බුදුරදුන් වදාළ වස්සාන සමය ….

බුදුරජාණන් වහන්සේ ප්‍රථම බෝධියෙහි (බුද්ධත්වයට පැමිණ මුල් විසිවස) භික්‍ෂූන්ට වස් විසීමේ ප්‍රඥප්තියක් නො පැනවූහ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය ගත කරන ලද්දේ ඉසිපතන මිගදායෙහිය. ඒ පස්වග මහණුන් සමඟය.

වැසි කාලයේ එක් තැනක ගත කිරීම ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවැති සිරිතකි. ආවේණික ධර්මයකි. එය බුද්ධ ප්‍රඥප්තියක් නොවීය.ක්‍රමයෙන් භික්ෂු සමාජය විකාශනය වන විට භික්‍ෂූහු වස්සාන කාලයේ දිත් චාරිකාවේහි යෙදුණහ. එය දඹදිව පැවැති පෞරාණික ධර්මයන් උල්ලංඝනය කිරීමක් විය. මෙකල බුදුරජාණන් වහන්සේ වැඩ වසන ලද්දේ රජගහනුවර වේළුවනාරාමයෙහිය.

බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාගේ ඉල්ලීමත් මහජන මතයට ගරුකිරීමත් වශයෙනුත්, වෙනත් කරුණු ගැනත් සලකා බලා භික්‍ෂූන් වහන්සේට වැහි කාලයේදි වස් විසීමට මෙසේ අනුදැන වදාළහ.

අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගත්තු

මහණෙනි, ඔබට වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කරන ලෙස අනුදැන වදාරමි” යනුවෙනි

බුදුරජාණන් වහන්සේ මෙවැනි ශික්‍ෂා පදයක් පනවන ලද්දේ ජෛන ආගමෙහි තණපත් පෑගීම ආදිය ගැනම සලකා බලා නොව අටමසක් ධර්ම චාරිකාවෙහි හැසිරෙන භික්‍ෂූන් වහන්සේට මෙම හාර මාසයෙහි එක් තැනක වැඩ විසීමෙන් ආධ්‍යාත්මික විමුක්තිය සලසා ගැනීමටත්, තමන්ට ඇප උපස්ථාන කරන ගිහියන් ගේ ගුණධර්ම වර්ධනයටත් මෙම කාලය බෙහෙවින්ම උපයෝගී කර ගැනීමට හේතුවන බැවිනි.

වස් කාලය

බුදුරජාණන් වහන්සේ විසින් වස් විසීමේ ශික්‍ෂා පදය පැන වූ පසු වස් විසිය යුත්තේ කවදාද? වස් එළඹීමට දින කීයක් තිබේද? යනුවෙන් භික්‍ෂූන්ට ගැටලු මතු විය. ඒ පිළිබඳව ප්‍රශ්න කළ විට උන්වහන්සේ මෙසේ වදාළහ.

දෙව මා භික්ඛවෙ වස්සුපනායිකා පුරිමිකා පච්ඡිමිතා ච අපරජ්ජුගතාය ආසළ්හියා පූරිමිකා උපගන්තබ්බා මාසගතාය ආසාළ්හියා පච්ඡිමිකා උපගන්තබ්බා ඉමාඛො භික්ඛවේ. දෙව වස්සුපනායිකා යනුවෙනි.

බුදුරජාණන් වහන්සේ වස් එළඹීම් දෙකක් වදාළහ. ඒ මෙසේය.

1. පෙර වස් විසීම
ඇසළ පොහොයට පසු දින එනම්, අව පෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතුය.

2. පසු වස් විසීම
ඇසළ පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අව පෑළවිය දිනයෙහි, පසු වස් එළඹිය යුතුය.

මේ දෙදිනෙන් එක් දිනක හෝ වස් එළඹීම නොකළ භික්‍ෂූන්ට ඇවැත් සිදුවන බව මෙසේ වදාළහ.

* භික්ඛවේ වස්සං න උපගන්තබ්බං යොන

උප ගච්ජෙය්‍ය ආපත්ති දුක්ඛටස්ස

“මහණෙනි, වස් එළිඹිය යුතු නොවේ” යමෙක් වස් නො එළඹෙන්නේ නම් දුකුළා ඇවැත්වේ “

(වස්සුපනායිකක්ඛන්ධය – මහාවග්ගය)

මෙයින් පෙරවස් එළඹීම ප්‍රධාන වෙයි. පසු වස් එළඹිය යුත්තේ යම් කරදරයක් නිසා පෙරවස් එළඹීමට නො හැකි වූ භික්‍ෂූන් විසිනි. කඨින චීවරය ලබා ගැනීමේ අයිතිය හිමි වන්නේ පෙර වස් වැස මහා පවාරණයෙන් පවාරණය කරන ලද භික්‍ෂූන් වහන්සේට පමණි.

වස් විසීමට සුදුසු ස්ථාන

පුරාණයේ දී වස් වාසය සඳහා ගල් ගුහා, ලෙන්, තෝරාගෙන තිබිණ. වස් වසන ස්ථානය වහලක් සහිත ආරක්‍ෂක ස්ථානයක් විය යුතුය. වර්තමානයේ වස් වාසය සඳහා විහාරස්ථාන භාවිතා කරති.

වස් විසීමට නුසුදුසු ස්ථාන

ගස්බෙන, ගස් දෙබල් ආවරණයක් නැති ස්ථාන, සුසාන භූමි, සතුරු බිය ඇති ස්ථාන , නයි පොළොං ආදි විසකුරු සර්පයන්, වග වලසුන්, සිටින ස්ථාන ජල ගිනි ආදී ස්වභාවික විපත් සහිත ස්ථාන, සහ යක්‍ෂ භූත ආදි දෝෂ ඇති ස්ථාන වස් වාසයට නුසුදුසුය.

වස් ආරාධනය

භික්‍ෂූන් වහන්සේට වස් ආරාධනා කරනු ලබන්නේ දායකයන් විසින්ය. ඒ අනුව විහාරස්ථානයේ වැඩ වසන භික්‍ෂූන් වහන්සේට මෙන් ම වෙනත් විහාරස්ථානවල වැඩ වසන භික්‍ෂූන් වහන්සේටත් ආරාධනා කිරීමට පුළුවන. වස් ආරාධනය පිණිස පැමිණෙන දායකයෝ පළමුව බුදුන් වැඳ භික්‍ෂූන් වහන්සේට දැහැත් පිළිගන්වා වස් විසීමට ආරාධනය කරති. මෙම දැහැත් පිළිගැන්වීම සාමාන්‍ය දැහැත් වට්ටියක බුලත් තබා ආරාධනය කරන පිළිවෙළට වෙනස් ය.

දැහැත් ගොටුව

මේ සඳහා බුලත්කොළ දහයක් පමණ ගෙන රවුමට තබා එකිනෙක සම්බන්ධ වන අකාරයට ඉරටු ගසා දැහැත් ගොටුවක් සකස් කරනු ලැබේ. මෙය අලංකාර නිර්මාණයකි. එහි මැදට පුවක් හුණු සහ එනසාල් වැනි සුවඳ ද්‍රව්‍ය දමනුලැබේ.

එක භික්‍ෂූන් වහන්සේ නමකට නම් එක දැහැත් ගොටුවකි. භික්‍ෂූන් වහන්සේ හතර නමකට නම් දැහැත් ගොටු සතරකි. භික්‍ෂූන් වහන්සේට දැහැත් ගොටුව පිළිගන්වා දායක තැන විසින් මෙසේ වස් ආරාධනා කළ යුතුය.

‘ස්වාමීන් වහන්ස මෙම සිව් මාසයේ අප විහාරස්ථානයේ අප කෙරෙහි අනුග්‍රහය පිණිස වස් වාසය කරන මෙන් ගෞරවයෙන් ආරාධනා කරමි”යනුවෙනි.

එවිට භික්‍ෂූන් වහන්සේ පහත සඳහන් වාක්‍යය ප්‍රකාශ කරමින් වස් ආරාධනාව පිළිගනිති.

ඉමස්මිං විහාරෙ ඉමං
තෙමාසංවස්සං උපෙමී
ඉධ වස්සං උපෙමි
ඉධ වස්සං උපෙමි
ඉධ වස්සං උපෙමි (උපෙමි – එළඹෙමි) යනුවෙනි

වැසි සළුව

මෙම අවස්ථාවේදි වැසි සළුවක් ද පූජා කරනු ලැබේ. වැසි සළුව ද සිවුරකි. එය සඟල සිවුර දෙපොට සිවුරට වඩා දිග පළලින් වැඩිය. මෙය ඇඳිය හැක්කේ වැසි සමයේ දී පමණි. වැසි සළුව තමන් විසින් දායකයන්ට දන්වා පිළියෙළකරවා ගැනීමට පුළුවන. එය සොයා ගත යුතු වන්නේ ගී‍්‍රෂ්ම ඍතුවට මසක් කලින්ය. ඊට පෙර සෙවීම හෝ පෙරවීම නොකළයුතුය.

වැසි සළු පූජා කිරීම ආරම්භ වූයේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී විශාඛා මහ උපාසිකාව ගේ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි.

වස් විසූ භික්‍ෂූන් වහන්සේ චාරිකාවෙහි නොයෙදුණත් පිණ්ඩපාත සෙවීම ආදි කටයුතුවලදි වැස්සෙන් පීඩා විඳින්නට සිදුවිය.මෙය දුටු විශාඛා උපාසිකාව බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනි ඉල්ලීමක් කළාය..

ඉච්ඡා අහං භන්තෙ සංඝස්ස යාවජීවං වස්සික සාටිකං දාතු

ස්වාමීනි,! මම ජීවිතාන්තය දක්වා සංඝයාට වැසි සළු පුදන්නට කැමැත්තෙමි’යි යනුවෙනි.

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

අනුජානාමි භික්ඛවේ වස්සික සාටිකං චාතු මාසං

අධිට්ඨාතුං තතොපරං විකප්පෙතුං

“මහණෙනි! වස් සාර මාසයෙහි වැසි සළුව අධිෂ්ඨාන කොට ප්‍රයෝජන ගන්නටත් එයින් පසු විකප්පනය කරන්නටත් අනුදැන වදාරමි’යි

වස් දානය

වස් සාර මස තුළ භික්‍ෂූන් වහන්සේට දානය පිළිගැන්වීමට දායකයෝ භාර ගනිති. ඒ අනුව හීල් දානය, දවල් දානය සහ ගිලන්පස සපයමින් උන්වහන්සේට සංග්‍රහ කරති. වස් කාලය තුළ දායකයෝ සවස විහාරස්ථානයට පැමිණ මල් පහන් පූජා කරති. ධර්ම ශ්‍රවණය කරති. ධර්ම සාකච්ඡාවල යෙදෙති. භික්‍ෂූන් වහන්සේ ඔවුන්ට අනුශාසනා කරති. සතර පෝය දිනවල විශේෂ ධර්ම දේශනාද පවත්වති.

සති කරණය

වස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේ එම ස්ථානයෙන් බැහැරව වැඩියේ නම්, දින හතක් ඇතුළත වස් සමාදන් වූ විහාරස්ථානයට නැවත පැමිණිය යුතුය. එසේ පැමිණීමට නොහැකි වූයේ නම් වස් කැඩීමක් සිදුවෙයි. එය කඨින චීවරය දැරීමට ද නුසුදුසු තත්ත්වයකට පත්වීමකි.

වස් එළැඹි භික්‍ෂූන් වහන්සේ වස් කාලය තුළ එම විහාරස්ථානයෙන් පිටතට නො යා යුතුය. එහෙත් භික්‍ෂු, භික්‍ෂුණී, සාමණේර සහ සාමණේරි සහ මව පියා යන මේ අය වෙනුවෙන් ඔවුන්ගේ ආරාධනාවක් ඇතිව හෝ නැතිව විහාරස්ථානයෙන් පිටතට යා හැකිය.බුදුරජාණන් වහන්සේ එය,

අනුජානාමි භික්ඛවේ සත්තාහං සත්තාහ කරණීයෙන
පහිතො ගන්තුං – යනුවෙන් වදාළහ

එසේම රෝගී වූ භික්‍ෂුවකට පහසුවක් ඇති කිරීමට,සසුනෙහි කලකිරුණ භික්‍ෂුවකට උපදෙස් දීමට,මිථ්‍යාමත දුරු කිරීමට මව,පියා සහෝදර සහෝදරියන්,සහ ඥාතීන් රෝගීව සිටිනවිට ඔවුන් දැකීම පිණිසත්, සත්තාහ කරණයෙන් යා හැකිය.

වස් සච්ඡෙදනය

වස් විසූ භික්‍ෂූන්වහන්සේට ඒ ආරාමයන්හි යම් උවදුරුවලට මුහුණ පාන්නට සිදු වේ නම්, සත්තාහ කරණයක් නැතිව සුදුසු ස්ථානයකට යා හැකිය.

වස් බිඳීමෙන් සිදුවන ඇවැතින් නිදහස්වීමට ඒ භික්‍ෂූන්ට ලැබේ. විසිකුරු සර්පයන්ගෙන්, වග වලසුන්ගෙන්, යක්‍ෂ භූතාදීන් ගෙන්, උවදුරු සහ ගිනි, ජල වැනි ස්වාභාවික අන්තරා ඇති කල වස් විසූ ආරාමයෙන් සත්තාහකරණය නැතිව ඉවතට යාමට පුළුවන.වස්වසන ලද ආරාමය පිහිටි ගම වෙනස් වූ විට ගම් වැසියන් ගිය තැනකට භික්‍ෂූන් වහන්සේටද යාමට හැකිය.එසේම ගම දෙකකට වෙන් වූයේ නම් තම සදැහැතියන් සිටින ස්ථානයට යාමට පුළුවන.වස් වසන ලද භික්‍ෂූන් වහන්සේට අවශ්‍ය පිණ්ඩපාතය බෙහෙත් ආදිය නො ලැබේ නම්, සුදුසු කැපකරුවන් නොමැතිනම්,සංඝභේදයකට සිල් කටයුතු වලට බාධා පැමිණීම යන හේතු නිසා වස් වසන ලද ආරාමය වෙනස් කරන්නට පුළුවන.වස්සච්ඡෙදනයෙන් එම භික්‍ෂුවට ඇවැත් සිදු නොවේ.

වස්විසීම ලක්දිව ආරම්භ වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස් හතකට පසුවය. ඒ මිහිදු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකළ කාලයයි. දෙවන පෑතිස් රජතුමා මිහින්තලයේ අට සැටලෙන් කරවා එය භික්‍ෂු සංඝයාට පූජා කරන ලදී. එහි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස වස් විසූහ.මෙය ලක්දිව සිදුවූ ප්‍රථම වස්සූප ගමනයයි.

එතැන් සිට ලක්දිව මෙම උතුම් ශාසනික, චාරිත්‍රධර්මය නොසිද පවත්වාගෙන එනු ලැබේ.

වස් පින්කම් පැවැත්වෙන්නේ වසරකට වතාවකි. එහෙයින් මෙම උතුම් මහා පුණ්‍ය කර්මයට අපිද දායක වන්නට අධිෂ්ඨාන කර ගනිමු.

උපුටා ගැනීම
http://www.lakehouse.lk/budusarana/2013/08/06/tmp.asp?ID=vision04

වාසනාවන්ත දරුවන් ලබන්න ...
අකුසල් යටපත් කරනා අට මහ කුසල් ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.