පුණ්‍ය ක්‍රියා වස්තු ... - IFBC Organization | Dhamma

නමො තස්‍ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

අත්තනො කාරකං පුණාති විසොධෙතී‘ති පුඤ්ඤං, අථවා යත්ථ සයං උප්පන්නං තං සන්තානං පුණාති විසොධෙතී ‘ති පුඤ්ඤං”

යනු නිර්වචන හෙයින් තමන් කරන්නා හෙවත් ඒ පින කරන තැනැත්තා පිරිසිදු කෙරේනුයි නොහොත් යම් තැනෙක තමන් හෙවත් පින් සිත උපන්නේ ද ඒ සන්තානය පිරිසිදු කෙරේනුයි පුණ්‍ය නම් වේ. යම් ක්‍රියාවක් හෝ කතාවක් හෝ සිතිවිල්ලක් හෝ කරණ කොට ගෙන හිත පිරිසිදු වේ ද එය පුණ්‍ය – පින – නම් වේ යනු කෙටි අදහසයි.

පරමාර්ථ වශයෙන් කියත හොත් සිත කිලිටි කරනා රාගාදීනට ප්‍රතිපක්‍ෂ වූ ප්‍රඥාදී ශෝභන ධර්මයන් හා එක් ව යෙදුණා වූ උපනුපන් තන්හි ඉෂ්ට විපාකය ගෙන දෙන ස්වභාවය ඇති චේතනාවෝ පින් නම් වෙත්. එයින් කීහ සද්ධම්මෝපායනයෙහි:

පුඤ්ඤන්ති රාගාදීනත්තු පටිපක්ඛා හි චෙතනා, පඤ්ඤාදි ගුණ සංයුක්තා, විඤ්ඤෙය්‍යා සුඛදායිකා”

ඒ පින් කටයුතු බැවින් ක්‍රියා නමුදු, ආනිසංසයට වස්තු වන බැවින් වස්තු නමුදු වෙති. මේ පුණ්‍ය ක්‍රියා වස්තු දාන, ශීල, භාවනා වශයෙන් තුන් වැදෑරුම් කොට ද ප්‍රකාශ කළහ.

දානං සීලං ච භාවනා – පත්ති පත්තානුමොදනා
චෙය්‍යාවච්චාපචායං ච – දෙසනා සුති දිට්ඨිජු”

1.දාන ය, 2.ශීල ය, 3. භාවනා ය, 4. පින්දීම ය, 5. පින් අනුමෝදන් වීම ය, 6. වතාවත් කිරීම ය, 7. වැඩිහිටියන්ට සැලකීම ය, 8. බණ දෙසීම ය, 9. බණ ඇසීම ය, 10. දෘෂ්ටිය සෘජු කිරීම යයි දස වැදෑරැම් කොට ද දැක්වූහ.

විස්තර වශයෙන් දසයක් කොට දැක්වූ පුණ්‍ය ක්‍රියා වස්තු ම දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වස්තුවෙහි ම ඇතුළත් බව අර්ථකථාච‍ාර්ය්‍යවරයෝ ප්‍රකාශ කෙරෙති. බුඬදත්තාච‍ාර්ය්‍යපාදයන් වහන්සේ එය දක්වන්නේ මෙසේ ය:

ගච්ඡන්ති සංගහං දානෙ – පත්තිපත්තානුමොදනා
තථා සීලමයෙ පුඤ්ඤෙ -වෙය්‍ය‍ාවච්චාපචායනං,”

දෙසනා සවණං දිට්ඨී – උජුතා භාව නාමයෙ
පුණාති නෙව සම්භොන්ති – දස පුඤ්ඤ ක්‍රියාපි ච”

පින් දීම හා පින් අනුමෝදන්වීම දානමය පුණ්‍ය ක්‍රියාවෙහි ද වතාවත් කිරීම හා වැඩිහිටියන් පිදීම චාරිත්‍රසීල වන බැවින් ශීලමය පුණ්‍ය ක්‍රියාවෙහි ද බණ දෙසීම, ඇසීම හා දෘෂ්ටිය සෘජු කිරීම කුසල ධර්මයෙහි වැඩීමක් වන බැවින් භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුවෙහි ද ඇතුළත් වෙති.

සද්ධම්මෝපායනය රචනා කළ අභයගිරි නිකායික ආනන්ද මා හිමි පාණෝ ක්‍රියා වස්තූන් දො‍ෙළසක් කොට දැක්වූහ.

දානං සීලං ච භාවනා පත්තිපත්තානුමොදනා
දෙසනා සවණං පූජා චෙය්‍යවච්චං පසංසනා
සරණං අනුස්සති චෙව පුඤ්ඤවත්ථුනි බාරස”

  1. දාන ය, 2. ශීල ය, 3. භාවනා ය, 4. පින්දීම ය, 5. පින් අනුමෝදන් වීම ය, 6. බණ දෙසීම ය, 7. බණ ඇසීම ය, 8. පිදිය යුත්තන් පිදීම ය, 9. වතාවත් කිරීම ය, 10. පින්කරු ගුණ වැනීම ය, 11. ‍ෙතරුවන් සරණ යෑම ය, 12. බුදුගුණ සිහිකිරීම ය යන දෙළෙ‍ාස ය. දශ පුණ්‍ය ක්‍රියාවන්හි එය දස වැනි දෘෂ්ටිය සෘජු කිරීම වෙනුවට ප්‍රශංසා ය, සරණ ය, අනුස්මෘති ය යන තුන එකතු කිරීමෙන් දොළොස වී තිබෙන බව පෙනෙයි. තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමියෝ ද මේ තුන් වැනි මතය ම පිළිගත්හ. එයින් කීහ කව්සේකරයෙහි:
1දන් 2සිල් 3භාවනා 9කරනු ද වතාවත්
4පින් දෙනු 5අනුමො‍්දනා 10පින්කරු ගුණ වැනීමත්
6බණ’සනු 7දේසනා 11සරණ 12සිහිවීමත්
8පිදිය යුත්තන් පුදනු සමනා දොළොස් පින් දැන කරව යහපත්

දානය

දීයති එතෙනාති දානං” යන නිර්වචන හෙයින් යම් සිතිවිල්ලක් කරණ කොට ගෙන පිදිය යුතු වස්තුව දෙනු ලැබේ ද ඒ පරිත්‍යාග චේතනාව දාන නම් වේ.

පරමාර්ථ වශයෙන් කියත හොත් ආහාරාදී දාන වස්තූන් සෙවීමෙහි සැපයීමෙහි පටන් පූර්ව භාගයෙහි ද, ලො‍්භය හැර, පිදීම් වශයෙන් මුංචන කාලයෙහි ද, දුන් පසු ද සොම්නස් සහගිය සිතින් සිහි කරන කල්හි කර්ම, කර්මපල අදහන නුවණ පෙරටු කොට ඇති පරිත්‍යාග චේතනාව දාන නම් වේ. එයින් කීහ:

අන්නාදි දානවත්ථුනං – චාගො සුබුද්ධිපුබ්බකො
යො තං දානන්ති දීපෙන්ති – බුද්ධා දානග්ගදායිනො”

“දන් දුන් දෙය                    ඉදිරි
පල දෙයි නැණින්         පෙරදැරි
දුන් දන් එලොබ                 හැරි
ජවන් සිත වේ මෙකී රඟ     සරි”

මේ දානයෙහි භේද ආදි විස්තර ඉතා දීර්ඝ බැවින් මෙහි නො ලියමි. දන්නවුන්ගෙන් අසා දැන ගන්නේ නම් මැනවි.

දානයෙහි ආනිසංස බොහෝ ය, මෙහි සඳහන් කරන්නේ ඉතා සුළු කොටසකි. දෙවි මිනිසුන් අතර කැමැති කැමැති සැප ලබා දීම, හොඳ ශරීර වර්ණ ය, මිහිරි කටහඬ ය, ප්‍රිය මනාප රූප ය, අධිපති භාව ය, බොහෝ පිරිවර ඇති බව ය යන සියල්ල ම ලැබීම, රාජ සම්පත් හා දිව්‍ය බ්‍රහ්ම සම්පත් ලැබීම, කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් හා ගුණ නුවණින් නිසි මග යෙදුව හොත් ත්‍රිවිද්‍යා අෂ්ට සමාපත්ති හා නිර්වාණය ද ලැබීම යන ආදීහු දානයෙහි ආනිසංසයෝ වෙති.

සීලය

සීලයති වා උපධාරෙතී’ති සීලං” යනු නිර්වචන හෙයින් යමක් කරණ කොටගෙන තමන්ගේ කථා සහ ක්‍රියා නොමඟ යා නොදී නිසි සේ පිහිටුවා ද, යමක් කුශල ධර්මයන් ගේ පිහිටීමට, රැදීමට ආධාර ස්ථාන හෝ වේ ද එය සීල නම් වේ. ඉතා කෙටියෙන් කියනවා නම් කථාවේ සහ ක්‍රියාවේ තැන්පත් බව යි, හික්මීම යි, හීලෑ කම යි.

පරමාර්ථ වශයෙන් කියතහොත් නිත්‍ය ශීල වශයෙන් පන්සිල් හා උපෝසථ ශීල වශයෙන් අටසිල්, දසසිල් සමාදන් වන්නාහු ගේ ද, එය පුරන්නහු ගේ ද, සම්ප්‍රාප්ත විරති වශයෙන් කාය වාග් දුශ්චරිතයෙන් හා මිථ්‍යාජීවයෙන් වැළකෙන්නහු ගේ ද, සාමණේර උපසම්පදා සිල් පුරන්නහු ගේ ද ඒ ඒ තන්හි පැවැති හෙවත් හටගත් චේතනාව ශීල වේ. එයින් කීහ:

කාය කම්මා වචීකම්මා – සාවජ්ජා විරතීහි යා
මිච්ඡාජීවා ච තං සීලං – ඉති වුත්තං මහේසිනා”

“කයින් තෙපලින්                   වන
පවිනුත් යළි නපුරු                 වන
පසක් වෙළෙදා                   මෙන
සකා වළකිනු සිලැයි දැන   ගෙන”

මේ ශීලයෙහි භේද ආදිය විස්තර දීර්ඝ බැවින් මෙහි නො ලියමි. දන්නවුන්ගෙන් අසා දැන ගන්නේ නම් මැනැවි.

ශීලයෙහි ආනිසංස

ශීලයෙහි ආනිසංස බොහෝ ය. එයින් ඉතා සුළු කොටසක් සඳහන් කරනු ලැබේ. විපිළිසර නොවීම හෙවත් අහෝ! මා කළ සැටි වරදැයි නොපසුතැවීම, අප්‍රමාද ව ක්‍රියා කිරීමෙන් මහත් වූ භෝගස්කන්‍ධයක් ලැබීම, නිරායාසයෙන් පැන නගින කල්‍යාණ කීර්ති ඝෝෂයක් පැතිරීම, ක්‍ෂත්‍රියාදී කවර පිරිසක් මැදට වුව ද විශාරද ව පැමිණීම, සිහි මුළා නොවී ක්‍රියා කිරීම, මරණින් මතු සුගතියෙහි ඉපදීම, නිර්වාණාවබෝධයට උපකාරවීම යන ආදීහු ශීලයෙහි ආනිශංසයෝ වෙති.

භාවනාව

භාවෙති කුසලධම්මෙ ආසෙවති වඩ්ඪෙති එතායාති භාවනා” යනු නිර්වචන හෙයින් මේ චේතනාව කරණ කොට ගෙන කුශල ධර්මයන් වඩානු යි, වැඩි දියුණු කරානුයි භාවනා නම් වේ. ඉතා කෙටියෙන් කියනුවා නම් සිත එහෙ මෙහෙ දුවන්නට ඉඩ නොදී යහපත් එක අරමුණෙක්හි නැවැත ඉපදවීම් වශයෙන් වැඩීම, දියුණු කිරීම භාවනා නම් වේ. පරමාර්ථ වශයෙන් කියතහොත් සතළිස් කමටහන්හි නැවැත නැවැත වැඩීමෙන් රාගාදී කෙලෙස් තැවීම් වශයෙන් පැවැත්තා වූ අර්පණා ප්‍රාප්ත නොවූ චේතනා භාවනා නම් වේ. එයින් කීහ:

චිත්තස්සොපක්කිලෙසානං – යා චිත්ත පටිපක්ඛිකා
තස්සා යා භාවනා සා හි – භාවනාති පකිත්තිතා”

“සිත කිලිටි                     කරනා
රාගාදි පව්                       මඩනා
සිතිවිලි                          බාවනා
දෙකෙකි විදසුන් සමත  විසිනා”

මේ භාවනාවෙහි භේද ආදිය විස්තර ඉතා දීර්ඝ බැවින් මෙහි නො ලියමි.

භාවනාවේ ආනිසංස

භාවනාවෙහි ද ආනිසංස බෝහෝ ය. මෙහි සඳහන් කරන්නේ ඉතා සුළු කොටසකි. කාම කෝප ඉවසීමෙහි ශක්තිය පහළ වීම, එයින් අපරාධ අඩුවීම, ඉන්ද්‍රිය සංවරය ඇතිවීම, හිත සමාහිත වීම, කෙලෙසුන්ගෙන් මිදී නිවන් අවබෝධ වීම යන ආදීහු භාවනාවෙහි ආනිසංසයෝ වෙති.

පත්තිදානය

අත්තනො සන්තානෙ නිබ්බත්තා පත්ති දීයති එතෙනාති පත්තිදානං” යනු නිර්වචන හෙයින් තමාගේ සන්තානයෙහි හටගන්තා වූ කුශලය පැමිණවීම් වශයෙන් මෙරමා හට හෙවත් මිය පරලොව ගියවුනට දීම පත්තිදාන – පින්දීම – නම් වේ.

පරමාර්ථ වශයෙන් කියතහොත් අසුවලා උදෙසා යැයි යම් ආහාර පානාදියක් දී එයින් තමාගේ සන්තානයෙහි හටගත් කුශලය මෙරමා හට පැමිණවීම වශයෙන් පැවැත්තවූ චේතනා පත්තිදාන නම් වේ. එයින් කීහ:

පරමුද්දිස්ස යං දානං – අන්නවත්ථාදි දීයතෙ
පත්තිදානන්ති තං ආහු – යුත්ත සද්‍ධම්මදෙසකා”

“මෙයින් පරලොව              පත්
උදෙසා එබඳු පේ                සත්
දෙනු නිසි අහර                   වත්
දනෙහි අනුසස් වේය පින් පෙත්”

පත්තිදානයෙහි ආනිසංස

මේ ජන්මයෙහි ම සත්පුරුෂයෙක් ය, කෙළෙහි ගුණ දන්නෙක් ය යන ආදි වශයෙන් සත්පුරුෂ ප්‍රශංසා ලැබීම ය, තමනට අයත් යුතුකමක් සිදු කිරීමෙන් ලැබෙන නිරාමිෂ ප්‍රීතිය ය, මරණින් මතු සුගති සම්පත් ලැබීමට හේතුවීම ය, උපනුපන් තන්හි ආයුෂ, වර්ණ සුඛ, බල, ප්‍රඥා යන කරුණුවලින් උසස් වීම ය යන ආදීහු පත්ති දානයෙහි ආනිසංසයෝ වෙති. (මිය පරලොව ගියවුනට පින්පෙත් දීම පිළිබඳ ව හා එය ලැබෙන අයුරුද ප්‍රඥා ප්‍රභා – 2 ග්‍රන්ථයෙහි “මියගියවුන් හට පින් දීම” ලිපියෙන් දැන ගන්න.)

පත්තානුමෝදනය

පත්ති අනුමොදති එතායාති – පත්තානුමොදනා” යනු නිර්වචනය හෙයින් තමන් වෙතට පැමිණ වූ පින් කොටස අනුමෝදන් වේ නු යි පත්තානුමෝදනා නම් වේ. අනුමෝදනා නම් අනුව සතුටු වීමයි. කවුරුන් විසින් හෝ කරන ලද පිනක් තමන් වෙතට පැමිණ වූ විට හෙවත් දැන ගත් විට “සාදු සාදු” (-අනේ හොඳා හොඳා) කියමින් ඒ අනුව සතුටු වෙමින් තමන් ගේ සන්තානයෙහි ද පින් සිත් පහළ කර ගැනීම පුණ්‍යානුමෝදනා නම් වේ.

පරමාර්ථ වශයෙන් කියත හොත් මෙරමා විසින් දෙන ලද්දා වූ හෝ නැත්තා වූ හෝ පිනක් ඊර්ෂ්‍යා මාත්සර්ය්‍යාදියෙන් තොර ව පිරිසිදු සිතින් “සාදු සාදු” යි සතුටින් අනුමෝදන් වීම් වශයෙන් පැවැත්තා වූ චේතනාවෝ පත්තානුමෝදනා නම් වෙති.

වෙස්සන්තර රජු ගේ පුත්‍ර දානය ඉතා සතුටින් හා පිරිසිදු සිතින් අනුමෝදන් වූ මද්‍රී දේවිය මෙන් තමනට දුන්නා වූ පින අනුමෝදන් වීම පත්තානුමෝදනා නම් පුණ්‍යය බව සද්ධම්මෝපායනාචාර්ය්‍යපාදයෝ කීහ.

මද්දී’ව පුත්තදානම්හි – දානස්සබ්භනුමොදනා
පත්තානුමොදනා තී’
හ – වුත්තා උත්තමවාදිනා”

“නොකැමැති මසුරු             දෙ‍ාස
දුරලා වෙමින් සිත               තොස
අනුන් දුන් පින්                      රැස
ගැනුම් අනුමෝදනය හොඳ ලෙස”

පත්තානුමෝදනයෙහි ආනිසංස

මේ ජන්මයෙහි ම ඊර්ෂ්‍යා මාත්සර්ය්‍ය මානාහංකාර අඩු වූවකු වීම ය, නිරාමිෂ ප්‍රීතියෙන් ප්‍රීති වන්නකු වීම ය, මරණින් මතු සුගති සම්පත් ලැබීම ය, උපනූපන් තන්හි ආයුෂ, වර්ෂ, සුඛ, බල, ප්‍රඥා යන මොවුන් ගෙන් සම්පූර්ණ වීම ය යන ආදීහු පින් අනුමෝදන් වීමෙහි අනුසස් වෙති.

ධර්‍ම දේශනය

ධම්මං දෙසෙන්ති එතායාති – ධම්මදෙසනා” යනු නිර්වචන හෙයින් ධර්‍මය දෙසත්නුයි ධර්‍ම දේශනා නම් වේ. පරමාර්ථ වශයෙන් කියත හොත් ලාභසත්කාර ලොලත්වයෙන් තොර ව නිස්සරණාධ්‍යාශයෙන් හා යෝනිසෝමනසිකාරයෙන් යුතු ව, පරහට වැඩක්, යහපතක් වේවා යන හිත අදහසින් කරන යම් බණ දෙසීමක් ඇද්ද එසේ පැවැත්තා වූ කුසල චේතනාවෝ ධර්‍ම දේශනා නම් වෙති. මෙහි ධර්ම නම් ප්‍රධාන වශයෙන් දශවිධ ශ්‍රී සද්ධර්මයයි. අප්‍රධාන වශයෙන් නිවැරැදි ශිල්ප ශාස්ත්‍ර ද මීට ඇතුළත් වෙයි.

හිතජ්ඣාසයතො යා හි – පරස්ස හිතදෙසනා
දෙසනාමය පුඤ්ඤන්ති – දෙසයී තං සුදෙසකො”

“නො හැඟ පුද ලබ              යස
හිත අදහසින් මුනි                බස
අන්හට මොක්                පිණිස
කියනු දේසන මහත්    අනුහස”

ධර්මදේශක ලක්‍ෂණ

අත්තානමෙව පඨමං – පතිරූපෙ නිවෙසයෙ
අථඤ්ඤ මනුසාසෙය්‍ය – න කිලිස්සෙය්‍ය පණ්ඩිතො”

– ධම්මපදය

පළමු ව තමා සුදුසු පිළිවෙතෙහි පිහිටා, අනතුරුව අන්‍යයනට අනුශාසනා කරන්නේ ය. එසේ කරන පණ්ඩිත අනුශාසකයා, දේශකයා කෙලෙසෙන්නේ නැත. තව ද, අංගුත්තර පංචක නිපාතයෙහි ද දේශක ලක්‍ෂණ පසක් ප්‍රකාශ කොට ඇත්තේ ය:

  1. ආනුපුබ්බී කථා ඇත්තකු විය යුතු ය. එනම් පැමිණි පිරිසට ප්‍රයෝජන වන පරිදි දාන කථා, සීල කථාදි පිළිවෙළ කථා හෝ දේශනාවට ගත් මාතෘකාවට අනුරූප ව කථා හෝ කරන්නකු විය යුතු ය.
  2. තමන් මාතෘකාවට ගත් කරුණ අසන්නවුනට වැඩක් වන පරිදි පැහැදිලි ව කරුණු සහිත ව ස්ඵුට කරන්නකු විය යුතු ය.
  3. “අසන්නවුන් දුකෙන්, කරදරයෙන් මුදමි, මොවුනට දෙලෙ‍ාවින් ම යහපතක් සිදු කරවමි” යන කරුණා අදහසින් යුක්ත විය යුතු ය.
  4. කිසි ආමිෂ පූජාවක් බලාපොරොත්තු නො විය යුතු ය. ධර්මයට ගෙ‍ෟරවයක් වශයෙන් කරන ධර්‍ම පූජා පිළිගැනීම වරදක් නොවුව ද එබඳු කිසිවක් බලාපොරොත්තුවෙන් ධර්මදේශනා නො කළ යුතු ය.
  5. තමන් උසස් කොට හුවා පීමක් හෝ අනුන් පහත් කොට හොවා පීමක් හෝ අන්‍යයනට පහර ගැසීමක් හෝ ධර්ම දේශකයා තුළ නො විය යුතු ය. නියම් මඟින් හෝ අනියම් මඟින් හෝ තමන් ගේ ලෙ‍ාකුකම්, හපන්කම් හා පෙ‍‍ෟද්ගලික කරුණු ද කියා පෑම නියම ධර්මදේශක ලක්‍ෂණයක් නො වේ.

ආදිම්හි සීලං දස්සෙය්‍ය – මජ්ඣෙ මග්ගං විභාවයෙ
පරියොසානම්හි නිබ්බානං – එසා කථිකසණ්ඨිති”

යනු හෙයින් ආදියෙහි ශීලය විභාග කොට දැක්වීමත්, මැද දී මධ්‍යම ප්‍රතිපදා නම් මඟ හෙළි කොට දැක්වීමත්, අවසානයෙහි නිවන පහදා දීමත් යන කථක සංස්ථාව පැහැර නොහැරීම ධර්ම දේශකයකු තුළ තිබිය යුතු ය.

මෙකල බහුලව පවත්නා නා නා විධ ධර්ම දේශනා හා ඒවා සම්බන්‍ධ කොට කරන නා නා විකාර ද ධර්ම දේශනාමය පින්කමට ඇතුළත් නොවන බව සැලැකිය යුතු ය.

ධර්ම දේශනාවෙහි ආනිසංස

මේ ජන්මයෙහි ම ලොව ඇති උසස් ම දානය දීමෙනුත්, ලෝකයාට මෙ ලොව හා පරලොව දියුණුවට මඟත් නිර්වාණ මාර්ගයත් ප්‍රකාශ කොට දීමෙනුත්, නිරාමිෂ ප්‍රීතිය විඳින්නකු වීම ය, මරණින් මතු සුගති සම්පත් ලැබීම ය, උපනූපන් තන්හි ඥානවන්ත වීම ය, කන්කලු වචන ඇත්තකු වීම ය, බොහෝ දෙනාට ප්‍රිය වීම ය, අන්තිම ජාතියෙහි චතුරාර්ය්‍ය සත්‍යාවබෝධයට පහසු වීම ය යන ආදීහු ධර්ම දේශනාවෙහි ආනිසංස වෙති.

ධර්‍ම ශ්‍රවණය

ධම්මං සුණන්ති එතෙනාති – ධම්මසවණං” යනු නිර්වචන හෙයින් යම් චේතනාවකින් ධර්මය අසත් ද එය ධර්‍ම ශ්‍රවණ – බණ ඇසීම නම් වේ. පරමාර්ථ වශයෙන් කියත හොත් “මම මේ ධර්මය ඉතා ආදර ගෙ‍ෟරවයෙන් හා එකඟ වූ සිතින් අසා එය අනුව පිළිපැද ලොවි ලොවුතුරා ගුණ වෙසෙස් ලබමි, මෙසේ අසා උගතකු ව අන්හට කියා දීම් වශයෙන් සංග්‍රහ ද කරන්නෙමි” යි තමන් හා අනුන් කෙරෙහි ඇති හිතවත් බැවින් හා නෙ‍ාකිළිටි සිතින් ද යුක්ත ව බණ ඇසීමෙහි පවත්නා කුසල චේතනාවෝ ධර්ම ශ්‍රවණය නම් වෙති. එයින් කීහ:

විහාය වික්ඛෙපමලං – අට්ඨිකත්වාන සාධුකං
සද්ධම්මසවනං එත්ථ – සවණන්ති පවුච්චතී.”

“මේ බණ ඇසූ                       කල
ඇතැයි සිතමින් පින්               පල
එකඟ ව මුනි                     තෙපල
අසනු බණ’සන කුසලි මන   කල”

ධර්‍ම ශ්‍රවණය කළ යුත්තේ කෙසේ ද?

කියන කරුණුවලට නින්දා කිරීම ය, කථකයාට පරිභව කිරීම ය, සකසා නොඇසීම ය, එහෙ මෙහෙ දුවන සිතින් යුතු ව ඇසීම ය, පද වශයෙන් හා අර්ථ වශයෙන් ද මෙනෙහි නො කොට නුනුවණින් ඇසීම ය, අඩු පාඩු සිදුරු සොයන අටියෙන් ඇසීම ය, දේශකයා කෙරෙහි අමනාප වූ අමෛත්‍රී සිතින් ඇසීම ය, නො දත්තකු ව දන්නෙක්මි යන වැරැදි හැඟීමෙන් යුතු ව ඇසීම ය යන කරුණුවලින් තොර ව, මේ බණ ඇසීම මාගේත්, අන්‍යයන්ගේත් දෙලොව දියුණුවට හේතු වේවා යන පිරිසිදු සිතින් ම බණ ඇසිය යුතු ය.

ධර්ම ශ්‍රවණයෙහි ආනිසංස

ඉදින් මේ ජන්මයෙහි ම මාර්ග ඵලාවබෝධයක් නො වූවත් දෙලොව දියුණුවට හේතුවන නොදන්නා දේ දැන ගැනීම ය, දන්නා දේ තව තවත් පිරිසිදු කර ගැනීම ය. සැක තැන් නැති වීම ය, තමාගේ දෘෂ්ටිය පිරිසිදු වීම ය, තමා ගේ හිත ප්‍රසන්න වීම ය, මරණින් මතු සුගති සම්පත් ලැබීම ය, උපනුපන් තන්හි යුතු අයුතු හා තිලකුණු වැටහෙන ඥානවන්තයකු වීම ය යන ආදීහු ධර්ම ශ්‍රවණයෙහි ආනිසංසයෝ වෙත්.

පිදිය යුත්තන් පිදීම

අපචායති පූජා වසෙන සාමිචිං කරොති එතෙනාති – අපචායනං” යනු නිර්වචන හෙයින් පූජා වශයෙන් ගරු බුහුමන් කෙරේ නු යි අපචායනය – පිදිය යුත්තන් පිදීම – නම් වේ.

පරමාර්ථ වශයෙන් කියත හොත් ශීල සමාධ්‍යාදි ගුණයෙන් යුක්ත වූ ද, වයසින් හා නුවණින් වැඩිහිටියා වූ ද පිදිය යුත්තනට පිරිසිදු සිතින් දැක හුනස්නෙන් නැගිටීම්, මඟිනිවත් වීම්, වැදීම්, ගරු බුහුමන් කිරීම් වශයෙන් පැවැත්තා වූ කුසල චේතනාවෝ අපචායන නම් වෙති. එයින් කීහ:

ගුණ යුත්තෙසු සක්කාර – කිරියා වන්‍දනාදිකං
පුජාරහෙන මුනිනා – පූජාති පරිකිත්තිතා”

“ගුණයෙන් නොපසු               බට
මුනිවර කුල දෙටුන්                 හට
වැඳුම් අ‍‍ෑ නිසි                     කොට
කරනු පුද වේ මනා දෙ     ලොවට”

පිදිය යුත්තෝ කවරහු ද?

බුදු, පසේ බුදු, මහ රහත්හු ද, සෙසු සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද වෙනත් නුවණින් ගුණයෙන් හා වයසින් වැඩිසිටියෝ ද, දෙමවුපිය ගුරුවරාදීහු ද, අනෙකුත් පවුලේ වැඩිසිටියෝ ද පිදිය යුත්තෝ වෙති.

පිදිය යුත්තන් පිදීමේ ආනිසංස

මේ ජන්මයෙහි ම ධාර්මික කීර්ති ප්‍රශංසා ලැබීම ය, සිල්වත් ගුණවත් නැණවත්නට ප්‍රිය වීම ය, මරණින් මතු සුගති සම්පත් ලැබීම ය, මිනිස් ලොව උපදින විට උසස් යයි සම්මත කුලවල ඉපදීම ය, පිරිවර ලැබීම ය, බොහෝ දෙනාට ප්‍රියවීම ය යන ආදීහු අපචායනයෙහි ආනිසංසයෝ ය.

වතාවත් කිරීම

තං තං කිච්චකරණෙ ව්‍යවටස්ස භාවො – වෙය්‍යාවච්චං” යනු නිර්වචන හෙයින් ඒ ඒ කුදුමහත් කටයුතු කිරීමෙහි යෙදුණහු ගේ ස්වභාවය වෙය්‍යාවච්ච (-වතාවත්) නමි. එය කිරීම වතාවත් කිරීම නම් වේ.

පරමාර්ථ වශයෙන් කියත හොත් සිල්වත් ගුණවත් නැණවත් ආදීන් ගේ කටයුතු කිරීම් වශයෙන් හා දානාදී කුශල ක්‍රියාවන්හි දී අසුන් පැනැවීම්, දන් පිළියෙළ කිරීම්, දන් බෙදීම්, පිඬු සිඟා වඩනා භික්ෂූනට පිණ්ඩපාතය දීම්, ගිලනුනට බෙහෙත් සපයා දීම්, උපස්ථාන කිරීම් ආදී කුදු මහත් කටයුතු කිරීම් වශයෙන් ද පැවැත්තා වූ චේතනාවෝ වෙය්‍යාවච්ච නම් වෙති. එයින් කීහ:

ගිලානගුණවන්තා තං – දානාදි කිරියාසු වා
ආසනොදක දානානි – වෙය්‍යවච්චන්ති සඤ්ඤිතං”

“පින් කිරියෙහි            නොහොත්
ගිලන් ගුණවත් හට                වත්
කරනු ගුණ                       යහපත්
වතාවත් නම් වෙතී        තෙපලත්”

උපස්ථායක ලක්‍ෂණ

විශේෂයෙන් ගිලන් උපස්ථායකයකු තුළ තිබිය යුතු ලක්‍ෂණ, ගතිගුණ පසක් බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

  1. ඒ ඒ වේලාවට උවමනා කරන බෙහෙත් පිළියෙළ කර දීමේ සමත් බව ය, 2. රෝගයට ගුණාගුණ ආහාර විහරණාදිය දැන අගුණ දෑ බැහැර කොට ගුණ දෑ පමණක් පිළියෙළ කර දීමේ හැකි බව ය, 3. කිසියම් ලාභයක් ප්‍රයෝජනයක් බලාපොරොත්තු නො වී හුදු කරුණාවෙන් ම, මෛත්‍රියෙන් ම උපස්ථාන කරන බව ය, 4. මල – මුත්‍ර කෙළ වමනය ආදී අපවිත්‍ර දෑ පිරිසිදු කිරීමෙහි දී පිළිකුල නො සිතන බව ය, 5. දැහැමි කථා ආදියෙන් රෝගියාගේ හිත ද සැනැස්විය හැකි බව ය යන මේ ලක්‍ෂණ පස ගිලානෝපස්ථායකයා තුළ තිබිය යුතු ය.

වතාවත් කිරීමේ ආනිසංස

මේ ජන්මයෙහි ම බුදු රජාණන් වහන්සේ අනුගමනය කිරීමේ පින්කමක යෙදීමෙන් නිරාමිෂ ප්‍රීතියක් ලැබීම ය, උතුමනට ප්‍රිය වීම ය, මරණින් මතු සුගති සම්පත් ලැබීම ය, උපනූපන් තන්හි නීරෝගි වීම ය, බොහෝ පිරිවර ඇත්තකු වීම ය, දුකෙහි විපතෙහි උපකාර වන්නවුන් බහුලවීම ය යන ආදීහු වතාවත් කිරීමෙහි ආනිසංසයෝ ය.

පින්කරු ගුණ වැනීම

පසංති පසංසතීති – පසංසා” යනු නිර්වචන හෙයින් පින් කරන්නහුට පිරිසිදු සිතින් ස්තුති ප්‍රශංසා කිරීම පින්කරු ගුණ වැනීම නම් වේ. පරමාර්ථ වශයෙන් කියත හොත් පින් කරන්නවුන් තව තවත් උනන්දු කරවනු සඳහා, සතුටු කරවනු සඳහා ඒ පින්කමේ ගුණ වැනීම් වශයෙන් පැවැත්තා වූ කුශල චේතනාවෝ ප්‍රශංසා නම් වෙති. එයින් කීහ:

කුසලං හි කරොන්තානං – පභාසුස්සාහකාරිකා
ගුණතො වණ්ණනා යා සා – පසංසාති පකිත්තිතා”

“සත්හට පින්                      කරන
සතුටු වීරිය                        වඩවන
ඔවුන් ගුණ                       පවසන
කලට පැසසුම් කුසලි        දසවන”

ප්‍රශංසා කළ යුත්තේ කෙසේ ද?

ගුණවතුන් ගේ ඇති ගුණ වැනීම උසස් පින්කමක් යයි ප්‍රකාශ කළ බුදු රජාණන් වහන්සේ මහ පිරිස් මැදැ සැරියුත් මා හිමියන් ආදීන් ගේ ගුණ වැණීමෙන් ලොවට යහපත් ආදර්ශයක් ද දී වදාළහ. අවංක වූ පිරිසිදු සිතින් ඇති ගුණ ම වැනිය යුතු ය. ඇති ගුණ හෝ අබැටක් සා ද නැති ගුණ මහමෙර සේ දක්වා හෝ වැණීම ඉතා නොමනා ගතියෙකි. එබඳු ගුණ වැණුම් ඉවැසීම ද නොමනා ම ය. ඇති ගුණ හෝ වංක සිතින් කීම පින්කමක් නො වේ. එහෙයින් ප්‍රසංසා නම් වූ පින සිදු වන්නේ ඇති ගුණය ඇති පමණට අවංක සිතින් වැණීමෙන් ම බව සිතට ගත යුතු ය.

ප්‍රශංසායෙහි ආනිශංස

මේ ජන්මයෙහි ම ධාර්මික කීරිති ප්‍රශංසා ලැබීම ය, බුදු රජාණන් වහන්සේ අනුගමනය කරන්නකු වීම ය, ලැබූ හොඳ කටින් නියම පල ලබන්නකු වීම ය, මරණින් මතු සුගති සම්පත් ලැබීම ය, උපනූපන් තන්හි විකාර නොවූ පවිත්‍ර කටක් ලැබීම ය, කන්කලු වචන ඇත්තකු වීම ය, හැම දෙනාහට ප්‍රිය වීම ය යන ආදීහු ප්‍රශංසායෙහි ආනිසංසයෝ ය.

සරණ යෑම

සබ්බං අපාය දුක්ඛං සංසාර දුක්ඛං ච සරති හිංසති විනාසෙතී ති – සරණං, තං ගච්ඡති එතෙනාති සරණං ගමනං” යනු නිර්වචන හෙයින් සියලු අපාය දුක් හා සසර දුක් ද විනාශ කෙරේනුයි සරණ නමි. ඒ සරණ එසේ දුක් නැති කිරීමට සමර්ථ යයි විශ්වාස කිරීම සරණ යෑම නම් වේ.

පරමාර්ථ වශයෙන් කියත හොත් රත්නත්‍රය සේවන, භජන, පර්ය්‍යුපාසනය කරන්නහු ගේ ශ්‍රද්ධාව ප්‍රඥාව පෙරදැරි කොට ඇති චිත්තෝත්පාදය සරණගමන නම් වේ.

තුනුරුවන් ගේ ගුණ දැන ගෙන, සසරින් මිදීමට ඒකාන්තයෙන් පිහිට වේ යයි සිතා ඒ තුනුරුවන් වෙතට, ආශ්‍රයට යෑම හෙවත් ඒ තුනුරුවන් භවයෙන් මිදීමට ඇති එක ම පිහිට, සරණ යැයි විශ්වාස කිරීම යනු එහි අදහසයි. මෙසේ හෙයින් කුශල චිත්තෝත්පාදයක් නැතිව බුද්ධං සරණං ගච්ඡාමි” යැයි කී පමණින් ම සරණ ගියා වන්නේ නැත. එයින් කීහ:

ගුණසම්භාවනා පුබ්බං – තාණ සඤ්ඤාය භාවතො
වත්‍ථුත්තයස්ස සරණං – ගමනං සරණං මතං”

“පහ වූ කෙලෙස්                    රණ
ලොවැදුරු නැණ කුලුණු        ගුණ
සලකා කැර                        සරණ
ගැනුම් මෙසරණ කුසලි රජ මෙණ”

සරණ ගමන ප්‍රභෙද

ලො‍ෟකික සරණ ගමනය, ලෝකෝත්තර සරණ ගමනය යයි සරණ ගමනයෙහි ප්‍රභේද දෙකකි. එයින් ලෞකික සරණ ගමනය නම් පෘථග්ජනයන් ගේ සරණ යෑම යි. ලෝකෝත්තර සරණ ගමනය නම් සතර මඟ සතර පල පත් ආර්යයන් ගේ සරණ ගමනය යි.

සරණ ගමනයෙහි ආනිසංස

යමෙක් බුදුන් දහම් සඟුන් සරණ ගියේ දුක ය, දුක ඉපදීමට හේතුව ය, දුක නැති කිරීම ය, දුක නැති කිරීමේ උපාය ය යන මේ සිවුසස් සම්‍යග් ඥානයෙන් දකී ද, හේ ලෝකෝත්තර සරණ ගමනයෙන් සරණ ගියේ වේ යයි බුදු රජාණන් වහන්සේ වද‍ාළහ. මේ ලෝකෝත්තර සරණ ගමනයෙහි ආනිසංසය යි. යමෙක් තෙරුවන් සරණ ගියේ ද හේ අපායෙන් මිදී දිව්‍ය සම්පත් ලබන්නේ යයි ද ප්‍රකාශ කළහ. මේ ලෙ‍ෟකික සරණ ගමනයෙහි ආනිසංසය යි.

අනුස්මෘතිය

අනු අනු සරණං – අනුස්සති” යනු නිර්වචන හෙයින් නැවත නැවත සිහි කිරීම අනුස්මෘති නම් වේ.

පරමාර්ථ වශයෙන් කියත හොත් බුද්‍ධාදි ෂඩ්විධ අනුස්මෘති වස්තුවෙහි ද අන්‍ය වූ කුශලයන්හි ද ගුණ නැවත සිහි කිරීම් වශයෙන් පැවැත්තා වූ චේතන‍ාවෝ අනුස්මෘති නම් වෙති. එයින් කීහ:

ඡළානුස්සති වත්ථූසු – අඤ්ඤෙසු කුසලෙසු වා
උපක්කිලෙස විනිම්මුත්තා – ගුණතොනුස්සතී හි යා
විගතූපක්කිලෙසෙහි – සානුස්සතීති දෙසිතා”

“දන් සිල් ඈ                       කුසල්
අනුසස් විසින්                 ඇමකල්
සඳහන් වනු                        විමල්
සිතින් සිහි නම් කුසලි    මනකල්”

ෂඩ් අනුස්මෘතීහු කවරහු ද?

  1. බුද්‍ධානුස්සති – අරහං ආදී බුදු ගුණ අරමුණු කොට ඇති සිහි කිරීම.
  2. ධම්මානුස්සති – ස්වාක්ඛාතතාදී දහම් ගුණ අරමුණු කොට ඇති සිහි කිරීම.
  3. සංඝානුස්සති – සුපටිපන්නතාදී සඟ ගුණ අරමුණු කොට ඇති සිහි කිරීම.
  4. සීලානුස්සති – තමන් නොකඩ කොට රැක්ක සුපිරිසිදු සිල් ගුණ සිහි කිරීම.
  5. චාගානුස්සති – පහවූ මසුරුමල ඇති බව ආදී තමන් ගේ ත්‍ය‍ාග ගුණය සිහි කිරීම.
  6. දේවතානුස්සති – යම් ශ්‍රද්‍ධාදි ගුණයක් කරණ කොට ගෙන දෙවියෝ දේවත්වයට ගියාහු ද එබඳු ගුණ තමා කෙරෙහිත් විද්‍යමාන ය කියා දෙවියන් සාක්‍ෂ්‍යස්ථානයෙහි තබා තමන් ගේ ශ්‍රද්‍ධාදි ගුණ සිහි කිරීම ය යන මොවුහු ෂඩ් අනුස්මෘතීහු නම් වෙති.

අනුස්මෘතියෙහි ආනිසංස

මේ ජන්මයෙහි ම මාර්ගඵලාදියක් හෝ ධ්‍යානාදියක් හෝ නො ලද හොත් කවරදාක හෝ එබඳු උතුරු මිනිස් දම් ලැබීමට මෙය බලවත් ප්‍රත්‍යය වීම ය, ශ්‍රද්‍ධා, ප්‍රඥා, ශීල, ශ්‍රැතාදි ගුණ වැඩි දියුණු වීම ය, නිරාමිෂ ප්‍රීතියක් ලැබීම ය, මරණින් මතු සුගති සම්පත් ලැබීම ය, උපනුපන් තන්හි අන්‍යයනට වඩා ශ්‍රද්ධා, ශීල, ශ්‍රැතාදි ගුණයෙන් සම්පූර්ණ වීම ය යන ආදීහු අනුස්මෘතියෙහි ආනිසංසයෝ ය.

 

1961 වසරේ දී පළ කැරුණකි

ප්‍රඥාප්‍රභා 5

 

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

සංඝං සරණං ගච්ඡාමි ...
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමනී සික්ඛාපදං සමාදියාමි ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.