බුදුදහමින් මෙන්ම අපේ ඉතිහාසයෙන්ද කියවෙන නාග සංකල්පය …

පින්වත්යාලුවනේ අපේ බුදුහාමුදුරුවන්ගේ කාලයේ නාග වර්ගයා ගැන සටහන් වන අවස්ථා තියෙනව. භික්ෂු වෙසින් ආපු නාගයෙක් ගැන සදහන් වෙනව. ඊලගට ශ්‍රී මහා බෝධිය මෙන්ම දන්තධාතූන්වහන්සේ වඩමවනකොටත් නාගයන්ගේ බලපෑම් උන බව සදහන් වෙනව. ඊලගට රුවන්වැලි සෑයට ධාතුන් වඩමවන අවස්ථාවෙත් නාගයන් ගැන සදහන් වෙනව. අපේ රටට බුදුහිමියන් දෙවන වරට වැඩියෙ නාගයන් අතර ගැටුමක් සංසිදවන්න. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නෙ නාග ‍ගෝත්‍රිකයන් අතර සිදුවුන ගැටමක් කියලනෙ. ඒත් බුදුහිමියන්ගෙ කාලෙ නාගයෙක් භික්ෂුවෙසින් මහණ වෙලා පසුව නාග වෙසින් ඉද්දි හසුවෙලා ඒබව බුදුහිමියන් පවා දැනගත්තනෙ. ඒ සියල්ල මේ ලිපියෙ තියෙනව. අනික දුටුගැමුණු රජතුමත් නාග කන්‍යාවකට ආලය කරල නාරජු ද්ෂ්ඨ කරල මිය ගිය කථාවකුත් තියෙනව. කොහොම උනත් මේ ලිපිය ලියවිල තියෙන්නෙ නාගයන් ගැන. කියවල බලන්නකො.

මහ මිනිසා ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම සර්ප උරග ගණයට අයත් නාගයාට වන්දනාමාන කර ඇති බවට පෙර – අප රටවලින් නොයෙක්‌ සාධක හෙළිදරව් වී ඇත. ග්‍රීසිය, මිසරය, චීනය කාම්බෝජය හා අපරදිග රටවල ද ගලින් නිමැවුණු නාගරූප හමුවී ඇත. ඉතා පැරැණි සාධක බැබිලෝනියාවෙන් පෙනෙන්නට තිබේ. නාග වන්දනය ලංකාවෙත් ඉන්දියාවෙත් ත් පැවති බවට තොරතුරු හෙළි වේ. අනෙක්‌ අතට නාග ගෝත්‍රික මනුෂ්‍යයෝ පුරාතනයේ සිටම මේ රටවල වාසය කර ඇත. විද්වත් අරිසෙන් අහුබුදු මහතා පවසන්නේ ලක්‌දිව සිව්හෙළය සැකසී ඇත්තේ යක්‍ෂ, රාක්‍ෂස, නාග හා දේව ගෝත්‍රවලින් බවය. නාග යන වචනයෙහි සංස්‌කෘත භාෂා අර්ථය උරග සර්පයා යනුයි. මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්- චූලවංසයෙහි නාග යනු දිව්‍ය කොට්‌ඨාසයක්‌ ලෙස හඳුන්වා දී තිබේ. මහාවංශය ආදී වංස කතා තොරතුරු අනුව ලංකාවේ මනුෂ්‍ය ගෝත්‍රයක්‌ නාග නමින් විසූ බවට ප්‍රකට වේ. ඈත අතීතයෙහි ලංකාවේ විසූ නාග ගෝත්‍රිකයෝ මැණික්‌ ගල්, මැණික්‌ ආසන, නාවික යාත්‍රා පවා හිමිව සිටි සෞභාග්‍යවත් බලගතු මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ බව පෙනෙන කරුණකි. ඔව්හු මතිකාර – මැණික්‌ කර්න්තයෙහිද නිරත රාජ්‍ය බලය පවා නතුකරගෙන සිටි බවට බොහෝ සාධක හමුවී ඇත.
මහාභාරතය, රාමායනය වැනි පුරාණ ග්‍රන්ථවලද නාගයන් පිළිබඳ සඳහන් ව ඇත. නිදසුනක්‌ වශයෙන් රාමායනයෙහි හනුමන්තා සීතා දේවිය මුදාගැනීම සඳහා පැමිණෙන්නේ එවක ලංකාවේ පැවති නාගයන්ගේ අගනුවරට බැව් සඳහන් වේ.

ආගමික සාහිත්‍ය තොරතුරු, අපේ වංසකථාවන් වූ දීපවංසය, මහාවංසය, හා ධාතුවංසය, සමන්තගසාදික ආදී අංශවලින්ද, භාරතීය හා ලාංකික ශිලාලේඛණ හා පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳ, ජනශෘති, ජනප්‍රවාද වලින්ද මේ පිළිබඳ තොරතුරු රැසක්‌ එක්‌රැස්‌ කරගැනීමට හැකිවී තිබේ.

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී සවක සතියෙහි අජපල් නුගරුක මූලයෙන් නික්‌ම නේරංජනා නදිය අසල මුචලින්ද රුක්‌ඛ මූලයෙහි වැඩ සිටිසේක. එතැන්හිදී ඉතා තදින් වර්ෂා වහින්නට විය. මෙහිදී බුදුන් වහන්සේට වැසි සුළං ආදියෙන් පීඩාවක්‌ ඇති නොවනසේ සත්වරක්‌ තම දරණිය වටකොට හිසමතින් පෙනගොබය සිටින සේ තබා ගනිමින් සත්දවසක්‌ ආරක්‍ෂා සලසාලනු ලැබුවේ මුචලින්ද නම් නාගරාජයාය. ඒ බව බුද්ධ චරිතයෙහි සඳහන් වී ඇත. මහා වංසයට අනුව බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරනු ලැබුවේ වඩුස්‌නාගල (නාගදීපයේ) චූලෝදර හා මහෝදර යන නාගරජුන් දෙදෙනා අතර මිණි පළඟක්‌ පිළිබඳව ඇතිවුණු අරගලය සංසිඳුවා ලීමටය. කැලණියේ මනිඅක්‌ත නාගරජුගේ ආරාධනයෙන් එහි වැඩම කළ බුදුරජාණන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළ ජනතාව පෙර අවස්‌ථාවලදී මෙන්ම තිසරණයෙහි පිහිටා පංච සීලය සමාදන් වී ඇත. (ම.ව. 1 පරි.)

විනය පිටකය මහාවග්ග පාලිය (පිටු 51-55) සඳහන් පරිදි බුදුන් වහන්සේ එදින උරුවෙල් කාශ්‍යප සිටින සංකීර්ණය කරා පැමිණි අතර රාත්‍රියෙහි අසපුවේ නවාතැන් ගැනීමට අවශ්‍ය බව විමසා සිටි සේක. උරුවෙල් කාශ්‍යප එයට පිළිතුරු දෙමින් එහි එකම අසපු නිවස්‌න කාමරයක්‌ ඇති බවත්, එතැන්හි භයංකර නාගයෙක්‌ සිටින බැවින් ඒ සඳහා ඉඩදිය නොහැකි බවත් පැවසීය. එහෙත් බුදුන් වහන්සේගේ පෙරැත්තය ඉටු කරදෙමින් එක්‌ රැයකට එහි නැවතීමට ඉඩ ලැබිණි. බුදුහු එහි ඇතුළු වනවාත් සමගම නාරජ බුදු සිරුරට විෂධුම පිටකර හැරියේය. භයංකාර ශබ්ද නැංවීය. බුදුහු නොනවත්වාම මෛත්‍රී සහගත ධුම පිටකර හරිනු ලැබූසේක. එවිට බුදු සිරුර දවාලීම සඳහා ගිනි කඳක්‌ නිකුත් කළවිට, බුදුන්වහන්සේද තම සිරුරින් ගිනිකඳ නංවාලූ සේක. අවසානයේ බුදුහු තම සෘධි ප්‍රාතිහාර්ය බලයෙන් නාගරාජයා මර්දනය කරවා, උගේ විෂ නසා දරණ ගන්වා පාත්‍ර ධාතුවෙහි සිටින අයුරු උරුවෙල් කාශ්‍යපටම පෙන්වාලූ සේක. බුදුන් වහන්සේගේ බලමහිමය සැමතැන්හි පැතිර ගියේය.

තවද, බුදුන් වහන්සේ දිවමන් සමයෙහි, එක්‌තරා නාගයෙක්‌ තමන් ජන්මලාභය ලැබූ නාග යෝනිය කෙරෙහි කලකිරීමට පත්ව සිටියේය. එදවස වැඩවාසය කළ සිල්වත් ශ්‍රවණයන් මෙන් තමන්ටත් මේ නාග යෝනියෙන් මිදී වාසය කරන්න ලැබෙන්නේ නම් යෙහෙකැයි හෙතෙම අදහස්‌ කළේය. අවසනදී ඔහු නාග යෝනියෙන් මිදීමට ස්‌ථිර ලෙස නිගමනය කළේය. නාගයා තම උරග සිරුර මිනිස්‌ සිරුරක්‌ ලෙස පත්කරගෙන භික්‍ෂුව වෙත අවුත් පැවිදි බවද උපසපන් භාවය ද ලැබුවේය. නාග තෙමේ එක්‌තරා භික්‍ෂු නමක්‌ සමග පිටිසර ගමක විහාරයක වාසය කළ අතර, දිනක්‌ මේ සැබෑ මනුෂ්‍ය භික්‍ෂුව අලුයම යාමයෙහි නැඟිට එළිමහන් තැනෙක සක්‌මන් කරන්නට විය. සයනෙහි වැතිර සිටි නාග තෙමේ භික්‍ෂුව කාමරයෙන් ඉවත නික්‌ම ගිය බැව් දැක සැක නැතිව නින්දට විය. සැනකින් හෙතෙම නින්දෙහි වැටුනේය. සැනෙකින් විහාර කාමරය නාගයාගේ සිරුරින් පිරුණේය. හදිසියේම විහාර කාමරයට පිවිසෙන අදහසින් පැමිණි භික්‍ෂුව නාගයාගේ දරණවැල් දැක බියටපත්වී මහහඬින් කෑගැසුවේය. නාග තෙමේ ඒ හඬින් පිබිදී ක්‍ෂණයෙන් නාගවේෂයෙන් මිදී පෙර පරිදි සිය අසුනෙහි හිඳ ගත්තේය. මේ ගැන කරුණු විමසූ කල්හි තමා පිළිබඳ සැබෑ තොරතුරු හෙළිකිරීමට භික්‍ෂු වෙස්‌ගත් නාගයාට සිදුවිය. මේ කතාව බුදුන් වහන්සේගේ සටනටද ගිය අතර, උන්වහන්සේ මහසඟරුවන මැද නාගයාට දේශනා කරනු ලැබුවේ නාග යෝනියෙන් මිදීමට නම් තුදුස්‌වක, පසොළොස්‌වක, අටවක්‌සඳ පෙහෙවස්‌ රක්‍ෂා කළ යුතු බවය. නිදන විටත් මෙවුස්‌දම්හි යෙදෙන විටත් නාගයාගේ සැබෑ ස්‌වභාවය පහළවන බව බුදුන් වහන්සේ, තිරිසන් සතුන් මහන, උපසපන් නොකළ යුතුයෑයි වදාළහ. එය නීතියක්‌ බවට පත්විය.

මහාවග්ග පාලි – විනය පිටකසය – ප්‍රථම භාගය – වෙළුම 3 – පිටු 11-17)

වරක්‌ මාරදිව්‍ය පුත්‍රයා නාග වේෂයක්‌ මවාගෙන බුදුන් වහන්සේ බිය ගැන්වීමට පැමිණි බව “සප්ප – සූත්‍රය” 4-1-6″ අනුව ප්‍රකට වේ. තථාගතයන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවස්‌නයේ වේළුවනාරාමයේ වැඩවාසය කරන කල්හී මහානාගයකුගේ භයංකාර වේසයක්‌ මවාගෙන ගිගිරි හඬින් නාදවන ශබ්දයක්‌ හා විදුලි වේගයෙන් මුඛංයෙන් ඉවතට දිව නික්‌මෙන, ආකාර දක්‌වමින් මාරයා පැමිණ ඇත. මේ නම් මාරයායෑයි බුදුන්වහන්සේ අවබෝධ ඥනය පහළවීමත් සමග හෙතෙම නොපෙනී ගියේය.

“පූජාවලියෙහි” (695-696 පිටු) දැක්‌වෙන පරිදි ධර්මාශෝක රජු බොහෝ පින්දහම් කිරීමෙන් අනතුරුව එතුමානට බුද්ධරූපයක්‌ දැකීමෙහි දැඩි ආශාවක්‌ පහළ වියත. රජතුමා ඒ බව භික්‍ෂූන් වහන්සේ වෙත දැන්වූයෙන් අනතුරුව එතුමන් අබියසට පැමිණ නාග ලෝකයෙහි මහාකාල නම් නාරජු බුද්ධරූපයක්‌ මවා පෙන්වාලූ ආකාර ඓතිහාසික ලේඛනයන්හි සඳහන් වේ.

බුද්ධ කාලීන “ආටානාටි සූත්‍රයෙහි” සඳහන් වන පරිදි නාගයිගම අධිපතිවන්නේ සතරවරම් දෙවියන්ගේ බවය.

නාගයා හා බැඳුණු දේව හා සමාජ සංකල්පයන්ද බහුලය. නාග අවතාරය විෂ්ණු දෙවිඳුන්ගේ අවතාරයකි. එනිසා විෂ්ණු දෙවියනට නාගයා හා බැඳුණු සම්බන්ධයක්‌ ඇත. හින්දු සමය අනුව නාගරූපයටහිමිවන්නේ සුවිශේෂ ස්‌ථානයකි. ශිව දෙවියා නාගාභරණ හෙවත් නාගයන් ආභරණ ලෙස පළඳියි. ශිව දෙවි නාගයනට අධිපතීත්වයද උසුලන්නේය පත්තිනි දෙවඟන උපත ලැබුවේ නයි කඳුලෙනි. ගජබා රජුදවස දක්‍ෂිණ ඉන්දියාවේ මධුරපුර පත්තිනි දේවාලයෙහි පත්තිනි උත්සවයෙන් ගෙනෙන ලද මුල්ම පත්තිනි සළඹ නවගමුවේ (නාගමුවේ) ඉදිකරවු දෙවොලෙහි තැන්පත් කොට පත්තිනි දේව වන්දනා පැවැත්විණි. පත්තිනි දෙවොල නාගස්‌ උයනෙහි පිහිටි අතර නාලොව නාගයන් එය ආරක්‍ෂා කළ බව කියවේ. එනිසා මෙය නාගයන්ගේ රැකවරණ ලැබූ දෙවොලකි. පෘතුගීසි පාලකයන්ගේ ආක්‍රමණයන්ගේ දැඩි ක්‍රියාවන්ගෙන් පත්තිනි සළඹ ඇතුළු පූජ්‍ය භාණ්‌ඩ ආරක්‍ෂා කර දෙනු ලැබුවේ නාලොව නාගයින් යෑයි ජනප්‍රවාදගතව ඇත.

දේවානම්පියතිස්‌ස රජු සමයෙහි රුහුණේ පාලකයා ලෙස කටයුතු කරනු ලැබුවේ යුවරජ මහානාගය. මෙදවස අශෝකාධිරාජයාගේද අනුග්‍රහයෙන් දඹදිව ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවාගෙන එන අවස්‌ථාවේදී නාගයො, එම බෝධි ශාඛා වහන්සේ නාලොව වෙත වැඩම කරවාගෙන ගොස්‌ සත් දිනක්‌ පූජෝපාහාර සත්කාර පවත්වා ආපසු නාවික යාත්‍රාවට ගෙනවිත් බාරදුන් බව (ම.ව. 19 පරි 18 – 20 ගාථා) සඳහන් වේ.

දන්ත කුමරුන් හා හේමමාලා කුමරිය ශ්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීමේදී නාගයන්ගෙන් සිදුවූ බාධා තාවුලිප්ති තොටට පැමිණෙන තෙක්‌ රහත් තෙරුන් වහන්සේගේ පිහිටෙන් අඩාල කිරීමට හැකිවූ බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. එමෙන්ම මුහුද මැදදී නාවික යාත්‍රාව නතර කරවූ නාලොව නාගයෝ සත්දිනක්‌ මුළුල්ලේ කඩුපුල් මදාරා ආදී මල්වලින් පූජා පවත්වමින් වාද්‍ය භාණ්‌ඩ වාදනය කරමින් පූජෝපහාර පවත්වමින් සිටියදී ගුරුළුවෙස්‌ මවාගත් තෙරණුවෝ අහසින් වැඩම කර නාගයන් පලවාහැර දළදා වහන්සේ ලංකාවට වැඩමකිරීමට උපකාරි වූ ආකාරය පිළිබඳ දළදා සිරිතේ (1970 පිටු 31- 34) සඳහන් වන්නේය. මෙවන් තොරතුරු වලින්, මොවුහු දිව්‍ය නාග කොට්‌ඨාසයක්‌වත් දැයි අනුමානයක්‌ පහළ වේ.

ඇතැම් උගතුන් පවසන්නේ මහානාග රජුගේ මව නාග ගෝත්‍රයට අයත් බවත්ය. එමෙන්ම දුටුගැමුණු රජතුමාගේ චරිතාවලිය පිළිබඳ පවත්නා ජනප්‍රවාද රැසකින් අපට පෙනෙන්නේ, අවස්‌ථා කිහිපයකදීම රූමත් නාග කන්‍යාවියන් සිය අණසකට නතුකරගත් බවකි. තම ප්‍රධාන බිසව් තනතුරේ පවා සිටියේ නාග අඟනක්‌ බවටද විවිධ තොරතුරු ඇත. මෙවන් සිද්ධි නිසා පිරිමි නාගයන් අසතුටෙන් සිටිමින්, රජතුමන්ට කරදර පැමිණිවීමටත් පළිගැනීමටත් ක්‍රියා කළ ආකාර අසන්න ලැබේ. දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑ ධාතු නිධානෝත්සවයට සෝනුත්තර තෙරුන් ලවා නාග ලෝකයෙන් ධාතු වැඩම කරවාගත් බව ජන ව්‍යවහාර ගතව ඇත.

ලංකාවේ රාජාවලියේ රජවරුන් කිහිපදෙනකුම ඉලනාග, සිරිනාග, ඛල්ලාඨනාග, මහාදාඨික මහානාග, මහල්ලක නාග වශයෙන් නාග නාමය භාවිත කොට ඇත. ක්‍රි. ව. 3 වැනි සියවසදී හරිසෙන් විසින් රචිත සමුද්‍රගුප්ත අධිරජුගේ අවනතභාවයට පත්වනු ආර්යාවර්තයෙහි රජුන් ලෙස නාගසේන, නාගදත්ත, ගණපතිනාග, නන්දින් වශයෙන් සඳහන් වේ. එමගින් භාරතීය, “නාග” නාමය භාවිත කළ භාරතීය නාග ගෝත්‍ර පිළිබඳ තොරතුරු හෙළි වේ.

ඉන්දීය රාජවංසයෙහි නාගර්ජුන යන්න දක්‌නා ලැබේ. උතුරු ඉන්දියාවේ නාග ගෝත්‍රිකයන් විශාල වශයෙන් දක්‌නා ලැබෙන බව මජුම්දාර් ඉතිහාසඥයාද පෙන්වාදී ඇත. නයිනතිව් දූපත ලක්‌දිව නාගදීපය ලෙස මහාවංසය අනුව පෙනෙන නමුදු, යාපන අර්ධද්වීපය නාගදීපය වියහැකි බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීහු පෙන්වාදී ඇත. ඒ බව තහවුරු වන්නේ වසභ රජු දවස ඉසිගිරිය අමාත්‍යයා යාපනය අර්ධද්වීපය පාලනය කළ බව වල්ලිපුරම් රන් සන්නස හමුවීමෙන් තොරතුරු අනාවරණය වීමෙනි.

වාරිකර්මාන්ත හා කලා කැටයම් අංශයෙහි නාග බලපෑම

නාගයා ජලයට ආධිපත්‍යයක්‌ උසුලා ඇත. එනිසා ලංකාවේ වැව් අමුණු, සොරොව්, රාජකීය පොකුණු ආදිය ඉදිකරලීමේදී නාගරූපය- නාග මූර්තිය – නාග කැටයම සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිකරගෙන ඇත. නාග සංකේතය ජලය ආශ්‍රිත පෙදෙසෙහි සනිටුහන් කිරීමෙන් සෞභාග්‍ය හා ආරක්‍ෂාව ළඟාවීමට ඉවහල්වන සාධකයක්‌ ලෙස පුරාතනයෙහි සිට සැලකුම් ලබා ඇත. ජලය එක්‌තැන් කරවන ලද වැවෙන් ජලධාරා ඇළමාර්ග මගින් බෙදාහරින්නේ ආහාර නිෂ්පාදනය හා සශ්‍රීකත්වය ලබා දීමේ අපේක්‍ෂාවෙනි. නායකයන්, රජවරුන් මෙකී අපේක්‍ෂා සාක්‍ෂාත් කරගැනීමේ පරමාර්ථයෙන් වැව් කණ්‌ඩියේ, වැව් සොරොව්ව, ඇළ මාර්ග රාජකීය පොකුණු ආශ්‍රිතව “නාගයා” සහිත කැටයම් ආකෘති, පළක සවිකර ඇති බව පෙනෙන්නට තිබේ. නිදසුන් ලෙස මානන්කට්‌ටිය වැව් සොරොව්වේ පෙන සහිත නාග, නාගිනි රූපද, කුට්‌ටම් පොකුණේ පෙන සහිත නාග රූපද, සීගිරිය මහවැව සොරොව්වේ නාග ගල්පුවරුවද, ෂ අග්බෝ රජුගේ මිහින්තලා නාග පොකුණ හා කලුදිය පොකුණ නාග රූපද, මිහින්තලේ සෑගිරියේ නාග සෙන්ඩියම් පොකුණේ නාග ආකෘතියද, ඌරු සිටාන වැව ආශ්‍රිත නාග කැටයමද නිදසුන් ලෙස සඳහන් කළ හැක. මිහින්තල, සෑගිරියේ පොකුණෙහි පෙන පහකින් යුත් නාගයා, නාගලෝකයේ සිට ජලධාරාවක්‌ සමගින් පැමිණි බවට අදහස්‌ කෙරේ. එම පොකුණ නොසිඳෙන ජලධාරාවන්ගෙන් යුත් පොකුණක්‌ ලෙස පතලව ඇත. ලංකාවේ උතුරු මැද පළාතේ මානන්කච්චිය වැව් සොරොව්වේ පෙන හතේ, පසේ නාගරූපද එමෙන්ම පරිවාර නාගිනි රූපද මූර්තිමත් කර ඇති බැව් පෙනේ. තවද ගෙවන්කුලමේ වැව් සොරොව්වෙහි හිස්‌ කීපයක්‌ සහිත නාග කැටයම් මූර්ති හමුවී ඇත. සීගිරිය වැව් සොරොව් සංකීර්ණයෙහිද මේ ආකාරයේම ගල් පුවරු ස්‌ථානගත කොට තිබී හමුවී ඇත.

නාග කලා ශිල්පචාරි හු “නයිදේ” යන ගෞරව නාමයෙන් හඳුන්වා ඇත. මෙකී ශිල්පකලා ශිල්පාචාරීහූ සිරුර මනුෂයකු ලෙසද, හිස නාගයකු ලෙසද දැක්‌වීමට පෙළඹී ඇත. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මිනිස්‌ නාග රුවෙහි හිස පෙන පහ, හත වශයෙන් නිමාවී ඇති, අතර කඩුපුල් මල, පුන්කලස දැක්‌වීම තුළින් සෞභාග්‍ය ළඟාකරදෙන බව සංකේතවත් කර ඇත.

උපුටාගැනීම
http://www.divaina.com/2011/01/16/siya13.html

යහලුවනේ ඒත් සමග මෙම ලිපිය ඔබට ලබාදෙන්නම්. මෙහි සදහන්වෙන්නේ මුහුදෙයි ජීවත්වන සුවිශාල නාගයෙකු පිලිබදවයි. ඒ අනුව මුහුද සහ නාගයන් සම්බන්ධව බුදු දහම‍ තුල කියවෙන දෑ මෙන්ම ඉතිහාස කථා සත්‍යය බව දක්වන්න පුලුවන්. නමුත් මෙහි කියවෙනවට වඩා වෙනසක් තමයි ඉතිහාස කථාවල දැක්වෙන්නෙ. කොහොම උනත් කියවල බලන්නකො.

මහ සයුරෙන් මතුවන අද්භූත නාගරාජයා

මීට වසර කෝටි ගණනකට පෙරාතුව මේ මහා පෘථිවි තලයේ ජීවත්වූ අරුම පුදුම ශරීර වලින් සමන්විත වූ සත්ව කොට්ඨාස පිළිබඳව පසුගිය කල්හි ලොව තැනින් තැන කරන ලද පුරා විද්‍යාත්මක කැණීම් වලදී හෙළිකර ගැනීමට හැකි විය. ඒ ඩයිනසෝර් යුගයේ විසූ අපූරු සත්වයින් සහ උරගයින් මෙන්ම විවිධ හැඩතල වලින් යුතු ජීවිතවල පාෂාණභූත ඇටසැකිළි සොයාගෙන ඒ පිළිබඳව සියුම් පර්යේෂණ කරද්දී වත්මන් ලොව එවන් ජීවමාන සත්වයකු ඉන්නට ඇතැයි කීම මොන තරම් විශ්මයට හේතුවක් දැයි සිතෙනු ඇත. මීට වසර හයකෝටි තුන් ලක්ෂයකට පෙර මේ මිහිකත නිජබිම කරගෙන සිය අණසක පතුරවමින් සිටි ‘ඩයිනසෝර්’ යුගයෙන් පසු එළැඹි ක්ෂීරපායි යුගයෙන් ශේෂ වූ අති දැවැන්ත උරගයකු තව දුරටත් මහ පොළවට උරුමකම් කියමින් නිමක් නැති මහා සාගර පත්ලේ ජීවත් වෙතැයි කීවොත් එය ඔබ අප ඉමහත් සේ පුදුමයට පත්කරනු නොඅනුමානය. එහෙත් පුදුම විය යුතු නැත. එය සම්පූර්ණ සත්‍යයක් බවට ඔප්පු වී හමාරය. දේහ විලාශයෙන් මහා ප‍්‍රාකාරයකට සමාන ශබ්දයට වඩා වේගයෙන් ගමන් කිරීමට හැකි ක්ෂණයකින් මහා සාගරය දෙබෑකොට මතු වී ඇසිපිය හෙළීමකටත් පෙර අතුරුදන් වීමේ දස්කමක් ඇති මෙම විශ්මිත උරග විශේෂය පිළිබඳව ව්‍යාජත්වයෙන් තොර ඓතිහාසික සාක්ෂි සහ තොරතුරු පවා තිබීමෙන් පෙනී යන්නේ මේ අත්භූත සංසිද්ධියට අනාදිමත් අතීතයක ශ්‍රී විභූතියක් ඇති බවයි.
මනඃකල්පිත හැම කතාන්තරයකම සත්‍ය පැත්තකුත් තිබේ. ඒ සත්‍ය පැත්ත ද මහ සයුරම හෙළිකරයි. ඊට හේතුව අපි හැම දෙන සහ ගොඩබිම සත්ව ලෝකයේම නිජබිම ද එක් කලෙක මහ සයුර වීමයි. එබැවින් කලක් තිස්සේ කල්පිත වූ සිතුවිල්ලක් සේ මේ උරගයා පිළිබඳව වගතුග ද මහ සයුර විසින්ම ලොවට පෙන්වා දෙනු ලැබුවේ 16 වැනි සිය වසෙහි ස්වීඩනයේ ජීවත් වූ ‘‘ ඕලොප් මැග්නස්ට්’’ (Orlop Megnest) නම් අග‍්‍ර රාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ රචිත ග‍්‍රන්ථයක් මගිනි. ඈත දියඹේ මසුන් මරණ ධීවරයන්ගෙන් හා විවිධ නාවික සංචාරකයන්ගෙන් ලබාගත් තොරතුරු අනුව සකස් කරන ලද එම ග‍්‍රන්ථයේ විස්තර වන්නේ අති විශ්මිතවූ ‘‘අත්භූත නාග රාජයෙක්’’ පිළිබඳවය. මහ සයුර දෙබෑ කරමින් උඩට මතු වී සැණෙන් අතුරුදන් වන මෙම උරගයා පිළිබඳව එම වාර්තාවේ මෙසේ සඳහන්ය. ‘‘මේ අරුම පුදුම උරගයා මහා පවුරක් සේ අඩි 180-200 පමණ දිගය. සිරසින් පළල් වූ මහා පෙන ගොබය අඩි 20-22 පමණ පළලින් යුතුය. අති දැවැන්ත පෙන ගොබයෙන් විවර වූ මුඛයෙන් වැඩුන මීගවයින් දෙතුන් දෙනකුට එකවර ගමන් කළ හැකි තරම්ය. දෙනෙත් මහා ගිණි පුළිඟු දෙකක් මෙන් රෞද්‍රය. පිට පෙදෙස කාල වර්ණයෙන් යුතුවන අතර උදර පෙදෙස සුදු පැහැ ගනී. චීන ජනතාව විශ්වාස කරන ‘‘මකරා’’ (Dragon) මෙන් දේහ විලාශ ඇති මෙම අත්භූත උරගයාට මහ සයුර දෙබෑකර මතුවී අතුරුදහන් වීමට ගතවන කාලය තත්පරයකටත් අඩු විය හැකිය.
සාගර රළපතර මතින් අඩි 30-40ක් අහසට එසවී රුදුරු දෑස් විවර කර තියුණු උල් දත් ඇති මුඛයෙන් දිව එළියට දමා බිහිසුණු විලාශයක් මවාගන උගේ ක්ෂණික අතුරුදහන් වීම වෙනුවෙන් ගිලෙන විට සාගරයෙන් මහා හඬක් පිටවෙයි. දෙබෑවූ ජලකඳ සැණෙන් පෑහී යයි. ඇස් අදහාගත නොහෙන විශ්මිත වූ මේ පුරාවෘතය ප‍්‍රචලිත වීමත් සමඟම එවන් තවත් අපූරු අත්දැකීමක් ලද ප‍්‍රංශ ජාතික ගවේශකයන් දෙපළක් ඡුායාරූපයක් සහිතවම තවත් වාර්තාවක් ලොවට හෙළිකරන්නට සමත් වූහ. පැසිපික් සාගරය හරහා නාවික ගවේශණයක යෙදුණු මොවුන්ට ඕස්ටේ‍්‍රලියාවට ආසන්න සාගර ගල්වැටියකට බරදී සිටි මේ අති දැවැන්තයා දැකීම මවිතයට හේතුවක් විය. බිය සහ ත්‍රාසය ද ඇති කළේය. සිරුරේ සුවිශාල කැපුම් තුවාල සහිතව ඉමහත් වේදනාවකින් සිටි අතර එය මහ සයුර හරහා ගමන්ගත් විශාල නැවක දැති රෝදයකින් සිදුවූවක් විය හැකි බවට ඔවුන් අනුමාන කරන ලදී.
දුරදක්නය නිවැරදිව සකසා බැලූ කළ ඔවුන්ට දැක ගත හැකිවූයේ මේ උරගයා ද ගොඩබිම වෙසෙන නාගයකුගේ (Cobra) ස්වභාවය ගන්නා බවයි. පළල් වූ පෙණ ගොබය, ගිණි පුළිඟු නෙත් දෙක, ලා රතුවන් මුඛය සහ තියුණු උල් සහිත දත්, කලූ සුදුවන් සිරුර ඔවුන්ට පැහැදිවම සනාථ කරගත හැකි විය. එහෙත් සිරුරෙහි අඩක් පමණ ජලයට ගිලී රළ පහරත් සමඟ ඉහළ පහළ යමින් තිබිණ. සාමාන්‍යයෙන් අඩි 80-100ත් අතර දිග ප‍්‍රමාණයකින් යුතු යයි ඔවුන් අනුමාන කළහ. මේ සුවිශාල දැවැන්තයාගේ ඡායාරූපයක් ගත හැකි වුවද එක් සැණෙකින්ම රළ පහරෙහි කිමිදී අතුරුදන් විය. ප්‍රංශ ජාතික ගවේශකයින්ගේ වාර්තා සහ ඡුායාරූපත් සමගම ලොව පුරා විදුදරුවන්ගේ පර්යේෂණ ඇසට බඳුන් වූ මේ අත්භූත උරගයා පිළිබඳව සොයන්නට උත්සුක වූ බවක් පෙණින. විශේෂයෙන්ම ප්‍රංශ ජාතිකයින්ගේ ගවේශණ වාර්තාවන්ට අනුව පැසිපික් සාගරය ආශ්‍රීතවම සියුම් පරීක්ෂණ සහ ‘විදු ඇස’ යොමු කරන ලද අතර බොහෝ කාරණා කාරණා ඔවුන්ට ලඟා කර ගත හැකි විය. ගැඹුරු සාගර පත්ලට යාහැකි විශේෂිත ‘සබ්මැරීන’ උපයෝගී කරගෙන පැසිපික් සාගරයේ ‘මරියානා’ ආගාධයට සමීප කිලෝමීටර් 3ක් පමණ ගැඹුර ඇති සාගර පත්ලෙහි දිගින් අඩි 200-250ක් පමණ වූ නිශ්චල උරගයකු සිටින බව දැකගත හැකි වූ අතර ඝණ අන්ධකාරය තුළින් උගේ සිරුර පුරා ආලෝක ධාරාවක් විහිදෙමින් තිබිණ. නවතා ඇති රත්‍රී දුම්රියක මැදිරිවලින් නිකුත් වන ආලෝකයට සමාන වූ ආලෝකයක් එයින් නිරූපණය විය. කිසිදු කලබල ගතියක් නොපෑව ද කිසියම් අනතුරක සේයාවක් හෝ නැති නම් තමා පිළිබඳව කවුරුන් හෝ අවධානයකින් සිටින බවක් ඉවෙන් මෙන් දැනගත් නිසාදෝ ක්ෂණයකින්ම එම ආලෝකය නිවී ගිය අතර සාගර පත්ල ඉමහත් සේ කැළඹිල්ලකට ලක්විය.
මේ අතර සෝවියට් නාවික හමුදාවේ සෙබළ පිරිසක් ‘‘ඇන්ටාටික්’’ සාගරයට ඉහළින් හෙළිකොප්ටරයකින් ගමන් කරද්දී ද මේ අරුම පුදුම උරගයා දැකගෙන තිබේ. ගමන් ගත් යානය අඩි 100ක් ම පහත් කර එය නිරීක්ෂණය කරද්දී ඔවුන්ට අනුමාන කරන්නට ලැබුණේ මේ සත්වයා අඩි 50ක් පමණ දිගැති බවයි. තවත් වැඩිදුර නිරීක්ෂණය කරන්නට ඉඩ නොතබාම ඌ ජලධාරා අතර ගිලී නොපෙනී ගියේය. ලොව වටා අපුරු පුවත් මවමින් ජනතාව මවිතයට පත්කරමින් ‘‘මුහුදු නාගයා’’ ලෙස නම් ලැබූ මේ උරගයා එක්වර විශාල පිරිසකට දැකගත හැකි වූයේ වර්ෂ 1947 දී පමණය. සංචාරකයෝ පිරිසක් පිරිවරා ‘‘ශාන්ත ක්ලේරා’’ (Sent Clayra) නෞකාව පැසිපික් සයුර හරහා ගමන් කරද්දී මේ අරුම පුදුම උරගයා ඔවුන්ට දැකගත හැකිවී තිබේ. අහම්බෙන් මෙන් එම නෞකාවේ හැපී තුවාල ලද ඌ සැනෙකින්ම මතුවී ගිලී ගියේය.
වර්ෂ 1948 දී ඕස්ටේ‍්‍රලියාව අසළින් ගමන්ගත් නෞකාවක මගීන්ටද අසිරිමත් මුහුදු නාගයාගේ රුදුරු බව දැකගත හැකිවිය. අඩි 80ක් පමණ දිගින් යුතු යැයි විශ්වාස කළ හැකි බවට ඔවුන්ගේ නාවික වාර්තාවලින් හෙළිවෙයි. දැවැන්ත නාගයකුගේ රුවින් යුතු රුදුරු විලාශයක් ගන්නා වූ මේ උභය ජීවියාගේ ක්ෂණික අතුරුදන්වීමේ වේගය තත්පරයකටත් අඩු කාලයක් බව ඔවුන්ට පසක් කර ඇත. සයුරෙන් මතු පිටට අඩි 20-30ක් උඩට ආ මුහුදු නාගයා නැවත සයුර දෙබෑකර අන්තර්ධාන විය. වර්ෂ 1956 දී නෝර්වේජියානු ජාතික ජීව විද්‍යාඥයින් වූ ‘‘ආචාර්ය මීඞ් වෝල්ටර්’’ සහ ‘‘නිකල්ස් ජේ. මයිකල්’’ යන දෙදෙනාට බ‍්‍රසීල මුහුදේදී මෙවන් අරුම පුදුම නාගයකු දක්නට හැකි වූ බව වාර්තා කර තිබේ. මෙයට පෙර ගවේශකයන් හා විද්‍යාඥයන් දුටු අත්භූත මුහුදු නාගයා මෙන් මෙම නාගයාද සැණෙන් අතුරුදන්වීමට අති දක්ෂයෙකි. මිනිසුන් බිය වද්දමින් හෝ මිනිසුන්ට දර්ශනය වෙමින් මහ සයුර දෙබෑකොට මතුවී රුදුරු බවින් මුව විලිස්සා අතුරුදන් වන්නේ කුමක් නිසාදැයි මේ විද්‍යාඥයෝ සැක පහළ කරති. ආචාර්ය ‘මීඞ් වෝල්ටර්’ සහ ‘නිකල්ස් ජේ. මයිකල්’ යන විද්වතුන්ගේ මතය ගරු කළ නෝර්වේ රජය මේ වෙනුවෙන් සියුම් පර්යේෂණ කළයුතු බවට යෝජනා කළේය. ඊට තවත් ආසන්නතම හේතුව වූයේ නෝර්වේජියානු දේශ ගවේශකයකු වූ ‘ටෝහියර්’ නම් පුද්ගලයා නෝර්වේ අසළ මහ සයුරේදී දුටු අත්භූත ‘මුහුදු නාගයා’ පදනම් කරගෙනය. එහෙත් අහඹු සිදුවීමක් සේ දැක ගැනීමට හැකි වුවද පර්යේෂණයක් කරමින් මේ සත්වයා දැක ගැනීමට නොහැකිවීම අභාග්‍යයක්ම විය.
ලොව විවිධ රටවලින් විවිධ ගණයේ ‘මුහුදු නාගයා’ පිළිබඳ වාර්තා ආවත් ඒ කිසිවක් නිත්‍ය හා සුබවාදී පර්යේෂණයකින් සාර්ථක ප‍්‍රතිඵල නෙළාගත නොහැකි විය. ‘‘අවසන් වශයෙන් ජගත් විදු දරුවන් පොදු වාර්තාවක් සකසමින් මේ සත්වයා කිසිම විටෙක මිනිස් ග‍්‍රහණයට හසුනොවන දර්ශනයට ලක් වුවද සැනෙකින්ම අතුරුදන්වන, අත්භූත ජීවියෙකු යයිද, මහසයුරෙහි ‘හරස් සහ තිරස්’ අතටත් මොහොතකින් කිමිදීමට සමත්කම් දක්වන ඌට ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි බවද වාර්තා කළේය. කාලාන්තරයක් තිස්සේ පර්යේෂණවලට පාදකවූ ඩයිනසෝර යුගයේ විසූ උභය ජීවියකු වියහැකි වුවද මනඃකල්පිත චරිතයකට හිමිකම් කී ඌ සත්‍ය පුරාවෘතයක් බවත් හෙළිකළේය. එපමණක් නොව මේ කල්පිත බව තව තවත් තිව‍්‍ර කරන්නටම මේ සත්වයාට වෙඩිතබා වුව ඝාතනය කළ නොහැක්කේ උගේ ක්ෂණික අතුරුදන් වීමේ අසීමිත ශක්තිය නිසා බවත් ජලයේ ඝණත්වයට වඩා උගේ බර ප‍්‍රමාණය අධික නිසා මරා දැමුවද ඒ මළ සිරුර මුහුදු පතුලටම කිඳා බසින බවද වාර්තා කළේය’’. වත්මන් විදුතතු අනුව ඌ ‘මුහුදු නාගයා’ වුවද කුමන සත්ව කොට්ඨාසයකට අයත් දැයි තවම නිශ්චිත කර නැත්තේය. එහෙත්, ප්‍රංශ ජාතික ජීව විද්‍යාඥ ”ගියාර්ඞ්” පවසන්නේ දැනට ලැබී ඇති සත්‍ය ගවේශන තොරතුරු සහ සාක්‍ෂි මත වරින් වර මහ සයුර දෙබෑකරගෙන මතු වී අදෘෂ්‍යමාන වන මෙම සත්ව කොට්ඨාස ආදී කල්පිත යුගයට අයත් ‘‘ඉතියෝර්’’ හෝ ‘‘මිතියෝර්’’ යන උරඟ ගණයට අයත් වඳවීගෙන යන සත්ව පරපුරක් බවයි.

නාලගමුවේ උබේසේකර කුමාරසිංහ
2012 දෙසැම්බර් මස 02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

නාගයන් සම්බන්ධව මේ ජාතක කථාවක් බලන්නකෝ
http://www.jathakakatha.org/newhome/index.php?option=com_content&view=article&id=496%3A310—&catid=56%3A301-250-&Itemid=99

දුටුගැමුණු රජතුම‍ාගේ මරණයට නාගයින්ගේ සම්භන්ධයක් ඇති බව මේ ලිපියෙන් කියවන්න
http://www.divaina.com/2012/04/25/badada01.html

මේ නාගයින් සම්බන්ධ තවත් කථාවක්
http://www.lakehouse.lk/budusarana/2008/02/29/PrintPage.asp?REF=vision02

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

ලෝවැසි සත්වයාගේ සසර මග යහපත් කරනු පිණිස අපමණ මෙත් සිතින් ශ්‍රද්ධා පෙරදැදිව එරන්ද ලක්මාල් විසින් මේ ලිපිය පලකරන ලදි. හැකිතාක් යහලුවන් අතර බෙදා හරින්න.


●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●

සන්තති අමාත්‍යතුමා රහතන්වහන්සේ නමක් වෙයි ...
දානයේ අනුසස් දැනගන්න ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.