Skip to main content

බිලි පූජාවට මිනිසුන් සෙවූ රජු දුම්මේධ ජාතකය …

(බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කාලයේ බුදු රජාණන් වහන්සේ විසින් ලෝකවාසී සත්ත්වයන්ට සෙත සැලසීම පිළිබඳව ඇති වූ සංවාදයක් මුල් කොට මේ ජාතක කතාව දේශනා කරන ලදී.)

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන කාලයේ බෝසතාණන් වහන්සේ රජුගේ අග මෙහෙසියගේ කුස පිළිසිඳ ගෙන උපත ලබා බ්‍රහ්මදත්ත කුමාරයෝ යනුවෙන් නම් ලබා සොළොස් හැවිරිදි වියේ දී උගත යුතු සියලු ශිල්ප ශාස්ත්‍ර උගෙන අවසන් කළහ.

අනතුරුව පිය රජතුමා විසින් බෝසත් පුතණුවන්ට යුවරජ තනතුර ලබා දුන්හ. එකල ඒ නුවර වැසියෝ, දෙවියන් උතුම් කොට සලකමින් පුද පූජා පවත්වති. දෙවියන් පිදීම සඳහා එළුවන්, බැටළුවන්, කුකුළන්, ඌරන් ආදී සතුන් ඝාතනය කොට නොයෙක් මල් හා සුවඳ වර්ගයන්ගෙන් ද මසින් හා ලෙයින් ද බිලි පූජා පවත්වති. ඒ දුටු බෝධිසත්වයන් වහන්සේ

“දැන් බොහෝ මනුෂ්‍යයෝ දෙවියන් උසස් කොට සලකති. බහුල ලෙස ප්‍රාණවධය ද කරති. මහජනයා බෙහෙවින් අධාර්මික වී තිබේ. මම පියරජුගෙන් පසු රාජ්‍යය ලබා කිසිවකු හෝ පීඩාවට පත් නො කොට උපායකින් ම මහජනයා ප්‍රාණ ඝාතයෙන් මුදන්නෙමි”


යනුවෙන් සිතා එක් දිනක් රථයකට නැග නුවරින් නික්ම යන වේලෙහි එක්තරා විශාල නුග වෘක්‍ෂයක් මුල බොහෝ පිරිසක් එක් රැස් වී ඒ වෘක්‍ෂයට අධිපති වූ දෙවියාගෙන් දරු සම්පත්, කීර්තිය, ධනය ආදිය මෙන්ම තමන් කැමති නොයෙක් දෙය ප්‍රාර්ථනා කරන අයුරු දුටුවේය. අනතුරුව බෝසත් යුව රජතුමා ද රථයෙන් බැස නුගරුක වෙතට ගොස් දේව භක්තියකු මෙන් සුවඳ මල් ආදිය ගෙන පුදා ගසට ජලය වත්කොට ගස වටා පැදකුණු කොට රථයට නැගී නුවරට ගියේය.

ඉන් පසු කිහිප වතාවක්ම එතැනට පැමිණි යුව රජු පෙර පරිද්දෙන්ම දෙවියන් පුදන්නට විය. කාලයාගේ ඇවෑමෙන් පිය රජු මිය ගිය බැවින් රජ බවට පත් වූ බෝසතාණන් වහන්සේ තමන් යුව රජු කාලයේ දී කරන ලද අධිෂ්ඨානය සිහිපත් කොට තමාගේ ඇමතියන් සහ බමුණන් කැඳවා

“පින්වත්නි, කවර කාරණයක් හේතුවෙන් මා විසින් රාජ්‍යය ලබන ලද බව දන්නෙහිද ? මම අසවල් නුග වෘක්‍ෂයට සුවඳ මල් ආදිය පූජා කොට නමස්කාර කරනු තොප විසින් දක්නා ලද්දෙහිය. මා විසින් ඒ නුග රුකට අරක්ගත් දෙවියා වෙත ගොස් රජකමට පත් වූ පසු බිලි පූජාවක් කරන බවට පොරොන්දු විය. එසේ හෙයින් රුක් දෙවියාගේ ආනුභාවයෙන් මේ රාජ්‍ය සම්පත් ලබන ලදී. දැන් ඒ දේවතාවාට බිලි පූජා කළ යුතුය. තෙපි ගොස් වහා බිලි පූජා සකස් කරව“ යි කීය.

“මහරජතුමනි, කවර නම් දෙයකින් බිලි පූජා කරන්නෙම්දැ?” යි ඇසූ කල්හි

“පින්වත්නි, මම රුක් දෙවියාට යාඥා කරන්නේ මාගේ රාජ්‍යයෙහි ප්‍රාණඝාත ආදී දස අකුසල් කරන්නවුන් ඇත්නම් ඔවුන් මරා ඔවුන්ගේ බඩ වැල්, මස්, ලේ වලින් දේව පූජාවක් කරන්නෙමි යි පොරොන්දු වීමි. එබැවින් ඒ බව දන්වා නගරයෙහි බෙර හසුරුවා එවැන්නන් සිටිත් නම් ඔවුන් අල්ලා ගෙන බිලි පූජාව සූදානම් කරව“ යි කීය.

එබස් ඇසූ ඇමැතිවරු ද රජු කී පරිද්දෙන් නුවර අණබෙර හැසිරවීය. අණබෙරය ඇසීමෙන් පසු රාජ්‍යය තුළ පව් කරන එක පුරුෂයකු හෝ සොයා ගැනීමට නොහැකි විය. ඒ අනුව බෝසතාණන් වහන්සේ පාලනය කරන කාලය තුළ ප්‍රාණඝාත ආදී පස්පව් කරන, දස අකුසල් කරන එකදු පුද්ගලයකු හෝ සොයා ගැනීමට නොලැබුණේය.

මේ අයුරින් බෝධිසත්වයන් වහන්සේ තමාගේ පාලන සමය තුළ කිසිවකු පීඩාවට පත් නොකොට සියලු දෙනා ලවා සිල් ආරක්ෂා කරවා දානා දී පිංකම් කොට මරණින් මතු තම පිරිස සමඟ දෙව්ලොව උපත ලැබූහ.

එකල බෝධිසත්වයන් වහන්සේගේ පිරිස නම් මේ බුදු පිරිස ය. බරණැස් රජව උපන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ය.

ගණේගම ඤාණකීර්ති හිමියන් විසිනි.

ඔබට ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ ශාන්තියම වේවා….

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් කථාකර මා ශක්තිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … …

මම සත්වයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.