ඵුස්ස බුද්ධ වංශය ( Phussa Buddha Wanshaya ) - IFBC Organization | Dhamma

එ ම මණ්ඩ කල්පයෙ හි දෙවි මිනිසුන් ගේ අනුශාසක වූ තමහට වඩා උතුමෙක් නැති උපමා රහිත අසමසම වූ “ඵුස්ස” නම් බුදුරජතෙම වී ය. ඒ ඵුස්ස නම් බුදුරජතෙම ද, සියලු මොහඳුරු නසා ලෝභ නමැති මහ අවුල ලිහා දමා දෙවියන් සහිත ලෝකයා සතප්පවමින් අමාදියෙන් වැස්සේ ය.

ඵුස්ස බුදුරජුන් දම්සක් පවත්වන කල දී කෝටි ලක්ෂයක් දෙනෙකුන් ට පළමු ධර්මාවබෝධය වී ය. අනූ ලක‍ෂයක් දෙනෙකුන්ට දෙවන ධර්මවබෝධය වී ය. අසූ ලක‍ෂයක් දෙනෙකුන්ට තුන්වන ධර්මවබෝධය වී ය.

මහර්ෂී වූ ඵුස්ස බුදුරජුන් පිළිබඳ තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති රහතන් වහන්සේලා ගේ රැස්වීම් තුනක් වූ හ. සැට ලක‍ෂයක් රහතුන් ගේ පළමුවන සමාගමය වී ය.  පනස් ලක්ෂයක් රහතුන් ගේ දෙවන සමාගමය වී ය. උපාදානයන්ගෙන් අල්වා නො ගෙන මිදුණු ඉපදීම නැති කළ සතලිස් ලක්ෂයක් රහතන් වහන්සේලා ගේ තුන්වන රැස්වීම වී ය.
මම ඒ කාලයෙ හි “විජිතාවී” නම් රජෙකි. මා සතු ව තිබූ මහ රජය හැරදමා උන්වහන්සේ වෙත පැමිණ පැවිදි වූයෙමි. ලොව නාහිමි වූ ඵුස්ස නම් ඒ බුදුරජතෙමෙ ද, මේ විජිතාවී තෙම මෙයින් අනූ දෙවන කපෙ හි බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

ප්‍රධන් වීර්යය හා දුෂ්කරක්‍රියාව ද කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය.

මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. “කෝලිත” ද, “උපතිස්ස” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ. “ආනන‍ද”නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. “ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි.

අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදුන් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.   අත්පොලසන් දෙත්.   සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ ඵුස්ස බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.

ඒ  ඵුස්ස බුදුරදුන් ගේ ද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුයෙමි. සූත්‍රපිටකය ද, විනයපිටකය ද, යන සියලු නවාංග ශාස්තෘ ශාසනය ඉගෙන බුදුසසුන හෙබවීමි.

මම ඒ බුදුසස්නෙ හි නො පමාව වාසය කරමින් සතර බ්‍රහ්ම විහාර භාවනාවන් වඩා අභිඤ්ඤාවන් හි පරතෙර ට ගොස් බඹලොව ගියෙමි. උපනිමි.

මහර්ෂී වූ ඵුස්ස බුදුරදුන් ගේ උපන් නුවර “කාසි” නම් වී ය. පිය තෙම  “ජයසේන” නම් විය. වැදූ මව “සිරිමා” නම් වූවා ය. ඵුස්ස බුදුරජතෙම අවුරුදු හයදහසක්  ගිහිගෙයි විසී ය. “ගරුළ” ය, “හංස” ය, “සුවන්නභර” ය යයි උතුම් පහයක් වූ හ. මනා ව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. බිරිඳ “කිසාගොතමී” නම් වූවා ය.  පුත් තෙම “අනූපම” නම් වී ය.

පුරුෂොත්තම වූ බුදුරජතෙම සතර පෙර නිමිති දැක ඇත් යානයකින්  මහබිනික්මන් කළේ ය. සමසක් ප්‍රධන් වීර්යය කළේ ය.

මහාවීර වූ නරදෙටු වූ ඵුස්ස නම් ලොවග නාහිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ උතුම් මිගදායෙ හි දී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂී වූ ඵුස්ස බුදුරදුන් ට “සුඛිත” ද, “ධම්මසෙන” ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම “සභිය” නම් වී ය.

“සාලා” ද, “උපසාලා” ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝරුක “නෙල්ලි” ගස ය යි කියනු ලැබේ.

“ධනංජය” ද,  “විසාඛ” ද යන අග්‍රඋපස්ථායකයෝ දෙදෙනෙක් වු හ. “පදිමා” ද,  “නාගා” ද යන අග්‍රඋපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ.  ඒ ඵුස්ස මුනිඳුතෙම පණස් අට රියනක් උස්වූයේ,  සහස් රැස් මෙන් ද, පුන් සඳ මෙන් ද බබළයි. ඒ කාලයෙ හි අවුරුදු අනූ දහසක් ආයුෂය ඇත්තේ ය. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා බව සයුරෙන් එතර කළ සේක.

අපමණ යසස් ඇති ඒ ශාස්තෘන් වහන්සේ ද, බොහෝ සත්ත‍වයන් ට අනුශාසනා කොට මහජනයා සසරින් එතර කොට ශ්‍රාවකයන් සහිත ව පිරිනිවි සේක.

ශාස්තෘ වූ ඵුස්ස ජිනරාජතෙම ජේතවනාරාමයේ දී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස් හි උන්වහන්සේගේ ධාතු පැතිරීම වී ය.
[ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි, ඵුස්ස බුද්ධවංශය]

උපුටා ගැනීම -www.thiryak.org

විපස්සී බුද්ධ වංශය ( vipassi Buddha Wanshaya )
තිස්ස බුද්ධ වංශය ( Thissa Buddha Wanshaya )

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.