බුදුදහමින් පෝෂණය වූ මුතුන්මිත්තන්ගේ ජීවන රටාව ... - IFBC Organization | Dhamma

වසර 2500 කට වඩා පැරැණි පෞඩ ඉතිහාසයක් හිමි අප රට වර්තමානයේ දියුණු යැයි පවසන වෙනත් රටවල් වන වැදී තිබූ අවධියේ බතින් බුලතින් සශ‍්‍රීීක වූ ස්වයංපෝෂී රාජ්‍යයක්ව පැවති බවට ඉතිහාසය සාක්ෂි දරයි. එකල අපරට ‘පෙරදිග ධාන්‍යාගාරය’ නම් විරුදාවලි ලත් බවින්ම මේ බැව් සනාථ කිරීමට වෙනත් අටුවාටීකා අවශ්‍ය නොවේ. මෙම සශ‍්‍රීකත්වයත් ස්වයංපෝෂී බවත් පෙර විසූ මුතුන් මිත්තන් ලබාගත්තේ අහම්බෙන් නොවේ. ඒ සඳහා පරම්පරා ගණනාවක්,වසර ගණනාවක් වැය කරමින් දැරූ මහත් උත්සාහයක අවසාන ප‍්‍රතිඵලයකි මෙම ස්වයංපෝෂීත්වය. එක් රාජ යුගයකට පසු සිහසුනට පත්වන්නා පෙර සිහසුන දැරූ පුද්ගලයා රට වෙනුවෙන් , කෘෂිකර්මය වෙනුවෙන් කළ කටයුතු වලට නොදෙවැනි අයුරින් කි‍්‍රයා කිරීමට හැමවිටම උත්සාහ කරන ලදී.
කෘෂිකර්මය ප‍්‍රමුඛ කොටගත් බුදුදහමේ සෙවන ලබමින් ගොඩනැගුණු සිරිලක ජන සමාජයේ සිහසුන දැරූවන්ගේ ප‍්‍රධාන කටයුත්තක් වූයේ කෘෂිකර්මය සඳහා අනුග‍්‍රහ දැක්වීමයි. ජලය ගොවියාගේ වටිනාම සම්පත විය. ගොවිතැනත් ජලයත් අතර තිබූ දැඩි බැදීම තවත් තහවුරු කරනු සඳහා ඔවුන් විසින් වාරිමාර්ග පද්ධතීන් ඉදිකරවනු ලැබීය. වියලි කලාපයේ ඉතා විශාල වශයෙන් ලොකු කුඩා වැව් ඉදිකරවීය. මේ නිසාම වියලි කලාපය ‘වැව් බැඳි රාජ්‍යය’ ලෙසින් ද හැඳින්වීය. කෘෂිකාර්මික සංවර්ධනයත් ඉන් ලැබූ සශ‍්‍රීකත්වයත් සමගම රටේ තවත් නොයෙකුත් අංගයන්හි වර්ධනයක් දක්නට ලැබින. ආගමික සිද්ධස්ථාන,කලාකෘතීන්, ගොඩනැගිලි ඉදිවිය. මේ සියල්ලටම බුදු දහමින් මනා පෝෂණයක් සැපයිනි. අනුරාධපුර පොලොන්නරුව සීගිරි ආදී ප‍්‍රදේශවල එකල පැවති පෞඩ රාජ්‍යයේ නශ්ඨාවශේෂ අදත් අභිමානයෙන් නැගී සිටිමින් ඒ ඉතිහාසය පිළිබඳ තොරතුරු අප වෙත සපයයි.
රළු ගල්පර ඉතා සිනිඳුවට ඔප මට්ටම් කර අගනා වටිනා නිර්මාණ බිහිකිරීමට තරම් සුවිශේෂී දැනුමක් එකල කලාකරුවා සතු විය. ඉතා නිවැරදි ලෙස ජලාශ ඉදිකිරීමට, වාරිමාර්ග පද්ධති ඇති කිරීමට තරම් සුවිශේෂී වූ විස්මය දනවන තරමේ ඉංජිනේරු ඥානයක් එකල මුතුන් මිත්තන් සතුවිනි. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය එම ඥානය අද සිටින අප කිසිවෙකුවත් සමකළ නොහැකියැයි කිම නිවැරදි යැයි හැ‍ෙග්. ඒවා එතරම්ම අපූරු හා විස්මිත නිමැවුම්ය. ඔවුන් සතු වූ වෛද්‍ය දැනුමද ඊටම දෙවැනි නොවන්නකි. ලංකාවේ සිරකරුවෙක්ව සිට පසුකලෙක එදා හෙළදිව නමින් ලක් තොරතුරු ඇතුලත් ග‍්‍රන්ථය එළිදැක්වූ රොබට්නොක්ස් පවසන අයුරින් අස්ථි බිඳීමක් ඉතා ඉක්මනින් සුවපත් කිරීමට තරම් එකල අපේ මුතුන් මිත්තන් දක්ෂ විය. ඔවුනට වනයේ සෑම පැලෑටියක්ම ඖෂධ පැලෑටියක් විය. ඔවුන් එම ඖෂධ පැලෑටියක් වටිනාකම / ඖෂධීය ගුණය හැඳිනගෙන සිටියහ.
පැරණි ගම්මාන සඳහා පිටතින් ගෙන එන ලද්දේ ලුණු පමණකි. අනික් සියලු ම ද්‍රව්‍ය ගමේ ම නිපදවූවා පමණක් නො ව ගමේ නිපදවන වැඩිපුර දේ අලෙවි කිරීමෙන් ආදායමක් ද ලබා ගත්තෝ ය. ඔවුහු මෙසේ ගම ගෙදර සකස් කළෝ ය.

ප්‍රධාන වැවිල්ල වශයෙන් තම ඉඩමේ පොල් වගා කරන අතර කොස් ගස් හත අටක් ද සිටුවන ලදී. වැල වරකා ගස් මේ අතර විය. වත්ත මායිම් වටේට ම පුවක්ගස් සිටුවූහ. වත්තේ මුඩු ප්‍රදේශවල රට දෙල් ගසක් ද ඈත කොණක වල්දෙල් ගසක් ද විය. අඹ, රඹුටන්, පේර සහ වෙනත් පලතුරු වර්ග ද තැනින් තැන විය. කෙසෙල් ද, ගස් ලබු, කජු, බෙලි, දිවුල් සහ ගේ ආසන්නයේ දෙහි, දොඩම් ගස් විය.

ගම ආසන්නයේ හේනේ කුරක්කන්, අමු, වැනි ධාන්‍ය වර්ග සහ වට්ටක්කා, පුහුල්, ලබු, මඤ්ඤොක්කා, බතල සහ උක් ගස් ද විය. සෑම ගෙදරක ම අල පාත්ති කීපයක් ද බුලත් පාත්ති කීපයක් ද විය. හිඟුරල, රට අල, බතල, කිරිඅල, කුකුළල එහි වගා කරන ලදී. මේ අතර කිරි එළදෙනක් ද ඇති කළෝ ය. සමහර ගෙවල කුකුල් කොටුවක් ද විය. කුඹුර ආසන්නයේ දෙනිකඩේ එළවළු කොටුවකි. තමාට අවශ්‍ය එළවුළු එහි විය. කෙසෙල් පඳුරු කීපයක්, කහ, ඉගුරු පාත්ති සහ බෙහෙත් පැළෑටි ද ඒ අතර විය.

පොල්පලා, එලබටු, ඉරමුසු, ඉරිවේරිය, කෝමාරිකා, හාතාවාරිය, වැල්පෙනෙල ද වූ අතර නොවරදවාම ළිඳ ළඟ කොහිල වලක් ද විය. ඉබේ වැවෙන බෙහෙත් ද්‍රව්‍ය වත්තේ වැවෙන්නට ඉඩ හරින ලදී. අක්කපාන, කතුරුපිල, එඬරු, රුක් අත්තන, වෙනිවැල්, ඔලිඳ, මොණරකුඩුම්බිය, ආපසුමදු, බැවිල, තුඹ, තෝර, ඇත්තෝර, අස්වැන්න, දියමෙනේරිය වැනි දෑ ඉබේ වැවෙන්නට ඉඩ හැරිය අතර ඒවායින් සමහර ඒවා ඖෂධ වශයෙන් ද පලා වශයෙන් ද ප්‍රයෝජනවත් විය. ගම්මිරිස්, කෝපි, කරාබු, සාදික්කා වැනි දේ ද වත්තේ විය.

ගේ ඉදිරිපස දාස්පෙතියා හෙන්දිරික්කා ආදී මල් වර්ග ද විය.

ගෙදරට අවශ්‍ය වළං, රෙදි, ආයුධ, ආභරණ, ගෘහභාණ්ඩ, ගමෙන්ම සැපයිණ. රෙදි සේදීම, ගොඩනැඟිලි සෑදීම ගමේම අය කළහ. රන්කරුවන්, කුඹල් කරුවන්, කම්මල් කරුවන්, පේෂකාරයින් ගමට අවශ්‍ය දේ සපයා දුන්හ.

මේ හැර ගම ගෙදර වී බිස්ස නිතර ම වීවලින් පිරී තිබිණ. දුම හා අටුව කජු, දෙල් ඇට, අටුකොස් ඇට සහ මදුලු, කොට්ට පොල් ආදියෙන් පිරී තිබිණ. කුස්සිය මුල්ලේ කොස්ඇට මුල්ලකි. දුම යට එල්ලූ මලුවල බිත්තරට ගන්නා ඇට වර්ග ය. දුමෙන් වේලූ කොප්පරාවලින් ගෙදරට අවශ්‍ය තෙල් ලැබේ. පහන් දැල්වීම, හිසේ ගෑම, බැදුන් සහ කැවුම් කොකිස් ආදියට ඒවා උපකාරී විය.

ගමේ සෙක්කුවෙන් ඒවා හිඳින ලදී. ගමට එන තොරොම්බල් කාරයාත්, පුවක් සොයන්නාත්, රෙදි පොට්ටනිකාරයාත්, මුදලාලිත් ගමට අවශ්‍ය බඩු සැපයූ අතර මිලදී ගත්තෝ ය. යාන වාහන සඳහා රේස් තිරික්කලය, බක්කි කරත්තය, බර කරත්තය ප්‍රයෝජනයට ගත්හ. ගමේ ජලාශවලින් අවශ්‍ය මත්ස්‍ය සම්පත ද කැලයෙන් මස් ද ලැබිණ. වක්කඩවල්වල ඉරටි තැබීම වලවල් ඉසීම ආදියෙන් අල්ලාගත් මසුන් වැඩිපුර හරිය ලුණු දමා වේලා කරවල කළ අතර මස් ද වියලා තබා ගත්හ.

ගොරක, බිලිං, කුරුඳු, කරාබු නැටි ආදිය ද වත්තෙන්ම ලැබිණ. සෞඛ්‍ය සේවා සඳහා ගමේ වෙද මහතා ද ගම පාලනය සඳහා ගමේ ආරච්චි රාල ද විය. රෝහල් නොතිබුණ ඒ කාලයේදී ලෙඩ රෝග සඳහා සිංහල බෙහෙත් කරන ලදී. ගමේ පොදු ළිඳ හෝ වැව, කඩ පල, විහාරස්ථානය සැලකිය යුතු තැන් ය. පෝය දිනට සෑම කෙනෙක් ම පන්සල් ගියෝ ය.

ඉගෙනීම සඳහා ගියේ ද පන්සලටය. ගමරාල, ගම්බාරයා, වෙල් විදානේ ගමේ අනෙක් ප්‍රධානීන් විය. බෙලිමල්, කෝපි, රණවරා, නීරමුල්ලිය වැනි දේ බීම සඳහා ගත් අතර උක්ගස් කපා මිරිකා උණුකර පැණි සහ හකුරු ද කිතුල් ගස්වල මීරාවලින් පැණි සහ හකුරු ද කිතුල් ගස්වල මීරාවලින් පැණි සහ හකුරු ද නිපදවා ගත්හ. තලවලින් තල තෙල්, කැකුණ තෙල්, මීතෙල්, දොඹ තෙල්, පොල් තෙල් වැනි තෙල් වර්ග ද නිපදවා ගත්හ.

අමුත්තකු ගෙදරට පැමිණි විට කොට්ට කජු හෝ තල කැරලි සාදා පිළිගන්වන ලදී. කොස් ඇට බැද පොල් සමඟ කොටා අග්ගලා හැදීම, මයියොක්කා පිටිවලින් රොටී පිට්ටු සෑදීම ද කළහ. උදයට කොළ කැඳ, රාත්‍රියට කුරක්කන් පිට්ටු හෝ තලප කෑමට ගත්හ. සෑම ගෙදරකම කුරක්කන් ගලක් විය. ගමේ සෙක්කුවක් ද රෙදි වියන ස්ථානයක් ද විය. මේ සඳහා අවශ්‍ය දේ ගමේ ම විය.

කරත්ත සෑදීම අවි ආයුධ සෑදීම ගමේ කම්මල හා වඩු මඩුව විසින් නිපදවන ලදී. ඒවාට මුදලින් හෝ ද්‍රව්‍යවලින් ශ්‍රමය සඳහා ගෙවන ලදී. ගමේ සෑම බිම් කොටසක්ම කුමන හෝ වගාවකට යොදා ගන්නා ලද අතර ගමට අවශ්‍ය දේ මෙන්ම අහල පහල ගම්වලට අවශ්‍ය ද්‍රව්‍ය ද නිපදවන ලදී.

”දෙල් දෙමසක් කාපල්ලා
හල් දෙමසක් කාපල්ලා
බිනර මසට මං එනවා නාඬල්ලා”

පැරණි ගැමියන් මෙලෙස කියන්නේ “අහේම” කාලය මතක් කිරීමට ය. අහේම කාලය කියන්නේ කොස් හෝ දෙල් හෝ නැති කාලයයි. මේ කාලයට හල්, දෙල් (කැලෑ) මඩු වැනි ආහාරයට ගත හැකි ගෙඩි වර්ග ඇත. හල් කටුවෙන් හල් ගෙඩි ගාගෙන පොට්ටනියක් බැඳ ගලායන වතුර පාරක හෝ පීල්ලක බැඳ වතුර වැක්කිරීමට සලස්වයි. එවිට හල්වල ඇති අධික කහට ගතිය සේදී යයි. නැත්නම් තිත්ත රසය. පසුව පොල් හා හාල් පිටි ටිකක් දමා අනා පිට්ටු සාදති. පිට්ටු සේම හල් ගුටි ද රසවත් ය. ගුටි සාදන්නේ පොල්, පිටි, සීනි යොදා අනා කැන්ද කොළවල තුනී කර වණ්ඩුවේ තම්බා ගැනීමෙනි. එසේම මඩු ඇට ද වියළා කොටා පිටිගෙන පිට්ටු සාදති. මඩුගස්වල විශාල වලු වශයෙන් මඩු හටගනී. ඒවා පොතුහැර ඇට පලා අව්වේ ලා වේලා ගනිති. ඒවායින් සාදන පිට්ටු රසවත් ය. අවාරයට වල්දෙල් සෑදේ.

ඒවා කඩා මදුලු සහ ඇට එකට තම්බා කෑමට ගනිති. වල් දෙල් ඉතා රසවත් මෙන්ම ඖෂධීය කෑමකි. වාත අමාරුවලට දෙල් ඇට තෙල් ගානු ලැබේ. වියළි දෙල් ඇට පොල් සමඟ කොටා සීනි දමා කෑමට ද අමු දෙල් ඇට බැද එසේම පොල් සීනි දමා කෑමට ගනිති. දෙල් ඇට තම්බා ඒ වතුර පෙරූ විට වතුරේ මතුපිට තෙල් පෑදේ. ඒ තෙල් ගෙන උණුකර ගනිති. අවාරයට කෑමට ගැනීමට අටුකොස් මදුළු, ඇට, වැලිකොස් ඇට ප්‍රයෝජනවත් වේ. අටුකොස් මදුළු වැලි කොස් ඇට සමඟ තම්බා පොල්, ලුණු මිරිස් යොදා හැඳිගා කෑමට ගනිති. සමහර අය ඒවා තැම්බෙන විට පෙති තෝර කොළ ද නැතහොත් මුරුංගා කොළ ද යොදති. හේන් වාරයට පැලේ මයියොක්කා තැම්බීම කරන ගොවියා මඤ්ඤොක්කා තැම්බී ගෙන එන විට එම හැලියට බතල කරටි ටිකක් දමා ඒවා තැම්බුණ පසුව ඉවතට ගෙන කොච්චි මිරිස් හා ලුණු දමා අනා ගනිති. එය මඤ්ඤොක්කා කෑමට ඉතා රසවත් ලුණු මිරිසකි.

අවාරයට ගැමියන්ගේ ගෙවල්වල කෑමට නොයෙක් වර්ගයේ ආහාර රැස්කර තබාගනිති. වැල් අල වර්ග, එනම් රාජ අල, හිඟුරල, කුකුලල, ජාවාල, කිරිඅල, ප්‍රධාන වේ. මේ හැර සමහර අය පොලොං හබරල නමැති වල් හබරල අල ද කඳු යෝදයා කඳල් නමැති කහපාට අල සෑදෙන හබරල වර්ගය ද ආහාරයට ගනිති. සෑම ගෙදරකම දුමේ මෙන්ම අටුවේ ද නොයෙක් වර්ගයේ ආහාර ද්‍රව්‍ය රැස් කරගෙන ඇත.

එසේම දුමේ දැමූ කොට්ට පොල්, දුමේ එල්ලන ලද බඩඉරිඟු ද, දුමේ මලුවල කුරක්කන් අමු, මෙනේරි, තණ, මුංඇට, කව්පි, මෑ ඇට ද ඇත. ඒ නිසා අවාරය ගැමියනට අවාරයක් නොවේ. වියලන ලද මස් වර්ග සේම මාළු වර්ග ද ඔවුනට අරුමයක් නොවේ.

ගෙවත්තේ වී පෙට්ටියෙන් ලබා ගන්නා ලද මී පැණි හෝ කිතුලෙන් ලබාගන්නා කිතුල් පැණි, පට්ටියෙන් ලබාගන්නා මී කිරි කෙතරම් රසවත්ද? වත්තේ ගස්වලින් ලැබෙන ගඩා ගෙඩි. එනම් අඹ වාරයට අඹ, රඹුටන් වාරයට රඹුටන්, ඩූරියන් වාරයට ඩූරියන්, අන්නාසි වාරයට අන්නාසි ඔවුනට නො අඩුව ලැබේ.

ඉඩකඩම් හිමිකම මේ සෑම සියලු දස්කම්, විස්කම්, ඇති කෙළේ අද වැනි නවීන තාක්ෂණයක් නැති කලෙකය. වර්තමානයේ මෙන් මිනිසා සොබාදහම අභිභවා යන්නට නොගොස් සොබාදහමත් සමග ඊට එකඟව කටයුතු කිරීමෙන් ඔවුන් ඔවුන්ගේ ඉලක්කය සපුරා ගන්නා ලදී. මේ සඳහා ඔවුන් හට විදෙස් ආධාර හෝ විදෙස් ඥානය නොලැබුනා මෙන්ම ඒවා බලාපොරොත්තු නොවන්නටද ඇත. එදා ඔවුන්, ඔවුන් සතු වූ ‘දේශීීය දැනුම’ පිළිබඳ සෑහීීමකට පත්විය. එසේම එයින් උපරිම ඵල ප‍්‍රයෝජන ලබා උපරිම ප‍්‍රතිඵල ද අත්කර ගත්හ. ‘ දේශීය දැනුම’ යනු යම්කිසි සංස්කෘතියකට හෝ සමාජයකට ආවේණික වූ සුවිශේෂී දැනුම් සම්භාරයයි. මෙම දේශීීය දැනුම මානව වංශ කථාවේ එක් වටිනා පරිච්ඡේදයක් යැයි කීම වැරදි නොවන්නේ ය. එසේම මෙය කිසියම් සංස්කෘතියකට හෝ සමාජයකට ආවේණික අනන්‍ය දැනුම් පදනමයි. මෙම දැනුම සමාජයට කරුණු සපයන පදනමද වන්නේ ය. දේශීීය දැනුම ස්වාභාවික සහ භෞතික පරිසරය හා සම්බන්ධ ඒවාය. මෙම දේශීය දැනුමට නොයෙක් විෂයයන් අඩංගු විය හැක. ‘මඩ සෝදාගත් කළ ගොවියා රජකමට සුදුසුයි’ යන සුප‍්‍රසිද්ධ කියමන රොබට් නොක්ස් විසින් පවසා ඇත්තේ එකලසමාජයේ කෘෂිකර්මයත් මිනිසාත් අතර තිබූ සම්බන්ධතාව මනාව පැහැදිලි කිරීම සඳහායි. කෘෂිකර්මාන්තය එතරම් උතුම් කාර්යාවලියක් බව අවබෝධ කරගැනීමට ඉන් අපහට අපහසු නොවේ. එකල ගොවිතැන පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන්නක් විය. පියාගෙන් පුතාට ඉඩකඩම් හිමිවිය. කුඩා අවධියේ සිට ගොවිතැන සඳහා පියාට උදව් වීමෙන් ඊට අවශ්‍ය කරන දැනුම නොදැනුවත්වම පුතාට හිමිවිය. එම නිසා විශේෂ පුහුණුවීම් අවශ්‍ය නොවිනි. කෘෂිකර්මාන්තයේ සාම්ප‍්‍රදායික ක්‍රම, ඥානය, වත් පිළිවෙත්, කෙම් ක්‍රම මේ ආදී සෑම සියල්ලක්ම පරම්පරාවෙන් පරම්පරාවට උරුම විය. පළිබෝධ නාශක භාවිතයත් ,කෘතිම පොහොර නොතිබූ ඒ යුගයේ සාම්ප‍්‍රදායික ක්‍රම සාර්ථක ලෙස උපයෝගී කර සරු අස්වැන්නක් ලබාගැනීමට එදා ඔවුන් සමත් විය. ජලය ගබඩා කිරීම සඳහා ඉදිකරන ලද මහා ජලාශයන්හි වාරි ජලය ඇල මාර්ග ඔස්සේ තම කෙත් බිම් වෙත ලබාගත්හ. වියලි කලාපයේ නුවරවැව, කලාවැව, පදවිය වැනි විශාල වැව් මෙන්ම යෝධ ඇල වැනි විස්කම් නිර්මාණ ඔවුනතින් ඉදිවිය. වගාකටයුතු මෙන්ම අස්වනු ගබඩා කිරීමද ඉතා විශිෂ්ට ලෙස සිදුවන්නට ඇතැයි සිතිය හැකි සාක්ෂි ලෙස වී බිස්ස, අටුව ආදී ගබඩා කිරීමේ විශේෂ ස්ථාන දෙස බැලූවිට පෙනීයයි. කෘමි හානි වලකා ගනිමින් අස්වනු කාලාන්තරයක් ආරක්ෂා කරගැනීමේ විස්මිත තාක්ෂණයක් වී බිස්සේත් අටුවේත් සැඟවී ඇත. ඔවුන් වී බිස්ස සෑදීමට යොදාගන්නේ සිවිශේෂී වූ ගස් සහ වැල් වර්ගය. එම අස්වනු වලින් ඊලග කන්නයේ වගාවන් සඳහා යොදාගන්නා බීජ තැන්පත් කිරීමට ඒවායේ ජීවයතාවය සුරැකෙන සේ ගබඩා කිරීමට බිස්ස තැනීමට ඔවුන් වගබලා ගත්හ. මේ සඳහා ඔවුන්් යොදාගත් ගස් අතු සහ වැල්වර්ග වෙනස් විය. මේ ආකාරයට ඔවුන් සතු දැනුම ඉතා සියුම් විය. මෑතක් වනතුරුම අප රටේ වී වර්ග 2000 ක් පමණ තිබීම මෙම කෘෂිකර්මාන්තයේ වගතුග අපට හොඳීන් පැහැදිලි කරයි.
වී හැරුනු කොට වෙනත් ධාන්‍ය වර්ග මෙන්ම එලවළු වර්ග ඊලග කන්නයේ වගා කටයුතු සඳහා තබාගැනීමට සුවිශේෂී ක්‍රම ඔවුන් යොදාගන්නට ඇත. වී බිස්ස, කුරක්කන් අටුව, වී අටුව අදටත් අපේ ඈත ගම්පියස්වල සිට ගැමි ජනතාවට නිහඩ සේවයක් ඉටුකරයි. නමුත් නවීන තාක්ෂණයත් සමග ඉදිරියට දිවයන වත්මන් සමාජයේ සියල්ල වෙනස් වෙමින් පවතිද්දී ඊලඟ පරම්පරාවට මෙම නිමැවුම් වල තාක්ෂණය ලැබේදෝ යන්න බලවත් සැකයකි. එසේ වුවහොත් අටුව, බිස්ස වැනි දෑ නොබෝ කලකින්ම අපේ දෑස්වලින් සදහටම තුරන්ව යන දිනය වැඩි ඈතක නොවනු ඇත. ආහාර කල්තබා ගැනීමද විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඇතැම් ආහාර සුලභ කාලයන් වලදී රැස්කර විශේෂ කල්තබා ගැනීමේ ක්‍රම උපයෝගී කරගෙන කල්තබා ගැනීමේ ක‍්‍රම ඔවුන් සතුවිය. පැනි වර්ග කල්තබා ගැනීමට හකුරු සෑදීම, අටුකොස් සෑදීම, ලුණු දෙහි සෑදීම උදාහරණ කිහිපයක් ලෙස හැඳින්විය හැක. බුදු දහමින් පෝෂණය ලද එකල සමාජයේ පරිසරය අභිබවා නොගොස් සමබර ලෙස පැවැත්වීමට පන්සලෙන් ලැබුණේ ඉතා උසස් සහයෝගයකි. වැවයි, දාගැබයි සංකල්පයට අනුව සුවිශේෂී රාමුවකින් ගම සැකසිනි. වැවට පහලින් කුඹුරු යායක්, වැව ඉස්මත්තෙන් තණබිම් සහ තණබිමට ඉහලින් ජලපෝෂක ප‍්‍රදේශය තුළ වූ වන රක්ෂිතයක් ද ගම ආශ‍්‍රිත කොට සකස්විනි. ස්වභාවධර්මයේ බහුවිධ භාවය තමන්ගේ අස්වනු ආරක්ෂා කරගැනීම සඳහා යොදාගත්හ. ඔවුන් සියලුම කෘමීන් කුරුල්ලන් මරාදැමීමක් නොකල අතර ඒ වෙනුවට ඒ ඒ සතුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් ජෛවී පාලනයක් පැවැත්වීමට ඉඩ සැලසූහ. ‘කුරුල් පාළුව’ මීට හොඳ උදාහරණයකි. මෙම බිම් කොටස කුරුල්ලන්ගේ පරිභෝජනය සඳහා වෙන් කරන ලදී. කුරුල්ලෝ කුරුළු පාළුවේ රැදමින් කෘමි පාලනයට ගොවියාට උදව් දෙන ලදී. කුඹුරු අසල මී ගස් වැවීමෙන් ඒවායේ ලගින වවුලන්ගේ වසුරු කුඹුරට එක්වීමෙන් එය වගාව සඳහා අගනා පොහොරක් විය. පහන් දැල්වීම මගින් එයට ඇදී එන කෘමීන් විනාශ වීමෙන් කෘමි පාලනයක් සිදුවිය. මෙයට අමතරව විවිධ කෙම් ක‍්‍රම යොදා ගනිමින් කෘමි පාලනය සිදුකරන ලදී. ගොවිපලේ හානිදායක කෘමි පාලනය සඳහා තවත් සරළ ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරවීය. වගා කාලයෙන්පසුව ගව ආදී සතුන් වනාන්තරයට මුදාහරින ලද්දේ වනයේ සිටින ඒ ඒ වර්ගවල සතුන් සමග මිශ‍්‍ර වීමෙන් වඩාත් ශක්තිමත් පරපුරක් ඇතිකර ගැනීමේ අරමුණිනි. මේ ආකාරයට ආදි මුතුන් මිත්තන් ඔවුන්ගේ සාම්ප‍්‍රදායික දැනුමින් විපුල ඵල ප‍්‍රයෝජන ලබාගැනීමට හැකිවීමෙන් රට ස්වයංපෝෂිත භාවයට ගෙනඒමට හැකි විනි.
තාක්ෂණික ශිල්ප ක්‍රම කෘෂිකර්මය හැරුනුකොට ඔවුන් සතු වූ වෙනත් තාක්ෂණික හා ශිල්ප ක්‍රම බොහේවිය. විජයාගමනයටත් පෙර සිටම ලක්දිව විසූ ජනතාව සතුවූ එම තාක්ෂණික ක්‍රම පිළිබඳ තොරතුරු ශතවර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාවේ රාජධානියව පැවති අනුරාධපුරය, පොළොන්නරුව ඉතා විධිමත්ව සකස් කරන ලද්දේ ඔවුන් සතුව තිබූ පුදුමඵලවන සුළු තාක්ෂණික ඥාණයේ බල මහිමයෙනි. දහස් ගණනින් වැව් ඉදිකරන ලද බැවින් ඊට ‘වැව් බැඳි රාජ්‍යය’ යැයි හඳුන්වන ලදී. නුවරවැව, කලාවැව, පදවිය වැනි සුවිශාල වැව් ඉදිකිරීමෙන් මේ ජලාශ වල නම් එක් කිරීමෙන් “නුවරකළාවිය” නමින් ද හඳුන්වනු ලදී. “යෝධ ඇල” තැනීමේ තාක්ෂණයද වර්තමානයේ දෙස් විදෙස් ඉංජිනේරුවන්ද විස්මයට පත්කරවන සුළු විය. (එහි බැස්ම සැතපුමට අගලක් පමණක් වේ.) එමෙන්ම මොවුන් සතුවූ කලා හැකියාව ද බදුන් විය. සීගිරිය ඔවුන්ගේ තාක්ෂණික ශිල්ප ක්‍රම වල උසස් භාවය දැක්විය හැකි හොදම උදාහරණයක් වන අතරම එහි ජලවහන ක්‍රම සදහා භාවිතා කළ තාක්ෂණික ක්‍රම පිළිබඳ අද පවා පැහැදිලි කිරීමක් කරගත නොහැකි තරමටම දියුණු සහ සියුම් විය. කළු ගල හා සමග කලාව සම්බන්ධ වී තිබීම හේතුකොට මෙම කළුගල් කැඩීම පිළිබඳවද යොදාගත් ක්‍රමද විස්මය දනවන්නකි. ඖෂධ වර්ග හා ගින්දර භාවිතාකර කළුගල් කැඩීමට උපයෝගී කරගත් බැව් සඳහන් වේ. අපේ ආදී මුතුන් මිත්තන් සතුවූ චිත්‍ර කලාව පිළිබඳව සටහන් නොකලහොත් එය විශාල අඩුවක් වනු ඇත. ශතවර්ෂ ගණනාවක් නොනැසී පැවතෙන අන්දමේ චිත්‍ර ඔවුන් අතින් නිර්මාණය විය. සීගිරිය, දඹුල්ල මේවාට හොඳම උදාහරණයකි. දේශීීය ශාක සාර, පස්වර්ග යොදා ගනිමින් ඔවුනටම අනන්‍ය වූ ක‍්‍රමවේදයක් භාවිතයෙන් චිත‍්‍ර සඳහා අවශ්‍යකරන වර්ණක සාදාගන්නා ලදී. සත්ව ලොම් වලින් සියුම් තෙලිතුඩ සැකසිනි. ඔවුන්ටම ආවේණික වූ දැනුම් සම්භාරය යොදා සුමට සුසිනිඳු පෘෂ්ඨයක් සාදාගත් අතර, ඒ මත අගනා නිර්මාණ ඔවුනතින් බිහිවිය. ඔවුන් අතර තිබූ මෙම වටිනා දැනුම් සම්භාරයේ මහිමයෙන් එම චිත්‍ර නොයෙකුත් ස්වාභාවික බලපෑම් මත වුවත් මේතාක් නොනැසී පැවතෙන්නට හේතුවිය. වත්මන් බටහිර වෛද්‍ය ක‍්‍රමයට නොදෙවැනි දේශීීය වෛද්‍ය ක්‍රමයක් අප සතුවිය. සෑම රජෙකුම වෛද්‍යවරයෙකු විය යුතු වූයේ වෛද්‍ය ශාස්ත‍්‍රය ගැන දැන සිටීම රජකමට පත්වීමට අවශ්‍ය මූලික සුදුසුකමක් ලෙස සැලකූ හෙයිනි. මිනිසුන්ට පමණක් නොව සතුන් සඳහාද චරිතදානයෙන් පසක් වේ. එකල සුවිශාල ආරෝග්‍යශාලා ඉදිකර තිබූ බව අද නටබුන් වලින් පැහැදිලි වේ. එම ආරෝග්‍යශාලා වල සැකසූ බෙහෙත් ඔරු සහ ඖෂධ සකසන උපකරණ ආදියේත් එකල දේශීය දැනුම දියුණුව මනාව පෙන්වා දෙයි. අප රටේ පවතින බොහෝ ඖෂධ පැල වර්ග කුමන ආකාරයේ හෝ රෝගාබාධ සුව කිරීමට සමත් වේ. දේශීය වෛද්‍ය ක්‍රම වලට දේශීය පැලෑටි ඉතා බහුල වශයෙන් යොදා ගැනිණ. ශ්‍රී ලංකාවේ තෙත් හා කඳුකර බිම් ඖෂධ පැලෑටින්ගෙන් පෝෂිත විය. අස්ථි භග්නයක් ඉතා සුළු කාලයකින් සුවපත් කළහැකි විශිෂ්ඨ දේශීය වෛද්‍ය නිපුනතාවක් පිළිබඳ රොබට් නොක්ස් ඔහුගේ එදා හෙළදිව පොතේ සඳහන් කරයි. ගස්වලින් වැටී ශරීරය කුඩා කැබලිවලට කැඩී තිබෙන අවස්ථාවල එම ලෙඩා ඇදෙහි තබා ඇදෙහි කකුලට බෙහෙත් බදින ක්‍රම පවා තිබී ඇත. පුද්ගලයකුගේ සිරුරට මිස ඔහු නිදාගෙන සිටිනා ඇදෙහි කකුලට බෙහෙත් බැද ලෙඩ සුව කල හැකි මහා ප්‍රඥාවක් ඇති වෛද්‍ය විද්‍යාවක් ලොව අන්තැනක කෙසේ සොයනනද? මේ සෑම වෛද්‍ය ඥාණයක්ම ඔවුන් ප‍්‍රත්‍යක්ෂ කරගත් පරම්පරාවෙන් පරම්පාවට උරුම වෙමින් ආ එකක් විය. මෙම දේශීීය ඥාණය කටපාඩමින් පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආවේය. ඇතැම් ඒවා පුස්කොල පොත්වල සඳහන් කැරිණි. මේවා බොහෝමයක් අද යල් පැන ගිය ඒවා ලෙස බැහැර කර ඇති අතර, තවත් බොහෝමයක් මේ වනවිටත් අභාවයට ගොස් ඇතැයි සැලකිය හැක. බොහෝවිට දේශීය වෛද්‍ය ක්‍රම වලදී යොදාගන්නා අදත් කැඩුම් බිඳුම් ප‍්‍රතිකර්ම සඳහා හොරිවිල වෙද පරම්පරාව ප‍්‍රසිද්ධියක් උසුලයි.
ජීවන ක්‍රමයඅපේ ආදී මුතුන්මිත්තන් ගේ සාම්ප‍්‍රදායානුකූල ජීවන ක්‍රමය හා තාක්ෂණය බොහෝ ප්‍රාථමික ලක්ෂණයන්ගෙන් යුක්ත විය. එම සාම්ප‍්‍රදායික ජීවන ක්‍රමය චිරස්ථායි වූවකි. ඔවුන් දඩයම් කිරීම, මසුන් මැරීම, හේන් කෙටීම වැනි කාර්යයන් කලේද අස්ථාවර පරිසර පද්ධතීන්හි පවා ස්වභාවයට හානි නොවන අයුරිනි. එහෙත් ඉතා නූගත් වූ ද, බෙහෙවින් දියුණු වූ ද, ඇතැම් වර්තමාන ශිල්ප ක්‍රම ඇතත් ඒවාට පරිසර පද්ධතීන්හි සමබරතාවය පවත්වා ගනිමින් චිරස්ථායිව ස්වකීය පැවැත්ම තහවුරු කරගැනීමට හැකියාවක් නොමැති බව පෙනී යයි. උදාහරණයක් ලෙස ධීවර කර්මාන්තයේදී අද ඩයිනමයිට් දැමීම, හැඹිලි දැල් එලීම වැනි ක්‍රම භාවිතා කිරීමෙන් ලොකු කුඩා සියලු මසුන් විනාශ වී යයි. නමුත් අතීතයේ භාවිතා කල කරක් ගැසීම, බිලී බෑම කෙමන ඇටවීම වැනි ක්‍රම මගින් තමන්ගේ පැවැත්මට ප්‍රමාණවත් මසුන් ප්‍රමාණයක් පමණක් ඔවුන් ලබාගත්හ. හේන් කෙටීමද ඔවුන් පරිසර හානිය අවම වන අයුරින් සිදුකරන ලදී. විශාල ගස් කපා දැමීමක් මෙහිදී සිදු නොවිනි. එකල පැවති වගා හා ඉඩම් පරිහරණ රටාවෙහිලා වන රක්ෂිතයන්, ජලය පස සහ එහි සාරවත් බවද එහි ජෛව විවිධත්වය ද සැලකිල්ලට ගන්නට ඇත. වර්තමානයේ ඒක බෝග වගාවන් තේ, රබර්, කඳුකරයේ අල වගාවන් සඳහා කිසිදු ඉවක් බවකින් තොරව වන හායනය සිදුකිරීමේ ප‍්‍රතිඵල ටිකෙන් ටික අප අත්විඳිමින් සිටින්නෙමු.මෙයට ශතක දෙකකට පමණ පෙර සිට ඇති වූ කාර්මික විප්ලවයත්, ශීඝ්‍රලෙස වර්ධනය වූ ජනගහනයත් සමගම එම ජනගහනයට අවශ්‍ය ප්‍රමාණයට ආහාර තිබිය යුතු විය. ප්‍රධාන ආහාර බෝග වගාකිරීමේදී සාම්ප්‍රදායික බෝග පරිනත වී ඵලදාව ලබාදීමට ගත කරන කාලය වැඩි වූ බැවින් අඩු කාලයකින් වැඩි අස්වනු සහිත බෝග වර්ග පිළිබඳ මිනිසා උනන්දුවක් දැක්වීය. මේ උනන්දුවේ ප‍්‍රතිඵලයක් ලෙස විවිධ දෙමුහුන් විශේෂ රාශියක් ඇති කරගන්නා ලදී. මෙම විශේෂ වල වර්ධනය සඳහා කෘතිම පොහොර අවශ්‍ය වූ අතර පරිසරය සමග ගැටීමකින් තොරව පර්යේෂණාගාර තුළින් බිහිවූ නව බෝග වලට පරිසරයේ සිටින පළිබෝධකයින්ගෙන් විශාල හානි සිදුවිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස කෘමිනාශක හඳුන්වා දෙන ලද අතර අද වන විට මෙම කෘමිනාශක වලින් පරිසරයේ ජීවීන් තෝරාබේරා ගැනීමකින් තොරව විනාශවීම මෙන්ම මිනිසාට එරෙහිවද නැගී සිටීමක ප‍්‍රවණතාව දැක්වීමද ඇරඹී ඇත. නව දියුණු වර්තමානයේ අපට තිබෙන අභියෝගය වන්නේ නවීන සහ ආර්ථික අරමුණු මුදුන්පත්කර ගැනීමට දේශීීය දැනුමද නිසියාකාරව යොදාගන්නේ කෙලෙසද යන්නයි. වත්මන් තරුණ පරපුර තම මුතුන් මිත්තන්ගෙන් උරුම වූ දේශීීය දැනුම භාරගෙන එය ඊළඟ පරම්පරාවට භාරදීමක් කිරීම කලාතුරකින් සිදුවන අතර, මේ දැනුම් සම්භාරය අපට සදහටම අහිමි වෙමින් පවතී.

වර්තමානයේ දී මේ ස්වයංපෝෂිත ගම් ඇත්තේම නැතිතරම් ය. හරිත උයන් නිසා උඩරට ස්වයංපෝෂිත ගම් අතුරුදහන් විය. පහත රට ද එසේ ම ය. වාණිජ වැවිලි නිසා ධනපතියන් දියුණුව ඔවුන් වලව් ඇති කළේ දුප්පතාගේ කරපිටින් යමිනි. අසරණ ගම්වැසියන් ඔවුනගේ වහලුන් විය. එදා තිබුණ ස්වයංපෝෂිත ගම් ඇත්නම් කාර්යාලවල කුරුටුගෑමට තරුණ තරුණියන් නොයනු ඇත. ඔවුන් අද ඒවාට යොමුවී ඇත්තේ ජීවත්වීමට වෙන ක්‍රමයක් නැති නිසා ය.

තුන්වන ලෝකයේ රටවල පවතින සම්පත් බොහෝමයක් දැනටමත් විවිධ රටවල් තම පරිහරණයට යොදාගෙන ඇත. විශේෂයෙන් මෙම සම්පත්වලට වෙළෙඳ වටිනාකමක් ලබා දීමට යොදා ගන්නා නීතිමය තත්ත්වයක් වූ “ බුද්ධිමය දේපල” සංකල්පය තුළින් එම සම්පත් වලින් විශාල ධනස්කන්ධයක් දියුණු රටවල් උපයාගනී. තුන්වන රටවල පවතින තාක්ෂණ හිගය මෙම කාර්යක්ෂම සම්පත් පරිභෝජනය සඳහා පවතින විශාල බාධකයක් වේ. ඉහත ගැඹුරින් සලකා බලන විට තුන්වන ලෝකයේ පවතින සමහර සම්පත් තවදුරටත් දියුණු රටවලට භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. මෙයට ප‍්‍රධාන හේතුව තුන්වන ලෝකයේ පවතින සම්පත් හා ලබැඳී දේශීය දැනුම වේ. මෙම දේශීීය දැනුමට සුවිශේෂ මිලක් ලැබී ඇත්තේ එම දැනුමෙන් තොරව අදාළ සම්පත් භාවිතා කළ නොහැකි වීමයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව “වෙදගැට” අනුසාරයෙන් ලිය වී ඇති පුස්කොළ පොත්වල දැනුම පෙන්වාදිය හැකිය. අද දවසේ අපගේ කාර්්‍යභාරය විය යුත්තේ මෙම දැනුම සංරක්ෂණය කර අපට වැඩි ප‍්‍රතිලාභ ඇතිවන ආකාරයට භාවිතා කිරීමයි. පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය අදාල අනෙකුත් රාජ්‍ය ආයතන සමග මෙම සුවිශේෂී දේශීීය දැනුම සංරක්ෂණය සඳහා දැනටමත් කටයුතු අරඹා ඇත. දේශීීය දැනුම සංරක්ෂණය පිළිබඳ ප‍්‍රතිපත්තියක් සැකසීම හා රෙජිස්ටරයක් පිළියෙල කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර අදාල නීතිමය තත්ත්වයන් සකසා ගැනීමට ඉදිරියේ දී කටයුතු කිරීමට බලාපොරොත්තු වේ. මෙම කාර්යයන් සාර්ථකව ඉටුකිරීම සඳහා ජනතා සහභාගිත්වය අවශ්‍ය වන අතර ජනතාවගේ ආකල්ප වර්ධනය තුලින් දේශීීය දැනුම සංරක්ෂණය සදහා අවශ්‍ය අඩිතාලම දැමීමට අද දවසේ සිවිල් පුරවැසියන් වශයෙන් සියල්ලෝම අත්වැල් බැද ගැනීම අප සැමගේ කාර්යභාරය වේ.

( පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩී. දිසානායක මහතා ලියූ ලිපියක් අසුරින් සකස් කෙරිනි. )

බුදුදහමින් ඔපවූ සිංහල සංස්කෘතියේ අභිමානය ලොවට පසක් කිරීමේ අරමුණින් සත්වයන් කෙරේ මෙත්සිතැතිව එරන්ද ලක්මාල් විසින් “බුදුදහමින් පෝෂණය වූ මුතුන්මිත්තන්ගේ ජීවන රටාව ” නම් මේ ලිපිය ගෞතම බුදුසසුන තුල මෙසේ සටහන්කර තැබූ වගයි.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොවම සැනසේවා … … …

●▬▬▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬▬▬●

වසර හතක්‌ තුළ මිලියන ගණනක්‌ ඉන්දියානුවෝ බෞද්ධාගම වැළඳගනිති ...
චුතිසිත ගැන දැනගන්න ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.