පාවිච්චි කරල අපේ සුඛ විහරණය සලසගන්න. දැන් බලන්න චන්ද්‍රිකාවක් පෘථිවියට නොවැටී අභ්‍යවකාශයට විසි නොවී තියෙන තැනක් අපි හොයාගෙන තියෙනව. ඒකට පදනම වැටුනෙ ගුරුත්ව න්‍යාය නිවුටන් විසින් සොයාගැනීම නිසා නේද? එතකොට නිවුටන් මහත්මය ගුරුත්වය සොයා නොගත්තනම් මොකද වෙන්නෙ. ඔබ කියයි වෙන කෙනෙක් හොයාගන්නව කියල. අපි නිකමට හිතමු අදවෙනකල් කවුරුත් හොයා නොගත්තනම්. අද අපිට අන්තර්ජාලයක් තියෙයිද? දියුණු සන්නිවේදන ක්‍රමයක් තියෙයිද? මා ඔබට ලිපි පලකරන මුහුණුපොතක් තියෙයිය? නෑ නේද? මොකද අන්තර්ජාලය පවතින්නෙ චන්ද්‍රිකා තාක්ෂණයත් එක්කයි. ගුරුත්වය ගැන සොයානොගත්තනම් චන්ද්‍රිකා තාකෂණයක් නැතිවෙන්න තිබුන.
අයිසැක් නිවුටන් මහත්තය බුදුපියාණන් වහන්සේ ට උදාහරණයක් විදිහට ගන්න බෑ. නමුත් බුදුහාමුදුරුවොත් කලේ මේවගේ දෙයක්නෙ. මගෙ බුදුහාමුදුරුවො අපමණ වෙහෙසිල සොයාගත්ත ලෝකයේ සත්‍යය. ඒ තමයි චතුරාර්ය සත්‍යය. ඒක බුදුහාමුදුරුවො හදපු දෙයක්ද? බුදුහාමුදුරුවො නිර්මාණය කල දෙයක්ද? නෑ. ලොව පවතින සත්‍යය උන්වහන්සේ හදුනාගත්ත. එහි න්‍යායයන් හදුනාගත්ත. මොකක්ද හදුනාගත්ත සත්‍යය.

‘සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාව’ (සබ්බේ සංඛාරා අනිච්චා)
මතකනෙ අවසන් බුදුවදන. “මහණෙනි, සියලු සංස්කාරයෝ අනිත්‍යයි. අප්‍රමාදව කටයුතු කරව්.” මෙන්න මේ සත්‍යය උන්වහන්සේ විසින් දැක්ක. කිසිම දෙයක ස්ථිරත්වයක් නෑ. හැමදේයම වෙනස්වෙනව. සැපයි කියල අඛණ්ඩව විදින්න දෙයකුත්, දුකය කියල අඛණ්ඩව විදවන්න දේකුත් නැහැ. මේ දෙකම වෙනස්වෙනව. හැබැයි අනිතිමට ගත්තම දුක පමණයි ඉතුරුවෙන්නෙ. දැන් මේ දුකට හේතව මොකක්ද? තණ්හාව නේද? කිතුණු ආගමේ මල්ලියෙක් මගෙන් අහනව අම්ම පුතාට ආදරේ කරන්නෙ පුතා අම්මට ආදරේ කරන්නෙ තණ්හාව නිසාද කියල. මරිය තුමියට නිවන් දකින්න කියල පොස්ට් එකක් දාල තියෙනව. ඒක බලන්නකො. ඔය ප්‍රශ්නෙ අහල තියෙනව. පැහැදිලිවම ඔව්. අම්ම පුතාට දක්වන්නෙ බැදීමක්. ඒක මවගෙ ආදරය තමයි. හැබැයි ඒ බැදීමට හේතුව මොකක්ද? මේ මගෙ පුතා කියල දැඩිව අල්ලාගෙන සිටීමනෙ. ඉතින් මගෙ කියල යමක් තදින් අල්ලන් ඉන්නවනම් ඒ හිතේ තණ්හාව නිසා. එහෙනම් ඒකත් දුකක්. අම්මට විතරක් නෙවෙයිනෙ. තාත්තට උනත් මේදේම තමයි. එහෙනම් දුක නැතිකරන්න මොකද කරන්න ඕනි. තණ්හාව දුරුකරන්න ඕනි. එතකොට අපි තණ්හාව දුරුකරනකොට මේ බිරිද, මේ දරුව කියල හිස්තැන් තියල තණ්හාව දුරුකරන්න පුලුවන්ද? බෑ. සියල්ල අත්හරින තැන දුකක් නෑනෙ. දැන් සමහර වෙලාවට අපිට හිතෙන්න පුලුවන් සියල්ල අත්හැරියට බුදුහාමුදුරුවො සිවුර අත්හැරියෙ නෑ නේද? පාත්‍රය අත්හැරියෙ නෑ නේද කියල. නමුත් බුදුහාමුදුරුවො පෙන්වල දුන්න ජීවිතය පවත්වගෙන යන්න අත්‍යාවශ්‍ය අංග හතරක්. ඒව නැතිනම් ජීවිතයට පැවැත්මක් නැතිවෙන්න පුලුවන්. අත්හරිනව කියන්නෙ ඒක අල්ලගෙන නෑ කියන එකයි. ඉතින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්ච තියන අත්‍යාවශ්‍ය අංගයන් පමණයි අත්හරින්න උත්සාහ කරන කෙනෙක් ගාව තියෙන්න ඕනි.

චීවර කියන්නෙ ඇදුම්, පිණ්ඩපාත කියන්නෙ ආහාර, සේනාසන කියන්නෙ නිවාස හෝ නවාතැන් පල. ගිලානපච්ච කියන්නෙ බෙහෙත්. දැන් අපිට හුරුපුරුදු කරුණු හතරක් නේද මේ. ආහාර, ඇදුම්, නිවාස, බෙහෙත්. මේ මොනවද? එක්සත්ජාතීන්ගේ මහාමණ්ඩලය 1948 දෙසුම්බර් 10 වැනි දින සම්මතකරගත්ත මානව හිමිකම් පිලිබද විශ්ව ප්‍රකාශණය. එහි මිනිසෙකුගේ මූලික අවශ්‍යතා තමයි ආහාර, ඇදුම්, නිවාස, බෙහෙත් කියන දේවල. එතකොට ඒක සම්මත කරගන්න හරියටම අවුරුදු 2536කට කලින් බුදුහාමුදුරුවො ඔය කථාවම නේද කියල තියෙන්නෙ. ආයිත් මතක්කරගන්න. භික්ෂුවකගේ මූලික අවශ්‍යතා චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස.

දැන් බුදුහාමුදුරුවො සියල්ල අත්හැරල ඇයි මේ හතරක් විතරක් ලගින් තියාගන්න අවසර දුන්නෙ. ඒ තමයි මේ මනුස්ස ශරීරය ජීවත් කරවන්න අත්‍යාවශ්‍යම කාරනා ටිකට ඉඩ දුන්න එක. දැන් තවත් ප්‍රශ්නයක්. ඇයි දෙයියනේ සියල්ල අතුහැරිය මනුස්සයට ජීවිතය අත්හරින්න බැරිඋනේ. ඒක තමයි වැදගත්ම කාරනේ. උන්වහන්සෙ බුදුඋන ගමන් පිරිනිවන් පෑවනම් සූවිසි අසංඛ්‍යයිය නවකෝටි හැටලක්ෂයක් පමණ නිවන් අවබෝධ කරගනීද? දැන් මගෙන් අහන්න එපා ඔයා ගනන් කලාද කියල. ඕක මම අහුවෙ පූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ බණකින්. එතකොට ජීවත්උනේ සතුවයාට නිවීම නැතිනම් නිදහස්වීම කොටින්ම නිවන් දකින්නෙ කොහොමද කියල කියල දෙන්නනෙ. ඇයි එතකොට රහතුන්ටත් ජීවත්වෙන්න අවසර දුන්නෙ. ඔබ දහම දන්න කෙනෙක්නම් ඒක අහන්න නෑ. මේ බලන්න.

බුදුහාමුදුරුවෝ පළමු රහත් හැටනම අමතා දේශනා කළේ” චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය…” ආදි විදියට නෙ. බහු ජන හිත පිණිසත් “අත්තාය හිතාය ” තමන්ගේ හිතසුව පිණිසත් යන කාරණා දෙකම අවධාරණය කර තිබෙනවා. ඒක භික්ෂුන්වහන්සේගේ වගකීමක් වෙනවා. භික්ෂුව හරියට ගංගාවක් වගේ. ගග ගැලුව කියල ගගට ඇති ඵලේ මොකක්ද? ඒකෙ ඵලේ තියෙන්නෙ ගග අවට ඉන්න අයටයි. අන්න ඒනිසයි භික්ෂුවට කිව්වෙ “පුඤ්ඤක්ඛෙත්තං” කියල. ඒ කියන්නෙ පින් නෙලාගන්න පින්කෙතක් වගෙයි භික්ෂුව.
දැන් අපිට පැහැදිලියි නේද දුක නිවාගන්න සියල්ල අත්හැරීමේ අවශ්‍යතාවය.
අපිට අද සමාජෙ තියෙන ලොකු ප්‍රශ්නෙකට උත්තර ලැබුන. ‍ “උඹලගෙ බුදුහාමුදුරුවො ගෑනියි ළමයයි දාල පැනල ගි‍යෙ” කියලයි ගොඩදෙනෙක් කිතුනු මල්ලිල අහන්නෙ. මේක‍ට උත්තරේ මම දීල තියෙනවනෙ දැන්. හැබැයි මෙතන බුදුහාමුදුරුවො පැනල ගියා කියන එක වැරදියි. ගියෙ සිදුහත් කුමාරය. ඒත් පැනල ගියා නෙවෙයි. මජ්ඣිම නිනිකායේ (1),397 පිටුවෙහි එන අරිය පර්යේෂණ සූත්‍රය කියවපු කෙනෙක් මේ ප්‍රශ්නය අහන්නෙ නෑ.
“ මහණෙනි, මම එයින් ටික කලකට පසු තරුණ වයස් ඇත්තෙමි. කලු වූ හිසකෙස් ඇත්තෙමි. පළමුවෙනි වහසෙහි යහපත් යොවුන්බවින් යුක්ත වූයේ නොකැමති වූ දෙමාපියන් හඩද්දී හිසකෙස් රැවුල් බා කහවත් ඇදගෙන ගිහිගෙයින් නික්ම අනගාරීව පැවිදි වූයෙමි. මෙසේ පැවිදි වූ මම කුසල් සොයමින් නිරුත්තර වූ උත්තම නිර්වාණය සොයමින් කාලාම ගෝත්‍ර ඇති ආළාර කාලාම තවුස් තෙම යම් තැනකද එතනට ගියෙමි.” දැන් පේනව නේද පැනලද ගියෙ කියලද ගියෙ කියල. ඊලගට මේ අම්මවයි දරුවයි දාල ගියාම එයාලට කන්න බොන්න හිග උනාද ? නෑ. ඒව සියල්ල නිසි පරිදි ලැබුන. එතකොට මේ ගියෙ නරක ගමනක්ද? නෑ තුන්ලොවක්සනසන්න. දැන් මෙකක්ද මේ තුන්ලොව. අපාය, දිව්‍යලොව, මනුස්ස ලොවද? නෑ නෑ ගොඩදෙනෙක් හිතන්නෙ ඔහොම.
තුන්ලොව කියන්නෙ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන 3ට. ඒවට තුන් ලොව කියනවා.කාම ලෝකයට දිව්‍යලෝක 6ත් සතර අපායත් මිනිස් ලෝකයත් අයිතියි. රූප ධ්‍යාන වඩපු අය රූපාවචර බ්‍රහ්මලෝකවල ඉපදෙනවා.අරූප ධ්‍යාන වඩපු අය අරූපාවචර බ්‍රහ්මලෝකවල ඉපදෙනවා. මේ හැම ලෝකයකම ඉන්න සත්ත්වයන්ට නිවන් මග කියාදුන්නේ බුදු රජාණන් වහන්සේ.තුන් ලොවටම අග්‍ර වෙන්න හේතුව ඒකයි. ලොවටම ශාස්තෘන් වහන්සේ (ගුරුතුමා) වෙන්න හේතුව ඒකයි. දැන් ඒ කාරනා පැහැදිලි ඇති.
දැන් අපි බලමු කවුද මේ බුදුරජාණන් වහන්සේ කියල. අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ චක්‌ක වර්ගයේ “ද්‍රෝණ ලෝක සූත්‍රයේ”සදහන්වන පරිදි බුදුරජාණන් වහන්සේ දිනක් උක්කට්ඨා සහ සෝතව්‍යා නගර මැදින් ගමන් කරන්නාහ. එහි දී ද්‍රෝණ නම් බමුණා බුදුරජාණන් වහන්සේ ගේ පා සටහන් දැක මේ නම් ඒකාන්තයෙන් ම මනුෂ්‍යයකු ගේ පා සලකුණු නොවන්නේ යැයි කල්පනා කළේය. උපශාන්ත ඉරියව්වෙන් වැඩ සිටින බුදුරජාණන් වහන්සේ දැක මෙසේ විමසන්නේ ය.

“ඔබ වහන්සේ දෙවියෙක් ද?” “බමුණ මම දෙවියෙක් නොවෙමි.” බුදු හිමියෝ පිළිතුරු දුන්හ.
“ඔබ වහන්සේ ගාන්ධර්වයෙක් ද?” “මම ගාන්ධර්වයෙක් ද නොවෙමි.”
“ඔබ යක්ෂයෙක් ද?” “බමුණ මම යක්ෂයෙක් ද නොවෙමි.”
“එසේ නම් ඔබ මනුෂ්‍යයෙක් ද?” “බමුණ මම මනුෂ්‍යයෙක් ද නොවෙමි.”

“ එසේ නම් ඔබ වහන්සේ කවුදැයි මට හඳුන්වා දෙනු මැනවි” යි ආයාචනා කළේය.
එවිට මුවපියුම විදහාහල වීතරාගිකයාණෝ
“ නෙළුම්මලක්‌ දියෙහිම හටගෙන, හැදී වැඩී, පෝෂණය වී එම දියෙහිම ඉස්‌මතු වන්නේය. එසේ මතුවන නෙළුම දියෙහි නොගැටී තිබෙන්නේ යම් සේද, මම ද මේ ලෝකයේ මිනිසුන් අතර ඉපදී, හැදී වැඩී පෝෂණය වී නෙළුම දියෙන් ඉස්‌මතුවී, දියෙහි නොගෑවී නොගැටී සිටින්නා සේ මේ ලෝකයේ මිනිසුන් අතර ඉපදී, හැදී වැඩී පෝෂණය වී, ලෝකයාට ගැටීමක්‌ නොමැතිව, ඇලීමක්‌ නොමැතිව ලෝකයේ ඉස්‌මතුව සිටින්නේය. මම මනුෂ්‍යයෙකි. කෙලෙස් ගග සිද සම්බුද්ධත්වයට පත්වූ භාග්‍යවතෙකි’’. (බුද්ධෝති මං බ්‍රාහ්මවේධාරිනි) – අංගුත්තර නිකායේ ද්‍රෝණ සූත්‍රය.

මේ ගැටලුවම උපක ආජීවකයා ඇසූ අවස්ථාවේ දුන් පිලිතුර වූයේ “මම අනන්තජින වෙමි. මට ගුරුවරයෙක්‌ හෝ වෙනත් ශාස්‌තෘවරයෙක්‌ හෝ නැත්තේය. මම ගෙවී ගිය වෙසක්‌ පෝ දින කෙලෙස්‌ මළ හැරපියා බුද්ධත්වයට පත්වීමි. ආශාවෙන්ද තෘෂ්ණාවෙන්ද භරිත වූ මේ ලොව වීතරාගී යම් කෙනෙක්‌ වෙත්ද ඒ මම වෙමි. දෙව් බඹ සුර නර සියල්ලෝම මට වන්දනා කළහ. පාපී මාරයා මා දිරි බිඳිණු සඳහා පැමිණ පැරද පලා ගියේය. මා මැඬලන්ට හෝ අභිබවාලන්ට මේ තුන් ලොව කිසිවෙක්‌ද නැත. මම අරහත් වන්නෙමි විමුක්‌ති මාර්ගය ලෝ සතට පෙන්වා දීමට කැප වන්නෙමි. ”යි වදාල සේක.
පින්වත් යාලුවනේ මේ උත්තම මනුෂ්‍ය රත්නය මුලු විශ්වයම ජයගත්ත කෙනෙක්. ඔයාල දන්නවනෙ රතන සූත්‍රය ගැන. කෝටිලක්ෂයක් සක්වලට ආඥාචක්‍රය පැතිරුව රතන සූත්‍රය තුලින්.
ඔයාල කියවල තියෙනවද සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය. මම මේව ගැන ලිපි දාල තියෙනවනෙ. ඒව කියවන්න නිකන් ඉන්න ගමන්. පින්තූර හයසිය ගණනක් තියෙනව. ඒවට ආදාල ව බොහෝවිට ලිපි තියෙනව. ඒව කියවන්න. සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රයේ ලින්ක් එක comment එකක් විදිහට අන්තිමට දාල ඇති. කියවන්න.
දැන් එම සූත්‍රයේ කියවෙනව
“ආනන්‍දය, තථාගත තෙමේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශරීරාලෝකයෙන් පතුරුවන්නේය. යම් විටක ඒ සත්ත්‍වයෝ ඒ ආලෝකය දැනගන්නාහු නම්, එකල්හි තථාගත තෙම කථා කරන්නේය. ශබ්දය අස්වන්නේය. ආනන්‍දය, මෙසේ තථාගත තෙම ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශබ්දයෙන් හඟවන්නේය. යම්තාක් කැමතිනම් ඒතාක් හඟවන්නේය.”

පින්වත් යාලුවනේ ඔයාල ඔය සූත්‍රය කියවල සම්පූර්ණ ‍විස්කර දැනගන්න. දැන් පැහැදිලිද අපේ බුදුහාමුදුරුවො කොහොම කෙනෙක්ද කියල.

යාලුවනේ බුදුහාමුදුරුවන්ට ක්ෂේත්‍ර තුනක් තියෙනව. ඒ තමයි බුදධ ක්ෂේත්‍රය, ආඥාක්ෂේත්‍රය හා විෂය ක්ෂේත්‍රය.
මේ බලන්න
1. සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000 = සක්වල 10^3 – බුද්ධ ශ්‍රාවක ආඥා පැතිරිය හැකි ක්ෂේත්‍රය
2. ද්වී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000X1000 = සක්වල 10^6 – බුද්ධ උප්පතිආදියෙහි මංගල ලකුණු පහල වන ජාති ක්ෂේත්‍රය. බුදුවරයෙක් උපත, බුදුබව, ප්‍රධම ධර්මදේශනය, පිරිනිවීමේදී මංගල ලකුනු පහලවේ. මේතාක් සක්වලක එම මංගල ලකුණු පහලවේ.
3. ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000X1000X1000 = සක්වල 10^9 – බුදුන් ගේ ආඥාව බලපවත්වන ආඥා ක්ෂේත්‍රය. රතන සූත්රය වැනි සූත්‍ර මෙතරම් දුර ආඥාව පතුරවයි.

4. අනන්ත ලෝක ධාතුව – බුදුන් වහන්සේගේ දැනීමට ඇතුලත් වන විෂය ක්ෂේත්‍රය. බුදුහිමියන්ට අනන්ත ලෝක ධාතූන් පිලිබද අපමණ දැනුමක් ඇත.

(විස්තර සූවිසි මහා ගුණය – පරම පූජණීය රේරුකානේ මාහිමි සම්පාදිත පොතේ ලෝකවිදූ ගුණය පැහැදිළි කිරීම ඇසුරින් සකසන ලදි) (උපුටාගත් තැන පහල දක්වා ඇත)

වරක් බක නම් බ්‍රාහ්මනයෙක් හිතුව එයා ඉන්නතැන නිත්‍යයි, සුඛයි සහ ආත්මයි කියල. ඒ දැකපු බුදුපියාණන් වහන්සේ හැකිලූ අතක් දිග අරින සැනින් එතනට වැඩම කලබව සදහන් වෙනව. ඒ විතරක් නෙවෙයි මහා ඍද්ධි ප්‍රාතිහාර්යයන් පෑව.
මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කරවා වප් පොහොය දිනෙක පොළවට වැඩමකරමි ආශ්චර්යය දැක්වූ හැටි ඔබ අසා ඇති.
පින්වත් යාලුවනේ, මෙතරම් මහා බලගතු උත්තමයෙක් නේද මගෙ බුදුපියාණන් වහන්සේ. ඒත් උන්වහන්සේ මොනතරම් සරල සාමාන්‍ය මනුෂ්‍ය රත්නයක්ද? රුවන් වැහි වස්සවන්න පුලුවන් තරම් මහ බලගතු උත්තමයෙක් නේද සිව්රයි පාත්තරෙයි අරන් ගස්කොලන් යට වැඩ උන්නෙ.
හිතන්න යාලුවනේ. කොහෙවත් නොපෙනෙන දෙවියෙක් මගින් නැතිව තමන් වහන්සේ කර්ම ශක්තියෙන් අම්මගෙ කුසට ආව. කාගෙවත් පණිවිඩයකින් ආවෙ නෑ. හැබැයි සතරවරම් දෙවිවරු මව්කුසට හානි නොවෙන්න රැක්ක කියල කියනව. ( සූත්‍රය අහන්න එපා ඒක මම අහපු කථාවක්. ) බොහොම සාමාන්‍ය විදිහට අම්මගෙ කුසින් එලියට ආව. එතුමන් සහම්පතී බ්‍රාහ්මණය දෝතට පිලිගත්ත කියල සදහන් වෙනව. මහා පුදුමයන් දක්වමින් උපන් හැටියෙම ඇවිදගෙන ගියා. එහෙම කරපු ළමයි ගැන කට කථාවල කියවෙනව. ( ඔය ඉංග්‍රීසි ජාතික ළමයෙකුත් එහෙම ඇවිදල කථාකල බව මම පසුගිය කාලෙක තොරතුරක් දැක්ක. ඒ කියන්නෙ ඒකත් පින්වන්තයින්ට සාමාන්‍ය දෙයක්. ) ඊලග‍ට ලොව පහල උන ශ්‍රේෂ්ඨතම පුතා පියවර හතක් ඉදිරියට ඇවිදගෙන ගියා. ලෝකයට සිංහනාද කලා.
බෝසත් පුතෙක් ඉපදුනු කුසක් නැවත වෙන කෙනෙකුට ඉපදීමක් වෙන්න බැරි තැනක්. ඒ නිසා මව දින හතෙන් මැරුන. ඒක නියමයක්. ඒවගේ නියම තිස්ගණනක් තියෙනව. මට හරියටම මතක නෑ. මම පොස්ට් එකක් දාන්නම්කො ඒ ගැන. උදාහරණයක් විදිහට ඔය සත්පියුම් මත වැඩම වීම, දින හතෙන් මව මියයාම, අභිනිෂ්ක්‍රමණය, මේව සෑම බෝසත්වරයෙකුට පොදු කාරනා. පොස්ට් එකක් දාන්නම් ඉදිරියෙදි.
ඉතින් බොහොම සාමාන්‍ය දරුවෙක් වගේ ලොකු මහත් උනා. විවාහ උනා. දරුවෙක් ලැබුව. සසර කළකිරුන. මහණ උනා. සත්‍යය සොයා ගියා. නොලැබුන තැන තනියම උත්සාහ කලා. අන්තිමේදි ලොව්තුරු සම්බෝධියට පැමිනුනා. බලන්න මොනතරම් සරල විදිහට සාමාන්‍යය විදිහට ජීවිතය ගලා ගියාද කියල.

දැන් කලින් කියෙව්වනෙ මගෙ බුදුපියාණන් වහන්සෙගෙ හැකියාවන්. ඉතින් එවන් උත්තමයෙක් මොනතරම් ආඩම්බර වෙන්න ඕනිද? බලන්න බුදුහාමුදුරුවො ගතකල ජීවිතය. සමහර දාට එලිවෙනකම් ගසක් මුල. සමහරදාට කොහේ හරි ගල්ලෙන. නැත්නම් ලොකු පර්වතයක් යට. ජේතවනාරාමය, වේලුවනාරාමය, පූර්වාරාමය, ආදී අනන්තවත් සුවපහසු තැන් තියද්දි නේද මේ එලිමහනෙ වැඩ හිටියෙ. ඇයි ඒ. මගෙ බුදුහාමුදුරුවො කිසිම දෙයක් අල්ලගෙන නැති නිසා. උන්වහන්සේට කොතනත් එකයි. මහා ආරාමයත්, දුගී කුටියත්, ගහ කොලත්, ගල් ලෙනත් උන්වහන්සේට වෙනසක් නෑ. පොරවන් ඉන්න සිවුරයි, තව සිව්රකුයි, පාත්තරෙයි හැර අන් කිසිවක් උන්වහන්සේට නෑ. හරිම සැහැල්ලුයි. හරිම අල්පේච්ඡයි.
මේ මහා පුරුෂයට මහා මන්දිරවලින් ආරාධනා ලැබුන දාන වේලට. අවශ්‍ය ඕනෑ වෙලාවක ඕනිම රජ ගෙදරකින් දානෙ ගන්න තිබුන. ගත්තද ? නෑ. අසරණ අහිංසක පැල්පත් ගානෙ වැඩිය. අසරණ මිනිස්සු බනිද්දි, කුලියක් කරන් කාපන් කියද්දි, සිගාකනව කියල අපහාස කරද්දි පවා ඒ ඇත්තන්ට මහා කරුණාවෙන් ඒ තැන් වලටම වැඩම කලා. අක්කෝසක බාරද්වාජ බමුණා කෙරේ මෙත් සිතින් එහි වැඩිය වෙලේ “ කුඹුරක් කරන් කාපන් ” කිව්ව. “මමත් කුඹුරක් වපුරනව” කියල දහම් දෙසුව නේද? රජවරු සිටුවරුන්ගේ දැඩි විරෝධය මැද්දේ අම්බපාලී ගණිතාවගේ දානයට වැඩිය නේද? ඒතියා තමන්ගෙ ගෙදරට ගිහින් පවා කිඹුල්වත්නුවර පුරා පිඩුසිගා වැඩිය. ගෙදර බත්ටිකවත් බලෙන් ඉල්ලන් කන්න ගියෙ නෑ නේද? වේරංජනාවේ වස්කාලයෙදි අපූරුවට වෙන තැන්වලට ඍද්දියෙන් වඩින්න තිබුනෙ නැද්ද? දස සහශ්‍රී ලෝකධාතුව කම්පාකල උත්තමයෙකුට අල්ලපු ගමට ඍද්ධියෙන් යන්න බැරිද? ඒත් ගමේ මිනිස්සු එක්ක එකට දුක බෙදාගත්ත නේද? අශ්වයන්ට දෙන කෑම වලදල සැනසුනා. වරක් මාරය බුදුහිමියන්ට දානෙ ලැබෙන එක නැවැත්තුව නේද? දානෙ නොලැබිල ආපසු වඩිනකොට මාරය හිනාවෙලා කිව්ව ආයි වඩින්න, දානෙ ලැබෙයි කියල. වැඩියද? නෑ කුසුගින්නෙ ඉවසන් හිටිය පහුවදා වෙනකල්. මේ තමයි අපේ බුදුහාමුදුරුවො.

තමන්ගෙ පුතා රාහුල, සැඩොල් කුලේ සුනීත, සොහොනෙ තනිඋන සෝපාක, මේ කවුරුත් එකම මට්ටමින් සැලකුව නේද? මගෙ පුතා රාහුල කියල වැඩියෙන් සැලකුවද? කවදාවත් නෑ. අනිත් අයට අඩුකුලේ කියල අඩුවෙන් සැලකුවෙත් නෑ. සෝපාක අමුසොහොනෙ ඉද්දි, කෑගහද්දි, අඩද්දි, බුදුහාමුදුරුවො ගදකිලියෙන් දම්සභා මණ්ඩපයට වඩිමින් සිටි අවස්ථාවයි. ඒ මහා කරුණා දෙනෙතට ඒ අසරණ දරුවව හසුඋනා. මහ ජනතාවගේ සාධුකාර හඩ මැද්දෙ වඩිනගමන් ක්ෂණිකව අතුරුදන් උන උන්වහන්සේ ඊලග නිමේශයෙ දම්සභා මණ්ඩපයෙ පෙනී හිටියෙ පුංචි පුතෙක් අතින් අල්ලගෙන. ඒ තමයි පුංචි සෝපාක පුතා බුදු පියාණන් ලගට වැඩි හැටි.
තාත්තගෙ කිසිම අනුකම්පාවක් නොලබපු පුංචි පුතෙක් හිටිය. නම මට්ඨකුණ්ඩලී. තාත්ත වස්තු තණ්හාවෙන් පණ අදින පුතා අගුපිලට දාල තිබුනනෙ. තමන්ගෙ තාත්ත අම්මවගෙන්වත් ආදරයක් නොලබපු පුංචි පුතාව දැකපු මේ මහා පුරුශෝත්තමයගෙ කරුනා දැලට මේ කොලුපැංච අසුඋනානේ. උන්වහන්සේ එතනට වඩිද්දි මේ පැංච පණඅදිමින් හිටියෙ බිත්තිය පැත්ත බලාගෙන. බුදුහාමුදුරුවො කථාකරල කරදර කරන්න ගියෙ නෑ. ෂඩ්වර්ණ රශ්මි ධාරාවක් යවල පුන්චි පුතාට ඉගියක් කලා. නිල්, කහ, රතු, සුදු, තැඹිලිපාට එළිවගයක් බිත්තිය පැත්තෙ පෙනෙද්දි අමාරුවෙන් ඔලුව හරවල බැලුවේ කවුදමේ කියලයි. තිලොවට තිලක අමාමෑණී පියාණන්වහන්සෙ මහා කරැණා දෙනෙතින් ඔහුසෙ බලා ඉන්නව. තමන්‍ෙ අම්මට, අප්පච්චිට අමතක උන තමන්ව බලන්න බුදුසාදු ඇවිත්. පුංචි පුතාට සාධු කියවුනත් එක්කම පුතා මෙලොවින් සදහටම සමුගත්ත. හැබැයි ඒ අපායට යන්න නොවෙයි. මට්ඨකුණ්ඩලී නම් ගව් තුනක් උස විමානයක් හිමි මහේශාක්‍ය දෙවිකෙනෙක් විදිහට උපතලබමින්. බලන්න මොනතරම් කාරුණික පියෙක්ද මගෙ සම්බුදු මැණික.
තවත් අවස්ථාවක අහින්සක අම්මකෙනෙක් කාගෙන්වත් පිලිසරණක් නැතිව ජීව්වෙන වෙලාවක් තිබුන. අම්ම අද මියයනව. අම්මගෙ ඇස්පෙනීමත් හරිම දුර්වලයි. යන්න එන්න බෑ. හොදටම ජරාජීරණ වෙලානෙ හිටියෙ. මහාකරුණාදෙනෙතින් දුටු මේ අසරණ අම්ම ඉන්නතැනට පයින්ම වැඩමකලානෙ. බුදුහාමුදුරුවො වැඩිය කියල අම්මට අවබෝධයක් නෑ. ආනන්ද හාමුදුරුවො මේ අසරණ අම්මට කියනව “ අම්මෙ මේ ඉන්නෙ තුන්ලොවටම තිලක වූ ලොව්තුරු බුදුපියාණන් වහන්සේ, සාධු කියන්න” කියල. අම්ම දොහොත්මුදුන්දීල සාධු කිව්ව විතරනෙ. මියපරලොව ගිහින් සුගතිගාමී උනා.
මහාපන්ථක සහ චුල්ලපන්ථක අයියයි මල්ලි බුදුසසුනෙ මහණ උනා. අයිය හොදින් ඉගෙන ගත්ත. මල්ලි පෙර අකුසලයක් කරල තිබ්බ. පෙර භවයක ඉගෙනගන්න බැරි යහලුවෙකුට ඔච්චම් කරල. ඒ පවනිසා මාස තුනක් යනකලුත් එක ගාථාවක්වත් පාඩම් කරගන්න බැරිඋනානෙ. අයිය මල්ලිව එලවල දැම්ම. “දුවනව ගෙදර, මෙහෙඉදල වැඩක් නෑ. ගිහින් වෙලදාමක් කරන් ජීවත්වෙනව. ඔයාගෙන් ශාසනේට වැඩක් නෑ”කියල. ඒත් පුංචි මල්ලිය සිව්රෙ ඉන්න හරි කැමතියි. යන්න හිත නෑ. මොනව කරන්නද? යන්නකිව්වනම් යන්න එැයි. අඩ අඩා පන්සලෙන් එලියට ගියා. මේ කාරණය මගෙ බුදුසාදුට පෙනුන. සසර කතර පුරාම මාගේශාසනය තුල නිවන් දකින්න පෙරුම් පුරපු පංචිපුතාට නිවන ම‍ගඇරෙන්න දෙන්න බෑ. ආයිත් කල්ප කෝටිගානක් මෙ පුතාට සසරෙ දුක්විදින්න වෙයි. පුතාගාව පෙනීහිටපු මේ මහාකාරුණික පියා ඉතාම කරුණාවෙන් හිස අතගෑවනෙ. උන්වහ්සේ සියල්ලම දන්නව. ඒත් පුතාගෙ හිතේ තියෙන වේදනාව ඉවත්වෙනකම් අඩන්න ඉඩදෙන්න ඕනි නිසා “ පුංචිහාමුදුරුවනේ කවුද ඔබවහන්සේට තරවටුකලේ ”යි මහා කාරුණික දෙනෙත් යොමා ඇසුව. පුංචි හාමුදුරුවො ඉකිගහ ගහ අඩමින් කියපු සියල්ලම අහගෙන හිටපු මේ දයාබර තාත්ත “පොඩි හාමුදුරුවනේ, ඔබවහන්සේ පැවිදි උනේ මම වෙනුවෙන්. මම ඔබවහන්සේට යන්න කිව්වෙ නෑ. ඔබවහන්සේ මාඑක්ක එන්න”යි කියමින් හිරුඑළිය තියෙන තැනට එක්කගෙන ගියා. සුදුපාට රෙදිකෑල්ලක් දීල “රජෝහරනං, රජෝහරනං ” කියල පිරිමදින්න දුන්නනෙ. පෙර කල කුසල් බලෙන් වහා සත්‍ය අවබෝධකරගත් උන්වහන්සේ මනෝමය ඍද්ධිරෑප මවන්නන් අතර අග්‍රස්ථානය ඇති මහ බලසම්පන්න මහරහතන්වහන්සේ නමක් උනානෙ. බලන්න මහා කරුණාවක තරම.
බුදුහාමුදුරුවො දවසක් විහාර චාරිකාවෙ යන අතර ලෙඩවෙලා හොදටම අමාරුවෙච්ච තිස්ස හාමුදුරුවො දැක්ක. එතුමාගෙ ඇගපුරාම ගෙඩි ඇවිත් ඒව පුපුරල සැරව ගලල ඒව සිවුරටම ඇලිල. ඇගේ ඇට දිරල ගිහින් කෑලිවලට කැඩිල. ඒ නිසාම උන්වහන්සේව පූතිගත්තතිස්ස නමින් ප්‍රසිද්ධ උනා. කවුරුත් උපස්ථාන කරන්නෙ නෑ. බුදුහාමුදුරුවො උන්වහන්සේගාවට වැඩමකලා. ආනන්ද හාමුදුරුවන්ට කියල උණුවතුර ටිකක් සකස්කරගත්ත. වහාම තිස්ස හාමුදුරුවන් ඇදත් එක්ක එලියට ගත්ත. ශරීරයේ ඇලිල තියෙන සිවුරු ඉවත්කරල පිරිසිදු කරන්න පටන්ගත්ත. අනිත් හාමුදුරුවරුන්ට පුදුමයි වගේම හරිම ලැජ්ජ හිතුන. බුදුහාමුදුරුවො තිස්ස හාමුදුරුවන්ගෙ සැරව පිරුන සිව්ර තමන්ගෙ අතින්ම පිරිසිදු කලානෙ. අනිත් දේවලුත් පිරිසිදු කලා. ඒක අව්වෙ වේලෙන්න ඇරල උණුවතුරින් හාමුදුරුවන්ගෙ සිරුර පිරිසිදුකලා. ශ්‍රී හස්තයෙන් ඒ සැරව පිරිල තුවාල උන සිරුර පිරිසිදු කලා. ඒ වැඩේ ඉවරවෙනකොට සිවුර වේලිල. හොදින් ඇග පිහදමල සිවුර පෙරෙව්ව. ඇදේ හාන්සිකලා. “ඔබවහන්සේට දැන් සනීපයක් දැනෙනව නේද? ” මගෙ සම්බුදු මැනික නෙලුම්මල් සුවද විහිදෙන ශ්‍රීමුඛය විවරකරමින් ඇසුව. තිස්සහාමුදුරුවන්ගෙ ඇස්වලින් කදුලු කඩාහැලෙනව. තමන්වහන්සේ කාටවත් උවටැන්කලේ නෑ. ඒනිසාම තමන්වහන්සේ වෙනුවෙන් කිසිකෙනෙක් උදව්කරන්න ආවෙ නෑ. දරුවො මොන වැරැද්ද කලත් දෙමාපියො ඒව හිතන්නෙ නෑ. සම්බුද්ධ නම් වූ මේ පියතුමා ඒ යුතුකම ඉටුකලා. “තිස්ස, අපි හැමෝම ඉපදෙනව, ලෙඩවෙනව, වයසට යනව, මැරෙනව තිස්ස. මේ දේට අපි කොයිතරම් කාලෙක දල මුහුණ දෙන්න ඇද්ද? තව කී කාලයක් මුහුණදෙන්න වෙයිද? මේ ගමනෙ ඉවරයක් නෑ තිස්ස. ශරීරයට තියෙන ආශාව අත්හරින්න. මේ ශරීරය මහා දුකක් නේද? ඔබට ඒක වැටහුණානේද? ශරීරය කියන්නෙ අශූචි පිරුන මැටි භාජනයක් තිස්ස. ඒ මැටිභාජනයත් දවසක විනාශවෙලා යනව. ආයි අලුතින් මැටි භාජනයක් හැදෙනව. අනන්ත සසර පුරා මේදුක වින්ද ඇති තිස්ස. දැන් නිදහස් වෙන්න.” බුදුහාමුදුරුවො කියන තාත්ත තමන්ගෙ පුත්‍රයට මහා කරුණාවෙන් අවවාද දෙන්න පටන්ගත්ත. තිස්ස හාමුදුරුවො කදුලුපිරි දෙනෙතින්ම අනිත්‍ය සිහිකලා. සිත කෙලෙස්වලින් නිදහස් උනා. කාමලෝකයෙන් නිදහස් උනා. උන්වහන්සේ අපවත් උනේ නෑ. ගෝතම සසුන එකලුකල තවත් එක් රහතන්වහන්සේ නමක් විදිහට පිරිනිවන් පෑව. “ මහණෙවනි, ගිලනුන්ට උපස්ථාන කරන්න මට උපස්ථාන කරන්නෙකි.” සම්බුදු මැනික අවසානයේදී දේශනාකලා.
දේවදත්ත කියන්නෙ ගිහිකාලෙ හිටපු මස්සිනා. බුදුහාමුදුරුවො බුදු තනතුරෙන් පන්නල එයා බුදු තනතුරට එන්න කුමන්ත්‍රණ කලා. ඒබව බුදුහාමුදුරුවො කලින්ම දැනගෙනයි හිටියෙ. තමන්වහන්සේ මරන්න, අපහාස කරන්න දෙවිදත් උත්සාහ කරනව කියල. දැන දැන ඇයි දේවදත්තයන් මහණ කරගත්තෙ. දේවදත්තයන් අවසන් අවස්ථාවේ බුදුසරණ ගියා. හාමුදුරු නමක් විදිහට බුදුසරණ ගිය නිසා දේවදත්ත අවීචියේ පැසෙන කාලය අඩු උනා. මේ මහා කාරුණිකයන් අනුන්ගෙ සැපත වෙනුවෙන් තමන්ගෙ සැපත පරිත්‍යාග කලේ එහෙමයි.
බුදුහාමුදුරුවො ජේතවනාරාමයෙ ටික කලත් වැඩ ඉදල නැවත ධම්මචාරිකාවෙ යන්න අදහස්කලා. තව කලක් වැඩඉන්න කියල අනේ පිඩු සිටුතුමා, කොසොල් රජතුමා, විශාඛා මහ උපාසිකාව කල ඉල්ලීම් ප්‍රතිකක්ෂේප උනා. අනේපිඩු සිටුතුමා දුකින් ඉන්න වෙලාවෙ ගෙදර වැඩකාරිය පුණ්නා හේතුව විමසනව. බුදුහාමුදුරුවො චාරිකාවෙ වඩිනව. තව කලක් වැඩ ඉන්න කිව්වට ආරාධනාව පිලිගත්‍තෙ නෑ. ඕකයි හේතව කිව්ව. “සිටුතුමනි මම බුදුහිමියන් නවත්තගත්තොත් මට මොනවද දෙන්නෙ” ඇහුව. “නුඹ දාසි බවින් මුදවල පින්කම් කරන්න ඉඩදෙනව ” කිව්ව. පුණ්නා ජේතවනාරාමය හැරයන බුදුහිමියන් වෙතට දුවල ගියා. මග හරස්කරමින් වැද වැටුන. කදුලුපුරව‍ගත්තු ඇස් බුදු මුවපියුම දෙසට යොමුකලා. “පුණ්නාවෙනි, මොකදමේ? ” ඒ බුදුහාමුදුරුවො. “ අනේ ස්වාමීනී, තව ටිකකලක් මෙහිම වැඩඉන්න.” පුණ්නා කිව්ව. “ මා මෙහි වැඩ සිටීමෙන් ‍ඔබට ලැබෙන යහපත කුමකද? ” “අනේ ස්වාමීනී, ඔබවහ්සේ ආපසු වැඩියොත් අද මම දාසි තනතුරින් නිදහස්වෙනව. මට මහ පින්කම් කරගන්න පුලුවන්. සසර කෙටිකරගන්න පුලුවන් වෙවි.” පුණ්ණා කිව්ව. මදක් වේලා පුණ්නා දෙදස බලා හිටි බුදුහාමුදුරුවො ආපසු හැරුනනෙ. නැවත ජේතවනාරාමයට වැඩම කාලා. වැඩිකාලයක් ගියෙ නෑ. භික්ෂුනී ආරාමයක පුණ්නා නමින් තවත් මහරහත් මෙහෙණින් වහන්සේ නමක් සම්බුදු සසුනට එක්උනා.

බුදුහාමුදුරුවො අඩුම තරමින් සෝවාන් වෙන්නවත් පින තියෙන ඇත්තන් හොයාගෙන ඈත ගම්දනව්ව පුරා වැඩම කලා. සමහර වෙලාවට ඒ ඇත්තන්ට සොවාන් වෙන්න වාසනාව තිබ්බත් පින් මදි. බුදුහාමුදුරුවො සතිගණන් ඒ පුද්ගලයට දන්දෙන්න ඉඩ ලැබෙන විදිහට ඒ අහල පහල වැඩ සිටිය. එයාගෙ පින සම්පූර්ණ උන ගමන්ම එයාට ධර්මය දේශනා කරල මාර්ගඵලයට පැමිනෙව්ව. අනේපිඩුසිටුතුමාගෙ හරක් බලාගත්ත ගොපල්ලෙක් හිටිය. නම නන්ද. මෙයා අධික ශ්‍රද්ධාවන්තයි. හොද බොදුනුවෙක්. නිතර බුදුහාමුදුරුවන්ගෙන් බණ අහනව. බුදුහාමුදුරුවනට ආරාධනා කරනව ඒපැත්තටත් වඩින්න කියල. සුදුසු කාලය බලල බුදුහාමුදුරුවො වැඩම කලා. සතියක් තිස්සෙම ඒ නන්දට දන්දෙන්න ඉඩ ලබාදුන්න. පින්රැස්කරගන්න ඉඩදුන්න. අවසානයේ බුදුබණ අහල ඔහු සෝවාන් උනා. දැන් බුදුහාමුදුරුවො ආපසු වඩින්නයි හදන්නෙ. මේ නන්ද ගොපල්ල බුදුහාමුදුරුවන්ගෙ පාත්‍රය අරන් පිටිපස්සෙන් යනව. ටිකදුරක් ගිහින් බුදුහාමුදුරුවො කියනව “නන්ද, ඔබ දැන් ආපසු යන්න” කියල. මෙයත් බුදුහාමුදුරුවන්ට වැදල ආපසු යන්න පිටත් උනා. වැඩිදුරක් යන්න ලැබුනෙ නෑ. වැද්දෙක් සතෙකුට විද්ද ඊතලයක් නන්දගෙ සිරුර පසාරු කරගෙන ගියා. ඔහු එතැනම මිය ඇදුන.
මේ ගොපලු දරුව හරියටම මින් සතියකට පස්සෙ මිය යනබව දැකපු බුදුහාමුදුරුවො සුදුසු කාලය බලල වැඩම කලේ. බුදුහාමුදුරුවො වැඩියෙ නැත්නම් ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට නැවත සසරේ අතරමං වෙනව. බලන්නකෝ මොනතරම් මහා කරුණාවක්ද?
අසරණ ගොවියෙක් කුඹුරක් කරනව දැකපු බුදුහාමුදුරුවො හැමදාම ඔතනින් දනට වඩිනව. කුඹුර සීසාන දවසෙ ඉදල හෙට ගොයම් කපනව කියන දවස වෙනකම් හැමදෑම ගොවියට කථාකරල තමයි පිඩුසිගා වඩින්නෙ. බුදුහාමුදුරුවො ගොවියගෙ හිතට කොයිතරම් සමීප උනාද කිව්වොත් කුඹුර කපල කොටසක් බුදුහාමුදුරුවන්ට පූජ කරන්න ගොවිය තීරණය කලා. එදා රෑ මහ වැස්සකින් කුඹුර විනාශ වෙලා ගියානෙ. ගොවිය ශෝකයෙන් ඇදට වැටිල වැතිරිල හිටිය. එදා බුදුහාමුදුරුවො ගොවියගෙ නිවසටම වැඩියනෙ. ගොවියට කථාකරල තණ්හාවෙ ආදිනව කියල දීල ගොවිය සෝවාන් ඵලයට පත්කලා නේද? තුන්මාසයක් මුලුල්ලේ බුදුහාමුදුරුවො කුඹුර ලගින් වැඩම කලේ මේ තත්වය කලින්ම දැනගෙන නේද? බලන්න මොනතරම් නම් කරුණාවක් බුදු හදවතේ තිබුනද කියල.
මේ ආකාරයට පටාචාරා, කිසාගෝතමී, රජ්ජුමාලා, ආදී අපමණ පිරිසකට කොතරම්නම් යහපත සැලසුවද? ඒව ලියන්න ගියොත් මේ ලිපිය ලියල ඉවර කරන්න ලැබෙන්නෙ නෑ. මම කවත් දවසක ඒගැන ලිපියක් ලියන්නම්.
ලෝවැසි සත්වයාගේ සසර මග යහපත් කරනු පිණිස අපමණ මෙත් සිතින් ශ්‍රද්ධා පෙරදැදිව එරන්ද ලක්මාල් විසින් ගෝතම සාක්‍යසිංහ ශාසනය තුල බුදුගුන වරුණ මෙසේ ලියා තැබූ වගයි. හැකිතාක් යහලුවන් අතර බෙදා හරින්න.

චුතිසිත ගැන දැනගන්න ...
මිත්තානිසංස සූත්‍රය ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.