Skip to main content

බුදුරදුන් ගොඩ නැගූ ධර්ම රාජ්‍යයෙහි මහ ඇමතිවරු ” අසූමහා ශ්‍රාවකයන් වහන්සේ …”

දිනක් උගත් සේල නමැති බමුණා බුදුරදුන්ගේ මහා පුරුෂ ලක්‍ෂණ දැක සක්විති රජකම ගෙන පාලනය නො කරන්නේ මන්දැයි උන්වහන්සේගෙන් විමසුවා. “රාජභමස්මිං සේල ධර්ම රාජා අනුත්තරෝ” යනුවෙන් සේල බ්‍රාහ්මණයාට “මම රජෙක්මි , ශ්‍රේෂ්ඨ ධර්ම රාජයෙක්මි” යි පිළිතුරු දුනි. ඔබතුමා රජෙක් නම් සේනාපති වරු කවරෙක් දැයි බමුණා නැවත විමසූවිට සැරියුත් මුගලන් ආදී තම ශ්‍රාවකයන් ඒ උසස් තනතුරු දරන බව පෙන්වා දුන්නා.
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ බුද්ධ ශ්‍රාවක සංඝ සමාජය වැඩි කලක් ගත වීමට පෙර ලක්‍ෂ ගණනින් වර්ධනය වූ බව ශාසන ඉතිහාසය පෙන්වා දෙනව. උන්වහන්සේලා අතුරින් අග්‍රශ්‍රාවක සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ප්‍රධාන මහා ශ්‍රාවකත්වය දැරූ අසූ නමක් වැඩ සිටියා.

ඒ අය අතුරින් ඒතදග්ග භාවයට (සියලු භික්‍ෂූන් අතර මේ කරුණ නිසා අග්‍රය) පත් වූ භික්‍ෂූන්ගේ ගණන හතළිස් එක් නමක් බව අංගුත්තර නිකායෙහි ඒතදග්ග පාලියට අනුව පෙනී යනවා. එහෙත් ධර්ම ප්‍රදීපිකාවේ ඒ හතළිස් එක් නම සමග ගෙන හැත්තෑ හතකගේ නම් සඳහන් වෙනව, විනය ධරයන් අතර අග්‍රස්ථානය දැරූ උපාලි තෙරුන් වහා අවබෝධ කර ගැනීමේ ශක්තියෙන් අගතනතුර දැරූ බාහියදාරුවිරිය තෙරුන් කුලයන් පහදවන්නත් අතර අග තනතුර ලැබූ කාළුදායි යහපත් වචන කතා කරණ අය අතරින් අග තනතුර දැරූ සෝණකොටකණ්න තෙරුන් යන අංගුත්තර නිකායේ සඳහන් මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ නම් ඉහත දැක්වූ ධර්මප්‍රදීපිකාවේ සඳහන් වී නෑ. මේ සියල්ල පිළිබඳව විමසා බලන විට පෙනී යන්නේ අසමාන දක්‍ෂකම් වලින් හෙබි රහතුන් අසූ ගණනක් වැඩ සිටිය බවයි.
බුදුරදුන් අසූ නමකට මහා ශ්‍රාවක තනතුරු පිරිණැමුවේ කෙසේ ද? “නාහං මුඛං ඕලේකෙත්වා ධම්මි “ යනුවෙන් කිසිවෙකුගේ මුහුණ බලා තනතුරු නොදුන් බව බුදුරදුන්ම පෙන්වා දී තිබෙනවා. එසේ නම් විවිධාකාර කුසල් සිදු කරමින් කවදා හෝ දිනක බුදු කෙනෙකුන් හමුවේ දී මහා ශ්‍රාවක තනතුර ලබන්න ඕන කියන ප්‍රාර්ථනාව තබාගෙන කටයුතු කරතිබීම අත්‍යවශ්‍යයි. අපේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ පිළිබඳ විමසන විට පේනවා අප බුදුරදුන්ගේ බෝසත් අවධියේ සිට උන්වහන්සේ සමග එක්ව ගැවසෙමින් දානාදී කුසල ක්‍රියාවන් සිදු කරමින් මහා ශ්‍රාවක වීමේ ප්‍රාර්ථනය ඇතිව ආ බව, එසේ කටයුතු කොට පෙර කවර හෝ ආත්මයකදී අප බුදුරදුන් හමුවේදී මහා ශ්‍රාවකත්වය ලබන බවට විවරණ ලබා සිටිය බව පැහැදිලියි.
කුඩා දරුවාගේ සිට සෑම කෙනෙකුගේම ජීවිතයක් වඩාත් යහපත් තත්ත්වයට පත්වීම කෙරෙහි අතීතයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ උතුමන්ගේ යහපත් ඇවතුම් පැවතුම් ක්‍රියාකාරකම් තදින් බලපානව. ඒ නිසා මේ ලෝකයේ ජීවත් වූ බොහෝ අයගේ චරිත කතා ඉගැන්වීමට සෑම රටක්ම ප්‍රමුඛස්ථානය දී තිබෙනවා. එහෙත් එවැනි අයගේ චරිත කථා හැදෑරීමෙන් සකස් කර ගන්නා ජීවිත බොහෝ දුරට මෙලොව යහපත පිණිස හේතු වෙනව. එහෙත් බුදුරදුන් ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිත කතා හැදෑරීම තුළින් සකස් වෙන ජීවිතය මෙලොව වශයෙන් මනුෂ්‍යයා ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට පමණක් නොව මරණින් මතු ආත්ම භාවයන්හි අප්‍රමාණ සැප ලැබීමටත් සදාකාලික සැපත උදා කර ගැනීමටත් හේතු වෙනව. බුදුරදුන්ගේ අතීත ආත්ම එළි දක්වා ඇති ජාතක කතාවක් උපයෝගි කොට ගෙන අප සමාජයෙහි ඈත කාලයේ සිට ඇතිවූ ගුණාත්මක විප්ලවයෙහි උසස් තත්ත්වය ගැන සිතා බලන්න.
බෝසත් චරිත කතා මෙන්ම ශ්‍රාවක චරිත කථා හැදෑරීම තුළින් ලැබෙන ප්‍රතිඵල විශාලයි. එවැනි උසස් තැනකට පැමිණීමට කළ යහපත් ක්‍රියා මොනවාදැයි දැන ගැනීමෙන් සමාජයේ ජීවත් වන අයටත් එවැනි තැනකට යාමට උසස් ගුණ දම් පිරීමට සිත් පහළ වනු ඇත.විවිධ දුෂ්කරතා හේතු කොට ගෙන උදාසීන වූ මනසක් ඇතිව ජීවත් වන අයට එවැනි ගැටළු වලින් ගහනව පැවති අසූ මහා ශ්‍රාවකයන් එවැනි ගැටළු වලට සාර්ථකව මුහුණ දෙමින් උසස් ජීවිතයක් ගොඩනගාගත් ආකාරය සිහියට ගැනීම හැම දෙනාටම විශාල ප්‍රයෝජනයක් වනවාට සැක නෑ. එපමණක් නොව එක් නමකට පන්සීයයක් පරිවාර භික්‍ෂූන් ඇතිව වැඩ සිටි අසූ මහා ශ්‍රාවකයන් පිළිබඳව වෙන වෙනම හැදෑරීම තුළින් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වර්ධනය කොට ගෙන සාර්ථක පී‍්‍රතිමත් ජීවිතයක් ගෙවීමට මග පෑදෙනව. බොහෝ දෙනා කැමැත්ත දක්වන කථාවක් තුළින් මේ අන්දමට උසස් අවබෝධයක් ලබා ගැනීම වැදගත්. එහෙයින් ලොකු කුඩා හැම කෙනෙකුගේම ජීවිත බෙහෙවින් සාර්ථක කර ගැනීමට උපදෙස් ලබාදෙන මේ අසූ මහා ශ්‍රාවකයන් පිළිබඳ අපි විමසා බලමු.
මෙම විස්තර රචනා කල නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමියන්ටත්, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ නිලධාරී මඩුල්ලටත්, ත්, වෙබ් අඩවිය වෙනුවෙන් සහයෝගය ලබාදෙන තිළින සම්පත් වික්‍රම සිංහ මල්ලිටත්, ස්කෑනර් ආදිය ලබාදෙමින් තාක්ෂණික සහය ලබාදුන් රුවන් ජයසිංහ අයියාටත්, මේ පොත් ලබාදුන් ගනේමුල්ලේ ජයන්ත අයියාටත් මෙපින් නිවන් අවබොධය පිණිසම හේතු වේවා …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.